මහී ගර්ජන නම් පූජාව

star_outline

එ කෙණෙහි සක්වළගල වටා නො ගොසින් සිටි මේ සක්වළ දිව්‍ය සේනාව පැරද දිවන්නා වූ වසවත් මරු හා සෙනග දැක “වසවත් මරු පැරද ගියේ ය. අපගේ සිද්ධාර්ථ කුමාරයෝ ජය ගෙනපූ යැ”යි මේ සක්වළ නයි පරසක්වළ නයින්ට කියා ගියහ. මේ සක්වළ ගරුඬයෝ පරසක්වළ ගරුඬයන්ට කියා ගියහ. මේ සක්වළ දෙවියෝ පරසක්වළ දෙවියන්ට කියා යවූහ. මේ සක්වළ බ්‍රහ්මයෝ පරසක්වළ බ්‍රහ්මයන්ට කියා යවූහ. එ බස් අසා දස දහසක් සක්වළ ශක්‍ර බ්‍රහ්ම නාග සුපර්ණණ ගරුඬ ගන්‍ධර්වාදි දෙවියෝ දිවමල් සුවඳ ආදීන් ගෙනවුත් ස්වාමිදරුවන් වටා සිට දොහොත් මුදුන් දී ජය පූජා කළහ. කියනලදුයේ මැයි.

ජයෝ හි බුද්ධස්ස සිරීමතො අයං

මාරස්ස ච පාපිමතො පරාජයො,

උග්ඝොසයුං බෝධිමණ්ඩෙ පමොදිතා

ජයං තදා දේවගණා මහේසිනො යි.

මෙසේ මාගේ බුදුහු එදා රෑ හිරු අස්තයට නො යන තුරු මරසෙනඟ බිඳපියා බෝමැඩ අරා වැඩහිඳ දසපෑ ගිය වේලෙහි අනන්තාපරියන්ත වූ ලෝකධාතුයෙහි සතුන්ගේ පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ ලදින්, විසිපෑ ගිය වේලෙහි අසඞ්ඛෙය්‍ය ගණන් සක්වළ පර්යන්තයෙහිත් තුබූ වස්තුවක් කරතලාමලකයක් සේ පෙනෙන්නා වූ දිවස් ලදින්, තුබූ දස පැයෙහි ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි ප්‍රඥාව බහාලූ සේක. එ වේලෙහි මාගේ ස්වාමිදරුවන් අනුලෝම ප්‍රතිලෝමයෙන් ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි ධර්මයන් සම්මර්ශනය කරත් කරත් දස දහසක් සක්වළ මහපොළෝ දොළොස් දොළොස් වාරය බැගින් මෙසේ එක්ලක්‍ෂ විසි දහසක් වාරයෙහි ගර්ජනා පතුරුවා සාධුකාර දෙන්නා සේ මහීගර්ජනා නම් වූ පූජාවක් කෙළේ ය.

මෙසේ දසදහසක් සක්වළ එක පැහැර ගර්ජනා කරවා අනුක්‍රමයෙන් සෝවාන් මාර්ගයට පැමිණ සෝවාන් ඵලයට පැමිණ, සකෘදාගාමි මාර්ගයට පැමිණ, සකෘදාගාමි ඵලයට පැමිණ, අනාගාමි මාර්ගයට පැමිණ, අනාගාමී ඵලයට පැමිණ, අර්හත් මාර්ගයට පැමිණ, අර්හත් ඵලයට පැමිණ, ඉක්බිත්තෙන් මෙසේ අරුණු නැගෙන වේලෙහි සවාසනා කෙලෙසුන් නසා ලොවුතුරා බුදුව, අනන්තාපර්‍ය්‍යන්ත වූ සක්වළ බුදුන් නොදක්නා සත්ත්‍වයන් දැක උපන් මහා කරුණාවෙන් පෙර බුදුන් කල චාරිත්‍ර නො වරදවා සවනක් බුදු රැස් ඒ ඒ දිග විහිදුවා හළ සේක. ඒ බුදු රස් සමූහයෝ එක තෙනෙක අසුරු සණක් නො රඳා සක්වළ ගලින් සක්වළ ගල ගැසී නිල් වලාපටල සේ, රත් වලාපටල සේ, කිණිහිරි සපු මල්කැන් සේ, සුදු පිළි හඳනා සේ, මඳට දම් වළලු සේ, පබසර කඳන් සේ, අද දක්වා දිව දිව සත්ත්‍වයන්ගේ ප්‍රේම වඩ වඩා මනෝඥ ව දිවන්නාහු ම ය. ඒ බුදු රස් දුටු දුටු සත්ත්‍වයෝ විශේෂ වූ වර්ණයක් බලවයි එහි සිත් අලවා ඒ කුශල මූලයෙන් ම මේ මඟුල් සක්වළ ඉපැද බුදුන් දැක සසරින් ගැලවෙන්නාහුම ය.

මෙසේ මාගේ ස්වාමිදරුවන් ලොවුතුරා බුදු වූ වේලෙහි දස දහසක් සක්වළ මඟුල් ගෙයක් සේ සැරහී ගිය එ දා දිවු දෙවියන් පූර්ව සක්වළ මෝවිට සිට නැගූ ධ්වජයේ කකුල් පෑළ සක්වළ මෝවිට ගැසෙයි. පෑළ සක්වළ මෝවිට සිට නැගූ ධ්වජයේ කකුල් පූර්ව සක්වළ මෝවිට ගැසෙයි. උතුරු සක්වළ මුදුනෙහි සිට නැගූ ධ්වජයේ කකුල් දකුණු සක්වළ මුදුනෙහි ගැසෙයි. දකුණු සක්වළ මුදුනෙහි සිට නැගූ ධ්වජයෙහි කකුල් උතුරු සක්වළ මුදුනෙහි ගැසෙයි. පොළෝ තෙලෙහි සිට නැගූ ධ්වජ බඹලෝ ගස සිටගත. බඹලෝ බැඳි ධ්වජයෙහි කකුල් පොළෝ තෙලෙහි ගැසෙයි. දසදහසක් සක්වළ මුළුල්ලෙහි මහපොළෝ ගුගුරා පී ය. සියලු ලෝ ඒකාලෝක ව ගිය. ජාත්‍යන්‍ධෙයා් ඇස් ලද්දාහු ය. ගොළුවෝ කටහඬ ලද්දාහු ය. බධිරයෝ කර්ණරසායන ලද්දාහු ය. පිලහු ගමන් ලද්දාහු ය. කුරු කුදුහු ආරෝහ පරිනාහ ලද්දාහු ය. හැම බැඳුම් සිඳී ගිය, නරක ගිනි නිවී ගිය, ප්‍රේතයන්ගේ සා දුක් නිවී ගිය, තිරිසනුන්ගේ භය සන්හිඳී ගිය, අසාධ්‍ය වූ ව්‍යාධි සන්හිඳී ගිය, ප්‍රිය වචනයෙන් ලොව සැදී ගිය. අශ්වයෝ හේෂාරව කළහ. ඇත්තු කුඤ්චනාද කළහ. සිංහයෝ සිංහනාද කළහ. සියලු තිරශ්චීනයෝ මධුර නාද ම කළාහු ය. සියලු ආභරණයෝ රාව කළාහු ය. දස දිග ප්‍රභාස්කන්‍ධයෝ දිවයන්නාහු ය. සුවඳ මඳ පවන් හැමී ගිය, අකාලයෙහි වර්ෂා විය. මහපොළොව පළා දිය කඳු පැන නැංග. සියලු පක්‍ෂීහු ආකාශයෙන් ගමන් නැතිව පොළොවට ම බටුවාහු ය. ගංහෝවල යන දිව නැවතී ගිය. මහ මුහුද ලුණුදිය නැති ව ගිය. මුහුද පස්පියුමෙන් සැදී පිරී ගිය දියෙහි ගොඩෙහි සියලු මල් පිපී ගිය. නන් තුරු ලිය මල් භාරයෙන් ගැවසී ගත. බිම් පලා ගල් පළා දඬු පියුම් පෙනී ගිය. ආකාශය මල් වියනින් වැසී ගිය. මුළු ලොවැ මල්වැසි ධාරා වැසී ගිය. මුළුලොව ධ්වජ මාලාවෙන් පිරී ගිය. යන මේ දෙතිස් පූර්ව නිමිත්ත නම් වූ ආශ්චර්‍ය්‍ය පූජාවෝ ද පහළවූහ. එදා දෙවියන් කරන පූජා හා මාගේ ස්වාමිදරුවන් ඒ ආශ්චර්‍ය්‍ය හා බුදු මඟුල් වෙන වෙන වර්ණනා කෙරෙම් නම් මාගේ එක මුඛයක් තබා සියක් දසසක් ලක්‍ෂයක් මුඛයෙනුත් කියා නිමවනු බැරි ම ය.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ ලොවුතුරා බුදුව සියලු ධර්මස්කන්‍ධයන් මෙනෙහි කොට මීයෙන් පිරී ගිය භාජනයක් යට අවකාශනැත්තෙන් ඉතිර වැගිරෙන්නා සේ දහම් අමායෙන් පිරුණා වූ ශරීර භාජනයෙන් සද්ධර්මාමෘතය උතුරුවා සුවාසූදහසක් ධර්මස්කන්‍ධයනට පළමු වනු වූ:-

අනෙකජාති සංසාරං - සන්‍ධාවිස්සං අනිබ්බිසං,

ගහකාරකං ගවෙසන්තො - දුක්ඛා ජාති පුනප්පුනං.

ගහකාරක දිට්ඨොසී - පුන ගෙහං න කාහසි,

සබ්බා තෙ ඵාසුතා භග්ගා - ගහකූටං විසංඛිතං,

විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා-ති.

උද්දාන වසයෙන් මේ මඞ්ගල ගාථාවන් දේශනා කර වදාළ සේක.

මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ බෝමැඩ අරා බුදු වූ වේලෙහි කාළ නම් දිව්‍ය නාගරාජයා හා නළුවන් හා සමග කළා වූ සැටදහසක් දිව්‍ය නාගාදි පූජා ය, මාරයුද්ධයෙහි දී ලද වාතවස්සාදි එකොළොස් මහා යුද්ධ පූජා ය, බුදු වන වේලෙහි මහීකාන්තාවන් කළ එක්ලක්‍ෂ විසිදහසක් පූජා ය, දෙතිස් මහා පූර්ව නිමිත්ත නම් වූ ආශ්චර්‍ය්‍ය පූජා ය, තව ද දසදහසක් සක්වළ වරම් ශක්‍ර සුයාම සන්තුෂිත සුනිර්මිත පරනිර්මිත කාමාවචර දිව්‍යරාජයන් කළ අනූදහසක් පූජා ය, තවද දස දහසක් සක්වළ රූපාවචර බ්‍රහ්මරාජයන් කළ එක් ලක්‍ෂ පනස් දහසක් බ්‍රහ්ම පූජා ය, යන මේ සාරලක්‍ෂ විසිදහස් තෙසාළිස් මහා පූජාවක් ලත් හෙයිනුත්, අවශේෂ වූ අසංඛෙය්‍ය පූජා ලත් හෙයිනුත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, ස්වයම්භූ වූ, දශබලධාරී වූ, සර්‍වශාස්තෘ වූ, සර්‍වඥ වූ, දීපදොත්තම වූ, මුනීන්‍ද්‍ර වූ, භාග්‍යවත් වූ, ලෝකනාථ වූ, විනායක වූ, සුගතෙන්ද්‍ර වූ, මාගේ ස්වාමිදරු වූ, මාගේ චින්තා මාණික්‍ය වූ, මාගේ ම කල්පද්‍රැම වූ, මාගේ ම නිධාන වූ, මාගේ ස්වාමිදරුවෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො;

අත්‍ථානුරූපං අරහං ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං, යි.

මේ පූජාවලියෙහි අප බුදුන් බුදු වන දා ලද

බෝධිමණ්ඩල පූජා කථා නම් වූ එකොළොස් වන පරිච්ඡේදය නිමි.