මෙසේ මේ සත්වන සතියෙහි බුදුවූ එකුන් පනස් දා මුළුල්ලෙහි ආහාර කෘත්‍යයක් නැති ව නිවන්සුව වළඳා දවස් යවු කල බුදු වූ පනස්වන දා උදාසන අරුණු නැගි වේලෙහි ශක්‍රදේවේන්‍ද්‍රයා අමා අරළු සුණුකඩක් ශ්‍රී හස්තයට පිළිගන්වා ලී ය. ඒ දිව්‍ය වූ අරළු වැළඳූකල සිරුරු පිළිදැගුම් විය. එකෙණෙහි මාගේ ස්වාමිදරුවෝ පන්සියයක් යොදුන් උස හිමාලයෙහි සමපනස් යොදුන් අනවතප්ත විලට වැඩ අනන්තාපරියන්ත වූ බුදුන්ට ම නියත ව තුබූ සුගත් නම් තොටට බැස මුඛ ධෝවනය කොට එහි ශක්‍රයා පිළිගැන්වූ මෘදු වූ සිනිඳු වූ නාලිය දැහැටි වළඳා නැවත වැඩ එම කිරිපලුගස මුල වැඩහුන් සේක.