එ කෙණෙහි සහම්පතී මහාබ්‍රහ්මයා “නස්සති වත භො ලොකො විනස්සති වත භො ලොකො”යි කියා දසදහසක් සක්වල දිව්‍ය-බ්‍රහ්මනාග-සුපර්ණ-ගරුඬ-ගන්‍ධර්ව-යක්‍ෂ-රාක්‍ෂස-උෂ්ණවලාහක-අහ්‍රවලාහක-සීතවලාහක-වාතවලාහක-වස්සවලාහක-සිද්ධ-විද්‍යාධරාදි දිව්‍ය සේනා වෙවුල්වා මහහඬින් ගුගුරුවා දසදහසක් සක්වළ දෙවියන් රැස්කොට, එක්ලක්‍ෂ පනස් දහසක් බ්‍රහ්මරාජයන් පිරිවරා, දසදහසක් සක්වළ අනූදහසක් දිව්‍යරාජයන් හා සමග මේ මඟුල්සක්වළට රැස්ව බ්‍රහ්මරාජතෙම අටසාළිස් ගවු උසින්, සත්ගවු සමාර දිග පතුල් හා, දොළොස් ගවු දිග රියන් හා, සහවු දිග වියත් හා, අඩගවු තැන් වසා ලන ඇඟිලි ඇතිව, සොළොස් යොදුන් දිව සළු හැඳ, දොළොස් යොදුන් සළු එකාංශ කොට, සොළොස් ගවු මිණිඔටුනු පැලඳ, තමාගේ දසඇඟිල්ලෙන් දිවූ දස රස්කඳින් දසදහසක් සක්වළ හිරු දහස් සඳුදහස් නැංගා සේ ඒකාලෝක කෙරෙමින් ඒ දසදහසක් සක්වළ හැම දෙවියන් බඹුන් ගෙන මාගේ ස්වාමිදරු වූ, ධර්ම රාජ වූ, ධර්ම චක්‍රවර්ති වූ, බුදුරජාණන් කරා ඒ අජපාල මූලයට දිව තමාගේ දොළොස් ගවු උස දකුණු දණමඬල නමා උක්කුටිකයෙන් හිඳ තමාගේ සඟවු පමණ විශාරද වූ, දොහොත් මුදුනෙහි තබාගෙන: “ස්වාමීනි! බුදු කෙනකුන් ඉපදීම කප් අසඞ්ඛ්‍යයකිනුත් ඉතා දුර්ලභ වන්නේ ය. නුඹ වහන්සේ මේ සාරාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයක් මුළුල්ලෙහි පාරමිතාවන් පුරා දුක් ගත්තේ දම්සක් පවත්වා සියලු සතුන් සංසාරසාගරයෙන් ගොඩනගමි යි සිතා වේ ද. එසේ වූ නුඹවහන්සේ දැන් සද්ධර්මචක්‍රවර්ති ව ධර්මචක්‍රය නො පවත්වමි යි සිතූ යේ, නොයෙදෙයි. නුඹවහන්සේගේ දේශනා නමැති රශ්මීන් ප්‍රබුද්ධාකාර ව හිඳිනා විනෙයජන පද්මයෝ අසඞ්ඛ්‍යගණන, නුඹවහන්සේගේ ධර්මචක්‍රය ඉක්ම පවත්නේවී නම් මම මාගේ ආඥාචක්‍රෙයන් හික්මවා දෙමි”යි “දෙසෙථ මුනින්‍දො ධම්මං, දෙසෙථ භගවා ධම්මං” යනාදීන් කියා ධර්ම දේශනාවට ආරාධනා කෙළේ ය.