තව ද: අප බුදුන් බුදු වන දා ලද බෝධිමණ්ඩල පූජා නම් කවරහ? යත්;
මෙසේ මාගේ බෝධිසත්ත්‍වයෝ එදා රෑ නුවරින් නික්ම මහත් වූ පූජා ලදින් වැඩ එ ගංතෙර අසු රඳවාලා “මේ කිනම් ගඟෙක් දැ”යි අමාත්‍යයා අතින් විචාළ දෑ ය. අමාත්‍යයා “ස්වාමීනි! මේ ගඟ අනෝමා නමැ”යි කී ය. “මාගේ පැවිද්ද ත් අනෝම යයි අලාමක යැ”යි ගඟ නම අසා සතුටු ව අශ්වයාට ගඟ පැනයි විළුඹෙන් සන් කළදෑ ය. අශ්වරාජයා වාලධිය ගත් ඡන්න නම් අමාත්‍යයා සා සමග අටසියයක් රියන් පළල ඇති ගඟ පැන රිදී පවක් වන් වැලිතලායෙහි රිදී පිඬක් සේ සිටියේය. බෝධිසත්ත්‍වයෝ අසුපිටින් බැස මුතුරැසක් වන් ඒ වැලිතලායෙහි සිට ඡන්න නම් අමාත්‍යයා ළඟට කැඳවාලා: “යහළු ඡන්නය තෝ මා පලන් ආභරණ හා මේ අශ්වයාත් නුවරට ගෙන යව. මම මහණ වෙමි”යි කී දෑ ය. ඇමැති ස්වාමීනි මම ද මහණ වෙමි යි කී ය. බෝසතාණෝ කියන්නාහු: තට දැන් පැවිදි නොලැබෙයි. තා මහණ වූවෝතින් මේ ආභරණත් නස්සී. අශ්වයාත් එකලා වෙයි. මපියාණන් හා යශෝධරා දේවීන් හා මා පැවිදි වූ ලෙස නො දනිති. එසේ හෙයින් දැනට තෝ යා. පසුව තා මහණ කරවා ගනිමි”යි තුන්විටක් කියා වැළකූදෑ ය.
මේ ඡන්න නම් අමාත්‍යයා නම් “බුදුකෙනකුන් කාමබන්‍ධනයෙන් ගැළවීමෙහි අනුබල වෙමි”යි කප් ලක්‍ෂයක් කරන ලද ප්‍රාර්ථනා ඇතියේ ය. තෙසු කප් තබා මෙම කප මාගේ බුදුන් ස්වර්ණමෘග ජාතකයෙහි රන්වන් මුවරජ ව ඉපැද මල බැඳි ගිය දා දැක ප්‍රේම උපදවා ඒ මලින් ද ගළවා හැර සිත් සේ වල ඇවිදුනාවන් කෙළේ ය. තව ද: මෙම ඡන්න නම් අමාත්‍යයා මාගේ බුදුන් රෝහන්ත නම් මෘගජාතකයෙහි රෝහන්ත නම් මුවරජ ව ඉපැද මල බැඳි ගිය දා දැක ප්‍රේම උපදවා ඒ මලින් ද ගළවා හැර සිත් සේ වල ඇවිදුනාවන් කෙළේ ය. තව ද: මෙම ඡන්න නම් අමාත්‍යයා සාලිකේදාර ජාතකයෙහි මාගේ බුදුන් ගිරා රජ ව උපන් සමයෙහි හැල්කෙත දී බැඳී ගිය දා දැක ප්‍රේම උපදවා ඒ මලින් ද ගළවා පීඩාවක් නො කොට සාලින්‍දය නම් බමුණා අතට හැර මහත් වූ උපකාර කැරවීය. තව ද: මෙම ඡන්න නම් අමාත්‍යයා ස්වර්ණමයූර ජාතකයෙහි රන්වන් මොනර ව දණ්ඩකීහිරඤ්ඤ නම් පර්වතයෙහි වාසයකොට සසියයක් හවුරුදු ගිය කල මලෙහි බැඳි ගිය දා දැක ප්‍රේම උපදවා කිසි පීඩාවක් නොකොට ඒ මලින් ද ගළවා හැර සිත් සේ ඇවිදුනාවන් කෙළේ ය. තව ද: මෙම ඡන්න නම් අමාත්‍යයා චුල්ලහංස ජාතකයෙහි මාගේ බුදුන් ශ්වෙත හංස රාජ ව උපන් සමයෙහි මලෙහි බැඳුනු දා පීඩාවක් නොකොට ඒ මලින් ද ගළවා ලී ය. තවද: මෙම ඡන්න නම් අමාත්‍යයා මහාහංස ජාතකයෙහි මාගේ බුදුන් හංසරාජන් ව ඉපැද මලෙහි බැඳී ගියදා ඒ මලින් ද ගළවා හළ.