කිරිපිඬු පිළිගැන්වීම

star_outline

එ වේලෙහි ඔබ ඇගින් නැගෙන ප්‍රභාවෙන් නුග ගස සියලු පත්‍රයෝ රන් කැටපත් සේ බබළා පැන නැඟෙති. මෙසේ බාලාකී මණ්ඩලය සේ වැඩහුන් බෝසතාණන්ගේ ශරීර ප්‍රභාව ඒ පූර්ණා නම් දාසිය දැක ඉතා විස්මය පත් ව “අද අපගේ වෘක්‍ෂ දේවතාවන් වහන්සේ විමානයෙන් බැස පියා ස්වහස්තයෙන් ම බත් පිළිගනිමි යි සමානයක් නැති ව ම වැඩහුන් සේකැ”යි සතුටු වූ සිත් ඇතිව ආපස්සේ දිවගෙන ගොස් “නහඬ! සුජාතාව, තීගේ දේවතාවා අද සදෘශයෙන් ම ගසමුල වැඩහුන්නේ ය. තව ද තිට අභිවෘද්ධියක් කෙරෙයි. වහා ගොසින් කිරිබත් පුදව”යි කිව. සුජාතාවෝ ඈ කී බස් අසා ඉතා සතුටින් පිණා “මෙ බඳු වූ සතුටු අසුන් මට කී තොපි අද පටන් මාගේ මහලු දූ ය”යි කියා දූ තනතුරෙහි තබා දුවකට දෙන තනතුරු හා දායාද හා ආභරණ සැපත් දුන්හ. හැම බුදුන් බුදු වන දා ලක්‍ෂයක් වටනා රන් තලියෙන් ම කිරිබත් පිළිගැන්ම ඒකාන්ත ධර්මයක් ම හෙයින් එදා සුජාතාවෝ ද බුදුන්ගේ පිනින් “රන්තලියකින් අද කිරිබත් පුදමි”යි සිතාලා ලක්‍ෂයක් වටනා රන් තලියක් ගෙන්වාගෙන සකස් කොට මැද පියා බත්සැළ ඔසවාගෙන රන්තලිය මුදුනෙහි මුනින් නමාලූහ. එ කෙණෙහි එක බත් හුළකුත් සැළි පල්ලෙහි නො ගෑවී නෙළුම් පතෙක බැඳ ලූ දියත්තක් සේ තලියෙහි වැගිර අඟලක් සා තැනුත් අඩු නො ව තලිය පුරා සම ව සිටගත. ඉක්බිත්තෙන් ඒ බත් තලිය ලක්‍ෂයක් වටනා අනික් රන් තලියකින් වසාගෙන ඒ මත්තෙහි සුදු වස්නකින් වසා, තොමෝ ද ඉස් ශෝධා නහා දෙවඟනක සේ සර්වාභරණයෙන් සැරහී බත් තලිය ඉස් මුදුනෙහි තබාගෙන බෙර සක් තිඹිලි ධජ පතාකාදි මහත් වූ පූජා පෙළහරින් නුග ගස කරා ගොස් බෝසතුන් දැක ඉතා සන්තෝෂ වූ සිත් ඇත්තී රුක් දෙවියා ය යි යන සිතින් දුටු තෙන පටන් ආදරයෙන් නැමි නැමී ගොස් මුදුනෙහි තුබූ තලිය බහාගෙන පිධානය හැරපියා පෙරට තබාලා ස්වර්ණාභිංකාරයෙන් සුවඳ පැන් ගෙන සමීප ව සිටියා ය.

මහා බ්‍රහ්මයා දුන් මැටි පාත්‍රය මේ සාවුරුද්ද මුළුල්ලෙහි ප්‍රයෝජනවත් ව දුතියක බාජනයක් බුදුන් නො පිළිගන්නා හෙයින් එ කෙණෙහි අන්තර්ධාන විය. බෝසතාණෝ සමීපයෙහි තුබූ මැටි පාත්‍රය නො දැක දක්‍ෂිණෝදකය ඉවසූසේක. එ කෙණෙහි සුජාතා තමා ආයාසයෙන් පිසූ පායාස ය රන්තලියෙන් ම බුදුන් අතට පිළිගන්වාලුව බෝසතාණන්වහන්සේ තලිය මාහැඟි සේ දැක සුජාතාවන් මුහුණ බැලූසේක. සුජාතාවෝ අභිප්‍රාව දැන “ස්වාමීනි! තෙල බත් තලිය හා සමගම නුඹවහන්සේට දිනිමි. සිත් සේ පිළිගෙන වැඩ කැමැති තෙනක දී වැළඳුව මැනවැ”යි ආරාධනා කොට පසඟ පිහිටුවා වැඳලා “යම් සේ නුඹවහන්සේ නිසා මාගේ අභිප්‍රාය සිද්ධ වී ද, එසේම නුඹවහන්සේගේ අභිප්‍රායද සිද්ධ වේව”යි කියාලා ගියා ය. මේ සුජාතාවෝ නම් පියුමතුරා බුදුන් සමයෙහි බුදු කෙනකුන් බුදුවන දා කිරිපිඬු දන් දෙමි යි ප්‍රාර්ථනා කොට එ කල දානාදි පින් කොට කප් ලක්‍ෂයක් නරකාදි දුක් නො දැක සසර ඇවිද, අප බුදුන් සමයෙහි බරණැස සිටුදූව ඉපැද ඒ ප්‍රාර්ථනා බලයෙන් මේ කිරිපිඬු දානය බෝසතුන්ට දී උපන් සන්තෝෂයෙන් ලක්‍ෂ්‍යයක් අගනා රන් තලිය පුරාණ පත්‍රයක් කොට ත් නො සිතා තමන්ගේ ගෙට ම ගියාහ.

ඉක්බිත්තෙන් බෝසතාණන් වහන්සේ හුනස්නෙන් පැන නැගී නුග ගස පැදකුණු කොට ලා බත් තලිය අත්ලේ තබාගෙන නෙරංජරා නම් ගංතෙරට ගොස් නොයෙක් දහස් ගණන් බුදුන් බුදුවන දා බැස නහනා සුප්‍රතිෂ්ඨිත නම් තොටට බැස ගංතෙර බත් තලිය තබාලා, ගඟට බැස පැන් සනහා, නොයෙක් ලක්‍ෂ ගණන් සර්වඥවරයන් හඳනා පොරෝනා අර්හත්ධ්වජය දරාගෙන අනන්තාපරියන්ත වූ බුදුන් වැඩහිඳ වැළඳූ ස්ථානයෙහි පූර්වදිග් බලා වැඩහිඳ “අද බුදු වීම් නම් එකුන් පනස් දවසකට මෙම බල යැ”යි එක් කැටි තල් පක් සා එකුන් පනස් පිඬක් ‘එකුන් පනස් දවසකට යැ”යි ඉටාගෙන ඒ මධුර වූ කිරිබත නිරවශේෂ කොට ම වැළඳූසේක. බත් වළඳා ඉක්බිත්තෙන් “මේ රන් තලියෙන් මට කම් නැත. බුදුවීමට කාරණයක් පරීක්‍ෂා කෙරෙමි”යි ඒ තලිය අත්ලෙි තබාගෙන ගංතොට සිට “ඒකාන්තයෙන් අද බුදුවෙම් නම් මේ රන් තලිය උඩුගං බලා සේව යි ඉදින් බුදුවිය නො හෙම් නම් යටිගං බලා යේව යි අධිෂ්ඨාන කොට තලිය ගඟට දමාපී සේක. එ කෙණෙහි දිය කපාගෙන නැවක් දිවුවා සේ ගංමැදට දිව, නැවත උඩුගං බලා අසකු දිවුවා සේ අසූ රියනක් තැන් දිව, එක් සළාවක ගැලී කාළ නම් දිව්‍ය නාගරාජයාගේ භවනයට වැද කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යයි යන තුන් බුදුන් බුදුවනදා වළඳහා හළ රන් තලි තුණ කරා පැමිණ එහි ගැසී රාවක් පවත්වා තුන් තලිය යටට වැදලා තැනී තුබුයේ ය.

ඉක්බිත්තෙන් කාළ නම් නා රජ්ජුරුවෝ තලිය හුණු හඬ අසා තමන් කපක් මුළුල්ලෙහි හිඳිනා ආයු ඇති හෙයින් ආදි තුන් තලියත් හුනු හඬ ඇසූ හෙයින් මේ තලියෙන් හඬ අසා “කොල. ඉන් පෙරවිදාත් එක් බුදුකෙනෙක් බුදු වූ ය. පෙරවිදාත් එක් බුදු කෙනෙක් බුදු වූ ය. ඊයේත් එක් බුදුකෙනෙක් බුදු වූ ය. අදත් එක් බුදුකෙනෙක් බුදු වෙති. කොල බුදු මඟුලට යම්හ”යි නා නළුවන් රැස් කොට පූජා සරහා සිටගත. බුද්ධාන්තරයෙක් නම් දහසක් හවුරුද්දෙක් ඝන අඟලක් වඩනා පොළොව සත් ගව්වක් උස වැඩී ගිය කල මෙසේ වූ දීර්ඝ කාලය ඔහුගේ ආයු බොහෝ හෙයින් ඉය්යේ පෙරවීදා සේ සිතින.

ඉක්බිත්තෙන් බෝසතාණන් වහන්සේ තලිය දිය පිට හැර පියා එ ගඟ සමීපයෙහි සුපිපි සල් වනයකට වැඩ, සල් ගසක් මුල වැඩහිඳ පඤ්ච අභිඥා අෂ්ට සමාපත්ති උපදවාගෙන දිවාභාගය එතැන යවා සවස් වේලෙහි සියලු වන කුසුමයන් නටුයෙන් ගිලිහී හෙන කාලයෙහි සියලු දේවතාවන් විසින් සරහා, බෝමැඩ දක්වා මලින් තනනලද පුළුල අටසියක් රියන්, භේරි තලයක් සේ තැනූ මාර්ගයට පැමිණ අභීත කේශර සිංහරාජයකු සේ, ඒකචාරී ගන්‍ධ හස්තිරාජයකු සේ, බෝධිමණ්ඩලයට අභිමුඛව නික්මුණුසේක.

එ කෙණෙහි ඒ කාළ නම් නාගරාජයා සැට දහසක් නා නළුවන් ගෙන ස්තුති ගී කිය කියා නට නටා පෙරටුව නික්මින. තෙසු නාග යක්‍ෂ ගරුඩ ගන්‍ධර්වාදි දෙවියෝ දිව මල් දිව සුවඳින් පුදමින් යෙති. ඔහු මතු නො වෙති. දසදහසක් සක්වළ දෙවියන් කරන පූජාවෙන් සුවඳින් මලින් සාධුකාරයෙන් සම්පූර්ණව මෙසේ මාගේ ස්වාමිදරුවන් වඩනා වේලෙහි [1]ශාන්ති නම් බමුණෙක් තණ කදක් ගෙන බුදුන් පෙරමගට එනුයේ ස්වාමිදරුවන්ගේ අදහස් දැන මෙයින් ප්‍රයෝජනයක් ඇති වනැයි සිතා එයින් තන අට මිටක් ගෙන ශ්‍රී හස්තයට පිළිගන්වාලීය. ඒ තණ අට මිට ගෙන බොහෝ මරුන්ගේ මාන නමැති මඩ වියලන්නා වූ බෝමැඩ කරා මහා බ්‍රහ්මයා ලූ කුඩය යටින් වැඩ, සිරිමාබෝ කඳට දකුණු දිගැ උතුරු දිග බලා වැඩසිටි සේක. එ කෙණෙහි දකුණු සක්වල පාතාලයෙහි ගැලී උතුරු සක්වළ බමලොව ගැසී පැන නැංගාසේ වැටහින. එයින් පශ්චිම දිග්භාගයෙහි පූර්ව පූර්ව දිග් බලා වැඩසිටි සේක. පෑල සක්වළ ගැලී පූර්ව සක්වළ එසවී ගියා සේ වැටහිණ. උත්තර දිශා බාගයට ගොස් නැවත දකුණු දිග් බලා වැඩසිටි සේක. උතුරු සක්වළ ගැලී දකුණු සක්වළ එසවි උඩ අජටාකාශයෙහි ගැසී ගියා සේ වැටහිණ. “මේ තුන් දිසාවම අචල භූමියෙක් නොවේ”යි හැර නැගෙනහිර දිසාවෙහි ව්‍රජාසන භූමියෙහි පශ්චිම දිග් බලා වැඩ සිටිසේක. ඒ ස්ථානය අචල ස්ථානය හෙයින් නොසැලී සිටීය.

  1. සොත්‍ථිය