ඉක්බිත්තෙන් අඤ්ඤාකොණ්ඩඤ්ඤය, භද්දිය, වප්පය, මහානාමය, අස්සජිය යි යන පෙර කී පඤ්ච වර්ගයෙහි භික්‍ෂූහු ගම් නියම්ගම් රාජධානියෙහි සැරිසරා ඇවිදිනාහු ඒ උරුවෙලාවට වැද බෝසතුන් දුටහ. එතැන් පටන් එක්ව වාසය කොට සාවුරුද්දක් මුළුල්ලෙහි ස්වාමිදරුවන් දුෂ්කර ක්‍රියා පුරන කල “මේ සිද්ධාර්ථ කුමාරයෝ අද බුදු වෙති. සෙට බුදු වෙති”යි මලු ඇම ද නහන බොන පැන් දී වත් පිළිවෙත් කොට දුක් ගෙන සමීපයෙහි වාසය කළාහු ය. බෝසතාණෝ “මේ ශරීරයට ඵාසුවක් කොට බුදු විය නොහැක්කැ යි ඉතා මහත් වූ දුක්අ දී දුෂ්කර ක්‍රියායෙන් මුදුන් පැමිණෙමි”යි දවසෙක තල ඇටක් සා භෝජනයකිනුත් යපී දවස් යවන සේක. හැම පරිද්දෙන් ම ආහාර වර්ජිත කොට මිරිස් කනක් ලද්දාත්, තිබ්බටු කනක් ලද්දාත් දවස් යවන සේක. සමහර දවසෙක බත් හුලකින් වුවත් දවස් යවනසේක. සමහර දවසෙක සුන් බතුත් වන සේක. දේවතාවෝ ආහාර වර්ජිතයෙන් නො නසිත්ව යි සිතා මුඛයෙන් අනුභව නො කරන හෙයින් නවානූදහසක් ලෝමකූපයෙන් දිව්‍ය ඕජස් බහා ජීවිතය රක්‍ෂා කෙරෙති.
ඉක්බිත්තෙන් මෙසේ ආහාර වර්ජිත කිරීමෙන් දුර්වල වත් වත් රන් කඳක් වන් ශරීරය කාලවර්ණ ව ගිය. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෝ ද ශරීරයෙහි ම සැඟවී ගියහ. එක් දවසක් තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි මෙසේ නිරාහාරයෙන් සක්මන් කොට භාවනා කරන්නාහු දසකෙළ දහසක් පුරුෂයන්ට බල ඇති මාගේ ස්වාමිදරුවෝ ආහාර වර්ජිතයෙන් පස්කඳ දරාගත නොහී සක්මන් කෙළවර ගසකින් හුනු පුරාණ පත්‍රයක් සේ බිම වැටී විසංඥ වූ සේක. එ වේලෙහි සමහර දේවතාවෝ “අහෝ ඛේදය, ලොවට හානි විය. මහණ භවත් ගෞතමයෝ බුදු වෙමි යි උත්සාහ කොට බුදු විය නො හී බලව. දැන් මියගියාහු ය”යි සිසාරා සිට හඬති. සමහර දේවතාකෙනෙක් “තව නො මළාහු ය. ඇසිල්ලකින් උපදිති. බුදු නොව ඕහට අන්තරායෙක් නැතැ”යි කියති.
ඉක්බිත්තෙන් එක් දේවතා දුවක් බෝසතුන් විසංඥ ව බිම හුනු විට ම කිඹුල්වතට දිව ශුද්ධෝදන රජ්ජුරුවන්ගේ ශ්‍රි යහන් ගබඩාවෙහි ආකාශයෙහි සිට ආලෝක පතුරුවා රජ්ජුරුවන් පුබුදුවා “කිමෙක් ද? ශුද්ධෝදන රජ්ජුරුවෙනි,” තොප පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ දැන් පරලොව ගියාහුය”යි කිවුය. එ බස් අසා රජ්ජුරුවෝ “මපුතණුවෝ බුදු ව මළාහු ද, නුබුදු ව මළාහු දැ”යි විචාළහ. “බුදු විය නො හී දුෂ්කර ක්‍රියා භූමියෙහි මළාහු ය”යි කීව. එ බස් අසා රජ්ජුරුවෝ “මම තී කී බස් නො ගිවිසිමි මා පුතණුවන් ලොවුතුරා බුදු නො වී මිය යාමෙක් නම් අහසට පොළොව සේ දුරැ”යි කියා නො ගිවිස්සාහ.
මෙසේ තර ව රජ්ජුරුවන් නොගිවිස්නට කාරණ කිම යත්:- එදා කාළදේවල නම් තාපසයන්ගේ ජටාන්තරයෙහි ශ්‍රී පාදය පෙනී ගිය ප්‍රාතිහාර්‍ය්‍යය, දඹගස මුලදී දුටු ප්‍රාතිහාර්‍ය්‍යය යන මේ දෙකාරණයෙන් ප්‍රත්‍යක්‍ෂ ව රජ්ජුරුවෝ නො අදහා “තී සේ වූ දේවතා දූන් සියයක් දහසක් කීවත් මම නො ගිවිසිම් ම ය. මපුතණුවෝ බුදු ව ධම් දෙසා මුත් නො මියෙත් ම යැ”යි ප්‍රතික්‍ෂේප කළාහු ය. ඉක්බිත්තෙන් දේවතා දූ නැවත ගොස් බෝසතුන් පැනනැගී සිටියවුන් දැක සතුටු සතුටුව නැවත දිවගොස් “රජ්ජුරුවෙනි! තොප පුතණුවෝ නො මළාහු ය. ශෝක නො කරව”යි කිව. මෙසේ ම දේවතාවෝ නො එක් වාරයෙහි අවුදින් බෝසතුන් මළහ යි යෙති. නො එක් වර ම රජ්ජුරුවෝ නො ගිවිසිත්ම ය. ඉක්බිත්තෙන් මාගේ බෝධිසත්ත්‍වයන් කරන්නා වූ වීර්‍ය්‍ය අහස හා පොළොව ගැටලන්නා සේ, මහ මුහුද පැන් ඉස්නා සේ, මහමෙර සොලවන්නා සේ, ඉතා උගහට වි ය.
මෙසේ දුක් ගෙන බුදුවිය නොහී “මේ බුදු ව යා හැකි මගෙක් නො වෙයි. දුක් හැරපියා ආහාර පර්යේෂණය කොට කායබල උපදවාගෙන වීර්‍ය්‍ය කොට බුදු වෙමි”යි සිතා නා නා ස්ථානයෙහි ඇවිද භික්‍ෂාටනය කොට මධුර වූ ආහාරය අනුභව කරන්නට පටන්ගත් සේක. නැවත ශරීරය රන්කඳක් සේ ව සැඟවී ගිය දෙතිස් අසූ ලකුණු පහළ විය. එකල පස්වග මහණු “මේ සිද්ධාර්ථ කුමාරයෝ සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා පුරා බුදුවිය නුහුනුවෝ ය. දැන් නානා ස්ථානයෙහි පිඬුසිඟා මධුර වූ ආහාරය අනුභව කොට කවර කලෙක නම් බුදු වෙද්දැ යි, ඉස් ශෝධා නහනු කැමැති ව පිනිබිඳු එක්කරන්නා සේ මෝහට දුක් ගෙන කවර දා වැඩක් විඳිමෝදැ”යි තමන් තමන්ගේ පා සිවුරු ගෙන අටළොස් යොදුන් මඟ ගෙවා ගොස් බරණැස ඉසිපතනයට වැද වාසය කෙරෙති.
එ සමයෙහි එම උරුවෙලා නම් දනව්වෙහි සේනානි නම් නියම්ගම සේනානි නම් සිටකුගේ සුජාතා නම් දුවක් වැඩිවිය පැමිණ අජපාල නම් න්‍යග්‍රොධ වෘක්‍ෂය කරා ගොස් “මේ වෘක්‍ෂයෙහි දේවතාවානෙනි, මම් මතු සම වූ ජාති හා ධන රුව ඇති සිටකු කෙරේ සරණ රැකි කුළුඳුලෙහි පුතෙකු ලදිමි නම් එ තැන් පටන් හවුරුදු පතා ලක්‍ෂයක් අගනා කිරිබතකින් තොපට පූජා කෙරෙමි”යි යාදිනි කළා ය. පසු ව ඕතොමෝ බරණැස සිටාණන් කෙරේ වැස කුළුඳුලෙහි යස නම් පුතකු ලදින් හවුරුදු පතා ඒ නුගගස දේවතාවාට බිලියම් දෙයි. එ කල මාගේ බුදුන් දුෂ්කර ක්‍රියා පුරා සාවුරුද්දක් ගියකල බුදු වන වෙසඟ මැදි පොහෝදා දේවපූජා කෙරෙමි යි ඒ සුජාතාවෝ පළමුව දහසක් දෙනුන් වැල්මී වෙනෙහි කවා උන්ගෙන් දහසක් කිරි බඳුන් දෙව. ඒ කිරි කකාරා පන්සියයක් දෙනුන් පොවා, ඒ දෙනුන්ගේ කිරි දෙව කකාරා දෙසිය පනස් දෙනකු පොවා ඔවුන්ගේ කරි දෙව කකාරා එකසිය පස්විසි දෙනකු පොවා, උන්ගේ කිරිදෙව කකාරා සූසැට දෙනකු පොවා උන්ගේ කිරි දෙව කකාරා දෙතිස් දෙනකු පොවා. උන්ගේ කිරිදෙව කකාරා සොළොස් දෙනකු පොවා, උන්ගේ කිරි දෙව කකාරා මඟුල් දෙනුන් අටදෙනෙකු පොවා, මෙසේ ඒ දහසක් දෙනුන්ගෙන් දෙව් කිරි අට පරම්පරාවකින් බොල් ව මියුරු වූ කල එදා උදාසන ඒ දෙනුන් අටදෙනාගේ කිරි දෝනා සඳහා වස්සන් මුදාලූ කල වස්සෝ බුරුලුවල තොලු නො ලා සිටිති. එ විගස [1]භාජනයන් පැලූ වේලෙහි ක්‍ෂීරධාරාවෝ ඒකධාරා ව තුමූ ම වැගිරී බදුන් පුරා ඉතිර සිටගත්හ.
-
නවුම් ↑