එ කෙණෙහි දසදහසක් සක්වළ ශක්‍රබ්‍රහ්මාදි දෙවියෝ “උතුමා අද බුදු වෙයි. ඔහුගේ බුදුමඟලට යම්හ”යි කියා අවුදින් රැස්ව බෝමැඩ පටන් සක්වළ වටා සිටගෙන නොඑක් පූජාවට පටන් ගත්හ. එ කෙණෙහි වශවර්ති මාරයා දැක බා සැඟවුනා සේ පළමු කොට හිරු අස්ත පර්වතයෙන් සැඟවී ගිය. පුන් සඳ ස්වාමිදරුවන් අභිමුඛයට පුදාලූ රිදී කැටපතක් සේ උදයගිරි පර්වතයෙක් බබලා පැනනැංග. එ කෙණෙහි වශවර්තිමාරයා ‘සිද්ධාර්ථ කුමාරයා මහණ වන්නට යන දාත් මා නො යවයි කියව කියවා පලා ගිය. ගිය සාවුරුද්දෙත් මට අවකාශයක් නො පෑයේ ය. දැන් බුදු වෙමි යි වජ්‍රාසන නැගී හිඳගත. දැන් ඇසිල්ලක් පමාවීම් නම් බුදුව මට බොහෝ පරිහානි කෙරෙයි. අද ඔහු බුදු විය නො දෙමි”යි සිතා තමාගේ මර සෙනඟ රැස්කොට මෙ පවත් කියාලා තමාගේ වශවර්ති ඝෝෂාව නම් වූ මහ බෙරගස්වා ලීය. ඒ භේරිඝෝෂාව බ්‍රහ්මාණ්ඩය ගසා ඇසී ගිය. හැම දිව්‍ය බ්‍රහ්මයෝ වෙවුලා ගියහ. හැම දෙවියන් ඇස් පිහී ගිය සියලු සතුන් සිත් ඉපිල ගිය. එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ ඒ භේරිඝෝෂාව අසා තමන්වහන්සේගේ බුදුමඟුලට ගැසූ තිඹිලි බෙරක් සේ කොට සිතා “වශවර්ති මාරයා මා කරා එන වනැ”යි සිතා “අද මාගේ වික්‍රම මුළු ලෝ වැසියෝ දක්නා වන්හ”යි සිතා උපන් සන්තෝෂයෙන් නිශ්චලව වැඩහුන් සේක.
ඉක්බිත්තෙන් ඒ භේරිඝෝෂාව අසා ඔහුගේ මාර සේනාව “අපගේ මර දෙව්පිත් අද මහා සංග්‍රාමයක් කරන වනැ”යි නන් අවිගෙන දිව අවුදින් ඔහු පිරිවරා සිටගත්හ. එකල වශවර්ති මාරයා යෙළ සියයක් යොදුන් ගිරිමේඛලා නම් ඇත්රජකු පැන නැඟී සිද්ධාර්ථ කුමාරයාට අද එක ආයුධයක් ගනිම් දැයි සිතා ලා පන්සියයක් හිස් මවාලා ගිනිවට සේ දහසක් රතැ’ස් මවා, දෙක පෝලයෙන් නික්ම තිබෙන භයඞ්කාර වූ දහසක් දළ මවා, දහසක් අත් මවාගෙන චක්‍ර තෝමර භෙණ්ඩිවාල අසිකණය කම්පනාදි වෙන වෙන දහසක් ආයුධ ගෙන, දසදසක් නඛසැත් හා සමග රතැස් බමා පිටිතොල් කකා “මට හිමි සෙනඟෙක් ඇත්නම් මාගේ සතුරා සාධා දෙව”යි කිය කියා නික්මින. එ කෙණෙහි ඔහුගේ වශවර්ති සේනාව ද ඉගිලී ගියහ. තෙමේ තමාගේ මහ සෙනඟ බලා “මා යන බව මුත් සිද්ධාර්ථකුමාරයා ජය ගෙනලිය නොහැක්ක. මහත් වූ මායම් දනිති. මහත් වු තේජස් ඇතියේය. ඉදිරියෙන් ගියෙම් නම් දුර දී ම දැක නො සැලී ම හින්දී. දසදික් නො බලමි යි අධිෂ්ඨාන කොට හිඳගත. පිටිපසින් ගියකල මාගේ මාර ඝෝෂාව අසා පිටිපස බලා තමා කර සොල්වා තමාගේ චතුරඞ්ග අධිෂ්ඨානය බිඳපියවයි. ඒ අවකාශයෙහිදී ඔහු පිටිපසින් ගොස් අල්වා ගනිමි”යි පශ්චිම චක්‍රවාට මුවවිටට බැස මර සෙනඟ මෙහෙයා නික්මිණ. ඒ කෙණෙහි ඔහුගේ යක්‍ෂ සේනාව [1]ඉදිරි පිටින් අටසාලිස් ගව්වෙක දිවෙති. දකුණැළයෙන් අටසාළිස් ගව්වෙක දිවෙති. වමැළයෙන් අටසාළිස් ගව්වෙක දිවෙති. ආකාශයෙහි බොලින් සතිස් ගව්වෙක හිවී ගැවසී දිවෙති. පිටිපසින් සක්වළ ගල පටන් මාර සේනාව මුහුදු රළ පෙළක් සේ දිවෙත්මය.
ඒ මර සෙනඟගේ ඝෝෂාව ඉදිරියෙන් සාරසියයක් ගව්වෙහි පොළොව පෙරළෙන හඬ සේ ඇසෙයි. මේ සා මරසෙනඟෙහි දෙදෙනෙක් එක් වෙසක් නොගත්තාහ. දෙදෙනෙක් එක්වැනි ආයුධයක් නො ගත්තාහ. සමහරු අස් වෙස් මවා දිවෙති. සමහරු ඇත් වෙස් ගෙන දිවෙති. සමහරු සිංහවෙස් ගෙන දිවෙති. සමහරු මහිෂ වෙස් මවා දිවෙති. සමහරු වෘෂභ වෙස් මවා දිවෙති. සමහරු සුනඛ වෙස් ගෙන දිවෙති. සමහරු ගුරුළු වෙස් මවා දිවෙති. සමහරු කපුටු වෙස් මවා දිවෙති. සමහරු ලිහිණි වෙස් මවා දිවෙති. සමහරු නා වෙස් මවා දිවෙති. සමහරු පොළොං වෙස් මවා දිවෙති. සමහරු පිඹුරු වෙස් මවා දිවෙති. සමහරු රාක්‍ෂස වෙස් මවා දිවෙති. සමහරු යක්හඬ ගසා දිවෙති. සමහරු පර්වත ගසා දිවෙති. සමහරු සර්පායුෂ ගෙන දිවෙති. සමහරු මහ රුක් උපුරා ඉස සිසාරා දිවෙති. සමහරු ගිනිවට ගස ගසා දිවෙති. මෙසේ නොයෙක් වෙස් ගෙන දිවුනෙත්තී පිරිස සක්වළ ගල පටන් අතුරු නො දී බෝමැඩ සිසාරා සිටගත්හ. එ කෙණෙහි මර සෙනඟ බෝමැඩ කරා එත් එත් මාර ඝෝෂාව ඇසෙත් ඇසෙත් පිරිවරා සිටී. දසදහසක් සක්වළ දෙවියන් අතුරෙන් එක දෙවියෙකුත් සිටි පිය නුහුනුයේ ය. කාළ නම් නා රජ්ජුරුවෝ සැට දහසක් නා නළුවන් ගෙන දහස් ගණන් ස්තුති ගී කිය කියා නටමින් සිටියාහු. එ කෙණෙහි පොළොව කිමිදගෙන තමන්ගේ පන්සියයක් යොදුන් මාඤ්ජරික නම් නාග භවනයට වැද දෑතින් මූණ වසාගෙන “අහෝ සිද්ධාර්ථකුමාරයන්ගේ රූසිරි අද නටැ”යි කිය කියා යහන් මතුයෙහි මුහුණින් වැටී ඔත්තාහු ය.
ඉක්බිත්තෙන් දසදහසක් සක්වළ සෙසු ශක්‍රයෝ තමන් තමන් අත තුබූ දස දහසක් ජය සක් අතින් දමා පියා තමන් තමන් සිටි සිටි දිගින් ම දිවපීහ. අපගේ මේ මගුල් සක්වළ සුජම්පති නම් ශක්‍රයෝ තමන් මේ මගුල් සක්වළ උපන් හෙයිනුත් මහ පින් බල ඇති හෙයිනුත්, මහා ධෛර්යය ඇති හෙයිනුත් තමන්ගේ ජයසක බිම හෙළා නො පියා පිට වතුරුවාගෙන දිවන්නාහු තමන්ගේ ශක්‍රපුරය බලා නො ගොස් සක්වළ ගල මුදුනට නැඟී කර නඟා බෝමැඩ දිසාව බල බලා සිටියහ. මෙසේ ම දස දහසක් සක්වළ සුයාම සන්තුෂිතාදි දෙවියෝ තමන් තමන් අත තුබූ තල් වැට චාමරාදි පූජා භාණ්ඩයන් දම දමා සිටි සිටි දිගින් පැලහ. දස දහසක් සක්වළ සම්පත් මහා බ්‍රහ්මයෝ දස දහසක් සේසත් සඳමඬුලු සේ සක්වළ මුවවිටියෙහි තබ තබා දිවපූහ. එතෙක් දෙවියන් අතුරෙන් එක දේවතාවෙකුත් සිටපිය නුහුනුයේ ම ය. මාගේ ස්වාමිදරුවෝ ඒ දෙවියන් ඇම පැලකල ඇත් සෙනඟක් දුටු සිංහපොව්වකු සේ ලෝමයකටත් භය නැතිව මහ මෙර සේ නො සෙල්වීම වැඩහුන් සේක්ම ය.
එසේ හෙයින් කියන ලදි.
විභඞ්ගමානං ගරුළොව මජ්ඣෙ
මජ්ඣෙ මිගානං පරමො‘ව සීහො,
මහායසො මාරබලස්ස මජ්ඣෙ
විසාරදො වීතභයො නිසීදි යි.
එ වේලෙහි උතුරු දිගින් දිව වන් මරසෙනඟ දැක ‘මෙ තෙක් සත්ත්‍වයෝ එකලා වූ මට ම යුද්ධයට ආවාහු ය. මෙ තැන මාගේ මවු පිය කෙනෙක් වේව යි, මල්බෑ කෙනෙක් වේව යි, අනික් කිසි කෙනෙක් වේවයි නැත. එ බැවින් මේ සාරාසංඛෙය්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි අත් නො හැර ආවා වූ මාගේ සත්‍ය පාරමිතාව ම මෑණියෝ නම. ගැඹුරු වූ මාගේ ප්‍රඥා පාරමිතාව ම පියාණෝ නම. මා දත්තා වූ ධර්මය ම අනුබල වූ මල්බෑයෝ නම. මාගේ මෛත්‍රී පාරමිතාව ම කල්‍යාණමිත්‍රයා නම. මාගේ අචල වූ ශ්‍රද්ධා තොමෝ ම ප්‍රිය වූ කාන්තා නම, මාගේ ක්‍ෂාන්ති පාරමිතාව ම අනුබල වූ පුත්‍රයා නම. මේ මාගේ නෑයන් සදෙනාට මා මෙතුවක් කල් මුළුල්ලෙහි එක දවසකුත් එක පැයකුත් කිසි ම හානියක් නො කොට රක්‍ෂා කෙළෙම් ම ය. එසේ හෙයින් මාගේ මෙ තැන ජීවිතය සමාන නෑයෝ ඇත. තව ද මෙතුවක් කල් මුළුල්ලෙහි මා අත් නො හැර විසුවා වූ මා විසින් රක්‍ෂාකරන ලද්දා වූ මාගේ සමත්‍රිංශත් පාරමිතා නමැති මහා යෝධයෝ තිස්දෙන අද මා රක්‍ෂා කෙරෙත් ම ය. එසේ හෙයින් බල යෝධයනුත් මම ඇත්තෙමි. තවද මාගේ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයෝ මාගේ මහා මන්ත්‍රී නම.
තව ද මාගේ නව දහස් අසූකෙළ පනස් ලක්‍ෂ සතිස් මහා සංවරශීල සමූහයෝ ම මහ බල සෙනග නම. එසේ හෙයින් මාගේ ශීල බල සේනාව අද මෙ තැන මා අත්හැර නොයෙත් ම ය. තව ද මාගේ ගම්භිර වූ ගුණ සමූහය ම ගැඹුරු වූ මහ අගල නම. මාගේ ප්‍රසන්න වූ මෛත්‍රී සමූහය ම එහි පුරා තිබූ දිය සසමූහය නම. එසේ හෙයින් මාගේ මේ මහ අගල මා කරා අද සතුරන් වැද්ද නොදෙත් ම ය. තව ද මාගේ පාරමිතා නමැති හුළින් බැඳ නගන ලද තේජෝ මහ පවුර බ්‍රහ්මාණ්ඩය ගසා උස්ව සිටියේ ම ය. එසේ හෙයින් ඒ ප්‍රාකරය පැන මර සතුරා වැද්ද නොහේ ම ය. මේ මාගේ විශේෂයෙන් රක්‍ෂාකරන ලද චතුපාරිසුද්ධි සීලයෝ සතර දෙන ම සතර මහ වාසල් නම. මේ මාගේ ඉන්‍ද්‍රිය සංවර ශීලය ම පක්‍ෂපාත වූ ද්වාරපාලයා නම. එසේ හෙයින් ඒ මාගේ ද්වාරපාලයා අද සතුරන්ට වාසල් නො හැර මා රක්‍ෂා කෙරේ ම ය. මාගේ මේ වජ්‍රාසනය ම හස්ති වාහන නම. මාගේ මේ ජයශ්‍රී මහා බෝධිය ම සතුරන් පරදවන ජය සේසත නම. එසේ හෙයින් මා නිසා උපන් මොහු දෙදෙනත් අද මා හැර නොයෙත් ම යැ”යි යනාදීන් මෙසේ මාගේ ස්වාමිදරුවෝ තමන් වහන්සේගේ පාරමිතා නමැති සේම වූ මහ නුවර මවා ශීල නමැති සෙනගින් කඳවුරු බැඳ සුදර්ශන මහනුවර මහ පිරිස් පිරිවරා හුන් සුදර්ශන නම් චක්‍රවර්ති රජහු සේ මාගේ ඒ ධර්ම චක්‍රවර්තීන් වහන්සේත් නිර්භීත ව වැඩහුන් සේක් ම ය.
මෙසේ වැඩහුන් කල ඒ වශවර්තිමාරයා පිටිපසින් බෝමැඩ දරා දිව අවුදින් බුදුන්ගේ තේජසින් ළංවිය නොහී “මහ පවනක් මෙහෙයා පවන් පහරින් ගසා පරසක්වළ හෙළමි”යි සිතාලා ප්‍රචණ්ඩ වූ පවනක් මෙහෙයා ලී ය. දිවන මහ සුළං යොදුන් දෙ යොදුන් පමණ ගල්කුළු උපුරාගෙන මහරුක් බිඳගෙන කල්පාන්ත වාතයක් සේ දිව අවුදින් මාගේ ස්වාමිදරුවාණන්ගේ මෛත්‍රී පුණ්‍ය ප්‍රභායෙන් බෝධිද්‍රැමයෙන් පත්‍ර ශාඛාවකුත් සොලවා ලිය නොහී, සිවුරු කණක් ලෝමයකුත් කම්පිත කොට ගත නොහී, මිහිරි වූ සුවඳ මඳ පවනක් සේ ශරීරයට සුව පහස් දී පූජා කොට ගියේ ය.
ඉක්බිත්තෙන් වසවත් මර දිව අවුදින් ‘සිද්ධාර්ථ කුමාරයා සුළං පහරින් ගොස් කවර සක්වළෙක වැටී ගියේ දෝ හෝ”යි බලනුයේ ස්වාමි දරුවන්ගේ උදයගිරි පර්වතයෙන් පැනනැගී ලහිරු මඬලක් සේ දිලියෙන ශරීරය දැක නැවත දණ්ඩෙන් ගැසූ නයකු සේ කිපී “ඝන වර්ෂාවක් වස්වා සැඩ වතුරෙන් මොහු පලවා මුහුදු බත් කොට මරමි”යි සිතාලා කල්පාන්ත වර්ෂාවක් සේ මහත් වූ මේඝයක් මවාලී ය. එකෙණෙහි ඔහුගේ දිව්‍යානුභාවයෙන් ශතපටල සහස්‍ර පටල නගාලා දස දිගින් මේඝ නාද පතුරුවා සිය ගණන් අකුණු සෙණ විදුලිය ගස ගසා, තල් කඳ පොල් කඳ සා ජලධාරාවෝ මහපොළොව සාරාගෙන දිවන්නාහු ඒ මහ සැඬවතුරු නොයෙක් තුරු දහස් ගලාගෙන බෝමැඩ කරා වැද මාගේ ස්වාමිදරුවාණන්ගේ සිවුරු කණක් පමණක් තෙමාලිය නොහී උන්වහන්සේගේ විඩා නිවා බුදුමගුලට පොකුරු වැසි පූජා කොට ගියේය.
ඉක්බිත්තෙන් “ශ්‍රමණ භවත් ගෞතමයෝ අද බුදුවන්නට රිසි පැලෑ දෝ හෝ සැඬ වතුරෙන් ගොස් කවර මුහුදෙක වැටී ගියේ දෝ හෝ”යි බලනුයේ මාගේ ස්වාමි දරුවාණන්ගේ අභ්‍ර ය, මහික ය, ධූම ය, රජස ය, රාහු යයි යන පඤ්චොපක්ලේශයෙන් විරහිත වූ පූර්ණ චන්‍ද්‍රයා සේ දිලියෙන්නා වූ ශ්‍රී මුඛය දැක ප්‍රහාර ලත් මතැතකු සේ කිපී “මොහු අද මිරිකා සුණු විසුණු කෙරෙමි” මහත් වූ පර්වත වර්ෂාවක් වස්වා ලී ය. එ කෙණෙහි යොදුන් දෙ යොදුන් සා ගිනි ගෙන දිලියෙන ලක්‍ෂ ගණන් පර්වත ආකාශයෙන් බෝමැඩ කරා දිව අවුත් මාගේ ස්වාමිදරුවන්ගේ ශීල තේජසින් ඒ පර්වතයෝ පෙරළී සුවඳ මල් වට ව බුදුන් වටා පෙළ මල් පූජාවක් සේ සිටගත එ කල වසවත් මර “කිමෙක් දෝ හෝ, ගොයුම් මහණ සුණු විසුණු ව ගියෝ දෝ හෝ බෝමැඩ හිඳිනට රිසි පැලෑ දෝ හෝ”යි බලනුයේ මාගේ ස්වාමිදරුවන්ගේ රන් කැටපතක් සේ දිලියෙන ශ්‍රී මුඛය දැක
තව ද නියපිට ගල් ගැසූ මතැතකු සේ කිපී “මොහුගේ රන්වන් වූ ශරීර හා තෙල කන් නාසා ලියා හරවමි”යි අබිවැස්සක් වස්වා ලී ය. එකෙණෙහි ඒක ධාරාය, ද්විධාරාය, කඩුකොන්ත ශර තෝමරාදී ඒ සූක්‍ෂ්ම වූ ආයුධ වර්ෂාවෝ ආකාශයෙන් බැස මාගේ බුදුන්ගේ සූක්‍ෂ්ම වූ ප්‍රඥා පාරමිතා බලයෙන් ඒ නන් නන් පෑ ඇති ආයුධයෝ ද පෙරළී පෙළමල් පූජාවක් මෙන් සිට ගත්හ. ඉක්බිත්තෙන් ‘මහණ භවත් ගෞතමයෝ අවි පහරින් කැපී ගියේ දෝ හෝ”යි බලනුයේ මාගේ ස්වාමිදරුවන්ගේ රන් පියුමක් සේ බබලන මුව පියුම දැක ගින්නට පිදුරු දැමුවා සේ කිපී “අද මොහු දවා හළු කෙරෙමි”යි අඟුරු වැස්සක් මවා ලී ය. ඒ සහළගුරු ධාරාවෝ දිව මාගේ ස්වාමිදරුවන්ගේ පාරමිතා තේජසින් පෙරළී පද්මරාග මාණික්‍ය පූජාවක් සේ ශ්‍රීපාද මූලයෙහි වගුළහ. ඉක්බිත්තෙන් ඒ මර දෙව්පිත් “සිදුහත් කුමර ගින්නෙන් දා මළේ දෝ හෝ, වජ්‍රාසනයට ලොභ පැලෑ ගියෝ දෝ හෝ”යි සතුටු ව බලනුයේ අඳුරු බිඳ පර්වත මුදුනෙක ඝන රන් කඳක් සේ දිලියෙන මාගේ ස්වාමිදරුවන්ගේ ශ්‍රී ශරීරය දැක ගිනි දුටු ලුණු සේ තට තටයා දත් කකා කිපී ගිනිගෙන දිලියෙන අළු වැස්සක් බුදුන් මුදුනේ වස්වා ලී ය. ඒ අළු වර්ෂාව අන්තර්ධාන ව මාගේ ස්වාමිදරුවන්ගේ බුදු මඟුලට සඳුන් හුණු පූජාවක් සේ විය.
තව ද “ගොයුම් මහණ හුණු අළුයෙන් මෙළේ දෝ හෝ”යි බලනුයේ මාගේ ස්වාමිදරුවන් සඳුන් රුකක් සේ සිහිල් වූ ශ්‍රී ශරීරයෙන් වැඩහුන්නවුන් දැක තව ද අප්‍රසාද ව තෙල් දුටු ගිනි සේ කිපී වැලි වරුෂාවක් වස්වා ලී ය. ගිනිගෙන දිලියෙන්නා වූ සියුම් වූ ඒ වැලි සමූහයෝ බුදුන් කරා පැමිණ බුදු මඟුලට පිදූ දිමුතු මුතු තලාවක් සේ පූජා කොට සිට ගත්හ. තවද බලනුයේ සුපුෂ්පිත වූ ශාලද්‍රැමයක් සේ ශෝභාවත් ව වැඩහුන් බුදුන් දැක සුළං දුටු ගිනිකඳක් සේ කිපී තව ද ගිනිගෙන දිලියෙන කළල් වැස්සක් වස්වා ලී ය. ඒ වර්ෂාව මාගේ බුදුන් කරා පැමිණ බුදු මඟුලට ගෙනා ගඳ කළල් සමූහයක් සේ පූජා වෙමින් සිටගත. තව ද “කිමෙක් දෝ හෝ”යි බලනුයේ දෑරඟ මිණි රුවනක් සේ දිලියෙන බුදුන් දැක චතුරංගයෙන් යෙදුනා වූ ඝන අඳුරක් මවා ලී ය. තව ද ඔහු මැවූ ඒ ඝනාන්‍ධකාරය බුදුන් කරා පැමිණ හිරු දුටු අඳුරක් සේ අන්තර්ධාන ව ආලෝකයෙන් පූජා කෙළේ ය. “කිමෙක් දෝ හෝ ගොයුම් මහණ අන්‍ධකාරයෙන් මූර්ච්ඡා වී දෝ හෝ තවත් විදුරස්නේ ම උන්නේ දෝ හෝ”යි බලනුයේ පර ව නටුයෙන් ගිලිහුණු කනක තාල ඵලයක් සේ මාගේ ස්වාමිදරුවන්ගේ මෛත්‍රීන් පිරුණා වූ ශ්‍රී මුඛය දැක තව ද සිංහයකු දුටු ඇත් පොව්වකු සේ බුදුන්ට කිපි කිපී මෙසේ වාත යුද්ධය, වර්ෂා යුද්ධය, පර්වත යුද්ධය, ආයුධ යුද්ධය, අඞ්ගාර යුද්ධය, භෂ්ම යුද්ධය, වාලුකා යුද්ධය, කළල් යුද්ධය, අන්‍ධකාර යුද්ධය යි යන නව මහා යුද්ධයකින් මාගේ ස්වාමිකරුවන්ට කිසි හිංසාවක් කළ නුහුනුයේ තමා කළ කළ යුද්ධය ම උන්වහන්සේට පූජා වන සේ දැක බුදුන්ට ළංවිය නොහී දුරු ව සිටිනා තමාගේ මර සෙනග බලා කිපී “කොල! හැම සිටුන. තෙල සිද්ධාර්ථයා වහා ගනුව, අනුව, සිඳුව, බිඳුව, විදුව, බඳුව, ගෙනව, සුණු විසුණු කරව, බුදු වීමට රිසි පලවව, ඔහු නො යා දෙව”යි කිය කියා තමාගේ ගිරිමේඛලා නම් ඇතු මෙහෙය මෙහෙයා චක්‍රායුධ ය ඔසවාගෙන ස්වාමිදරුවන්ගේ අභිමුඛයට අවුත් සිට සිසාරා බුදු බඳට චක්‍රායුධය දමා ලී ය.
ඒ චක්‍රායුධය ඉදින් දමාලුව හොත් එක්ලක්‍ෂ අට සැට දහසක් යොදුන් මහමෙර හුණ කිළිලක් සේ පොලු ගසා දෙකට කොට පියා හිස පලා යේ ම ය. මුහුදට ගැසුවහොත් මුහුද දිය වියලා සිස් කෙරේ ම ය. අහසට දැමුව හොත් දොළොස් හවුරුද්දක් වැසි නැති කෙරේ ම ය. මෙසේ ආනුභා සම්පන්න ඒ චක්‍රායුධය මාගේ ස්වාමිදරුවන්ගේ බඳට ගැසුවා ළංවිය නොහී ආකාශයට දැමූ අහස්පතක් සේ, වෙවුල වෙවුලා පැන නැඟී ඔබගේ මහත් වූ පුණ්‍යානුභාවයෙන් මල් වියනක් පිදුවා සේ, සිරසට පූජා කෙරෙමින් දිලිහි දිලිහී සිටගත. ඒ චක්‍රායුධය මරහු දමන්නා දුටු මර සෙනග “කොල! එතෙකින් සිද්ධාර්ථ කුමාරයා බලනු කිමෙක් ද? එතෙකින් නට ම ය. අපගේ මාර දිව්‍ය පුත්‍රයා තමාගේ ආත්ම රක්‍ෂාවට තුබූ ඇති දෑ පටන් කිසි තැනකට නොහළ චක්‍රායුධය සිසාරා දමන්නහුය. එතෙකින් බලනු කිම් දැ”යි මහත් වූ පර්වත සිසාරා එක පැහැර දමාලීය. ඒ ලක්‍ෂ ගණන් පර්වතයෝ බුදුන් කරා පැමිණ සුවඳ මල්වට සේ පූජාවෙමින් සිට ගත්හ. එ කෙණෙහි සෙසු දේවතාවෝ සක්වළගල වටා සැඟවි සැඟවී සිට කර ඔසවා බල බලා “අද සිද්ධාර්ථ කුමාරයන්ගේ රූපශ්‍රී ගිය. වසවත් මර චක්‍රායුධය දැමී ය”යි කිය කියා භයගෙන සිටිති.
එ කෙණෙහි වසවත් මර චක්‍රායුධයෙනුත් බුදුන් සොලවාලිය නොහී ඉදිරියෙහි සිට කප් ගින්නක් සේ කෝපාග්නීන් දිලිහි දිලිහී පිටිතොල් දත් කකා රතැස් බම බමා දහසක් අතින් ගත් දහසක් අවි බුදුන් අභිමුඛයට අමෝරා “දැන් දැන් තා දෙ කකුල ගෙන පරසක්වල ගසමි. මාගේ තෙල වජ්‍රාසනයෙන් වහා නැඟී සිටැ යව”යි කී ය.
සෙසු සර්වඥවරයන් බුදු වන දා මාරයෝ මෙසේ ම දිව පර සක්වළ මුවවිට සිට හෝ යොදුන් සිය ගණනෙක සිට හෝ ඒ ඒ බුදුන්ගේ පුණ්‍ය ප්‍රභාවයෙන් දිලියෙන ශ්‍රි මුඛය දැක බුද්ධ තේජසින් වෙවුලා පැරද පලා යන්නාහු ම ය. මාගේ ස්වාමිදරුවෝ වෙස්සන්තර ජාතියෙහි ජාලිය කුමාර - කෘෂ්ණජිනා නම් දරු දෙදෙනා ජූජක බමුණාට දන් දී ඔහු දරුවන් මර මරා පිටින් ලේ වගුර වගුරා බැඳගෙන යන වේලෙහි කෘෂ්ණජිනා නම් දියණියෝ තමන්ගේ රන් පියුමක් වන් මුඛය පියාණන් අභිමුඛයට දක්වාලා:
වං තං කණ්හා ජිනාවොච - අයං මං තාත බ්‍රාහ්මණො,
ලට්ඨියා පතිකොටෙති - ඝරෙ ජාතංව දාසියා - යි.
යන මේ ගය කිය කියා ඇඬුවාහු ය. එ වේලෙහි මාගේ ස්වාමි දරුවාණන් වහන්සේ දියණියන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් මහත් වූ ශෝක කොට “දරු දීම් තබා බුදු විම් තබා ලෝ වැඩ තබා දිවගෙන ගොස් බමුණා හූ වැටියක් සේ බැඳ පෙරළා පියා මාගේ දරුවන් හැරගෙන එම් දෝ හෝ”යි හීන වීර්‍ය්‍ය ව විතර්කයක් සිතූ සේක. ඒ අඩුව හේතු කොට ගෙන අවුදින් ඒ වසවත් මර බෝමැඩට වැද ‘තෙල හස්නෙන් බැසපිය”යි භයඞ්කාර වූ බස් කීය. එසේ ද වුවත් මාගේ ස්වාමිදරුවාණෝ නිර්භීත ව වැඩ හිඳ සිනාවක් පහළ කොට තමන්වහන්සේගේ මුඛ නමැති පද්මය විවෘත කොට කුරවීක නාදයක් සේ ලීලොපෙත වූ ශබ්දයෙන් වදාරන සේක් “පාපී වූ වශවත්ති මාර ය! මේ වජ්‍රාසනය නිසා සාරාසංඛෙය්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි පාරමිතා පුරා මහ පොළොව පරයා ඇඟ මස් ලියා දිනිමි. මුහුදු පරයා ලේ දිනිමි. මෙර පරයා ඉස් දිනිමි. තරු පරයා ඇස් දිනිමි. මේ වජ්‍රාසනය ම පත පතා ජීවිතය සමාන වූ අඹු දරුවන් බැඳ දුන් වැල් ගොඩ ම මෙසේ වූ මෙරගල් දහසකටත් උස්ම ය. සමතිස් පැරුම් පිරීමි. රාජ්‍යය දන් දිනිමි. එසේ හෙයින් මේ වජ්‍රාසනය මට ම හිමි ය. එක කලෙකත් පෝසකක් සා මස් කැටියකුත් දන් නො දී, ඇඟින් ලේ බින්දුවකුත් දන් නො දී, ඇසකුත් දන් නොදී, ඉසකුත් දන් නොදී, අඹු දරු කෙනකුනුත් දන් නොදී, පාරමිතාවකුත් නුපුරා, මේ අස්න තට කෙසේ හිමි වී ද, මට කෙසේ නොහිමි වී ද, තාගේ කල තාගේ වශවර්ති භවනයෙහි නො නැඟි මාගේ මේ බෝමැඩ පැන නැංගෙනැ”යි වදාළ සේක. එ බසට වසවත් මර කිපි කිපී මම් තට වඩා පැරුම් පිරීමි, ඉස් ඇස් මස් ලේ අඹු දරුවන් තට වඩා මම දිනිමි. එසේ හෙයින් මේ වජ්‍රාසනය මට ම නැංග. නො දොඩා වහා පැන නැඟෙව”යි කී ය. එ කල මාගේ ස්වාමි දරුවෝ “පාපී වූ වශවර්ති මාරය, මම ත් “පැරුම් පිරීමි”යි තොයිත් “පැරුම් පිරීමි”යි කියයි. තට දෙස්සු කවුරු”යි වදාළ සේක. එ කෙණෙහි වශවර්ති මාරයා මර සෙනගට දහසක් අත් දිගු කොට “මාගේ මර සෙනග දෙසැ”යි කීය. එකෙණෙහි යක්‍ෂ සේනාව ‘අපි දෙසැ”යි “අපි දෙසැ”යි අත් නඟා කියන ශබ්ද ඝෝෂාව පොළොව පැළෙන අඩක් සේ, සමුද්‍ර ඝෝෂාවක් සේ, බඹලොව ගසා සිටගත.
ඉක්බිත්තෙන් වසවත් මර කියනුයේ “සිද්ධාර්ථ කුමාරයෙනි, මා පැරුම් පිරූ නියාවට මේ සා මර සෙනඟක් ලවා දෙස් කියවාලීම්. තොප පැරුම් පිරූ නියාවට එක දෙසක් කියවා බලගැ”යි කී ය. එ බසට ස්වාමිදරුවෝ “තෝ පණ ඇති නොමැදහතුන් ලවා දෙස් කියවූයෙහි ය. මම සිත් පෙවෙත් නැති මැදහත් කෙනකුන් ලවා දෙස් කියවාලමි”යි කියාලා රත් වලා ගබෙකින් නිකුත් විදුලියක් සේ රත් සිවුරු ගබින් රන්වන් වූ දක්‍ෂිණ ශ්‍රී හස්තය දිගුකොට ලා මහීකාන්තාවට “මීකත! දීපඞ්කර පාද මූලයෙහි දී විවරණ ලදින් මා සමතිස් පැරුම් සිහි කළ වේලෙහි දස දහසක් මහීකාන්තාවන් හා සමග ගුගුරා තෝ සාධුකාර දුන්නෙහි වේ දැ”යි වදාරා “සෙසු ජාති හැර එක වෙස්සන්තර ජාතියෙහි මා අට හැවිරිදි කල දානයක් ආවර්ජන කළ දෑ ය, අලි ඇතු දන් දුන් දා ය, සඟ සතු මහ දන් දුන් දා ය, නුවරින් වංකගිරි පර්වතයට නික්මුණු දා ය, දරුවන් දන් දුන් දා ය, මද්‍රි දේවීන් දන් දුන් දා ය, පොකුරු වැසි වටදා ය, යන මේ සත් වාරයෙහි තෝ මහ හඬින් ගුගුරා ගර්ජනා කෙළෙහි වේ ද, දැන් මෙම් වසවත් මරහුගේ බොරු දෙස් අස අසා මහීකාන්තාව බැණ නො නැගේ”යි කියාලා ඒ ශ්‍රී හස්තය පොළොවට දිගු කොට ලූ සේක. එ කෙනෙහි මහී කාන්තා ශතඝෝෂාය, සහස්‍ර ඝෝෂා යයි එකවිට පවත්නා සක්වළක් සා ලෝ බෙරක් ගෙන මෙර ගලක් සා ලෝ දඬෙකින් ගැසුවා සේ දස දහසක් සක්වළ දස දහසක් මහ පොළෝ හා සමග මහ හඬින් ගුගුරා පැන නැගී ය. එ කෙණෙහි ම මහපොළොව පැළී එක් සිය සතිස් නරකවල ගිනි කඳු බුරා පැන නැංග. එ කෙණෙහි සියලු මර නෙසග පොළොව මහ හඬින් වෙවුල්වා මහ සුළඟින් දිවන පරඬලාපත් සේ දෙදෙනෙක් එක මග නො ගොස් ශීර්ෂාභරණ ග්‍රීවාභරණ උතුරු සළු වගුරුවා ගෙන හැම ආයාධ සලාගෙන දෑතින් මුහුණු වසාගෙන මරු නො බලා වෙවුල වෙවුලා පලා ගියහ. ඉක්බිත්තෙන් ඒ ගිරිමේඛලා නම් යෙල සියයක් යොදුන් මතැත් දෙදන බිම ඔබා මරණ භයින් වෙවුලා පිට හුන් මරු සලා හෙලා සොඬ හකුලා කට ලාගෙන වාලධිය අමුඬු හස්සෙන් සඟවාගෙන මහ හඬින් ගුගුර ගුගුරා මරු නො බලා පැන පලා ගිය. වසවත් මර ඇතු පිටින් බිම හී දාසක් අවි සලා “සිද්ධාර්ථ කුමාරයෙනි! තොප බල ඇති බව දනිම් ම ය. තොප තෙද ඇති බව දනිම් ම ය. තොප පින් ඇති බව දනිම් ම ය. තොප සමතිස් පැරුම් පිරූ බව දනිම් ම ය. තොපගේ වීරත්වය මුළු ලොවට හඟවමි යි තොපගේ බල දක්වන්නට අයිමි. ක්‍ෂමා කරව. ක්‍ෂමා කරව”යි තුන් යලක් කියා තමාගේ වශවර්ති දිව්‍යලෝකයට දිව ලජ්ජාවෙන් තමාගේ සෙනග මුහුණ බැලිය නො හෙනුයේ යහනෙහි මුණින් සුසුම් ලලා වැද හොත්තේ ය.
-
නෙත්නි. ↑