රජගහනුවර පිඬු හැසිරීම

star_outline

එ නුවර පළමු සත් දවසෙක පටන් ඇසළ කෙළි නම් වූ නකත් කෙළියෙක් විය. මනුෂ්‍යයෝ තමන් තමන්ගේ කර්මාන්ත හැර නුවරට වැද උත්සව කෙළි කෙළනාහු ය. එදා ඒ මනුෂ්‍යයෝ බෝසතුන්ගේ රූපදර්ශනය නිසා නාලාගිරිහු වන් එම රජගහා නුවර සේ, අසුරයන් වන් ශක්‍රපුරය සේ, හැළලී අටළොස් කෙළක් මනුෂ්‍යයෝ දිව අවුදින් බෝසතුන් වට කොට ගත්හ. එ වේලෙහි බෝසතාණෝ ගෙයක් පන්වා ගෙයකට නොගොස්, වියදඬු පමණකින් වඩා දුර නො බලා, සන්හුන් ගමනින් පිඬුසිඟන සේක. එදා රැස්වූ මිනිසුන් අතුරෙන් සමහර කෙනෙක් කොල මේ රාහුට භයින් මිනිස්ලොවට දිව වෙස් වලා ඇවිදිනේ පූර්ණ චන්‍ද්‍රයා යයි යෙති. සමහර කෙනෙක් කොල, කුමක් කියවු ද ඒ පූර්ණ චන්‍ද්‍රයා මනුෂ්‍ය ලෝකයෙහි කවර කලෙක ඇවිදි විරී ද? ඒ සකලඞ්කය. මේ අකලඞ්ක ය. එසේ හෙයින් මේ පූර්ණ චන්‍ද්‍රයා නොවෙ යි. අපගේ රජුගේ හා නුවර වැසියන්ගේ ක්‍රීඩා විභූතිය අසා කෙළනා නිසා වෙල් වලා ආයේ මේ කාම දේවයා දෝ”යි යෙති.

සමහර කෙනෙක් එ බසට සිනාසී “කොල, තොපි නන් දොඩවූද, ඒ අනඞ්ගයා නම් ඊශ්වරයා විසින් දවාපියන ලද අද්ධාඞ්ග ඇත්තේ ය. මේ පුරුෂයා ඉතා සම්පූර්ණ වූ ගාත්‍ර ඇත්තේ ය. එසේ හෙයින් මේ කාම දේවයා නො වෙයි. තමාගේ දිව්‍ය පුරය දෝ හෝ යි යන සංඥාවෙන් ඇවිදිනේ ශක්‍ර දේවේන්‍ද්‍රයා දෝ”යි යෙති. සමහරු එ බසට සිනා පහළ කොට “තොප කියන බස් පූර්වාපර විරොධ ය. ඒ තොපගේ ශක්‍රයාගේ දහසක් ඇස් කොයි ද, ඓරාවණ නම් හස්ති රාජයා කොයි ද, එසේ හෙයින් මේ ශක්‍රදේවේන්‍ද්‍රයෙක් නොවේම ය. මේ නුවර බ්‍රාහ්මණ තපස්වීවරුන් වෙද වෙදාඞ්ගයෙහි ප්‍රමාද ය යි වැඩ පිණිස ආයේ මේ මහා බ්‍රහ්මයා දෝ”යි යෙති. ඔවුන් ඇමට නින්‍දා කොට සමහර කෙනෙක් “මේ සඳෙකුත් නොවෙයි. කාමදේවයෙකුත් නොවෙයි. බ්‍රහ්මයෙකුත් නොවෙයි. ඒකාන්තයෙන් ම මේ ලෝකයට ඉෂ්ටකාමී වූ තපස්වියෙක් ම ය”යි කීහ.

එ කල රාජ පුරුෂයෝ රජු කරා දිව ගොස් “ස්වාමීනි දෙවියකු බවත් නො දනුම්හ. බ්‍රහ්මයකු බවත් නො දනුම්හ. යක්‍ෂයකු බවත් නො දනුම්හ. නාගයකු බවත් නො දනුම්හ. ගරුඩයකු බවත් නො දනුම්හ. අපගේ මේ නුවර දොරින් දොර පිඩු සිඟයි. ඉතා ආශ්චර්‍ය්‍ය පුරුෂයෙකැ”යි කීහ. එ පවත් රජ අසා සිංහ පඤ්ජරයෙහි දොර හැර වීථිය බලනුයේ, බෝසතුන්ගේ රූපශ්‍රී දැක ඉතා ආශ්චර්‍ය්‍ය වූයේ “කොල, වහා යව. ඉදින් අමනුෂ්‍යයෙක් වී නම් නුවරින් පිටත් වලා අන්තර්ධාන වෙයි. ඉදින් දෙවියෙක් වී නම් ආකාශයෙන් නැගී යෙයි. දිව්‍යනාගයෙක් වී නම් පොළොව කිමිද යෙයි. ඉදින් මිනිස් තවුසෙක් වී නම් ලද ආහාරයක් සැප තෙනෙක හිඳ වළඳයි. දුටු පවත් මට කියව”යි නියෝග කෙළේ ය.

ඉක්බිත්තෙන් බෝධිසත්ත්‍වයෝ තමන්ගේ රූප ශෝභාවෙන් සියලු සතුන්ගේ නුවන් තමන් කරා හයමින් යුගමාත්‍ර දර්ශී ව යැපෙන පමණක් සැඳි බත් ලදින් වන් වාසලින් ම නුවරින් පිටත් වලා පාණ්ඩව නම් පර්වත සෙවනෙක පූර්ව දිග් බලා වැඩහිඳ වළඳන්නට පටන් ගත්සේක. උපන් දා පටන් එසේ වූ බැගෑපත් ආහාරයක් ඇසිනුත් නුදුටුවිරූ හෙයිනුත්, සුවඳ ඇල්සාලේ අග්‍ර භෝජනය ම අනුභව කොට වැඩි හෙයිනුත්, ඒ බත මුඛයට පෑලූ වේලෙහි බඩවැල් මුඛයට නැගෙන ආකාර ව පිළිකුල් වී ය. එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ සිතා වදාරණසේක් ‘එසේ ද සිද්ධාර්ථ ය! තෝ පෙර සුවඳ කවා තුබූ ඇල්සාලේ අග්‍ර භෝජනයම අනුභව කොට [1]බත් කන කුලෙහි ඉපැද රජ සුව විඳිනා සමයෙහි කවර දවසෙක සිවුරක් පෙරව ඇඟින් ඩාදිය වගුර වගුරා දොර දොර පිඬු සිඟා පාංශුකූල වූ ආහාරයක් එකලා ව වැඩහිඳ අනුභව කෙරෙම් දෝ හෝ, කවර දවසෙක ලැබෙම් දෝ හෝයි සිතා ඇවිද්දෙහි ය.

දැන් තෝ ඒ පාංශුකූල වූ ආහාරය ලදින් පිළිකුල් සිතයි ද, සුභෝජනය ම වළඳා බුදු වතොත් කැමැත්තෙහි ද, තා සේ වූ අලජ්ජියෙක් තවත් ඇද්ද, තාගේ ශරීරයට සුව කැමැත්තෙහි වී නම් මුළු ලෝ වැසියන්ට කෙසේ නම් නිවන් සුව දී ලයි ද, තෝ ලජ්ජා ඇතියෙහි වී නම් මේ වේලෙහි පටන් බුදු වන දවස් දක්වා ලද යම් භෝජනයක් අමා කොට සිතාලා ලද දෙයකින් යැපී ඉන්‍ද්‍රිය සංවර ශීලය අඛණ්ඩ කොට රක්‍ෂා කරව”යි මෙසේ තමන් වහන්සේ ම තමන් වහන්සේට ගුරුව ඉන්‍ද්‍රිය සංවර ශීලය ඉටා ගෙන “එම්බල සිද්ධාර්ථ කුමාරය! තාගේ මේ ශරීරය ඝන රනින් නිමවා ඔප් නගන ලදුයේ නො යෙි. දෙකෙළ පනස් ලක්‍ෂයක් ඉසකේයෙන, නවානූදහසක් ලෝමයෙන, විසි නිය පොත්තෙන, දෙතිස් දතින, මස් වසා සිටි සමින, නවසියයක් මස් පිඬින, නවසියයක් නහරවැලෙන, තුන්සියයක් ඇටසඟලෙන, පුරා තිබෙන ඇටමිදුලෙන, වකුගඩුයෙන, හදමසින, අක්මායෙන, දලබුයෙන, බඩදිවින, පපුකැනින, දෙතිස් රියන් බඩ වැලෙන, දෙතිස් රියන් අතුනු බහනින, උදරයෙන. අහර මලයෙන, ඉස්මුලින, ලය පුරා තිබෙන පිතින, උගුරු පිරුණු සෙමින, පූයායෙන, පැතිර සිටිනා ලෙහෙයෙන, සෝදීයෙන, මේදස් තෙලින, ඇස් පුරණ කඳුළෙන, විරි පවත්නා තෙලින, මුව පුරණ කෙලින, නාසා පුරණ සොටුයෙන, සඳමිදුලෙන, විත් පලා පිරුණු වටන් දියෙනැ යි යන මේ දෙතිස් පිළිකුල් කුණප කොට්ඨාසයෙන් ම පිරුණේ ය.

තව ද මේ පවිත්‍ර වූ ආහාර ය තාගේ ශරීර නමැති ගෘහයෙහි මුඛ නමැති වනයට බහා දත් නමැති මොහොලින් කොට, දිව නමැති කුල්ලෙන් පොළා, කෙළ නමැති දියෙන් ගරා, උදර නමැති සැළියේ ලා පඨවී නමැති උදුනට නඟා, ආපො නමැති දියවර ගෙන තේජෝ නමැති ගිනි උපදවා, වායො නමැති පත් සලා, මෙසේ මහ කුස ගින්නෙන් දිවා රාත්‍රියක් කකියවා සැටපැය ගිය කල දිය වටන් මල වටන් උභතො මාර්ගයෙන් ඉතිරී පිළිකුල් බවට පැමිණෙයි. තාගේ මේ ශරීර කුණප ය බලත් මේ ආහාරය ම ඉතා පිරිසිදුය. ඉතා පවිත්‍රය. ඉතා උතුමැ”යි සිතත් සිතත් බෝසතුන්ට ඒ ආහාරය ම සභෝජන විය. එකල සිද්ධාර්ථ කුමාරය! තාගේ මේ ශරීරය ද එක් ධාතුයෙක. මේ ආහාරය ද එක් ධාතුයෙක. මේ ආහාරය ද එක් ධාතුයෙක. එසේ හෙයින් ධාතු සමූහයෙක් ධාතු සමූහයක් වළඳයි” යනාදීන් මෙසේ ප්‍රත්‍යවෙක්‍ෂා කොට පිළිකුල් නැතිව ම ඒ ආහාරය ම වැළඳූසේක.

ඉක්බිති රාජපුරුෂයෝ බත් වළඳන්නා දැක ගොස් රජහට සැලකළහ. රජ්ජුරුවෝ දූතයන් කී බස් අසා වහා නුවරින් නික්ම බෝසතුන් කරා ගොස් වැඩහුන් ලීලා දැක පැහැද නම් සලකුණු විචාරා බෝසතුන් ඇඳින, “කිමෙක, යහළු සිද්ධාර්ථ කුමාරයෙනි! තොපගේ වංශයෙහි සිඟා කෑ එක ද රජෙකුත් නැත. මහත් වූ රාජ්‍ය ශ්‍රී ම විඳිති. තොපගේ රජකුලයට පරිභව නො කරවා යහළු, මාගේ මේ රජගහනුවර නම් අසූ දහසක් නියම් ගමින් හා අටළොස් කෙළක් මනුෂ්‍යයන් විසින් හා, ගැවසී ගත්තේ ය. තුන් සියයක් යොදුන් අගු මගධ දෙරටින් නිමන අයින් අතුරු නැත්තේය. ඉසිගිලි, වේහාර, වේපුල්ල, පාණ්ඩව, ගිජ්ඣකූට යන පඤ්ච මහා පර්වතයන්ගෙන් පරික්‍ෂිප්ත විය. පූර්වයෙහි චක්‍රවර්ති රජුන්ගේ ම වාසස්ථාන ය. අමිත භෝගී වූ පඤ්ච මහා ධන සිටුවරුන්ගෙන් ශෝභමාන ය. යහළු මෙ නුවර මා හා එක්ව රජය කරව”යි කියා සියලු තමාගේ රජ ඉසුරු දින. බෝධිසත්ත්‍වයෝ “සත් දවසකින් ලැබෙන චක්‍රවර්ති රාජ්‍යය හැරපියා අවුදින් දැන් තොප හා සමග අධිරාජ්‍යය ගතිම් නම් ඒ චින්තාමාණික්‍ය රත්නය හැරපියා විදුරුගල් ගත්තා වැන්න. රජ සැපතින් මට කම් නැත. සම්‍යක්සම්බෝධිය පතා මහණ වීමි”යි කී සේක. රජ්ජුරුවෝ නො එක් ප්‍රකාරයෙන් රජයට යාච්ඤා කොට නොගිවිස්නා හෙයින් “එසේ වී නම් නුඹ වහන්සේ යම් දවසෙක බුදුවූ සේක් වී නම් පළමු ව මාගේ නුවරට වැඩ මිනිසුන්ට දෙසන පළමු වන ධර්මදේශනාව මට ම දෙසුව මැනවැ”යි ප්‍රතිඥා ගෙන අවසර ලදින් නැවත ඒ බිම්සර රජ්ජුරුවෝ තමන්ගේ රජගහ නුවරට ම වන්හ. එසේ හෙයින් කියන ලදි:-

අථ රාජගහං වර රාජගහං

[2]නර රාජවරෙ නගරන්තු ගතෙ,

ගිරිරාජවරො මුනිරාජවරො

මිගරාජගතො සුගතොපි ගතො - යි.

ඉක්බිත්තෙන් බෝසතාණන් වහන්සේ “බුදු ව පළමු වන ධර්මදේශනාව මහරජ තොපට ම දේශනා කෙරෙමි”යි රජහට ප්‍රතිඥා දීලා මිණි ගුහාවෙන් නිකුත් සිංහරාජයෙකු සේ ඒ පාණ්ඩව නම් පර්වත ගුහාවෙන් නික්ම, අනුක්‍රමයෙන් දනවු සැරිසරා ඇවිදිනා සේක් ආලාරය උද්දක ය යි යන තාපසවරුන් දෙදෙනා කරා ගොස් කීප දවසක් එහි වාසය කොට අෂ්ටසමාපත්තීන් උපදවා ගෙන “මේ ධ්‍යාන මාත්‍රයකින් බුදු ව ලෝවැඩ කළ නොහැක්කැ”යි එහි ලෝභ නොකොට ඒ තපස්වීන්ගේ සමයෙහි නිවන් නැතැ යි හැර එ තැනින් වැඩ සියලු දිව්‍ය මනුෂ්‍යයන්ට තමන් වහන්සේගේ වීර්‍ය්‍යබල දක්වා මහත් වූ දුෂ්කර ක්‍රියා කෙරෙමි යි සිතා උරුවෙලා නම් දනවුවට වැඩ ඒ රමණීය වූ වැලිතලාව දැක මේ තපසට රම්‍ය ස්ථානයෙකැ යි පැහැද ඒ තැන වාසයට පටන්ගත් සේක. ඒ උරුවෙලායෙහි වැලිතලාව නම් කෙසේ වී ද? යත්;

පෙර ධ්‍යානලාභි දසදහසක් තාපසවරුන් බොහෝ කලක් විසූ පන්සල ය. එ කල ඔහු ඇම දෙනා ම අප ඇමදෙනා අතුරෙන් යම් යම් කෙනෙක් තම තමන් රහසත් කාමවිතර්‍කාදි පාපයක් සිතූ නම් හිරු උදයේ ගොස් මේ ගඞ්ගාවේ කට පමණක් දියට බැස ගංපල්ලෙන් වැලි ගෙනවුත් මේ මලු මධ්‍යයෙහි ලලා ආරෝචනය කළ මැනව. ඕහට මේ දඬුවම් නමැ’යි කතිකා කළහ. එකල ඒ තාපසවරු අකුශල විතර්කයක් සිතූ කල උපන්කල එම ක්‍රමයෙන් වැලි ගොටුවක් ලා ඇවැත් දෙසන්නාහ දීර්ඝ කාලයකින් යොදුන් පමණ වැලිතලාවෙක් විය. පසු ව තාපසවරුන්ගේ අයාමෙහි උපන් රජදරුවෝ මේ පෙර උත්තමයන් විසූ තෙන ය යි සිල්වතුන් ඇදී වැලි ය යි සිසාරා පවුරු බඳවා උපචාර කළහ. මෙසේ ඒ උරුවෙලා නම් වැලිතලාවට රම්‍ය සේ දැක දුෂ්කර ක්‍රියාවෙන් එහි වාසයට පටන් ගත්සේක.

  1. එනකුලෙහි.

  2. නරරාජවරො නගරන්තු ගතො,