මේ කාරණයෙන්ම “මෙ තැන නො එක් බුදුන්ම මාර විජය කොට කෙලෙස් පඳුරු කපා හරණ උත්තම ස්ථානයෙක්ම යැ”යි සිතාලා තණ අට මිට අගින් අල්වාගෙන සලාලූ සේක. තීර්ථක නමැති හස්ති සේනාව මුදුනට දමාලූ අංකුශයක් සේ ඒ කුසතණ පොළොවට දමාලීම හා සමගම ස්වාමිදරුවන්ගේ පාරමතානු භාවයෙන්, මහ පොළොව පලාගෙන තුදුස් රියන් වජ්‍රායනයක් පැන නැඟී හැම කුසතණ චිත්‍ර කර්මාන්තයක් සේ මුල් සැඟවී අග්පිටත ව සෙවෙනි පෙළක් සේ ශෝභාවත්ව සිටගත. එ කෙණෙහි මාගේ ස්වාමිදරුවෝ වජ්‍රාසනය දැක ඒකාන්තයෙන් අද බුදු වෙම් ම ය යි කුල්මත් ව ඒ විදුරස්නට පැනනැගී බෝකඳට පිටලා නැගෙනහිර බලාගෙන “මේ මාගේ ශරීරයෙහි ඇට සම් මස් නහර ලේ වියලී සුනුවිසුණු වේ නමුත් සාරාසඞ්ඛෙය්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි වීර්‍ය්‍ය කොට මා ලැබගත්තා වු මේ වජ්‍රාසනය හැරපියා බුදු නොව නැගී නො සිටිම් මයැ”යි චතුරඞ්ග සමන්වාගත වීර්‍ය්‍යාධිෂ්ඨාන කොට ගෙන රන්ගල් මුදුනක් දුටු සිංහ පොව්වකු සේ වැඩහුන් සේක.