ඒ ආශ්චර්‍ය්‍ය දුටු සුජාතාවෝ තන් ස්වහස්තයෙන්ම කිරි ගෙන නවමු මහ සැළෙක බහාලා අගුරු දෙවුදුරු කව්රු කළුවැල් සඳුන් යනාදි සුවඳ දරින් කිරිබත පැසවන්ට පටන් ගත්හ. එ බත පැසෙත් පැසෙත් මහත් බුබුළු නැගී දක්‍ෂිණාවෘත්ත ව සැළ වටා දිවෙයි. එක බින්දුවෙකුත් පිටත නො යෙයි. ඒ උදුනෙන් පාන් ශිඛාවෙක දුම් පමණකුත් නො නැඟෙයි. එ වේලෙහි වරම් රජදරුවෝ සතර දෙන අවුත් උදුන සතරදිග රකවල්ගත්හ. ශක්‍රදේවේන්‍ද්‍රයා අවුත් ද දා බට පෙනෙහෙලි උදා ගිනි දල්වා අරක් කැමි කම් කෙරෙයි. මහාබ්‍රහ්මයා උදුන් මුදුනට සේසත් ගෙන සිටගත. දසදහසක් සක්වළ දෙවියෝ දස දහසක් මනුෂ්‍ය ලෝකවල ද සැට දහසක් දිව්‍ය ලෝකවල ද ඇති යම් ම රසයක් තමන් තමන්ගේ ආනුභාවයෙන් දඬුවැල්බෑ මීයක් පෙළා මධුරස ගන්නවුන් සේ හැම රස ම ගෙන ඒ බඳනේ බහාලූහ. සුජාතාවෝ මේ ආශ්චර්‍ය්‍යය දැක තමන්ගේ පූර්ණා නම් දාසිය කැඳවා “බුහුනැනියෙනි, මෙ තෙක් කල් මේ බත් පිසන කල මෙසේ වූ ප්‍රාතිහාර්‍ය්‍යයක් නුදුටු විරීමි. අපගේ වෘක්‍ෂ දේවතාවා අද ඉතා ම මා කෙරෙහි පැහැද ගියේ වන. තෙපි පළමු ව දිව ඒ දේවාලය සකසා පිස පියව”යි කිව. ඒ පූර්ණා නම් දාසි අජපාල නම් ඒ නුග ගස කරා ගියා ය. මාගේ බෝසතාණෝ එ දා රෑ පඤ්ච මහා ස්වප්නයක් දුටහ. ඒ කෙසේ ද? යත්:- පශ්චිම භවික වූ මහා බෝධිසත්ත්‍වවරයන් බුදුවන දවස් චාතුර්දර්ශී දින රාත්‍රියෙහි දක්නා ස්වප්නයෝ පස් දෙනෙක. එසේ හෙයින් ම මහා ස්වප්න යයි ව්‍යවහාර වී ය. එ දවස් රෑ “සෙට මැදි පොහෝදින ය. වෛශාඛ යෝගයත් යෙදින, මාගේ උත්පත්ති මහා මඞ්ගල වූ දින ය. දුෂ්කර ක්‍රියායෙන් දැන් හවුරුදු සයකුදු සම්පූර්ණ විය. එසේ හෙයින් සෙට මැදි පොහෝ දිනයෙහි ලොවුතුරා බුදු ව මහා බුද්ධ මඞ්ගල්‍යයනුදු ලදිම් නම් යෙහෙකැ”යි සිතා වැදහෙව නිද්‍රාවට පටන්ගත් සේක.
එකල එක් වේලක දක්නා සේක් මේ සා මහ පොළොව ශ්‍රී යහනක් කොට, හිමාලය පර්වතය [1]මහගුවක් කොට, සතර මහා සාගරයෙහි සතර ගාතය ගලා, ඇඟිලි අගින් සක්වළ ගල පිරිමදිමින්, උඩු බලා වැදහොත් සේක් නම්, ඒ කෙණෙහි බඹලෝ දක්වා සියලු දෙවියන් හා විමාන හා විශේෂයෙන් පෙනෙන්නේ නම. එ කෙණෙහි පිබිද ස්වප්නයෙහි අර්ථ පරීක්‍ෂා කොට “ඒකාන්තයෙන් මේ මා සිතූ දෙය සිද්ධවන්නා වූ මඟුල් ස්වප්නයෙක් ම ය. සම්‍යක් සම්බෝධිය නමැති මහ පොළොව මට ශ්‍රී යහන් වන. බුද්ධඥානය ම මට කන්වයිනක් ව ආධාර වන වන. චක්‍රවාටය මුළුල්ලෙහි ම මාගේ ධර්මචක්‍රෙයන් ම සම්පූර්ණ වන. තුන් ලෙවුහි මම ද උත්තානී ව සියලු සතුනු දු උන්මුඛ කරවමි. තුන්ලොව ඒකාඞ්ගනව පෙනීගියා සේ ම අනන්තාපර්‍ය්‍යාන්ත වූ ලෝකධාතු විශේෂයෙන් දක්නා තරම් අසාධාරණ වූ දිවැසුත් ලබන වන්මි. තුන්ලොව ඒකාලෝකව ගියා සේම මා සිත ද අනාවරණ ඥානයෙන් ඒකාලෝක වන. ඒකාන්තයෙන් ම මම සෙට බුදුවෙමියැ”යි පළමුවන ස්වප්නයෙන් ම දත්සේක.
තව ද එක් වේලෙක සුරකත වූ හීතණ ගසෙක් තමන් වහන්සේගේ නාභිමණ්ඩලයෙන් පැනනැගී නඟුලිසක් සා ව සියක් යොදුන් ව, දහසක් යොදුන් ව වැඩි වැඩී සදෙව්ලොව ගෙවා ගොස් සොළොස් බඹලොව ගෙවා ගොස්, පත් සෙවෙනි පෙළක් සේ මුළු සක්වළ වසාගෙන ඉඳුනිල් මිණි සතක් සේ සිටගත් නම. එවේලෙහිදු පිබිද ඉතා විස්මය පත්ව “මෙයිදු අනික් කාරණායෙක් නො වෙයි. බුදු මඟුලට ම කාරණ වූ ස්වප්නයෙක් ම ය. තණ නම් තෘෂ්ණාව ය. තෘෂ්ණාව නම් මාගේ බුදු වන තෘෂ්ණාව ම ය. හීතණ වෘක්‍ෂය නම් ශාන්ති වෘක්‍ෂය ය. තුන්ලොව පුරාගත් හෙයින් තුන්ලෝ ශාන්තියෙන් පුරණු මැනව. ඒ ශාන්ති වෘක්‍ෂය ද මාගේ ම නාභියෙන් නැගි හෙයින් ඒ ශාන්තිය ද ලොවට මා විසින් ම වුව මැනව. අමා මහ නිවන් ශාන්තියෙන් මුළුලොව පුරණවන්මි”යි සිතා දෙවන ස්වප්නයෙහිදු අර්ථය දුටුසේක.
තව ද එක් වේලෙක එක්තරා එක් පණුවෝ ජාතියෙක් ඉතා ධවලයෝ නම. කළු වූ ඉස් ඇත්තෝ නම. මෙසේ වූ ලක්‍ෂ සුවහස් ගණන් පණුවෝ ඒ ඒ දිගින් අවුත් තමන් වහන්සේ සිසාරා අතුරු නොදි ගලාගෙන දෙ පත්ලෙහි පටන් දෙ දනමඬල දක්වා පැනනැංගෝ නම. එ වේලෙහි දු පිබිද අති ප්‍රීති උපදවා ‘අති නීල වූ කෙස්වැටි ඇති, ශුද්ධ වූ වස්ත්‍ර ඇති, බොහෝ වූ වෛනෙය ජනයෝ මා කරා රැස් ව මාගේ පාද මූලයෙහි පිරෙනුවන්හ. බොහෝ දෙන මා සරණ ගන්නා වන්හ”යි තුන්වන ස්වප්නයෙහිදු අර්ථය දැක සෙට බුදුවෙම් ම යයි සනිටුහන් කළ සේක.
තව ද එක් වේලක අනෙක වර්ණ වූ පැහැ ඇති, ඉතා මනෝහර වූ රූ ඇති, ලිහිණියෝ සතර දෙනෙක් සතර දිගින් දිව අවුත් බෝසතුන් පාදමූලයෙහි හිඳ ඇසිල්ලකින් තමන්ගේ පළමු වර්ණණ හැර ඉතා සර්වාඞ්ග ධවල ව ගොස් එක වර්ණ ව ගියෝ නම්, එවේලෙහි දු පිබිද ප්‍රීති එළවා “ලිහිණියෝ සතර දෙන නම් රජ-බමුණු-වෙළඳ-ගොවි යයි යන චාතුර්වර්ණයහ. ඔවුන් නන් පැැ ඇති වූයේ නම් නා නා වර්ණ නානා ජාති - නා නාච්ඡන්‍ද - නා නා දෘෂ්ටි ඇති නියාවට කාරණ ය. ඔවුන් මා කරා පැමිණීම නම් ඒ චාතුර්වර්ණයන් මාගේ පාද මූලයට රැස් වන්නට කාරණ ය. ඒ ලිහිණියන් තමන් තමන්ගේ වර්ණ හැර මා කරා පැමිණ ඉතා ශ්වේත වර්ණ ව ගියේ නම් ඒ චාතුර්වර්ණයන් මා කරා පැමිණ තම තමන්ගේ නා නා ජාති ගෝත්‍ර හැර මාගේ සසුන් වැද මහණ ව ශාක්‍යපුත්‍රයෝ ය යි එක වර්ණ ලදින් අමා මහ නිවන් දැක පරිශුද්ධ වූ ශරීර ලැබීමට කාරණය”යි මෙසේ සතරවන ස්වප්නයෙහි දු අර්ථ දැක සෙට බුදු වෙම් ම ය යි සනිටුහන් කළ සේක.
තව ද එක් වේලෙක යෝජන ප්‍රමාණ වූ අමෙධ්‍ය පර්වතයක් මුදුනට පැනනැගී ඔබමොබ සක්මන් කොට ඇවිදිනා සේක් වී නම. එ කල කිසි අමෙධ්‍යයෙකුත් ඔබගේ ශ්‍රීපාදයේ නො වැකේ නම. එ වේලෙහි දු පිබිද ඉතා විස්මය ව මෙහි දු අර්ථ කිමෙක් දෝ හෝ යි පරීක්‍ෂාකොට “මෙයි දු මා බුදු වන්නා වූ ස්වප්නයෙක්ම ය. බුදුහු නම් මුළුලෝ වාසීන් කරන ලද අප්‍රමාණ වූ ප්‍රත්‍යය දානයෙහි අග්‍ර වන්නාහ. මේ සා මහත් වූ ප්‍රත්‍යය දානය ලදත් එහි කිසි ඇල්මකුත් නො කරන්නාහ. එසේ හෙයින් මෙහි දු මට ද මාගේ ශ්‍රාවකයන්ට ද මතු චතුර්විධ ප්‍රත්‍යය දානය බොහෝ කොට ලැබීමට කාරණ ය. එසේ හෙයින් අමෙධ්‍යයෙක් මා පය නො ඇලුනා සේ ම, මතු මා ද මාගේ ශ්‍රාවකයන් ද ලාභ සත්කාරයෙහි ලෝභ නොකොට නො ඇලීමට කාරණය ය”යි පස්වන ස්වප්නයෙහි දු අර්ථය දැක අලුයම් වේලෙහි පැන නැගී මේ ආදි කාරණයෙන් අද බුදු වෙම් ම ය යි අධිෂ්ඨාන කොට එදා උදය දැවිටු කා මුඛ ශෝධනය කොට, පාත්‍ර සිවුරු ගෙන, එක චාරී වූ ගඳැත් පොවුවකු සේ, බරණැස සේනානි නම් නියම් ගමට වැඩ, අජපාල නම් බ්‍රාහ්මණයා එ තැන දී කළා වූ යාගය ගෙන අජපාල නම් නුග යයි ප්‍රසිද්ධ වූ ඒ මහ නුග ගස මුල පූර්ව දිග් බලා වැඩහුන් සේක.
-
මාවුලාවන් ↑