දෙවි බඹුන්ගේ පූජා

star_outline

එ කෙණෙහි ඉතා මහත් වූ සත්කාරයෙන් මහත් වූ ශ්‍රී සෞභාග්‍යෙයන් දසදහසක් සක්වළ සැටදහසක් කාමාවචර දිව්‍ය ලෝකවල දෙවියෝ “අපගේ ස්වාමියා මහබිනික්මන් කෙරෙයි. ඕහට අද රෑ අඳුරු දුරු කොට මහබිනික්මන් පූජා කරම්හ”යි දඬුවැට පහන් ගෙන සිටියහ. දකුණැලයෙන් සැටදහසක් පහන් ගෙන සිටියහ. වම්ඇලයෙන් ද සැටදහසක් පහන් ගෙන සිටියහ. පිටිපස්සෙන් ද සැටදහසක් පහන් ගෙන සිටියහ. සෙසු දෙවියෝ සක්වළගබ වසා උරවටින් උරවට ගසා මිණිදඬුවැට පහන් ගෙන සිටියහ. එදා රෑ මාගේ ස්වාමිදරුවානන්ට දෙවියන් පිදූ පහන් පූජාවෙන් මේ සා සක්වළගබ මුළුල්ලෙහි කුරු කුහුඹුවන් සා සත්තුත් ඔවුනොවුන්ට පෙනෙන්නාහු ම ය. අඳුරෙන් වැසෙන්නා වූ අල්ලක් සා අවකාශයෙකුත් කිසිතැනෙකත්[1] නැත්මය. මෙසේ සක්වළගබ ඒකාලෝක වූ වේලෙහි සෙසු දෙවියෝ ද. නාගයෝ ද, ගරුඬයෝ ද, ගන්‍ධර්වයෝ ද, දිවමලින් දිවගඳින් දිවසුන්නෙන් දිවදුමින් පූජා කෙරෙති. දෙවියන් දමන පරසතු මලින් හා මදාරා මලින් හා අසුරයන් දමන පළොල් මලින් හා නයින් දමන කඩුපුල් මලින් හා ආකාශයෙහි අතුරු නැති ව ඝන මහා වර්ෂාවක් සේ මල්ධාරාවෙන් වතුරු වී ය.

තව ද, පඤ්චාංගික තූර්‍ය්‍ය ගෙන දිව ආ ගාන්‍ධර්ව දෙවියෝ ඉදිරියේ අටසැට දහසක් තූර්‍ය්‍යනාදයන් පැවැත්වූහ. දකුණත් පස අටසැටදහසක් තූර්‍ය්‍ය නාද පවත්වා පූජා කෙරෙති. වමත් පස අටසැටදහසක් දිව්‍යභේරිනාද පවත්වා පූජා කෙරෙති. පිටිපස්සෙන් අටසැටදහසක් භේරිනාද පූජා කෙරෙති. අවශේෂ වූ ගන්‍ධර්වයෝ සිටිනා අනික් අවකාශයක් නැති හෙයින් සක්වළගබ මුවවිට සිසාරා සිටගත්හ. ඒ දිව්‍යෙභේරි ඝෝෂාව සමුද්‍ර මධ්‍යයෙහි මහා මේඝ නාදයක් සේ, යුගන්‍ධර පර්වතයෙහි වැදගන්නා රළ හඬ සේ, පොළොව පටන් ගෙන අකනිටා බඹලොව දක්වා පූජා ඝෝෂාවෙන් එක නින්නාද විය. මෙසේ දසදහසක් සක්වළ දෙවියන් කරන මසත් වූ පූජා විඳුනා වූ මාගේ බෝධිසත්ත්‍වයන් වහන්සේ එදා රෑ තිබූ පසළොස් පැය දෑතුරෙහි තුන් රාජ්‍යයක් ගෙවා තිස් යොදනක් ගොස් අනෝමා නම් ගංතෙරට අලුයම් වේලෙහි පැමිණිසේක. ඒ අශ්වරාජයාගේ දිව එතෙක්ම දැයි යතහොත්, ඉදින් දිවේ නම් සතිස් ලක්‍ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් සක්වළගබ සිසාරා බමරක් නැටුවා සේ ඇසිල්ලකින් දිවපියා දහවල් බතට වාසයට එන තරම් දව ඇත්තේය. එදා දිව්‍ය බ්‍රහ්ම අසුර නාග සුපර්ණන ගන්‍ධර්වාදීන් දමනලද සුවඳින් මලින් මග අතුරු නැත්තෙන් මල් වැසි පිහිරා දුවනුයේ ලස්ව තිස් යොදනක් ගියේ ය යි දතයුතු.

මෙසේ මාගේ ඒ ස්වාමිදරුවෝ තමන් බුදු වෙමි යි නික්මුණු පමණකින් දසදහසක් සක්වළ දිව්‍යබ්‍රහ්මාදීන් කරනලද සංඛ්‍යා පථයට විෂයවූ ප්‍රදීප තූර්‍ය්‍යාදී වූ, පස්ලක්‍ෂ දොළොස් දහසක් මහා පූජා ලත් හෙයිනුත් අවශේෂ වූ අසඞ්ඛ්‍ය ගණන් පූජා එම දා මලත් හෙයිනුත් මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් කරුණා නිධාන වූ කරුණාකර වූ කරුණා ප්‍රවාහ වූ, කරුණා ගඞ්ගා වූ කරුණා ගෘහ වූ කරුණා ස්ථාන වූ කරුණා සමුද්‍ර වූ කරුණා පුඤ්ජ වූ කරුණා ස්වාමි වූ, කරුණා නාථ වූ මාගේ සර්‍වඥරාජයාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදි.

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො

අත්‍ථානුරූපං අරහංති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතංයි.

මේ පූජාවලියෙහි අප බුදුන් පැවිදි වනදා ලද

මහබිනික්මන් පූජා කථා නම් වූ දස වන පරිච්ඡේදය නිමි.

  1. නො පෙනෙයි.