පාන්දර 4 පටන් 6 දක්වා

මේ ඉතා වැදගත් කාලයකි. මේ වේලාවට බ්‍ර‍හ්ම මුහුර්තය යි ද කියති. මහාබෝධිසත්ත්වයන් වහන්සේලා ලොවුතුරා බුදු බවට පැමිණෙන්නේ ද මහණ දම් පුරන බොහෝ භික්ෂූන් සෝවාන් වන්නේ සකෘදාගාමි අනාගාමි වන්නේ රහත් වන්නේ ද මේ වේලාවෙහි ය. තුන්යම් රාත්‍රියෙහි බණ අසල සැදැහැවතුන් බෙහෙවින් මඟපලවලට පැමිණෙන්නේ ද මේ කාලයෙහි ය. රාත්‍රියේ පශ්චිම යාමයේ අග කොටස වන මේ යහපත් කාලයේ සිල් සමාදන්ව සිටින ඔබ නො නිදා වැඩ කරන්න.

අප බුදුරජාණන් වහන්සේ ඒ වෙසක් පුණු පොහෝදා රාත්‍රියේ ප්‍ර‍ථම යාමයේ පූර්වේනිවාසානුමෘතිඥානය ද, මධ්‍යම යාමයේ ලෝකයෙහි මැරිමැරී කර්මානුකූලව සුගති දුර්ගතිවලට පැමිණෙන සත්ත්වයන් දක්නා දිව්‍ය චක්ෂුරභිඥාව ද උපදවා පශ්චිම යාමයේ සවාසනා සකල ක්ලේශයන් ප්‍ර‍හාණය කොට ලොවුතුරා බුදුබව ලැබීම සඳහා ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්මය අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් මෙනෙහි කළ සේක. සිල් සමාදන් වී සිටින ඔබ මේ වේලාවේ දී ඒ ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්මය සජ්ඣායනා කරන්න. මෙසේ සජ්ඣායනා කරනු.