තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් හෝ නිවන හෝ පතා රක්නා වූ - පවත්වන්නා වූ - තෘෂ්ණා දෘෂ්ටි මානයන් විසින් නො පෙළන ලද්දා වූ කුශල ශීලය ශීල පාරමිතා නම් වේ.
“මේ ශීලයෙන් අනාගතයේ සිටුවරයෙක් හෝ රජෙක් හෝ දෙවියෙක් හෝ වෙමි"යි භවභෝග සම්පත් පතා රක්නා වූ පවත්වන්නා වූ තෘෂ්ණා නිශ්‍රිත වූ තෘෂ්ණාවෙන් තැලී දුබල වූ ශීලය පාරමිතා සංඛ්‍යාවට නො පැමිණේ. සත්ත්වයා ඒකාන්තයෙන් ශුද්ධියට පමුණුවන්නා වූ විදර්ශනා ධ්‍යාන මාර්ගයන් නො තකා ශීලය ම විශුද්ධියට පැමිණීමේ මාර්ගය යි වරදවා ගෙන රක්නා වූ - දෘෂ්ටි නිශ්‍රිත වූ - දෘෂ්ටියෙන් තැළී දුබල වූ ශීලය ද පාරමිතා සංඛ්‍යාවට නො පැමිණේ. ශීලය කරණකොට තමා උසස් කොට ද අනුන් පහත් කොට ද සිතන්නා වූ පුද්ගලයාගේ මාන නිශ්‍රිත වූ මානයෙන් තළා දුබල කරන ලද්දා වූ ශීලය ද පාරමිතා සංඛ්‍යාවට නො පැමිණේ. මතු දැක්වෙන පාරමිතා ගැන ද මේ ක්‍රමය මෙසේ ම සැලකිය යුතු ය. මහා බෝධිසත්වයන්ගේ පාරමිතාව ගැන පමණක් කියත හොත් -
“කරුණුපායකොසල්ලපරිග්ගහිතං කාය වචී සුචරිතං අත්ථතො අකත්තබ්බවිරති, කත්තබ්බකරණ චෙතනාදයො ච සීලපාරමිතා.”
යන චරියාපිටක අටුවා පාඨයෙන් දැක්වෙන පරිදි කරුණාවෙන් හා උපා දන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද කාය වාග් සුචරිතය, අර්ථ වශයෙන් නො කළ යුත්තෙන් වැළකෙන, කළ යුත්ත කරන චේතනාදිය ශීල පාරමිතා නමැයි කිය යුතුය.
ඒ ඒ සත්ත්වයන්ගේ පුද්ගලයන්ගේ ප්‍රකෘති ස්වාභාවයෝ ශීල නම් වෙති. සත්ත්වයන්ගේ පුද්ගලයන්ගේ වශයෙන් බොහෝ ශීලයෝ වෙති. සතර පයින් යාම, තණ උලා කෑම, කතා නො කිරීම, බිම නිදා ගැනීම යන ආදී ගවයන් ගේ ප්‍රකෘති ස්වභාවය ගෝශීල නම් වේ. වකුටු වී නිදා ගැනීම, වළවල් හාරා නිදා ගැනීම, බිරීම, නගුට වැනීම, නගුට පහත් කර ගැනීම යන ආදී බල්ලන් ගේ ප්‍රකෘති ස්වභාවය කුක්කුර ශීල නම් වේ. බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ ප්‍රකෘති ස්වභාවය ආර්‍ය්‍යශීල නම් වේ.
මේ පාරමිතා කථාවෙහි “ශීලය"යි කියනුයේ ඒ ආර්‍ය්‍ය ශීලයට ය. ඒ ආර්‍ය්‍ය ශීලය බොහෝ අංග ඇති විශාල ශීලයෙකි. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දානයෙන් වැළකීම, මෛථුනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, සුරා පානයෙන් වැළකීම යනාදිය ඒ ආර්‍ය්‍යශීලයේ අංගයෝ ය. තම තමන්ට හැකි පමණින් ඒ ආර්‍ය්‍යශීලාංගයන් අනුව පිළිපැදීම සිල් රැකීමය. මේ ඉතා පහසු ක්‍රමයකින් ශීලය හැඳින්වීමකි.
කය - වචන දෙකට අකුශල ක්‍රියා විෂයෙහි හැසිරෙන්නට නො දී ඒ දෙක මනා කොට තබන බව, ආරක්ෂා කරන බව හා කුශල ධර්මයන්ට ආධාර වන බව ශීලයේ ලක්ෂණයෝ ය. සිල් රක්නා කල්හි කය වචන දෙකින් අකුසල් කරන්නට අවසර නො ලැබේ. එබැවින් ශීලය කය - වචනය දෙක මනා කොට තබන - ආරක්ෂා කරන ධර්මයෙකි. එය කය - වචන දෙකට ආරක්ෂකයකු වැනිය. ශීලයෙහි පිහිටි තැනැත්තා කෙරෙහි සකල කුශලයෝ ම ඇති වෙති. වැඩෙති. එබැවින් ශීලය කුශලයනට ආධාර ස්ථානයකි. සරු බිමෙකි. ශීලයේ විස්තර විශුද්ධිමාර්ගාදියෙන් දත යුතුය.