ශීලයෙහි අනුසස් බොහෝ ය. ශීලානිසංස දැක්වෙන දේශනා ද බොහෝ ය. මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ ප්‍රථම වර්ගයේ ආකංඛෙය්‍ය සූත්‍රය හා විසාඛුපෝසථ සූත්‍රය ද විශේෂයෙන් සීලානිසංසය දැක්වෙන සූත්‍ර දෙකකි. සීලානිසංසය දැක්වෙන සීලවත්ථෙර ගාථා මෙසේ ය.
(1) සීලමෙවිධ සික්ඛෙථ අස්මිං ලොකෙ සුසික්ඛිතං
සීලං හි සබ්බසම්පත්තිං උපනාමෙති සෙවිතං
-
(2) සිලං රක්ඛෙය්‍ය මෙධාවි
පත්ථයානො තයො සුඛෙ
පසංසං විත්තිලාභඤ්ච
පෙච්චසග්ගෙ පමොදනං
-
(3) සීලවා හි බහූමිත්තෙ සඤ්ඤමෙනාධිගච්ඡති
දුස්සීලෝ පන මිත්තෙහි ධංසතෙ පාපමාචරං
-
(4) අවණ්ණං ච අකිත්තිං ච
දුස්සීලො ලභතෙ නරො
වණ්ණ කිත්ති පාසංසඤ්ච
සදා ලභති සීලවා
-
(5) ආදි සීලං පතිට්ඨා ච කල්‍යාණනඤ්ච මාතුකං
පමුඛං සබ්බධම්මානං තස්මා සීලං විසොධයෙ
-
(6) වෙලා ච සංවරො සීලං චිත්තස්ස අභිහාසනං
තිත්ථං ච සබ්බබුද්ධානං තස්මා සීලං විසොධයෙ
-
(7) සීලං බලං අප්පටිමං සීලං ආවුධමුත්තමං
සීලං ආභරණං සෙට්ඨං සීලං කවචමබ්භූතං
-
(8) සීලං සෙතු මහෙසක්ඛො
සීලං ගන්ධො අනුත්තරො
සීලං විලෙපනං සෙට්ඨං
යෙන වාති දිසො දිසං
-
(9) සීලං සම්බල මෙවග්ගං සීලං පාථෙය්‍ය මුත්තමං
සීලං සෙට්ඨො අතිවාහො යෙන යාති දිසො දිසං
-
(10) ඉධෙව නින්දං ලභති
පෙච්චා’පායෙ ච දුම්මනො
සබ්බත්ථ දුම්මනො බාලො
සීලෙසු අසමාහිතො
-
(11) ඉධෙව කිත්තිං ලභති
පෙච්ච සග්ගෙ ච සුම්මනො
සබ්බත්ථ සුමනො ධීරො
සීලෙසු සුසමාහිතො
-
(12) සීලමෙව ඉධ අග්ගං පඤ්ඤවා පන උත්තමො
මනුස්සෙසු ච දෙවෙසු සීල පඤ්ඤාණතො ජයං
ගාථාවල තේරුම පිළිවෙලින් මෙසේ දත යුතු.
1. මේ ලෝකයෙහි අභිවෘද්ධිය කැමති තැනැත්තේ චාරිත්‍ර වාරිත්‍රාදි ප්‍රභේද ශීලය ම රක්නේ ය. රක්නා ලද ශීලය සිල් රැකි පුද්ගලයා හට සකල සම්පත්තීන් ම ගෙන දෙන්නේ ය.
2. ප්‍රශංසාවය, සතුටය, මතු දෙව්ලොව සතුටු වීම ය යන කරුණු තුන ප්‍රාර්ථනා කරන නුවණැත්තේ ශීලය රක්නේ ය.
3. සිල්වත් තැනැත්තේ තමා ගේ හික්මීමෙන් බොහෝ මිත්‍රයන් ලබන්නේ ය. දුශ්ශීලයා වනාහි පව් කම් කිරීමෙන් මිත්‍රයන්ගෙන් පහවන්නේ ය.
4. දුසිල් මිනිසා ඉදිරියේ ගර්හාව ද, අපකීර්තිය ද ලබන්නේ ය. ගුණ වර්ණනාව ද, කීර්තිය ද ඉදිරියේ කරන ප්‍රශංසාව ද, සිල්වතා හැම කල්හි ලබයි.
5. ශීලය කුශලයන්ට මුල ය. ධ්‍යානාදී උත්තරී මනුෂ්‍ය ධර්මයන්ගේ පිහිට ය. (ඒවා ඇති වන වැඩෙන බිම ය.) සමථ විදර්ශනාදි වූ කල්‍යාණ ධර්මයන් ගේ මව ය. සකලානවද්‍ය ධර්මයන් ගේ ද්වාරය ය. එබැවින් ශීලය පිරිසිදු කරන්නේ ය.
6. සංවර ශීලය දුශ්චරිත සංඛ්‍යාත ජලස්කන්ධය නවත්වන වෙරළ ද වේ. රක්නහුගේ සිත සතුටු කරවන දෙය ද වේ. සියලු බුදුවරයන් නිර්වාණ නමැති සයුරට බස්නා තොට ද වේ.
7. ශීලය මාරසේනා මර්දනය කරන අසදෘශ මහා සේනාව ය, ශීලය කෙලෙසුන් සිඳින උතුම් ආයුධය ය. ශීලය ශ්‍රේෂ්ඨ ආභරණයෙක. ශීලය අද්භූත සන්නාහයෙක.
8. ශීලය සංසාර සාගරයෙන් එතර වීමට ඇති මහානුභාව සම්පන්න හෙයකි. (පාලමකි) උඩු සුළඟෙහි ද යන සුවඳක් වීමෙන් ශීලය එයට වඩා උතුම් සුවඳක් නැති උසස්ම සුවඳ ය. ශීලය, ඇඟ ගලවා ගෙන සිටින උතුම් තැනැත්තාගේ සුවඳ සියලු දිසාවන්හි පැතිර යන උතුම් විලවුනෙකි.
9. ශීලය සංසාර කාන්තාරයේ ගමන් කරන තැනැත්තා හට ගෙන යා හැකි පිළුනු නො වන නො නැසෙන බත් මුලකි. ශීලය වුවමනා සෑම දෙයක් ම ලබා ගත හැකි සොර සතුරන්ට නොගත හැකි උසස් මාර්ගෝපකරණයෙකි. (මඟ වියදමට ගන්නා මුදල් පසුම්බියකි) ශීලය කිසි අනතුරකට කරදරයකට හසු නො වේ. කැමති දිශාවකට යා හැකි උතුම් යානයෙකි.
10. ශීලයෙහි නො පිහිටියා වූ අඥයා මෙලොව ද නින්දා ලබන්නේ ය. මරණින් පසු අපාගත වී කණගාටු වන්නේ ය. හැම තන්හි ම නො සතුටින් ම වෙසෙන්නේ ය.
11. සිල් රක්නා වූ නුවණැත්තා මෙලොව ද කීර්තිය ලබන්නේ ය. මරණින් පසු ස්වර්ගයෙහි සතුටු වන්නේ ය. සෑම තන්හි ම සතුටු වන්නේ ය.
12. නොයෙක් ලෞකික සම්පත් ලබා දෙන බැවින් ද සංසාර දුක්ඛයෙන් එතර කොට නිවනට පමුණු වන බැවින් ද ශීලය උතුම් ම ය. එසේ ම නුවණැත්තා ද උතුම් ය. මිනිස් ලොව ද, දෙව්ලොව ද, ශීල ප්‍රඥා දෙකින් ජය ලබන්නේ ය.