මහ බෝසත් කෙනෙකු විසින් ම සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය කරුණාව පැවැත්විය යුතු ය. සිහිනයෙන් වත් ක්‍රෝධය නූපදනා ලෙස ඒවා දියුණු කළ යුතු ය. එසේ කළ කල්හි ප්‍රාණඝාතයෙන් වැළකීම ඉබේම සිදු වේ. පරෝපකාර කිරීමේ අදහස තහවුරු කර ගෙන අනුන් අයත් වස්තුව සර්පයන් සේ ස්පර්ශ නො කළ යුතුය. ලෝභය දුරු කොට අන් සතු වස්තුව කැට කැබිලිති සේ සැලකිය යුතු ය. පරෝපකාරයට සිත නමා ගැනීමෙන් හා ලෝභය දුරුකිරීමෙන් අදත්තාදානයෙන් වැළකීම ඉබේම සිදුවේ.
ගිහිව වෙසෙන බෝසතුන් විසින් පරදාරාවන් මවුවරුන් මෙන් ද, සහෝදරියන් මෙන් ද, සැලකිය යුතු ය. එසේ සලකා පරදාර සේවනයෙන් වැළකිය යුතු ය. පැවිදි බෝසතුන් විසින් කය අශුභ වශයෙන් සලකමින් සප්ත මෛථුනයෙන් හා අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වැළකිය යුතු ය. කථා කිරීමේ දී සත්‍ය වූ ද, ප්‍රයෝජනවත් වූ ද, අනුන්ට ප්‍රිය වන්නා වූ ද, වචන පමණක් ප්‍රමාණ යුක්ත කොට කියන්නට පුරුදු කර ගත යුතු ය. එසේ පුරුදු කර ගැනීමෙන් මෘෂාවාද - පෛශුන්‍ය වචන - පරුෂ වචන කීමෙන් ද වැළකීම ඉබේ ම සිදු වේ. තමාගෙන් දීමට ම මිස අනුන්ගෙන් ගැනීමට නො සිතිය යුතුය. අනුන්ට යහපතක් ම මිස නපුරක් නො සිතිය යුතුය. කම්පල දන්නා නුවණ ඇති කර ගත යුතු ය. ගුණවතුන් භජනය කරන ගුණවතුන් ප්‍රිය කරන කෙනකු විය යුතු ය. මෙසේ සතර අපායට මාර්ගය වන දශ අකුශල කර්ම පථයෙන් වැළකී, ස්වර්ග මෝක්ෂයන්ට මාර්ග වූ දශ කුශල කර්ම පථයට බැස ගත් තැනැත්තා හට පාරමීහු පිරෙති.
ශීලය ඉබේ ම රැකෙන, ඉහත කී ගුණයන් නැත්තා වූ තැනැත්තා හට සිල් රැකීම මහ දුකෙකි. ඔහුට ශීල සමාදානය සිර ගෙයකට හසු වීමක් වැනිය. ඔහු විසින් දුකින් රක්‍ෂා කරන ශීලය දුබල ය. දුකින් සිල් රකින්නා වූ එබඳු පුද්ගලයන් ගේ ශීලය අස්ථිර ය. බිඳෙන සුලු ය. දුසිල් බවට ප්‍රතිපක්ෂ වූ ඉහත කී මෛත්‍රී කරුණාදී ගුණ ඇතිකර ගත් තැනැත්තාට සිල් රැකීමට අපහසුවක් නැත. සිල් රැකීම ඔහුට සුවයෙකි. ශීලය බිඳීම ම ඔහුට දුකෙකි. ඔහුගේ ශීලය ස්ථිරය. ඉබේ ම ඔහුගෙන් සිල් රැකෙන්නේ ය. උසස් ශීලය වනුයේ එබඳු පුද්ගලයාගේ ශීලය ය. ප්‍රාණඝාතාදිය කිරීමේ කැමැත්ත ඇති ව සිට, ශීලය නමැති වැටෙන් නො පැන යා හැකි බව නිසා, දුසිරිතෙන් වළක්නා තැනැත්තාගේ ශීලය හීනය.
ශීලාලංකාරයෙන් විනේය ජනයන් අලංකාර කරනු කැමති මහබෝසතුන් විසින් ද පරම පාරිශුද්ධියට පැමිණෙනු කැමති ප්‍රත්‍යේක බෝධිසත්ත්ව ශ්‍රාවක බෝධිසත්ත්ව වරයන් විසින් ද ආදියෙහි ම ශීලය පිරිසිදු කරගත යුතු ය.
“කිකීව අණ්ඩං චමරීව වාලධිං
පියංව පුත්තං නයනංව එකකං
තථෙව සීලං අනුරක්ඛ මානකා
සුපෙසලා හොථ සදා සගාරවා”
යන ගාථාවෙන් දැක්වෙන පරිදි කිරල් දෙන ජීවිත පරිත්‍යාගයෙන් බිජු රක්නාක් මෙන් ද, සෙමර මුවා ජීවිත පරිත්‍යාගයෙන් වලිගය රක්නාක් මෙන් ද, එක් පුතු ඇති මව පුතා රක්නාක් මෙන් ද, එක් ඇසක් ඇති තැනැත්තා එය රක්නාක් මෙන්ද පරමාදර ගෞරවයෙන් ශීලය රැකිය යුතු ය. ප්‍රමාදයෙන් සික පදයක් බිඳී ගියහොත් ගිහියන් විසින් මතු ඒ වරද නො කෙරෙමි යි ඉටා ගැනීමෙන් හෝ නැවත ශීලය සමාදන් වීමෙන් හෝ සිල් පිරිසිදු කර ගත යුතු ය. පැවිද්දන් විසින් විනය කර්මාදියෙන් නැවත ශිලය පිරිසිදු කර ගත යුතු ය.
හානභාගිය ශීලය ය, ඨිතිභාගිය ශීලය ය, විසේසභාගිය ශීලය ය, නිබ්බේධභාගිය ශීලය යයි ශීලය සිව් වැදෑරුම් වේ. පිරිහෙන අතට බර වී නැමී තිබෙන ශීලය හානභාගිය ශීලය නමි. තිබෙන සැටියට තිබෙන ශීලය ඨිතිභාගිය ශීල නමි. ධ්‍යානාදී විශේෂයන්ට බර වුණු නැමුණු ශීලය විසේසභාගිය ශීල නමි. ලෝකෝත්තර මාර්ගයට බර වුණු - නැමුණු ශීලය නිබ්බේධභාගිය ශීල නමි.
“යොච සෙවති දුස්සීලෙ සීලවන්තෙ න සෙවති,
වත්ථු වීතික්කමෙ දොසං න පස්සති අවිද්දසු.
-
මිච්ඡාසංකප්ප බහුලො ඉන්ද්‍රියානි න රක්ඛති.
එවරූපස්ස වෙ සීලං ජායතෙ හානභාගියං”
යමෙක් දුශ්ශීලයන් සේවනය කෙරේ ද, සිල්වතුන් සේවනය නො කෙරේ ද, සිකපද ඉක්මවීමේ දෝශය නො දකී ද, නුවණ නැත්තේ වේ ද, මිථ්‍යා කල්පනා බහුල කොට ඇත්තේ ද, ඉන්ද්‍රියයන් නො රකී ද එබඳු තැනැත්තා ගේ ශීලය ඒකාන්තයෙන් හානභාගිය වන්නේ ය.
“යෙ පනත්තමනො හොති සීලසම්පත්තියා ඉධ,
කම්මට්ඨානානුයොගම්හි න උප්පාදෙති මානසං
-
තුට්ඨස්ස සීලමත්තෙන අඝටන්තස්ස උත්තරිං
තස්ස තං ඨිතිභාගීයං සීලං භවති භික්ඛුනො”
මේ සස්නෙහි යමෙක් තමාගේ ශීලසම්පත්තියෙන් ම සතුටු වේ ද, කර්මස්ථානානු යෝගය ගැන නො සිතා ද ශීලමාත්‍රාදියෙන් සතුටුවන්නා වූ මතු විශේෂයකට පැමිණීමට වෑයම් නො කරන්නා වූ ඒ භික්ෂුව ගේ ශීලය ඨිතිභාගිය වේ.
“සම්පන්න සීලෝ ඝටති සමාධත්ථාය යො පන,
විසෙසභාගියං සීලං හොති ඵතස්ස භික්ඛුනො”
යමෙක් වනාහි ශීලයෙන් සම්පූර්ණ වූයේ සමාධිය පිණිස උත්සාහ කෙරේ ද, ඒ භික්ෂුවගේ ශීලය විසේසභාගිය වේ.
“අතුට්ඨො සීල මත්තෙන නිබ්බිදං යොනුයුඤ්ජති,
හොති නිබ්බෙධ භාගියං සීලමෙතස්ස භික්ඛුනො”
යම් භික්ෂුවක් තෙමේ ශීලමාත්‍රයෙන් සතුටු නො වී විදර්ශනා වැඩීමෙහි යෙදේ ද, ඒ භික්ෂුවගේ ශීලය නිබ්බේධභාගිය ශීලය වේ.
ශීල පාරමිතාව පුරන බෝසතුන් විසින් ශීලය පිළිබඳ වූ මේ ආකාර සතර සලකා සුදුසු සේ පිළිපැදිය යුතුය.