පඤ්චිමානි භික්ඛවෙ, දානානි මහාදානානි අග්ගඤ්ඤානි රත්තඤ්ඤානි වංසඤ්ඤානි පොරාණානි අසංකිණ්ණානි අසංකිණ්ණපුබ්බානි න සංකීයන්ති න සංකීයිස්සන්ති අප්පතිකුට්ඨානි සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි, කතමානි පඤ්ච?
1. ඉධ භික්ඛවෙ, අරියසාවකෝ පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, පාණාතිපාතා පටිවිරතො භික්ඛවෙ, අරියසාවකො අපරිමාණානං සත්තානං අභයං දෙති: අවෙරං දෙති, අබ්‍යාපජ්ඣං දෙති. අපරිමාණානං සත්තානං අභයං දත්වා අවෙරං දත්වා අබ්‍යාපජ්ඣං දත්වා අපරිමාණස්ස අභයස්ස අවෙරස්ස අබ්‍යාපජ්ඣස්ස භාගී හොති.
ඉදං භික්ඛවෙ, පඨමං දානං මහා දානං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පොරාණං අසංකිණ්ණං අසංකිණ්ණපුබ්බං න සංකීයති න සංකීයිස්සති අප්පතිකුට්ඨං සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි. අයං භික්ඛවෙ, චතුත්ථො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
2. පුන ච පරං භික්ඛවෙ අරියසාවකො අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති - පෙ -
3. කාමෙසුමිච්ඡාචාරං පහාය කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති - පෙ -
4. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති - පෙ -
5. සුරාමෙරය මජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරය මජ්ජපමා-දට්ඨානා පටිවිරතො හොති. සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො භික්ඛවෙ, අරියසාවකො අපරිමාණානං සත්තානං අභයං දෙති. අවෙරං දෙති. අබ්‍යාපජ්ඣං දෙති. අපරිමාණානං සත්තානං අභයං දත්වා, අවෙරං දත්වා, අබ්‍යාපජ්ඣං දත්වා, අපරිමාණස්ස අභයස්ස අවෙරස්ස අබ්‍යාපජ්ඣස්ස භාගී හොති.
ඉදං භික්ඛවෙ, පඤ්චමං දානං මහාදානං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පොරාණං අසංකිණ්ණං අසංකිණ්ණ පුබ්බං න සංකීයති න සංකියිස්සති අප්පතිකුට්ඨං සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි. අයං භික්ඛවෙ අට්ඨමො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛ විපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.”
මේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ පඨම පණ්ණාසකයේ සතරවන වර්ගයේ එන සූත්‍රයකින් කොටසකි. එහි තේරුම මෙසේය
මහණෙනි, අග්‍රය යි සලකනු ලබන්නා වූ, දීර්ඝ කාලයක පටන් පැවැත්තාහු යයි සලකනු ලබන්නා වූ, මහෝත්තමයන්ගේ වංශය යි සලකනු ලබන්නා වූ, පෞරණික වූ, නො මනාය යි ඉවත නො ලන ලද්දා වූ, අතීත බුදුවරයන් විසින් ඉවත නො ලන ලද්දා වූ, පස් දෙනෙක් වූ, මේ දානයෝ මහාදානයෝ ඇතහ. ඒ දානයන් දැනුදු බැහැර නො කෙරෙති. මතු බුදුවරයෝ ද බැහැර නො කරන්නාහ. ඒ දානයෝ ශ්‍රමණයන් විසින්, බ්‍රහ්මණයන් විසින්, නුවණැතියන් විසින් ගර්භා නො කරන ලද්දෝ ය.
ඒ දානයෝ පස්දෙනා කවරහුද යත්?
(1) මහණෙනි, මේ සස්නෙහි ආර්යශ්‍රාවක තෙමේ ප්‍රණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේ ද, මහණෙනි, ප්‍රාණඝාතයෙන් වැළකුණා වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අප්‍රමාණ සත්ත්වයනට අභය දෙයි. අවෛරය දෙයි. නිදුක් බව දෙයි. හේ අප්‍රමාණ සත්ත්වයනට අභය දී, අවෛරය දී, නිදුක් බව දී අප්‍රමාණ අභයයට අවෛරයට නිදුක් බවට හිමි වෙයි.
මහණෙනි, මෙය අග්‍රය යි සලක්නා වූ, පරණය යි සලකන්නා වූ බුද්ධාදීගේ වංශය යි සලකන්නා වූ, පරණ වූ දැනුදු අහක නො දමන්නා වූ, මතු බුදුවරයන් විසිනුදු අහක නො දමන්නා වූ පළමු වන දානය ය, මහා දානය ය. මෙය නුවුවමනා වැඩකැ යි දැනුදු බැහැර නො කරනු ලැබේ. මතු බුදුවරයන් විසින් ද බැහැර නො කරනු ලැබේ. ශ්‍රමණයන් විසින් බ්‍රාහ්මණයන් විසින්, නුවණැතියන් විසින් ගර්හා නො කරන ලද්දේය. මහණෙනි, මෙය සතර වැනි වූ පින් ගලන තැන ය. කුශල් ගලන තැන ය. සැප ගෙන දෙන දෙය ය. සුන්දර වූ අග්‍ර සම්පත් ගෙන දෙන ධර්මය ය. සැප විපාක ගෙන දෙන ධර්මය ය. ස්වර්ගය පිණිස පවත්නා ධර්මය ය. එය ඉෂ්ට භාවය පිණිස කාන්ත භාවය පිණිස, මනාප භාවය පිණිස, හිතය පිණිස, සුඛය පිණිස පවති.
(2) මහණෙනි, නැවත ආර්යශ්‍රාවක තෙමේ අදින්නාදානය හැර අදින්නාදානයෙන් වැළකුනේ වේ ද - පෙ –
(3) කාමමිථ්‍යාචාරය හැර කාමමිථ්‍යාචාරයෙන් වැළකුණේ වේ ද - පෙ-
(4) මුසාවාදය හැර මුසාවාදයෙන් වැළකුණේ වේ ද - පෙ
(5) මදයට ප්‍රමාදයට හේතු වන සුරාමේරය පානය හැර සුරාමේරය පානයෙන් වැළකුණේ වේ ද මහණෙනි, මද ප්‍රමාදයන්ට හේතු වන සුරාමේරය පානයෙන් වැළකුණා වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අප්‍රමාණ සත්ත්වයන්ට අභය දෙයි. අවෛරය දෙයි. නිදුක් බව දෙයි. අප්‍රමාණ සත්ත්වයනට අභය දී, අවෛරය දී, නිදුක් බව දී, අප්‍රමාණ වූ අභයයට අවෛරයට දුක් නැති බවට හිමියෙක් වෙයි.
මහණෙනි, මෙය අග්‍රය යි සලකන්නා වූ, පරණය යි සලකනු ලබන්නා වූ, බුද්ධාදීන්ගේ වංශය යි සලකනු ලබන්නා වූ, පෞරාණික වූ බුද්ධාදීන් විසින් බැහැර නො කරන්නා වූ පෙර බුදුවරයන් විසින් බැහැර නො කරන ලද්දා වූ පස්වන දානය ය. මහා දානය ය. මෙය වර්තමානයෙහි බැහැර නො කරනු ලැබේ. අනාගතයේ දී බැහැර නො කරනු ලබන්නේ ය. ශ්‍රමණයන් විසින් ද බ්‍රාහ්මණයන් විසින් ද නුවණැතියන් විසින් ද ගර්හා නො කරන ලද්දක් ය. මහණෙනි, මේ (සුරාපානවිරතිය වූ මහා දානය) අටවන පින් ගලන තැන ය. කුශල් ගලන තැන ය. සැප එළවන දෙය ය. සුන්දර වූ අග්‍ර සම්පත් ලබා දෙන කරුණ ය. සැප විපාක ගෙන දෙන ධර්මය ය. ස්වර්ගය පිණිස පවත්නා ධර්මය ය. මෙය ඉෂ්ට භාවය කාන්ත භාවය මනාප භාවය පිණිස හිතය පිණිස සැපය පිණිස පවති.
මෙම සූත්‍රයෙන් දැක්වෙන්නේ පඤ්චශීලය බුද්ධාදීන් විසින් උසස් කොට සලකනු ලබන මහා දාන පසක් වන බව ය. ප්‍රාණඝාතාදියෙන් වළක්නා තැනැත්තාගේ ඒ ක්‍රියාව සකල සත්ත්වයන්ට අභය දීමකි. අභය දීමය යනු නිදහස දීම ය. අදත්තාදානයෙන් වැළකීම වස්තු හිමියන්ට අභය දීම කි. පරදාර සේවනයෙන් වැළකීම පරදාරාවන්ට හා ඔවුන්ගේ හිමියන්ට අභය දීමකි. බොරු කීමෙන් වැළකීම නො රැවටීම් වශයෙන් අභය දීමකි. සුරාපානය කරන තැනැත්තා බොහෝ දෙනාට කරදර කාරයෙකි. එයින් වැළකීම ඒ කරදරය නො කිරීම් වශයෙන් මහජනයාට නිදහස දීමකි. මෙසේ බලන කල පන්සිල් රකින්නහුට මහා දාන පසක් දෙමිය කියා ද ප්‍රීතිය ලැබිය හැකි ය. මේවා වියදමක් නැති ව මහන්සියක් නැතිව දිය හැකි දානයෝ ය.
ආහාර දානාදියෙන් ලැබෙන්නා වූ ආනිසංසය වුව ද, මැනවින් ලැබෙන්නේ සිල්වතාට ම ය. දුශ්ශීලව සිට දන් දුන්නා වූ තැනැත්තාට ඔහුගේ පව්කම් කලින් විපාක දෙන්නට පටන් ගතහොත් ඒ කාලය තුළ දී ඔහුගේ දානමය කුශලය විපාක දීමට අවකාශයක් නො ලබයි. පරණ වී අවකාශ ලත් විටක විපාක දෙන්නට පටන් ගත්තේ ද, එතැනදී ද අකුශල කර්ම, අතර අතර පැමිණ විපාක දෙන්නට පටන් ගැනීමෙන් දාන විපාකය - දානානිසංසය දුබල කරයි. එයට හානි කරයි.
දානමය කුශලයාගේ විපාකයෙන් මිනිස්ලොව පොහොසත් තැනක ඉපිද ධනය ලැබුවේ ද අතීත අදින්නාදාන කර්මයෙන් ඒ ධනය පිරිහේ. සම්පූර්ණයෙන් ම හෝ විනාශ වේ. අතීත ප්‍රාණඝාත කර්මයෙන් රෝගාදී නොයෙක් දුක් ඇති කරයි. සිල්වත්ව සිට දන් දුන්නා වූ තැනැත්තාට කුශල විපාකයට - කුසලානිසංසයට හානි කරන පව් නැති බැවින් දානමය කුශලයාගේ ඵලය දීප්තිමත් ව ලැබේ.
“ඉධ භික්ඛවේ, එකච්චො දානං දෙති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං මාලාගන්ධ විලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං - පෙ - කායස්ස භෙදා පරම්මරණා ඛත්තිය මහාසාලානං වා බ්‍රාහ්මණ මහාසාලානං වා ගහපති මහාසාලානං වා සහව්‍යතං උපපප්ජති. තඤ්ච ඛො සීලවතො වදාමි නො දුස්සීලස්ස.”
යනාදීන් තථාගතයන් වහන්සේ විසින් දානානිසංසය සිල්වතාට ම ලැබෙන බවත් දුශ්ශීලයාට නො ලැබෙන බවත් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයෙහි ප්‍රකාශිත ය. බෞද්ධයන්ට දන් දෙන අවස්ථාවල පන්සිල් සමාදන් වීම පුරුදු වී තිබෙන්නේ ඉහත දැක් වූ දේශනාව නිසා ය. දානානිසංසය මැනවින් ලැබිමට සැමකල්හි ම ශිලයෙන් යුක්ත ව පවින් තොර ව විසීම මිස, දන් දෙන වෙලාවේ දී සමාදන් වී පසුව කඩන ක්ෂණිකශිලය පිරිමැසෙන්නේ නො වේ. එබැවින් තමන් කරන පින්කම්වල ඵලය උසස් ලෙස ලබනු කැමැත්තෝ සැම කල්හි ම සිල් රකිත්වා!