අප බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි වෙළෙන්ඳෝ සත්සියදෙනෙක් නැවක නැගී මුහුදෙහි ගියෝ ය. සැඩ සුළඟ නිසා ඔවුන්ගේ නැව ඊයක වේගයෙන් මහ සමුදුර මැදට ගියේ ය. රළ අධික වීම නිසා මුහුද මැද දී නැවට වතුර ඇතුල් වන්නට පටන් ගත. නැවියෝ බිය පත්වී තම තමන් අදහන දෙවිවරුන්ට යදිමින් විලාප කියන්නට හඬන්නට පටන් ගත්හ. එහි සිටි එක් පුරුෂයෙක් මේ මහා භයේ දී මට පිහිටක් ඇද්දෝ යි සිතනුයේ තමා විසින් රක්නා පිරිසිදු සරණ ශීලය දැක නිර්හීතව බද්ධ පර්‍ය්‍යංකයෙන් හුන්නේ ය.
ඔහු එසේ නිර්භීත ව වාඩි වී සිටිනු දුටු සේසෝ මේ මහා භය ඔබට නැත්තේ කවර හේතුවකින් දැයි ඇසූහ. මම නැව් නගිනා දිනයෙහි සංඝයාට දන් දී සරණ ශීලය සමාදන් වී ආවෙමි. එබැවින් මට භයක් නැතය යි හේ කීය. එකල්හි මිනිස්සු “හිමියනි, ඔබට පිහිට වන ඒ සරණ ශීලය අපටත් නො වටනේ දැ” යි ඇසූහ. හේ “සැම දෙනාට ම එය වටනේ ය” යි කීහ. එකල්හි සෙස්සො එසේ නම් ඒ සරණ ශීලය අපටත් දුන මැනවයි කීහ. හෙතෙමේ වෙළෙඳුන් සත් සියය සත් කොටසකට බෙදා වරකට සිය සිය දෙනාට තිසරණ සහිත පඤ්ච ශීලය දිණ.
ඔවුන්ගෙන් පළමු වන සිය දෙනා ඇස්වටය තෙක් වතුරේ සිට සිල් සමාදන් වූහ. දෙවන සිය දෙනා දණ පමණට වතුරේ සිට සිල් සමාදන් වූහ. තුන්වන සිය දෙනා තුනටිය පමණට වතුරේ සිට සිල් සමාදන් වූහ. සතරවන සිය දෙනා පෙකණිය පමණට ජලයෙහි සිට ද, පස්වන සිය දෙනා තන පමණට දියෙහි සිට ද, සවන සිය දෙනා ගෙළ පමණට වතුරේ සිට ද, සත්වන සිය දෙනා කටට එන නො එන තරම් දියෙහි සිට ද, සිල් සමාදන් වූහ.
මෙසේ හේ සැම දෙනාට ම තිසරණ පන්සිල් සමාදන් කරවා නුඹලාට අන් පිහිටක් නැත. ශීලය ම පිහිට ය. එය ම මෙනෙහි කරව යි ඝෝෂා කෙළේ ය. ඒ වෙළඳුන් සත්සිය දෙනා ම දියේ ගිලී මැරී මරණාසන්නයේ දී ගත් ශීලයේ අනුහසින් තව්තිසා දෙව් ලොව උපන්හ. ඔවුන් සැම දෙනාගේ ම විමාන එක් තැනක ම පහළ විය. ගුරුවරයාට සියක් යොදුන් රන් විමනක් හා සෙස්සන්ට එය වටා පසු පසු සිල් සමාදන් වූවන්ට ක්‍රමයෙන් මිටි මිටි වූ විමානයොත් පහළ වූහ. සැමට ම පසු සිල් ගත් සියයට පහළ වූ විමානයෝ දොළොස් යොදුන් පමණ වූහ.
ඒ දෙවියෝ උපන් කෙණෙහි තමන් කළ කුශලයන් ප්‍රත්‍යවේක්ෂා කරන්නාහු පන්සිල් දුන් ආචාර්‍ය්‍යවරයා නිසා ඒ සම්පත් ලද බව දැන, තමන් ගේ ආචාර්‍ය්‍යවරයා ගේ ගුණය සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට සැළ කරනු පිණිස රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි බුදුන් වහන්සේ වෙත පැමිණ, එයින් සදෙනෙක් ආචාර්‍ය්‍යවරයා ගේ ගුණ පැවසීම් වශයෙන් බුදුන් වහන්සේ හමුවෙහි ගාථාව බැගින් කීහ. ඒ ගාථා මෙසේ ය.
(1) “සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙත සන්ථවං
සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යො හොති න පාපියො
-
(2) සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙත සන්ථවං
සතං සද්ධම්ම මඤ්ඤාය පඤ්ඤා ලබ්භති නාඤ්ඤතො
-
(3) සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බේත සන්ථවං
සතං සද්ධම්ම මඤ්ඤාය සොක මජ්ඣෙ න සොචති
-
(4) සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙත සන්ථවං
සතං සද්ධම්ම මඤ්ඤාය ඤාති මජ්ඣෙ විරොචති
-
(5) සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙත සන්ථවං
සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා ගච්ඡන්ති සුග්ගතිං
-
(6) සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙත සන්ථවං
සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා තිට්ඨන්ති සාතතං
ගාථාවල තේරුම මෙසේ ය -
(1) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. බුද්ධාදී සත්පුරුෂයන් ගේ පඤ්චශීල දශශීලාදි සද්ධර්මය දැන ගැනීමෙන් දියුණුවක් වෙයි. පිරිහීමක් නො වෙයි.
(2) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් කරව්. බුද්ධාදී සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන ගැනීමෙන් ප්‍රඥාව ලැබේ. වැලි ආදියෙන් තෙල් ආදිය නො ලැබෙන්නාක් මෙන් අනිකකින් ප්‍රඥාව නො ලැබේ.
(3) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. බුද්ධාදී සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන ගැනීමෙන් ශෝක මධ්‍යයේ ශෝක නොකරයි.
(4) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන ගැනීමෙන් නෑයන් මැද බබළයි.
(5) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන සත්ත්වයෝ සුගතියට යෙති.
(6) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැනීමෙන් සුවය චිර කාලයක් පවති.
තථාගතයන් වහන්සේ ඒ සැම දෙනාගේ ම ගාථා අසා සිට සැමදෙනා ගේ ම කීම් යහපත් බව වදාරා, අපෙන් ද ගාථාවක් අසව් යැයි වදාරා මෙසේ වදාළ සේක.
“සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං
සතං සද්ධම්මමඤ්ඤාය සබ්බදුක්ඛා පමුච්චති”
සත්පුරුෂයන් සමඟ ම එක්වව්. සත්පුරුෂයන් හා මිතුරුකම් පවත්වව්. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන සකල දුඃඛයෙන් මිදේ ය, යනු එහි තේරු ම යි. දේවතාවෝ සතුටුව, තථාගතයන් වහන්සේට වැඳ පැදකුණු කොට අතුරුදන් වූහ.
(මේ කථාව දේවතා සංයුක්තයේ ය)