“චත්තාරො සතිපට්ඨානා, කායානුපස්සනා සතිපට්ඨානං, වේදනානුපස්සනා සතිපට්ඨානං, චිත්තානුපස්සනා සතිපට්ඨානං, ධම්මානුපස්සනා සතිපට්ඨානං”
කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය, චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨානය යි සතිපට්ඨානයෝ සතර දෙනෙකි.
සතිපට්ඨාන යන මෙහි ‘සති’ යනු සිහියට නමෙකි. පල්ලමකට දැමූ බෝලයක් සේ පෙරලී නො ගොස් මනා කොට පිහිටන්නා වූ දෙයට පට්ඨානය යි කියනු ලැබේ. මේ සතිය හෙවත් සිහිය නානාරම්මණයෙහි නො මනා පරිදි විසිර නො ගොස් කායාදි ආරම්මණයෙහි මනා කොට පිහිටන බැවින් එයට සතිපට්ඨානය යි කියනු ලැබේ. සතිපට්ඨාන යනු කායාදි ආරම්මණයෙහි මනා කොට පිහිටන්නා වූ සිහිය ය. සතිපට්ඨාන යන වචනයෙන් කියැවෙන තවත් අර්ථ ද ඇත්තේ ය. ඒ අර්ථ මේ බෝධිපාක්ෂික ධර්ම කථාවෙහි දී නො ගනු ලැබේ. කියන ලදුයේ මෙහි දී ගත යුතු අර්ථය යි. සිහිය සාමාන්‍යයෙන් එකක් වුව ද එය කාය, වේදනා, චිත්ත, ධම්ම යන පිහිටන ස්ථානයන් ගේ වශයෙන් කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය, චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානු පස්සනා සතිපට්ඨානය යි සතර වැදෑරුම් වේ. එ බැවින් සතිපට්ඨාන සතරකැ යි කියනු ලැබේ.
කාය ය යි කියනු ලබන රූප සමූහය සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් හා නිත්‍ය සුඛ ශුභාදි වශයෙන් නො මනා පරිද්දෙන් නො බලා ආශ්වාස ප්‍රශ්වාසාදි ඒ ඒ කායයන් සැටියට ම බලන්නා වූ ද අනිත්‍යාදි වශයෙන් බලන්නා වූ ද ප්‍රඥාව හා යුක්ත වන සිහිය කායානුපස්සනා සතිපට්ඨාන නම් වේ.
නව වැදෑරුම් වේදනාව ආත්මාදි වශයෙන් වරදවා නොගෙන ඒ ඒ වේදනා සැටියට ම බලන්නා වූ ද වේදනාව අනිත්‍යාදි වශයෙන් බලන්නා වූ ද ඥානය හා පවත්නා වූ ද සිහිය වේදනානුපස්සනා සතිපට්ඨාන නම් වේ.
සරාග චිත්තාදි වශයෙන් සොළොස් වැදෑරුම් වූ චිත්තය ආත්මාදි වශයෙන් වරදවා නො ගෙන චිත්තයක් සැටියට බලන්නා වූ ද අනිත්‍යාදි වශයෙන් බලන්නා වූ ද ඥානයෙන් යුක්ත වූ සිහිය චිත්තානුපස්සනා සතිපට්ඨාන නම් වේ.
නීවරණාදි ධර්මයන් ආත්මාදි වශයෙන් වරදවා නොගෙන නීවරණාදි ධර්ම වශයෙන් බලන්නා වූ ද, ඒවායේ ඉපදීම් බිඳීම් ආදිය බලන්නා වූ ද ඥානයෙන් යුක්ත වූ සිහිය ධම්මානුපස්සනා සතිපට්ඨාන නම් වේ.
නිවන් සොයන පින්වතුන් විසින් ප්‍රාරම්භ ක්‍රියාවක් වශයෙන් කළ යුත්තේ සතිපට්ඨාන භාවනාවට පටන් ගැනීම ය. එය නිවන් මඟට බැස ගැනීම ය. සතිපට්ඨානය නිවන් මඟ ය. එ බැවින් -
“එකායනෝ අයං භික්ඛවෙ! මග්ගො සත්තානං විසුද්ධියා සොක පරිද්දවානං සමතික්කමාය දුක්ඛදෝමනස්සානං අත්තංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා.”
යනු වදාළ සේක. “මහණෙනි, යම් සතර සතිපට්ඨානයක් වේ ද එය සත්ත්වයනට රාගාදි ක්ලේශ මලයෙන් පිරිසිදු වීම පිණිස ද, කණගාටුවීම්, හැඬීම් ඉක්මවීම පිණිස ද, දුක් දොම්නස් නැති කරගනු පිණිස ද, ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීම පිණිස ද, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස ද ඇත්තා වූ නිවන කරා කෙළින් ම යන්නා වූ මාර්ගය ය” යනු එහි තේරුම ය.
සත්ත්වයා ගේ සිතට හසුවන්නා වූ නානාප්‍රකාර අරමුණු වලින් ලෝකය පිරී තිබේ. සත්ත්වයාගේ සිත ඇදගන්නා වූ සිත ඇලෙන්නා වූ අරමුණු ද ලෝකයෙහි බොහෝ ය. භාවනාවෙහි යොදා නො හික්මවන ලද්දා වූ නො සකස් කරන ලද්දා වූ කීකරු නො කරන ලද්දා වූ සාමාන්‍ය පුද්ගලයන්ගේ සිත අනවරාග්‍ර සංසාරයෙහි ඉතා දීර්ඝ කාලයෙක පටන් නිතර ම අරමුණෙන් අරමුණට යමින් ද කාමනීය ආරම්මණයෙහි ඇලෙමින් ද පාපයෙහි ඇලෙමින් ද පැවත එන්නේ ය. නිවන ලබා දෙන්නා වූ ඉහත කී ලෝකෝත්තර ඥානය වනාහි සිත සන්සිඳුවා ස්කන්ධාදි ධර්ම විෂයයෙහි බොහෝ කලක් පවත්වා ඒ ධර්මයන්ගේ සැබෑ තත්ත්වය සොයා දැන ගැනීමෙන් ලැබිය යුත්තෙකි.
අනවරාග්‍ර සංසාරයෙහි අතිදීර්ඝ කාලයක් නානාරම්මණයෙහි විසිර පැවැත්තා වූ සිත එක අරමුණක එක් ක්‍රියාවක වැඩි වේලාවක් නො පැවැත්විය හැකි ය. යටත් පිරිසෙයින් මිනිත්තු කීපයක් වත් පැවැත්වීමට දුෂ්කර ය. ඒ සිත ගත් අරමුණේ නො සිට වහා අනිකකට යන්නේ ය. මහත් දෙයක් කිරීමට තබා මිනිත්තු ගණනක් ගුණ මෙනෙහි කරමින් බුදුන් වැඳීම වුව ද, මඳ වේලාවක් ධර්මයක් ඇසීම වුව ද එබඳු සිත ඇති තැනැත්තාට නො කළ හැකි ය. වන්දනාවට පටන් ගත් විට ද ඔහු ගේ සිත අනෙකකට ඇදෙන්නේ ය. බණක් අසන කල්හි ද ඔහුගේ සිත අනෙකකට ඇදෙන්නේ ය. ස්කන්ධාදි ගැඹුරු ධර්මයන් මෙනෙහි කරන්නට ගිය හොත් ඔහුගේ සිත අනෙකකට ඇදී යාම ගැන කියනු කිම? භාවනාවෙහි යෙදීමෙන් නො හික්මවන ලද නො සන්සිඳුවන ලද සිත කුළු ගොනකු වැනි ය.
කවදාවත් කඹයක් කරට දමා නැති කුළුගොනකු අල්ලා කරත්තයක බැඳ දැක්කුව හොත් ඌ හැරුණු හැරුණු අත පලා යනු මිස, කිසි කලෙක නියම මඟ නො යන්නේ ය. එ මෙන් භාවනාවෙන් නො හික්ම වන ලද සිත කුශල ක්‍රියාවක හෝ ස්කන්ධාදි ධර්ම විභාග විමසීමක හෝ යෙදුව හොත් මොහොතකුදු එහි නො පිහිටා අන් අරමුණුවලට ඇදී යන්නේ ය. බොහෝ දෙනාට බණ ඇසීමට බණ ඉගෙනීමට භාවනාවෙහි යෙදීමට හා තවත් පුණ්‍ය ක්‍රියාවල යෙදීමට ද නො හැකි වී තිබෙන්නේ සිත හික්මවා ගෙන නැති බැවිනි. හිත හික්මවා නො ගත් තැනැත්තා නිවන් මඟට බැස ගත්තේ ද එහි ඉදිරියට නො ගොස් වහා අන් අතකට හැරෙන්නේ ය. එ බැවින් සසර දුකින් මිදෙනු කැමති තැනැත්තා විසින් අනවරාග්‍ර සංසාරයෙහි දීර්ඝ කාලයක් මුළුල්ලෙහි නානාරම්මණයෙහි වික්ෂිප්ත ව පාපයෙහි ඇලී ගැලී ආ කුළු සිත දමනය කරන්නට පළමුවෙන් පටන්ගත යුතු ය. එය නො කොට නිවන් නො ලැබිය හැකි ය.
සිත දමනය කිරීමට ඇත්තා වූ හොඳ ම උපාය සතිපට්ඨාන භාවනාව ය. සතිපට්ඨානය සෑම දෙනාට ම වුවමනා වන්නේ ද ඒ නිසා ය. සතිපට්ඨානය දියුණු කර ගැනීමෙන් සිත හික්මෙන්නේ ය. සන්සිදෙන්නේ ය. වනයේ වාසය කරන කුළු ගොනා අල්ලා බැඳ කීකරු කර ගත් කල්හි ඌ කැමති වැඩක යෙදවිය හැකි වන්නාක් මෙන් සතිපට්ඨාන භාවනාවෙන් සිත කීකරු කර ගත් කල්හි ඒ සිත කැමති යහපත් ක්‍රියාවක කැමති තාක් කල් යෙදිය හැකි වන්නේ ය. පැය ගණනක් වුව ද එක් අරමුණක පිහිටුවිය හැකි වන්නේ ය. කීකරු ගොනා රියෙහි බැඳ නිසි මඟ යැවිය හැකි වන්නාක් මෙන් කීකරු කර ගත් සිත නිවන් මඟ යැවිය හැකි වන්නේ ය. එ බැවින් සසර දුකින් මිදී නිවන් සුවය ලබනු කැමති සත්පුරුෂයෝ සතිපට්ඨාන භාවනාවෙහි යෙදීමෙන් තම තමන්ගේ සිත් සකස් කෙරෙත්වා!