කාමච්ඡන්ද නීවරණය යනු චක්ෂුරාදි ඉන්ද්‍රියයන් පිනවන්නා වූ වස්තූන් ගැන හා පුද්ගලයන් ගැන ද ක්‍රියා ගැන ද ඇති වන්නා වූ ලෝභය ය. ආහාර පාන වස්ත්‍ර ආභරණ යාන වාහන මිල මුදල් ආදි වස්තු ගැන තදින් කාමච්ඡන්දය ඇති වේ. ප්‍රිය පුද්ගලයන් ගැන හා ඇතැම් ක්‍රියා ගැන ද තදින් කාමච්ඡන්දය ඇති වේ. ඇසට පෙනෙන කනට ඇසෙන සෑම දෙය ගැන ම සාමාන්‍යයෙන් කාමච්ඡන්දය ඇති වන බව කිය යුතු ය. අඹු දරුවන් හැර ධනය හැර වන ගත ව යෝගයට බැස සිටින පින්වතුන්ට බාධක වන්නේ සියල්ල සම්බන්ධයෙන් ඇත්තා වූ කාමච්ඡන්දය ය. සමාධියට ඉතා ම සතුරු වන්නේ ද කාමච්ඡන්ද නීවරණය ය.
අනේකාරම්මණයන් සම්බන්ධයෙන් පවත්නා වූ අනේකාකාර කාමච්ඡන්දයන් ගෙන් යෝගාවචරයන්ට වඩා ම බාධක වන්නේ සියල්ල සම්බන්ධ කාමච්ඡන්දය ය. එබන්දක් ඇති බව පවා බොහෝ දෙනා නො දනිති. එහෙත් එය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බාල මහලු සැම දෙනා කෙරෙහි ම තදින් ඇත්තා වූ කාමච්ඡන්දයෙකි. මේ මිනිසුන්ට යම් කිසි එක් වැඩක් කරමින් හෝ වැඩක් නො කරමින් හෝ එක් තැනක විසිය නො හැක්කේ ඔවුන් ලෝකය බල බලා ඇවිදින්නේ සියල්ල පිළිබඳ වූ කාමච්ඡන්දය නිසා ය. ඒ කාමච්ඡන්දය නමැති ගින්නට ආහාර නොදී සිටිය නො හැකි බැවින් කාමච්ඡන්දයට ආහාර සපයමින් ඔවුහු ඇවිදිති. දක්නට ලැබෙන අලුත් අලුත් දේ ඒ කාමච්ඡන්දයේ ආහාරයෝ ය.
වට පිට ඇති දෑ නො බලා වට පිට සිටින අය කරන දෑ නො බලා වට පිට සිටින අය හා කථා නො කර සිටින කල්හි පුද්ගලයාගේ සන්තානයෙහි ඇති සියල්ල පිළිබඳ වූ කාමච්ඡන්ද ගින්න තදින් ඇවිලෙන්නට වන්නේ ය. ඒ දැවීම ඉවසා ගත නො හැකි බැවින් එය නිවා ගැනීමට ලෝකය බලන්නට යන්නේ ය. කථා කරන්නට අය සොයන්නේ ය. එයින් ඒ කාමච්ඡන්ද ගින්න ආහාර ලැබ ඒ අවස්ථාවට නිවෙන්නේ ය. සියල්ල සම්බන්ධී කාමච්ඡන්දය පුද්ගලයන් කෙරෙහි කොතරම් බලවත් ව තිබේද යන බව දත හැකි වන්නේ බලන්නට අමුතු දෙයක් නො ලැබ කථා කරන්නට කෙනකු නො ලැබ සිටින්නට වූ විටය. එසේ සිටින්නට වුවහොත් එය මිනිසාට ඉවසිය නො හෙන දුකෙක. ඒ දුක නම් කාමච්ඡන්දයේ දැවීම ය.
ඇවිද ලෝකය දෙස බලමින් එය නො නිවෙන කල්හි වට පිට ඇති දේ පිළිබඳ වූ අනේකප්‍රකාර සිතිවිලි මිනිසාට පහළ වන්නේ ය. කිසි ප්‍රයෝජනයක් නැත්තා වූ සිතුවිලි පහළ වන්නේ ද කාමච්ඡන්දය නිසා ය. භාවනා කරන්නා වූ තැනැත්තාගේ සිත ඒ අරමුණෙහි නො පිහිටා කිසි ප්‍රයෝජනයක් නැත්තා වූ දේ සම්බන්ධ සිතුවිලි නිතර ම පහළ වන්නේ ද ඒ කාමච්ඡන්දය නිසා ය. එබැවින් යෝගාවචරයන්ට ඇත්තා වූ මහා බාධාවත්, දුරු කර ගැනීමට දුෂ්කර වූ නීවරණයත් ඒ කාමච්ඡන්දය බව දත යුතු ය. ධන පුත්‍ර භාර්‍ය්‍යාදීන් ගැන ආශාව නො හළ ගිහියන්ට හා විහාරාරාමාදිය ගැන ආශාව නො හළ පැවිද්දන්ටත් ඒවා පිළිබඳ ආශාව වූ කාමච්ඡන්දය ද බාධක වන්නේ ය.
කාමච්ඡන්දයෙන් වන බාධාව නැති කර ගැනීම පිණිස යෝගාවචරයන් විසින් කාමච්ඡන්දය ගැන සිතා බැලිය යුතු ය. එය කරන්නේ මෙසේ ය. තමන් කෙරෙහි කාමච්ඡන්දය ඇත ද නැත ද කියා පළමු කොට විමසිය යුතු ය. මෙහි අදහස් කරන ඇති නැති බව වනාහි මෙනෙහි කරන අවස්ථාවෙහි කාමච්ඡන්දය ඉපද ඇති නැති බව නො වේ. සමුච්ඡේද ප්‍රහාණයෙන් මතු කිසි කලෙක නූපදිනා පරිදි ප්‍රහාණය කළ නො කළ බව ද නො වේ. තමන් ගේ සමාධියට බාධා වන පරිදි නිතර කාමච්ඡන්දය ඉපදීම මෙහි අදහස් කරන කාමච්ඡන්දය ඇති බව ය. එසේ නිතර නිතර නූපදනා බව කාමච්ඡන්දය නැති බව ය. තමා ගේ සන්තානයෙහි කාමච්ඡන්දය නිතර නිතර උපදී නම් කාමච්ඡන්දය තමා කෙරෙහි ඇත ය යි සැලකිය යුතු ය. නිතර නූපදී එය යට පත් වී තිබේ නම් කාමච්ඡන්දය නැත යයි සැලකිය යුතු ය. අන්‍ය නීවරණයන් ඇති නැති බව සලකන්නා වූ ක්‍රමය ද එය ම ය.
භාවනා කරන කල්හි සිත සමාධිගත නො වේ නම් නොයෙක් අරමුණුවලට යේ නම් එයින් කාමච්ඡන්දය ඇති බව දත යුතු ය. එය ඇති නැති බව සිතා බලා තමා කෙරෙහි කාමච්ඡන්දය නැත්තේ නම් මා කෙරෙහි කාමච්ඡන්දය ඇත්තේය යි සිතිය යුතු ය. ඉදින් කාමච්ඡන්දය නැත්තේ නම් මා කෙරෙහි කාමච්ඡන්දය නැත්තේය යි සිතිය යුතු ය. ඉක්බිති නූපන් කාමච්ඡන්දය ඉපදීමේ හේතු සිතිය යුතු ය. උපන් කාමච්ඡන්දය දුරු වීමේ හේතු සිතිය යුතු ය. ප්‍රහාණය කරන ලද කාමච්ඡන්දය මතු කිසි කලෙක ස්වසන්තානයෙහි නූපදනා ලෙස දුරු කරන සැටි සිතිය යුතු ය. එසේ කිරීම කාමච්ඡන්දය පිළිබඳ වූ භාවනාව ය.
“අත්ථි භික්ඛවෙ, සුභ නිමිත්තං තත්ථ අයොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භීය්‍යොභාවාය වෙපුල්ලා ය.”
කාමච්ඡන්ද සංඛ්‍යාත ලෝභය කෙරෙහි හා ලෝභනීය වස්තූන් කෙරෙහි නුසුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව නිසා නූපන් කාමච්ඡන්දය උපදනා බව ද, උපන් කාමච්ඡන්දය නැවත නැවත ඉපදීම් වශයෙන් වැඩෙන බව ද ඉහත කී දේශනයෙන් දැක්වේ. එක් දෙයක් ගැන කාමච්ඡන්දය ඇති කල්හි එහි ආදීනවය සලකා එය ප්‍රහාණය නො කොට ඇති වූ කාමච්ඡන්දය පිළිගෙන එයට ඕනෑ කරන දෙය සෙවීමටත් කාමච්ඡන්දයට වුවමනා සැටියට ක්‍රියා කරන්නටත් ගිය හොත් එය නිසා තවත් බොහෝ දේවල් පිළිබඳ කාමච්ඡන්දයෝ උපදිති.
භාවනානුයෝගීව හුදෙකලාව වාසය කරන භික්ෂුවකට මා හට තනි ව විසීම අපහසු ය. දෙවැන්නකු වශයෙන් මට උපකාරයට ගෝලයකු සොයා ගත යුතු ය කියා, ගෝලයකු ගැන කාමච්ඡන්දය ඇති වුව හොත් ඒ කාමච්ඡන්දය නිසා ගෝලයාට වුවමනා වාසස්ථාන ආහාර පාන වස්ත්‍ර බෙහෙත් ආදි බොහෝ උපකරණයන් සම්බන්ධයෙන් බොහෝ කාමච්ඡන්දයෝ පහළ වෙති. ඇති වූ පළමු කාමච්ඡන්දයේ ආදීනව මෙනෙහි කොට එය ප්‍රහාණය කෙළේ නම් පසු උපදනා බොහෝ කාමච්ඡන්දයෝ නූපදනාහ. ඒ සියල්ල ම වන්නේ පළමු ඇති වූ කාමච්ඡන්දය හොඳ සැටියට පිළිගැනීම නිසා ය. කාමච්ඡන්දය පිළිබඳ ව නුසුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව නිසා උපන් කාමච්ඡන්දයන්ගේ ඉපදීම වේ ය යි වදාරන ලද්දේ එහෙයිනි.
ස්ත්‍රීරූප පුරුෂ රූපාදි ලෝභනීය වස්තූන්හි ආස්වාදනීය භාවයක් ඇතුවක් මෙන් ම ආදීනව රාශියක් ද ඇත්තේ ය. ඒවායේ ඇති ආදීනව පක්ෂය වූ අනිත්‍ය දුඃඛ අනාත්ම අශුභ භාවය නො සලකා ලෝභනීය වස්තූන් නිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් සැලකීම ලෝභනීය වස්තූන් කෙරෙහි නුසුදුසු පරිදි මෙනෙහි කිරීම ය. එයින් නූපන් කාමච්ඡන්දය ද උපදින්නේ ය. උපන් කාමච්ඡන්දය ද වැඩෙන්නේ ය.
“අත්ථි භික්ඛවෙ, අසුභ නිමිත්තං, තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස අනුප්පාදාය උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස පහාණාය න භීය්‍යොභාවාය.”
අශුභධ්‍යානයෙහි හා අශුභාරම්මණයෙහි සුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව හේතු කොට නූපන් කාමච්ඡන්දය නූපදින්නේ ය. උපන් කාමච්ඡන්දය දුරු වන්නේ ය. නැවත නැවත ඉපදීම් වශයෙන් නො වැඩෙන්නේ ය.
කාමච්ඡන්දයට හේතු වන ශෝභන ස්ත්‍රී පුරුෂ රූපාදිය ද අනිත්‍ය දුඃඛ අනාත්ම අශුභ ස්වභාවයෝ ය. ඒවායේ ඇති අනිත්‍ය දුඃඛ අනාත්ම අශුභ ස්වභාවය සලකන්නන්ට ඒවා ගැන කාමච්ඡන්දය නූපදනේ ය. කලින් උපන් කාමච්ඡන්දයක් ඇති නම් එ ද දුරු වන්නේ ය. එ බැවින් අශුභ නිමිත්තෙහි සුදුසු පරිදි මෙනෙහි කිරීමෙන් නූපන් කාමච්ඡන්දය නූපදින්නේ ය යි ද කියනු ලැබේ.
තවද, අශුභාරම්මණය සිතට ගැනීමය, අශුභ භාවනාවෙහි යෙදීම ය, චක්ෂුරාදි ඉන්ද්‍රිය සහ ආරක්ෂා කිරීම ය, ආහාරයෙහි පමණ දන්නා බව ය, කල්‍යාණ මිත්‍රයන් ඇති බව ය, සත්ප්‍රාය කථා ඇති බව ය යන මේ කරුණු සය ද කාමච්ඡන්දය දුරු වීමේ හේතු වශයෙන් දක්වා තිබේ. දශ අශුභයන් ගේ නිමිති සිතට ගන්නා තැනැත්තාට ඒ හේතුවෙන් කාමච්ඡන්දය දුරු වේ. අශුභ නිමිති සිතට ගැනීම ය යනු සිතට අශුභය පෙනෙන සේ පුරුදු කිරීම ය. අශුභ භාවනාව කරන්නහුට ද කාමච්ඡන්දය නූපදී. චක්ෂුරාදි ඉන්ද්‍රිය සය ආරක්ෂා කිරීම ය යනු ඒ ඉන්ද්‍රිය යන්ට ඉෂ්ටානිෂ්ට ආරම්මණයන් එළඹ සිටි කල්හි ඒවා නිසා රාගාදි ක්ලේශයන් හා ද්වේෂාදි ක්ලේශයන් නූපදනා සැටියට සිහියෙන් යුක්ත වීම ය. එසේ කරන්නහුට ද කාමච්ඡන්දය දුරු වේ. පමණ ඉක්මවා ආහාර නො ගෙන ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් යුක්ත ව පමණට ආහාර වළඳන්නා වූ තැනැත්තා හට ද කාමච්ඡන්දයේ ඉපදීම අඩු වේ. අශුභ භාවනාවෙහි යෙදෙන කල්‍යාණ මිත්‍රයන් සේවනය කරන්නාහට ද කාමච්ඡන්දය දුරු වේ. කාමච්ඡන්දය දුරු වීමට සත්ප්‍රාය කථා නම්, දශ අශුභයන් පිළිබඳ කථා ය. අශුභ කථා කිරීම හා ඇසීම කාමච්ඡන්දය දුරු කර ගැනීමට ඉතා ම හොඳ මගෙකි.
කියන ලද කරුණු වලින් යටපත් කිරීම් වශයෙන් කාමච්ඡන්දය දුරු කර ගෙන භාවනාවෙහි යෙදෙන්නා වූ යෝගාවචරයා හට අර්හත්වයට පැමිණීමෙන් ඒ කාමච්ඡන්දය මතු කිසි කලෙක නූපදින පරිද්දෙන් දුරු වන්නේ ය.