“චත්තාරො මෙ භික්ඛවෙ, සතිපට්ඨානා භාවිතා බහුලීකතා අපාරාපාරං ගමනාය සංවත්තන්ති.”
මහණෙනි, වඩනා ලද්දා වූ නැවත නැවත වඩනා ලද්දා වූ මේ සසර සතිපට්ඨානයෝ සංසාරය නමැති මෙතෙරින් නිවන නමැති පරතෙරට යාම පිණිස පවත්නාහුය” යනු එහි තේරුම යි.
“යෙසං කෙසඤ්චි භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා විරඬා. විරඩො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමි.”
“මහණෙනි, යම් කෙනකුන් විසින් නො වඩා හැර දැමීම් වශයෙන් සතර සතිපට්ඨානයෝ වරදන ලද්දාහු ද ඔවුනට නො වරදවා ම නිවනට පැමිණෙන ආර්‍ය්‍ය මාර්ගය නො ලැබීම් වශයෙන් වරදින්නේ ය.” යනු එහි අදහසයි.
“චතුසු භික්ඛවෙ, සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිත චිත්තා විහරථ මා වො අමතං පනස්ස.”
“මහණෙනි, තෙපි සතර සතිපට්ඨානයන්හි මනා කොට පිහිට වූ සිත් ඇතිව මාසය කරව්, ලැබිය හැකි නිවන නැති කර නො ගනිව්” යනු එහි අදහස ය.
දිනක් අනුරුද්ධ මහරහතන්වහන්සේ උන්වහන්සේ මහානුභාව සම්පන්න වීමේ හේතු විචාළ මහණ පිරිසකට මෙසේ වදාළ සේක.
“ඇවැත්නි, සතර සතිපට්ඨානයන් මැනවින් වැඩූ නිසා මම මහානුභාව ඇත්තේ වෙමි. ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් මැනවින් වැඩූ නිසා මම කල්ප දහසක් අතීතානාගත දෙක දක්නෙමි, මම නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමෙහි සමත් වෙමි. තනි වූ මම බොහෝ දෙනකු සේ පෙනී සිටීමට ද සමත් වෙමි, පියවි ඇසට නො පෙනෙන දෑ දැකීමට ද සමත් වෙමි, පියවි ඇසට පෙනෙන දෑ නො පෙනෙන සේ වැසීමට ද සමත් වෙමි, බිත්ති තාප්ප කඳු විනිවිද යාමට ද සමත් වෙමි, පොළොවෙහි දියෙහි මෙන් ගිලීමට හා මතුවීමට ද සමත් වෙමි, පොළොවෙහි ගමන් කරන්නාක් මෙන් ජලය මතුයෙහි ගමන් කිරීමට ද සමත් වෙමි, පක්ෂියකු මෙන් අහසෙහි ගමන් කිරීමට ද සමත් වෙමි. මහානුභාවසම්පන්න චන්ද්‍ර සූර්‍ය්‍යයයන් අත ගෑමට ද සමත් වෙමි. බ්‍රහ්මලෝකය දක්වා ඇති මේ ලෝකය තමා ගේ වශයෙහි පැවැත්වීමට ද සමත් වෙමි, මෙ ලොව ඇත්තා වූ ද අන්‍ය ලෝකයන්හි ඇත්තා වූ ද පියවි කනට නො ඇසෙන ශබ්ද ඇසීමට ද සමත් වෙමි, පරසිත් දැන ගැනීමට ද සමත් වෙමි, සරාගාදි වශයෙන් සත්ත්වයන් ගේ සිත් විභාග කොට දැන ගැනීමට ද සමත් වෙමි, මේ මේ දෙය මේ මේ දෙයට හේතුය මේ මේ දෙය මේ මේ දෙයට හේතු නො වේ ය යි හේතු අහේතූන් තත්ත්වාකාරයෙන් දැන ගැනීමට ද සමත් වෙමි, අතීතානාගත වර්තමාන කර්මයන්ගේ විපාක ප්‍රත්‍ය වශයෙන් හා හේතු වශයෙන් තත්ත්වාකාරයෙන් දනිමි. සත්ත්වයන් ඒ ඒ ගති වලට පැමිණෙන ප්‍රතිපදාවන් තත්ත්වාකාරයෙන් දැන ගැනීමට සමත් වෙමි. සත්ත්වයන් ගේ නානා අධිමුත්තීන් දැන ගැනීමට ද සමත් වෙමි. අන්‍ය සත්ත්වයන්ගේ ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් වැඩුණු නො වැඩුණු බව තත්ත්වාකාරයෙන් දැන ගැනීමට ද සමත් වෙමි. ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපත්තීන්ගේ හානභාගිය භාවය හා විශේෂභාගිය භාවය ද ඒවායින් නැඟී සිටීමේ හේතු ද තත්ත්වාකාරයෙන් දනිමි. තමන් අතීතයේ උපන් ජාති පිළිවෙල තත්ත්වාකාරයෙන් දැන ගැනීමට ද සමත් වෙමි. තම තමන් ගේ කර්මානුරූප ව ඒ ඒ භවයට පැමිණෙන සත්ත්වයන් තත්ත්වාකාරයෙන් දැකීමට ද සමත් වෙමි, සකලාශ්‍රවයන් ක්ෂය කොට අර්හත්වයට ද පැමිණ සිටිමි” යනුවෙනි. මේ ප්‍රවෘත්තිය සංයුත්තනිකායේ අනුරුද්ධ සංයුක්තයෙහි සඳහන් වී තිබේ.
සතර සතිපට්ඨානයන් මනා කොට වඩන තැනැත්තා ඒ ජාතියේ දී ම ඔහුගේ පාරමිතාවේ හා වීර්‍ය්‍යයේ සැටියට සත්දින පටන් සත් වස දක්වා කාලය තුළ දී කාමරාග ව්‍යාපාදයන් නිරවශේෂයෙන් ප්‍රහාණය කොට අනාගාමිත්වයට හෝ සකල ක්ලේශයන් ප්‍රහාණය කොට අර්හත්වයට හෝ පැමිණෙන බව මහාසතිපට්ඨාන සූත්‍රයෙහි වදාරා තිබේ.
හිතවතුන්ට කළ යුතු උසස් උපකාරය
“යෙ භික්ඛවෙ, අනුකම්පෙය්‍යාථ. යෙ ච සොතබ්බං මඤ්ඤෙය්‍යුං මිත්තා වා අමච්චා වා ඤාති වා සාලොහිතා වා, තෙ වො භික්ඛවෙ, චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා සතිපට්ඨපෙතබ්බා.”
යනුවෙන් තථාගතයන් වහන්සේ “මහණෙනි, මිතුරු වූ හෝ අසල් වැසි වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යමකුට තෙපි අනුකම්පා කරන්නහු ද යමෙක් තොප ගේ වදන් අසතැයි සිතත් ද ඔවුන් සතර සතිපට්ඨානයන් වැඩීමෙහි යොදවව්” යයි වදාළ සේක. එබැවින් හිතවතකුට කළ යුතු වූ උසස් ම උපකාරය හැකි නම් සතිපට්ඨාන භාවනාවෙහි යෙදවීම ය. සතිපට්ඨාන භාවනාව සත්ත්වයාට මහත් වූ පිහිටකි.