බුද්ධාගම හෙවත් බුද්ධශාසනය නො පිරිහීම පිණිසත් එහි දියුණුව පිණිසත් කළ යුතු දේ ගැන නොයෙක් අයුරින් බෞඬයෝ කථා කෙරෙති. නොයෙක් වැඩ ද කෙරෙති. එහෙත් ඒ ගැන සිතන වැඩ කරන බොහෝ දෙනා එය සඳහා කළ යුතු උසස් දෙය නො දනිති. බුදුන් වහන්සේ ජීවමාන සමයේ දී දිනක් එක්තරා බමුණෙක් බුදුන් වහන්සේ වෙත එළඹ, බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු බුදුසස්න චිර කාලයක් නො පැවතීමේ හා පැවතීමේ හේතු විචාළේ ය. බුදුන් වහන්සේ ඔහුට එහි හේතු වදාරන සේක්:-
“චතුන්නං ඛො බ්‍රාහ්මණ, සතිපට්ඨානානං අභාවිතත්තා අබහුලීකතත්තා තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති. චතුන්නං ච ඛො බ්‍රාහ්මණ, සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්ත තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොති.”
යනුවෙන් “බ්‍රාහ්මණය, සතර සතිපට්ඨානයන් නො වැඩීම නිසා තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු සද්ධර්මය හෙවත් බුදු සස්න චිර කාලයක් නො පවත්වන්නක් වන්නේ ය. සතර සතිපට්ඨානයන් භාවනා කිරීම නිසා තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීමෙන් පසු බුදුසස්න බොහෝ කලක් පවත්නේ ය” යි වදාළ සේක. තථාගතයන් වහන්සේගේ මේ දේශනයේ සැටියට පෙනෙන්නේ බුදුසස්නේ දියුණුව පිණිස කළ යුතු උසස් සේවය සතිපට්ඨාන භාවනාව බව ය. එ බැවින් සසර දුකින් මිදී නිවන් දකිනු කැමති වූ ද, බුදුසස්න නඟා සිට වනු කැමති වූ ද, ආත්මාර්ථ පරාර්ථ දෙක සිදු කරනු කැමති වූ ද සත්පුරුෂයෝ තුමූ ද සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙත්වා! අන්‍යයන් ද සතිපට්ඨාන භාවනාවෙහි යොදත්වා!!