නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
අති දීර්ඝ වූ මේ සංසාරයෙහි සැරිසරන්නා වූ එක් එක් සත්ත්වයකුහට නිවනට නො පැමිණිය හැකි වුවහොත් අනාගතයෙහි ඒ ඒ ජාතිවල උපදින්නට සිදුවන වාරයන්ගේ ප්‍රමාණයක් නැත්තේ ය. ජරාවට මරණයට පැමිණෙන්නට සිදුවන වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය. තමා විසින් දුකසේ සපයා ගෙන ආදරයෙන් ආරක්ෂා කරන ධනය විනාශ වන්නා වූ අනුන් විසින් පැහැර ගන්නා වූ වාරවල ප්‍රමාණයක් ද නැත්තේ ය. තමාගේ ආදරණීය අඹු දරුවන් අනුන් විසින් පැහැර ගන්නා වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය. අනුන්ගෙන් නින්දා බස් අසන්නට සිදු වන්නා වූ බැණුම් අසන්නට සිදු වන්නා වූ ගැහුම් කන්නට සිදු වන්නා වූ මැරුම් කන්නට සිදු වන්නා වූ වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය. දුර්භික්ෂ වලට හසු වී නිරාහාර ව මිය යන්නට සිදු වන්නා වූ වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය.
නොයෙක් කරුණට බොහෝ වෙහෙසෙන්නට සිදු වන්නා වූ කණගාටු වන්නට සිදු වන්නා වූ බිය වන්නට සිදු වන්නා වූ හඬන්නට සිදු වන්නා වූ වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය. නරකාදි සතර අපායයෙහි ඉපද දරුණු කටුක දුක් විඳින්නට සිදුවන වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය. එබැවින් සංසාරය මහා දුඃඛ පරම්පරාවෙකි. මහා දුක්ඛස්කන්ධයෙකි. මේ මහා දුක්ඛස්කන්ධයෙන් මිදී වාසය කිරීමට ආරක්ෂා ස්ථානයක් කාම - රූප - අරූප සංඛ්‍යාත ලෝකත්‍රයෙහි නැත්තේ ය. කියන ලද මහා දුඃඛස්කන්ධයෙන් මිදීමට ඇත්තා වූ එකම ආරක්ෂාස්ථානය නිවන ය.
නිවන් මඟ හෙළිවන්නේ, දොර හැරෙන්නේ බුද්ධෝත්පාද කාලයේ ය. යම් තාක් කල් බුදුන් වහන්සේගේ ධර්මය ලොව පවතී ද ඒ තාක් නිවන් මඟ හෙළි වී පවත්නේ ය. නිවන් දොර නො වැසී පවත්නේ ය. මෙය තථාගතයන් වහන්සේගේ ධර්මය මැනවින් පවත්නා කාලයෙකි. මෙය සසර දුකින් මිදී නිවන් පුර පැමිණෙනු කැමති පින්වතුන්ට නිවන් ලබන්නට උත්සාහ කිරීමට යහපත් කාලයෙකි. මෙය එයට කාලය නොවෙති යි සිතා අතිදුර්ලභ වූ අගනා අවස්ථාව ඉක්ම යන්නට නො දිය යුතු ය. බුද්ධාගම ඇදහීමෙන් බලාපොරොත්තු විය යුතු වූ උසස් ම දෙය නිවන ය. එබැවින් තථාගතයන් වහන්සේගේ ධර්මය පවත්නා වූ නිවන් මඟ හෙළි වී තිබෙන්නා වූ මේ උතුම් කාලයෙහි එ මඟ ගමන් කොට නිවන් පුරයට පිවිසීමට සියල්ලෝ ම උත්සාහ කෙරෙත්වා.
නිවනට පැමිණිය හැක්කේ සෝවාන් මාර්ග ඥානය, සකෘදාගාමී මාර්ග ඥානය, අනාගාමී මාර්ග ඥානය, අර්හත් මාර්ග ඥානය යන ලෝකෝත්තර ඥානයන් ස්වසන්තානයෙහි උපදවා ගැනීමෙනි.
බෝධි යනු ඒ ලෝකෝත්තර ඥානවලට ව්‍යවහාර කරන තවත් නමෙකි. බෝධි නම් වූ ලෝකෝත්තර ඥානයන් ලැබීමට - ඇතිකර ගැනීමට උපකාර වන ධර්ම සමූහයක් ඇත්තේ ය. එයට බෝධි පාක්ෂික ධර්මය යි කියනු ලැබේ. අත්‍යුත්තම වූ ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීම සඳහා කළ යුතු දෙය නම් බෝධිපාක්ෂික ධර්ම වැඩීමය. තවත් ක්‍රමයකින් කියත හොත් ශීල සමාධි ප්‍රඥා තුන ඇති කිරීමය. තවත් ක්‍රමයකින් කියතහොත් ශීල විශුද්ධ්‍යාදි විශුද්ධි සත සම්පාදනය කිරීමය. බෝධි පාක්ෂික ධර්මයන් වැඩීම ය කියා කළ යුතු දෙය ශීලයෙහි පිහිටීම හා ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීම ය. උගත්කම උගෙනීමෙන් ම මිස මිළයකින් නො ලැබිය හැකි ය. එමෙන් කියන ලද ලෝකෝත්තර ඥානය බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම් වශයෙන් ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමෙන් මිස දන් දීමෙන් හෝ ගොඩනැගිලි කරවීමෙන් හෝ උත්සව පැවැත්වීමෙන් හෝ නො ලැබිය හැකි බව ද සැලකිය යුතු ය.
අත්‍යුත්තම වූ ලෝකෝත්තර මාර්ගඥානය මඳ කලකින් පහසුවෙන් ලැබිය හැකි දෙයක් නොව, බොහෝ කල් උත්සාහ කිරීමෙන් ලැබිය යුත්තකි. අවුරුදු දහස් ගණනක් වුවත් ජාති සිය ගණනක් දහස් ගණනක් වුවත් එය ලැබීම සඳහා උත්සාහ කළ යුතු ය. ඒ ලෝකෝත්තර මාර්ගඥානය කොතරම් මහත් පරිත්‍යාගයකින් වුව ද කොතරම් මහත් උත්සාහයකින් වුව ද කොතෙක් දීර්ඝ කාලයක් උත්සාහ කොට වුව ද ලබා ගැනීමට සුදුසු වටනා දෙයකි. එය අවුරුදු දහස් ගණනක් නැතහොත් ජාති දහස් ගණනක් උත්සාහ කොට ලබන්නට තරම් වටිනා දෙයක් නො වේය යි නො සිතිය යුතු ය. නිවනට නො පැමිණ සිටියහොත් එක් එක් සත්ත්වයකුට අනාගත සංසාරයේ දී අන් දුක් විඳින්නට වන කාල තබා හඬන්නට සිදු වන්නා වූ කාලය ම ද අවුරුදු දහස් ගණනකට වඩා බොහෝ දිග ය. එ බැවින් කොතරම් දීර්ඝ කාලයක් වුව ද ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීම සඳහා උත්සාහ කළ යුතු ය.
සසර දුකින් මුදවා සත්ත්වයාට නිවන් සුවය ලබා දෙන්නා වූ ඒ ලෝකෝත්තර මාර්ග ඥානය, වන ගත ව වෙසෙන පැවිද්දන් විසින් පමණක් ලැබිය හැකි ඔවුන්ට පමණක් හිමි දෙයක් නොව ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල මහලු සැම දෙනා විසින් ම ලැබිය හැකි දෙයකි. සුදුසු පරිදි බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම කළහොත් ඒ ලෝකෝත්තර ඥානය ගිහිගෙයි වෙසෙන තැනැත්තාට ද ලැබෙන්නේ ය. නගරග්‍රාමවල වෙසෙන පැවිද්දන්ට ද ලැබෙන්නේ ය. නියම මාර්ගයේ ගමන් නො කළ හොත් වනයෙහි වෙසෙන පැවිද්දන්ට ද නො ලැබෙන්නේ ය.
බෝධිපාක්ෂික ධර්ම වැඩීමේ ක්‍රම දෙකකි. ජීවනෝපාය වශයෙන් නොයෙක් දෑ කරන අතර ම අඹුදරුවන් පෝෂණය කරන අතර ම අවකාශ ලත් පරිදි හැකි පමණින් ඒවා වැඩීමේ ද යෙදීම එක් ක්‍රමයෙකි. අන් සියලු වැඩ නවත්වා නිවන් මඟ ගමන් කිරීම ම තමාගේ ප්‍රධාන කෘත්‍යය වශයෙන් ගෙන එහි ම උග්‍ර වශයෙන් යෙදීම එක් ක්‍රමයෙකි. උග්‍ර වශයෙන් එහි යෙදෙන්නා වූ ඒ පින්වතුන්ට ඒ ලෝකෝත්තර ඥානය ඉක්මණින් ලැබිය හැකි වන්නේ ය. සෙමින් එහි යෙදෙන්නා වූ පින්වතුන්ට ලෝකෝත්තර ඥානය ලැබීමට බොහෝ කල් ගත වන්නේ ය. සමහර විට කල්ප ගණනක් වුව ද ගත වන්නේ ය. එහෙත් පැවිදි ව හෝ නො පැවිදිව හෝ උග්‍ර වශයෙන් එහි යෙදීම සැම දෙනාට ම කළ හැකි දෙයක් නො වේ. එසේ කළ හැකි වන්නේ අව්වට වැස්සට පින්නට ශීතලට උෂ්ණයට ඔරොත්තු දෙන්නා වූ ද රූක්ෂ හෝ මඳ වූ හෝ ආහාරයෙන් වුව ද ජීවත් වීමේ ශක්තිය ඇත්තා වූ ද, බොහෝ කල් නො නිදා සිටීම් එක් ඉරියව්වකින් සිටීම්, ආදියට ඔරොත්තු දෙන්නා වූ ද නිරෝගී ශක්ති සම්පන්න ශරීර ඇතියවුන්ට පමණෙකි. එබඳු පුද්ගලයෝ ලෝකයෙහි සුලභ නැත්තාහ.
ඔරොත්තු දෙන යහපත් ශරීරයක් නැති ව තමන්ගේ ශීලානුභාවයෙන් ම භාවනාවේ ආනුභාවයෙන්ම සියල්ල සිදු වෙති යි සිතා, උග්‍ර වශයෙන් පිළිවෙත් පිරූවන් අනුකරණය කරන්නට යන්නෝ එයින් අමාරුවට වැටී පිරිහීමට පත් වන්නාහ. යථාවකාශ පරිද්දෙන් මඳින් මඳ බෝධිපාක්ෂික ධර්ම වැඩීමේ ක්‍රමය ලඝු කොට නො සිතිය යුතු ය. එය මතු කවර කලෙක හෝ ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීමේ පාරමිතාව වන්නේ ය. බුදුවරුන් හමු වූ කල දහම් අසා පහසුවෙන් සෝවාන් ආදි මාර්ග ඵලවලට පැමිණ නිවන් දක්නෝ පෙර ජාතිවලදී බෝධිපාක්ෂික ධර්මයන් වඩා පාරමිතාව සම්පූර්ණ කරගෙන තිබුණා වූ පුද්ගලයෝ ය. ඇතැම්හු සසර කලකිරුණු කල්හි ගිහිව සිට ශීල සමාධ්‍යාදිය පිරීම ප්‍රමාණ නො වෙතියි සිතා පැවිදි වන්නට තැන් සොයති. ගුරුවරු සොයති. පැවිදි වන්නට තැන් නොලත් කල්හි ගිහිව සිට හැකි පමණින් බෝධි පාක්ෂික ධර්ම සම්පාදනයෙහි නොයෙදී අන්‍යයන්ට දොස් කියමින් නිකම් ම කාලය ගත කෙරෙති. එය මහත් අනුවණ කමෙකි.
නිවන් සොයනු පිණිස භාවනාවෙහි යෙදීමට පැවිදි වෙතත් විය යුත්තේ ඉහත කී පරිදි සියල්ලට ම ඔරොත්තු දෙන නිරෝගී ශක්ති සම්පන්න ශරීර ඇතියවුන් විසින් පමණෙකි. බොහෝ දෙන සැදැහැයෙන් පැවිදි වී උග්‍ර ප්‍රතිපත්තියට බැස ටික කලකින් රෝගාතුර වී අවසානයේ කිසිවක් කර ගත නොහැකි ව ළතවෙති. එබැවින් පැවිදි වන්නට කැමති තැනැත්තන් විසින් එය කිරීමට තරම් තමාට ශක්තියක් තිබේද, අමාරුවට පත්වුව හොත් තමාට පිහිට වන්නට කෙනෙක් ඇද්ද නැද්ද යනු කල්පනා කර, කළ යුතු ය.
නිවන් දැකීමේ පිළිවෙත්වල යෙදීමේ බලාපොරොත්තුව ඇති ඇතැම් පින්වත්හු ගිහිගෙයි වැඩ කර අවසන් කොට ඒ මඟට බසින්නට සිතා, දූ දරුවන්ගේ වැඩවල ම යෙදෙති. ජීවිත පිළිබඳ ව කරන්නට තිබෙන වැඩ හා අඹුදරුවන් ඇතියන්ට ඔවුන් ගැන කරන්නට තිබෙන වැඩත් කවදාවත් අවසන් කරන්නට නො ලැබෙන්නේ ය. ඔවුන්ට එක් වැඩක් අවසන් කරන විට තවත් වැඩ දෙක තුනක් පැමිණෙන්නේ ය. ඔවුනට කවදාවත් වැඩ ඉවර කර පිළිවෙත් පිරීමට තබා මැරෙන්නට වත් නො ලැබෙන්නේ ය. ඉදිරියට බලාපොරොත්තු බොහෝ වැඩ තිබියදී ම මරු වසඟයට පැමිණෙන්නට සිදු වන්නේ ය. එබැවින් වැඩ ඉවර කිරීමක් ගැන බලාපොරොත්තු නො වී සසර දුකින් මිදීම සඳහා කළ යුතු දෑ ද හැකි පමණින් අනික් වැඩ කරන අතර ම කරගත යුතුය.
ඇතැම් පැවිද්දෝ පන්සල්වල වැඩ ගෝල බාලයන් ගේ වැඩ ඉවර කොට භාවනාවෙහි යෙදෙන්නට, අරණ්‍යගත වන්නට සිතති, කථා කරති. ඔවුනට සිදු වන්නේ ද ඉහත කී ගිහි භවතුන්ට සිදු වන දෙය ම ය. එබැවින් නගර ග්‍රාමවල වෙසෙන භික්ෂූහු ද අනාගතය ගැන නො සිතා පිළිවෙත් පිරීම කල් නො තබා තමන්ට සිටින තැන්වල ම සිට බෝධිපාක්ෂික ධර්ම වැඩීම කෙරෙත්වා! තම්න පැමිණ සිටින ලබා සිටින මහණ කමෙන් ලැබිය යුතු ඵල ලැබිය හැකි වන්නේ එසේ කරන්නා වූ පැවිද්දන් වහන්සේලාට ය. නායක කමක් ලැබීම හෝ පණ්ඩිතයකු වශයෙන් කථිකයකු වශයෙන් ක්‍රියා ශූරයකු වශයෙන් ගත් කරුවකු වශයෙන් ප්‍රසිද්ධියට පැමිණීම හෝ ලොකු පන්සලක් ලොකු දායක පිරිසක් ඇතිකර ගැනීම හෝ ලොකු ඉඩම් හිමියකු වීම හෝ අපේ භික්ෂූන් වහන්සේලා උසස් කොට නො සලකත්වා! කොපමණ අමාරුවෙන් හෝ සිට ගෙන කුසගින්නේ හෝ සිට ගෙන මඳක්වත් බෝධි පාක්ෂික ධර්මයන් වැඩීම ම උසස් කොට සලකත්වා!
ඇතැම් පැවිද්දන් වහන්සේලා ශීලය ගැන ම කථා කරමින් ශීලය ම උසස් කොට ගනිමින් ශීලයෙහි ම සියල්ල සිදු කර ගන්නා බලාපොරොත්තුවෙන් සිල් පිරිසිදු කර ගැනීම් මාත්‍රයෙන් නැවතී සිටිති. එ ද එතුමන්ලාට ඇති වැරදි හැඟීමෙකි. සිල් රැකීමෙන් පමණක් නැවතී සිටීම වැට බැඳ ගෙන කුඹුර නො වපුරා සිටීමක් වැනි ය. එක් දවසක් ආයුෂ්මත් භද්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වෙත එළඹ ඇවැත්නි! භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මේ කුශල ශීලයෝ කිනම් ප්‍රයෝජනයක් සඳහා වදාරන ලද්දාහු දැ’යි විචාළහ. එකල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ -
“යානිමානි ආවුසො භද්ද! කුසලානි සීලානි වුත්තානි භගවතා. ඉමානි කුසලානි සීලානි යාව දෙව චතුන්නං සතිපට්ඨානානං භාවනාය වුත්තානි භගවතා” යි.
“ඇවැත්නි, භද්දය, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් කුශල ශීලයෙක් වදාරන ලද ද ඒවා සතර සතිපට්ඨානයන් වැඩීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු වෙත’යි පිළිතුරු දුන්හ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ ප්‍රකාශයෙන් ශීලය කුමක් සඳහා ද යන බව තේරුම් ගෙන, ශීල මාත්‍රයෙන් නො නැවතී, ශීලයෙහි පිහිටා අමාරුවෙන් රක්නා ශීලයෙන් ගත යුතු උසස් ප්‍රයෝජනය ලැබීම සඳහා බෝධි පාක්ෂික ධර්මයන් වැඩීම කළ යුතු ය.
ගිහිගෙයි වෙසෙමින් අවකාශ ඇති පරිද් බෝධිපාක්ෂික ධර්මයන් වඩන්නා වූ හෙවත් භාවනාවෙහි යෙදෙන්නා වූ තැනැත්තන් දුටු කල්හි පස්කම් සැපෙහි හා දුසිරිතෙහි එරී සිටින්නා වූ ඇතැම්හු, මේ ගිහි ගෙවල ඕවා කරන්නට බැරිය. ඕවා කරන්නට නම් මහණ වන්නට ඕනෑ ය’ යනාදිය කියා මඳක්වත් භාවනා කරන්නා වූ පින්වතුන් එයින් පසු බස්වති. ඇතැම්හු පරිහාස කොට ධර්මයෙහි හැසිරෙන්නා වූ තැනැත්තාට බාධා කරති. නගර ග්‍රාමවල පන්සල්වල මඳක් වත් භාවනාවෙහි යෙදෙන භික්ෂුවක් දුටු කල්හි ඕවා කරන්නට නම් කැලයට යා යුතුය’ යනාදිය කියා පසුබස්වති. එසේ පසු බැස්වීම අනුන්ට මහත් අන්තරායක් කිරීමෙකි. එය මහත් පාපයෙකි. ඒ පාපය නිසා ඔවුහු නිවනින් වඩාත් දුර වෙති. තමන්ට ශ්‍රද්ධාව නැති නම් ධර්මයෙහි හැසිරෙන්නට නුපුළුවන් නම් නිකම් සිටිනවා මිස පිළිවෙත් පුරන්නා වූ පින්වතුන්ට බාධා කොට අපායගාමී නො විය යුතුය.
බෝධිපාක්ෂික ධර්ම පුරන්නට පටන් ගන්නා වූ තැනැත්තා විසින් පළමුව කළ යුත්තේ ශීලයෙහි පිහිටීම ය. මෙහි ශීලය යි කියන ලදුයේ නිත්‍ය ශීලයට ය. ගිහි පින්වතුන් විසින් නිත්‍යශීලය වශයෙන් පඤ්චශීලය රක්ෂා කළ යුතු ය. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංගත්‍රය සම්පූර්ණ කිරීම් වශයෙන් ආජීවාෂ්ටමක ශීලය නිත්‍ය ශීලය වශයෙන් රක්ෂා කරන්නට පුරුදු කර ගැනීම වඩාත් හොඳය. උත්සාහය ඇති නම් අෂ්ටාංග ශීලය හා දශ ශීලය ද නිත්‍ය ශීල වශයෙන් රක්ෂා කිරීම සුදුසු ය. පෘථග්ජන පුද්ගලයා ගේ ශීලය ස්ථිර නැත. ඔහු අතින් සමහර අවස්ථාවල දී ඇතැම් සිකපද බිඳිය හැකි ය. එසේ බිඳීමක් වුවහොත් නැවත සිල් ඉටා ගත යුතු ය. නො බිදෙන ලෙස නො රැකිය හැකිය කියා ශීලය නො හළ යුතු ය. නො බිදෙන ලෙස සිල් නො රැකිය හැකිය කියා භාවනාවන් ද නො හළ යුතු ය. ශීලයෙහි පිහිටා භාවනා කළ යුතුය යි කියනුයේ එය වඩා හොඳ නිසා ය. එසේ කියනුයේ සිල් නැති ව සිට භාවනා කිරීමෙන් පවක් වන නිසා හෝ එය නිෂ්ඵල වන නිසා හෝ නොවේ. සිල් නැතිව කරන භාවනාවෙන් ද සාමාන්‍ය ඵල ලැබෙන්නේ ය.
බෝධිපාක්ෂික ධර්ම නො වැඩූ තැනැත්තන්ගේ සන්තානවල කෙලෙස් බහුල ය. එ බැවින් ඔවුනට සිල් රැකීම මහ බරක් හැටියට වැටහෙන්නේ ය. සමාදන් වූ ශීලයෙහි පිහිටා සිටීමට ද ඔවුනට දුෂ්කර වන්නේ ය. ඔවුන් ගේ ශීලය නිතර ම කිලිටි වන්නේ ය. බිදෙන්නේ ය. බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමෙන් ක්‍රමයෙන් කෙලෙස් තුනී වන්නේ ය. කෙලෙස් තුනී වූ තරමට සිල් රැකීම පහසු වන්නේ ය. කෙලෙස් තුනී කර ගත් තැනැත්තාට බරක් වන්නේ සිල් රැකීම නො ව සිල් බිඳීම ය. බෝධිපාක්ෂික ධර්ම නො වැඩූ තැනැත්තාට සික පදයක් රක්ෂා කිරීම බරක් සැටියට අමාරුවක් සැටියට වැටහෙන තරමට ම බෝධිපාක්ෂික ධර්ම ස්වසන්තානයෙහි ඇතිකර ගත් දියුණු කරගත් තැනැත්තාට යම්කිසි සික පදයක් තමා අතින් කැඩෙන්නට යනවා නම් එය අමාරුවක් බරක් සැටියට වැටහෙන්නේ ය. එ බැවින් බෝධි පාක්ෂික ධර්ම වැඩෙත් ම සිල් රැකීම පහසු වන බව ද දත යුතු ය.
සතිපට්ඨානය, සම්මප්පධානය, ඉද්ධිපාදය, ඉන්ද්‍රිය ය, බලය, බොජ්ඣංගය, මග්ගංගය යි බෝධිපාක්ෂික ධර්ම කොටස් සතෙකි.
සතිපට්ඨාන සතරක් ද, සම්මප්පධාන සතරක් ද, ඉද්ධිපාද සතරක් ද, ඉන්ද්‍රිය පසක් ද, බල පසක් ද, බොජ්ඣංග සතක් ද, මග්ගංග අටක් ද වීමෙන් බෝධිපාක්ෂික ධර්මයෝ සතිස් දෙනෙක් වෙති.