සිත ද තදින් ආත්ම දෘෂ්ටිය ඇති වන තැනකි. සිත සම්බන්ධයෙන් ඇති වන ආත්ම දෘෂ්ටිය දුරු කර ගැනීමට චිත්තානුපස්සනා සතිපට්ඨානය වැඩිය යුතු ය. සිත සාමාන්‍යයෙන් එකක් වුව ද එහි ප්‍රභේද බොහෝ ය. මහා සතිපට්ඨාන සූත්‍රයෙහි සිත සොළොස් ආකාරයකට බෙදා දක්වා තිබේ. ඒ මෙසේ ය -
- සරාග චිත්තය
- වීත රාග චිත්තය
- සදේස චිත්තය
- වීත දෝස චිත්තය
- සමෝහ චිත්තය
- වීත මෝහ චිත්තය
- සංඛිත්ත චිත්තය
- වික්ඛිත්ත චිත්තය
- මහග්ගත චිත්තය
- අමහග්ගත චිත්තය
- ස උත්තර චිත්තය
- අනුත්තර චිත්තය
- සමාහිත චිත්තය
- අසමාහිත චිත්තය
- විමුත්ත චිත්තය
- අවිමුත්ත චිත්තය
සරාග චිත්තය යනු රාගය සහිත වූ සිත ය. ආදරය, ආලය, ප්‍රේමය යන වචනවලින් කියැවෙන්නේ රාගය ය. සමහර පුද්ගලයන් සම්බන්ධයෙන් සමහර කෙනකුට රාගය යි කියන ලද ආදරය ඇති වේ. ආදරය ඇති වීම ය යනු රාග සහිත සිත පහළ වීම ය. සරාග සිත පහළ වූ තැනැත්තා මම අසවලාට බොහෝ ආදරය ඇත්තෙමියි සිත යි. කියයි. එසේ සිතන්නේ සරාග චිත්තය ආත්ම වශයෙන් වරදවා ගැනීමෙනි. සරාග චිත්තය ද ඉහත කී චක්ඛුවිඤ්ඤාණය සේ වේදනාව සේ රාගය වඩන අරමුණ හේතු කොට ගෙන සත්ත්ව සන්තානයෙහි ඇති වන්නකි. එය ඇති වූ පසු මම අසවලාට ආදරය ඇත්තෙමි යි කියනු ලැබේ. එසේ කියනුයේ චිත්තය සිතක් සැටියට නො ගෙන තමා සැටියට වරදවා ගැනීමෙනි. සරාග චිත්තය රාගය දියුණු වන අරමුණු නිසා ඇති වන්නක් මිස සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවේ. සරාග සිත සම්බන්ධයෙන් සාමාන්‍ය ජනයාට ඇති වන ඒ සත්ත්ව පුද්ගල සංඥාව හා ආත්ම සංඥාව ඇති නොවන ලෙස සරාග චිත්තය උපන් කල්හි ඒ සිත ගැන මෙනෙහි කිරීම චිත්තානුපස්සනා සතිපට්ඨානය වැඩීම ය. සරාග චිත්තය ගැන කරන භාවනාව මෙසේ ය.
භාවනා වාක්‍යය
මේ සරාග චිත්තය රාගයට හිත වූ අරමුණක් එළඹ සිටීම හේතු කොට උපන් ධර්මයෙකි. එය මම නොවේ. අනිකෙක් ද නො වේ. මාගේ ද නො වේ. අනිකකුගේ ද නො වේ. මා විසින් උපදවන ලද්දේ ද නො වේ. අනිකකු විසින් උපදවන ලද්දේ ද නො වේ. රාගයට හිත අරමුණ එළඹ සිටීමෙන් සරාග සිත තෙමේ ම උපන්නේ ය. එය වහා බිඳී යන බැවින් අනිත්‍ය ධර්මයෙකි. අනිත්‍ය බැවින් ම දුඃඛ ධර්‍මයෙකි. දුක් බැවින් ද හරයක් නො වන බැවින් ද අනාත්ම ධර්‍මයෙකි.
සරාග චිත්තය ආත්ම වශයෙන් හා ආත්මීය වශයෙන් ගන්නා වූ තැනැත්තා ගේ සන්තානයෙහි රාගය වැඩෙන්නේ ය. උපන් සරාග චිත්තය ගැන කියන ලද පරිදි අනිත්‍යාදි වශයෙන් සලකන්නා වූ තැනැත්තා ගේ සන්තානයෙහි එය නො වැඩෙන්නේ ය. භාවනාව හේතු කොට රාගය දුරු වී ඔහුගේ සන්තානයෙහි වීතරාග චිත්තයෝ පහළ වන්නා හ. වීතරාග චිත්තයෝ ය යනු රාග විරහිත චිත්තයෝ ය. වීතරාග චිත්තය කෙරෙහි ද ආත්ම සංඥාව ඇති විය හැකි ය. එය දුරු වීම පිණිස වීතරාග චිත්තය ආත්මයක් නො වන බව ප්‍රත්‍යයෙන් හට ගන්නා දෙයක් බව තේරුම් ගන්නා ආත්ම සංඥාව දුරු වන ලෙස සිහිය පිහිට විය යුතු ය. භාවනා කළ යුතු ය.
භාවනා වාක්‍යය
මේ වීතරාග චිත්තය අරමුණක් එළඹ සිටීම හේතු කොට උපන් ධර්මයෙකි. එය මම නො වේ. මගේ ද නො වේ. අනිකෙක් ද නො වේ. අනිකකු ගේ ද නො වේ. එය මා විසින් උපදවන ලද්දේ ද නො වේ. අනිකකු විසින් උපදවන ලද්දේ ද නො වේ. ආරම්මණාදි ප්‍රත්‍යයන්ගේ සංයෝගයෙන් වීතරාග චිත්තය තෙමේ ම උපන්නේ ය. එය වහා බිඳී යන බැවින් අනිත්‍ය ධර්මයෙකි. අනිත්‍ය බැවින් දුඃඛ ධර්මයෙකි. දුක නිසා ද හරයක් නැති නිසා ද අනාත්ම ධර්‍මයෙකි.
සදෝස චිත්ත වීතදෝස චිත්තාදි ඉතිරි සිත් ගැන ද ස්වසන්තානයෙහි සිත් උපදනා සැටි නුවණින් සලකා බලා ඒ ඒ අවස්ථාවල දී භාවනා කරනු. සදෝස චිත්තය යනු ද්වේෂයෙන් යුක්ත සිත ය. වීතදෝස චිත්තය යනු ද්වේෂයෙන් තොර වූ සිත ය. සමෝහ චිත්තය යනු මෝහය සහිත වීම ය. වීතමෝහ චිත්තය යනු මෝහය නැති සිත ය. සංඛිත්ත චිත්තය යනු හැකුළුණු සිත ය. වික්ඛිත්ත චිත්තය යනු නො සන්සුන් සිත ය. මහග්ගත චිත්තය යනු මහත් බවට පැමිණි රූපාවචර අරූපාවචර සිත් ය. අමහග්ගත චිත්තය යනු කාමාවචර චිත්තය ය. ස උත්තර චිත්තය යනු ද කාමාවචර චිත්තය ම ය. අනුත්තර චිත්තය යනු රූපාවචර අරූපාවචර සිත් ය. ලෝකෝත්තර සිත් මෙහි නො ගනු ලැබේ. සමාහිත චිත්තය යනු අප්පණා සමාධි උපචාර සමාධිවලින් යුක්ත චිත්තය ය. අසමාහිත චිත්තය යනු ඒ සමාධි දෙකින් එකකුදු නැති සිත ය. විමුක්ත චිත්තය යනු තදංග වශයෙන් හෝ විෂ්කම්භණ වශයෙන් හෝ කෙලෙසුන්ගෙන් මිදුණු සිත ය. අවිමුත්ත චිත්තය යනු කෙලෙසුන් ගෙන් නො මිදුණු සිත ය.