කතාව කියවීමට සහ සිතුවම් චිත්‍ර බැලීමට ගාථාව මත click කරන්න.
1. යමක වර්ගය
1-1 පළමුවන චක්ඛුපාල තෙරුන්ගේ වස්තුවයි.

මනොපුබ්බඞ්ගමා ධම්මා, මනොසෙට්ඨා මනොමයා;

මනසා චෙ පදුට්ඨෙන, භාසති වා කරොති වා;

තතො නං දුක්ඛමන්වෙති, චක්කංව වහතො පදං.

(අරූප) ධර්මයෝ (කර්ම) සිත පෙරටුකොට ඇත්තාහ සිත උතුම් කොට ඇත්තාහ. සිතින් උපදනා හෙයින් මනෝමයහ. ඉදින් දූෂිතවූ සිතින් යුක්තව (චතුර්විධි වාග් දුශ්චරිතය) බෙනේ නම් හෝ (ත්‍රිවිධ කාය දුශ්චරිතය) කෙරේ නම් හෝ ඒ හේතුවෙන් (විපාක) දුක්ඛය ඒ පුද්ගලයා අනුව යන්නේය. (කුමක් මෙන්ද යත්?) ගැල උසුලන ගොනුන්ගේ පිය අනුව යන ගැල සක මෙනි.

1-2 දෙවන මට්ටකුණ්ඩලී වස්තුවයි.

මනොපුබ්බඞ්ගමා ධම්මා, මනොසෙට්ඨා මනොමයා;

මනසා චෙ පසන්නෙන, භාසති වා කරොති වා;

තතො නං සුඛමන්වෙති, ඡායාව අනපායිනී (අනුපායිනී (ක.)).

(අරූප) ධර්මයෝ කර්ම සිත පෙරටු කොට ඇත්තාහ. සිත උතුම් කොට ඇත්තාහ. සිතින් උපදනා හෙයින් මනෝමයහ. ඉදින් ප්‍රසන්නවූ සිතින් බෙනේ නම් හෝ කෙරේනම් හෝ ඒ හේතුවෙන් (විපාක) සුඛය ඒ පුද්ගලයා අනුව යන්නේය. (කුමක් මෙන්ද යත්?) ශරීරයෙන් පහනොවන්නාවූ සෙවනැල්ල මෙනි.

1-3 තුන්වන ථුල්ලතිස්ස ස්ථවිර වස්තුවයි.

අක්කොච්ඡි මං අවධි මං, අජිනි (අජිනී (?)) මං අහාසි මෙ;

යෙ ච තං උපනය්හන්ති, වෙරං තෙසං න සම්මති.

මට ආක්‍රොශ කෙළේයියද, මට ගැසීයයිද, මා දිනීයයිද, මා (සතු දෙය) පැහැර ගත්තේ යයිද, යම් කෙනෙක් ඒ (ක්‍රොධය) (නැවත නැවත සිත්හි) බඳිත් ද ඔවුන්ගේ ඒ වෛරය නොසන්සිඳෙයි.

අක්කොච්ඡි මං අවධි මං, අජිනි මං අහාසි මෙ;

යෙ ච තං නුපනය්හන්ති, වෙරං තෙසූපසම්මති.

මට ආක්‍රොශ කෙළේයියද, මට ගැසීයයිද, මා දිනීයයිද, මා (සතු දෙය) පැහැර ගත්තේ යයිද, යම් කෙනෙක් ඒ (ක්‍රොධය) (නැවත නැවත සිත්හි) නොබඳිත් ද ඔවුන්ගේ වෛරය සන්සිඳෙයි.

1-4 සිව්වන කාලියකින්නගේ උත්පත්ති කථාවයි.

න හි වෙරෙන වෙරානි, සම්මන්තීධ කුදාචනං;

අවෙරෙන ච සම්මන්ති, එස ධම්මො සනන්තනො.

මේ ලෝකයෙහි වෛරයෙන් වෛරයෝ කිසිකලෙක්හිදු නොසන්සිඳෙන්නාහ. අවෛරයෙන්ම වෛරය සන්සිඳෙන්නාහ. මේ (අවෛරයෙන් වෛරය සන්සිඳවීම) පුරාතනවූ ගුණධර්මයකි.

1-5 පස්වන කෝසම්බක වස්තුවයි.

පරෙ ච න විජානන්ති, මයමෙත්ථ යමාමසෙ;

යෙ ච තත්ථ විජානන්ති, තතො සම්මන්ති මෙධගා.

මේ (සඟ) මැද (පණ්ඩිත ජනයා කෙරෙන් අන්‍යවූ කළහකාර) යමෙක් අපි නසුම්හයි නොදතිත්ද, ඒ කළහකරුවන් අතුරෙහි යම් (පණ්ඩිත ජන) කෙනෙක් වනාහි (අපි නසම්හයි) දනිද්ද ඒ හේතුවෙන් කළහයෝ සන්සිඳෙන්නාහ.

1-6 සයවන චූළකාල-මහාකාල වස්තුවයි.

සුභානුපස්සිං විහරන්තං, ඉන්ද්‍රියෙසු අසංවුතං;

භොජනම්හි චාමත්තඤ්ඤුං, කුසීතං හීනවීරියං;

තං වෙ පසහති මාරො, වාතො රුක්ඛංව දුබ්බලං.

(විසභාග අරමුණු) ශුභ වශයෙන් අනුව බලමින් වාසය කරන්නාවූ, (එහෙයින්ම චක්‍ෂුරාදී) ෂඩින්ද්‍රියයන් කෙරෙහි සංවරයක් නැත්තාවූ ආහාරයෙහිද පමණ නොදන්නාවූ, කුසීතවූ (හෙවත් ග්‍රන්ථධුර විදර්ශනා ධුරයන්හිද වත් පිළිවෙත් පිරීමෙහිද මැළිවූ) වීර්යය රහිතවූ ඒ (මෙබඳු) පුද්ගලයා (ක්ලේශ) මාරතෙම ඒකාන්තයෙන් මැඩපවත්නේයි. [කුමක් මෙන්ද යත්] (ප්‍රචණ්ඩ) වාතය තෙම දුර්වල වෘක්ෂයක් (උපුටා හෙලන්නාක්) මෙනි.

අසුභානුපස්සිං විහරන්තං, ඉන්ද්‍රියෙසු සුසංවුතං;

භොජනම්හි ච මත්තඤ්ඤුං, සද්ධං ආරද්ධවීරියං;

තං වෙ නප්පසහති මාරො, වාතො සෙලංව පබ්බතං.

(උද්ධුමාතකාදි) අශුභයක් අනුව බලමින් වසන්නාවූ (චක්ෂුරාදි) ෂඩින්ද්‍රියයන් කෙරෙහි මනා සංවරයෙන් යුක්තවූ ආහාරයෙහිද පමණ දන්නාවූ, ශ්‍රද්ධාවෙන් යුක්තවූ (සතර ඉරියව්වෙහි) වඩන ලද වීර්යය ඇති ඒ (මෙබඳු) පුද්ගලයෝ (ක්ලේශ) මාරතෙම ඒ කාන්තයෙන් මැඩ නොපවත්නේය. [කුමක් මෙන්ද යත්] (දුර්වල) වාතය තෙම (ඝන) ශෛල පර්වතයක් (නොසෙල්වෙන) මෙනි.

1-7 සත්වන දේවදත්ත වස්තුවයි.

අනික්කසාවො කාසාවං, යො වත්ථං පරිදහිස්සති;

අපෙතො දමසච්චෙන, න සො කාසාවමරහති.

යම් පුද්ගලයෙක් තෙම (රාගාදී කෙලෙස්) කසටවූයේ (ඉන්ද්‍රිය) දමනයෙන් හා (වාක්) සත්‍යයෙන් පහවූයේ, කාෂායවස්ත්‍රය හැඳ පොරෝනේ වේද මෙබඳු ඒ පුද්ගලතෙම කාෂාය වස්ත්‍රය ධාරණයට සුදුසු නොවන්නේයි.

යො ච වන්තකසාවස්ස, සීලෙසු සුසමාහිතො;

උපෙතො දමසච්චෙන, ස වෙ කාසාවමරහති.

යම් පුද්ගලයෙක් තෙම වමාරා දැමූ (කෙලෙස්) කසට ඇත්තේ වේද (චතුපාරිශුද්ධි) ශීලයෙහි මනාව පිහිටියේද (ඉන්ද්‍රිය) දමනයෙන් හා (වාක්) සත්‍යයෙන් යුක්තද ඒ පුද්ගලතෙම ඒකාන්තයෙන් කාෂාය වස්ත්‍ර ධාරණයට සුදුසුයි.

1-8 අටවන අගසවු වස්තුවයි.

අසාරෙ සාරමතිනො, සාරෙ චාසාරදස්සිනො;

තෙ සාරං නාධිගච්ඡන්ති, මිච්ඡාසඞ්කප්පගොචරා.

අසාරයෙහි මේ සාරය යන දෘෂ්ටි ඇත්තාවූ, සාරයෙහිද මේ අසාරය යන දෘෂ්ටි (දැකීම්) ඇත්තාවූ, මිථ්‍යා සංකල්පය (වැරදි අදහස්) ම ගෝචරකොට ඇත්තාවූ ඒ (අඥාන) ජනයෝ (ලෞකික ලෝකොත්තර ධර්‍ම) සාරයට නොපැමිණෙන්නාහුය.

සාරඤ්ච සාරතො ඤත්වා, අසාරඤ්ච අසාරතො;

තෙ සාරං අධිගච්ඡන්ති, සම්මාසඞ්කප්පගොචරා.

සාරයද සාරවශයෙන් (දැන) අසාරයද අසාර වශයෙන් දැන වසන්නාවූ සම්‍යක් සංකල්පයම ගෝචරකොට (හරි අදහස්) ඇත්තාවූ ඒ ප්‍රාඥයෝ (ලෞකික ලොකොත්තර ධර්ම) සාරයට පැමිණෙන්නාහුය.

1-9 නවවන නන්ද ස්ථවිර වස්තුවයි.

යථා අගාරං දුච්ඡන්නං, වුට්ඨී සමතිවිජ්ඣති;

එවං අභාවිතං චිත්තං, රාගො සමතිවිජ්ඣති.

යම්සේ නොසකස්කොට සොයන ලද (හෙවත් කුදු මහත් සිදුරු පෙනෙනසේ විරළකොට සොයන ලද්දාවූ) ගෙයක් වැසි (ධාරාතොම) විනිවිද යාද එපරිද්දෙන් අභාවිතවූ (නොවැඩූ) සිත කාමරාගය තෙම විනිවිද පවත්නේයි.

යථා අගාරං සුඡන්නං, වුට්ඨී න සමතිවිජ්ඣති;

එවං සුභාවිතං චිත්තං, රාගො න සමතිවිජ්ඣති.

යම්සේ සකස්කොට සොයන ලද ගෙයක් වැසි (ධාරතෙම) විනිවිද නොයාද එපරිද්දෙන් මනාකොට භාවිතවූ (වැඩූ) සිත කාමරාගය තෙම විනිවිද නොපවත්නේයි.

1-10 දසවන චුන්දසූකරික වස්තුවයි.

ඉධ සොචති පෙච්ච සොචති, පාපකාරී උභයත්ථ සොචති;

සො සොචති සො විහඤ්ඤති, දිස්වා කම්මකිලිට්ඨමත්තනො.

පව්කම් කරන (සුළුවූ) පුද්ගලතෙමේ, මෙලොව ශෝක කරන්නේය, පරලොවත් ශොක කරන්නේය, මෙසේ දෙලොවම ශෝක කරන්නේය. හෙතෙම තමාගේ කිලිටිවූ (කායවාක්) කර්මය දැක මෙලොවම ශෝක කරන්නේය.

1-11 එකළොස්වන ධම්මික උපාසකගේ වස්තුවයි.

ඉධ මොදති පෙච්ච මොදති, කතපුඤ්ඤො උභයත්ථ මොදති;

සො මොදති සො පමොදති, දිස්වා කම්මවිසුද්ධිමත්තනො.

කරණලද පින්කම් ඇති පුද්ගලතෙම, මෙලෙව්හි සතුටු වන්නේය. පරලෙව්හිද සතුටු වන්නේය. (මෙසේ) දෙලෙව්හිම සතුටු වන්නේය. හෙතෙම තමාගේ (පුණ්‍යකර්ම) විශුද්ධිය (පිරිසිදු බව) දැක සතුටු වන්නේය. හෙතෙම වෙසෙසින් සතුටු වන්නේය.

1-12 දොළොස්වන දෙව්දත් තෙරුන්ගේ වස්තුවයි.

ඉධ තප්පති පෙච්ච තප්පති, පාපකාරී (පාපකාරි (?)) උභයත්ථ තප්පති;

‘‘පාපං මෙ කත’’න්ති තප්පති, භිය්‍යො (භීයො (සී.)) තප්පති දුග්ගතිං ගතො.

පව් කරණ (සුළු) පුද්ගලතෙම, මෙලෙව්හි තැවෙන්නේය. පරලෙව්හි තැවෙන්නේය. දෙලෙව්හිම (මෙසේ) තැවෙන්නේය. මා විසින් පව්කරණ ලදැයි තැවෙන්නේය. දුගතියට ගියේ අතිශයින් තැවෙන්නේය.

1-13 දහතුන්වන සුමනා දේවියගේ කථා වස්තුවයි.

ඉධ නන්දති පෙච්ච නන්දති, කතපුඤ්ඤො උභයත්ථ නන්දති;

‘‘පුඤ්ඤං මෙ කත’’න්ති නන්දති, භිය්‍යො නන්දති සුග්ගතිං ගතො.

කරණ ලද පින්කම් ඇති පුද්ගලතෙම, මෙලොවද සතුටු වන්නේය. පරලොවද සතුටු වන්නේය. (මෙලෝ පරලෝ) දෙක්හි සතුටු වන්නේය. මා විසින් පින්කරණ ලදැයි මෙලොවදී සතුටු වන්නේය. සුගතියට ගියේ බොහෝකොට සතුටු වන්නේය.

1-14 දහහතරවන යහළු භික්ෂු දෙනමගේ වස්තුවයි.

බහුම්පි චෙ සංහිත (සහිතං (සී. ස්‍යා. කං. පී.)) භාසමානො, න තක්කරො හොති නරො පමත්තො;

ගොපොව ගාවො ගණයං පරෙසං, න භාගවා සාමඤ්ඤස්ස හොති.

ප්‍රමත්ත (පමාවන) පුද්ගලතෙම (ත්‍රිපිටක) බුද්ධ වචනය බොහෝකොට කියන්නේ වීනමුදු (ඉදින්) ඒ නොකරන්නේ වීනම්, අනුන්ගේ ගෙරින් රක්නාවූ ගොපල්ලා මෙන් (සතරමග සතරඵලයයි කියනලද) ශ්‍රාමණ්‍යයට (මහණකමට) හිමි නොවන්නේය.

අප්පම්පි චෙ සංහිත භාසමානො, ධම්මස්ස හොති (හොතී (සී. පී.)) අනුධම්මචාරී;

රාගඤ්ච දොසඤ්ච පහාය මොහං, සම්මප්පජානො සුවිමුත්තචිත්තො;

අනුපාදියානො ඉධ වා හුරං වා, ස භාගවා සාමඤ්ඤස්ස හොති.

ස්වල්පවූද බුද්ධ වචනය කියන්නාවූ පුද්ගලතෙම, (ඉදින්) (නවලෝකෝත්තර) ධර්මයට අනුරූපව පවත්නා සුළු වී නම් රාගයද ද්වේෂයද මෝහයද ප්‍රහාණය කොට (නසා) (පිරිසිඳ දතයුතු ධර්මයන්) මනාකොට දන්නාවූ, මනාව මිදුණු සිත් ඇත්තාවූ, මෙලොව (පවත්නාවූද) පරලොව (වන්නාවූද) [උපාදානයන් (හේතුකොටගෙණ) නිත්‍ය සුඛ ශුභ ආත්ම වශයෙන් නොගන්නා] ඒ (ආර්යය පුද්ගල) තෙම ශ්‍රාමණ්‍ය ගුණයට (මහණ බවට) හිමිවන්නේය.