1-1 පළමුවන චක්ඛුපාල තෙරුන්ගේ වස්තුවයි.

මනොපුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා

මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොති වා

තතො නං දුක්ඛමන්වෙති, චක්කං’ව වහතො පදං.

(වේදනාදි) චෛතසිකධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් කිලිටි සිතින් (මුසාවාදාදී චතුර්විධ වාග්දුශ්චරිතය) කියන්නේ නම් හෝ (ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කාය දුශ්චරිතය) කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් දුක ඔහු ලුහු බඳියි. ගොනු අනුව යන ගැල් සක මෙනි.

මේ ධර්මදේශනාව කොහේදී දේශනා කරන ලද්දක්ද? සැවැත්නුවරදීය. කවුරුන් අරභයාද? චක්ඛුපාල තෙරුන් අරභයාය.

සැවැත්නුවර මහාසුවණ්ණ නම් කෙළෙඹියෙක් සිටියේය. ඔහු විවිධ සැපසම්පත් ඇති මහධනවතෙකි. දූපුතුන් නැත්තෙකි. දිනක් ඔහු නානතොටුපළට ගොස් ආපසු එන අතරමඟ අතුපතරින් ගැවසීගත් එක් වනස්පති වෘක්ෂයක් දැක, මේ වෘක්ෂය කිසියම් මහානුභාව සම්පන්න දෙවියෙකු අධිගෘහිත (වාසයකරන) ගසෙකියි සිතීය. එසේ සිතා ඒ ගස යට හොඳින් පිරිසිදු කොට ප්‍රාකාරයක් බැඳ, වැලි අතුරුවා ධජ පතාක ඔසවා ඒ වනදෙටුරුක අලංකාර කරවා, ඉඳින් පුතෙක් හෝ දුවක් ලැබුණොත් ඔබට මහත්වූ සත්කාර සම්මාන කරන්නෙමි’යි ප්‍රාර්ථනා කොට ගියේය.

ඉන්පසු ඔහුගේ බිරිඳගේ කුස ගැබක් පිහිටියේය. ඕතොමො ගැබක් පිහිටි බව තම සැමියාට දැන්වුවාය. කෙළෙඹියා ඈට ගැබ්පෙරහැර දුන්නේය. ඈ දසමසක් ඇවෑමෙන් පුතෙකු වැදුවාය. සිටුවරයා තමා විසින් පාලනය කළ වනස්පතිය නිසා ලත් හෙයින් පුතාට ‘පාල’ යන නම තැබීය. ඈ පසු කලෙක තවත් පුතෙකු ලැබුවාය. ඔහුට ‘චුල්ලපාල’ යන නම තබා වැඩිමලාට ‘මහාපාල’ යන නම තැබීය. ඔවුහු සුදුසු වියට පත්කල්හි ගෘහබන්ධනයට (විවාහයට) ඇතුළත් වූහ.

එසමයෙහි දම්සක් දේශනා පැවැත්වු බුදුරජාණන්වහන්සේ ජනයා සගමොක්මගෙහි පිහිටුවමින් පිළිවෙළින් වැඩමවා, අනේපිඬු සිටුහු විසින් පනස්හතර කෝටියක් ධනය වියදම්කොට කරවනලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක. තථාගතයන් වහන්සේ මවුපසින් අසූවක් පමණ පවුල්වල අයද, පියපසින් අසූවක් පමණ කුලවල අයද, යන අසූවේ කුලදෙකක නෑයන් දහස්ගණනක් විසින් කරනලද විහාරයෙහි එකම වසක් විසුසේක. අනේපිඬුසිටුහු විසින් කරනලද ජේතවනාරාමයෙහි එකුන්විසි (19 ක්) වසක්ද, විසිහත් කෝටියක වියදමින් විශාඛාව විසින් කරවනලද පූර්වාරාමයෙහි සවසක්ද විසුසේක. ඒ දෙකුලයේ අයගේ ගුණමහත්වය ගැන සලකා මෙසේ සැවැත්පුර විසිපස්වසක් පමණ වස් විසූසේක.

අනේපිඬු සිටුතුමාත්, විශාඛා මහාඋපාසිකාවත් නිතිපතා දවසට දෙවරක් බුද්ධෝපස්ථානය සඳහා විහාරයට යති. එසේ යනවිට ‘ළඳරුසාමණේරුවරු විහාරයට ගිය විට අපේ අත් දෙස බලත්’ යයි සිතා හිස් අතින් කිසිවිටෙකත් නොගියහ. පෙරබත් වේලාවේ (උදේ වරුවේ) යනවිට කෑයුතු දේවල් ගෙන්වාගෙන යති. පසුබත් වේලෙහි නම් පස්වැදෑරුම් බෙහෙත්ද, අටවැදෑරුම් පානවර්ගද රැගෙන යති. ඒ දෙදෙනාගේ ගෙවල්වල භික්ෂුන් දහසක් දෙනා වෙනුවෙන් නිතරම ආසන පනවා ඇත. යම් භික්ෂුනමක් ආහාරපාන බෙහෙත් ආදී යමක් කැමැත්තේ නම් ඒ සියල්ල තමන් කැමති හැටියකට එහි සමීපාදනයවී තිබිණි.

ඔවුන් අතරින් අනේපිඬුසිටුහු විසින් එකම එක දවසක්වත් බුදුරදුන්ගෙන් ප්‍රශ්න අසා නැත. ‘තථාගතයන්වහන්සේ බුදුවරයෙකු නිසා සියුමැලිය. ක්ෂත්‍රිය කුලයේ කෙනෙකු නිසාත් සියුමැලිය. මේ ගෘහපතියා මට උපකාර කරන්නෙකියි සිතා දහම් දෙසනවිට උන්වහන්සේට ක්ලාන්ත ගතිය ඇතිවිය හැකිය’ ආදී කරුණු සලකා බුදුන් කෙරෙහි අධිකමාත්‍ර ආදරය නිසා එසේ ප්‍රශ්න නොඅසනලදී.

බුදුරජාණන්වහන්සේ එගෙට වැඩමවා ආසනයේ වැඩ සිටි හැටියේම, මේ සිටුවරයා මා නොරැකියයුතු තැන රකියි, මා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අබරණින් සැරසු මගේ හිස කපාදී, දෑස් ගළවාදී, හදවත උගුල්ලාදී, ප්‍රාණාසම අඹුදරුවන් දන්දී පාරමී සම්පුර්ණ කෙළේ දහම් දෙසීම සඳහාමයි. එහෙත් මොහු මා නොරැකියයුතු තැන රකීය’යි සිතා කුමක් හෝ දම්දෙසුමක් කරනසේක්මය.

එකළ සැවැත්නුවර සත්කෙළක් මිනිස්සු වාසය කළහ. එයින් බුදුරදුන්ගෙන් බණ අසා පස්කෙළක් පමණ මිනිස්සු ආර්‍ය ශ්‍රාවකයෝ වූහ. දෙකෙළක් පමණ පෘථග්ජනයෝ වූහ. ඔවුහු ආර්‍යශ්‍රාවකයන් වෙනුවෙන් කාර්‍ය දෙකක් ඉටුකළහ. පෙරවරුවේ දන් දුන්හ. පස්වරුවේ සුවඳමල් අතින් ගෙන වස්ත්‍ර, බෙහෙත් වර්ග, පානවර්ග ගෙන බණ අසනු පිණිස විහාරයට ගියහ. දිනක් ආර්‍යශ්‍රාවකයන් සුවඳමල්ද රැගෙන විහාරයට යනු බලා සිටි මහාපාල, මේ පිරිස කොහි යෙත්දැයි විචාරා බණ ඇසීමට යනබව දැන, මාත් එහි යායුතුයයි සිතා විහාරයට ගොස් පිරිස් කෙළෙවරට වී සිටියේය.

බුදුවරු දහම් දෙසන කල, පිරිස දෙස බලා සරණ සීලයෙහි හෝ පැවිදි වීමෙහි හෝ අදහස් ඇති අය දැක, ඔවුන්ගේ අදහස්වලට ගැළපෙන සේ දහම් දෙසති. එහෙයින් එදින බුදුරජාණන්වහන්සේ මහාපාලගේ උපනිශ්‍රය සම්පත් හෙවත් වාසනාමහිමය දැක ඒ අනුව ආනුපුබ්බීකථාව හෙවත් පිළිවෙළකථාව අනුගමනය කරමින් දහම් දෙසුසේක. ඒ පිළිවෙළකථාව කෙසේදයත්? දානකථාව, සීලකථාව, ස්වර්ගකථාව, කාමයන්ගේ ආදීනවකථාව, ඒ සියල්ලෙහි නිසරුබව හා කෙලෙස්වලින් යුක්තබව ආදීකථාත්, අවසානයෙහි ඒ සියල්ලෙන් නික්මීමෙහි හෙවත් හැර දැමීමෙහි ආනිසංසත් ප්‍රකාශ කිරීමයි. ඒ අසා සිටි මහාපාල කෙලෙඹියා මෙසේ සිතිය.

‘පරලොව යන විට තම දූපුතුන් හෝ භවභෝග සම්පත් හෝ තමන් සමඟ නොයයි. තම සිරුර පවා තමන් සමඟ නොයයි. මේ ගිහිගෙයි විසීමෙන් ඇති ඵලය කුමක්ද? මමත් මහණවන්නෙමි’යි දේශනාවසානයෙහි බුදුරදුන් වෙත එළඹ තමන් පැවිදිකරවන ලෙස ඉල්ලා සිටියේය.

බුදුපියාණෝ මෙසේ විචාළහ. ඇයි මේ ගැන අසා බැලිය යුතු නෑ කෙනෙක් ඔබට නැද්ද? ස්වාමීනී, මගේ බාල සොහොයුරා ඇත. එසේ නම් ගොස් ඔහුගෙන් අසා බලන්නැයි බුදුහු වදාළහ. හෙතෙම මැනවැයි පිළිගෙන බුදුන් වැඳ ගෙදර ගොස් බාලසොහොයුරා කැඳවා මෙසේ කීවේය.

මලණුවනි, අපේ කුලපරම්පරාවට අයිති සප්‍රාණික අප්‍රාණික යම්තාක් දෙයක් ඇත්නම් ඒ සියල්ල ඔබට භාරකරමි. එය පිළිගන්නැයි කීය. ඇයි ඔබ කුමක් කරන්නෙහිදැයි චුල්ලපාල ඇසීය. මම බුදුන් ළඟ මහණවන්නෙමියි හේ පිළිතුරු දුන්නේය. සොහොයුර, ඔබ කුමක් කියන්නෙහිද? මගේ මව මැරුණු පසු මව හැටියටත් පියා මැරුණු පසු පියා හැටියටත් සිටින්නේ ඔබයි. අපේ පරපුරේත් විශාල ධන සම්පත් ඇත. ගෙදර වසන ගමන්ම පිනුත් කළ හැකිය. ඒ නිසා පැවිදි නොවුව මැනව. මලණුවනි, මම බුදුන්ගෙන් බණ ඇසුවෙමි. බුදුරජාණන්වහන්සේ ඉතා සියුම් ලෙස සියලු දහම් ත්‍රිලක්ෂණයට නගා මුල මැද අගයහපත්වු ධර්මය දේශනා කළහ. ඒ, දහම් පිළිවෙත ගිහිගෙයි වසන ගමන් පිරිය නොහැකි නිසා මම පැවිදි වෙමි. සොහොයුර ඔබ තවමත් තරුණය, මහලු වී පැවිදිවන්න. මලණුවනි, මහල්ලාට තමන්ගේ අත්පා පවා වසඟ නොවෙයි. කැමති ලෙස තබාගැනීමත් දුෂ්කරයි. නෑයන් ගැන කියනු කවරේද? ඒ නිසා මම ඔබේ අවවාදය පිළිනොගනිමි. මහණදම් පුරන්නෙමි.

ජරාවෙන් දිරා ගිය

අත් පා වසඟ නොම වේ

සිතේ සවියක් නැති කල

කෙසේ දහමෙහි යෙදෙමුද?

මහාචුල්ලයෝ, මලණුවන් හඬද්දීම, මලණුවනි, මම පැවිදිවන්නෙමියි බුදුන් වෙත ගොස් පැවිද්ද ඉල්ලා සිටියහ. පැවිදි උපසම්පදා ලබා ආචාර්‍ය උපාධ්‍යායයන් වෙත පස්වසක් සිට බුදුන් සමීපයට පැමිණ වැඳ, ස්වාමීනි, මේ සසුනේ ධූර කීයක් ඇද්දැයි විචාළෝය. ග්‍රන්ථධූර, විපස්සනාධූර වශයෙන් දෙකක් ඇතැයි බුදුහු වදාළෝය. ස්වාමීනි, ග්‍රන්ථධූරය නම් කුමක්ද? විදර්ශනාධූරය නම් කුමක්දැයි විචාලකල්හි, තමන්ගේ නුවණට අනුරූප ලෙස නිකායග්‍රන්ථ එකක් හෝ දෙකක් හෝ සියලු ත්‍රිපිටකයම හෝ ඉගෙනගෙන එය ධාරණය කිරීම, පාඩම් කරගැනීම, ඉගැන්වීම ග්‍රන්ථධූරය නම් වේ. සැහැල්ලු ඇවතුම් පැවතුම්වලින් යුක්තව ඈත සෙනසුන් කරා ගොස් එහි වසමින් භවයේ ඉපදීම හා විනාශය ගැන සිතමින් නිරතුරුව අනිත්‍ය දුඃඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය අනුව විපස්සනා භාවනාව වඩා රහත්ඵලයට පැමිණීම විදර්ශනාධූරය නම් වේයයි වදාළහ.

ස්වාමීනි, මම මහලුවී පැවිදිවීමි, ග්‍රන්ථධූරය වැඩීම අපහසුය. විදර්ශනාධූරය පුරන්නෙමි. ඒ සඳහා මට උචිත කමටහන් දෙනු මැනවියි හෙතෙම ඉල්ලා සිටියේය. ඉන්පසු බුදුහු ඔහුට රහත්ඵලය දක්වා කමටහන් කියාදුන්හ. හෙතෙම බුදුන් වැඳ තමන් සමඟ යෑමට කැමති භික්ෂුන් සැට නමක්ද සමඟ පිටත්වී යොදුන් එකසියවිස්සක් මඟ ගෙවා එක් පිටිසර ගමකට පැමිණියේය. එහි සපිරිවරින් පිඬුසිඟා වැඩියහ. එගම මිනිස්සු සුපිළිපන් මහසඟන දැක පැහැදුණු සිතින් අසුන් පනවා දී ප්‍රණීත ආහාරයෙන් වළඳවා, ස්වාමීනි, ආර්‍යයන්වහන්සේලා මේ වස්තුන්මාසය මෙහිම වසන්නාහු නම් අපිද තිසරණයෙහි පිහිටා සිල්සමාදන් වන්නෙමුයයි දන්වා සිටියහ. උන්වහන්සේලාත්, අපි මේ කුලවතුන් නිසා භවනිස්සරණය (සසරින් එතර වීම) කරන්නෙමුයයි ආරාධනාව ඉවසුහ. මිනිස්සු ඒබව දැන විහාරයක් තනා රාත්‍රිස්ථාන දිවාස්ථාන තනාදුන්හ. උන්වහන්සේලා නිතර ඒ ගමට පිඬුසිඟා වැඩියහ.

ඉන්පසු එක් වෛද්‍යවරයෙක් උන්වහන්සේලා වෙත එළඹ සිට, ස්වාමීනි, කීප දෙනෙක් එකට වසන තැන යම් යම් ලෙඩරෝගාදීය ඇතිවීමට පුළුවන. එසේ වුවහොත් මට කියනු මැනවි. මම ඊට ප්‍රතිකාර ලබා දෙන්නෙමියි කීවේය. පාල තෙරණුවන්වහන්සේ වස් එළඹෙන දවසෙහි අනිත් භික්ෂුන් අමතා, ඇවැත්නි මේ වස්තුන්මාසය ඉරියව් කීයකින් ගතකරන්නහුදැයි විචාළහ. ස්වාමීනි, ඉරියව් හතරකිනි. ඇවැත්නි, එය සුදුසුද? අප නොපමා වියයුතු නොවේද? අපි ජීවමාන බුදුරදුන් හමුවෙහි කමටහන් ගෙන ආවෙමු. බුදුවරු වනාහි ශටකපටකම්වලින් සතුටු කළ නොහැක්කෝය. යහපත් අදහසින්ම උන්වහන්සේලා තුටුපහටු කළ යුත්තාහ. පමාවන්නහුට නම් සතර අපාය තමන්ගේ ගෙදර මෙනි. එහෙයින් ඇවැත්නි, අප්‍රමාද වව්. මම නම් ඉරියව් තුනකින් පමණක් මේ වස්කාලය ගතකරන්නෙමි. මම මගේ පිට කිසිවිටෙකත් දිග නොහරින්නෙමි. ස්වාමීනි, යහපති, අප්‍රමාද වනු මැනවයි සෙසු භික්ෂුහු පිළිවදන් දුන්හ.

නිදා නොගෙන මසක් ගතකළ පාලතෙරණුවන්ට ඇස් රෝගයක් හටගත්තේය. සිදුරු කළයකින් දියදහර කාන්දුවන්නාක් මෙන් දෑසින් කඳුළු දහරාවෝ වැගුරුණාහ. උන්වහන්සේ මුළු රෑ ශ්‍රමණධර්මයෙහි යෙදී උදෑසන ඇතුළු ගැබට වී හුන්නෝය. භික්ෂුහු පිඬුසිඟාවඩින වේලාවෙහි තෙරුන් ළඟට පැමිණ, ස්වාමීනි, පිඬුසිඟාවඩින වේලාව පැමිණ ඇතැයි දැන්වුහ. ඇවැත්නි, එසේ නම් පාසිවුරු ගන්නැයි තමන්ගේ පාසිවුරු ගෙන්වා ගෙන පිටත්වුහ. භික්ෂුහු උන්වහන්සේගේ දෑසින් කඳුළු ගලනු දැක ස්වාමීනි, මේ කිමෙක්දැයි විචාළහ. ඇවැත්නි, මගේ ඇස් වාතයෙන් විදියි. (ඇසේ වාතාබාධයකි) ස්වාමීනි, එක් වෙදකු විසින් රෝගාබාධ ගැන දන්වන්නැයි අපට කියා ඇති නේද? ඔහුට දන්වමුද? යහපතැයි කීවිට භික්ෂුහු වෙදාට ඒබව දැන්වුහ. වෙදා තෙලක් සිඳ එවීය. තෙරණුවෝ හිඳගෙනම තෙල නාසයට උරා ඇතුළු ගමට පිවිසියෝය. වෙදා තෙරුන් දැක ස්වාමීනි, ඔබට තවත් ඇස්රුදාව ඇද්දැයි ඇසීය. එසේය. උපාසකයිනි, තවමත් රුදාව පවතී. වෙදැදුරා මෙසේ සිතීය.

‘මම එක්වරකින්ම ඇස්රෝග සංසිඳෙන තෙලක් එවීමි. කුමක් නිසා රෝගය සුවනොවුයේදැයි සිතා, ස්වාමීනි, ඔබ තෙල් නස්‍යකෙළේ හිඳගෙනද, නිදාගෙනදැයි ඇසීය. තෙරණුවෝ නිහඬවූහ. නැවත නැවතත් විචාළ නමුත් කිසිවක්ම නොකීහ. වෙදා විහාරයට ගොස් තෙරණුවන්ගේ වාසස්ථානය බලාගතයුතුයැයි සිතා, ස්වාමීනි එසේ නම් වඩිනු මැනවයි තෙරුන් පිටත්කර යවා තෙමේ විහාරයට ගොස් බලන්නේ තෙරුන් ඇවිදින හා හිඳගන්නා තැන් මිස නිදන තැනක් - අසුනක් නොදැක ස්වාමීනි, ඔබ තෙල් නස්‍යකෙළේ හිඳගෙනද, හිටගෙනදැයි නැවත නැවතත් ඇසීය. තෙරණුවෝ නිහඬවූහ.

ස්වාමීනි, මෙසේ නොකළ මැනවි. ශ්‍රමණධර්මය නම් ශරීරය යහපත් සේ රැකෙනතාක් කල් කළහැකිය. නිදාගෙනම තෙල් නස්‍යකළමැනවයි නැවත නැවතත් ඉල්ලාසිටියේය. ඔබ යන්න. කතාබහකර සුදුස්සක් කරන්නෙමියි තෙරණුවෝ කීහ. එතැන කතාබහ කිරීමට තෙරුන්ගේ නෑයෙක් - සහලේනෑයෙක් නොවීය. එසේනම් කතාබහ කරන්නේ කවුරුන් සමඟද? ස්වකීය ශරීරය සමඟය. ‘ඇවැත්නි, පාලිත, කියන්න. ඔබ ඔබේ ඇස් ගැන බලන්නෙහිද, නැතහොත් බුද්ධශාසනය ගැන බලන්නෙහිද, අගක් මුලක් නොපෙනෙන මේ සංසාරචක්‍රයෙහි ඔබ ඇස් නැතිවසිටි වාර ගණන ප්‍රමාණයක් නැත. බුදුවරු සියගණනින් දහස්ගණනින් ඉක්මගොස් සිටිති. එයින් ඔබ එක බුදුවරයන්වහන්සේ නමකගෙනුත් දහම ප්‍රගුණකොට ප්‍රතිපල ලබා නැත. දැන් මේ වස්කාලය ඇතුළත තුන්මාසයම නිදානොගන්නෙමියි අදිටන් කෙළේත් නොවේද? එහෙයින් ඔබේ ඇස් නැසීයාම හෝ වේවා, බිඳීයෑම හෝ වේවා. ඇස් නොව බුදුසසුනම සිතෙහි රඳවා ගන්නයයි, භූතකායට

(සතර මහා භූතයන්ගෙන් සැදුණු කයට) ඔවදන් දෙමින් මේ ගාථාද ප්‍රකාශ කළහ;

මගේමයයි කී ඇසුත් නැසෙයි

කනුත් නැසෙයි දේහයත් නැසෙයි

සිරුර සතුවු හැමදේම නැසෙයි

පමාවෙමින් ඇයි පාලිත පසු වන්නේ

මගේමයයි කී ඇසුත් දිරයි

කනත් කයත් එලෙසින්ම දිරයි

කය හා බැඳි හැමදේම දිරයි

පමාවෙමින් ඇයි පාලිත පසු වන්නේ

මගේමයයි කී ඇසුත් බිඳෙයි

කනත් රුවත් එලෙසින්ම බිඳෙයි

රුව හා බැඳි හැමදේම බිඳෙයි

පමාවෙමින් ඇයි පාලිත පසු වන්නේ

මෙසේ පද්‍ය තුනකින් තමන්ටම අවවාද කරගෙන නස්‍යකර්මයත් කොට පිඬුපිණිස ගමට වැඩියෝය. වෙදැදුරාණෝ තෙරණුවන් දැක, ස්වාමීනි, කෙසේද, නස්‍යකර්මය කළසේක්දැයි විචාළෝය. උපාසකය එසේය. දැන් කෙසේද ස්වාමීනි? උපාසකය, රුදාව තවමත් එසේමය. ස්වාමීනි, නස්‍ය කෙළේ හිඳගෙනද? තෙරණුවෝ නිහඬ වූහ. නැවත නැවතත් ඇසු නමුදු කිසිවක්ම නොකීහ. ස්වාමීනි, ඔබ ඇසට නිසි සප්පාය නොකරන්නහුය. අද පටන් මා ඔබට තෙල් දුන්බවක් නොකියන්න. මමද ඔබට තෙල් දුන්බවක් නොකියන්නෙමියි කීය.

තෙරණුවෝ, වෙදැදුරු විසින් ප්‍රතික්ෂේප කළපසු විහාරයට ගොස් දැන් වෙදුන් විසිනුත් ප්‍රතික්ෂේප කරන ලද්දෙහිය, එහෙත් ශ්‍රමණයාණෙනි, ඉරියව් වෙනස් නොකරන්නැයි;

වෙදහෙදකම් කළ වෙදුන් විසින්

පිළිකෙව්කොට හැර දැමුවෙහි

මරණය ඉදිරියෙ නියතයි

පමාවෙන්නෙ ඇයි පාලිත?

මේ ගයෙන් අවවාද කොට ගෙන මහණදම් පිරූහ. එදින රාත්‍රී මධ්‍යම යාමය ගෙවී යන අවස්ථාවේ නොපසු නොපෙරටුව (එක්වරම) තෙරණුවන්ගේ දෑසත් ක්ලේශයනුත් සිදී බිඳී විනාශවී ගියේය. තෙරණුවෝ ශුෂ්කවිදර්ෂක රහතන්වහන්සේ නමක් බවට පත්වූහ.

එදිනද සෙසු භික්ෂුහු අවුත්, ස්වාමීනි, භික්ෂාචාර වේලාව යයි දන්වා සිටියහ. එසේ නම් ඔබවහන්සේලා වඩින්නැයි කීහ. ස්වාමීනි ඔබ? ඇවැත්නි, මගේ දෑස් විනාශ විය. ඒ භික්ෂුහු උන්වහන්සේගේ අන්ධවු දෙඇස් දැක හැඬු කඳුලෙන් යුතුව, ස්වාමීනි, අමුත්තක් නොසිතනු මැනවි, අපි ඔබ පෝෂණය කරම්හයි තෙරුන් සනසා කළයුතු වතාවත් ඉටුකොට පිඬුපිණිස ගමට පිවිසියාහුය. මිනිස්සු මහාපාල තෙරුන් නොදැක, ස්වාමීනි, අපේ ආර්‍යයන්වහන්සේ කොයිදැයි විචාරා ඒ පුවත දැනගෙන, උන්වහන්සේලා අත කැඳ යවා, තුමුම පිණ්ඩපාතය රැගෙන ගොස් තෙරුන් වැඳ, පාමුල පෙරළමින් හඬා වැලපී ස්වාමීනි, අපි ඔබ පෝෂණය කරන්නෙමු අමුත්තක් නොසිතනු මැනවයි තෙරුන් අස්වසා ආපසු ගියාහුය.

එතැන් පටන් තෙරුන් උදෙසා කැඳ බත් ආදිය විහාරයටම යැවූහ. තෙරණුවෝද නිරන්තරයෙන් සෙසු සඟනමලාට අවවාද දුන්හ. ඒ භික්ෂුහු උන්වහන්සේගේ අවවාදයට අනුව වස් නිමවීමට ආසන්න කාලයේම, හැමදෙනා වහන්සේම සිවුපිළිසිඹියාපත් රහතන්වහන්සේලා බවට පත්වූහ. උන්වහන්සේලා වස් අවසානයෙහි මහාපාල තෙරුන් වෙත පැමිණ තමන් බුදුරදුන් දකිනු කැමැත්තෙන් සිටින බව දැන්වුහ.

ඒ වචන අසා මහාපාල තෙරණුවෝ මෙසේ සිතූහ. මම දැන් දුබලයෙක්මි. අතරමගද අමනුෂ්‍යයන් ගැවසීගත් මහකැලෑ ඇත. මාත් මොවුන් සමඟ ගියොත් සියල්ලෝම ක්ලාන්ත වෙති. භික්ෂාව ලබාගැනීමත් දුෂ්කර වේ. මේ පිරිස පළමුව යවන්නෙමියි සිතා ඇවැත්නි, ඔබ වහන්සේලා පළමුව වඩිනු මැනවියයි කීහ. ඇයි ස්වාමීනි ඔබ? මම දුබලයෙක්මි. අතරමගද අමනුෂ්‍යයන් ගැවසීගත් මහ කැලෑ වෙයි. මාත් ඔබලා සමඟ යනවිට සියල්ලෝම ක්ලාන්තවීමට පුළුවන. එහෙයින් වහන්සේලා පළමුව වැඩිය මැනවයි කීහ. ස්වාමීනි, එසේ නොකරනු මැනවි. අපිත් ඔබ හා සමඟම යන්නෙමුයි භික්ෂුහු කීවාහුය. ඇවැත්නි, ඔබ එසේ නොකරන්න. එසේ වුවහොත් එයමට අපහසුවක් වෙයි. මගේ බාලසොහොයුරා ඔබ දැක මා ගැන විමසනවා ඇති.

එහි දී මගේ ඇස් අන්ධවු බව කියන්න. එවිට ඔහු මා ළඟට කිසිවකු එවනු ඇති. මම ඔහු සමඟ එන්නෙමි. ඔබවහන්සේලා මගේ වචනයෙන් දසබලධාරී බුදුරජාණන්වහන්සේත්, අසුමහා ශ්‍රාවකයන්වහන්සේත් වඳිනු මැනවැයි පිටත්කර හැරියාහ. ඒ තෙරවරු පාලතෙරුන් වැඳ සමාකර ගෙන ඇතුළු ගමට පිවිසියාහුය. එගම මිනිස්සු උන්වහන්සේලා වඩා හිඳුවා දන් පිළිගන්වා, ස්වාමීනි, ඔබවහන්සේලාගේ ගමනාකාරයක් පෙනෙන්නේ ඇයිදැයි විමසූහ. එසේය, උපාසකවරුනි, අපි බුදුන් දක්නා කැමැත්තම්හ. එහි යන්නෙමුයි කීහ. මිනිස්සු නොයෙක් අයුරින් ඉල්ලාසිටි නමුදු උන්වහන්සේලාගේ ගමන පිළිබඳ රුචිය බලවත්බව දැක පසුගමන් කොට හඬා වැළපී නැවතුණහ.

ඒ තෙරුන්වහන්සේලා ගම්දනව් පසුකරමින් ගමන්කොට දෙව්‍රමට පැමිණ බුදුනුත් අසුමහාසව්වනුත් මහාපාලහිමියන්ගේ වචනයෙන් වැඳ ඊට පසුදා පාලතෙරුන්ගේ මලණුවන් වසන වීථියෙහි පිඬුසිඟා වැඩියහ. චුල්ලපාල තෙමේ ඒ තෙරවරුන් හඳුනාගෙන, පිළිසඳරකොට සිය සොහොයුරු තෙරුන් කොහේදැයි ඇසීය. ඒ තෙරවරු සියලු පුවත් දැන්වූහ. ඔහු තෙරුවරුන්ගේ පාමුල වැටී පෙරළෙමින් හඬා වැළපී ස්වාමීනි, දැන් කළයුත්තේ කුමක්දැයි අසා සිටියේය. මෙහෙන් කවුරුන් හෝ යනතුරු උන්වහන්සේ බලාපොරොත්තුවෙන් සිටිති. ගිය පසු ඔහු සමඟ එනුඇතියි දැන්වූහ.

ස්වාමීනි, මේ මගේ බෑණාය. මොහුගේ නමත් පාලිතය. මොහු එහි යවනු මැනවැයි සොහොයුරා ඉල්ලා සිටියේය. මොහු මේ අයුරින් යැවිය නොහැකියි. මහමඟ නොයෙක් උවදුරු සහිතයි. පැවිදිකොට යවමුයි තීරණයකොට ඔහු පැවිදිකර අඩමසක් පමණ සිවුරු පෙරවීමාදිය පුහුණු කොට මඟතොට කියාදී පිටත්කර හැරියාහ. සාමණේරතෙම පිළිවෙළින් මග ගෙවා ගොස් ඒ ගමේ දොරටුවට පැමිණ එහි දී එක් මහල්ලෙකු දැක මේ ගම අසළ එක් ආරණ්‍යයක විහාරයක් ඇත්දැයි විචාළේය.

ඇත ස්වාමීනි, එහි වසනුවෝ කවුරුන්ද? ස්වාමීනි, පාලිත නම් මහතෙර නමකි. එහි යන පාර මට කියා දෙන්න. ස්වාමීනි, ඔබ කවුරුන්ද? මම ඒ හිමියන්ගේ බෑණා වෙමියි සාමණේරනම පිළිතුරු දුන්නේය. ඉන්පසු සාමණේරනම එහි ගොස් තෙරුන් වැඳ අඩමසක් පමණ වත්පිළිවෙත්කොට තෙරුන් හොඳින් රැකබලා ගෙන සිට දිනක්, ස්වාමීනි, මගේ මාමා ඔබවහන්සේගේ ආගමනය බලාපොරොත්තුවෙන් සිටියි. අපි එහි යමුයයි යෝජනා කෙළේය. එසේනම් මාගේ සැරයටි කෙළවර අල්වා ගනුවයි තෙරණුවෝ කීහ. සාමණේරතෙම තෙරුන්ගේ සැරයටි කෙළවර අල්වාගෙන තෙරුණුත් සමඟ ඇතුළු ගමට පිවිසියේය. මිනිස්සු උන්වහන්සේලා වඩා හිඳුවා, ඇයි ස්වාමීනි, ඔබවහන්සේලාගේ ගමනාකාරයක්දැයි ඇසූහ. එසේය, උපාසකවරුනි අපි බුදුන් වඳින්නට යන්නෙමුයයි කීවිට මිනිස්සු නොයෙක් අයුරින් ඉල්ලා සිටියත් නොනවතින බව දැන තෙරුන් පිටත්කර ගමනින් භාගයක්ම පසුගමන්කොට හඬාවැළප නැවතුණහ.

සාමණේරතෙම තෙරුන්ගේ සැරයටි කෙළවර ගෙන ඉදිරියෙන් යන්නේ අතරමඟ පාලතෙරුන් මින් පෙර වැස පුරුදු අඩවියක කට්ඨනගර නම් තැනකට පැමිණියේය. එතැන පසුකර යනවිට කැලයේ ගීයක් ගායනා කරමින් දර කඩන ස්ත්‍රියකගේ ගීහඬක් අසා ඒ හඬෙහි ආශාව ඇතිකර ගත්තේය. පුරුෂයන්ගේ සකල ශරීරය පැතිර යන ස්ත්‍රීශබ්දය වැනි වෙනත් ශබ්දයක් නැත්තේය. එහෙයින් බුදුරදුහු මෙසේ වදාළහ. මහණෙනි, පුරුෂයන්ගේ සිත මැඩගෙන පවතින වෙන එකද ශබ්දයක් හෝ මම නොදනිමි. ඒ ශබ්දය නම් ස්ත්‍රී ශබ්දයයි.

සාමණේරතෙම ඒ ස්ත්‍රීශබ්දයෙහි නිමිත්ත ගෙන, සැරයටිකෙළවර අතහැර ස්වාමීනි මඳක් නවතින්න, මට පොඩි කටයුත්තක් ඇතැයි ඒ ස්ත්‍රීය සොයා ගියේය. ඈ ඔහු දැක නිහඬ වූවාය. ඔහු ඇය සමඟ එක්වී සීලවිපත්තියට පැමිණියේය. තෙරණුවෝ මෙසේ සිතූහ.

දැන් මොහොතකට කලින් ගීහඬක් ඇසිණි. එයත් ස්ත්‍රී කටහඬකි. සාමණේරනමත් ආපසු ඒමට කල් යවයි. ඒකාන්තයෙන්ම ඔහු සීලවිපත්තියට පැමිණෙන්නට ඇති. සාමණේරතෙමේත් තම සිතැඟි ඉටුකරගෙන එහි පැමිණ, ස්වාමීනි, යමු යි කීවේය. ඉන්පසු තෙරණුවෝ, එම්බල සාමාණේරය, පාපියෙක්වූවෙහිදැයි විචාළ නුමුදු හේ කිසිවක්ම නොකීවේය. අනතුරුව තෙරණුවෝ මෙසේ කීහ. තා වැනි පාපියෙකු විසින් මින්මතු මගේ සැරයටිය ගැනීමක් කළනොහැකිය. සාමණේර නම මහත් සංවේගයට පැමිණ හැඳි කසාවත් ඉවත්කොට ඒවා ගිහි ස්වරූපයෙන් හැඳගෙන, ස්වාමීනි, පෙර මම සාමණේරයෙක්මි, දැන් මම ගිහියෙක්වීමි. මා පැවිදිවූයේත් සැදැහැයකින් නොවේ. මාර්ගයේ උවදුරු වළකාගනු පිණිසයි. එන්න, දැන් මා සමඟ යමුයි කීය. එම්බල! ගිහි පාපියාත් පාපියාමය. ශ්‍රමණ පාපියාත් පාපියාමය. ඔබ පැවිදි විලාත් සීලමාත්‍රයක් පවා පුරන්නට අපොහොසත් විය. දැන් ගිහිභාවයට පත්වී කිනම් යහපතක් කළ හැකිද? තා වැනි පාපියෙකු විසින් මගේ සැරයටිකෙළවර ගැනීමක් කවදාවත් කළ නොහැකිය. ස්වාමීනි, මේ මහමඟ අමනුෂ්‍ය උපද්‍රවවලින් ගහණය. ඔබවහන්සේත් අන්ධයි. ඉතින් කෙසේ නම් මෙහි සිටින්නද? තෙරණුවෝ, ඇවැත්නි, තෙපි එසේ නොසිතව. මා මෙහි ඉඳ මැරුණත්, එහාමෙහා පෙරළුණත් තා වැන්නෙකු සමඟ මගේ ගමනක් නම් කිසිවිටෙකත් නොවන්නේයයි ප්‍රකාශකොට මේ ගාථාද පැවසූහ:

අඳෙක් වෙමි ඇස් නැති

කතර මඟකට ආවෙමි

වැද හොවිමි නොම යමි

බාලයන්ගේ සහය නොප තමි

අඳෙක් වෙමි ඇස් නැති

කතර මඟකට ආවෙමි

මැරෙමි නොම යන් නෙමි

බාලයන්ගේ සහය නොප තමි

එය අසා සිටි අනිකා මහත් සංවේගයට පැමිණ අනේ මා විසින් ඉතා බැරෑරුම්වුත්, නෝබිනාවූත් සාහසික ක්‍රියාවක් කරනලද්දෙමි’යි ඉසඅත් බැඳ අඬා වැළපෙමින් වනලැහැබට පැනයන්ට ගියේය.

තෙරණුවන්ගේ ශීලතේජසින්, සක්දෙවිඳුන්ගේ සැටයොදුන් දිග, පනස් යොදුන් පළල, පසළොස්යොදුන් ඝන බඳු වදමල් පැහැ ඇති, හිඳගන්නා විට උස්පහත් වන, පඬුපුල්සලස්න උණුවන අයුරක් දැක්වීය. සක්දෙව්‍රද කිම? කවුරුන් හෝ මා මේ තනතුරෙන් පළවා හරිනු කැමැත්තේදැයි දිවැසින් විපරම්කර බලන්නේ ඉහත කී තත්ත්වයට පත්වසිටින තෙරණුවන් දැක්කේය. එහෙයින් පැරණියෝ මෙසේ කීහ:

දහසක් දිවැස් ඇති

සක්දෙවි දිවැස් විහිදී

පව් ගරහන පාල හිමි

දිව මගම පිරිසිදු කොළෝ

දහසක් දිවැස් ඇති

සක්දෙවි දිවැස් විහිදී

දම් ගරුකවු පාල හිමි

සිටි සසුනෙහි ඇලු මැති

ඉන්පසු සක්දෙවිඳුන්ට මෙබඳු සිතක් පහළවිය. ඉදින් මම, මෙවන් පාපයට ගරහන, ධර්ම ගරුක ආර්‍යයන්වහන්සේ වෙත නොයන්නේනම් මගේ හිස සත්කඩකට පැලෙන්නේය. මම උන්වහන්සේ වෙත යන්නෙමි.

දහසක් දිවැස් ඇති

දෙවිඳු දෙව්‍රජ සිරි දැරූ

සැණයකින් එහි ගොස්

සක්පල් හිමි හමු වුණා

සක්පල් තෙරණුවන් වෙත පැමිණ සක්දෙව්‍රජ තමන් ආ බව අඟවනු පිණිස පතුල් බිම ගසා ශබ්ද කෙළේය. තෙරණුවෝ මේ කවුරුන්දැයි ඇසූහ. ස්වාමීනි මම මඟියෙක්මි. උපාසකය කොහි යන්නෙහිද? ස්වාමීනි, සැවැත් නුවරට. එසේ නම් ඇවැත්නි යන්න. ස්වාමීනි, ආර්‍යයන්වහන්සේ කොහි වඩිනාසේක්ද? මමත් එහිම යන්නෙමි. එසේනම්, ස්වාමීනි, එකටම යමු. මම දුබලයෙක්මි. අන්ධයෙක්මි. මා සමඟ යනකල ඔබට පමාවෙයි. ස්වාමීනි, මට හදිසි කටයුත්තක් නැත. ආර්‍යයන්වහන්සේ සමඟ යෑමෙන් මම දසපින් කිරියවතින් එකක්ද ලබන්නෙමි. එනිසා එකටම යමු ස්වාමීනි.

තෙරණුවෝත් මේ එක් සත්පුරුෂයාණ කෙනෙකියි සිතා, එසේනම් උපාසකයිනි, මගේ සැරයටිකෙළවර අල්වා ගන්නැයි කීහ. සක්දෙව්පුත්ද එසේ අල්වාගෙන පොළොව කැටිකරමින් සවස්වනවිට දෙව්‍රමට පැමිණවූයේය. තෙරණුවෝ හක්ගෙඩි බෙරදවුල්හඬ අසා මේ බෙරහඬ ඇසෙන්නේ කොහෙන්දැයි ඇසුවෝය. ස්වාමීනි, ඒ සැවැත්නුවරය. උපාසකය, පෙර අප යනකල බොහෝ දවස් ගතවෙයි. ස්වාමීනි, මම කෙටි මඟක් දනිමි. එයින් ආවෙමි’. එවෙලෙහි තෙරණුවෝ මේනම් මිනිසෙක් නොවෙයි, දෙවියෙකියි සිතාගත්හ.

දහසක් දිවැස් ඇති

දෙවිඳු දෙව්‍රජ සිරි දැරූ

හකුළුවා එන මග

වහා සැවතට සපැමිණි

සක්දෙව්‍රජ, තෙරුන්වහන්සේ, උන්වහන්සේ උදෙසාම කනිටු සොහොයුරා විසින් කරවන ලද පන්සලට පමුණුවා, අසුනෙක වඩාහිඳුවා, ප්‍රිය යහළුවකුගේ වෙසින් සොහොයුරාගේ ගෙට ගොස්, ඔහු අමතා තෙරණුවන් පැමිණිබවත්, ඔබ කළ පන්සලෙහි වැඩසිටිනු දුටුබවත් කියා යන්ටගියේය.

කෙළෙඹියාද පන්සලට ගොස් තෙරුන් දැක, පාමුල පෙරළෙමින් හඬා වැළප ස්වාමීනි, මේ දැක මම ඔබට පැවිදිවන්නට නොදුන්නෙමි ආදිය කියා දාස දරුවන් දෙදෙනෙකු නිදහස්කරවා, තෙරුන් ළඟ පැවිදිකරවා ඇතුළුගමින් කැඳ බත් ආදිය ගෙනවුත් උපස්ථාන කිරීම සඳහා යෙදවීය. සාමණේරවරු වත්පිළිවෙත් කොට තෙරණුවන්ට උවැටන්කළහ.

ඉන්පසු දිනෙක දිසාවාසී භික්ෂූහු බුදුන් දකින්නෙමුයයි දෙව්‍රමට අවුත් බුදුන් වැඳ අසූමහාතෙරවරුන්ද දැක විහාරයෙහි ඇවිදින්නාහු චක්ඛුපාලතෙරුන් වසන තැනටද පැමිණ උන්වහන්සේත් දකින්නෙමුයයි සවස එහි ගියහ. එවේලේ මහා වැස්සක් වැස්සේය. ඒ තෙරුන්වහන්සේලා දැන් සවස්විය. වැස්සකුත් පටන් ගත්තේය. එහෙයින් හෙට උදෑසනම ගොස් දකින්නෙමුයයි නැවතුණාහ.

පළමු යාමයෙහි පටන්ගත් වැස්ස මධ්‍යම යාමයෙහි නැවතුණේය. චක්ඛුපාල තෙරුන්වහන්සේ සක්මන් භාවනාව පුරුදු කළ කෙනෙකි. එහෙයින් අවසාන යාමයෙහි සක්මන් කිරීමට පටන් ගත්හ. අලුතෙන්ම වැසි වැස්ස නිසා ඒ සක්මන් මළුවෙහි බොහෝ ඉන්දගෝපකයෝ (කුඩා රතුපාට පණුවෝ) පොළොව මතුපිටට ආහ. තෙරුන් සක්මන්කරන කල ඉදුගොව්වෝ විශාල වශයෙන් පෑගී මළහ. අතවැසියෝ තෙරුන්ගේ සක්මන්මළු උදෑසනින් අතුගා නොතිබිණි. ඉහත කී භික්ෂූහු තෙරුන් වසන තැනට අවුත් සක්මනෙහි මළ පණුවන් දැක, මෙහි සක්මන් කරන්නේ කවුරුන්දැයි ඇසූහ. ස්වාමීනි, අපේ උපාධ්‍යායන්වහන්සේයි. ඒ භික්ෂූහූ ඒ අසා බෙහෙවින් නින්දා පරිභව කළහ.

“මේ ශ්‍රමණයාගේ වැඩක් බලව්. ඇස් ඇති කාලයේ වැදහෙව නිදාසිට, කිසිවක් නොකොට දැන් ඇස් අන්ධවු පසු සක්මන් කරන්නෙමියි බොහෝ පණුවන් මැරීය. අර්ථයක් කරන්ට ගොස් අනර්ථයක්ම කෙළේය’යි කියමින් බුදුරදුන් සමීපයට ගොස් ස්වාමීනි, චක්ඛුපාලතෙරුන් සක්මන් කෙරෙමියි බොහෝ පණුවන් මරා දැම්මේයයි දන්වා සිටියහ. කිම, තෙපි චක්ඛුපාල තෙරුන් පණුවන් මරනු දුටුවාහුද? නැත ස්වාමීනි, අප දුටුවේ නැත. මහණෙනි, යම්සේ තොප එය නොදුටුවාහුද? එසේම චක්ඛුපාලතෙරුන්ද ඒ පණුවන් නොදුටුවේය. මහණෙනි, රහතුන්ට මරණචේතනා නැත. භාග්‍යවතුන් වහන්ස, රහත්වීමට තරම් හේතුසම්පත් තිබියදී ඒ තෙරණුවෝ කෙසේ අන්ධ වුවාහුද? මහණෙනි, ඒ තමන් කළ කර්මයට අනුරූප වශයෙනුයි. ස්වාමීනි, චක්ඛුපාල තෙරුන් කළ ඒ පාපකර්මය කුමක්ද? මහණෙනි එසේ නම් අසව්.

අතීතයෙහි බරණැස බරණැස්‍රජු රාජ්‍යය කරන සමයෙහි එක් වෙදෙක් ගම්නියම් ගම්වල ඇවිදිමින් වෙදකම් කරන්නේ ඇස් දුබලවීගිය එක් ස්ත්‍රියක් දැක මෙසේ ඇසීය. ‘ඔබට ඇති අපහසුව (රෝගය) කුමක්ද? මගේ ඇස් නොපෙනෙයි. ඇස්වලට බේත් කරන්ටද? ස්වාමීනි, එසේය. ඔබ මට කුමක් දෙන්නෙහිද? යම් විදියකින් මගේ ඇස් ප්‍රකෘතිමත් කළහැකිනම් මම මගේ දූපුතුන් සමඟ ඔබට දාසී වෙමි. වෛද්‍යවරයා යහපතැයි ඇස්වලට බෙහෙත් දැමීය. එක බෙහෙතකින්ම ඇස් ප්‍රකෘතිමත් විය. ඉන්පසු ඈ මෙසේ සිතුවාය. “මම මොහුට දූපුතුන් සමඟ දාසී වන්නෙමි’යි ප්‍රතිඥා දුනිමි. දැන් මෘදු මොළොක් ලෙස සිටීමෙන් පලක් නැත. මොහුට වංචා කළ යුතුය”.

මේ අතර වෙදා පැමිණ, නැගනිය, කෙසේද, දැන් ඇස් රෝගය සුවදැයි ඇසූ විට, පෙර මගේ ඇස්වල මදවේදනාවක් විය. දැන් තිබුණාටත් වඩා රුදා නැගෙන්නේයයි කීවාය. වෛද්‍යවරයා මෙසේ සිතුවේය. මෝතොමෝ මා වංචාකොට කිසිවක් නොදෙනු කැමැත්තීය. මැගේ බැළමෙහෙයෙන් මට වැඩක් නැත. මේ මොහොතේම මෑ අන්ධ කරන්නෙමියි සිතා ගෙදර ගොස් බිරිඳට එපුවත දන්වා සිටියේය. ඈ නිහඬ වුවාය. හෙතෙම එක් බෙහෙතක් හදා ඈ ළඟට ගොස් සොඳුර, එසේ නම් මේ බෙහෙත ඇසේ ආලේප කරන්නැයි ආලේප කරවීය. ඇගේ ඇස් පහන්සිළු දෙකක් නිවී යන්නාක් මෙන් එකෙණෙහිම විනාශවී ගියේය. එකල ඒ වෙදා නම් මේ චක්ඛුපාල තෙරුන්‍ය. මහණෙනි, එදින මපුතුන් කළ කර්මය පසුපසින් ලුහුබැඳ ආවේය.

පාපකර්මය නම් ගැල ඇදගෙන යන ගොනාගේ පා අනුව එන රෝදය මෙන් පසුපසින් එයි යනුවෙන් මේ කථා වස්තුව පුර්වාපර සන්ධි ගළපා මැටිපුවරුවක ලියූ ලිපියක රාජමුද්‍රාව තබන්නාක් මෙන් ධර්මරාජයන්වහන්සේ මේ ගාථාව වදාළ සේක:

සෑම සිතිවිලි දහම්

මනස පෙරටුව සිදුවේ

මනස සෙට කොට පැවතේ

මනස තුළ නිපදුණේ වේ

කිලිටි සිතකින් කියන

කරන හැම දෙය නිසා

දුකම පසුපසින් එයි

ගොනුගෙ කර බැදි රීය

රෝදය කැරකී එන ලෙස

එහි මනො යනු කාමාවචර කුසලාදී (භූමිගත) භේද අනුව සියලු චාතුර්භූමික (කාම - රූප - අරූප - ලොකුත්තර) සිතයි. ඒ භූමිවල පවත්නා සිතයි. මේ පදයෙහි ලා එකල ඒ වෙදා තුළ උපන් සිත් වශයෙන් නියම කරනු, ව්‍යවස්ථා කරනු, සීමා කරනු ලබන දොමනස්ස සහගත පටිඝසම්පයුක්ත සිතම වෙයි. පුබ්බංගමා යනු ඒ සිත සමඟ පුරෝගාමීව යෙදීමයි. ධම්මා යනු ගුණ - දේශනා - පරියන්ති - නිස්සත්ත - නිජ්ජීව වශයෙන් චතුර්විධ වේ. ඔවුන් අතර

දහම හා අදහම සම විපාක ගෙන නොදේ

අදහමෙන් නිරයටද දහමෙන් සුගතියටද යේ.

මේ ගුණ ධම්ම නම් වේ. ‘ධම්මං වො භික්ඛවෙ දෙසිස්සාමි ආදි කළ්‍යාණං’ ආදි තන්හි දේශනාධම්ම නම් වේ. ඉධ පන භික්ඛවෙ එකච්චේ කුලපුත්තා ධම්මං පරියාපුණන්ති සුත්තං ගෙය්‍යං’ ආදී තැන්වල ‘පරියන්ති ධම්ම’ නම්වේ. ‘තස්මිං ඛො පන සමයෙ ධම්මා හොන්ති ඛන්ධා හොන්ති’ ආදී තැන්වල ‘නිස්සත්ත ධම්ම’ නම්වේ. නිජ්ජීවධම්ම යනුද මෙය මයි. එයින් මේ ස්ථානයෙහි (ගාථාවෙහි) ‘නිස්සත්ත නිජ්ජීවධම්ම’ අදහස් කරන ලදි. එහි අදහස නම් ත්‍රිවිධ අරූපස්කන්ධයෝයි. වෙදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය යන තුනයි. ඔවුනතර මේ මේ ධර්මයන්ට සිත යොමුවේනුයි මනොපුබ්බංගමා නම්වේ.

කෙසේ නම් මොවුන් සමඟ ඒකවත්ථුක, ඒකාරම්මණ ලෙස නොපසුව නොපෙරටුව එකක්ෂණයක උපදිමින් මනෝපුබ්බංගම වෙයිද? උත්පාද ප්‍රත්‍යාර්ථයෙනි. යම් ලෙසකින් බොහෝ දෙනෙක් එකතුව ගම් පැහැරීම් ආදිය කරන කල්හි මෙහි පුරෝගාමියා කවුදැයි ඇසූ විට යමෙක් ඒ සඳහා ප්‍රත්‍යය වේනම්, යමක් උදෙසා ඔවුහු ඒ කර්මය කෙරෙත්නම් ඔහුගේ නම දත්ත වුවත්, මත්ත වුවත් ඔහුම ඔවුන්ගේ පුරෝගාමියායයි කියනු ලැබෙයි. මෙහි පිළිවෙළ මෙසේ දත යුතුයි. මේ ආකාරයෙන් උත්පාදප්‍රත්‍යාර්ථයෙන් මොවුන්ට මනස පුර්වංගම වේනුයි ‘මනොපුබ්බංගමා’ නම්වේ.

මනස නූපන් කල්හි ඒ ස්කන්ධාදීහු ඉපදීමට නොහැකි වෙත්ද? මනස වුකලී ඇතැම් චෛතසිකයන් නූපන් කල්හිද උපදිනේමය. අධිපති වශයෙන් මේ මනස චෛතසිකයන්ට ශ්‍රේෂ්ඨ වේ යන අරුතින් මනොසෙට්ඨා නම්වේ. චෞදරාදීන්ට චෞරනායකයෝ අධිපති වූවාහු, ශ්‍රේෂ්ඨ වුවාහු වෙත්ද, එසේ ඒ චෛතසිකයන්ටද අධිපති වනහෙයින් මනොසෙට්ඨ නම්වේ. යම් සේ ලී ආදියෙන් නිෂ්පාදනය කරනලද ඒ ඒ බඩුභාණ්ඩ දාරුමය යන නම ලබයිද, එසේය. ඒ ආකාරයෙන් මේ සිත්ද මනසින් නිපන් නිසා මනොමය නමි. පදුට්ඨෙන යනු ආගන්තුකව පැමිණි අහිධ්‍යාදී දොස්වලින් අතිශයින් දූෂ්‍යවු සිතයි. ප්‍රකෘති මනස නම් භවාංග විත්තයයි. එය අප්‍රදුෂ්‍යයි. පිරිසිදුයි. යම්සේ පැහැදිලි ජලය ආගන්තුකව පැමිණෙන නීලවර්ණාදියෙන් කිලිටිවු කල නිල්දිය ආදි භේදවලට පැමිණේද, ඉන්පසු එය අලුත් ජලයක් නොවුණත් පෙර පැවති ජලයද නොවේ. ඒ ආකාරයෙන් සිතද ආගන්තුකවු අහිධ්‍යාදී දොස්වලින් ප්‍රදූෂ්‍ය වන්නේවෙයි. ඉන්පසු එය අලුත් සිතක්ම හෝ පෙර තිබුණු සිත හෝ නොවෙයි. මේද භවාංග සිතමය. එහෙයින් බුදුහු මෙසේ වදාළහ. ‘පභස්සරමිදං භික්ඛවෙ චිත්තං තං ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙට්ඨෙහි උපක්කිලෙසං’ මහණෙනි මේ සිත ඉතා ප්‍රභාස්වරයි නමුත් එය ආගන්තුක උපක්කිලෙස නිසා කිලිටිවුයේ වෙයි.

‘මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොතිවා’ යනු පුද්ගලයා කථා කරන විට චතුර්විධ වාග් දුශ්චරිතයම කරයි. එසේ සිටින විට ඒ අහිධ්‍යාදී ප්‍රදූෂ්‍යවූ මනසක් ඇති නිසා ත්‍රිවිධ මනෝදුශ්චරිත පුරයි. මෙසේ ඔහුට දසඅකුසල කර්මපථ සම්පුර්ණ වේ. තතො නං දුක්ඛමන්වෙති යනු ඒ ත්‍රිවිධ දුශ්චරිතයෙන් ඒ පුද්ගලයා පිටුපස දුක ලුහුබැඳ යයි. ඒ දුශ්චරිතය හේතුකොටගෙන සතර අපායේ හෝ මිනිස් ලොව හෝ අඳුරු තැන්වලට යෙයි. කායවස්තුකාදි සෙසු කර්මයනුත් මේ පර්‍යායයෙන් කායික චෛතසික විපාක දුක අනුව යයි. කුමක් මෙන්ද? චක්කං ව වහතො පදං ශකටයෙහි (රථයෙහි) බැඳි, ශකටය ඇදගෙන යන ගවයාගේ පා පිටිපස්සේ එන රථරෝදය මෙනි. යම් සේ ඒ ගවයා දිනක් දෙකක් දිනපහක් දහයක් අඩමසක් මාසයක් නමුත් ගැළ ඇදගෙන යන්නේ නම් රියසක නවත්වන්නට හෝ එය හැර දමන්නට හෝ හැකි නොවේ. ඉදිරියට ඇදී යන ඔහුගේ බෙල්ල සකටය මගින් පෙළයි. පසුපසට යනවිට රියසක කලවා මාංශයේ වැදෙයි. මෙසේ දෙයාකාරයකින් පෙළෙන රියසක ඔහුගේ පා අනුවම පවතී. එසේම අතිශයින් දුෂිතවූ මනසින් ත්‍රිවිධ දුශ්චරිත පුරා සිටි පුද්ගලයා නිරයාදි ගියගිය තැන දුශ්චරිත මුලිකව කායික චෛතසික දුක ලුහුබඳී.

ගාථා කෙළවර තිස්දහසක් භික්ෂූහු සිව්පිළිසිඹියාපත් රහත්බවට පැමිණියාහුය. සපැමිණි පිරිසටත් එම දේශනාව සාර්ථක ඵලදායක එකක්විය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.