1-8 අටවන අගසවු වස්තුවයි.

අසාරෙ සාරමතිනො සාරෙ චාසාරදස්සිනො

තෙ සාරං නාධිගච්ඡන්ති මිච්ඡාසංකප්පගොචරා.

අසාරයෙහි සාරය යන දෘෂ්ටි ඇති, ශීලාදි සාරයෙහි අසාරය යන දෘෂ්ටි ඇති, මිථ්‍යාසඞ්කල්පය ගොදුරු කොට ඇති ඒ අඥාන ජනයෝ ශීලාදි සාරයට නො පැමිණෙත්.

සාරඤ්ච සාරතො ඤත්‍වා අසාරඤ්ච අසාරතො

තෙ සාරං අධිගච්ඡන්ති සම්මාසඞ්කප්පගොචරා.

(ශීලසාරාදි) සාර දැය සාර වශයෙන් ද, අසාර දැය අසාර වශයෙන් ද දැන (වසන) නොවැරැදි අදහස් ගොදුරු කොට ඇති ඒ ප්‍රාඥයෝ ශීලාදි සාරයට පැමිණෙත්.

‘අසාරෙ සාරමතිනො’ ආදි මේ ධර්ම දේශනාව බුදුන් වේළුවනයෙහි වාසයකරන කාලයෙහි අගසව්වන් විසින් දන්වන ලද නමුත් සංජයගේ නොපැමිණීම අරභයා දේශනා කරන ලදි.

මේ එහි අනුපිළිවෙළ කථාවයි. අප බුදුන් මෙයින් චතුරාසංඛ්‍යකල්පලක්ෂයකටත් අධික කාලයක් අමරවතී නම් නුවර සුමේධ නම් බ්‍රාහ්මණ කුමරෙක්ව, සියලු ශිල්පයන්හි පරතෙරට පත්ව, මවුපියන්ගේ ඇවෑමෙන් නොයෙක් කෝටි සංඛ්‍යාත ධන පරිත්‍යගකොට ඍෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව ධ්‍යාන අභිඥාලාභීව හිමවතෙහි වාසයකෙළේය.

දිනක් මේ තවුස්තෙමේ අහසින් යන්නේ දීපංකර දසබලයන්වහන්සේට සුදසුන් විහාරයේ සිට රම්ම නගරයට පිවිසෙනු සඳහා මාර්ගය පිළිසකර කරන ජනයා දැක, තමනුත් එයින් මාර්ග කොටසක් භාරගෙන එය නිමවීමටත් කලින් වැඩමවූ බුදුරදුන්ට, තමන් ඒදණ්ඩක්කොට මඩෙහි වැතිරී, ශ්‍රාවක සංඝයා සමඟ බුදුරජාණන්වහන්සේ මඩ නොපාගා, මා පාගාගෙන වඩිනා සේක්වායි බිම දිගාවී වැදහොත්තේය.

බුදුරජාණන්වහන්සේ ඔහු දුටු ගමන්ම මේ බුද්ධංකුරයෙකි. අනාගතයේ මෙයින් චතුරාසංඛ්‍යකල්ප ලක්ෂයක් ගියතැන මොහු ගෞතම නමින් බුදුවන්නේයයි ප්‍රකාශ කළහ. ඒ දීපංකර බුදුන්ගෙන් පසුව කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සි, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුනීත, පියදස්සී, අත්ථදස්සි, ධම්මදස්සි, සිද්ධත්ථ, තිස්ස, ථුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසන්ධ, කෝණාගමන, කස්සප යනුවෙන් ලොව ආලෝකමත් කරමින් උපදින්නාවූ තෙවිසි බුදුවරුන් සමීපයෙන් විවරණ ලබා දසපාරමී දස උපපාරමී දසපරමාර්ථපාරමී වශයෙන් සමතිසක් පාරමීන් සපුරා වෙස්සන්තර ආත්මභාවයෙහිදී පොළොව කම්පා කරවමින් මහදන්දී අඹුදරුවනුත් පරිත්‍යාගකොට ආයුකෙළවර තුසීපුරයෙහි ඉපද ආයු ඇතිතාක් එහි සිට දසදහසක් සක්වළ දෙවියන් රැස්ව,

මහාවීරයාණනි,

මවුකුස ඉපදුමට මේ සුදුසු කාලයයි

එහෙයින් මෙලොව ඉපිද

දෙවියන් සහිත තුන්ලොව

නිවනට පමුණුවනු මැනවි

යනාදි ක්‍රමයෙන් ආරාධනා කළ කල්හි, පස්මහ බැලුම් බලා දෙව්ලොවින් චුතව ශාක්‍යරාජකුලයෙහි ඉපිද එහි මහ සම්පත් විඳිමින් පිළිවෙළින් පිරිපුන් යොවුන්වියට පැමිණ ඍතුවට ගැළපෙන ප්‍රාසාද තුනක දෙව්ලොව සිරි වැනි රජසිරි අනුභව කොට උයන් කෙළියට යන අතර පිළිවෙළින් ජරාවටත්, රෝගයටත්, මරණයට පත්වූවන් ත්‍රිවිධ දේවදුතයන් සේ දැක, උපන් සංවේග ඇතිව නැවතී සිවුවෙනි වරට පැවිදිරුවක් දැක පැවිද්ද යහපතැයි එහි රුචිය උපදවාගත්හ. එදින එහි ගතකොට මඟුල්පොකුණු තීරයෙහි සිටින අතර, කපුවෙසක් ගෙන එහි පැමිණි විශ්වකර්ම දෙව්පුතුන් විසින් ගෙන එන ලද රාහුලපුත් කුමරු උපන්බව දැක්වෙන පණිවුඩය අතට ගෙන පුත්‍රස්නේහයේ බලවත් බව වටහා ගෙන, එම බන්ධනය මුහුකුරා යෑමට ප්‍රථම මෙය සිඳ දැමිය යුතු යයි සවස නුවරට පිවිසෙන විට

නිවුණාය ඒ මව

නිවුණේය ඒ පියතෙම

නිවුණීය ඒ පියළඳ

මෙවන් හිමියෙකු ඇති සඳ

යනාදීන් තම නැන්දගේ දුවණිය වූ කිසාගෝතමියගේ නිබ්බුතපද අසා, මෑ මට නිබ්බුතපද ඇස්වීයයි තම මුතුහර මුදා ඈට යවා තම යහන්ගැබට වැද සිරියහනෙහි වැදහොත්තේය.

එහිදී නිද්‍රෝපගත (නින්දට වැටුණු) නාටිකාංගනාවන්ගේ නොයෙක් විප්‍රකාර දැක කළකිරී ඡන්න ඇමතිත් සමඟ දසදහසක් සක්වළ දෙවියන් විසින් පිරිවරන ලදුව මහබිනික්මන් කොට අනෝමා නම් නදී තීරයට පැමිණ පැවිදිව ක්‍රමයෙන් රජගහ නුවරට ගොස් එහි පිඬු සිඟා පාණ්ඩව පර්වතප්‍රාන්තයෙහි සිටින විට මගධ රජුන් විසින් රාජ්‍යය භාර ගන්නැයි අයැදි කල එය ප්‍රතික්ෂේප කළහ. බුදුවූ පසු තම විජිතයට එන්නැයි කළ ඇරයුම භාර ගත්හ. ඉන්පසු ආළාර උද්දක යන දෙදෙනා වෙත එළඹුණාහ. ඔවුන්ගෙන් විශේෂ අධිගමයක් නොලද හැකි බව දැන පසුබට නොවී සය වසරක් මහා ප්‍රධන් වීර්ය කොට වෙසක් පුන් පොහෝදා උදැසනම සුජාතාව විසින් දෙන ලද පායාසය වළඳා නේරංජරා නදිය වෙත පැමිණියහ. එහිදී රන්පාත්‍රය නදියෙහි පා කොට යවා එම නදීතිරයෙහි මහවන ලැහැබ තුළ නොයෙක් සමවත් සුවෙන් දිවාකල් යවා සවස සොත්ථිය නම් බමුණා දුන් ඊතණ ගෙන කාළ නම් නාරජුන් කළ ගුණ ගායනා අසා මහාබෝමැඩ වෙත එළඹුණහ.

එහි තණ අතුරුවා, සියලු කෙලෙසුන්ගෙන් මගේ සිත මිදෙන තුරු, මේ පර්යංකය නොහරින්නෙමියි ප්‍රතිඥා කොට පෙරදිගට මුහුණ ලා හිඳගෙන හිරු බැස යෑමටත් පෙර මාරබල නසා ප්‍රථම යාමයෙහි පුබ්බේනිවාසඥානයත්, මැදුම්යම චුතූපපාතඥානයත්, පැසුළුයම පච්චයාකාරඥානයත් ලබා දශබල චතුර්වෛශාරද්‍යාදි සියලු ගුණයන්ගෙන් ප්‍රතිමණ්ඩිත සර්වඥතාඥානය ද ලබා සත්සතියක් බෝමැඩ ගත කොට අටවෙනි සතියෙහි අජපල්නුගරුක මුල සිටිමින් ධර්මයෙහි ගැඹුරු බව මෙනෙහි කළසේක.

ඉන්පසු දහම් දෙසුමෙහි අල්පෝත්සාහී බවට පැමිණ, දසදහසක් සක්වළ මහාබ්‍රහ්ම පිරිවර සහිතව පැමිණි, සහම්පතී මහබඹහු විසින් ආරාධනා කළ කල්හි, බුදු ඇසින් ලොව බලා, බඹහුගේ ඇරයුම ද පිළිගෙන, ප්‍රථමයෙන්ම කාට දහම් දෙසන්නෙම්දැයි බලා ආළාර උද්දක තවුසන් කළුරිය කොට ඇති බැවින්, පංචවග්ගිය භික්ෂූන්ගේ උපකාර සිහිකොට හුනස්නෙන් නැගිට කාශිපුරයට වඩින ගමන් අතරමඟදි උපක නම් ආජීවකයා සමඟ කථා කොට ඇසළ පුන්පොහෝදින ඉසිපතන මිගදායට, පංචවග්ගිය භික්ෂුන් වසන තැනට එළඹිසේක.

එහිදී අනුචිත වචනයෙන් (බුදුන්ට ආවුසො යයි කීම) අමතන ඔවුන්ට තමන් බුදු වූ බැවින් එසේ කථා නොකරන ලෙස හඳුන්වා දී අඤ්ඤාකොණ්ඩඤ්ඤ ප්‍රමුඛ අටළොස් කෙළක් පමණ අයට දහම් අමා පැන් පොවා ධර්මචක්‍ර සූත්‍ර දේශනාව පවත්වා එයින් පස්වෙනි සතියෙහි ඒ සියලු භික්ෂූන් රහත්බවෙහි පිහිටුවා වදාළහ. එදිනම යසකුල පුතුන්ගේ හේතුසම්පත් දැක, එදිනම රෑ කළකිරී ගෙය හැර ගිය ඔහු අමතා, යස මෙහි එන්නැයි අඬගසා ඒ රෑම සෝවාන් ඵලයට පමුණුවා දෙවෙනි දවස රහත්බවටද පමුණුවාලූහ. ඔහුගේ සෙසු සිව්පනස් දෙනෙක් වූ යහළුවන්ද ඒහිභික්ෂු පැවිද්දෙන් පැවිදි කොට රහත්බවෙහිද පිහිටුවාලුහ.

මෙසේ ලොව එක්සැට නමක් පමණ රහතුන් ඇති වූ කල්හි, වස් වැස වස් පවාරණය කොට “චරථ භික්ඛවේ චාරිකං’ (මහණෙනි, චාරිකාවේ හැසිරෙව්) යයි භික්ෂූන් සැටනම දිසාවලට යවා, තමන් වහන්සේ උරුවේලාවට වඩින අතරමඟවූ කප්පායික වනසණ්ඩයෙහි හද්‍රවර්ගීය කුමාරවරුන් තිදෙනාද හික්මවාලුහ. වැඩිම අධිගමලාභියා අනාගාමී විය. සමහරු සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඒ සියල්ලන් ද ඒහිභික්ෂු භාවයෙන් පැවිදි කොට දිසා අනුදිසාවලට යවා, තමන්වහන්සේ උරුවේලාවට වැඩ හත්සිය පනහක් පමණ ප්‍රාතිභාර්ය දක්වා දහසක් පිරිවර ඇතුළු උරුවේල කාශ්‍යපාදි තුන්බෑ ජටිලයන් හික්මවා ඔවුන්ද ඒහිභික්ෂුභාවයෙන් පැවිදි කොට ගයාශීර්ෂයෙහි නවත්වා, ආදිත්ත-පරියාය සූත්‍රය දෙසා, රහත්බවෙහි පිහිටුවා ඒ දහසක් රහතන් පිරිවරා බිම්සරරජුට දුන් ප්‍රතිඥාවෙන් මිදෙනු පිණිස රජගහනුවර සමීපයෙහි ලට්ඨීවනඋද්‍යානයට ගොස් බුදුන් වැඩියේ යයි දැන දොළොස් නහුතයක් පමණ බ්‍රාහ්මණ ගෘහපතියන් සමඟ එහි පැමිණි බිම්බිසාර රජුන්ට මිහිරි දහම් කථා පැවැත්වූහ.

ඒ කථා අසා සිටි එකොළොස් නහුතයක් පමණ පිරිස සෝවාන් ඵලයෙහි පිහිටියහ. එක් නහුතයක් තිසරණයෙහි පිහිටියාහුය. දෙවෙනි දින මාණවක වෙසින් පැමිණි සක්දෙවිඳු ගුණ වර්ණනා කළ කල්හි රජගහ නුවරට වැඩමවා එහි වාසය කළහ. මේ සැරියුත් මුගලන් දෙනම ද එහි වැඩියාහුය. මේ එහි අනුපිළි‍වෙල කථාවයි.

බුදුන් නුපන් කල්හි රජගහනුවර ආසන්නයේ කෝලිතගම උපතිස්සගම නමින් බමුණුගම් දෙකක් විය. ඒ දෙගම් අතර උපතිස්ස ගමෙහි රූපසාරී නම් බැමිණියට ගැබක් පිහිටි දිනයේදීම කෝලිත ගමෙහි මොග්ගලී නම් බැමිණියටද ගැබක් පිහිටියේය. ඒ දෙකුලයේ අය කුලසතක පමණ කාලයක සිට ඔවුනොවුන් එකට බැදුණු යහළුවන් ලෙස කාලය ගෙවුහ. ඒ බැමිණියන් දෙදෙනාටම එකම දවසෙහි ගැබ් පෙරහැර දුන්නාහුය. ඒ දෙදෙනා දසමස් ඇවෑමෙන් පුතුන් වැදුහ. නම් තබන දිනයෙහි සාරී බැමිණියගේ පුතාට උපතිස්ස ගම දෙටුකුලයේ පුතා නිසා උපතිස්සයයි නම් තැබූහ. අනිත් තැනැත්තා කෝලිතගම දෙටු කුලයේ පුතා නිසා කෝලිත යයි නම් තැබූහ.

ඒ දෙදෙන වැඩී වයසට පැමිණ සියලු ශිල්පයන්හි පරතෙරට ගියාහුය. උපතිස්ස මාණවකයා ක්‍රීඩා පිණිස නදියට හෝ උයනට හෝ යන කල රන්සිවිගෙවල් පන්සීයක් පිරිවර වශයෙන් ගෙන යයි. කෝලිත මාණවකයාට ආජානීය අශ්වරථ පන්සීයකි. දෙදෙනාටම මාණවකයන් පන්සීය බැගින් පිරිවරද විය.

රජගහනුවර වසරක් පාසා ගිරග්ගසමජ්ජ නම් උත්සවයක් පැවැත්වේ. මේ දෙදෙනාම එය නැරඹීම පිණිස එකම තැනක මැසි බැඳගනිත්. දෙදෙනාම එකට හිඳගෙන සමාජය බලන්නාහු සිනාසිය යුතු තැන සිනාසෙත්. දුක්විය යුතු තැන දුක් වෙත්. තෑගි දියයුතු තැන තෑගි දෙත්. ඔවුහු මෙසේ එක් දිනක් සමාජය බලා සිටියදී, ඥානය මුහුකුරා ගොස් තිබුණු හෙයින් පෙර දිනවල මෙන් සිනාසිය යුතු තැන සිනාසීමක් හෝ දුක් විය යුතු තැන දුක්වීමක් හෝ තෑගි දිය යුතු තැන තෑගි දීමක් හෝ නොවීය.

දෙදෙනාම කිම මෙහි බැලිය යුත්තක් ඇද්ද? මේ සියල්ල වර්ෂ සියයක් යාමට මත්තෙන් සදොස් බවට, නොපිළිගන්නා බවට යයි. අප විසින් එක් මෝක්ෂධර්මයක් සොයා යායුතු යයි සිතමින් හුන්නාහුය. ඉක්බිති කෝලිත උපතිස්ස අමතා, යහළු උපතිස්ස, ඔබ වෙනදා මෙන් තුටුපහටු නැත. සිටින්නේ නොසතුටෙන්ද? යහළු කෝලිතයෙනි, මේවා බැලීමේ කිසි හරයක් නැත. මේවා නිරර්ථකයි. මම කිසියම් මෝක්ෂධර්මයක් සෙවිය යුතු යයි සිතමින් සිටියෙමි. ඔබත් නොසතුටෙන් ඉන්නේ ඇයි දැයි උපතිස්සගෙන් ඇසීය. ඔහුද මමත් එසේම සිතමින් හුන්නෙමියි කීවේය. ඉන්පසු දෙදෙනාම එකම අදහසේ සිටින බව දැන උපතිස්ස මෙසේ කීවේය. අප දෙදෙනාම සිතූ සිතිවිල්ල මැනවි. මෝක්ෂධර්මයක් සොයන්නන් එක් පැවිද්දක් ලබා ගත යුතුය. කවුරුන් ළඟ පැවිදි වන්නෙමුදැයි කතිකා කළහ.

එකල සංජය නම් පිරිවැජියෙක් (පරිව්‍රාජකනම් සාධුවරු) මහත් පරිව්‍රාජක පිරිසක් සමඟ රජගහනුවර වසයි. මේ දෙදෙනා ඔහු ළඟ පැවිදි වෙමුයි මාණවකයන් පන්සීයක්ද, සිවිකාද, රථද හැරගෙන යමු යයි එහි ගොස් ඒ පන්සීයද සමඟ සංජය ළඟ පැවිදි වූහ. ඔවුන් පැවිදි වූදා පටන් සංජය අතිරේක ලාභ හා යසසින් අග්‍ර බවට පැමිණියේය. කෝලිත උපතිස්ස දෙදෙන කීප දිනකින්ම සංජයගේ සියලු දහම් පිරිසිඳ දැනගෙන, ආචාරීනි, ඔබ වෙතින් දතමනා දහම් මෙපමණක් ද? තවත් ඇද්දැයි විචාළහ. මෙපමණකි. ඒ සියල්ල තොප විසින් පිරිසිඳ දැනගන්නා ලදහයි කීපසු ඒ දෙදෙනා මෙසේ සිතූහ.

තත්ත්වය මෙසේ නම් මොහු ළඟ බඹසර විසීම නිරර්ථකයි. අපි යම් මෝක්ෂධර්මයක් සෙවීමට පිටත්වීමු නම් එය මොහු ළඟදී උපදවා ගැනීම දුෂ්කරයි. මේ දඹදිව ඉතා විශාලය. ගම් නියම්ගම් රාජධානිවල හැසිරී ඒකාන්ත මෝක්ෂධර්මය දෙසන ආචාර්යවරයකු ලැබිය යුතු යයි සිතා, එතැන් පටන් යම් යම් තැනක උගත් මහණ බමුණන් ඇතියි කියත්ද, ඒ ඒ තැන්වලට ගොස් ඔවුන් හා සාකච්ඡා කෙරෙති. ඔවුන් ඇසූ ප්‍රශ්නවලට සෙස්සෝ පිළිතුරු දීමට අසමත් වෙති. අන්‍යයන් ඇසූ ප්‍රශ්න මේ දෙදෙන විසඳාලුහ.

මෙසේ සියලු දඹදිව සිසාරා ඇවිද නැවතී, ස්වකීය ස්ථානවලටම පැමිණ, යහළු කෝලිතයෙනි, අප අතරින් කවුරු හෝ පළමුව අමෘතපදය (නිවීම) ලදහොත් හෙතෙම අනිත් තැනැත්තාට ඒ බව ප්‍රකාශ කළයුතු යයි කතිකා කරගත්හ. ඔවුහු මෙසේ කතිකා කරගෙන සිටින අතර, බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩමවා වේළුවන විහාරය පිළිගෙන එහි වාසය කරති.

එකල්හි මහණෙනි, බහුජනහිත පිණිස චාරිකාවේ හැසිරෙව් යයි රත්නත්‍රයෙහි ගුණ ප්‍රකාශ කරනු පිණිස පිටත්කර යැවූ සැටක් පමණ රහතුන් අතරෙහි පස්වග තවුසන් ගෙන් එක්නමක්වූ අස්සජි මහරහතුන් වහන්සේ පෙරළා රජගහ නුවරට අවුත් දෙවෙනි දිනයෙහි උදැසනම පාසිවුරු ගෙන රජගහ නුවර පිඬු සිඟා වැඩියහ. එදින උපතිස්ස පිරිවැජියාද උදෙන්ම ආහාර නිමවා පරිව්‍රාජකාරාමයට යන අතරමගදී අස්සජී තෙරුන් දැක මෙසේ සිතීය.

මෙබඳු පැවිද්දෙක් මා මීට පෙර දැක නැත. ලොව රහත් කෙනෙක් හෝ රහත්මඟට පිළිපන් කෙනෙක් හෝ වෙත් නම් මුන්වහන්සේ ඒ අයගෙන් එක් කෙනකු විය යුතුය. මේ භික්ෂුව වෙත ගොස්, ඇවැත්නී, ඔබ කවුරුන්ද, ඔබ කාගේ දහමක් පිළිගන්නෙහිදැයි ඇසුවොත් මැනවැයි සිතූ නමුදු, ඔහුට එවෙලේ මෙබඳු සිතක්ද පහළ විය.

ඇතුළු ගමට පිවිස මේ භික්ෂුව පිඬු සිඟයි. මෙය ප්‍රශ්න ඇසීමට සුදුසු වේලාවක් නොවෙයි. මා මේ භික්ෂුව පිටුපසින් යායුතුය. වැඩක් ප්‍රයෝජනයක් කැමති තැනැත්තා ඒ පිළිබඳව උචිත පිළිවෙළද දත යුතුය. ඔහු පිණ්ඩපාතය ලත්තෙරුන් වාඩිවීමට තැනක් සොයන බවදැක තමන්ගේ පරිව්‍රාජකපුටුව සූදානම් කර දුන්නේය. මෙසේ ආචාර්ය වතාවත් කොට වළඳා අන්තයෙහි තම කෙණ්ඩියෙන් පැන්ද පිළිගැන්වීය. මෙසේ ඇඳුරුවත් දක්වා වළඳා අවසන් වූ පසු තෙරුන් සමඟ මිහිරි පිළිසදර කථා කොට,

ඇවැත්නි, ඔබේ ඉඳුරන් අතිශයින් ප්‍රසන්නය. සමේ පැහැයද පැහැපත්ය. ඔබ මා ළඟ පැවිදි වූයෙහිද, ඔබේ ගුරුවරයා කවුරුන්ද, ඔබ කාගේ දහමක් ප්‍රිය කරන්නෙහිදැයි? ඇසීය. තෙරණුවෝ මෙසේ සිතූහ. මේ පිරිවැජියෝ අපේ සසුනට ප්‍රතිපක්ෂයහ. මොහුට අපේ සසුනේ ගම්භීරත්වය පෙන්විය යුතුය. මෙසේ සිතා තමන් මේ සසුනට නවකයකු බව දක්වමින් මෙසේ කීහ. ඇවැත්නි මම නවකයෙක්මි. මේ ළඟදී පැවිදි වූවෙමි. මේ ධර්මවිනයට අලූතෙන් පැමිණියෙක්මි. එහෙයින් ඔබට සවිස්තරව දහම කියා දීමට අපොහොසත් වෙමි. පරිව්‍රාජකයා මගේ නම උපතිස්ස. ඔබ හැකි තරමින් ටිකක් හෝ හුඟක් හෝ දන්නා තරමින් කියන්න. එය ක්‍රම සීයකින් - දහසකින් තේරුම් ගැනීම මට භාරයයි කියා,

මදක් හෝ බොහෝවක් වේවා

අරුත් පමණක් මට කියා දෙන්න

මට වැඩක් වන්නේ අරුතෙන් පමණි

බොහෝ අකුරුවලින් වැඩක් නැත්මය

මෙසේ කී පසු තෙරණුවෝ ‘යෙ ධම්මා හේතුප්පභවා’ ආදි ගාථාව කීහ. පරිව්‍රාජක තෙමේ පළමු දෙපදය අසා දහසක් නයින්යුතු සෝවාන් පෙලෙහි පිහිටියේය. ඉතිරි පද දෙක අසන අතරතුර සෝවාන් වී අවසන් විය. හෙතෙම සෝවාන් වී සෙසු විශේෂඥාන නොලබන කල්හි මෙහි කුමක් හෝ වෙනත් කරුණක් විය යුතු යයි තෙරණුවන් අමතා මෙසේ කීවේය.

ස්වාමීනි, මින් ඉදිරියට දහම් නොදෙසන්න, මෙපමණක්ම ප්‍රමාණය. ස්වාමීනි අපේ බුදුරජාණන්වහන්සේ වැඩ සිටින්නේ කොහිද? ඇවැත්නී වේළුවනාරාමයේය. ස්වාමීනි, එසේ නම් ඔබවහන්සේ පළමුව වඩින්න. මට තව යහළුවෙක් සිටියි. යමෙක් පළමුව නිවන දුටුවොත් ඔහු අනිකාට දැන්විය යුතුයයි අපේ කතිකාවක් ඇත. මම ඒ ප්‍රතිඥාවෙන් මිදී මගේ යහළුවාත් සමඟ ඔබ යන මගෙන්ම බුදුන් හමුවට එන්නෙමියි තෙරුන් පාමුල වැටී පසඟ පිහිටුවා වැඳ ප්‍රදක්ෂිණා කොට තෙරුන් පිටත් කර යවා පිරිවැජි අරම බලා ගියේය.

කෝලිත පිරිවැජියා, තමන් වෙත එන යහළුවා දුරසිටම දැක අද මගේ යහළුවාගේ මුහුණ වෙනත් දිනවලදී මෙන් නොවේ. ඒකාන්තයෙන්ම මොහු නිවන (නිවීම) සොයා ගන්නට ඇතියි සිතා, ඔබ නිවන් ලැබුවෙහිදැයි ඇසිය. උපතිස්සද එසේය ඇවැත්නි, ප්‍රතිඋත්තරදී යථොක්ත ගාථාවම කීවේය. ගාථා කෙළවර කෝලිතද සෝවාන් පෙලෙහි පිහිටා මෙසේ කීවේය.

යහළුව, අපේ ශාස්තෘවරයන්වහන්සේ කොහි වසනසේක්ද? ඇවැත්නී, වේළුවනාරාමයෙහි යයි අපේ ආචාර්ය අස්සජි තෙරණුවන් විසින් දන්වන ලදැයි කීවේය. යහළුවාණනි, එසේ නම් බුදුන් දැකීමට යම්හයි පිරිවැජිතෙම කීවේය. මේ සැරියුත්තෙරුන්වහන්සේ සැමදාමත් ගුරුවරුන් පුදනසේක්මය. එහෙයින් යහළුවාට මෙසේ කීහ. යහළුව අපි නිවන වෙත පැමිණියෙමු. ඒ බව අපේ ආචාර්ය සංජය පිරිවැජියාටද කියමු. අවබෝධය ඇති නිසා අප ගැන දැන ගනු ඇත. ඒ බව නොදතහොත් අපටද කියා බුදුන් හමුවට යනු ඇති. බුදුන්ගේ දේශනා අසා මාර්ගඵල ප්‍රතිවේධ කරනු ඇතියි සිතා දෙදෙනාම සංජය වෙත ගියාහුය.

සංජය ඔවුන් දෙදෙනා දැක, දරුවනි, කිම? තොපට අමාමග කියා දෙන යම්කිසි දේශකයකු ලැබුණේදැයි විචාළේය. එසේය ඇඳුරුතුමනි, ලැබුවෙමු. බුදුහු ලොව උපන්හ. දහම උපන්නේය. සංඝයා ලොව උපන්හ. ඔබ තුච්ඡ වූ මේ සසරෙහි සැරිසරන්නහුය. බුදුන් ළඟට යෑමට අප හා එනු මැනවියි කීහ. නුඹලා යන්න. මට යා නොහැකියි. ඇඳුරුතුමනි, ඒ ඇයි? මම මෙතෙක් මහජනයාට ආචාර්යව හැසුරුණෙමි. එසේ සිටි මා අතවැසි බවට පත්වීම සැළියක්ව සිට කෙණෙස්ස (දිය ගන්නා හැන්ද) වීමකි. මට යටත් වැසියකුව විසීම කළ නොහැකියි. ආවාර්යයෙනි, එසේ නොකරව්. කමක් නැහැ. දරුවනි නුඹලා යන්න. මට යෑම අමාරුයි.

ඇඳුරුතුමනි, ලොව බුදුන් උපන් කාලයේ පටන් මල් ගඳ විලවුන් අතින් ගත් මහජනයා බුදුන් හමුවට ගොස් උන්වහන්සේ පුදති. අපිත් එහිම යන්නෙමු. ඔබ කුමක් කරන්නෙහිදැයි ඇසූහ. කිමෙක්ද දරුවනි, මෙලොව වැඩියෙන් සිටින්නේ මෝඩයන්ද, නැත්නම් පණ්ඩිතයන්ද? ඇදුරුතුමනි, මෙලොව මෝඩයෝ බොහෝය. පණ්ඩිතයෝ ඉතාමත් අල්ප දෙනෙකියි කීහ. එසේනම් දරුවනි, පණ්ඩිතයෝ පණ්ඩිත වූ ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයට යෙති. මෝඩයෝ මෝඩ වූ මා ළඟට එන්නාහුය. තෙපි යවු. මම නොයන්නෙමි. ඇඳුරුතුමනි, එසේනම් මේ ක්‍රියා පිළිවෙළින් ඔබගේම තතු ප්‍රකට වනු ඇතැයි කියා නික්මී ගියහ.

ඒ දෙදෙනා යන විට සංජයගේ පිරිසද බිඳී ගියේය. ආරාමය හිස් විය. හිස් වූ ආරාමය දුටු සංජය එම ශෝකයෙන් උණුලේ වමනය කෙළේය. ඒ පිරිසෙන් දෙසිය පනසක් පමණ මේ දෙදෙනා සමඟ ගිය කල සෙසු පන්සියය සංජය සමඟ නැවතුණාහ. කෝලිත-උපතිස්ස දෙසිය පනසක් පිරිස ද කැටුව වේළුවනයට ගියාහුය.

බුදුරජාණන්වහන්සේ පිරිස මැද දහම් දෙසමින් සිටිසේක් එන්නා වූ දෙදෙන දුර සිටම දැක භික්ෂූන් අමතා, මහණෙනි, අර එන කෝලිත උපතිස්ස දෙදෙනා මගේ අග්‍ර වූ ශ්‍රාවක යුගළය වන්නේයයි වදාළහ. ඔවුහු බුදුන් වෙත එළඹ වැඳ එකත්පසෙක හිඳගත්හ. පසුව මෙසේ දන්වා සිටියහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපි ඔබවහන්සේ ළඟ පැවිදි උපසම්පදා ලබා ගැනීමට බලාපොරොත්තු වෙමු. භාග්‍යවතුන් වහන්සේ, මහණෙනි, මෙහි එන්නැයි වදාළහ. ධර්මය මැනවින් දේශනා කර තිබේ. බඹසර හැසිරෙවව්. මැනවින් දුක් කෙළවර කර ගනිව්‍යයි වදාළහ. ඒ සියලු දෙනා සෘද්ධිමය ශක්තියෙන් පාසිවුරු දරා වස්සියයක් ගිය තෙරවරුන් මෙන් වූවාහුය.

ඉන්පසු එම පිරිසෙහි සිටියවුන්ගේ චරිතානුකූලව බුදුහු දහම් දෙසූහ. අගසවුදෙනම හැර සෙස්සෝ රහත් වූහ. අගසවුවන්ගේ ඉතිරිමාර්ගත්‍රය පිළිබඳ කටයුතු නොනිමියේය. කුමක් නිසාද? ශ්‍රාවක පාරමීඥානයේ මහත් බව නිසාය. අනතුරුව ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පැවිදි වීමෙන් සත්වෙනි දවස මගධරට කල්ලවාළ නම් ගම ඇසුරෙහි වාසය කරන්නාහු කායික මානසික මැලිබවට පැමිණි විට බුදුරදුන් විසින් සංවේගයට පත් කරන ලදුව මැලිකම් හැර දමා බුදුන් විසින්ම දෙන ලද ධාතුකමටහන් වඩා ඉතිරි මාර්ගත්‍රයපිළිබඳ කටයුතු නිමවා ශ්‍රාවකපාරමීඥානය සම්පූර්ණ කළහ.

සැරියුත්තෙරණුවෝද පැවිදි වී අඩමසක් පමණ ඉක්මවා බුදුරදුන් සමඟ ඒ රජගහනුවර සමීපයෙහි සූකරඛතලෙනෙහි වාසය කරන්නාහු, තම බෑණා වූ දීඝනඛ පිරිවැජියාට වේදනාපරිග්‍රහසූත්‍රය දේශනා කරන කල්හි ඒ දේශනාවට අනුව ඥානය උපදවාගෙන අනුන්ට ගෙනා බතක් වළදන්නාක් මෙන් ශ්‍රාවක පාරමීඥානයෙහි පරතෙරට පැමිණියාහුය.

මේ තෙරණුවෝ මහාප්‍රාඥ නොවෙත්ද? නොඑසේනම් මහමුගලන් තෙරණුවන්ට වඩා පසු වී මෙතුමා ශ්‍රාවකපාරමීඥානයට පැමිණියේත් ඇයිද? පරිකර්ම මහත්වය හෙයිනි. යම්සේ දුප්පත් මිනිසෙක් යම්කිසි තැනකට යනු කැමති නම් ඔහු තමා සිටි තැනින් වහා පිටත් වී යයි. එහෙත් රජවරුන්ට එසේ නොවේ. ඔවුන්ට ඇත් ආදි වාහන පිළියෙළ කිරීමාදී බොහෝ කුදුමහත් කටයුතු දේ වෙයිද, මෙයද ඒ ලෙසින් දතයුතුය.

එදවසම බුදුහු පිරිස පිරිවරා සවස් වේලාවෙහි ශ්‍රාවක සංඝයා එක්තැන් කොට ඒ තෙරවරුන් දෙනමට අගසවු තනතුරු දී පාමොක් දෙසූහ. (ප්‍රාතිමෝක්ෂය කීම) භික්ෂුහු බුදුහු මුහුණ බලා තනතුරු දෙති, අගසවු තනතුරු දෙන විට පළමුව පැවිදි වූ පස්වග මහණුන්ට දිය යුතුය. ඔවුන් ගැන නොසලකතොත් ඊළඟට යස තෙරුන් ප්‍රමුඛ පනස්පහක් වූ භික්ෂු පිරිසට දිය යුතුය. ඔවුන් ගැනත් නොසලකතොත් හද්‍රවර්ගීයයන්ට දිය යුතුය. ඔවුනුත් සැලකිල්ලට නොගැනේ නම් උරුවේල කාශ්‍යපාදි තුන්බෑ ජටිලයන්ට දියයුතුය. මේ සියල්ලන්ම හැරදමා සියල්ලන්ටම පසුව පැවිදි වූවන්ට අගසවුතනතුරු දීම මුණ බලා කළ ක්‍රියාවකියි භික්ෂුහු දොස් නැගුහ.

බුදුහු මහණෙනි, කුමක් කියන්නහුදැයි අසා, මෙසේකථා කෙළෙමු යයි කී පසු මහණෙනි, මම මූණ බලා ආහාර හෝ තනතුරු දෙන්නෙක් නොවෙමි. මේ දෙදෙනා තමතමන් පතා ආ දෙයක්ම දුන්නෙමි. අඤ්ඤාකොණ්ඩඤ්ඤ එකම කන්නක (අස්වනු වාරයක) නව වරක් අග්‍රසශ්‍යදන් දුන්නත් අගසවු තනතුරු පතා දුන්නේ නැත. අග්‍රධර්මය වූ අර්හත්වය සියල්ලන්ට පළමුව අවබෝධ කර ගැනීම ප්‍රාර්ථනා කරමින් දුන්නේය. භාග්‍යවතුන්වහන්ස, ඒ කවදාද? එසේ නම් මහණෙනි, අසව්යයි වදාළ කල්හි ඔවුහු එසේ යයි පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ අතීතය ගෙනහැර පාමින් මෙසේ වදාළහ.

මහණෙනි, මීට කල්ප එක් අනුවකට පෙර විපස්සි බුදුහු ලොව පහළ වූහ. එකල මහාකාළ-චූළකාළ යයි කෙළෙඹි සොහොයුරෝ දෙදෙනෙක් විශාල ඇල්කෙතක් වැපුරූහ. පසුව එක් දිනක චූළකාළ හාල් (වී) කෙතට ගොස් එක් හැල් කරල්ගැබක් පලා කෑවේය. එය ඉතා මිහිරි විය. හෙතෙම බුදුන් ප්‍රමුඛ මහසඟනට හැල්ගැබ් (බණ්ඩි) දානයක් දෙනු කැමැත්තෙන් දෙටු සොහොයුරා ළඟට ගොස් සොහොයුරාණනි, හැල් බණ්ඩි පලා බුදුන්ට උචිත සේ පිස දානයක් දෙමුදැයි විචාළේය. දරුව, කුමක් කියන්නෙහිද? හැල්බණ්ඩි කරල් පලා දන් දීමක් අතීතයේ කිසි විටක නොවීය. අනාගතයේදීත් එබන්දක් වීමට නුපුළුවන. නිකම් අස්වනු විනාශ නොකරන්නැයි කියද්දීත් හෙතෙම නැවත නැවතත් ඇවිටිලි කළේය.

ඉත්පසු ඔවුන් දෙදෙනාගේ හැක්කෙත දෙකට බෙදා මගේ කොටසට අත නොතබා ඔබේ කොටසට කැමැත්තක් කරගන්නැයි කීවේය. හෙතෙම මැනවැයි කෙත බෙදා බොහෝ මිනිසුන් වැඩෙහි යොදවා හැල්ගැබ් පලා දිය නුමුසු කිරිවලින් පිසවා ගිතෙල් මීපැණි හකුරු ආදියද දමා බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට දන්දී බත්කිස කෙළවර ස්වාමීනි, මේ මගේ අග්‍රදානය සියල්ලන්ට ප්‍රථමව අග්‍රධර්මය අවබෝධය පිණිසම වේවායි ප්‍රාර්ථනා කෙළේය. බුදුරජාණන් වහන්සේ එය එසේම වේවායි අනුමෝදනා කළසේක.

හෙතෙම පසුව ඇල්කෙතට ගොස් බලන විට මුළු කෙතම ඇල්කරල් මිටි බැන්දාක් මෙන් ඇල්කරලින් ගැවසී ගෙන තිබෙනු දැක පස්වනක් ප්‍රීතිය ලැබ මට වූයේ මහා ලාභයකියි සිතා, නොමේරූ කාලයෙහි පුථුකග්ග (හබලපෙති) නම් දානයක්ද, ගොයම් කපන කාලයෙහි දායග්ග නම් දානයක්ද, ගොයම් කපා උප්පිඩි (කුඩා මිටි) කරන කාලයෙහි වෙණග්ග නම් දානයක්ද, මහපිඩි (ලොකුමිටි) කරන කාලයෙහි කලාපග්ග නම් දානයක්ද, කමතට අදින කාලයෙහි කළග්ග නම් දානයක්ද, ගොයම් පාගන කාලයෙහි ඛළහණ්ඩග්ග නම් දානයක්ද, වී අටුවේ තැන්පත් කරන වේලෙහි කොට්ඨග්ග නම් දානයක් දැයි මෙසේඑක් සශ්‍ය වාරයක (කන්නකදී) දීනවවරක් අග්‍රදාන දුන්නේය. ඒ හැම වරකදීම ගත් ගත් තැන් කරලින් වීවලින් පිරී ගියේය. අස්වනු අතිරේක වශයෙනුදු වැඩී ගියේය. මේ ධර්මය නම් රැකි පමණින් තමන්ද රැකෙනසුලු වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විසිනුදු මෙසේ වදාළ සේක.

දැහැමි ලෙස හැසිරෙන අය දහමෙන් ම සුරැකෙති

දහම පුහුණු කළ විට සුබ සැපතක්ම ගෙන දේ

දහම පුහුණු කළ විට මේ අනුසස් ම ගෙන දේ

කිසි දා කිසි ම විට ඔහු දුගතියක නොවැටෙයි.

මෙසේ මොහු විපස්සි බුදුන් සමයෙහි අග්‍රධර්මය පළමුවෙන් අවබෝධ කිරීමට ප්‍රාර්ථනා කරමින් නව වරක් අග්‍රදන් දුන්නේය. මින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුන් කාලයෙහිද සත්දිනක් මහදන්දී ඒ බුදුන්ගේ පාමුල වැඳ වැටී අග්‍රධර්මය පළමුව අවබෝධ කර ගැනීමට ප්‍රාර්ථනා තැබීය. මෙසේ ඔහු විසින් පතාගෙන ආ දෙය මම දුනිමි. මම මූණ බලා යමක් දෙන්නෙම් නොවෙමි.

ස්වාමීනි, යසකුල පුතුන් ප්‍රමුඛ පස්පනස්දෙනා කවරකර්මයක් කරන ලද්දාහුද? මොවුහුද එක් බුදුවරයන්වහන්සේ නමක් හමුවෙහි රහත් බව පතා බොහෝ පින්කම් කොට මෑත භාගයෙහි බුදුන් පහළ නොවූ කාලයක යහළුවන්ව (වර්ග වශයෙන්) කොටස් වශයෙන් බෙදී පින්කම් කරමින්, අනාථවූද, මැරුණාවූද අයගේ සිරුරු පිළිබඳව පිළිදැගුම් කරමින් හැසුරුණාහ. ඔවුහු එක් දිනක් දරු ගැබක් සහිතව මැරුණු ස්ත්‍රියකගේ සිරුරක් දැක, මෙය දවන්නෙමු යයි සොහොනට ගෙනගියාහුය. එයින් පස්දෙනෙක් සොහොනෙහි නවත්වා තෙපි මෙය දවාලනු යයි කියා සෙස්සෝ ගමට ගියාහුය.

යසකුල පුත්‍රයා ඒ සිරුර උළෙන් ඇන විදිමින් පෙරළා පෙරළා දවන විට අශුභසංඥාව ලැබුවේය. අනික් සතරදෙනාටද පින්වතුනි, මේ සිරුර තැනින් තැන ගැළවීගිය සම නිසා පුල්ලි වැටුණු ගවරූපයක් බඳු විය. අශූචියෙන් පිරී දුර්ගන්ධය පිළිකුල්දැයි බලව් යයි කීය. ඔවුහුද ඒ නිමිති කොට අශුභසංඥාව ලැබූහ. ඒ පස්දෙනාම ගමට ගොස් මේ පුවත සෙසු යහළුවන්ටද කීහ. යස නම් දරුවා ගෙදර ගොස් මවුපියන් හා බිරියටද කථා කොට මෙසේ කීවේය. ඒ සියලු දෙනාමත් අශුභ භාවනාව වැඩූහ. මේ ඔවුන්ගේ පූර්ව කර්මයයි. එහෙයින්ම යස කුල පුතුට වනිතා නිවාසය තුළම සුසානසංඥාවද පහළ විණි. ඒ විශේෂ උපනිශ්‍රය සම්පත්තියෙන් සියල්ලන්ටම විශේෂ අධිගමයන්ද උපනි. මෙසේ මොවුහුද තමතමන් පතා ආ දෙයක්ම ලැබූහ. මම ඔවුන්ට මුණ බලා තනතුරු නොදුන්නෙමි.

ස්වාමීනි, භද්‍රවර්ගීය යහළුවෝ කුමක් කළාහුද? මොවුහු ද පෙර බුදුවරයන් සමීපයෙහි රහත්බව පතා පින්කම් කොට මෑත කාලයෙහි බුදුවරයකු පහළ නොවූ සමයෙක ධූර්තයන් තිහක්ව සිට තුණ්ඩිලෝවාද අසා වර්ෂසැටදහසක් පන්සිල් රැක්කාහුය. මෙසේ මොවුහුද තමන් පැතුවක්ම ලද්දාහුය. මම ඔවුන්ටද මුණ බලා තනතුරු නුදුන්නෙමි.

ස්වාමීනි, උරුවේල කාශ්‍යපාදීහු කුමක් කළාහුද? ඔවුහුද රහත්බවම පතා නොයෙක් පින් කළහ. මෙයින් කල්ප අනූදෙකකට පෙර තිස්ස නම් වූද, ඵුස්ස නම්වූ ද බුදුවරු දෙනමක් ලොව පහළ වූහ. මහින්ද නම් රජු ඵුස්ස බුදුන්ගේ පියා විය. උන්වහන්සේ බුදුවූ පසු රජුගේ බාලපුතා අග්‍රශ්‍රාවක විය. පුරෝහින පුතා දෙවෙනි ශ්‍රාවක විය. මෙසේ ඒ අය දෙස බලා බුදුනුත් මගේමය, දහමත් මගේමය, සංඝයාත් මගේමය. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා (නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස) යි තෙවරක් උදන් අනා (ප්‍රීති වාක්‍ය කියා) බුදුන් පාමුල වැඳ වැටී, ස්වාමීනි, දැන් මට අවුරුදු අනූදහසක් ගෙවී ඇත. දැන් වැදහෙවී නිදා සිටින තත්ත්වයට පැමිණ සිටිමි. මින්පසු වෙනත් කෙනකුගේ ගෙදරකට නොගොස් මා ජීවත් වන තුරුම, මගේම සිවුපසය ඉවසා වදාළ මැනවයි ප්‍රතිඥා ලබාගෙන නිරන්තරව බුධෝපස්ථාන කරයි.

ඒ රජුට තවත් පුතුන් සිවුදෙනෙක් සිටියහ. එයින් දෙටු පුතාට පිරිවර යෝධයන් පන්සීයකි. මද්දුම පුතාට තුන්සීයකි. බාලපුතාට දෙසීයකි. ඔවුහු අපිත් අපේ සහෝදරයාට ආරාධනා කොට වළදවන්නෙමු යයි සිතා ඒ සඳහා පියාගෙන් අවසර ඉල්ලා සිටියහ. නැවත නැවතත් ඉල්වු නමුත් අවසර නොලැබිණි. මේ අතර ප්‍රත්‍යන්තවල යම් යම් කලබල හටගත් නිසා ඒවා මැඩ පවත්වනු සඳහා පුත්‍රයන් එහි යැවීය. ඔවුහු ගොස් කලබල මැඩ පවත්වා ආපසු පැමිණි කල්හි පියරජු ඔවුන් හිස සිඹ වැළඳගෙන දරුවනි, මම නුඹලාට වරයක් දෙනු කැමැත්තෙමියි කීය. දරුවෝ ඒ වරය අපි පසුව ගන්නෙමුයයි නැවත කීප දිනකින් දරුවනි වරය ගනුවයි දැන්වූ කල දේවයිනි, අපට අන් කිසිවකින් පලක් නැත. මෙතැන් පටන් අපි අපේ සොහොයුරා වළඳවා පෝෂණය කරන්නෙමු, අපට මේ වරය දෙනු මැනවැයි ඉල්ලා සිටියහ.

දරුවනි, එය නම් දිය නොහැකියි. සදහටම නොවේ නම් සත් අවුරුද්දකට දෙනු මැනවි පියාණනි, දරුවනි එය දිය නොහැකියි. එසේ නම් අවුරුදු හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එකක්, හත්මාසයක්, සමසක්, පහක්, හතරක්, තෙමසක්වත් දෙන්නැයි ඉල්වා සිටියහ. රජු එය ද ප්‍රතික්ෂේප කෙළේය. දරුවෝ එසේ නම් පියාණනි, අප එකිනෙකාට මාසය බැගින් තෙමසක් දෙන්නැයි ඉල්ලූහ. රජු යහපත දරුවනි, එසේ නම්, තෙමසක් දන්දෙවුයයි තෙමසකට අවසර දුන්නේය.

ඒ තිදෙනාට එකම ගබඩාකරුවෙක්ද, එකම අයවැය නියෝජිතයෙක් ද විය. දොළොස් නහුතයක් පුරුෂයෝ පිරිවර වූහ. ඔවුහු ඒ පිරිවර කැඳවා අපි මේ තුන්මස දසසිල් සමාදන්ව හඳනා පොරවනා හැඳ පෙරව බුදුන් සමඟ වසන්නෙමු, තෙපි මෙපමණ දන්වැට සාදා දිනපතා අනූදහසක් භික්ෂූන්ටද, අපගේ යෝධයන් දහසටද කෑම බීම පිළියෙළ කරව්. අපි මෙතැන් පටන් කිසිවක් නොකියන්නෙමුයයි කීහ. ඒ තිදෙන පිරිවර දහසක් සමඟ දසසිල් සමාදන්ව කහවත් හැඳ පෙරවාගෙන විහාරයෙහිම විසුහ.

ගබඩාකරු හා ආයුත්තක දෙදෙනා එක්ව සහෝදරයන් තිදෙනාගේ ගබඩාවලින් වාරයෙන් වාරය දන්වැට - දන් වියදම් ගෙන දන් දෙති. කම්කරුවන්ගේ පුත්තු ආහාරපාන - කැඳබත් දැක හඬති. කම්කරුවෝ භික්ෂූන් පැමිණෙන්නටත් කලින් දුපුතුන්ට කැඳබත් ආදිය දෙති. භික්ෂුන් දන් වැළඳූ කල්හි කිසිවක් ඉතිරි නොවීය. පසුව කම්කරුවෝ පොඩි දරුවන්ට දෙන නියායෙන් තමනුත් ගෙන කෑහ. ඔවුන්ට මිහිරි ආහාර දැක, ඒ සුවඳ ඉවසා සිටින්ට නොහැකි විය. ඔවුහුද අසූහාරදාහක් පමණ පිරිසක් වූහ.

ඔවුහු සංඝයාට දෙන දන්වැට තමන් කාදමා මරණින් පසු ප්‍රේත ආත්මයන්හි උපන්හ. ඒ සොහොයුරෝ පිරිවර දහසක් සමඟ කළුරිය කොට දෙව්ලොව ඉපැද දෙව්ලොවින් දෙව්ලොවට සැරිසරන්නාහු කල්ප අනූදෙකක් කල් ගෙවූහ. මෙසේ ඒ සහෝදරයෝ රහත් බව පතා එකල්හි යහපත් වැඩම කළහ. එහෙයින් තමන් පැතූවක්ම ලදහ. මම ඔවුන්ගේ මුණු බලා තනතුරු නුදුන්නෙමි. එකල ඔවුන්ගේ ආයුත්තක නම් බිම්බිසාරය. ගබඩාකරු නම් විශාඛඋපාසක තෙමේය. රාජකුමාරවරු තිදෙනා නම් තුන්බෑ ජටිලයෝය.

ඔවුන්ගේ කම්කරුවෝ එකල්හි ප්‍රේත ලෝකයෙහි ඉපදී සුගති දුර්ගති වශයෙන් සැරිසරමින් අවුත් මේ කල්පයෙහි බුද්ධාන්තර සතරක් සේආත්මභාවවලම උපන්හ. ඔවුහු මෙකප සියල්ලන්ටම ප්‍රථම උපන් සතළිස් දහසක් ආයුෂ ඇති කකුසන්ධ නම් බුදුන් හමුවට පැමිණ අපට ආහාරයක් ලැබෙන කාලය කියන්නැයි ඉල්ලා සිටියහ. ඒ බුදුරජාණන්වහසේත් මාගේ බුද්ධකාලයේදී නම් නොලැබෙයි. මගෙන් පසු මහ පොළොව යොදුනක් පමණ වැඩී ගිය පසු කෝණාගමන නම් බුදුවරයෙක් ලොව පහළ වන්නේය. උන්වහන්සේගෙන් අසා බලව් යයි වදාළහ.

ඔවුහු එතෙක් කලක් ගෙවා කෝණාගමන බුදුන් උපන් කල්හි ඒ බුදුරදුන්ගෙන් ඇසූහ. උන්වහන්සේත් මාගේ කාලයේදී නම් නොලැබෙයි. මගෙන් පසු මහා පෘථුවිය යොදුනක් පමණ වැඩී ගිය කල කාශ්‍යප නම් බුදුන් ලොව පහළ වෙයි. උන්වහන්සේගෙන් අසා බලව්යයි වදාළහ. ඒ කාලය ගෙවා කාශ්‍යප බුදුන් පහළ වූ කල උන්වහන්සේගෙන් ඇසූහ. මාගේ කාලයේදී නම් නොලැබෙයි. මගෙන් පසු මහා පෘථුවිය යොදුනක් පමණ වැඩී ගිය කල ගෞතම නම් බුදුහු ලොව පහළ වෙති. එකල තොපට වූ බිම්බිසාර නම් රජෙක් රජ වෙයි. හෙතෙම බුදුන්ට දන්දී තොපට පින් පමුණුවන්නේය. එදාට තෙපි ආහාර ලබන්නහුයයි ප්‍රකාශ කළහ.

ඔවුනට එක් බුද්ධාන්තරයක් හෙට දවස මෙන් විය. තථාගතයන් වහන්සේ පහළ වූ කල්හි බිම්බිසාර රජු ඒ බුදුන්ට දන් පිළිගැන්වීය. එහෙත් මළප්‍රේතයන්ට පින් දුන්නේ නැත. ඔවුහු පින් නොලැබ රාත්‍රි භාගයෙහි භයානක ශබ්ද කොට රජුට තමන් ප්‍රදර්ශනය කළාහුය. දෙවෙනි දින රජු වේළුවනයට අවුත් තථාගතයන්වහන්සේට ඒ පුවත දන්වා සිටියේය. ශාස්තෘන්වහන්සේ, මෙයට දෙයානු කල්පයකට පෙර ථුස්ස නම් බුදුන් කල මොවුහු ඔබේ නෑයෝ වූහ. භික්ෂු සංඝයාට දුන් දන්වැට කා ප්‍රේත ලෝකයෙහි ඉපැද සැරිසරමින් කකුසන්ධාදි බුදුවරුන්ගෙන් අසමින්, උන්වහන්සේලා මෙසේ මෙසේ කීහයි කී කල මෙතෙක් කල් ඔබේ දන්දීමත් පිදීමත් බලාපොරොත්තු වූහ. ඊයේ ඔබ දන්දුන් නමුත් ඔවුන්ට පින් නොදුන් හෙයින් මෙසේබිහිසුණු ශබ්ද කළාහුයයි වදාළහ. ස්වාමීනි, කිම දැන් දන් දුන්නොත් ඔවුහු පින් ලබන්නාහුද, මහ රජ එසේය. රජු බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට ආරාධනා කොට දෙවෙනි දිනයේ මහදන් පවත්වා භාග්‍යවතුන්වහන්ස, මේ පින් බලයෙන් ඒ ප්‍රේතයන්ට දිව්‍යමයවූ ආහාර පාන ලැබේවා යි පින්දී ප්‍රාර්ථනා කෙළේය. ඔවුන්ට ඒ පැතූ ලෙසම සැප සම්පත් ලැබිණි.

දෙවෙනි දින ඔවුහු නග්නව රජු ඉදිරියේ පෙනී සිටියාහුය. රජු, ස්වාමීනි, අද ඔවුහු නග්නව පෙනී සිටියාහුය. ඒ ඇයිදැයි විචාළේය. බුදුහු ඔබ වස්ත්‍ර දන්දුන්නෙහිදයි ඇසූහ. දෙවෙනි දින බුදුන් ප්‍රමුඛ සංඝයාට සිවුරු පූජා කොට මේ පිනෙන් ඔවුන්ට දිව්‍යමය වස්ත්‍ර ලැබේවායි පින් දුන්නේය. එකෙණෙහිම ඔවුන්ට දිව්‍යමය වස්ත්‍ර පහළ විය. ප්‍රේතාත්මභාවයන් හැර දමා දිව්‍යාත්මභාව ලැබුවාහුය. ශාස්තෘන්වහන්සේ තිරොකුඩ්ඩෙසු තිට්ඨන්ති ආදි වශයෙන් තිරොකුඩ්ඩ සූත්‍රයෙන් අනුමෝදනා කළසේක. අනුමෝදනාවසානයෙහි අසූහාරදහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය විය. මෙසේ ශාස්තෘන්වහන්සේ තේභාතික ජටිලයන්ගේ කථාවස්තුව වදාරා මේ ධර්මදේශනාවද ගෙනහැර දැක්වූ සේක.

ස්වාමීනි, අගසවු දෙනම කිනම් පිනක් කළාහු ද? මීට කල්ප ලක්ෂයකටත් අසංඛ්‍ය කල්ප ගණනකටත් පෙර ශාරිපුත්‍ර තෙම, බමුණු මහසල් කුලයක උපන්නේය. සරදමානව නම් විය. මොග්ගල්ලාන තෙම, ගෘහපති මහසල් කුලයක ඉපිද සිරිවඩ්ඪනකුටුම්බික නමින් පතළ විය. ඒ දෙදෙන වැලිකෙළියෙහි පටන් යහළුවෝ වූහ. ඔවුන් අතර සරද මාණවක සිය පියාගේ ඇවෑමෙන් කුලසන්තක මහධනයට හිමිකරු වී සිටින අතර දිනක් හුදෙකලාව මෙසේ සිතීය. මම මෙලොව මේ ආත්මභාවය ගැන පමණක් දනිමි. පරලොව ගැන කිසිවක් නොදනිමි. උපන් සත්වයන්ට මරණය ඒකාන්තයි. එක් පැවිද්දකින් පැවිදි වී මෝක්ෂධර්මය සොයා යායුතුය. මෙසේ සිතු ඔහු තම යහළුවා වෙත ගොස් මෙසේ කීවේය. ප්‍රිය මිතුරු සිරිවඩ්ඪන, මම පැවිදි වී මොක්ෂ ධර්මය සොයන්නෙමි. ඔබටත් මා සමඟ පැවිදි විය හැකිද? නොහැකිද? සිරිවඩ්ඪන මෙසේ කීවේය. මිත්‍රය, මට පැවිදිවන්ට බැහැ. ඔබ පැවිදිවන්න. සරද මෙසේ සිතීය. පරලොව යන කල යහළුවන් හෝ නෑ මිතුරන් හෝ කැටුව ගිය කෙනෙක් නැත. තමන් කළ දේ පමණක් තමන් කැටුව යයි. පිහිටවෙයි.

ඉක්බිති ඔහු රුවන් කොටුගුළු විවෘත කරවා, කපණද්ධික වණිබිබ්බක යාචකාදීන්ට මහදන්දී පර්වතප්‍රාන්තයකට ගොස් සෘෂිවර පැවිද්දෙන් පැවිදි විය. ඔහු ළඟ එකෙක් දෙන්නෙක් තිදෙනෙක් ආදී වශයෙන් අනුක්‍රමයෙන් පැවිදි වූ තිස්හතර දහසක් පමණ ජටිලයෝ වූහ. හෙතෙම පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගෙන සෙසු ජටිලයන්ටත් කිසුණු පිරියම් (කසිණ භාවනාක්‍රම) කියා දුන්නේය. සෙසු සියල්ලෝද පංචාභිඥා අෂ්ටසමාපත්තිලාභී වූහ.

එකල්හි අනෝමදස්සි නම් බුදුහු ලොව පහළ වූහ. ඒ නගරය බන්ධුමතී නමි. පියා යසවන්ත නම් ක්ෂත්‍රියයෙකි. මව යසෝදරා නම් දේවීය. කරඳ ගසක් බෝධිය විය. නිසභ අනෝම යන දෙනම අගසවුවෝ වූහ. වරුණ නම් උපස්ථායකයෙක් විය. සුන්දරා සුමනා යන දෙදෙන අග්‍රශ්‍රාවිකාවෝ වූහ. ආයු කාලය වර්ෂ ලක්ෂයකි. බුදු සිරුර අටපනස් රියනක් උස් විය. දොළොස් යොදුනක් ශරීරාලෝකය පැතිරිණි. භික්ෂූන් ලක්ෂයක් පිරිවර විය.

ඒ අනෝමදස්සි බුදුරජාණන්වහන්සේ එක් දිනක් උදෑසන මහාකරුණා සමාපත්තියෙන් නැගිට ලොව බලන විට සරද තවුසා දැක අද මා සරද තවුසා වෙත යෑමෙන් දහම් දෙසීමෙන් මහත් යහපතක් වෙයි. ඔහු අගසවු තනතුරුද පතන්නේය. ඔහුගේ යහළු සිරිවඩ්ඪන සිටුකෙළෙඹියාත් දෙවෙනි ශ්‍රාවක භාවයද පතන්නේය.දේශනාවගේ කෙළවර හැත්තෑහතරදහසක් පමණ වූ ඔහුගේ පිරිවර ජටිලයෝ රහත් වන්නාහුය. එහෙයින් මා එහියායුතුම යයි තමන්වහන්සේගේ පාසිවුරු රැගෙන වෙනත් කිසිවෙකුට කථා නොකර එකලාව හැසිරෙන සිංහරාජයකු මෙන් සරද තවුසාගේ අතවැස්සන් ඵලාඵල නෙලීමට ගිය අතරතුරේ මගේ බුදු බව ඔහුට දැනේවායි අදිටන් කොට සරද තවුසා බලා සිටිද්දීම අහසින් බැස පොළොවෙහි වැඩ සිටියාහුය.

තම සරද තාපස තෙමේ උන්වහන්සේගේ බුද්ධානුභාවයත්, සිරුරේ පිහිටීමත් දැක ලක්ෂණ මන්ත්‍ර සිහිකොට මෙබදු ලකුණුවලින් යුත් තැනැත්තෙක් නම් ගිහිගෙයි සිටියොත් සක්විතිරජ වෙයි. පැවිදි වුවහොත් ලොව සියලු කෙලෙසුන් නැසූ සර්වඥකෙනෙක් වෙයි. මේ මහා පුරුෂයා නිසැකවම බුදු කෙනෙකුන් වියයුතුයයි දැන පෙරගමන් කොට පසඟ පිහිටුවා වැඳ අසුන් පනවා පිළිගැන්වීය. බුදුහු පැනවූ අසුනෙහි වැඩහුනන්හ. සරද තවුස්තෙමේද තමන්ට ගැළපෙන අසුනක එකත්පසෙක හිඳගත්තේන්ය. ඒ වේලාවේ හැත්තෑහතර දහසක් පමණ වූ ජටිලයෝ ප්‍රණීතවූ ඕජායසම්පන්න වූ ඵලාඵල රැගෙන ගුරුවරයා ළඟට පැමිණ බුදුනුත් ඇදුරුතුමාත් වැඩහුන් අසුන් දෙස බලා මෙසේ කීවාහුය.

ඇඳුරුතුමනි, අපි මෙලොව ඔබට වඩා උසස් කෙනෙක් නැතැයි කියමින් සිටියෙමු. මේ සිටින පුරුෂයා ඔබට වඩා උසස් කෙනෙකියි දැන් සිතන්නෙමු. දරුවනි, කුමක් කියව්ද? අබඇටයක් සමඟ යොදුන් අටසැටලක්ෂයක් උස මහමෙරට මා උපමා කරන්නහුද? දරුවනි, සර්වඥ වූ බුදුන් සමඟ මා සම නොකරව්.

ඉක්බිති ඒ තවුසෝ, ඉදින් මේ මහා පුරුෂයා උත්තරීතර පුද්ගලයකු නොවන්නේ නම් අපේ ඇඳුරුතුමා මෙබඳු උපමාවක් නොකරන්නේය. ඒකාන්තයෙන්ම මේ මහාපුරුෂයකුම වියයුතුයයි සියල්ලෝම බුදුන් පාමුල වැටී ශීර්ෂප්‍රණාමයෙන් වැන්දාහ. ඉන්පසු ආචාර්යවරයා ඔවුන් අමතා, දරුවනි. අපේ බුදුන්ට දියයුතු සුදුසු යමක් අප සතුව නැත. ශාස්තෘන්වහන්සේත් පිඬු සිඟාවඩින වේලාවෙහි මෙහි වැඩමවූහ. අපට පුළුවන් පමණින් දානය දෙමු. නුඹලා ළඟ ඇති ප්‍රණීත ඵලාඵල ගෙනඑව් යයි කියා ඒවා ගෙන්වාගෙන අත් සෝදා තමන්ම බුදුන්ගේ පාත්‍රයෙහි ඵලාඵල තැබුවේය. බුදුන් ඵලාඵල පිළිගත් වහාම දෙවියෝ එහි දිව්‍යඕජස් බහාලූහ. ඒ තවුස්තෙම තමන්ම ජලයද පෙරා පිළිගැන්වීය. අහරකිස නිමවූ පසු ඔහු සියලු අතවැස්සන් කැඳවා ශාස්තෘන්වහන්සේ ළඟ සතුටු සාමීචිකථා කරමින් හුන්නේය.

අගසවු දෙනමට භික්ෂු සංඝයා සමඟ මෙහි පැමිණෙත්වායි බුදුරජාණන් වහන්සේ අදිටන් කළසේක. අගසවු දෙනම බුදුරදුන්ගේ සිත්හසර දැන ලක්ෂයක් භික්ෂූන්ද සමඟ එහි වැඩමවා බුදුන් වැඳ එකත්පසෙක සිටියාහුය. ඉක්බිති සරද තාපස තෙමේ අන්තේවාසික සාධුවරුන් ඇමතීය. දරුවනි, බුදුන්ට වැඩ සිටීමට ඇති අසුන මිටිය. ශ්‍රමණයන් ලක්ෂයකට පමණ ආසන නැත. ඔබ හැම අද උදාර බුද්ධසත්කාරයක් කළාහුය.

පර්වතප්‍රාන්තයෙන් වර්ණ ගන්ධ සම්පන්න මල් රැස්කරව්. මෙය කීමට ගත වූ කාලය වැඩිය. ඊටත් කලින් මල් රැස්විය. සෘද්ධිමතුන්ගේ සෘද්ධි විෂය අචින්ත්‍යයි. සිතිය නොහැකියි. නිමේෂයකින් ඒ තාපසවරු වර්ණ ගන්ධ සම්පන්න මල් රැගෙනවුත් යොදුනක් පමණ උස මල් අසුනක් පැනවූහ.

අගසවු දෙනමට තුන්ගවූ පමණ අසුන්ය. සෙසු භික්ෂූන්ට අඩ යොදුන් ප්‍රමාණාදි භේද ඇති අසුන්ය. නවක භික්ෂූන්ට එක්සිය සතළිස් රියන් උස අසුන්ය. එක් ආශ්‍රමයක මෙපමණ මහත් අසුන් කෙසේ නම් පැනවිය හැකිදැයි නොසිතිය යුතුය. මෙය එහෙම පිටින්ම ඍද්ධිවිෂයක ක්‍රියාවකි. මෙසේ අසුන් පනවා අවසනැ සරද තාපසතෙම තථාගතයන්වහන්සේ ඉදිරියෙහි දෙඅත් ඇඳිලි බැඳ සිට, ස්වාමීනි, මට බොහෝ කලක් හිතසුව පිණිස මේ මල්ආසනයෙහි වැඩහිදිනු මැනවැයි කීවේය.

නොයෙක් මල් සුවඳ ද එකම තැනකට රැස් කොට

මහ මලසුනක් පනවා පැවසී මෙබඳු වදනක්

බුදුහිමි සදිනි මෙහි මවිසින් ඔබට ගැළපෙන

මලින් පැන වූ මෙඅසුන් මත හිදිනු මැන සිත් පොබයා

රෑ දහවල් සතක් බුදුහු එහි වැඩ සිටියහ

මගේ හා දෙව්මිනිසුන් සිත්සතන් සැම පුබුදු කරමින්.

මෙසේ බුදුරදුන් ඒ ආසනයෙහි වැඩහුන් කල්හි අගසවු දෙනමත් සෙසු භික්ෂුන්වහන්සේත් තම තමන්ට හිමි අසුන්වල වැඩහුන්හ. සරද තාපසතෙම මහත්වූ මල්කුඩයක් ගෙන, තථාගතයන් වහන්සේන්ගේ හිසට උඩින් අල්වාගෙන සිටියේය. ශාස්තෘන්වහන්සේ ජටිලයන්ගේ මේ මහත්වූ සත්කාරය මහත්ඵල වේවායි නිරෝධ සමාපත්තියට සමවැදුණුසේක. බුදුන් සමවතට සමවැදුණු බව දුටු අගසවු දෙනමක් සෙසු භික්ෂූන් වහන්සේලාත් සමවතට සමවැදුණාහ. තථාගතයන්වහන්සේ සත්දිනක් නිරොධ සමාපත්තියට සමවැදී සිටි අතර අතවැස්සෝ පිඬු පිණිස හැසිරෙන වේලාවෙහි වනමුල් ඵලාඵල අනුභව කරවා ඉතිරි කාලය තුළ බුදුරදුන්ට ඇඳිලි බැඳ වැඳගෙන සිටිති. සරද තාපසතෙම භික්ෂාචාරයටත් නොගොස් මල්කූඩය ඔසවාගෙනම සත්දිනක් ප්‍රීති සුවයෙන්ම කාලය ගෙවීය. ශාස්තෘන්වහන්සේ නිරෝධයෙන් නැගිට දකුණු පසින් සිටි අගසවු නිසභ තෙරුන් අමතා, නිසභ, සත්කාර කරන්නාවූ තාපසයන්ට මලසුන් පිදීමේ අනුසස් කියා දෙන්නැයි වදාළහ. තෙරුන්වහන්සේ සක්විති රජකුගෙන් මහාලාභයක් ලත් මහා යෝධයකු මෙන් සතුටු සිතින් පාරමීඥානයෙහි සිට පුෂ්පාසනානුමෝදනාව පටන්ගන්හ. තෙරුන්ගේ දේශනාවසානයෙහි තථාගතයන් වහන්සේ ද්විතීය ශ්‍රාවකයන්වහන්සේ අමතා, ඔබත් අනුමෝදනාවක් කරන්නැයි වදාළහ. අනෝම ස්ථවිරයන් වහන්සේ ත්‍රිපිටකබුද්ධධර්මය මෙනෙහි කරමින් දහම් දෙසූසේක. ශ්‍රාවක දෙනමගේම ධර්මදේශනාවලින් එහි සිටි එක් කෙනෙකුටවත් ධර්මාවබෝධයක් නොලැබිණි.

ඉන්පසු ශාස්තෘන්වහන්සේ අප්‍රමාණ වූ බුද්ධවිෂයෙහි පිහිටා ධර්මදේශනාව පටන්ගත්සේක. දේශනා කෙළවර සරද තාපසයන් හැර හතළිස්හත්දහසක් පමණ වූ සෙසු ජටිලයෝ රහත්බවට පත්වූහ. ශාස්තෘන්වහන්සේ ඔවුන්ට, මහණෙනි, මෙහි එව්යයි අත දිගු කළසේක. එකෙණෙහිම ඔවුන්ගේ කෙස් රැවුල් අතුරුදහන් විය. සිරුරු අටපිරිකරින් සැදුම්ලද්දේය. සරද තවුසා අර්හත්භාවයට පත්නොවූයේ කුමක් නිසාද? විපිළිසර සිතක් ඇතිවූ හෙයිනි. ඔහු බුදුන් ළඟ දෙවෙනි අසුනේ හිඳශ්‍රාවකපාරමීඥානයෙහි පිහිටා දහම් දෙසන අග්‍රශ්‍රාවකයන්ගේ ධර්මදේශනාව අසන්නට පටන්ගත් කල්හි මේ ශ්‍රාවකයන් ලැබූ ධුරය ලබාගතහොත් මැනවි යන සිතක් පහළවිය. හෙතෙම ඒ කල්පනාවෙන් යුක්තව බණ ඇසූනිසා මාර්ගඵලාවබෝධයක් ලබාගත නොහැකි විය. ඔහු බුදුන් වැඳ ඉදිරියෙහි සිට, ස්වාමීනි, ඔබවහන්සේ ළඟමවූ ආසනයේ සිටි භික්ෂුව ඔබ සසුනේ කවර තනතුරක් දරන්නෙහිදැයි ඇසීය.

මවිසින් පවත්වනු ලබන ධර්මචක්‍රය නැවත පවත්වන්නාවූ හෙතෙමේද ශ්‍රාවකපාරමීඥානයෙහි කෙළවරට පැමිණ සොළොස්ඥානය පිරිසිඳ දැනසිටින මගේ සසුනෙහි අග්‍රශ්‍රාවක නම් වේයයි වදාළහ. ස්වාමීනි, මම සතියක් මල්කුඩයක් දරමින් බුදුන්ට උපහාර පුජා කෙළෙමි. එසේ කළ මම මේ පුණ්‍ය ඵලයෙන් ශ්‍රාවක භාවයක් හෝ බ්‍රහ්මභාවයක් හෝ නොපතමි. අනාගතයේදී මේ නිසභ තෙරුන්මෙන් එක් බුදුවරයන්වහන්සේ නමකගේ අගසවු වෙම්වායි පතන්නෙමියි කීය. ශාස්තෘන්වහන්සේ මේ පුරුෂයාගේ ප්‍රාර්ථනාව ඉටු වන්නේදැයි අනාගතඥානය විහිදුවා බලා වදාරන සේක්, මෙයින් වර්ෂ ඒකාසංඛ්‍යාකල්ප ලක්ෂයක් ගියතැන මෙම ප්‍රාර්ථනාව ඉටුවන බව දුටුසේක. එසේ දැක සරද තවුසා අමතා මෙසේ ප්‍රකාශ කළසේක.

ඔබේ මේ ප්‍රාර්ථනාව හිස් නොවන්නේය. වර්ෂ එකාසංඛ්‍යාකල්ප-ලක්ෂයක් ගිය තැන ගෞතම නම් බුදුවරයෙක් ලොව පහළ වන්නේය. උන්වහන්සේන්ගේ මව මහාමායා දේවියයි. පියා ශුද්ධෝදන නම් රජුය. පුතා රාහුලය. උපස්ථායක ආනන්ද නම් තෙරණුවෝය. ද්විතීය ශ්‍රාවක නම් මුගලන් තෙරණුවෝය. නුඹ වනාහි ඒ බුදුරදුන්ගේ අග්‍රශ්‍රාවක ධර්මසේනාපති වන්නේයයි වදාළසේක.

මෙසේ තවුසාට විවරණ දී දැහැමි කතා කොට භික්ෂු සංඝයා පිරිවරා අහසට පැන නැංගෝය. සරද තාපස තෙමේද අතවැසි තෙරුන් ළඟට ගොස් යහළුවූ සිරිවඩ්ඪ කෙළෙඹියාට පණිවුඩයක් යැවීය.

ස්වාමීනි, මගේ යාළුවාට මෙසේ කියනු මැනවි, ඔබේ යාළුවූ සරද තවුසන් විසින් ගෞතම නම් බුදුන්ගේ සසුනෙහි අගසවු තනතුර ප්‍රාර්ථනා කරන ලදි. ඔබ දෙවෙනි ශ්‍රාවක තනතුර පතනු මැනවි. මෙසේත් කියා තෙරවරුන් පිටත්වීමට පෙරම වෙනත් මඟකින් ගොස් සිරිවඩ්ඪගේ ගෙදොර සිටියේය. සිරිවඩ්ඪ තෙමේ, මගේ ආර්යයන්වහන්සේ බොහෝ කලකින් පැමිණියේයයි අසුනක වඩාහිඳුවා තමන් මිටි අසුනක හිඳ, ස්වාමීනි, ඔබේ අතවැසි පිරිස දක්නට නැත්තේ ඇයිදැයි විචාළේය. යහළුව එසේය. අපේ අසපුවට අනෝමදස්සි බුදුරජාණන්වහන්සේ වැඩිසේක. අපි ශක්ති පමණින් උන්වහන්සේට සත්කාර කළෙමු. ශාස්තෘන්වහන්සේ සියල්ලන්ටම දහම් දෙසූසේක. දේශනා කෙළවර මා හැර සෙස්සෝ අර්හත්වයට පැමිණ පැවිදිවූහ. මම ශාස්තෘන්වහන්සේගේ අග්‍රශ්‍රාවක සහ නිසභතෙරුන් දැක අනාගතයෙහි උපදින ගෞතම නම් බුදුන්ගේ සසුනෙහි අගසවු තනතුර පැතුවෙමි. ඔබද ඒ බුදුන්ගේ ශාසනයෙහි දෙවෙනි ශ්‍රාවක තනතුර පතන්නැයි කීය.

ස්වාමීනි, බුදුවරුන් සමඟ කටයුතු කිරීමට මට පුරුදු නැතැයි සිරිවඩ්ඪ කීවේය. බුදුවරුන් සමඟ කරන කථා මට භාරය. ඔබ හොඳට සත්කාර සම්මාන සූදානම් කරන්නැයි සරද තවුසා කීය. ඔහුගේ වචන ඇසූ සිරිවඩ්ඪ තම නිවේසද්වාරයෙහි ප්‍රමාණයෙන් අටකිරියක්වූ (අමුණු සතරක බිම් ප්‍රමාණය) බිම් පෙදෙස සමතලාකොට වැලි අතුරුවා ලදපස්මල් ඉස නිල්මානෙල් වියනක් ඇති මණ්ඩපයක් කරවා බුද්ධාසනයක්ද සකස් කොට සෙසු භික්ෂූන්ටද ආසන පිළියෙළ කරවා මහත් වූ සත්කාර සම්මාන සූදානම්කොට බුදුන්ට ආරාධනා කිරීම සඳහා සරද තවුසාට සංඥාව දුන්නේය.

සරද, බුදුන් ප්‍රමුඛ සංඝයා කැඳවාගෙන ඔහුගේ නිවසට ගියේය. සිරිවඩ්ඪද පෙරගමන් කොට තථාගතයන් වහන්සේගේ අතින් පාත්‍රය ගෙන මණ්ඩපයට ප්‍රවේශ කරවා පැනවූ අසුන්හි වැඩහුන් බුද්ධප්‍රමුඛ භික්ෂු සංඝයාට පැන් පිළිගන්වා ප්‍රණීත බොජුන් වළඳවා බක්කිස අවසානයෙහි බුදුන් ප්‍රමුඛ සංඝයාට පිරිකර වශයෙන් රෙදිපිළි පිළිගන්වා, ස්වාමීනි, මේ ආරම්භය ස්වල්පමාත්‍ර වූ තැනක් ගැනීම සඳහා නොවෙයි, මේ ලෙසින්ම සත්දිනක් මාගේ ආරාධනය අනුකම්පාවෙන් ඉවසනු මැනවැයි ඉල්ලා සිටියේය. ශාස්තෘන්වහන්සේ එය ඉවසූසේක. හෙතෙම ඒ ආකාරයෙන්ම සත්දිනක් මහදන් පවත්වා භාග්‍යවතුන්වහන්සේට වැඳ ඇඳිලි බැඳගෙන සිට මෙසේ කීවේය.

ස්වාමීනි, මාගේ යාළුවූ සරද යම් ශාස්තෘන්වහන්සේ නමකට අග්‍රශ්‍රාවක වීම සඳහා පැතුවේද, මම උන්වහන්සේගේ ද්විතීය ශ්‍රාවක බව පතන්නෙමියි කීය. ශාස්තෘන්වහන්සේ අනාගතය බලා ඔහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වනබව දැක, මෙසේ ප්‍රකාශ කළසේක. ‘ඔබ මෙයින් අසංඛ්‍ය කල්පලක්ෂයක් ගෙවුණු තැන ගෞතම නම් බුදුන්ගේ ද්විතීය ශ්‍රාවකභාවයට පත්වන්නේය’. බුදුන්ගේ ප්‍රකාශය ඇසූ සිරිවඩ්ඪ අතිශය ප්‍රීතියට පත්විය. ශාස්තෘන්වහන්සේ භුක්තානුමෝදනා කොට විහාරයටම වැඩිසේක. ‘මහණෙනි, මේ මගේ පුතුන් විසින් එදා කළ ප්‍රාර්ථනාවයි. ඔවුහු ප්‍රාර්ථනා තැබූ ලෙසම තනතුරු ලැබූහ. මම මුහුණු බලා තනතුරු නොදෙන්නෙමි’යි වදාළසේක.

මෙසේ වදාළ කල්හි අගසවු දෙනම බුදුන් වැඳ, ස්වාමීනි, අපි දෙදෙන ගිහිගෙයි සිටින කාලයේ ගිරග්ගසමජ්ජය බැලීමට ගියෙමු යි අස්සජී තෙරුන් හමුවෙහි සෝවාන් ඵලයට පැමිණීම දක්වාවූ සියලු වර්තමානකාලික කථා පුවත කියා, නැවත ස්වමීනි, අප අපේ ආචාර්යන්ට ඔහුගේ ලබ්ධියෙහි නිසරු බව පෙන්වා දී, ඔබ හමුවට ඒමෙහි වටිනාකමද කී‍වෙමු. හෙතෙම දැන් මා අතවැස්සකු වීමට බැරියයිද කීවේය. ඇඳුරුතුමනි දැන් මිනිස්සු සුවඳමල් ආදිය ගෙන ගොස් බුදුරදුන්ම පුදති. (ඔබ නොපුදති) ඉතින් එවිට ඔබට කුමක් වේදැයි ඇසූවිට, මෙලොව වැඩියෙන් සිටින්නේ පණ්ඩිතයෝද, නැතහොත් මෝඩයෝදැයි අපෙන් ඇසීය. ඇඳුරුතුමනි, මෝඩයෝ බොහෝය, පණ්ඩිතයෝ අල්පයහයි කී‍වෙමු. එසේනම් පණ්ඩිතයෝ පණ්ඩිතවූ ශ්‍රමණභවත් ගෞතමයන් වෙත යන්නාහ. මෝඩයෝ මෝඩ වූ මා සමීපයට එන්නාහ. තෙපි එහි යව්යයි කියා මෙහි ඒමට නොකැමතිවීයයි කීහ.

ඒ ඇසු තථාගතයන්වහන්සේ, මහණෙනි, සංජය තමන්ගේ මිසදිටු බව නිසා අසාරය සාර ලෙසත්, සාරය අසාර ලෙසත් ගත්තේය. තෙපි වනාහි තමන්ගේ ඥානවන්තකම නිසා සාරය සාර ලෙසත් අසාරය අසාර ලෙසත් දැන අසාරය හැර සාරයම තෝරාගත්තහුයයි වදාරා මේ ගාථාද වදාළහ.

සරු දෙය නිසරුයයි නිසරු දෙය සරුයයිද ගත්

වැරදි දැකුම ඇතියන්හට සාරයක් කිසිදාක නොලැබේ

සරු දෙය සරුමයයි නිසරු දේ ඒ ලෙසම දුටු

හරි කල්පනා ඇති අය සැම කල්හි නිවනට යෙති

එහි අසාරෙ සාරමතිනො යනු සිව්පසය දසවස්තුක මිථ්‍යාදෘෂ්ටිය. ඊට ආශ්‍රය වන ධර්මදේශනාදිය අසාර නම් වේ. එහි සාරදර්ශීව සිටින අය යනු අර්ථයි. සාරෙවාසාරදස්සිනො යනු දශවස්තුක සම්‍යදෘෂ්ටිය, ඊට ආශ්‍රය වන ධර්මදේශනාදි කරුණු සාර නම් වේ. ඒ කරුණු ගැන මේවා සාර නැතැයි ගත් අසාරදර්ශකයෝ යනු අර්ථයි. තෙ සාරං යනු ඒ මිථ්‍යාදෘෂ්ටිග්‍රහණය ගෙන සිටියාවූ අය කාමවිතර්කාදි වශයෙන් මිථ්‍යා සංකල්පයට යටත් වී, සීලසාරය, සමාධිසාරය, ප්‍රඥාසාරය, විමුක්තිසාරය, විමුක්තිඥානදර්ශනසාරය, පරමාර්ථසාරය යන මේ අවස්ථාවලට නොපැමිණෙත් සාරංචා යනු ඒ සීලසාරාදියම සාරයයි. සාර නම් මේ කී ආකාරයෙන්ම අසාරය මේයයි දැනගෙන, තෙ සාරං යනු ඒ පණ්ඩිතයෝ මෙසේ යහපත් දැකුමක් ගෙන සිටියාහු නෙක්ඛම්මසංකපාදීන්ගේ වශයෙන් සම්‍යක්පකල්පයට නැඹුරු වී ඒ යට කියනලද සාරය වටහා ගනිත් යනුයි.

ගාථා කෙළවර බොහෝ අය සෝවාන් ඵලාදියට පැමිණියාහුය. රැස්වූවන්ට එය සාර්ථක ධර්මදේශනාවක් විය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.