මනොපුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පසන්නෙන භාසති වා කරොති වා
තතො නං සුඛමන්වෙති ඡායා’ව අනපායිනී.
(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.
‘මනො පුබ්බංගමා ධම්මා’ යනාදි දෙවෙනි ගාථාවත් සැවැත්නුවර විසූ මට්ටකුණ්ඩලී අරභයා දෙශනා කරනලදි.
සැවැත්නුවර අදින්නපුබ්බක නම් බමුණෙක් වාසය කෙළේය. ඔහු කිසිම කෙනෙකුට කවදාවත් කිසිම දෙයක් නුදුන් කෙනෙකි. එහෙයින්ම ඔහු අදින්නපුබ්බක (නොදීපු) බමුණා යන නමින් ප්‍රකටවිය. ඔහුට එක් පුතෙක් සිටියේය. ඒ පුතා ඉතා ප්‍රියය, මනාපය. පුතාට පළඳනාවක් කරවන්නට කැමති පියා ‘රන්කරුවෙකුට මෙය දැන්නුවොත් ගෙවීම් කරන්ට සිදුවන්නේය’ යි සිතා තමාම රත්‍රන් ගෙන තළා මොටවු කඩතොලු සහිත, ඔපමට්ටම් නැති කුණ්ඩලාභරණයක් තනා පැළඳවීය. ඒ නිසා ඔහු මට්ටකුණ්ඩලී නම්විය. පුතා සොළොස්වියපත් කල ඔහුට පාණ්ඩුරෝගය වැළදිණි. මව පුතා දෙස බලා බ්‍රාහ්මණය, ඔබේ පුතාට රෝගයක් හටගැනී තිබේ. ඔහුට වෙදකම් කරවයි කීවාය.
සොඳුර, වෙදෙකු ගෙන්නුවොත් ඔහුට කෑමබීමත් වේතනත් දෙන්නට සිදුවෙයි. ඇයි ඔබට මගේ ධන විනාශය නොපෙනෙන්නෙහිදැයි ඇසීය. එසේ නම් අපි කුමක් කරමුදැයි ඈ ඇසුවාය. ධනය වියදම් නොවන ආකාරයක් කරමුයයි බමුණා පිළිතුරු දුන්නේය. එසේ කී ඔහු වෙදුන් ළඟට ගොස් අසවල් අසවල් රෝගයට නුඹලා කවර නම් බෙහෙත් දෙන්නහුදැයි, අසා අසවල් ගස්වැල්වල මුල් පොතු කොළ ආදිය දෙන්නෙමු යයි කීකල බමුණා වෙදවරු කී කී දේවල් ගෙනවුත් පුතාට දෙයි. මෙසේ කරගෙන යනවිට පුතාගේ රෝගය බලවත්විය. පිළියම් නොකළහැකි අසාධ්‍ය තත්ත්වයට පත්විය.
බමුණා පුතාගේ රෝගය බලවත් බවත් අසාධ්‍ය බවත් දැක ඒක් වෛද්‍යවරයෙකු කැඳවාගත්තේය. ඔහු රෝගියා බලා මට වෙනත් කටයුත්තක් ඇත. අනික් වෛද්‍යවරයෙකු කැඳවා පිළියම් කරන්නැයි කියා වෙදකම් නොකර යන්ට ගියේය. බමුණා, පුතා මරණාසන්නව සිටින හෙයින් මොහු බලන්ට එන අය ගේ ඇතුළේ තිබෙන වස්තු සම්පත් දකිතියි, රෝගියා බැහැරක තැබිය යුතුයයි සිතා පුතා ඇතුළු ගෙයින් පිටතට ගෙන එළියේ ඇඳක නිදිකෙරෙව්වේය.
එදින උදෑසන භාග්‍යවතුන්වහන්සේ මහාකරුණාසමාපත්තියෙන් නැගිට, පෙර බුදුවරයන් විසිනුත් පුරුදු කරනලද ආකාරයෙන්, කුසලබල වැඩීඇති, විනේයජනබන්ධුන් (හික්මීම ලැබිය හැකි අය) දැකීම සඳහා බුදුඇසින් ලොව බලන්නාහු දසදහසක්සක්වළ නුවණදැල පතුරුවා හැරියෝය. (ලොව දෙස බැලුහ.) මට්ටකුණ්ඩලී පිටත ආලින්දයේ වැදහොත් අයුරින්ම නොසෙල්වී සිටියේය. බුදුහු ඒ දුටහ. ඇතුළු ගෙයින් පිටතට ගෙන ඇඳක හොවාලුබවද දැන මා එහි යෑමෙන් වැඩක් ඇද්දැයි විමසා බැලුකල,
මේ මානවකයා මා කෙරෙහි සිත පහදවා කළුරියකොට තව්තිසා දෙව්ලොව තිස්යොදුනක් පමණවූ රන්විමනෙක උපදින්නේය. දෙවඟනන් දහසක් පමණ ඔහුට පිරිවර වන්නේය. පිය බමුණාත් පුතා දවා අඬමින් සොහොනෙහි හැසිරෙන්නේය. දිව්‍යපුත්‍රයා තුන්ගවු පමණවු සිරුර ගැල් සැටක් පමණ අබරණින් සැරසී දෙවඟනන් දහස පිරිවරා සිටින සිය භවය දෙස බලා කවර නම් පිනකින් මා මේ සම්පත් ලද්දෙමිදැයි විමසනවිට, මා කෙරෙහි සිත පහදවා ගැනීමෙන් මේ සා සම්පත් ලත්බව දැනගෙන, ධන වියදමට බියෙන් මාපියා මට බෙහෙත් නොකොට සිට දැන් සොහොනට ගොස් හඬයි. ඔහු විපිළිසරට පත්කරවන්නෙමියි සොහොන ළඟ මට්ටකුණ්ඩලී වේශයෙන් අවුත් හඬයි. එවිට බමුණා ඔබ කවරෙක්දැයි අසයි. මම ඔබ පුත් මට්ටකුණ්ඩලී වෙමි. කොහි උපන්නෙහිදැයි ඇසූකල මා කෙරෙහි සිත පහදවා ගැනීමෙන් තව්තිසාවේ උපනිමියි දන්වන්නේය.
එකල බමුණා ඔබවහන්සේ කෙරෙහි සිත පහදවා දෙව්ලොව උපන්නෝ ඇද්දැයි මා විචාරන්නේය. එවිට මම ඔහුට සිය ගණනින් මෙතෙක්‍ය, දහස් ගණනින් මෙතරම්‍ය. ලක්ෂ ගණනින් මෙපමණක්‍යයි කියා ප්‍රමාණ කොට කීම දුෂ්කරබවද පැහැදිලිකොට ධම්මපදයෙන් ගාථාවක්ද කියන්නෙමි. ගාථා කෙළවර අසූහාර දහසක් ප්‍රාණින්ට ධර්මාවබෝධය ලැබෙන්නේය. මට්ටකුණ්ඩලී සෝවාන් වෙයි. අදින්නපුබ්බකද සෝවාන් වෙයි යන කරුණු පෙනී ගියේය.
මෙසේ මේ කුලපුත්‍රයා නිසා මහත්වූ ධර්මයාගයක් වන්නේයයි දැනවදාරා දෙවෙනි දිනයේ සිරුරු පිළියම් කොට මහාභික්ෂුසංඝයා පිරිවරා සැවැත්නුවර පිඬුපිණිස සැරිසරා අනුක්‍රමයෙන් බමුණාගේ ගෙදරට වැඩියෝය. ඒ වේලාවෙහි මට්ටකුණ්ඩලී ඇතුළුගෙට මුහුණලා වැතිර සිටියේය. බුදුරජාණන්වහන්සේ තමන් ඔහුට නොපෙනෙනබව දැන එක් රශ්මියක් විහිදුවාලූහ. මානවකයා මේ කිනම් ආලෝකයක්දැයි නිදා සිටින ගමන්ම අනික් පැත්තට පෙරළී බුදුරදුන් දැක, මගේ අන්ධබාලපියා නිසා මෙබඳුවූ බුදුන් වෙත පැමිණ කායික වතාවතක් කිරීමට හෝ දානයක් දීමට හෝ දහමක් ඇසීමට නොලැබිණි. දැන් මගේ අතුත් නොනැමෙයි. වෙනත් කළහැකි දෙයක නැතැයි සිතම පහදවා ගත්තේය. මොහුට මෙපමණක් ඇතියි බුදුරජාණන්වහන්සේ වැඩිසේක. ඔහු තථාගතයන්වහන්සේ ඇස් හමුවෙන් ඉවත්ව යද්දීම (නොපෙනී යද්දී) ප්‍රසාද සිතින්ම කාලක්‍රියා කොට නිදා පිබිදියාක්මෙන් දෙව්ලොව තිස්යොදුන් පමණ ස්වර්ණ විමානයක උපන්නේය.
බමුණාත් පුතාගේ මිනිය දවා සොහොනෙහි හඬමින් සිටියේය. දිනපතා සොහොනට ගොස් අනේ මගේ එකම පුතණුවනි, ඔබ කොහේ ගියේදැයි අඬයි. දිව්‍ය පුත්‍රයාත් තම සම්පත් බලා කිනම් පින්කමකින් මේ සම්පත් ලද්දෙමිදැයි සොයාබලන්නේ බුදුන් කෙරෙහි සිත පැහැදවීම් මාත්‍රයෙනියි දැන, මේ බ්‍රාහ්මණ තෙමේ මා රෝගීව ආරෝබලත්ව, අසාධ්‍යව සිටි අවස්ථාවේ බේත්හේත් නොකර සිට දැන් මා ගැන කියමින් හඬහඬා සිටියි. මොහු විපිළිසරට පත්කළ යුතුයයි සිතා මට්ටකුණ්ඩලී වේශයෙන්ම අවුත් ඒ සමීපයෙහි ඉස අත් බදාගෙන අඬමින් ඇවිද්දේය. බමුණා ඒ දැක, මම නම් පුත්‍රශෝකයෙන් හඬමි. මොහු හඬන්නේ ඇයිදැයි විමසමින් මේ ගාථාව කීවේය;
සියල් සිරුර හරිසඳුනෙන් තවරා
මල්පළඳනයෙන් සැරසීලා
මට්ටකුණ්ඩලී වෙසින් මෙ වන මැද
ඉස අත් බැඳගෙන හඬන මෙසේ
මහා දුකෙන් මෙන් මෙතැන සිටින්නේ
ඔබ කවුදැයි පවසනු නිදුකාණෙනි.
පුතා මෙසේ කීවේය;
මටම ලැබුණු රිය පඳුරක් මට ඇත
ස්වර්ණමයයි එය පබස්සරයි
එහෙත් ඊට රියසක් සඟලක් නැත
ලදොත් මගේ ජීවිතය රැකෙයි
නොලදොත් මගෙ දිවියත් හැර ලන්නෙමි
ඒ අසා සිටි බමුණා මෙසේ කීවේය;
රුවන්මුවා හෝ මණිමය වේවා
ලෝහමයෙන් රිදීයෙන්ම වුවත්
කියන්න මට නිදුකාණනේ
සක්යුග මම පිළියෙළ කර දෙන්නෙමි.
ඒ අසා සිටි මානවකයා, මොහු තම පුතාට බෙහෙත් නොදී ඔහු මළ පසු පුත්‍රවෙසින් ආ මා දැක හඬමින්ම රන්රිදීයෙන් මැණික් හෝ ලෝහයෙන් රථරෝද දෙකක් කරවා දෙනබව කියයි. එසේ වේවා. මොහුට තවත් නිග්‍රහ කටයුතුයයි සිතා, කොපමණ මහත් සක්යුගළක් මට කරවා දෙන්නේදැයි ඇසීය. ඔබ කැමති ප්‍රමාණයකින් කරවා දෙන්නෙමියි කීකල, ඒ සඳහා මට අවශ්‍ය වන්නේ හිරුසඳු දෙදෙනායි. ඒ හිරුසඳු ලබා දෙන්නැයි කියමින්;
ඒ මානව තෙම ඔහුට කියන්නේ
සඳහිරු දෙදෙනයි මට ගැළපෙන්නේ
රථය මගේ රත්‍රනින් තැනු
එම සක් යුවළෙනි බබළන්නේ.
ඉන්පසු බමුණා මෙසේ කීවේය.
බාලයෙකී ඔබ මානවයාණනි,
නොපැතිය යුත්තක් පතන්නෙහි
ඔබ මැරෙතියි මම සිතන්නෙමි
සඳහිරු කිසිදා ලබනු නොහී
මානවකයා මෙසේ කීවේය. කිම පෙනෙන දෙයක් සඳහා ඇඬීමද මෝඩකම, නැතහොත් නොපෙනෙන දෙයක් සඳහා ඇඬීමද මෝඩකම?
ගමනාගමනය හොඳට පෙනෙයි
වර්ණය යන එන මහත් පෙනෙයි
පරලොව ගියවුන් කිසි දා නොපෙනෙයි
කවුද මෝඩයා හඬන්නවුන්ගෙන්.
ඒ ඇසූ බමුණා මොහු යුක්තියක්ම කියන්නේයයි සලකා මෙසේ කීවේය:
ඇත්තක්මයි ඔබ මෙහි පවසන්නේ
හඬන්නවුන්ගෙන් මමයි මෝඩයා
හඳට හඬන දරුවාට වඩා
බාලයි මිය ගියවුන් පැතුමත් -
යයි කියා ඔහුගේ කථාවෙන් ශෝකය නැතිකරගෙන මානවකයාට ස්තුති කරමින් මේ ගාථාද කීවේය:
ගින්නෙන් හුණුව ගිය ගිතෙලක් වගේ ගිනිගත්
මගේ සිත නිවුමට සිසිල් ජලයකි ඔබේ වචනය
නිවුණා සියලු ගිනි හද ඇනුණු උල් පහවිය
සොවම තදකර ගත් පුත්සොව වහා පහවිණි.
දුක් උලෙන් ගැළවුණු සිත සීතලයි නිවුණා
සොවක් නැත නොහඬමි ඔබේ වදනින් මෙනවියාණනි.
ඉන්පසු ඔබ කවරෙක්දැයි විචාරමින්,
දෙවියෙක්ද ගදඹෙක් නැතොත් සක්දෙව්‍රජහුද
කවුද ඔබ කා පුත්හුද අපි කෙසේ දැන ගනිමුද?
ඉක්බිති මානවකයා -
යමෙක් උදෙසා ඔබ හඬනෙහි පුතු දවාලා
එපුතු මම වෙමි දැන් දෙවියන් සමඟ වසනා -
යයි කීය. බ්‍රාහ්මණයා මෙසේ කීවේය.
කුදු මහත්වූ දන් පින් නොකළ සිය නිවසේ
පෙහෙවස් වසනු නොදිටිමි කෙසේ ගියෙහිද දෙව්ලොව
රෝදුකින් දුක්පත් ගිලනෙක් වීමි නිවසෙහි
හළ කෙලෙස් නිසැකින් බුදුන් දැක්කෙමි මහාපැණවත්
පැහැදුණු සිතින් හා ඉපිළ පැහැදුණු මනසින්
ඇඳිලි බැඳ බුදුහිමි දෙස සැදැහෙන් බලා සිටියෙමි
ඒ කුසල් බලයෙන් දෙවිබව ලදිමි මෙලෙසේ.
එසේ කියනු අසා සිටිද්දීම බ්‍රාහ්මණයාගේ සකල ශරීරය ප්‍රීතියෙන් පිනා පිරීඉතිරී ගියේය. ඔහු ඒ ප්‍රීතිය පළකරමින් -
අහෝ අසිරියි පුදුමයි විඳීමත් මේ විපාකය
මමද මුදිතව පැහැදී අදම බුදුරජ සරණ යන්නෙමි’යි කීය.
අනතුරුව මානවක තෙමේ මෙසේ කීවේය;
අදම පැහැදුණු සිත පෙරටු කොට බුදු සරණද
දහම් සඟ සරණද රැගෙන් පන්සිල් සමාදන්වී
පරපණ නැසීමෙන් හා නොදුන් දේ ගැනීමෙන්
මුසාවා ඛිණීමෙන් හා සුරාවන දේ ගැනීමෙන්
වෙන්ව දිවිහිමියෙන් වසව සිය අඹුන් හා පේමෙන්.
හෙතෙම මැනවයි පිළිගෙන මේ ගාථාද කීවේය:
උතුම් නිදුකාණනි ඔබ මට හිත පිණිස විය
දේවයාණනි ඔබ මට ඉත හිත සුව කැමති වෙහි
ඔබ වදන් පිළිගෙන හැසිරෙමි ඔබය ගුරු මට
මම බුදුසරණ යෙමි දහම් සඟ සරණද යෙමි
බුදුරදුන් සැමදා සැමවිට සරණ යන්නෙමි.
පරපණ නැසීමෙන් සදාකල්හිම වෙන්වෙමි
හොරකමෙන් සදහට වෙන්වූ මගෙහි යන්නෙමි
සුරා නොම බොන්නෙමි මුසාබස් නොකි යන්නෙමි
සිය අඹුන් සමඟින් පමණක් සතුටු වන්නෙමි
අනතුරුව දිව්‍ය පුත්‍රයා ඔහු අමතා බ්‍රාහ්මණය, ඔබේ ගෙදර බොහෝ ධනය ඇත. බුදුන් වෙත එළඹ දන් දෙන්න. ධර්මය අසන්න. ප්‍රශ්න විචාරන්නැයි කියා එතැන්හිම අතුරුදහන්විය.
බ්‍රාහ්මණයාද ගෙට ගොස් බැමිණිය අමතා, සොඳුර මම බුදුන්ට ආරාධනා කොට ගෙන්වාගෙන ප්‍රශ්න විචාරන්නෙමි. සත්කාර සම්මාන පිළියෙළ කරවයි කියා විහාරයට ගොස් බුදුන් නොවැඳ, පිළිසඳර කථාවකුත් නොකොට, එක් පැත්තක හිඳ භවත් ගෞතමයන් වහන්ස, භික්ෂු සංඝයාත් සමඟ අද දින දානය සඳහා මගේ ආරාධනය පිළිගනු මැනවැයි ඉල්ලීය. බුදුරදාණෝ නිමන්ත්‍රණය පිළිගත්හ. හෙතෙම බුදුරදුන් ආරාධනය පිළිගත් බව දැන වේගයෙන් දුව අවුත් සිය නිවසෙහි ආහාරපාන පිළියෙළ කෙළේය. බුදුහු මහසඟුන් පිරිවරා ඔහුගේ ගෙට වැඩමවා පැනවූ අසුන්හි වැඩහුන්සේක. බ්‍රාහ්මණයා මැනවින් වැළදවීය. මහජනයාද එතැනට රැස්වූහ.
මිසදිටුවෙකු බුදුන්ට ආරාධනයක් කළ විට ජනකොටස් දෙකක් එතැනට රැස්වන්නෝය. මිසදිටුවෝ අද ශ්‍රමණභවත් ගෞතමයන්ගෙන් ප්‍රශ්න අසා වෙහෙසට පත්වෙන හැටි බලම්හයි රැස්වෙති. සම්දිටුවෝ අද බුද්ධවිෂයේ අසිරිමත් බුද්ධලීලා බලම්හයි රැස්වෙති. එදින දන්වළදා අන්තයෙහි බුදුන් වෙත එළඹි බමුණා මිටි අසුනක හිඳගෙන ප්‍රශ්න විචාළේය.
භවත් ගෞතමයන්වහන්ස, ඔබට දන් නොදී පූජාත් නොකොට, බණත් නොඅසා, සිල්සමාදන් නොවී හුදෙක් සිත පහදවා ගැනීම් පමණකින් ස්වර්ගයෙහි උපන්නෝ ඇද්ද? බ්‍රාහ්මණය, කුමකට නම් ඒ ගැන මාගෙන් විචාරන්නෙහිද? ඇයි තොප පුත් මට්ටකුණ්ඩලී විසින්, මා කෙරෙහි සිත පහදවා ගැනීමෙන් තමන් ස්වර්ගයෙහි උපන්බව කීවේ නොවේද? භවත් ගෞතමයෙනි, ඒ කවදාද? ඇයි ඔබ සොහොනට ගොස් හඬද්දී ඒ අසළම දෙඅත් හිස තබාගෙන, සිටි එක් මානවකයෙකු දැක, ‘අලංකතො මට්ටකුණ්ඩලී’ ආදී කළ කථා අමතකද, ආදි විසින් එපුවත සිහිගන්වමින් සියලු මට්ටකුණ්ඩලී වස්තුව දේශනා කළසේක. එහෙයින්ම මෙය බුද්ධදේශනාවක්ද විය. එසේ වදාළ බුදුරජාණන්වහන්සේ නැවත,
බ්‍රාහ්මණය, සීයක් දෙසීයක් නොව මා කෙරෙහි සිත පහදවාගෙන ස්වර්ගයෙහි උපන්නන්ගේ ගණනක් නැතැයිද වදාළහ. මහජනයා තුළ එම ප්‍රකාශය ගැන නිර්වේමතික බවක් (අදහා ගැනීම) නොවීය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ ඔවුන් නිසැකව නොපිළිගැනීම දැන, මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා විමානයත් සමඟ මෙහි පැමිණේවායි අදිටන් කළහ. තුන්ගවු පමණවු ඔහු දිවබරණින් සැරසී සිය අත්බැවින්ම අවුත් විමනින් බැස බුදුන් වැඳ එක්පසක සිටියේය. අනතුරුව බුදුහු ඔබ මේ සම්පත් කිනම් කර්මයකින් ලද්දෙහිදැයි පිළිවිසිමින් -
මන වඩන පැහැයෙන් සිටින දෙව්පුත ඔබ මෙහි
හැම දිසා හොබවයි ඕසධී නම් තරුව විලසින්
මහ තෙදබල පෙනෙන දෙව්පුතාණනි මෙහිදී
අසමි මිනිසෙකු ලෙස ඔබ කිනම් පින්කම් කරන ලද්දෙද?
යන ගාථාව වදාළහ.
දෙවිපුත් තෙමේ ස්වාමීනි, මා මේ ලත් සම්පත් සියල්ල ඔබ කෙරෙහි සිත් පහදවා ලද්දෙමි. මේ සම්පත් ඔබ ලද්දේ මා කෙරෙහි සිත පහදවා ගැනීමෙන්ද? එසේය ස්වාමීනියි දිව්‍ය පුත්‍රයා පිළිතුරු දුන්නේය.
මහජනයා, දිව්‍ය පුත්‍රයා දෙස බලා පින්වත්නි, බුදුගුණය නම් ආශ්චර්‍යයි. අදින්නපුබ්බක බ්‍රාහ්මණයාගේ පුත්‍රයා වෙනත් කිසිදු පිනක් නොකොට බුදුන් කෙරෙහි සිත පහදවා මෙබඳු සම්පත් ලද්දේයයි ප්‍රීතිය ප්‍රකාශ කළහ. ඉන්පසු ඔවුනොවුන්ගේ කුශලකර්ම කරණයෙහිලා සිත, මනස පුර්වාංගම වන බවත්, මනසම ශ්‍රේෂ්ඨකොට පවත්නා බවත් පැහැදුණු මනසින් කළ කර්මය දෙව්ලොව හෝ මිනිස් ලොව උපදින පුද්ගලයා පසුපස යන ඡායාව මෙන් අත්නොහරින්නේය යන මේ වස්තුව කියා පුර්වාපරසන්ධි ගළපා පිහිටුවනලද මැටි හසුනක් රාජමුද්‍රාතබන්නාක් මෙන් ධර්මරාජයන්වහන්සේ මේ ගාථාව වදාළ සේක;
සැම සිතිවිලි දහම් මන පෙරටුවම ඇති වේ
මනස සෙට කොටමවේ එහෙයින් මනෝමය වේ
පැහැදි සිතකින් කියන කරන හැම දෙය නිසා
සැපත පසුපසින් එයි සෙවනැල්ල මෙන් තමාගේ
මෙහිදීත් මනො යනු අවිශේෂයෙන් සියලුම චාතූර්භූමක සිත් ගැන කියනු ලබේ. මේ පදයෙහි ලා නියම කරනලද, ව්‍යවස්ථා කරනලද, සීමා කරනලද, අෂ්ඨවිධවූ කාමාවචර කුසල චිත්තය ලබයි. වස්තු වශයෙන් ගනු ලබන්නාවූ සිත්වලිනුත් සෝමනස්ස සහගත ඥානසම්ප්‍රයුක්ත සිතම ලබයි. පුබ්බංගමා යනු ඒ ප්‍රථමගාමී සමන්නාගත සිත විසින් යන අර්ථයි. ධම්මා යනු වේදනාදි ස්කන්ධ තුනයි. මොවුන් අතර උත්පාද ප්‍රත්‍යාර්ථයෙන් සෝමනස්ස සම්ප්‍රයුක්ත මනස මොවුන්ට පුර්වංගමවේ යනුයි. මනො පුබ්බංගමා නම් වේ. යම් සේ බොහෝ දෙනෙක් එක්වී මහාභික්ෂුසංඝයාට චීවර දානාදිය හෝ උදාරවූ වෙනත් පූජා හෝ ධර්මශ්‍රවණ මල්පහන් පූජාදී පින්කම් කරනවිට මෙහි පුරෝගාමියා කවුදැයි ඇසූ කල්හි යමෙක් ඔවුන්ගේ ‘ප්‍රත්‍යය’ හෙවත් මෙහෙයවන්නා වෙයිද, යමෙක් නිසා ඔවුහු ඒ පින්කම් කෙරෙත්ද, ඔහු තිස්ස නම්වුවත් ඵුස්ස නම්වුවත් ඔහුම පුර්වංගම පුරෝගාමීයයි කියති.
මෙහිදී පිළිවෙළ මෙසේ දතයුතුයි. උත්පාද ප්‍රත්‍යය වශයෙන් මොවුන්ට මන පූර්වංගම වේනුයි මනෝපුබ්බංගමා. මන නූපන් කල්හිත් මේ සිත් උපදින්නට හැකි නොවේද? මන වනාහි ඇතැම් චෛතසිකයන් නූපන් කල්හිත් උපදින්නේ වෙයි. මෙසේ අධිපති වශයෙන් මොවුන්ට මන ශ්‍රේෂ්ඨවන හෙයින් මනෝසෙට්ඨායි.
යම්සේ ගණයක (සමූහයක) අධිපති පුරුෂයා ‘ගණසෙට්ඨ’ යයි කියයිද, එසේ ඔවුන්ටද මන ශ්‍රේෂ්ඨ වෙයි. යම්සේ රන් ආදියෙන් නිපන් ඒ ඒ බඩුභාණ්ඩ ‘ස්වර්ණමයා’ දී නම් ලබයිද, එසේ මේ සිතුත් මනසින් නිපන් හෙයින් ‘මනොමය’ නම් වේ. පසන්නෙන යනු අනභිධ්‍යාදී ගුණවලින් ප්‍රසන්නවූ යන අර්ථයි. හාසති වා කරොති වා යනු මෙබඳු මනසකින් යුක්තව කථාකරන විට සිවුවැදෑරුම් වචීසුචරිතයක්ම කියයි. ක්‍රියා කරනවිට ත්‍රිවිධ කායසුචරිතයක්ම කරයි. නොබැණ, නොකර සිටිනවිට අනභිධ්‍යාදියෙන් යුත් ප්‍රසන්න මනසක් ඇති හෙයින් ත්‍රිවිධ මනෝසුචරිතයම පුරයි. මෙසේ ඔහුට දශකුශලකර්මපථයන්ම පරිපුර්ණත්වයට පැමිණෙයි. තතො නං සුඛමන්වෙති යනු ඒ ත්‍රිවිධ සුචරිතයෙන් ඒ පුද්ගලයා සැපවත්වේ යනු අර්ථයි. මෙහිදී ත්‍රෛභූමක කුශලචිත්තයම අභිප්‍රේතයි. එහෙයින් ත්‍රෛභූමක සුචරිතානුභාවයෙන් සුගති භවයෙහි උපන් පුද්ගලයා දුර්ගතියක වේවා වෙනත් සැප අනුභව කරන තැනක වේවා සිටියේ නමුත් කායවස්තුකවූ හෝ අන්‍යවස්තුකවූ හෝ අවස්තුකමවූයේ හෝ කායික චෛතසිකවූ විපාක සැප අනුව යේ. අත්නොහැර සිටී යන අර්ථයද ගතයුතුයි.
ඡායාව අනපායිනී යනු යම්සේ සෙවනැල්ල ශරීරය හා සම්බන්ධද, සිරුර යන කල යයි. සිටින කල සිටියි. හිඳි කල හිඳියි. සියුම් හෝ පරුෂ හෝ වචනයෙන් නවතුවයි කියා හෝ තළා නවත්වන්නට නොහැකිද, එසේයි. කුමක් හෙයින්ද? සිරුර හා බැඳී ඇති හෙයිනි. මෙසේ මේ දශකුශලකර්මපථයන්ගේ ආචීර්ණ සමාචීර්ණ (බොහෝ සේ පුරුදු පුහුණු කළ) වූ කාමාවචරාදි භේදගත කායික චෛතසික සැප ගියගිය තැන අත් නොහැර පවතින සෙවනැල්ල මෙන්වී අත්නොහැර සිටින්නේමය.
ගාථාව කෙළවර අසූහාරදහසක් දෙනාට ධර්මාවබෝධය විය. මට්ටකුණ්ඩලී දෙව්පුත් සෝවාන් ඵලයෙහි පිහිටියේය. අදින්නපුබ්බක බමුණාද එසේ විය. ඔහු තමා සන්තක ඒසා විශාලධනය බුදු සසුන වෙනුවෙන් කැපකළේය.