ඉධ මොදති පෙච්ච මොදති කතපුඤ්ඤො උභයත්‍ථ මොදති
සො මොදති සො පමොදති දිස්වා කම්ම විසුද්ධිමත්තනො.
පින් කළ පුද්ගල තෙම මෙ ලොව දී කුශලකර්‍මානුස්මරණයෙන් සතුටු වෙයි. පරලොව දී විපාකානුභාවයෙන් සතුටු වෙයි. දෙලොව දී ම සතුටු වෙයි. තමාගේ විශුද්ධ වූ පුණ්‍යකර්‍මය දැක්මෙන් හෙ තෙම මෙ ලොව දී සතුටු වෙයි. පරලොව දී ද බොහෝ සෙයින් සතුටු වෙයි.
‘ඉධ මෝදති’ ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩ සිටි කාලයේ ධම්මික නම් උපාසකවරයා අරභයා දේශනා කළසේක.
සැවැත්නුවර ධම්මික නමින් උපාසකවරු පන්සීයක් විසූහ. ඔවුන් හැම දෙනාටම පන්සීය බැගින් පිරිවරද වූහ. ඔවුනතර වැඩිමහල් උපාසකවරයාට පුතුන් සත්දෙනෙකුද, දූවරුන් සත්දෙනෙකුද වූහ. ඔවුහු එකිනෙකා සලාකයාගු, සලාකභත්ත, පක්ඛිකභත්ත, නවචන්දභත්ත, වස්සාවාසික ආදි වශයෙන් දන් සොළස බැගින් දුන්හ. එහෙයින් ඔවුහු අනුජාත පුත්‍රයෝ නම් වූහ. මෙසේ උපාසකයන් හා උපාසිකාවන් හා දරුවන් තුදුසක් එක්යාගු ආදි දාන සොළසක් පවත්වාගෙන ආහ. ඔහු අඹුදරුවන් සහිතව ශීලවන්තව යහපත් පැවතුම් ඇතිව සකසා දන් දෙන්නෙකු වූයේය.
පසුව ඔහුට රෝගයක් ඇතිවිය. ආයුෂද පිරිහිණි. හෙතෙම බණ අසනු කැමතිව, භික්ෂූන් අටනමක් හෝ සොළොස්නමක් හෝ එවනු මැනවයි ශාස්තෘන්වහන්සේ වෙත ආරාධනයක් යැව්වේය. බුදුහු භික්ෂූන් එවූහ. භික්ෂුහු එහි ගොස් උපාසකවරයාගේ ඇඳ වටා පැනවූ අසුන් මත වැඩසිටියහ. ස්වාමීනි, මට දැන් ආර්යයන් වහන්සේලා දැකීම දුර්ලභ වන්නේය. මමද දුබලයෙමි. මට එක් සූත්‍රයක් සජ්ඣායනා කළ මැනවයි කීකල්හි, උපාසකය, කිනම් සූත්‍රයක් අසනු කැමැත්තෙහිදැයි ඇසූහ. සියලු බුදුවරයන් විසින් අත්නොහැර පුරුදු පුහුණු කරනලද සතිපට්ඨාන සූත්‍රය මැනවැයි කීකල්හි, එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා ආදි සූත්‍රය සජ්ඣායනා කළහ.
එකල සදෙව්ලොව දෙවිවරු සර්වාලංකාරයෙන් සරහන ලද දහසක් අසුන් යෙදු යොදුන් එකසිය පනහක් පමණවූ රථ හයක් රැගෙන එහි පැමිණියහ. ඒවාහි සිටි දේවතාවෝ අපේ දෙව්ලොවට ගෙනයන්නෙමු, අපේ දෙව්ලොවට ගෙනයන්නෙමුයි කථා කළහ.
නිදුකාණනි, මැටි බඳුනක් බිඳ දමා රන්බඳුනක් ගන්නාක් මෙන් අපේ දෙව්ලොව ප්‍රීතිවීමට එහි උපදිනු මැනව. අපේ දෙව්ලොව ප්‍රීතිවීමට එහි උපදිනු මැනවයි ඇවිටිලි කරන්ට වූහ. උපාසක තෙම ධර්මශ්‍රවණයට වන බාධාව නොකැමතිව මදක් ඉවසව. මදක් ඉවසවයි කිවේය. අපේ සූත්‍ර සජ්ඣායනය නවත්වනු ඇතැයි සිතු භික්ෂූහු තුෂ්ණීම්භූත වූහ. ඉන්පසු ඔහුගේ දුදරුවෝ අපේ පියා පෙර බණ අසා තෘප්තිමත් නොවීය. දැන් භික්ෂුන් කැඳවාගෙන බණ සජ්ඣායනා කරවාගන්නා ගමන් තමන්ම එය නවතාදමයි. මරණයට බිය නොවන කෙනෙක් නම් නැතැයි හඬන්ට පටන්ගත්හ. භික්ෂූහු දැන් සජ්ඣායනාවට අවස්ථාව නොවේයයි පිටත්ව ගියාහුය.
උපාසක තෙම මඳක් කල්ගෙවා සිහිය ලැබ, කුමක් නිසා හඬන්නහුදැයි පුතුන්ගෙන් ඇසීය. පියාණනි, ඔබ භික්ෂූන්ගෙන් බණ අසමින් සිට ඔබම එය නවතා දැම්මේය. ඉන්පසු අපි, මරණයට බිය නොවන්නෙක් නැතැයි සිතමින් හැඬුවෙමුයි කීහ. ආර්යයන්වහන්සේලා කොහිද? බණ දෙසීමට දැන් අවස්ථාව නොවේයයි නැගිට ගියහ. දරුවනි, මම ආර්යයන්වහන්සේලා සමඟ කථා නොකෙළෙමි. පියාණනි, එසේ නම් කථා කෙළේ කවුරුන් සමඟද? සදෙව්ලොව දෙවිවරු රථ සයක් සරසා ගෙනවුත් අහසෙහි සිට අපේ දෙව්ලොවට කැමතිවන්න, අපේ දෙව්ලොවට කැමතිවන්නැයි ශබ්ද නගා ඇවිටිලි කළහ. මා කථා කෙළේ ඔවුන් සමඟයි. පියාණනි, ඒ රථ දැන් කොහිද? අපට නම් නොපෙනේයයි කීහ. දරුවනි, ගෙතු මල්දම් ඇද්ද? ඇත පියාණනි, කිනම් දෙව්ලොවක් වඩා සිත්ගන්නාසුලුද? සියලු බෝසත්වරයන්ගේ බුදුමවුපියන්ගේ වාසස්ථානය වූ තුසිතභවනය සුදුසුයි පියාණනි. එසේනම් තුසිතභවනයෙන් ආ රථයෙහි එල්බේවායි මල්දම අහසට දමව්. ඔවුහු එසේ කළහ. එය රථධුරයෙහි දැවටී අහසේ එල්බිණි.
මහජනයා මල්දම දකිත්. රථය නොදකිත්. උපාසකතෙම ඒ මල්දම දක්නාහුද? එසේය දකින්නෙමුයයි කීකල එය තුසිතහවනයෙන් ආ රථයෙහි එල්බෙයි. මම තුසිතහවනයට යනු කැමැත්තෙමි. තෙපි අමුත්තක් නොසිතව්. මා සමීපයෙහි උපදිනු කැමැත්තන් මා කළ අයුරින්ම පින් කරව්යයි කියා කළුරිය කොට රථයෙහි පිහිටියේය. එකෙණෙහිම ඔහු තුන් ගවු පමණ උස්වූ ගැල් සැටක බරට සමානවූ අලංකාර ආභරණයෙන් සැදුම්ලත් ආත්මභවයක උපන්නේය. දෙවඟනන් දහසක් පිරිවරවිය. විසිපස් යොදුනක් පමණ වූ රන්විමනක් පහළවිය.
යථොක්ත භික්ෂූන් විහාරයට පැමිණි විට, මහණෙනි, උපාසක තෙම බණ ඇසුවේදැයි බුදුහු විචාළසේක. ස්වාමීනි, එසේය. අතරමඟදී නවත්වන්නැයි කීහෙයින් දේශනාව වැළකී ගියේයයි කීහ. ඉන්පසු ඔහුගේ අඹුදරුවෝ හඬන්නට වූහ. දහම් දෙසීමට නුසුදුසු අවස්ථාවකියි සලකා අපි ආපසු ආවෙමුයයිද කීහ. මහණෙනි, ඒ කරුණ තොප හා කියා නැත. සදෙව්ලොව දේවතාවෝ රථ සයක් සරසා ගෙන අවුත් ඒ උපාසකවරයාට අඬගැසූහ. ඔහු බණ ඇසීමට අවහිරයක්වීම නොකැමැත්තෙන් ඒ දෙවියන් සමඟ කථා කෙළේය. ස්වාමීනි, එහෙමද? එහෙමයි මහණෙනි. ස්වාමීනි, දැන් ඔහු කොහි උපන්නෙහිද? මහණෙනි තුසිත භවනයෙහිය. ස්වාමීනි, ඔහු දැන් මෙහි නෑයන් සමඟ ප්‍රීතියෙන් සිට මේ දැන්මම ගොස් නැවතත් ප්‍රීතිමත් තැනකම උපන්නෙහිද? පැවිද්දකු වුවත් ගිහියකු වුවත් හැම තැනම ප්‍රීතිමත් වෙතියි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළහ:
මෙලොවත් පරලොවත් පින් කොළෝ ප්‍රීතිමත් වෙති
ඔහු මෙලොව යහපතම කෙළේයයි
තමන් කළ හොඳ දේ ගැන සිතා
තව තවත් ප්‍රමුදිත වේමැයි
එහි කතපුඤ්ඤො යනු නානාප්‍රකාර කුසල් රැස්කරන පුද්ගලයායි. මවිසින් පවක් නොකරන ලදි. මවිසින් කරන ලද්දේ යහපත් දෙයක්ම යයි මෙලොවදී කළකම් අනුමෝදන් වෙමින් (සිහිකරමින්) ද, පරලොවදී ඒ කල්‍යාණ කර්මවලට අනුරූප සැප විපාක විඳිමින්ද ප්‍රීතිමත් වෙයි. උභයත්ථ මොදති යයි දක්වන්නේ මේ දෙලොව සැප විහරණයයි. කම්ම විසුද්ධිං යනු ධම්මික උපාසක තෙමේත් තමන්ගේ පිරිසිදු කම විසුද්ධි සංඛ්‍යාත පුණ්‍යකර්ම සම්පත්තිය බලා, කළුරිය කිරීමට පෙරාතුවම මෙලොවදීද ප්‍රිතිවෙයි. මරණයෙන් පසු පරලොවදීද අතිශයින්ම ප්‍රීතිමත් වන්නේමය.
ගාථා කෙළවර බොහෝ අය සෝවාන් ආදි මාර්ගඵලාදියට පැමිණියාහුය. මහජනයාටද එය සාර්ථක ධර්මදේශනාවක් විය.