1-6 සයවන චූළකාල-මහාකාල වස්තුවයි.

සුභානුපස්සිං විහරන්තං ඉන්‍ද්‍රියෙසු අසංවුතං

භොජනම්හි චාමත්තඤ්ඤුං කුසීතං හීනවීරියං

තං වෙ පසහති මාරො වාතො රුක්ඛං’ව දුබ්බලං.

(අරමුණු) ශුභ වශයෙන් බලමින් වසන, ඉන්‍ද්‍රියයන් කෙරෙහි සංවරය නැති, භෝජනයෙහි පමණ නො දන්නා වූ, කාමවිතර්‍කාදී මිථ්‍යාවිතර්‍කයනට වසඟ බැවින් කුසීත වූ, වීර්‍ය්‍යය නැති ඒ පුද්ගලයා ඒකාන්තයෙන් (ක්ලේශ) මාර තෙමේ මැඩ ලයි. වාතය දුබල රුකක් මැඩ ලන්නක් මෙනි.

අසුභානුපස්සිං විහරන්තං ඉන්‍ද්‍රියෙසු සුසංවුතං

භොජනම්හි ච මත්තඤ්ඤුං සද්ධං ආරද්ධවීරියං

තං වෙ නප්පසහති මාරො වාතො සෙලං’ව පබ්බතං.

උඬුමාතකාදී දශ අශුභයන් අතුරෙන් එක්තරා අශුභයක් අනුව බලමින් වසන, ඉඳුරන් කෙරෙහි මනා සංවරය ඇති, භෝජනයෙහි පමණ දන්නා වූ, ශ්‍රද්ධා ඇති, සතර ඉරියව්හි වඩන ලද වීර්‍ය්‍ය ඇති, මෙබඳු පුද්ගලයා ක්ලේශමාර තෙමේ ඒකාන්තයෙන් මැඩ නො පවත්වයි. වාතය ඒකඝන ගල් පර්‍වතයක් මැඩ ලිය නො හෙන්නාක් මෙනි.

‘සුභානුපස්සිං විහරන්තං’ යන මේ ධර්ම දේශනාව ශාස්තෘන්වහන්සේ සෙතව්‍ය නම් නුවර ආශ්‍රයෙහි වැඩසිටි කාලයේ චූළකාල, මහාකාල දෙදෙනා අරභයා දේශනා කළසේක.

සෙතව්‍ය නගරවාසී චූලකාළ, මජ්ඣිමකාල, මහාකාලයයි කෙළෙඹි පුත්‍රයෝ තිදෙනෙක් විසූහ. එයින් වැඩිමාලු බාල දෙදෙනා ඒ ඒ දිනවල ගොස් ගැල්වලින් බඩු ආනයනය කරති. මජ්ඣිමකාල, ගෙනා බඩු විකුණයි. පසු කලක මේ සහෝදරයන් දෙදෙනා ගැල් පන්සීයක නොයෙක් බඩු පටවාගෙන සැවැත් නුවරට ගොස් සැවතත් ජේතවනයත් අතර ගැල් මිදුවාහුය. ඔවුන්ගෙන් මහාකාල සවස් වරුවේ සුවඳ මල් ආදිය රැගෙන බණ අසනු පිණිස යන සැවැත්නුවරවාසී ආර්යශ්‍රාවකයන් දැක,මේ අය කොහේ යන්නහුදැයි අසා දැනගෙන තමනුත් යායුතුයයි සිතා, බාල සොහොයුරාට කථා කොට, දරුව, ‘ගැල් පිළිබඳව සැලකිලිමත්වන්න. මම බණ ඇසීමට යන්නෙමි’යි කියා ගොස් බුදුන් වැඳ පිරිස් කෙළවර හුන්නේය.

බුදුපියාණෝ ඔහු දැක ඔහුට ගැළපෙන පරිදි පිළිවෙළ කථාව දේශනා කරමින්, දුක්ඛක්ඛන්ධ ආදී නොයෙක් ආකාරයෙන් කාමයන්ගේ දෝෂයද ලාමක බවද කිළුටු සහිත බවද ප්‍රකාශ කළහ. ඒ අසා සිටි මහාකාල තෙමේ, ‘සියල්ල හැරදමා යායුතුය, පරලොව යන්නෙකු සමඟ වස්තුද නෑයෝද පිටුපසින් නොයෙත්. මේ ගෘහවාසයෙන් මට වැඩක් නැත. පැවිදි වන්නෙමි’යි සිතා, මහජනයා බුදුන් වැඳ ගිය කල්හි බුදුන් ළඟට ගොස් පැවිද්ද ඉල්ලා සිටියේය. ඔබට කවුරුන් හෝ මේ බව දැන්විය යුත්තෙක් නැද්දැයි ඇසූ විට, ස්වාමීනි, මගේ බාල සොහොයුරා ඇතැයි කීවේය. එසේනම් ඔහුගෙන් අසා එන්නැයි බුදුහු වදාළහ. ඔහු එසේයයි කියා ගොස් සොහොයුරා ළඟට කැඳවා, දරුව, මේ සියලු සම්පත් ඔබම භාරගන්නැයි කීවේය. ‘සොහොයුර ඔබ කුමක් කරන්නෙහිද’ ‘මම බුදුන් සමීපයෙහි පැවිදි වෙමි’. චූළකාල ඔහුගෙන් නොයෙක් අයුරින් ඇවිටිලි කළ නමුත් නවතා ගනු නොහැකිව එසේනම් ඔබේ කැමැත්තක් කරගන්නැයි කිවේය. මහාකාල ගොස් බුදුන් ළඟ පැවිදි විය. මම සොහොයුරාත් සිවුරු හරවාගෙනම සිවුරු හරින්නෙමියි චූළකාලද පැවිදි විය.

පසු කලෙක මහාකාල හිමියෝ උපසම්පදාවද ලබා බුදුන් වෙත පැමිණ මේ සස්නෙහි ධුර කෙතෙක්දැයි විචාරා, බුදුරදුන් විසින් ධුර දෙකෙකියි වදාළ කල්හි, ස්වාමීනි, මම මහලුව පැවිදි වූ හෙයින් ග්‍රන්ථ ධූරය පිරීමට නොකැමැත්තෙමි, විදර්ශනාධූරය පුරන්නෙමියි රහත්බව දක්වා කමටහන් අසාගෙන සෝසානික ධුතාංගය (සොහොනෙහිම විසීම) සමාදන්ව රාත්‍රී ප්‍රථම යාමයගෙවී සියල්ලන් නින්දට වැටුණු පසු සොහොනට ගොස් අලුයම සියල්ලන් අවදිවීමට පෙර විහාරයට එති.

ඉක්බිති මිනී පුළුස්සන කාලි නම් සොහොන්පාලිකාවක් තෙරුන් හිඳින ඇවිදින තැන් දැක, මෙහි එන්නේ කවුද? ඔහු අල්ලා ගන්නෙමියි බැලූ නමුත් අල්ලා ගත නොහැකිව එක් දිනක් සොහොන්කුටිය තුළම පහනක් දල්වා දූපුතුන්ද රැගෙන ගොස් එක් පැත්තක සැඟවී සිටියාය. මැදුම් රැය එහි එන්නා වූ තෙරුන් දැක ළඟට ගොස් වැඳ ස්වාමීනි, මෙහි වසන්නේ ඔබදැයි විචාළාය. උපාසිකාව එසේය. ස්වාමීනි, සොහොනෙහි වසන්නහු විසින් (ඊට අදාළ) වත්පිළිවෙත් උගතයුතුය. තෙරුන්වහන්සේ, මම ඔබ කියන වතාවතක පිහිටන්නෙමියි නොකියා, උපාසිකාවනි, කුමක් කළ යුතුව ඇද්දැයි ඇසූහ.

ස්වාමීනි, සොහොනෙහි වසන්නහු විසින් එහි වසනබව සොහොන්ගොව්වන්ටද, විහාරයෙහි මහතෙරුන්ටද, ග්‍රාම භෝජකයාටද, දැන්විය යුතුය. කුමක් හෙයින්ද? ධනහිමියෝ සොරුන් පිටුපස පාපියවර ඔස්සේ (පදානුපදික) දුව එනවිට සොරු සුසානයෙහි බඩු දමා දුවති. ඉන්පසු මිනිස්සු සොහොනේ වැසියන්ට හිරිහැර කරති. මුලින් කී අයට කලින් කියා තිබූ කල්හි, අපි මේ පින්වතා මෙතෙක් කලක පටන් මෙහි වසන බව දන්නෙමු. මේ සොරෙක් නොවේයයි තාඩන පීඩන වළකාලති. එහෙයින් ඔවුන්ට දැන්වීම වටනේය. වෙන කුමක් කළ යුතුද? කුසීත නොවියයුතුය. පටන්ගත් වීර්යයෙන් යුක්ත විය යුතුය. කපටි කෛරාටික මායාකාරයකු නොවී යහපත් අදහසින් විසිය යුතුය. සවස සියල්ලන් නින්දට ගිය පසු විහාරයෙන් ආයුතුය. උදේ සියල්ලන් අවදි වීමට ප්‍රථම විහාරයට යායුතුය. ස්වාමීනි, ඉතින් ඔබවහන්සේ මෙහි මේ අයුරින් වසනසේක් නම් ඔබවහන්සේගේ පැවිදිකිස මුදුන් පමුණුවා ගතහැකි වන්නේය.

ස්වාමීනි. මළසිරුරු ගෙනවුත් මෙහි දැමු පසු මම එය කම්බිලිකුළුගෙයක් මත තබා සුවඳමල් ආදියෙන් සත්කාරකොට පිළිස්සීම කරන්නෙමි. එසේ පිළිස්සිය නොහැකි නම් චිතකය දල්වා උලෙන් ඇණ ඇද බැහැරට ගෙන පොරොවෙන් කොටා කැබලිකැබලිවලට කපා ගින්නෙහි බහා දවාලන්නෙමි’යි කීවාය. තෙරණුවෝ යහපත නැගණිය, එක් මිනියක රූපාරම්මණයක් ගතහැකි විටක මට එය කියන්නැ’යි කීහ. ඈ මැනවයි පිළිගත්තාය.

තෙරණුවෝ මෙසේ මනාප පරිදි සොහොනෙහි ශ්‍රමණධර්මය පුරති. චූළකාල නිරන්තරයෙන් මහත් උනන්දුවෙන් ගේදොර ගැන සිතයි. අඹුදරුවන් සිහි කරයි. මගේ සොහොයුරා බැරෑරුම් දෙයක් කෙළේයයිද සිතයි. ඉක්බිති දිනක එක් කුලදුවක් හදිසියේ එකෙණෙහි හටගත් රෝගයකින් සවස් යාමයෙහි මලානික නොවී ක්ලාන්ත නොවී කළුරිය කළාය. ඇගේ නෑදැයෝ තෙල්දර ආදියද රැගෙන සවස් යාමයේම සොහොනට ගෙනගොස්, මැය දවාලන්නයි සුසානගෝපිකාවට කුලිය ගෙවා යන්ට ගියාහුය. සුසානගෝපිකාව මළ තැනැත්තියගේ පොරෝනා වස්ත්‍ර ඉවත් කොට එකෙණෙහිම මළ, අතිශයින් ප්‍රියමනාප වූ රන්වන් සිරුර දැක, මෙය ආර්යයන්වහන්සේට පෙන්වීමට සුදුසු අරමුණෙකි’යි සිතා ගොස් තෙරුන් වැඳ ස්වාමීනි, මෙබඳුවූ අරමුණක් ලැබී ඇත. ගොස් එය බලනු මැනවි’යි කීවාය.

තෙරණුවෝ මැනවැයි පිළිගෙන ගොස් පාරුණනය (පෙරවීම) ඉවත් කරවා පාදාග්‍රයේ පටන් කේශාන්තය දක්වා බලා, මෙය ඉතාමත් ප්‍රියමනාපය. රන්වන් සිරුරකි. මෙය ගින්නෙහි ලා මහගිනිදැලට හසු වූපසු මට දන්වන්නැයි කියා ස්වකීය ස්ථානයට ගියාහුය. සුසානගෝපිකාව එසේ කොට තෙරුන්ට දැන්වූවාය. තෙරණුවෝ ගොස් එය බැලූහ. ගිනිදැල් වැදුණු වැදුණු තැන්වල සිරුර කබරදෙනකගේ මෙන්විය. පා නැවී වකුටුවී එල්ලෙමින් තිබිණි. අත් දැවී වකුටුවී තිබිණි. නළලේ සමක් නැත. තෙරණුවෝ, මේ සිරුර දැන් මට බැලිය නොහැකි අතෘප්තිකර භාවයට, ක්ෂයබවට ව්‍යය බවට පත්වූයේයයි රාත්‍රීස්ථානයටගොස් වැඩහිඳ ක්ෂයව්‍යය ස්වභාව අනුව බලන්නාහු,

සකරහු වෙති අනිස්

උපදිනු නැසෙනු සිරිතය

ඉපදී නැසෙති ඔහු

ඔවුන් සන්සිඳවීම යහපති

යන ගාථාව කියමින් විදසුන් වඩා රහත්බවට පත්වූහ.

බුදුරජාණන්වහන්සේ භික්ෂූන් පිරිවරාගෙන චාරිකාවේ හැසිරෙන අතර සෙතව්‍ය නගරයට වැඩමවූහ. එහි සිංසපාවනයට පිවිසියාහුය. චූළකාලගේ භාර්යාවෝ බුදුන් වැඩමවූ බව අසා අපි අපේ ස්වාමියා ලබා ගන්නෙමුයයි පණිවුඩ යවා දානයක් සඳහා බුදුන්ට ආරාධනා කළාහුය. නුපුරුදු තැන්වලට බුදුන් වඩිනා කල්හි ආසන පැණවීම ආදි කටයුතු සඳහා එය කියා දීමට පළමුව එක් භික්ෂුනමක් යෑම සිරිතය. බුදුන් උදෙසා මධ්‍යයෙහි අසුනක් පණවා එයින් දකුණු පැත්තේ සැරයුත්තෙරණුවන්ටත් වම් පැත්තේ මුගලන්තෙරණුවන්ටත් ආසන පැණවිය යුතුවේ. ඉන්පසු දෙපස සෙසු සංඝයා උදෙසා අසුන් පැනවිය යුතුවේ.

එහෙයින් මහාකාල තෙරණුවෝ සිවුරු පෙරවන තැනදී ඔබ පළමුව ගොස් අසුන් පැනවීමට උපදෙස් දෙන්නැයි චූළකාල හිමියන් එහි පිටත් කළහ. චූළකාල දුටු වෙලේ පටන් ගෙදර සිටි අය ඔහු සමඟ කෙළිකවටකම් කරමින් මිටි ආසන සංඝස්ථවිරයන් සිටින තැනත් උස් ආසන සංඝනවකයන් සිටින තැන්වලත් පණවන්ටවූහ. චූළකාල, මෙසේ නොකරව. මිටි අසුන් මුලටත් උස අසුන් අගටත් නොපණවයි උපදෙස් දුන්නේය. ඒ ස්ත්‍රීහු ඔහුගේ වචන නෑසුණාක්හු මෙන් ‘ඇයි ආසන පැණවූවාම ඔබට කුමක් වෙයිද, ඔබ මොකද කරන්නේ, ඔබ පැවිදි වූයේ කාගෙන් අසාලාද, ඔබ මහණකෙළේ කවුද, මෙහි ආවේ මොකටද යයි කියකියා ඇඳි පෙරෙවි වස්ත්‍ර ගළවා දමා සුදුවස්ත්‍ර හන්දවා හිසමත මල්සුඹුලුවක් තබා, යව ගොස් බුදුන් වැඩමවාගෙන ඒව. අපි ආසන පණවම්හයි පිටත්කර යැවූහ.

දිගුකලක් භික්ෂුවක්ව, නොසිට වස් නොවසා උපැවිදිවූවෝ ඒ ගැන ලජ්ජාවීම නොදනිත්. එහෙයින් ඔහු ඒ හැටියෙන්ම නිසැකව ගොස් වැඳ බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා වැඩමවාගෙන ආවේය. භික්ෂු සංඝයා දන් වැළඳු පසු, මහාකාලගේ භාර්යාවෝ, මොවුහු තම සැමියා තම වසඟයට ගත්හ. අපිත් අපගේ සැමියා සිවුරු හරවා ගන්නෙමු’යයි සිතා දෙවෙනි දිනයේ දානයට ආරාධනා කළාහුය. එදින අසුන් පැණවීම් ආදියට වෙනත් භික්ෂුවක් පැමිණියේය. ඒ ස්ත්‍රීහු එවේලෙහි ඉඩක්නොලැබ බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා වඩාහිඳුවා දන් පිළිගැන්වූහ. චූළකාලට භාර්යාවෝ දෙදෙනෙකි. මජ්ඣිමකාලට සිව්දෙනෙකි. මහාකාලට අටදෙනෙකි. භික්ෂූහු දන්වළඳනු කැමැත්තෙන් වැඩහිඳ වැළඳූහ. පිටත යනු කැමැත්තෝ ගියහ. බුදුහු වැඩහිඳ වැළඳූහ.

උන්වහන්සේ දන් වළඳා අවසන් වූ පසු ඒ ස්ත්‍රීහු ස්වාමීනි, මහාකාල හිමියෝ අපට අනුමෝදනා කොට වඩිනු ඇති. ඔබවහන්සේ පළමුව වඩිනු මැනවයි කීහ. බුදුහු යහපතැයි වදාරා පළමුව වැඩියාහ. ගම්දොරට ගොස් භික්ෂූහු මෙසේ දොස් කීහ. බුදුහු මේ කුමක් කළාහුද? මෙය දැන දැනම කළාහුද, නැද්ද? ඊයේ චූළකාල පළමුව ගිය හෙයින් පැවිද්දට අනතුරු කර ගත්තේය. අද වෙනත් කෙනෙක් පළමුව ගිය හෙයින් එබඳු අනතුරුක් නොවීය. දැන් බුදුහු මහාකාල හිමියන් එහි නවතා ආවාහුය. මහාකාල සිල්වත්ය. ආචාර සම්පන්නය. ඔහුගේ පැවිද්දට අනතුරක් වේද නොවේද ආදී වශයෙනි.

බුදුහු ඔවුන්ගේ කතාව අසා නැවතී, මහණෙනි, තෙපි කුමක් ගැන කථා කරන්නහුදැයි ඇසූහ. ඔවුහු ඒ පුවත දැන්වූහ. කිමෙක්ද මහණෙනි, තෙපි මහාකාලත් චූළකාල වගේමයයි සිතන්නහුද? එසේය. ස්වාමීනි, චූළකාලට අඹුවෝ දෙදෙනෙකි. මහාකාලට අට දෙනෙකි. මේ අටදෙනාම වටකර ගත්තොත් ස්වාමීනි, මහාකාල මොනවා කරන්ටදැයි කීවාහුය. බුදුරජාණන්වහන්සේ. මහණෙනි, එසේ නොකියව්, චූළකාල නිතර නැගිනැගී සිට සුභාරම්මණ බහුලව බලයි. හෙතෙම පර්වත ප්‍රාන්තයක ඇති දුබල රුකක් මෙනි. මා පුත් මහාකාල අසුභවිහාරී පුද්ගලයෙකි. (හමු වන අරමුණු අශුභලෙස බලන) ඝන ශෛල පර්වතයක් මෙන් අචලයයි වදාරා මේ ගාථාද වදාළසේක:

අරමුණු සුබ ලෙසින් බලන

පස් ඉඳුරන් නොදැමුණු වූ

කෑමෙහි පමණ නොමදත්

කුසීත හළ විරියද ඇති

මිනිසා මර වසඟයට දුවයි

දුබල රුකක් සුළඟවැදී

ඉදිරි බිම වැටෙනා සේ.

අරමුණු අසුබ ලෙස බලනා

ඉදුරන් දමනය කරනා

අහරෙහි පමණ දන්නා

සැදැහැති වීරිය ඇත්තා

මරුගේ වසඟයට නොයයි

සුළඟින් නොසැලෙන කුළක් සේ.

ඒ ගාථාවල සුභානුපස්සිං විහරන්තං යනු සුභවාදීව ඉෂ්ටවූ අරමුණෙහි සිත විහිදුවා වාසය කරන්නහුය යන අර්ථයි. යම් පුද්ගලයෙක් අරමුණු නිමිති වශයෙන් ගනිමින් අනුඛ්‍යඤ්ජන (ලොකු කුඩා කොටස්) වශයෙන් ගනිමින් නිය ශෝභනය, ඇගිලි ශෝභනය,අත්පා, කෙණ්ඩා, කළවා. කටීපෙදෙස, උදරය, පයෝධර, ශ්‍රිවය, තොල්, දත්, මුහුණ, නාසය, ඇස්, කන්, බැම, නළල, කෙස් යන මේ අනුඛ්‍යඤ්ජනශෝභනයයි ගනීද, කෙස් ලොම් නිය දත් සම ශෝභනයයි ගනීද, වර්ණය පැහැපත්ය, සටහන ශුභයයිද ගැනීම සුභානුපස්සී නමි. ‘ඉන්ද්‍රියෙසුඅසංවුතං’යනු චක්ෂුරාදි ඉන්ද්‍රියයන්කෙරෙහි සංවර නොවූවාහුයි. චක්ෂුර්ද්වාරාදිය නොරකින්නාහු යි. සෙවීමෙහි ප්‍රමාණය, පිළිගැනීමෙහි ප්‍රමාණය වැළදීමෙහි ප්‍රමාණය යන මේ ප්‍රමාණයන් නොදන්නා හෙයින් භොජනම්හි අමත්තඤ්ඤුං භෝජනයෙහි ප්‍රමාණ නොදැනීම යන අර්ථයි.

තවද ප්‍රත්‍යවෙක්ෂණප්‍රමාණය, වියදම් කිරීමේ ප්‍රමාණය යන මේ මාත්‍රාවන් නොදැනීමද, අමත්තඤ්ඤු නම් වේ. මේ භෝජනය ධාර්මිකය, මෙය අධාර්මිකයයි නොදන්නාහුය. කාම-ව්‍යාපාද, විහිංසා, විතර්ක යන මොවුන්ට වශීභාවය හේතුකොටගෙන යන අර්ථයි. කුසීතං හීනවිරියං යනු කුසීතවූ වීර්යයනැත්තාවූ යන අර්ථයි. සතර ඉරියව්වේහි වීර්ය කිරීමක් නැති යන අර්ථයි. පසහති යනු මැඩ පවත්වයි, යටකර ගනියි යන අර්ථයි. වාතො රුක්ඛංච දුබ්බලං යනු දිය සිඳී ගිය ගංඉවුරකහටගත් දුබල ගසක් බලවත් වාතයකමඟින් ඉදිරි හැලෙන්නාක් මෙනි යන අර්ථයි.

ඒ එසේමය. ඒ මාරුතය එම වෘක්ෂයාගේ මල් කොළ අතු ආදිය යම්සේ විසුරුවා හරීද, වනසා දමයිද, කුඩා අතු බිඳදමාද, මහ අතුත් බිඳදමයිද, මුල් සහිත වූ ඒ රුක උදුරා හෙළා, මුල් උඩටත් අතු යටටත් සිටින සේ උඩුයටිකුරු කරයිද, එසේම මෙබඳු පුද්ගලයා ඇතුළත උපන්නාවු කෙලෙස්මරතෙමේ ඔහු අතිශයින්ම මැඩගනී. සැඩ සුළඟ දුබල වෘක්ෂයාගේ මල් කොළ ආදිය හෙළන්නාක් මෙන් ක්ෂුද්‍රානුක්ෂුද්‍රක (කුඩා කුඩා) ආපත්තීන්ට (වැරදිවලට) පැමිණවීමද කරයි. කුඩා අතු බිඳීම මෙන් ‘නිසගි’ආදී ඇවැත්වලට පැමිණවීමද කරයි. මහඅතු බිඳීම මෙන් තෙළෙස් සංඝාදිසේසාපත්තීන්ටද පමුණුවයි. ගස උදුරා මුල් උඩට අතු යටටපෙරළාලන්නාක් මෙන් පාරාජික ඇවතට පත්වීමද සිදු කරයි. ස්වාක්ඛාත ශාසනයෙන් බැහැරකොට කිහිප දිනකින්ම ගිහි බවට පමුණුවයි. මෙසේමේ ආකාර පුද්ගලයා කෙලෙස් මරතෙමේ තමාගේ යටතට ගන්නේය යනු අර්ථයි.

අසුභානුපස්සිං යනු දසඅසුභ අතුරෙන් එක්තරා අසුභයක් අනුවබලන්නාවූ, පිළිකුළෙන් මෙනෙහි කිරීමෙහි යෙදෙන්නා වූ කෙස් ලොම් නිය දත් සිවි වණසටහන් අසුභ වශයෙන් බලන්නාවූ යන අර්ථයි. ඉන්ද්‍රියෙසු යනු සයාකාර ඉන්ද්‍රියයන් කෙරෙහිය යනුයි. සුසංවුතං යනු නිමිති ආදිය ගැනීමෙන් වෙන්වූ, වසා දමනලද චක්ෂුරාදි දොරටු ඇති, පමණ නොදැනීමට ප්‍රතිපක්ෂ වූ, හෝජනයෙහි පමණ දන්නාවූ යන අර්ථයි. භොජනම්භිචමත්තඤ්ඤුංසද්ධං යනු කර්මයාගේද, ඵලයාගේද, ඇදහීම ලකුණුකොට ඇති ලෞකික ශ්‍රද්ධාවෙන්ද, බුද්ධාදි ත්‍රිවිධ වස්තූන් පිළිබඳ අචලප්‍රසාදය වූ ලොව්තුරු සැදැහැයෙන්ද යුක්ත වූ යන අර්ථයි. ආරද්ධ වීරියං යනු දැඩිව ගත් වීර්‍ය ඇති, පිරිපුන් වීර්යයයි. තංවෙ යනු එබඳු ආකාර ඇති පුද්ගලයායි. යම්සේ දුබල සුළඟක් සෙමින් වදිමින් ඒකඝන ශෛලපර්වතයක්සොලවන්ට අසමත්වෙයිද, එසේ අභ්‍යන්තරයෙහි උපදනා කෙලෙස් මාරතෙම එබඳු පුද්ගලයා වසඟ කරගන්නට අපොහොසත්වෙයි. කලඹන්ට සොලවන්ට නොහැකිවෙයි.

උන්වහන්සේගේ පැරණි (ද්විතීයිකා) දෙවැන්නියෝත් තෙරුන් පිරිවරා ඔබ කාගෙන් අසා පැවිදි වූයෙහිද, දැන් ගිහිවෙනවා නොවේද ආදිය අසමින් හැඳ සිටි කහවත් පැහැර ගනු කැමති වූහ. තෙරණුවෝ ඔවුන්ගේ අදහස් දැනගෙන හුන් අසුනින් නැගිට ඍද්ධියට පැනනැග කුළුගෙහි කැණිමඩල බිඳගෙන අහසින් අවුත් බුදුන් දෙසමින් සිටි ගාථාව කෙළවරකරන විටම බුදුන්ගේ රන්වන් සිරුරට ස්තූති කරමින් බැස බුදුන්ගේ පා වැන්දේය.

ගාථා කෙළවර පැමිණි භික්ෂුහු සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.