1-12 දොළොස්වන දෙව්දත් තෙරුන්ගේ වස්තුවයි.

ඉධ තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්‍ථ තප්පති

පාපං මෙ කතන්ති තප්පති භිය්‍යො තප්පති දුග්ගතිං ගතො.

පව් කරන සුලු පුද්ගල තෙමෙ මෙ ලොව දී (කර්‍මසන්තාපයෙන්) තැවෙයි. පරලොව දී විපාකසන්තාපයෙන් තැවෙයි. දෙලොව දී ම තැවෙයි. ම විසින් පව් කරන ලදැයි (මෙලොව දී) තැවෙයි. දුගතියට ගියේ (අනිෂ්ට විපාක සන්තාපයෙන්) බෙහෙවින් තැවෙයි.

‘ඉධ තප්පති’ ආදි මේ ධර්මදේශනාව බුදුන් දෙව්රම වසන කාලයෙහි දෙව්දත්තෙරුන් අරභයා දේශනා කරන ලදි.

දේවදත්ත වස්තුව - පැවිදි වූ කාලයේ පටන් පොළොව පලාගෙන පෘථිවිය තුළට පිවිසීම දක්වා වූ දෙව්දත් අරභයා කියනලද සියලු පුවත් ඇතුළු ජාතකකථා විස්තර වශයෙන් දක්වා ඇත. මෙහි දැක්වෙන්නේ ඒ විස්තරයෙහි කෙටි කිරීමකි.

මල්ලරජදරුවන් සතු අනුපිය නම් නියම්ගමක් විය. බුදුරජාණන්වහන්සේ ලක්ෂණ ප්‍රතිග්‍රහණ (ශරීර ලකුණු ප්‍රකාශ කළ) දිනයෙහිම අසූදහසක් නෑයන් විසින් රජවුවත්, බුදුවුවත් ක්ෂත්‍රියයන් පිරිවරා හැසිරෙන්නේ යයි අසූදහසක් කුමාරවරු ප්‍රතිඥා දුන්හ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පැවිදි වූ කල්හි, භද්දිය රජය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන මේ ශාක්‍ය පුත්‍රයන් සදෙන පැවිදි නොවී සිටිනු දැක, අපි අපේ පුතුන් පැවිදි කරවීමු. මේ ශාක්‍යයෝ සදෙන නොනෑයෝය. ඔවුන් පැවිදි නොවන්නේ එහෙයිනැයි හඟිමු යන ආකාරයේ කතාවක් ඉපැදවූහ.

ඉක්බිති මහානාම ශාක්‍යතෙම අනුරුද්ධ කුමරුන් වෙත ගොස් සොහොයුර, අපගේ කුලයෙන් (පවුලෙන්) පැවිදි වූවෙක් නැත. එහෙයින් ඔබ හෝ පැවිදි වියයුතුය, නැතහොත් මා හෝ පැවිදි වියයුතුයයි කියා සිටියේය. ඒ කුමරා මහත් ධනසම්පත් ඇත්තෙකි. සියුමැලි කෙනෙකි. ඔහු කිසිදාක නැත යන වචනය අසා නැත. දිනක් ඒ ක්ෂත්‍රිය කුමාරවරු සදෙනා එක්ව (කැවුම්වලට ඔට්ටු අල්ලා) පන්දු ක්‍රීඩාවෙහි යෙදී සිටියහ. අනුරුද්ධ පන්දු ක්‍රීඩාවේදී කැවුමෙන් පැරදුණේය. තවත් කැවුම් ගෙනෙන්නැයි මව වෙත පණිවුඩකරුවෙකු යැවීය. මව තවත් කැවුම් පිස ඒව්වාය. කුමාරවරු කැවුම් කා තවත් ක්‍රීඩා කළාහුය. නැවත නැවතත් අනුරුද්ධ කුමරුට පරාජය හිමිවිය. මෙසේ තුන්වරක්ම ඔහුගේ මව කැවුම් තනා එව්වාය. සිව්වෙනි වාරයේදී කැවුම් නැතැයි පණිවුඩයක් යැවුවාය.

අනුරුද්ධ කුමරා නැත යන වචනය මින්පෙර අසා නොතිබුණු හෙයින් නැති කැවුම් (නත්ථිපුවෙ) යනුද තවත් කැවුම් විශේෂයකියි සිතා, නැති කැවුම් එවන්නැයි පණිවුඩකරු අත කියායැවුවේය. ඔහු ගොස් ආර්යාවනි, නැතිකැවුම් දෙන්නැයි කී පසු මගේ පුතා නැත යන වචනය අසා නැත. දැන් ඔහුට එය එක් උපායකින් උගන්වන්නෙමියි එක් හිස් රන්තලියක් ගෙන තවත් තලියකින් එය වසා පුතා වෙත යැවුවාය.

නගරාරක්ෂක දෙවියෝ ඒ දැක මෙසේ සිතූහ. අනුරුද්ධ ශාක්‍යකුමරා මින් පෙර ආත්මයකදී අන්නභාර නමින් උපන් කාලයකදී තම බත් කොටස උපරිට්ඨ නම් පසේබුදුන්ට දන්දී, මට නැත යන වචනය අසන්ට නොලැබේවා, බොජුන් උපදින තැන් ගැන දැනීමක් පවා නැතිවේවායි ප්‍රාර්ථනයක් තැබීය. යම් හෙයකින් මේ කුමරා හිස් තළියක් දැක්කොත් (එය නොවැළැක්වීමේ වරදට) අපට දිව්‍යසභාවට ඇතුළුවීමට ඉඩක් නොලැබෙයි. අපේ හිස්ද සත්කඩකට පැලීයනු ඇතැයි සලකා ඒ තළිය දිව්‍යමය කැවුමෙන් පුරවාලූහ.

ඒ රන්තැටිය ක්‍රීඩාමණ්ඩපයෙහි තබා වැසුම් හැරිපමණින් කැවුම් සුවඳ මුළු නගරය පුරා පැතිරී ගියේය. එයින් කැවුම් කෑල්ලක් කටේ තැබූ පමණින් සත්දහසක් රසනහර පිරී පිනා ගියේය. අනුරුද්ධ කුමරාමෙසේ සිතීය. මම මගේ මවට ප්‍රියයෙක් නොවෙමි. මෙතෙක් කල් මේ නැතිකැවුම් පිස නොදුන්නේ ඒ නිසා වියයුතුය. මෙයින් පසු නම් මම අනිත් කැවුමක් නොකන්නෙමි. මෙසේසිතා ගෙට ගොස් මවගෙන් මෙසේ ඇසුවේය. මෑණියනි, මා ඔබට ප්‍රියද? අප්‍රියද?

දරුව, එක් ඇසක් ඇත්තහුට ඒ ඇස මෙන්ද ස්වකීය හදවත මෙන්ද ඔබ මට ප්‍රියයි. මෑණියනි, එසේ නම් කුමක් හෙයින් මෙතෙක් කල් මට මේ නැති කැවුම් පිස නොදුන්නෙහි ද? ඕතොමෝ උපස්ථායකයාගෙන් දරුව, තැටියෙහි යමක් ඇද්දැයි ඇසුවාය. ආර්යාවනි, තැටිය කැවුමෙන් පිරී ඇත. මා නම් මෙබඳු කැවුම් මින්පෙර කිසි විටෙකත් දැක නැත. ඕතොමෝ මෙසේ සිතුවාය. මගේ පුතා පින් ඇති, කළ ප්‍රාර්ථනා ඇත්තකුම වියයුතුය. මේ කැවුම් තැටිය දෙවියන් විසින් පුරවා යවන ලද්දේ වියයුතුය.

පුතා අම්මාට මෙසේ කීවේය. මැණියනි, මම මෙවක් පටන් වෙනත් කැවුමක් නම් නොකන්නෙමි. නැතිකැවුම්ම පිසිනු මැනවි. ඕතොමෝද එවක් පටන් කැවුම් කනු කැමැත්තෙමියි කීකල හිස් තැටියක් තවත් හිස්තැටියකින් වසා ඔහු වෙත යැවුවාය. මෙසේ ගිහිගෙයි සිටිනතාක්ම ඔහුට දෙවියෝම දිවකැවුම් යැවුවාහ. මෙපමණකුත් නොදන්නා ඔහු පැවිද්ද නම් කුමක්දැයි කෙසේ දැනගන්නේද? එහෙයින් පැවිද්ද නම් කුමක්දැයි සොහොයුරාගෙන් විමසා, කෙස් රැවුල් කපා, කහවත් දරා, දඩුමැස්සක හෝ වේවැල් ඇඳක හෝ නිදාගෙන, පිඬු පිණිස හැසිරෙන්නකු වියයුතුය. පැවිද්ද නම් මේයයි කීකල්හි, සොහොයුර, මම සිවුමැලි වෙමි. මට පැවිදි විය නොහැකියයි කීවේය.

සහෝදරය, එසේ නම් කර්මාන්ත ඉගෙන ගිහිගෙයි වසව. අප දෙදෙනාගෙන් එකෙකු පැවිදි නොවී සිටිනු බැරියයි කීකල්හි, මේ කර්මාන්තයයි කියන්නේ කුමක්දැයි විචාළේය. බත් උපදනා තැනවත් නොදන්නා මේ කුලපුත්‍රයා කර්මාන්ත නම් මොනවාදැයි කෙසේ දැනගන්ටද? දිනක් මේ කුමාරවරුන් තිදෙනා අතර බත් උපදින තැන ගැන කථාවක් ඇතිවිය. බත් උපදින්නේ වීකොටුවෙහි (වී රැස්කර තබන බිස්සට) යයි කිම්බිල කීවේය. භද්දිය ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. ඔබ බත් උපදින තැනවත් නොදන්නෙහිය. බත් උපදින්නේ සැළියෙහියයි ඔහු කියාසිටියේය. අනුරුද්ධ මෙසේ කීවේය. ඔබ දෙදෙනාම බත් උපදින තැන නොදන්නහුය. බත් උපදින්නේ රනින් කළ නෙළුම්මල් හා මල් කැකුළු ඇති රන්තළියේ යයි ඔහු කියා සිටියේය.

ඔවුනතුරෙන් කිම්බිලකුමරා එක් දිනක කොටුගුලෙන් පහතට වී බාගන්නා හැටි දැක, මේ වී තොටුගුලෙහිම හටගන්නට ඇතියි සිතාගත්තේය. භද්දිය දිනක් හැළියකින් බත් බෙදනු බලා සිට බත් උපදින්නේ සැළියෙනියි සිතා ගත්තේය. අනුරුද්ධ වී කොටනු දැක නැත. බත් බෙදන හැටිද දැක නැත. ඔහු දැක ඇත්තේ බත් බෙදා ඇති තළිය තමන් ඉදිරියේ තබනහැටි පමණකි. කනුකැමති වේලාවෙහි තැටියෙහි බත් හටගන්නේයයි ඔහු අදහස් කරගෙන සිටියේය. මෙසේ ඒ තිදෙනාම බත් උපදනා තැන නොදැන සිටියාහ.

එහෙයින් මේ අනුරුද්ධ තෙමේ කර්මාන්තයයි කියන්නේ මොනවාදැයි විචාරා, ඒ සඳහා පළමුව සීසෑව යුතුය යනාදී අවුරුදු පතා කළයුතු කටයුතු සම්භාරය ගැන අසා, කවදා නම් මේ කර්මාන්තයන්ගේ කෙළවරක් දැක්ක හැකිද? කවදා නම් අපි උත්සාහයෙන් වැඩ කරන්නන් බවට පත්වී භෝගසම්පත් වළඳන්නෙමුදැයි කියා කර්මාන්තයන්ගේ කෙළවරක් දැක්ක නොහැකි බව කීපසු, එසේ නම් ඔබම ගිහිගෙයි වසනු මැනව. මට මෙයින් වැඩක් නැතැයි මව ළඟට ගොස්, මෑණියනි, මට පැවිදි වීමට අවසර දෙනු මැනවැයි ඉල්ලා සිටියේය. මව ඒ ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්ෂේප කොට, ඉදින් ඔබේ යහළුවූ භද්දිය රජු පැවිදි වන්නේ නම් ඔහුත් සමඟ ඔබත් පැවිදි වන්නැයි කීවාය.

අනුරුද්ධ කුමරා ඒ අසා භද්දිය ළඟට ගොස්, මිත්‍රය, මාගේ පැවිද්ද ඔබ හා බැඳී ඇත, ආදි නොයෙක් ඇවිටිලි කියා එතැන සිට ඉදිරියෙහි එන සත්වෙනි දිනයෙහි තමාත් සමඟ පැවිදිවීමට ගිවිස ගත්තේය. ඉක්බිති භද්දිය ශාක්‍ය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත හා උපාලි කපුවාත් සමඟ ක්ෂත්‍රියයෝ සදෙන දිව්‍ය සම්පත් සමාන රජසැප සත්දිනක් පුරා වින්දනයකොට උයනට යන්නාක්හු මෙන් සිවුරඟ සෙනඟ පිරිවරා නික්මී අන්‍ය රජුන්ගේ පෙදෙසකට පැමිණ ඒ ප්‍රදේශ රජුන්ගේ අණපරිදි සේනා නවත්වා ඒ රටට පිවිසියහ. එහිදී ක්ෂත්‍රියයෝ තමතමන්ගේ ආභරණ ගළවා පොදියක් කොට, උපාලි අමතා, යහළු උපාලිය දැන් ඔබ නවතින්න. මේ ආභරණ ඒකාන්තයෙන්ම ඔබේ ජීවිකාව පිණිස සෑහෙන්නේයයි කියා ඒ සියල්ල ඔහුට දුන්හ. උපාලි ඔවුන්ගේ පාමුල වැටී හඬාවැලපී ඔවුන්ගේ නියෝගය ඉක්මවිය නොහැකි හෙයින් නැගිට නැවතුණේය. ඔවුනොවුන් දෙකඩ වූ කල වනය හඬා වැටෙන්නාක් මෙන්ද පොළොව කම්පාවී සැලෙන්නාක් මෙන්ද දැනෙන්නට විය.

උපාලි කපුතෙමේ මදක් නැවතී සිට මෙසේ සිතීය, මේ ශාක්‍යයෝ නම් චණ්ඩයෝය. මොහු විසින් මේ ශාක්‍යකුමරුවන් නසා දමන්නට ඇතැයි (සැකඋපදවා) මා නසා දමනු ඒකාන්තය. මේ ශාක්‍ය කුමාරවරුන් මේසා විශාල රජ සම්පත් හැර දමා, මේ අගනාවූ ආභරණ කෙළපිඬක් සේ සලකා හැරදමා පැවිදි වන්නාහුය. දැන් මා විසිනුදු පැවිදි නොවීමට හේතුවක් නැතැයි සිතා ආභරණ පොදිය මුදා ඒ ආභරණ ගසක එල්වා කැමති කෙනෙක් ගනිත්වායි කියා, කුමාරවරුන් ළඟට ගොස් සිටි කල්හි කුමාරවරු, උපාලි ඔබ නැවතුණෙහිදැයි ඇසූහ. ඔහු සියලු පුවත් දන්වා සිටියේය. ඉන්පසු කුමාරවරු ඔහුත් රැගෙන බුදුන් වෙත පැමිණ ස්වාමීනි, අපි මාන්නයෙන් උඩඟුවූ ශාක්‍යයෝ වම්හ. මේ උපාලි බොහෝ කලක පටන් අපේ මෙහෙකරුය. පළමුකොට මොහු පැවිදි කළ මැනවි. ඉන්පසු අපි මොහුට වැඳීම් පිදීම් ආදිය කරන්නෙමු. එයින් අපේ මාන්නය නැතිවී යන්නේයයි කීවාහුය.

උපාලි පළමුව පැවිදි විය. අනතුරුව කුමාරවරු පැවිදි වූහ. ඔවුනතුරෙන් භද්දිය ඒ කාලය අතරතුරම ත්‍රිවිද්‍යාප්‍රාප්තයකු විය. ආයුෂ්මත් අනුරුද්ධ හිමියෝ දිවැස් ලබා පසුව මහාපුරිසචිතක්ක සූත්‍රය අසා රහත්වූහ. ආනන්ද ආයුෂ්මතුන්වහන්සේ සෝවාන් ඵලයෙහි පිහිටියෝය. භගු කිම්බිල දෙදෙන මෑත භාගයෙහි විදසුන් වඩා රහත්බවට පැමිණියහ. දෙව්දත් තෙමේ පුහුදුන් විසින් පැමිණිය හැකි සෘද්ධියකට පැමිණියේය.

බුදුරදුන් කොසඹෑ නුවර වාසය කරන කල්හි ශ්‍රාවක සංඝයා සහිත තථාගතයන්වහන්සේට මහත්වූ ලාභසත්කාර උපන්නේය. වස්ත්‍ර බෙහෙත් ආදිය රැගත් මිනිස්සු විහාරයට අවුත් බුදුරදුන් කොහිද, සැරියුත් තෙරණුවෝ කොහිද, මුගලන් තෙරණුවෝ කොහිද, මහාකසුප් තෙරණුවෝ කොහිද, භද්දිය තෙරණුවෝ කොහිද, ආනන්ද තෙරණුවෝ කොහිද, භගු තෙරණුවෝ කොහිද, කිම්බිල තෙරණුවෝ කොහිද ආදි වශයෙන් අසූමහාශ්‍රාවකයන් හිඳිනා තැන් බලමින් හැසිරෙති. දෙව්දත් මෙසේ සිතීය. මමත් මොවුන් සමඟම පැවිදිවීමි. මොවුහුද ක්ෂත්‍රිය පැවිද්දෝය. මමත් ක්ෂත්‍රිය පැවිද්දෙක්මි. ලාභ සත්කාර රැගත් මිනිස්සු මොවුන් ගැන පමණක් සොයති. මගේ නමවත් කියන කෙනෙක් නැත. කවරකු හෝ පහදවා කවරකු හා එකතුවී මාත් ලාභසත්කාර සොයාගත යුතුය. ඔහුට මෙබඳු අදහසක් පහළවිය. මේ බිම්බිසාර රජු බුදුන් පළමුවර දැකීමෙන්ම එකොළොස් නහුතයක් සමඟ සෝවාන් ඵලයෙහි පිහිටියේය. දැන් මොහු සමඟ එක්වීමට නොහැකියි. කොසොල් රජු සමඟද නොහැකිය. බිම්සර රජපුත් මේ අජාසත්කුමරු කාගේවත් ගුණදොස් නොදනී. මොහු සමඟ එක්වන්නෙමියි සිතා කොසඹෑ නුවරින් රජගහනුවරට ගියේය.

එහිදී කුමාර වේෂයක් මවාගෙන සර්පයන් සතර දෙනෙක් අත්පාවලද, තවත් එකෙක් බෙල්ලෙහිද, තවත් එකෙක් හිසේ චුම්බටකයක් (සුම්බරයක්) ලෙසටද, තවත් එකෙක් ඒකාංශ කොටද යන මේ සර්ප පළදනාවෙන් සැරසී අහසින් ගොස් බිමට බැස අජාසත්කුමරුගේ උකුළෙහි හිඳගත්තේය. බියවූ කුමරා තෝ කවරෙක්දැයි ඇසූ කල මම දේවදත්තයයි කියා කුමරාගේ බිය දුරුකිරීම සඳහා ඒ ආත්මභාවය හැරදමා පාත්‍ර සිවුරු දරා ඉදිරියෙහි සිටගෙන ඔහු පහදවා ලාභසත්කාර ලැබීය.

ලාභසත්කාරයෙන් වැඩී ඔදවැඩුණ සිත් ඇති ඔහුට මම භික්ෂුසංඝයා පරිහරණය (පාලනය) කරන්නෙමි යන පවිටු අදහසක්ද ඇතිවිය. ඒ පව්කාර සිත උපදිනවාත් සමඟම ලබාතිබූ පුහුදුන් සෘද්ධියෙනුත් පිරිහී ගියේය. ඉන්පසු වේළුවනාරාමයෙහි රජුන් සහිත පිරිසට දහම් දෙසමින් සිටි බුදුරදුන් වෙත ගොස් වැඳ අසුනෙන් නැගිට දෙඅත් බැඳ වැඳගෙන ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ දැන් මහලුය. උත්සාහයෙන් වැඩ කළ නොහැකිය. එහෙයින් සැපසේ විවේකීව වසනු මැනවි. මම භික්ෂු සංඝයා පරිපාලනය කරන්නෙමි. මට භික්ෂු සංඝයා පවරා දෙනු මැනවැයි කියා සිටියේය. ඉන්පසු බුදුන් විසින් අවමන් සහිතව ගරහා ඔහුගේ අදහස ප්‍රතික්ෂේප කළ කල්හි, එයින් කුපිතව බුදුන් කෙරෙහි (මේ ආත්මයේදී) පළමුවරට වෛර බැඳ නැගිට ගියේය.

ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ රජගහනුවරදී ඔහුට පකාසනිය කර්මය (මොහු මෙවන් වරදක් කර ඇත්තෙකියි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම) කරවූ සේක. හෙතෙම, දැන් මා ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් අත්හැර දමන ලද්දෙම් වෙමි. දැන් ඒ ශ්‍රමණයාට අනර්ථයක් කරන්නෙමියි අජාසත් වෙත පැමිණ, මෙසේ කීවේය. කුමාරයාණනි, පෙර කල නම් මිනිස්සු දීර්ඝායුෂ්ක වූහ. එහෙත් දැන් අල්පායුෂ්කයහ. යම් යෙහෙකින් ඔබ කුමාරයකු හැටියටම මිය පරලොව යාහැකිය යන මේ කරුණ සිදුවිය හැකිය. එහෙයින් කුමාරයාණනි, ඔබ පියා මරා රජබවට පත්වන්න. මම බුදුන් මරා බුදුවන්නෙමියි කියා සිටියේය.

ඒ කුමරු රාජ්‍යයෙහි පිහිටි කල්හි බුදුන් මැරවීම සඳහා මිනිසුන් යොදවා, ඒ මිනිස්සු බණ අසා සෝවාන් ඵලයට පැමිණ (බුදුන් නොමරා) නැවතුණු කල්හි දෙව්දත් ගිජුකුළුපව්වට නැගී, මම ශ්‍රමණභවත් ගෞතමයන් ජීවිතයෙන් තොර කරන්නෙමියි ගලක් පෙරළා ලෝහිතුප්පාදක කර්මය (බුදුන්ගේ සිරුරින් ලේ සෙලවීම) කොට ඒ උපායෙනුත් බුදුන් මරා දැමීමට නොහැකිව නැවත නාලාගිරි නම් ඇතාට රා පොවා බුදුන් වෙත මුදාහැරියේය.

ඒ ඇතු එන කල ආනන්ද තෙරණුවෝ ශාස්තෘන්වහන්සේ වෙනුවෙන් පෙනී සිට ජීවිතය පරිත්‍යාග කොට ඉදිරියට අවුත් සිටියෝය. බුදුහු ඇතු දමනය කොට නුවරින් නික්ම විහාරයට වැඩමවා නොයෙක් දහස් ගණන් උපාසකයන් විසින් පිළියෙළ කරනලද මහදන් වළදා එදවස රැස් වූ අටළොස් කෙළක් පමණ රජගහනුවර වැසියන්ට පිළි‍වෙළ කථාව වදාරා අසූහාර දහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය ලබාදුන්හ.

අහෝ පුදුමයි, අහෝ පුදුමයි, ආනන්ද තෙරණුවෝ මහා ගුණවතෙකි. එබඳු බිහිසුණු ඇතා එන විටත් තම දිවි පුදා බුදුන් ඉදිරියටවිත් සිටියහ. ආදි වශයෙන් කියනලද තෙරුන්ගේ ගුණකථාව අසා, මහණෙනි, දැන් පමණක් නොවෙයි. පෙරත් මේ තෙරණුවෝ මා වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළෝයයි වදාරා භික්ෂූන්ගේ ඉල්ලීම අනුව චුළහංස, මහාහංස, කක්කටක යන ජාතකයන්ද වදාළසේක.

රජුන් මැරවීම නිසා හෝ වධකයන් යැවීමෙන් හෝ ගල පෙරළීමෙන් හෝ නාලාගිරි ඇතු මෙහෙයවීමෙන් හෝ දෙව්දත්තෙරුන්ගේ පාපීක්‍රියා ප්‍රසිද්ධ නොවුණත් යම් කලක ඒ පාපී ක්‍රියා එනම්, රජුන් මැරවීම, වධකයන් යෙදවීම, ගල් පෙරළීම යන සියලු ක්‍රියා දෙව්දතුන්ගේමයයි මහජනයා විසින් දැනගන්නා ලද්දේ නාලාගිරි ඇතු යෙදවීමේ පුවතිනි. ඉන්පසු මහජනයා, අජාසත්රජු මෙබඳු මේ පවිටා සමඟ හැසිරේයයි අරගළ කළේය. රජු මහජනයාගේ කථාව අසා බත්සැළි පන්සියය බැහැර කරවා දමා නැවත ඔහුට (දෙව්දත්ට) උපස්ථාන පිණිස නොගියේය. නගරවාසීහුද තම ගෙදරට පැමිණි ඔහුට ආහාර ටිකක් පවා නොදුන්හ. ලාභසත්කාරයෙන් පිරිහුණු ඔහු කුහකකමින් ජීවත්වීමට කැමතිව බුදුන් හමුවට ගොස් පංචවස්තුවක් ඉල්ලා සිටියේය.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ දේවදත්තය, අවශ්‍ය නැත. කැමති කෙනෙක් ආරණ්‍යයෙහි වෙසෙත්වායි (එය අනිවාර්ය කිරීම)ප්‍රතික්ෂේප කළහ. (දෙව්දත් මෙසේ කීවේය.) ඇවැත්නී, වඩා සුදුසු කාගේ වචනයද? බුදුන්ගේද? මගේද? මම උත්කෘෂ්ට වශයෙන් මෙසේ කියමි. ස්වාමීනි, භික්ෂුහු දිවිහිමියෙන් ආරණ්‍යයෙහි වසන්නෝ, පිඩුසිඟීමෙන් යැපෙන්නෝ, පංශුකුල සිවුරු දරන්නෝ, රුක්මුල්වල වසන්නෝ, මත්ස්‍ය මාංශ නොබුදින්නෝ වන්නාහු නම් මැනවි. යමෙක් දුකින් මිදීමට කැමැත්තාහු නම් ඔවුහු මා සමඟ එත්වායි කියා පිටත්ව ගියේය.

දෙව්දත්ගේ කථාව අසා ඇතැම් මන්දබුද්ධික නවක පැවිද්දෝ ඔහු කියන්නේ යහපත් දේකැයි කියා ඔහු සමඟ යන්නෙමුයයි පිටත්ව ගියහ. ඔහු හා එක්වූහ. මෙසේ ඒ දෙව්දත්තෙමේ පන්සීයක් භික්ෂූන් සමඟ ඒ පංචවස්තුව ගැන කියමින් රූක්ෂප්‍රතිපදාවට පැහැදෙන ජනයා පහදවා ගනිමින් ගෙවල්වලට ගොස් එයම කියමින් වළඳමින් සංඝභේදයක් සඳහා උත්සාහ කළේය.

බුදුරජාණන්වහන්සේ, දේවදත්තය, ඔබ භික්ෂූන්ගේ සමඟිය නැතිකොට සංඝභේදයකට උත්සාහ කරන්නේය යන්න ඇත්තදැයි විචාරන ලදුව, එසේ යයි කීවේය. දේවදත්තය, මේ සංඝභේදය ඉතා බැරූරුම්ය, ආදි වශයෙන් අවවාද කරනලද නමුත් බුදුවදන් නොපිළිගෙන පලාගියේය. එහි ගොස් පිඬුපිණිස හැසිරෙන ආනන්ද තෙරුන්ට මෙසේ කීවේය.

ඇවැත් ආනන්දයෙනි, අද පටන් මම බුදුන්ගෙන් වෙන්ව භික්ෂූන්ගෙන් වෙන්ව පොහොය කරන්නෙමි. සංඝකර්ම කරන්නෙමි. ආනන්ද තෙරණුවෝ එම කරුණ භාග්‍යවතුන් වෙත දන්වා සිටියහ. බුදුහු එය දැන ධර්මසංවේගය උපදවා, දෙව්දත්තෙමේ දෙවියන් සහිත ලෝකයට අනතුරුදායකවූත් තමාත් අවීචියෙහි පැසවන්නාවූත් ක්‍රියාවක් කරන්නේයයි සලකා,

තමහට අහිත අයහපත් දේ සුවසේ කළ හැකියි

යමක් හිතවත් යහපත් නම් එය අමාරුම කටයුත්තකි

මේ ගාථාව වදාරා නැවත මේ උදානයද පැවැත්වූහ.

කළහැකි යහපත සත්ජනයාහට

පාපියාට එය දුෂ්කර වේ

පාපියාට පව ඉතා පහසුවේ

උතුමන්හට පවා දුෂ්කර වේමැයි.

ඉක්බිති දෙව්දත් තෙමේ පොහෝ දිනයෙහි තම පිරිසත් සමඟ එකත්පසෙක හිඳගෙන යමෙකුට මේ පංචවස්තුව රිසිවේ නම් ඔහු සලාක ගනීවා’යි කියා ධර්මස්වභාව නොදත් පන්සීයක් වජ්ජීපුතුන් විසින් සලාක ගන්නාලද කල්හි සංඝයා බිඳගෙන ඒ භික්ෂූන්ද රැගෙන ගයාශීර්ෂයට ගියේය. ඔහු එහි ගිය බව අසා ශාස්තෘන්වහන්සේ ඒ භික්ෂූන් හැරගෙන ඒම පිණිස දැගසව්වන් ගයාශීර්ෂයට යැවූසේක.

උන්වහන්සේලා එහි ගොස් කර්මාකර්ම දක්වා කරන දේශනාප්‍රාතිභාර්යයෙන්ද, සෘද්ධි ප්‍රාතිභාර්යානුශාසනාවෙන්ද අනුශාසනා කරමින් ඔවුන්ට අමෘතය පොවා අහසින් පැමිණියාහුය. කෝකාලික මහණතෙමේ, ඇවැත් දේවදත්තයෙනි, නැගිටුව. සැරියුත් මුගලන් දෙදෙනා විසින් ඔබේ භික්ෂු පිරිස රැගෙන ගියාහුය. ඇවැත්නී සැරියුත් මුගලන් දෙදෙනා කෙරෙහි විශ්වාස නොකරවයි මා ඔබට මින් පෙර කියාදෙන ලද්දේ නොවේද? සැරියුත් මුගලන් දෙදෙනා ලාමක අදහස් ඇත්තෝය. පාපකාරී අදහස්වලට වසඟවූවෝයයි කියා දණින් ළමැදට ගැසීය. දෙව්දතුන්ගේ මුවින් උණුලේ පිටවිය.

භික්ෂුසංඝයා විසින් පිරිවරනලදුව අහසින් එන්නා වූ ආයුෂ්මත් සැරියුත්තෙරුන් දැක භික්ෂුහු බුදුරදුන්ට මෙසේ දන්වා සිටියහ. ස්වාමීනි, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙහි තමා දෙවෙනි කොට ගියෝය. දැන් මහ පිරිසක් සහිතව එන ආකාරය ඉතා හොබනේය. බුදුරජාණන්වහන්සේ, මහණෙනි, දැන් මතු නොවෙයි. පෙර තිරිසන් යෝනියෙහි උපන්කලත් මගේ පුතා මා වෙත ආවේ ශෝභන ලෙසින්මයයි වදාරා:

සීලයෙන් පිරිපුන් පිළිසඳර පැවතුම් ඇති

සැම අයට දියුණුව නිතැතින්ම මෙන් සැලසේ

නෑයන් පිරිවරා එන ලක්ඛණ බලනු මැන

නෑයන් කෙරෙන් පිරිහී එන කාලද බලනු මැන

මේ ලක්ඛණමිග ජාතකය දේශනා කළ සේක. නැවත භික්ෂුන් විසින් ස්වාමීනි, දෙව්දත් දැගසවුවන් දෙපස හිඳුවා බුද්ධ ලීලාවෙන් දහම් දෙසන්නෙමියි, ඔබවහන්සේ අනුකරණය කෙළේයයි කියනලදකල්හි මහණෙනි, දැන් මතු නොවෙයි, පෙරත් මේ තෙමේ මට සමාන ක්‍රියාකරන්ට වෑයම් කළත් එය කරනු නොහැකි වූයේමයයි වදාරා:

පින්වත් වීරකය බලව මියුරු හඬනා

මොනර ගෙළ පැහැ ඇති සවිට්ඨක නම් මගේ සැමියා

දිය ගොඩෙහි හැසිරෙන

අමුමස් බුදින විහඟෙකු

අනුකරණය කරන්නට

වෑයම් කළ සවිට්ඨක

ජලාසයෙ සෙවෙලෙහි

පැටලීමෙන් මිය ගියා

මෙසේ වීරක ජාතකාදියද වදාරා තවත් දිනවලදී එබඳුම වුකථාවක් අරභයා:

මොහු ඉඹුල් එරබදු ඈ නිසරු රුක් විඳිමින් ඇවිදිනත්

කෑරලූ හරගසටම තබයි හොට

හිසමොළද තාගේ නික්මිණි හිසද පැළුණේ

ඉලඇටත් බිඳුණා අද ඔබ හොඳින් දිස් වේ

මේ කන්දගලක ආදි ජාතකයන්ද වදාළසේක. යළිඳු දෙව්දත් කළගුණ නොසලකන්නෙක යනාදි කථාවක් අරභයා:

අපි සියලු බලයන් ඔබේ වැඩටම යෙදුවෙමු

ඔබට නමදින්නෙමු අපට කිසිවක් ලදොත් මැනවි

ලේමස් බුදින නිති කුරිරු වූ වැඩ කරනා

මා දත් අතර වැදජීවත්වීම අරුමෙකි

යනාදි ජවන සකුණ ආදි ජාතකයන්ද වදාළසේක. නැවත මේ දෙව්දතුන් වධය පිණිස ගන්නා ලද උත්සාහය අරභයා:

දෙමටරුක ඔබ මා

ඉදිරියට ගෙඩි විසුරුවන්නෙහි

කුරුඟමිග නම් ලත් මා

එකරුණ හොඳින් දත්තෙමි

ඔබේ ගෙඩි මට රුචි නැත

වෙන ගසක් වෙත ඉතින් යන්නෙමි

යන මේ කුරංගමිග ජාතකාදියද වදාළහ. මෙසේ රජගහනුවර වාසය කරන කාලයෙහි දෙව්දත් ලාභසත්කාරවලිනුත් ශ්‍රමණ ගුණදහම්වලිනුත් යන දෙපැත්තෙන්ම පිරිහුණේය, යන කථා පවතිද්දී, මහණෙනි, දැන් මතු නොවෙයි, පෙරත් මේ තෙමේ පිරිහුණේම යයි වදාරා:

දෙඇස් බිඳුණා රෙදිත් නැති විය

ගෙදර බිරිඳගෙ අඬදබර ඇත

ගොඩත් කුඹුරෙත් කරපු ගොවිතැන්

සහමුලින් වැනසිලා ගොස් ඇත

යන මේ උභතොහට්ඨ ජාතකාදියද වදාළහ. මෙසේ බුදුරදුන් රජගහ නුවර වාසය කරන කාලයෙහි දෙව්දතුන් අරභයා බොහෝ ජාතකකථා වදාරා රජගහ නුවරින් සැවැත් නුවරට ගොස් දෙව්රම් වෙහෙර වස් විසූසේක. දෙව්දත් තෙමේත් නවමසක් ගිලන්ව සිට පසුකලක බුදුන් දකිනු කැමතිව තම ශ්‍රාවකයන්ට ඒ බව කීවේය. මම බුදුන් දකිනු කැමැත්තෙමි. මට උන්වහන්සේ දක්වව්යයි කීකල්හි ඔබ පුළුවන් කාලයෙහි බුදුන් හා වෛරියක්ව සිටියෙහිය. අපි ඔබ එහි ගෙනනොයන්නෙමු යයි කීකල්හි, මා නොනසව්. මම බුදුන් කෙරෙහි වෛර කෙළෙමි. ශාස්තෘන්වහන්සේ මා කෙරෙහි කෙසඟක් පමණවත් වෛරයක් නැත. ඒ භාග්‍යවතුන්වහන්සේ වනාහි:

වධක දෙව්දතුන් සොර අඟුල්මල් කෙරෙහිත්

දනපල් රහල් සැමවෙත සමමෙතයි හැම තැනම පෑවේ

මෙසේ කියමින් මට ඒ බුදුන් දක්වව්යයි නැවත නැවතත් ඉල්ලා සිටියේය. ඉන්පසු ඔවුහු අදත් ඇඳක තබාගෙන පිටත්වූහ. දෙව්දතුන්ගේ පැමිණීම අසා භික්ෂූහු ඒ බව බුදුරදුන්ට දැන්වූහ. භාග්‍යවතුන්වහන්ස, ඔබවහන්සේ දකිනු පිණිස දෙව්දත් මෙහි එතියි කීහ. මහණෙනි, දෙව්දතුන්ට මේ ආත්මයේදී මා දකිනු නොහැකියයි බුදුහු වදාළහ. භික්ෂූන්ට පංචවස්තූන් ඉල්ලු කලපටන් බුදුන් දක්නට නොලැබීම ධර්මතාවකැයි වදාළහ. භික්ෂූහු ස්වාමීනි, දැන් අසවල් තැන දක්වා ආවේය ආදි වශයෙන් ගමන ගැන විස්තර දන්වා සිටියහ. කැමැත්තක් කෙරේවා, එහෙත් ඔහුට මා දකින්ට නම් නොලැබේයයි වදාළහ. ස්වාමීනි, දැන් මෙහි සිට යොදුනක්, යොදුන් භාගයක් ගව්වක්, දෙව්රම පොකුණ දක්වා පැමිණියේයයි තොරතුරු වූහ. ඉදින් ඔහු ජේතවනය ඇතුළටම ආවත් මා දක්නට ලැබෙන්නේ නැතැයි වදාළහ.

දෙව්දත් රැගෙන ආ පිරිස දෙව්‍රම පොකුණු ඉවුරට පැමිණ මැස්ස එහි තබා නෑම පිණිස පොකුණට බැස්සාහ. දෙව්දත් තෙමේද ඇඳෙන් නැඟිට දෙපා බිම තබා හුන්නේය. හෙතෙම පිළිවෙළින් ගොස් ඇටය, දණහිස, උකුළ, තනමඩල, ගෙළ දක්වා පොළොවේ ගිලී හකුඇටය භූමියෙහි පිහිටි කල:

දෙවියන්ට දෙවිවූ පුරුෂ දමනෙහි රියැදුරන්වූ

සමතැසින් යුතුවූ සිය ගණන් පින් ලකුණු ඇතිවූ

උතුම් පුද්ගල වූ බුදුනැණවලින් පිරිපුන්

මෙකියන ගුණවලින් හෙබි බුදුරදුන් මම සරණ යන්නෙමි

යන මේ ගාථාව කීවේය. මේ කරුණ (කවදා හෝ බුදුන් සරණ යාම) දැක බුදුරජාණන්වහන්සේ දෙව්දත් පැවිදිකළසේක. යම්හෙයකින් ඔහු පැවිදි නොකළාහුනම් ගිහියෙක්ව හෝ (පසේබුදු වීමට) උපනිශ්‍රය සම්පත් ලැබීමට නොහැකි වන්නේය. පැවිදිවී ආනන්තර්ය වැනි කර්ම කළත්, මතු භවයකදී කවදා හෝ උපනිශ්‍රය සැපතක් ලැබීමට කිසියම් කර්මයක් කර ගැනීමට හැකි වන්නේය යන කරුණු සලකා භාග්‍යවතුන්වහන්සේ ඔහු පැවිදි කළහ. දෙව්දත් මෙයින් කල්ප ලක්ෂයකින් පසු අට්ඨිස්සර නම් පසේබුදුවරයෙක් වන්නේය.

දෙව්දත් මහාපෘථිවියට පිවිස අවීචිමහානරකයෙහි උපන්නේය. නිශ්චල බුදුන් කෙරෙහි අපරාධ කළ බැවින්, නිශ්චලව සිට පැසේවායි සියයක් යොදුන් දිගුපළලැති අවීචිය තුළ යොදුන් සියයක් උසසිරුරක් ඔහුට ලැබුණේය. හිස කන්සිදුරු දක්වා යකබලක් (උඩින් ඇති යකඩ උලක්) පාද ගොප් ඇටය (වළලූකර) දක්වා යටින් ඇණී යකඩ පොළොවෙහි පිහිටියේය. මහතල් කඳක් පමණ යකඩ උලක් පශ්චිම දිසා බිත්තියේ සිට අවුත් පිට මැද බිඳගෙන උරහිසින් නික්මී පෙරදිග බිත්තියේ ඇනී එහි පිවිසියේය. තවත් එබඳු යකඩ උලක් දකුණු බිත්තියේ සිට අවුත් සිරුරේ දකුණු පසින් පිවිසී බිඳගෙන උතුරු පසින් මතු වී උතුරු බිත්තියෙහි කිඳා බැස්සේය. තවත් එකක් උඩ කබලින් නික්මී අවුත් හිස්කබල බිඳගෙන ගොස් අධෝභාගයෙන් මතු වී යට යකඩ පොළොවට කිදා බැස්සේය. මෙසේ ඔහු නොසෙල්වී සිට රැදාවල් පෑසෙයි.මෙපමණ තැන් ඇවිදිනුත් දෙව්දත් බුදුන් නොදැක පොළොවේ ගිළීගියේයයි භික්ෂූහු කථාකරන්ට පටන්ගත්හ.

බුදුරජාණන්වහන්සේ, මහණෙනි, දෙව්දත් මට අපරාධකොට දැන් පමණක් නොව පෙරත් පොළොවට කිඳා බැස්සේමයයි වදාරා, එක් කලෙක මා ඇත් රජෙක්ව උපන් අවස්ථාවක මංමුළාවූ පුරුෂයකු සනසා තම පිටට නංවාගෙන නිර්භය තැනකට පමුණුවා ලීමෙන් පසු, ඒ පුරුෂයා නැවත තෙවරක් මා සොයා අවුත් දළෙහි අග මැද මුල කොටස් වශයෙන් කපාගෙන අවසාන වාරයෙහි මගේ ඇස්හමුව ඉක්මවනවාත් සමඟම පොළොව පැළී එහි පිවිසි බව දැක්වීම සඳහා:

කළගුණ නොදන්නා නිතර වැරදිම දක්නා

මහ පොළොවම දුන්නත් ඔහු තුටු කළ හැකි නොවේ

මේ සීලවනාගරාජ ජාතකය වදාරා, නැවත නැවතත් ඒ කථාවම පැනනැඟුණු හෙයින් තමන් වහන්සේ ක්ෂාන්තිවාදීව සිටි කල්හි ඔහුකලාබු රජව තමන්ට අපරාධ කොට මහපොළොවේ ගිළුණු බව දැක්වීමට ක්ෂාන්තිවාදී ජාතකයත් චුල්ලධම්මපාලව උපන් තමන්ට මහාප්‍රතාප රජව උපන් ඔහු අපරාධ කොට පොළොවේ ගිළුණු බවත් දැක්වීමට චුල්ලධම්මපාල ජාතකයක් වදාළහ.

දෙව්දත් පොළොව පළාගෙන එහි පිවිසි කල්හි තුටු පහටු මහජනයා ධජ පතාක ඔසවා, කෙහෙල්තොරන් බැඳ ඒකාන්තයෙන්ම අපට ලාභයක් වූයේයයි මහත් සැණකෙළි පැවැත්වූහ. භික්ෂුහු ඒකරුණ බුදුරදුන්ට දැන්වූහ. බුදුහු දෙව්දත් මළකල මහජනයා ප්‍රීතිවුයේ දැන්මතු නොවෙයි. පෙරත් සතුටු වූවාහුයයි වදාරා, බරණැස සියලු දෙනාට අප්‍රිය චණ්ඩ ඵරුෂවූ පිංගල නම් රජු මළ කල්හි මහජනයා තුටුපහටුවූ බව දැක්වීමට:

පිංගල රජ සියලුදෙනා පීඩාවෙන් තැළුවා

ඔහු මළ කල සියලුදෙනා තුටු කඳුලැලි හෙළුවා

පිඟු ඇස් ඇති ඔහු මැරුණා ඔබටත් සෙත සැදුණා

ද්වාරපාල ඇයි අඬන්නේ ඔබට ප්‍රියයි සිතුණා

පිඟු ඇස් ඇති ඇස්කන්නැති ඔහු නම් මට ප්‍රිය නෑ

මරුවාටත් හිංසාකොට යළි ඒ දැයි සිතුණා

යන මේ පිංගලජාතකය වදාළසේක. භික්ෂූහු ස්වාමීනි, දැන් දෙව්දත් කොහි උපන්නේදැයි විචාළහ. මහණෙනි අවීචිමහානරකයෙහිය. ස්වාමීනි, මෙලොව තැවෙමින්ම සිට මෙයින් චුතව තැවෙන තැනකම උපන්නේ වේදැයි කීවාහුය. එය පැවිදි හෝ ගිහි හෝ ප්‍රමාද විහරණ ඇත්තෝ නම් දෙලොවම තැවෙතියි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළහ:

මෙලොව තැවෙයි ඔහු එලොව තැවෙයි

පාපකාරියා දෙලොව තැවෙයි

මම පව් කෙළෙමියි මෙලොව තැවෙයි

දුගතිය ගොස් වැඩියෙන්ම තැවෙයි.

එහි ඉධතප්පති යනු මෙලොව පව්කම් කිරීමේදී ඇතිවන කර්ම සන්තාපයෙන් දොම්නස් මාත්‍රයෙන් තැවෙයි. පෙච්ච යනු පරලොව දී ඒ කර්ම විපාකයෙන් ඉතා දරුණු අපාදුකින් තැවෙයි. පාපකාරී යනු නන්වැදැරුම් පව්කම්කරන තැනැත්තායි. උභයත්ථ යනු ඉහත කියන ලද ආකාරයෙන් තැවීම් කරණකොටගෙන දෙලොවම තැවෙන්නේ වෙයි. පාපංච යනු ඒ පුද්ගලයා කර්ම තැවීමෙන් තැවෙමින් මවිසින් පවරන ලද්දේයයි තැවෙයි. ඒ තැවීම අල්පමාත්‍රිකය. භිය්‍යො තප්පති දුග්ගතිංගතො යනු විපාක විඳින විට ඇතිවෙන සන්තාපයෙන් තැවෙමින් ඉතා පරුෂ වූ තැවීමෙන් බොහෝ සෙයින් තැවේයයිද වදාළසේක.

ගාථා කෙළවර බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියහ. දේශනාව මහජනයාට සාර්ථකවිය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.