න හි වෙරෙන වෙරානි සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ච සම්මන්ති එස ධම්මො සනන්තනො.
මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛරයෝ වෛරයෙන් නො සංහිඳෙත්. අවෛරයෙන් (ක්‍ෂාන්තියෙන් හා මෛත්‍රියෙන්) ම සංහිඳෙත්. මෙය පුරාතන වූ (බුදු පසේබුදු රහතුන් විසින් පුරුදු කොට ආ) සිද්ධාන්තන ධර්‍මයෙකි.
‘නහි වෙරෙන’ ආදී මේ දම්දෙසුම ශාස්තෘන්වහන්සේ දෙව්රම වසන කාලයෙහි එක්තරා වඳ ස්ත්‍රියක් අරභයා දේශනා කළසේක.
එක් කෙළෙඹි පුත්‍රයෙක් තම පියා මළ පසු කුඹුරෙත් ගෙදරත් සියලු වැඩ තමන්ම කරමින් මව පෝෂණ කෙළේය. දිනක් ඔහුගේ මව, දරුව ඔබට කුමරියක් ගෙන එන්නෙම්දැයි විමසුවාය. මෑණියනි, එසේ නොකියන්න. මම දිවි ඇතිතාක් ඔබ පෝෂණය කරන්නෙමි. දරුව කුඹුරෙත් ගෙදරත් සියලු වැඩ ඔබම කරන්නෙහිය. එය මගේ හිතට සැපයක් නොවෙයි, ඒ නිසා කුමරියක් ගෙනෙන්නෙමියි කීවාය. කෙළෙඹියා, නැවත නැවතත් ඉල්ලීම ප්‍රතික්ෂේපකොට පසුව නිහඩවිය. මව එක් ගෙයකට යනු කැමැත්තෙන් පිටත් වූවාය. පුනා කිනම් ගේකට යන්නෙහිදැයි අසා, අසවල් ගෙයටයයි කීකල, ඇගේ ගමන වළක්වා තමන් කැමති ගෙයක් ගැන දන්වා සිටියේය.
මව එහි ගොස් කුමරියක් කැමති කරවාගෙන දිනත් නියම කරගෙන කුමරිය කැඳවාගෙන ආවාය. ඒ ස්ත්‍රිය වඳ ගැහැණියකි. ඉන්පසු මව පුතා අමතා, පුතා, ඔබ ඔබගේ කැමැත්ත අනුව කුමරියක නියම කෙළෙහිය. ඈ දන් වඳ ගැහැණියකි. පුතුන් නැතිකල අපේ කුලය වැනසෙයි. ප්‍රවේණිය දිගට ගලා නොයයි. එහෙයින් වෙනත් කුමරියක් ඔබට ගෙන එන්නෙමියි කීවාය. ඔහු එපා කියද්දීත් මව නැවත නැවතත් ඒ ගැනම කථාකළාය.
වඳ ගැහැණිය මේ කථාව අසා සිට, පුතුන්ට මවුපියන්ගේ වචන ඉක්මවිය නොහැක. ඉතින් වෙනත් එකියක් ගෙනාවොත් මා දාසියක ලෙස පරිහරණය කරනු ඇති. මා විසින්ම එක් කුලකුමරියක ගෙනාවොත් වඩා සුදුසුයයි සිතා එක් ගෙයකට ගොස් ඔහු සඳහා කුමරියක ගැන කථා කළ විට, ඇයි ඔබ සිටියදී තවත් එකියක් කුමටදැයි ප්‍රතික්ෂේප කළහ. මම වඳියක වෙමි. දරුවන් නැති කුලය වැනසෙයි. නුඹලාගේ දුවණිය පුතෙකු හෝ දුවක ලත් විට ඒ ගෙදර සියලූ ධනයේ අයිතිකරු වන්නේය. එහෙයින් ඈ මට භාර දෙන්නැයි ඔවුන් සතුටු කරවාගෙන කැඳවාගෙනවුත් සිය හිමියාගේ ගෙදර නවතාගත්තාය. ඉන්පසු ඈට මෙබඳු සිතක් පහළ විය. යම් ලෙසකින් මෑ පුතෙකු හෝ දුවක ලදහොත් මැයම මෙහි ධනයට හිමිකාරිය වන්නීය. එහෙයින් මෑ දරුවකු නොලබන්නියක බවට පත්කිරීමේ විධියක් කරන්ට වුවමනාය. එසේ සිතා ඈ අලුතෙන් කැඳවාගෙන ආ අයට මෙසේ කීවාය. සොඳුරිය යම් විටක ඔබ කුස දරු ගැබක් පිහිටියහොත් ඒ බව මට දන්වන්න.
දෙවැන්නී මැනවයි පිළිගෙන ගැබක් පිහිටිකල දැන්වුවාය. ඈට නිතර කැඳ බත් දෙන්නී පළමු තැනැත්තීය. එහෙයින් ඈ ආහාරත් සමග ගබ්සා වන බෙහෙතක් යොදා ගැබ වැට්ටුවාය. දෙවෙනි වරටත් ගැබ පිහිටිකල දැන්නුවාය. ඈ දෙවෙනි වරටත් ගැබ හෙළාලූවාය. ඉන්පසු දෙවැන්නියගේ යහළු ස්ත්‍රීහු ඇයි ඔබේ සපත්නිය දරු ගැබට අනතුරු කරන්නීදැයි ඇසුවාහ. ඈ සියලු පුවත් ඔවුන්ට කීවාය. මෝඩ ගැහැණිය, ඇයි එසේ කරන්නේ? ඈ ඔබේ ඉසුරට බියෙන් ගැබ හෙළන බෙහෙත් ආහාරත් සමඟ ඔබට දෙයි. එයින් ඔබ ගබ්සා වෙයි. මින්පසු මෙසේ නොකරන්නැයි කීවාහුය. තෙවෙනිවර ඈ ගැබ පිහිටිබව නොකීවාය.
ඉන්පසු මහත්වී යන ඇගේ උදරය දැක ගැබ පිහිටිබව මට නොකීවේ ඇයිදැයි පළමුවැන්නී ඇසුවාය. ඔබ මා මෙහි කැඳවාගෙන අවුත් දෙවතාවක්ම මගේ ගැබ හෙළා දැමුවාය, ඉතින් තවත් ඔබට කියන්නේ කුමටදැයි කීකල දැන්නම් මා නැසුණා වෙමියි සිතා දෙවැන්නාගේ ප්‍රමාදයක් බලා සිට, ගැබ මුහුකුරා ගිය අවස්ථාවේ බෙහෙත් යෙදු අහරක් දුන්නාය. ගැබ මෝරා ඇති හෙයින් වැටෙන්නට නොහැකිව හරස් විය. ක්‍රෑර වේදනා ඇති විය. ජීවිතය ගැන පවා සැක ඇතිවිය. ‘තීම මා මෙහි ගෙන අවුත් දැන් තීම මගේ දරුවන් තිදෙනෙක් නසා දැමුවෙහිය. දැන් මාත් නැසෙයි. මා මෙයින් නික්ම යකින්නක්ව ඉපදී තිගේ දරුවන් කෑමට සමර්ථවෙම්වා’යි ඈ ප්‍රාර්ථනා කළාය. එසේ පැතූ ඈ මියගොස් ඒ ගෙදරම බැළලියකව උපන්නාය. ස්වාමියා අනිත් තැනැත්තිය අල්වාගෙන තී මගේ කුලපරපුර සිඳ දැමුවායයි වැලමිටි දණහිස් ආදිය හොඳට තළා දැමුවේය. ඒ ආබාධවලින්ම මියගිය ඈ ඒ ගෙදරම කිකිළියකව උපන්නාය. ඉපදී බිජු දැමුවාය. බැළලිය විත් ඒවා කාදැමුවාය. දෙවැන්නී මගේ බිජු කාදමා දැන් මාත් කනු කැමැත්තීය. මෙයින් චුතව දරුවන් සහිත මැය කෑමට හැකිවෙම්වායි පතා මියගොස් දිවිදෙනකව උපන්නීය. බැළලිය මියගොස් මුවදෙනකව උපන්නාය.
මුවදෙන දරුවන් වදන අවස්ථාවේ දිවිදෙන අවුත් තෙවරක්ම ඇගේ දරුවන් කෑවාය. මුවදෙන මැරෙන අවස්ථාවේ මේ දිවිදෙන තෙවරක්ම මගේ දරුවන් කා දැන් මාත් කයි. මම මෙයින් චුතව දරුවන් සහ මෑත් කෑමට හැකිවෙම්වායි ප්‍රාර්ථනා කොට මියගොස් යකින්නක්ව උපන්නාය. දිවිදෙන මියගොස් සැවැත්නුවර කුලදුවක්ව උපන්නීය. ඈ වැඩිවියට පැමිණ ළඟ ගමක පතිකුලයට ගියාය. පසුව පුතෙකු වැදුවාය. යකින්න ඇගේ ප්‍රිය යෙහෙළියකගේ වෙසින් අවුත් මගේ යෙහෙළිය කොහිදැයි විචාරා ඇතුළු ගබඩාවේ පුතෙකු වැදුවායයි දැන පුතෙක් ද, දුවක්දැයි බලන්නෙමියි ඇතුළු ගැබට වැද බලන්නී දරුවා දැක වහා රැගෙන කාදමුවාය. දෙවෙනි වරද එසේම කෑවාය.
ගැබ්බරින් බරවු කුලදුව තෙවෙනි වර සැමියා අමතා, හිමියෙනි, මෙහිදී එක් යකින්නක් මගේ පුතුන් දෙදෙනෙක්ම කා පලා ගියාය. මේ වර මගේ මුල්ගෙට ගොස් වදන්නෙමි’යි කියා එහි ගොස් වැදුවාය. එකල ඒ යක්ෂනිය දියවරට ගොස් සිටියාය. වෙසවුණු රජුගේ යකින්නියෝ තමන්ට පැමිණෙන වාරය අනුව හිස්පරපුරෙන් (හිසෙන්) අනවතප්ත විලෙන් දිය අදින්නාහුය. ඔවුහු සිවුමසකින් හෝ පස්මසකින් ඒ දිය ඇදීමෙන් මිදෙන්නාහුය. ඇතැම් ශරීර ක්ලාන්තයෙන් මරණයටද පැමිණෙති.
මේ යකින්න දියවරෙන් මිදුණු හැටියේම වේගයෙන් ඒ ගෙට දිවගොස් මගේ යෙහෙළිය කොයිදැයි ඇසුවාය. ඇයි ඈ කොහිදැයි තී නොදන්නෙහිද? මෙහිදී ඈ වැදු වැදූ දරුවන් යකිනියක් කන්නීය. එහෙයින් ඈ සිය කුලගෙට ගියා යයි දැන්වූහ. ඈ ‘කැමති තැනක ගියාවේ, මගෙන් බේරීමක් නම් නැහැ’යි වෛරවේගයෙන් උත්සුකව නුවර බලා දිවගියාය.
අනික් තැනැත්තී දරුවාට නම් තබන දිනයෙහි පුතා නාවා නම් තබා, හිමියනි, දැන් අපේ ගෙදරට යමුයි පුතාද රැගෙන වෙහෙර මැදින් ඇති මගින් යන්නීය. පුතා සැමියාගේ අතට දී තමන් විහාර පොකුණෙන් නා සැමියා නාන තුරු පුතාට කිරි පොවමින් සිටියාය. ඒ අතර ඈතින් දුවගෙන එන යකින්න දැක හඳුනා, හිමියනි, වහා එන්න, වහා එන්න. මේ අර දරුවන් කන යකින්න එන්නීයයි මහහඬින් කියා ඔහු එනතුරුවත් නැවතී සිටිනු නොහැකිව ආපසු හැරී ඇතුළු විහාරයට දුවගෙන ගියාය.
එවේලෙහි බුදුරදුන් පිරිස් මැද දහම් දෙසමින් වැඩසිටියාහුය. ඈ දරුවා බුදුරදුන්ගේ පාදපීඨයෙහි (පාපුටුවෙහි) තබා, මේ පුතා මම ඔබවහන්සේට පූජා කළෙමි. මගේ පුතාට ජීවිත දානය කළමැනවි’යි ඉල්ලා සිටියාය. විහාර දොරකොටුවෙහි අධිගෘහිත සුමන නම් දිව්‍ය පුත්‍රයා යකිනියට ඇතුළට පිවිසීමට ඉඩ නොදුන්නාය.
බුදුරජාණන්වහන්සේ අනඳ තෙරුන් අමතා, ආනන්ද යන්න, ගොස් ඒ යකිනිය කැඳවාගෙන එන්නැයි වදාළහ. ආනන්ද හිමියෝ එහි ගොස් ඈ කැඳවාගෙන ආවාහුය. කුලදුව යකින්න දක, ස්වාමීනි, මේ අර යකින්න එන්නීයයි කීවාය. ‘ආවාවේ ශබ්ද නොකර සිටින්නැ’යි වදාරා, යකින්න එහි ආපසු ‘ඇයි මෙසේ කරන්නේ, ඉදින් තෙපි බුදු කෙනකුන් හමුවට නොපැමිණියාහු නම්, කොළොන්ගස් (කෝන්ගස්යයිද වේ.) හා වළසුන්ගේද, කපුටන්ගේ හා බකමුහුණගේ ද කල්පස්ථායී වෛරය මෙන් වන්නේ නොවේද? කුමක් නිසා වෛරයට නැවත වෛර කරන්නාහුද වෛරය සන්සිඳෙන්නේ අවෛරයෙන් මිස වෛරයෙන් නොවේ’යයි ප්‍රකාශ කොට මේ ගාථාව වදාළහ:
වයිරයෙන් වයිරය කිසි විටෙක සන් නොසිඳේ
අවෙරින්ම සන්සිඳෙන එය පෙරසිට එන සදා දහමකි.
එහි ‘නහි වෙරෙන’යනු යම්සේ කෙළ සෙම් ආදි අශූචි ගෑවුණු තැනක් ඒ අශූචිවලින්ම සේදීමෙන් ශුද්ධවූ නිර්ගන්ධ තැනක් බවට පත්කළ නොහැක්කේ ද, එයින් එබඳු තැනක් වැඩි වැඩියෙන් අපිරිසිදු බවටත්, දුගඳ බවටත් පත්වේ ද, එසේම බණින්නාට පෙරළා බැණීමෙනුත්, පහර දෙන්නාට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙනුත්, වෛරය සන්සිඳවීම නොහැකි වේ. එයින් වෛරය වැඩි වේ. මෙසේ වෛරය නම් වෛරයෙන් කිසි කලකවත් නොසන්සිඳෙයි. තවතවත් වැඩෙයි. ‘අවරෙන ච සම්මන්ති’යනු යම්සේ ඒ කෙළ ආදී අශුචි පැහැදිලි දියෙන් සේදූකල නැති වෙයිද, ඒ තැන පිරිසිදු, දුගඳ නැති තැනක් වෙයිද, එපරිද්දෙන් අවෛර සංඛ්‍යාත ක්ෂාන්ති මෛත්‍රී ජලයෙන් යෝනිසෝමනසිකාරයෙන් (උපන් තැන පටන් විමසා බැලීම) ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් වෛරයෝ සංසිඳෙත්. නිවීයෙත්, අභාවයට යෙත්. ‘එස ධම්මො සනන්තනො’යනු මේ අවෛරයෙන් වෛරය සමනය කිරීම් සංඛ්‍යාත පෞරාණික ධර්මය සියලු බුදු පසේබුදු ක්ෂිණාශ්‍රවයන් වහන්සේලා ගිය මාර්ගයද වේ.
ගාථා කෙළවර යක්ෂනිය සෝවාන් ඵලයෙහි පිහිටියාය. පැමිණි පිරිසටද මේ ධර්ම දේශනාව සාර්ථකවිය.
බුදුරජාණන්වහන්සේ ඒ ස්ත්‍රීය අමතා, ඔබේ පුතා මේ යකින්න අතට දෙවයි වදාළහ. ස්වාමීනි මට බයයි. බිය නොවෙනු. මගෙන් ඔබට අනතුරක් නැත. ඈ යකින්නට පුතා දුන්නාය. යකින්න දරුවා සිප වැළඳගෙන නැවත මවටම දී හඬා වැළපෙන්නට පටන්ගත්තාය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ ‘හඬන්නේ ඇයිදැ’යි විචාළහ. ස්වාමීනි, මම පෙර මේ ලෙසින් වුවත්, බඩ පිරෙන අහරක් නොලදිමි. දැන් මම කෙසේ ජීවත් වන්නේම්දැ’යි සිතා හඬන්නෙමියි කීවාය. බුදුහු එසේ නොසිතවයි ඈ අස්වසා, ඒ ස්ත්‍රීය අමතා, ඔබ මෑ කැඳවාගෙන ගොස් තම ගෙදර නවත්වා පිසන කැඳබත් වලින් කොටසක් පළමුකොට මෑට දී මැය පෝෂණය කරන්නැ’යි වදාළහ.
ඒ ස්ත්‍රීය යකින්න කැඳවාගෙන ගොස් ගෙය පිටුපස පිටමඩුවෙහි නවත්වා කැඳබත් වල ප්‍රථම කොටස දෙමින් පෝෂණය කළාය. ඒ මඩුවෙහි වී කොටන විට මොහොල්පහර ඇගේ හිස මත වදින්නාක් මෙන් දැනෙන්නට විය. යකින්න යෙහෙළිය කැඳවා මෙතැන විසිය නොහැකියයි කීවාය. මෙසේ යෙහෙළිය මොහොල් සැල, දියසැල, අගුව, කසළගොඩ, ගම්දොර යන තැනවල නැවැත්වූ නමුදු, මෙහි මොහොල පාරවල් ඉසේ වදින්නාක් වැනිය, මෙහි දරුවෝ ඉඳුල්දිය දමති. මෙහි සුනඛයෝ ලගිත්, මෙහි දරුවෝ කැත කරති, මෙහි කසළ දමති, මෙහි ගම්දරුවෝ ඊ විදීමෙහිදී ඉලක්කය කොට ගනිත්යයි කියමින් ඒ හැම තැනක්ම ප්‍රතික්ෂේප කළාය.
ඉන්පසු ඈ ගමෙන් බැහැර විවේකස්ථානයක නවත්වා කැඳබත් ආදිය එහි ගෙනගොස් දුන්නාය. යකින්න, මේ වසරේ හොඳ වැසි ලැබෙයි. ගොඩ ගොවිතැන් කරව. මේ වසරේ හොඳින් වැසි නොලැබෙයි. පහත්බිම්වලම ගොවිතැන් කරව’යි සහායිකාවට කියා දෙන්නීය. සෙසු මිනිසුන් කළ ගොවිතැන් ජලය වැඩිකමෙන් හෝ අඩුකමෙන් හෝ නැසෙයි. ඈට වැඩියෙන් අස්වනු ලැබෙයි. ඉන්පසු, සැමියනි, ඔබේ ගොවිතැන් ජලය අධික වීමෙන් හෝ ජලය හිඟකමෙන් නොනසී. ඔබ වැසි ඇතිනැති නියාව දැනගෙනම ගොවිතැන් කරන්නෙහිය. මේ කෙසේදැ’යි සෙස්සෝ ඇසූහ. ‘අපේ යහළු යක්ෂනියක් සිටී. ඈ වැසි ඇති නැති බව කියා දෙයි. අපි ඇගේ කීම අනුව උස්පහත් බිම්වල වපුරන්නෙමු. එහෙයින් අපේ අස්වනු වැඩිවේ. ඇයි අපි නිතර අපේ ගෙයින් කැඳබත් ආදිය ගෙනයන හැටි නොදන්නහුද? අප ඒ ගෙන යන්නේ ඒ යකින්නට’යයි කීවාය. නුඹලාත් ඈට කැඳබත් ආදිය ගෙන යව්. එවිට නුඹලාගේත් කර්මාන්ත ඈ බලාගනු ඇතැයිද කීවාය.
පසුව සියලු නගරවාසීහු ඈට සත්කාර කළාහුය. ඈද එතැන් පටන් සියල්ලන්ගේ කර්මාන්ත බලාගත්තාය. එමඟින් ඈ ලාහසත්කාරයෙහි අගතැන් පැමිණියා, මහපිරිස් ඇත්තියකද වූවාය. ඈ පසු කලෙක සලාකබත් අටක් පිහිටුවූවාය. අද දක්වාත් මේ අෂ්ටසලාකයෝ දෙනු ලැබෙත්මය.