කතාව කියවීමට සහ සිතුවම් චිත්‍ර බැලීමට ගාථාව මත click කරන්න.
10. දණ්ඩ වර්‍ගය
10-1 සවග මහණුන් කළ හිංසාවක්

සබ්බෙ තසන්ති දණ්ඩස්ස සබ්බෙ භායන්ති මච්චුනො

අත්තානං උපමං කත්‍වා න හනෙය්‍ය න ඝාතයෙ.

(කේශර සිංහයන් හා ආජානේය හස්ත්‍යශ්වයන් හා ක්‍ෂීණාස්‍රවයන් තබා සෙසු) සියලු සත්ත්‍වයෝ ම (වධබන්‍ධනාදි) කායදණ්ඩනයට ත්‍රස්ත වෙති. (ක්‍ෂිණාස්‍රවයන් තබා සෙසු) සියලු සත්හු ම මරණයට බති. ක්‍ෂීණාස්‍රවයෝ වනාහි ජීවිතයෙහි ද මරණයෙහි ද උපේක්‍ෂක ම වෙත්. එබැවින් තමා උපමා කොට (හෙවත් මම් යම් සේ දණ්ඩනයට බම් ද එසේ ම සියලු සත්ත්‍වයෝ ද දණ්ඩනයට බති. මගේ ජීවිතය මට යම්සේ ප්‍රිය ද එසේ ම සියලු සතුන්ගේ ජීවිත ද ඔවුනට ප්‍රිය යැ’ යි මෙසේ) තමා උපමා කොට (නුවණැති පුරුෂ තෙම) කිසි දු සතක්හු (අතින් පයින් දංඩෙන් සැතින්) නො මරන්නේ ය. අනුන් ලවා ද නො මරවන්නේ ය.

10-2 සවගමහණුන්ගේ කෝලාහලයක්

සබ්බෙ තසන්ති දණ්ඩස්ස සබ්බෙසං ජීවිතං පියං.

අත්තානං උපමං කත්‍වා න හනෙය්‍ය න ඝාතයෙ.

(සාමාන්‍යයෙන්) සියලු සත්ත්‍වයෝ ම කායදණ්ඩනයට ත්‍රස්ත වෙති. රහතුන් තබා සෙසු සියල් සත්නට ම ජීවිතය ප්‍රිය ය. (රහත්හු ජීවිත මරණ දෙක්හි උපේක්‍ෂක වෙති.) එබැවින් තමා උපමා කොට නුවණැත්තේ කිසි සතක්හු නො මරන්නේ ය. අනුන් ලවා ද නො මරවන්නේ ය.

10-3 ගැරඬියකු මැරූ කුඩා දරුවෝ

සුඛකාමානි භූතානි යො දණ්ඩෙන විහිංසති

අත්තනො සුඛමෙසානො පෙච්ච සො න ලභතෙ සුඛං.

යම් පුද්ගලයෙක් (අනුන් මරා තළා අනුන් ගැති කොට ගෙණ) තමහට සුව කැමැති වූයේ, කායික චෛතසික සුව කැමැති සත්ත්‍වයන් වාගදණ්ඩයෙන් පෙළා ද (දුකට පමුණුවා ද), හෙ තෙම පරලොව දෙව්මිනිස් සුව ද නිවන් සුව ද නො ලබන්නේ ය.

සුඛකාමානි භූතානි යො දණ්ඩෙන න හිංසති

අත්තනො සුඛමෙසානො පෙච්ච සො ලභතෙ සුඛං.

යම් පුද්ගලයෙක් තමහට සුව කැමැති වූයේ, සුව කැමැති සතුන් (වාග්දණ්ඩාදී) දණ්ඩයෙන් නො පෙළා ද (දුකට නො පමුණුවා ද), ඒ පුද්ගල තෙම පර ලොවදී සුව ලබන්නේ ය.

10-4 කුණ්ඩධාන ස්ථවිරයන් වහන්සේ

මා’වොච ඵරුසං කඤ්චි වුත්තා පටිවදෙය්‍යු තං

දුක්ඛා හි සාරම්භකථා පටිදණ්ඩා ඵුසෙය්‍යු තං.

කිසි එක ද පුද්ගලයක්හට පරුෂ වචනයක් නහමක් කියව. තා විසින් පරොස් තෙපුල් කියන ලද්දාවූ අන්හු තට නැවැත පෙරළා පරොස් තෙපුල් බණන්නාහු ය. යම් හෙයකින් (කරණොත්තරකරණ යැ යි කියන ලද) යුගග්‍රාහ කථාව දුක් ද (හෙවත් දුකට කාරණ ද) එ හෙයින් කායදණ්ඩාදි ප්‍රතිදණ්ඩයෝ තා ස්පර්‍ශ කරන්නාහු ය (තා කරා පැමිණෙන්නාහු ය)

ස චෙ නෙරෙසි අත්තානං කංසො උපහතො යථා

එස පත්තො’සි නිබ්බාණං සාරම්භො තෙ න විජ්ජති.

ඉදින් වටින් කඩා හරණ ලද ලොහොතලියක් මෙන් (තාගේ) සිත නිශ්චල කරන්නට පොහොසත් වීහි නම්, එසේ (මේ පිළිවෙත පුරන) ඒ තෝ (දැන් නිවනට නො පැමිණිය ද) නිවනට පැමිණියේ නම් වෙහි. එසේ කලැ තට (‘දුශ්ශීලයෙම් මම ද? තොයි දු දුශ්ශීලයෙහි යන ආදීන් කියන) යුගග්‍රාහට නො වන්නේ ය.

10-5 කම් සැප පතා සිල්ගත් උපාසිකාවෝ

යථා දණ්ඩෙන ගොපාලො ගාවො පාචෙති ගොචරං

එවං ජරා ච මච්චු ච ආයුං පාවෙන්ති පාණිනං.

යම්සේ ගොපලු තෙම දඬුයෙන් (පැහැරැ පැහැරැ) ගෙරින් ගෝචර භූමියට (හෙවත් තණබිමට) පමුණුවා ද (ගෙනැ යේ ද), එ පරිද්දෙන් ම (ප්‍රකට ජරා ද අප්‍රකට ජරා ද යන ද්විවිධ) ජරා ද, (සන්තති විච්ජෙද යන) මරණ ද (යන මොහු දෙදෙන) ප්‍රාණීන්ගේ ජිවිතේන්‍ද්‍රියය ක්‍ෂයයට පමුණුවන්නාහු ය.

10-6 ගඳකිළිය දැවූ මිනිසා

අථ පාපානි කම්මානි කරං බාලො න බුජ්ඣති

සෙහි කම්මෙහි දුම්මෙධො අග්ගිදඩ්ඪො’ව තප්පති.

ඒ මතු නො වෙයි. ප්‍රාණවධාදී පව් කම් කරණ අඥාන තෙම(මා විසින් කරණ ලද මේ පාපකර්‍මයාගේ මෙසේ වූ අනිෂ්ට විපාකයෙක් ඇතැ යි) නො දන්නේ ය (නො සලකන්නේ ය). ඒ නුවණ නැත්තේ ස්වකීය පාප කර්‍මයෙන් (නරකයෙහි උපන්නේ) ගින්නෙන් දැවුනක්හු මෙන් (කායික චෛතසික සන්තාපයෙන්) තැවෙන්නේ ය.

10-7 මහමුගලන් මහතෙරුන්ගේ පිරිනිවීම

යො දණ්ඩෙන අදණ්ඩෙසු අප්පදුට්ඨෙසු දුස්සති

දසන්නමඤ්ඤතරං ඨානං ඛිප්පමෙව නිගච්ඡති.

කායදණ්ඩ වාග්දණ්ඩ ධනදණ්ඩ රහිත වූ, (තමහට වත් අන් හට වත්) අද්‍රෝහී වූ, එ හෙයින් ම සියලු සතුන් කෙරෙහි මෛත්‍රීපර වූ ක්‍ෂිණාස්‍රවයන් විෂයයෙහි යම් පුද්ගලයෙක් තෙම කායදණ්ඩාදි දණ්ඩයෙන් අපරාධ කෙරේ ද, හෙ තෙම දශවිධ දුඃඛකාරණයන් අතුරෙන් එක්තරා දුඃඛකාරණයකට වහා ම පැමිණෙන්නේ ය. හේ කවර යත්:

වෙදනං ඵරුසං ජානිං සරීරස්ස ච භෙදනං

ගරුකං වාපි ආබාධං චිත්තක්ඛෙපං ව පාපුණෙ.

කර්‍කශ වූ, (අත් පා බිඳීම් ආදියෙන්හෝ චක්ඛුරෝග සොතරොගාදියෙන් හෝ උපන් බලවත් ශරීර) වේදනාවකට හෝ, (මහ නැව් නැසීම් නිධාන අපවත් වීම් ආදි වූ මහත් අර්‍ත්‍ථ) හානියකට හෝ (අත් පා කැපීම් බිඳීම් හිස පැළීම් ආදී වූ) ශරීරභේදයකට හෝ නැවත (කාශ ශ්වාස අතීසාර සොඵොදර කුෂ්ඨ ගණ්ඩ කිලාසශොෂාදි) බලවත් රෝග දුකකට හෝ (කාණ කුණි ඛංජ පිඨසප්පී ආදි බවට හෝ), යක්‍ෂෝන්මාදයට පිත්තොන්මාදයට හෝ පැමිණෙන්නේ ය.

රාජතො වා උපස්සග්ගං අබ්භක්ඛානං ව දාරුණං

පරික්ඛයං ව ඤාතීනං භොගානං ව පභඞ්ගුරං.

රජුන් කෙරෙන් වන (තනතුරු උදුරා ගැන්මෙන්, දන වොලො ගැන්මෙන්) උපද්‍රවයකට හෝ දරුණු වූ (අසෝ තැන උමං බුන්නේ, මං පහළුයේ, මිනී මැරුයේ, අසෝ රාජාපරාධය කෙළේ තෝ වෙහි දැ යි නො ඇසූ නොකී නොබිණූ නොකළ දෑ පිළිබඳ) බලවත් අභ්‍යාඛ්‍යානයකට හෝ (තමාගේ සුව දුක බැඳී පිහිටි වන්නට නිසි වැඩී සිටි) නෑයන්ගේ විනාශයට හෝ (රත්රන් අඟුරු වීම ය, මුතු කපුඇට වීම ය, කහවණු කැටකැබිලිති වීම ය යන ආදී වු) භෝගවිනාශයකට හෝ පැමිණෙන්නේ ය.

අථ වාස්ස අගාරානි අග්ගි ඩහති පාවකො

කායස්ස භෙදා දුප්පඤ්ඤො නිරයං සො උපපජ්ජති.

නො හොත් ඒ පාපී පුද්ගලයාගේ වාසාගාරයන් ගිනි තෙමේ දවන්නේ ය. (අනිත් දවන කෙනෙක් නැත් නම් සේන ගිනි හෝ ලැවු ගිනි හෝ දවන්නේ ය.) ඒ අඥාන පුද්ගල තෙම ජීවිතේන්‍ද්‍රියෝපච්ඡේදයෙන් මත්තෙහි (ඒකාන්තයෙන්) නිරයට ද පැමිණෙන්නේ ය.

10-8 බොහෝ පිරිකර ඇති මහණෙක්

න නග්ගචරියා න ජටා න පඞ්කා

නානාසකා ථණ්ඩිලසායිකා වා

රාජො ච ජල්ලං උක්කුටිකප්පධානං

සොධෙන්ති මච්චං අවිතිණ්ණකඞ්ඛං.

(පුබ්බන්තාපරන්තාදි අට තන්හි උපදනා අෂ්ටවස්තුක ශාඞ්කව නොඉක්මුණු හෙයින්) එ තෙර නො වූ ශාංකා මහවතුර ඇති පෘථග්ජන සත්ත්‍වයා (අචේලව්‍රත සමාදානයෙන්) නග්න වැ ඇවිද කරණ තපස්හු ද ශුද්ධ නො කරන්නාහ (ලොකනිඃසරණයට හෙවත් නිවනට නො පමුණු වන්නාහ). ජටාවෝ ද ශුද්ධ නො කරන්නාහ. දන්තමලධාරණය, ඇහැ මද ගැල්වීම යන මොහු ද ශුද්ධ නො කරන්නාහ. ආහාර නොවළදා කරණ තපස්හු ද ශුද්ධ නො කරන්නාහ. (අජව්‍රත ගෝව්‍රත සමාදානයෙන්) බිමැ හෙවැ කරණ තපස්හු ද ශුඬ නො කරන්නාහ. ආගන්තුක රජස් දැරීමය, නොනහා වෙරැ දැලි ඉසිලීම ය, උත්කුටිකායෙන් ම හිඳ ඇවිද කරණ තපස් ය යන මොහු ද (ඒ සත්ත්‍වයා) ශුද්ධ නො කරන්නාහ. (නිවනට නො පමුණුවන්නාහ).

10-9 සන්තති මහාමාත්‍යයෝ

අලඞ්කතො චෙ’පි සමං චරෙය්‍ය

සන්තො දන්තො නියතො බ්‍රහ්මචාරී

සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං

සො බ්‍රාහ්මණො සො සමණො ස භික්ඛු.

වස්ත්‍රාභරණයෙන් සැරැසුණු පුද්ගල ද ඉදින් (කායවිෂමතාදියෙන් තොර වැ) කායසමාධි සංයමයෙහි යෙදී පවතී ද, (රාගාදී කෙලෙසුන් සංහුන් බැවින්) ශාන්ත ද, ඉන්‍ද්‍රිය දමනයෙන් දැමුනේ වී ද, (චතුර්විධ මාර්‍ග නියමයෙන්) නියම කරණ ලද සත්තක්ඛත්තුපරමතා ආදි බව් ඇත්තේ වේ ද, ශාසනබ්‍රහ්මචර්‍ය්‍ය මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය ඇත්තේ වේ ද, සියලු සතුන් කෙරෙහි (කායදණ්ඩාදි) දණ්ඩ බහා තබා දුරු කොට වෙසේ ද, මෙ බඳු ගුණයුක්ත වූ ඒ රහත් තෙම (බාහිත පාප ඇති බැවින්) බ්‍රාහ්මණ නමුදු වේ. (සංසිඳුණු පව් ඇති හෙයින්) සමණ නමුදු වේ. (බුන් කෙලෙස් ඇති බැවින්) භික්‍ෂු නමුදු වේ.

10-10 හිඟන්නකු පැවිදි කිරීම

හිරීනිසෙධො පුරිසො කොචි ලොකස්මි විජ්ජති

යො නින්‍දං අපබොධති අස්සො භද්‍රො කසාමිව.

සැමිටිය වළහන්නාවූ (හෙවත් ‘මේ සැමිටියෙන් පහරිණු ලබම් දැ’යි තමා ඇගැ සැමිටිය ගසා නො දෙන්නාවූ), සුශික්‍ෂිත උතුම් අශ්වයක්හු මෙන් යම් මහණෙක් තෙම නින්‍දාව (තමා සතන්හි උපන් අකුශල විතර්‍කය) තම සන්තානයෙන් පහ කෙරේ ද, එබඳු වූ (මා වැනි ජාතිග්‍රෝත්‍ර සම්පන්න ඥානවෘද්ධ වයෝවෘද්ධ බහුශ්‍රැත ශ්‍රද්ධාසම්පන්න කුලපුතක්හට අකුශලවිතර්‍ක වශග වීම තරම් දැ යි මෙසේ) පාපයෙහි ලජ්ජායෙන් අකුශලවිතර්‍ක දුරු කරන පුරුෂයෙක් සත්ත්‍වලෝකයෙහි කිසිවෙක් ම ඇත්තේ ය (සුලභ නො වන්නේ ය).

අස්සො යථා භද්‍රො කසානිවිට්ඨො

ආතාපිනො සංවෙගිනො භවාථ

සද්ධාය සීලෙන ච විරියෙන ච

සමාධිනා ධම්මවිනිච්ඡයෙන ච

සම්පන්නවිජ්ජාචරණා පතිස්සතා

පහස්සථ දුක්ඛමිදං අනප්පකං.

(කිසි ප්‍රමාද හේතුවෙකින්) සැමිටියෙන් පහරිණ ලද, (මමත් සැමිටියෙන් පහර ලදිම් දැ යි එතැන් පටන් අප්‍රමාද වැ වීර්‍ය්‍ය කරන්නාවූ සුශික්‍ෂිත) උත්තම අශ්වයක්හු මෙන් විර්‍ය්‍යවත් වවු. සංසාරයෙහි උදේවගබහුල වවු. (මෙසේ වසන) තෙපි (ලොවීලොවුතුරා විසින් දෙවැදෑරුම්) සැදැහැයෙන් ද, සිවු පිරිසිදු ශීලයෙන් ද, (වත් පිළිවෙත් පුරණ හදාරණ පිරිවහන) කායිකවිර්‍ය්‍යයෙන් ද, කෙලෙසුන් තවන චෛතසික වීර්‍ය්‍යයෙන් ද, (රූපාරූප අෂ්ටසමාපත්ති සංඛ්‍යාත) සමාධියෙන් ද, (කාරණාකාරණ දැන්ම ලකුණු කොටැති) ධර්‍මවිනිශ්චයයෙන් ද (හෙවත් විදර්‍ශනාප්‍රඥායෙන් ද) සමන්‍විත වැ, සම්පූර්‍ණ වූ විද්‍යාචරණ ඇති වැ, (සියලු කුදුමහත් කටයුත්තෙහි එළැඹ සිටි සිහි ඇති බැවින්) ස්මෘතිසම්පන්න වැ, අනල්ප වූ (ඉතා බොහෝ වූ) මේ සසර දුක දුරු කරවු.

10-11 සුඛසාමණේරයෝ

උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තෙජනං

දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති සුබ්බතා.

දියාළුවෝ (කෙත්වත් ආදියට දිය ගෙණ යන්නාහු) (සිත් පිත් නැති) දිය (ඇල බිඳ ගෙණ, පිහිලි පටවා ගෙණ, වෙහෙලි නගා ගෙණ තමන් කැමැති තැනකට) ගෙණ යන්නාහ. හීවඩුවෝ (සිත් පිත් නැති) හීදඬු (තවා ඇද මැඩ තමන් කැමැති ලෙසට) නමන්නාහ. ලීවඩුවෝ (සිත් පිත් නැති) දඬු (නිම්වළලු ආදිය පිණිස වක් කොට ද ඉදි කොට ද සැස තමන් කැමැති ලෙස) නමන්නාහ. සුව සේ අවවාද අනුශාසන කට හැකි සුවචයෝ තමන් සිත දමනය කරන්නාහ (තමන් සිත දමනය කොට රහත් පලයට පැමිණෙන්නාහ).