යො දණ්ඩෙන අදණ්ඩෙසු අප්පදුට්ඨෙසු දුස්සති
දසන්නමඤ්ඤතරං ඨානං ඛිප්පමෙව නිගච්ඡති.
කායදණ්ඩ වාග්දණ්ඩ ධනදණ්ඩ රහිත වූ, (තමහට වත් අන් හට වත්) අද්‍රෝහී වූ, එ හෙයින් ම සියලු සතුන් කෙරෙහි මෛත්‍රීපර වූ ක්‍ෂිණාස්‍රවයන් විෂයයෙහි යම් පුද්ගලයෙක් තෙම කායදණ්ඩාදි දණ්ඩයෙන් අපරාධ කෙරේ ද, හෙ තෙම දශවිධ දුඃඛකාරණයන් අතුරෙන් එක්තරා දුඃඛකාරණයකට වහා ම පැමිණෙන්නේ ය. හේ කවර යත්:
වෙදනං ඵරුසං ජානිං සරීරස්ස ච භෙදනං
ගරුකං වාපි ආබාධං චිත්තක්ඛෙපං ව පාපුණෙ.
කර්‍කශ වූ, (අත් පා බිඳීම් ආදියෙන්හෝ චක්ඛුරෝග සොතරොගාදියෙන් හෝ උපන් බලවත් ශරීර) වේදනාවකට හෝ, (මහ නැව් නැසීම් නිධාන අපවත් වීම් ආදි වූ මහත් අර්‍ත්‍ථ) හානියකට හෝ (අත් පා කැපීම් බිඳීම් හිස පැළීම් ආදී වූ) ශරීරභේදයකට හෝ නැවත (කාශ ශ්වාස අතීසාර සොඵොදර කුෂ්ඨ ගණ්ඩ කිලාසශොෂාදි) බලවත් රෝග දුකකට හෝ (කාණ කුණි ඛංජ පිඨසප්පී ආදි බවට හෝ), යක්‍ෂෝන්මාදයට පිත්තොන්මාදයට හෝ පැමිණෙන්නේ ය.
රාජතො වා උපස්සග්ගං අබ්භක්ඛානං ව දාරුණං
පරික්ඛයං ව ඤාතීනං භොගානං ව පභඞ්ගුරං.
රජුන් කෙරෙන් වන (තනතුරු උදුරා ගැන්මෙන්, දන වොලො ගැන්මෙන්) උපද්‍රවයකට හෝ දරුණු වූ (අසෝ තැන උමං බුන්නේ, මං පහළුයේ, මිනී මැරුයේ, අසෝ රාජාපරාධය කෙළේ තෝ වෙහි දැ යි නො ඇසූ නොකී නොබිණූ නොකළ දෑ පිළිබඳ) බලවත් අභ්‍යාඛ්‍යානයකට හෝ (තමාගේ සුව දුක බැඳී පිහිටි වන්නට නිසි වැඩී සිටි) නෑයන්ගේ විනාශයට හෝ (රත්රන් අඟුරු වීම ය, මුතු කපුඇට වීම ය, කහවණු කැටකැබිලිති වීම ය යන ආදී වු) භෝගවිනාශයකට හෝ පැමිණෙන්නේ ය.
අථ වාස්ස අගාරානි අග්ගි ඩහති පාවකො
කායස්ස භෙදා දුප්පඤ්ඤො නිරයං සො උපපජ්ජති.
නො හොත් ඒ පාපී පුද්ගලයාගේ වාසාගාරයන් ගිනි තෙමේ දවන්නේ ය. (අනිත් දවන කෙනෙක් නැත් නම් සේන ගිනි හෝ ලැවු ගිනි හෝ දවන්නේ ය.) ඒ අඥාන පුද්ගල තෙම ජීවිතේන්‍ද්‍රියෝපච්ඡේදයෙන් මත්තෙහි (ඒකාන්තයෙන්) නිරයට ද පැමිණෙන්නේ ය.
එක් දවසෙක, අන්තොටුවෝ එක් තැන් ව “ඇවැත්නි! කුමක් නිසා ශ්‍රමණ ගෞතමයන් හට මහත් සේ ලාභසත්කාර උපදින්නේ දැ” යි උනුන් සාකච්ඡා කරන්නට වූහ. එහි දී ඔවුහු “ශ්‍රමණ ගෞතමයාහට මෞද්ගල්‍යායන නම් ශ්‍රාවකයෙක් ඇත්තේ ය, ශ්‍රමණ ගෞතමයා ඔය තරම් මහත් ලාභ සත්කාර ලබනුයේ ඒ ශ්‍රාවකයා නිසා ය. ඔහු දෙව්ලොවට ගොස් දෙව්බව ලබන්නට උනුන් කළ කම් අසා දැන අවුත්, මෙබඳු පින්කම් කොට උසස් සම්පත් ලැබූවන් දෙව්ලොව සැප විඳිති යි ද, නිරයයට ගොස් නිරි සතුන් කළ කම් අසා දැන අවුත්, මෙබඳු පව්කම් කොට කටුක නපුරු දුක් විඳින තිරිසනුන් නිරයයෙහි වෙසෙති යි ද මිනිසුන්ට කියාල යි. මිනිස්සු ඒ අදහා ගෙණ ඔවුනට මහත් සේ ලාභසත්කාර එළවති. එහෙයින් ඔය කියන මෞද්ගල්‍යායනයා ජීවිතයෙන් තොර කෙළෙමු නම්, අපටත් ලාභසත්කාර මහත් සේ ලැබිය හැකි ය” යි කතා කොට ගත්හ. එහි ඔවුහු උත්සාහවත් වූහ. යම් කිසිවක් කොට මුගලන් තෙරුන් මරන්නට නියම කර ගත්හ.
ඒ පිණිස කහවනු දහසක් එකතු කොට. ගහලයන් ගෙන් වූහ. “අසවල් කලුගල් ලෙනෙහි මුගලන් තෙර වෙසෙයි. එහි ගොස් ඌ මරා එවු” යි ගහලයන්ට මුදල් දුන්හ. ඔවුහු ධනලෝභයෙන් ඒ පිළිගෙණ, “තෙරුන් මරන්නෙමු” යි උන් වහන්සේ වැඩහුන් ලෙන වට කළහ. තෙරණුවෝ ගහලයන් ලෙන වට කළ බව දැන යතුරු සිදුරෙන් ඉන් නික්ම ගත්හ. ගහලයෝ එදා එහි තෙරුන් නො දැක පසු දිනකත් එහි ගොස් ලෙන වට කොට සිටියහ. එදාත් උන්වහන්සේ වහල මුදුන බිඳ අහසට නැගී ගත්හ. මෙසේ තෙරණුවෝ දෙමසක් පමණ කල් ගහලයන්ගෙන් රැකුනාහ. තෙවන මස පැමිණියේ ය. ඒ තෙවන මසෙහි උන්වහන්සේ පෙර තමන් කළ අකුශලකර්‍මයකින් මෙසේ වන බව දැන “කළ කමට සැඟවෙනු තමන්ට තබා බුදුරජුනටත් නො හැකි ය” යි කො තැනෙකත් නො ගොස් ලෙන තුල ම රැඳී සිටියහ. ගහලයෝ එදා ලෙනට ඇතුල් ව තෙරුන් අල්ලා යමගුරුවලින් තළා උන්වහන්සේගේ සිරුරෙහි ඇට සුන්සහල් පමණට පොඩි කළහ. ඒ වේලෙහි ඔවුහු “තෙරුන් මළහ” යි සිතා සිරුර වනලැහැබක දමා ගියහ. තෙරුන් වහන්සේ “බුදුරජුන් දැකම පිරිනිවී යන්නෙමි” යි සිය සිරුර!ධ්‍යන නමැති වෙළුමෙන් වෙළා තර කොට අහසින් බුදුරජුන් වෙත ගොස් වැඳ “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! පිරිනිවන් පාමි” යි දන්වා සිටියහ.
බුදුරජාණන් වහන්සේ |
:- |
මුගලන්! පිරිනිවන් පාන්නහු? |
මුගලන් තෙර |
:- |
භාග්‍යවතුන් වහන්ස! එසේය. |
බුදුරජ |
:- |
තමුසේ පිරිනිවෙන්නහු කොතැන? |
මුගලන් |
:- |
ස්වාමීනි! කලුගල් ලෙන පිහිටි පෙදෙස. |
බුදුරජ |
:- |
මුගලන්! එසේ නම් මට බණ ටිකක් කියන්න. මෙතැන් සිට තමුසේ වැන්නකු මට දකින්නට ලැබෙන්නේ නැත. එහෙයින් බණ ටිකක් කියන්න |
මුගලන් |
:- |
ස්වමීනි! හොඳමයි, බණ ටිකක් කියමි, |
යි තෙරුන් වහන්සේ ඒ වේලෙහි අහස නැග, පිරිනිවන් පානා දවසේ සැරියුත් තෙරුන් සේ නානාවිධ සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යය දක්වා බණත් කියා බුදුරජුන් වැඳ කලුගල් ලෙන තුබූ වනරොදට ගොස් එහිදී පිරිනිවන් පෑ සේක. “සොරු තෙරුන් මැරූහ” යි එදවස දඹදිව සැම තැන පතළ ව ගියේ ය. අජාසත් රජ තෙමේ උන් සොයන්නට චරපුරුෂයන් යෙදී ය.
දවසක් මේ සොරු රා තැබෑරුමක, රා බොන වේලේ එකෙක් එකකුගේ රා කෝප්පයට ගසා එය බිම හෙලී ය. ඔහු අනිකාට බැණ වැදී “ජඩ පුරුෂය! තෝ කුමක් හෙයින් මාගේ රා පොලොත්ත බිම හෙලු යෙහි දැ?” යි ඇසී ය. “තා කියනු කිම, මුගලන් තෙරුන්ට පළමු කොට පහර දුන්නෙහි තෝ නො වෙහි දැ?” යි කී විට “පළමු කොට මා ගැසූ බව තෝ කෙසේ දනිහි ද, එසේ කියන්නෙහි කසේ දැ?” යි ඔහු විචාළේ ය. මෙසේ ඔවුහු බහින් බස් කියමින් කොලාහල කළහ. ඔවුන්ගේ ඒ කතාව අසා සිටි චරපුරුෂයෝ උන් අල්ලා රජු ඉදිරියට පැමිණ වූහ. “මුගලන් මහතෙරුන්නාන්සේ මරණ ලද්දෝ තොප විසින් ද?” යි ඇසූ විට ඔහු හැම දෙන කිසිත් නො බැණ නිහඬ වූහ. නැවත නැවතත් ඇසු කල්හි “දේවයන් වහන්ස! එසේ ය” යි කීහ. “මුගලන් තෙරුන් මරන්නට කීවෝ කවුරුදැ?” යි ඇසූ විට “නග්න ශ්‍රමණයන් කීහ” යි කීහ. ඒ වේලෙහි රජ තෙමේ උන් ගෙන්වා වළක් කප්පවා පහර දුන් සොරුන් හා සමග එහි ලවා පිදුරුවලින් මුළුමනින් වස්වා ගිනි ලැවූයේ ය. නැවත වෑ ගෙවා එයින් සස්වා කැබලි කර වී ය.
එදා දම්සබාවට රැස් වූ භික්‍ෂූන් වහන්සේලා “මහමුගලන් තෙරුන් තමන්ට නුසුදුසු මරණයකට පැමිණියහ” යි කතා කරන්නට වූහ. එවෙලෙහි එහි වැඩියා වූ බුදුරජානන් වහන්සේ ඒ අසා, මහණෙනි! තමුසේලාගේ කතාවත් පිළිගැණීමත් වරද නැත, ඒ තැන පැමිණියේ ඒ තැනට මේ අත්බවේ හැටියට සුදුසු මරණයකට නො වේ. එහෙත් ඒ තැන පැමිණි මරණය, පෙර කළ අකුශලකර්‍මයකට ගැළපෙන මරණයෙකි. මෙන්න ඒ කර්‍මය; යටගිය දවස බරණැස් නුවර එක් කුලපුත්‍රයෙක් වී කෙටීම් දර ගෙණීම් බත් පිසීම් ආදිය කරමින් මවුපියන් රැක බලා ගත්තේ ය. දවසෙක ඔහුගේ මවුපියන් “පුත! නුඹට මේ වැඩ සියල්ලක් තනි ව කරන්නට නො හැකි ය. ඔය ලෙසට ගෙදරත් වනයේත් කළ යුතු කටයුතු තනි ව කිරීම නුඹට විඩාවෙකි, කරදරයෙකි. ඒ නිසා ගෙයි කටයුතු සොයා බැලීමට, සෑහෙන තැනකින් නුඹට ලමිස්සියක ගෙණෙන්නෙමු” යි කීහ. එවිට මේ කුලපුත් තෙමේ “මවුපියෙනි, ලමිස්සියකගෙන් මට වැඩෙක් නැත, ඕවා පටලවා ගත් කල කොතරම් කරදර ද, මට අම්මා තාත්තා බර නැත, මම ඔබ දෙපොල ජීවත් ව ඉන්නා තුරු උවටැන් කරමි. එහෙයින් මට ගෑණියකගෙන් වැඩෙක් නැතැ” යි එයට අසතුටු බව දැන්වී ය. මවු පියන් ඔහුගේ අසතුට ගැණ නො සලකා “ගෑණියක ගෙන එන්නට ඕනැ” යි තරයේ කියා තරුණියක ගෙණවුත් පුතුට පාවා දුන්හ.
ඕ ටික දවසක් ඔවුනට උවටැන් කොට පසු ව උන් දකිනුත් නො කැමැත්තී තම හිමියා ගෙට ආ කල “ඔහේගේ මවුපියන් හා එක් තැන වසන්නට නො පිළිවනැ” යි මහ හඬින් කියා සිටියා ය. එහෙත් ඔහු එය ගණනකට නො ගත්තේ ය. ඔහු බැහැර ගිය වෙලේ නියඳ කෙඳි කෑලි හා කැඳ පෙණත් ගෙයි ඒ ඒ තැන විසුරුවා හැරියා ය. හිමියා ගෙට අවුත් “මේ කිමැ” යි, ඇසූ කල්හි, “මේ ඔහේගේ ඇස් නැති මවු පියන්ගේ වැඩ ය, මුළු ගෙය ම සෙම් සොටු දමා අපවිත්‍ර කරමින් එහා මෙහා ඇවිදිති, මට මුන් සමග එක තැන වසන්නට නො හැකි ය” යි කිවූ ය, මෙසේ ඈ දවස ගානේ කියත් ම පිරූ පැරුම් ඇති මේ පුරුෂ තෙමේ ද මවුපියන් කෙරෙහි බිඳී ගොස් “වේවා, මම හොඳ වැඩක් කරන්නෙමි, කරණ වැඩේ මම දනිමි” යි මවුපියන් කවා, පොවා අවසන් කොට “අසවල් තැන ඉන්නා අපගේ නෑයන් අප දකිනු කැමැත්තෙන් එහි එන්නැ යි දන්වා එවා තිබේ. එහෙයින් දැන් එහි යා යුතු ය” යි ඔවුන් කරත්තයක නංවා ගෙණ ගොස් කැලෑවක් මැද දී ගොනුගේ නාස්ලනුව පියා අතට දුන්නේ ය. “පියේ! ගොනුන් යන විට පා හඬ නගින්නේ ය, මේ ටික තැන සොරු වෙසෙත්, මම කරත්තයෙන් බසින්නෙමි” යි කියා කරත්තයෙන් බැස, සෙමින් යමින් උගුර යටින් මොර ගා සොරුන් ආ සැටියක් දැක්වී ය.
මවුපිය දෙදෙන ඒ හඬ අසා “සොරු ආහ” යි සිතා “පුතේ! අපි මහලු වම්හ, නුඹ දිවි රැක ගණින්, අප ගැණ නො වෙහෙසෙන්නැ” යි කීහ. හෙතෙමේ මවුපියන් එසේ අඬ අඬා කියත් ම සොරුන් ආ හැටි දක්වමින් උන් කොටා මරා මළකුණු කැලයට ඇද දමා පෙරළා ගෙට ගියේ ය. මේ මුගලන් පෙර කළ කමැ යි වදාළ සේක. නැවතත් “මහණෙනි! මුගලන් මේ පාපකර්‍මය කොට නොයෙක් අවුරුදු ලක්‍ෂ ගණනක් නරකයෙහි ඉපිද පැසී විපාකාවශේෂ විසින් අත්බැව් සියයක ම මෙපරිද්දෙන් කෙටුම් කා ඇට නහර කුඩු කුඩුව ගියෙක් ව මරණයට පැමිණියේ ය, මේ ලෙසින් සලකන විට පෙණනුයේ මුගලන්, තමන් කළ කර්‍මයට අනුරූප වූ ම මරණයක් ලැබූ බව ය. මේ තීර්‍ත්‍ථකයෝත් සොරුන් හා එක් ව නිරපරාධී වූ මා පුතු කෙරෙහි අපරාධයක් කළහ. ඔවුන්ද ඒ අපරාධයට සුදුසු වධයට පැමිණියෝ ය. අපරාධ නැත්තවුන් කෙරෙහි අපරාධ කරන්නේ කරුණු දසයකින් විපතට පත් වන්නේ ය” යි වදාරා අනුසන්‍ධි ගලපා මේ ධර්‍මදේශනාව කළ සේක.
යො දණ්ඩෙන අදණ්ඩෙසු අප්පදුට්ඨෙසු දුස්සති,
දසන්නමඤ්ඤතරං ඨානං ඛිප්පමෙව නිගච්ඡති.
.
වෙදනං ඵරුසං ජානිං සරීරස්ස ච භෙදනං,
ගරුකං වාපි ආබාධං චිත්තකාඛෙපං ව පාපුණෙ.
.
රාජතො වා උපස්සග්ගං අබ්හක්ඛානං ව දාරුණං,
පරික්ඛයං ව ඤාතීනං භොගානංව පභඞ්ගුණං.
.
අථවස්ස අගාරානි අග්ගි ඩහති පාවකො,
කායස්ස භෙදා දුප්පඤ්ඤා නිරයං සොපපජ්ජතී ති.
යමෙක් දණ්ඩනයට නො නිසි වූ අද්‍රෝහ වූ රහතුන් කෙරෙහි දණ්ඩනයෙන් අපරාධ කෙරේ ද, හෙතෙමේ දශවිධ දුඃඛකාරණයන් අතුරෙහි එක් තරා එකකට වහා ම පැමිණේ.
පරුෂ වූ වේදනාවකට හෝ ධනහානියකට හෝ සිරුර බිඳීමට හෝ බලවත් රෝගයකට හෝ චීත්තක්ෂේපයට හෝ පැමිණෙන්නේ ය.
රජුන් කෙරෙන් වන උවදුරකට හෝ දරුණු වූ ගැරහීමකට හෝ නෑයන්ගේ විනාශයට හෝ භෝගයන්ගේ විනාශයට හෝ පැමිණෙන්නේ ය.
නොහොත් පාවක නම් ගින්න ඔහුගේ ගෙවල් දවයි. ඒ අඥ පුද්ගල තෙමේ කය බිඳීමෙන් නිරයයෙහි උපදී.
යො දණ්ඩෙන අදණ්ඩෙසු අප්පදුට්ඨෙසු දුස්සති = යමෙක් දඩුවමට නුසුදුසු වූ ද්වේෂ නො කරණ රහතුන් කෙරෙහි දණ්ඩනයෙන් නපුරක් කෙරේ ද.
නුවණැති යමෙක් කායදණ්ඩ ධනදණ්ඩ වාග්දණ්ඩ යන කිසිත් දණ්ඩනයකට නුසුදුසු වූ තමහට වත් අනුනට වත් නපුරක් නො කරන්නා වූ එහෙයින් ම සියලු සතුන් කෙරෙහි මෛත්‍රීපර වූ උතුමකුහට කාය දණ්ඩාදී යම්කිසි දඬුවමක් කෙරේ ද, නපුරක් කෙරේ ද, (මතුසම්බන්‍ධයි).
දසන්නමඤ්ඤතරං ඨානං ඛිප්පමෙව නිගච්ඡති = (ඔහු) දශවිධ දුඃඛහේතූන් අතුරෙහි එක්තරා හේතුවකට වහා ම පැමිණේ.
පෙරඩෙහි වූ ය ශබ්දය, ත ශබ්දය අපේක්‍ෂා කරන හෙයින් ‘ඔහු’ යි අතින් හෙලන ලද්දේ ය. එය ‘නිගච්ඡති’ යන ක්‍රියා පදය කරන්නහු වශයෙන් සිටියේ ය.
කායදණ්ඩාදිය නැති, කාහටත් කිසි තැනක දීත් නපුරක් අහිතයක් නො කරණ උතුමකු කෙරෙහි, දඩුවම් කරන තැනැත්තේ මතු කියනු ලබන දස වැදෑරුම් කරුණු අතුරෙහි එක්තරා එකකට වහා ම පැමිණේ යනු අදහසි.
වෙදන ඵරුසං = රළු වූ වේදනාවකට (හෝ)
මෙහි ලා ගැණෙන වේදනාව දුඃඛවේදනාව බව ඵරුසං යන විශේෂණයෙන් කියනු ලබන්නේ ය. දශවිධ දු:ඛකාරණයන් අතුරෙහි මේ පළමු වැන්න ය. “සීසරොගාදිභෙදං ඵරුසං වෙදනං" යනු අටුවා ය. එහෙයින් අත් පා ආදිය බිඳීමෙන් හෝ කන් නාස් ඈ පිළිබඳ රෝගයකින් හෝ උපන් ශාරිරිකදුඃඛ වේදනාව ම මෙහිලා අභිමත ය.
කර්‍මවිපාකජ වේදනාවෝ බුදුරජානන් වහන්සේ ද නො හැර පවතිත්. යටගිය දවස එක් කුලගෙයක උපන් මහාබෝධිසත්ත්‍වයන් වහන්සේ ලදරු වියෙහි මහමගෙක සෙල්ලම් කරමින් සිටියහ. ඒ වේලෙහි පිඩු සිඟා යන පසේබුදුවරයකු දැක “මේ හිසමුඩු කළ මහණ කොහි යේ දැ” යි ගල් කැටක් ගෙණ උන්වහන්සේට එල්ල කොට දමා ගැසූහ, එය උන්වහන්සේගේ පාපිට වැදීමෙන් ලේ ගලන්නට වන. එදා බෝධිසත්ත්‍වයෝ ඒ පාපකර්‍මයෙන් අවුරුදු දහස් ගණනක් නිරයයෙහි ඉපිද දුක් විඳ මෙදවස බුදුබවට පැමිණියෝ ද පිලෝතික කර්‍මවශයෙන් තමන් වහන්සේගේ උඩ පතුලෙහි ගල් පතුරක් වැදීමෙන් හටගත් බලවත් වේදනාවක් වින්දෝ ය. මෙසේ වදාළ සේක එය;
“පුරෙහං දාරකො හුත්වා කීළමානෙ මහාපථෙ,
පච්චෙකබුද්ධං දිස්වාන මග්ගෙ සකලිකා ඛිපිං.
.
තෙන කම්මවිපාකෙන බුද්ධභූතස්ස මෙ සතො,
පවිද්ධෙහි සුලං තත්‍ථ දෙවදත්තො විඝට්ටවාති”
ජාතිං = හානියට හෝ.
ගේ දොර ඉඩ කඩම්, වතුපිටි මිලමුදල් නැතිවීම්, අන්සතුවීම් ආදී වූ අර්‍ත්‍ථසම්පත්තීන් හා දරුමලු නෑ මිතුරු මවුපිය ආදීන්ගේ විනාශයට ද තමන් කළ, තමන් කරණ අකුශලකර්‍ම හේතුවන බව සැලකිය යුතු ය.
සරීරස්ස ච භෙදනං = සිරුර බිදීමට හෝ.
අත් පා කැඩුම් බිඳුම් ඔලු පැළුම් ඇස් කන් නාස් ඈ ඉඳුරන් පිරිහුම් ආදී වූ සිරුරෙහි බිඳුමට ද කළ කම්, කරණ කම් හේතු වන්නේ ය.
ගරුකං වාපි ආබාධං = නැවත බලවත් ලෙඩට හෝ.
කාශ ස්වාස අතීසාර ශොථ උදර කුෂ්ට ගණ්ඩ කිලාස අපස්මාර විසූචිකා මහාමාරි වසූරි ප්‍රමේහ පිළිකා මාංසවෘද්ධිලාදුරු උපදංශ ආදි රෝගයෝ සත්ත්‍වජීවිතය නසන බිහිසුණු රෝගයෝ ය. මනුෂ්‍යයන් අතර පවත්නා කාණ කුණි ඛඤ්ජ පීඨසප්පි ආදී භාවයෝ ද බිහිසුණු ය. මෙකී රෝගයනට කළ කම්, කරණ කම් බෙහෙවින් හේතු වන්නේ ය. කාණ කුණී ආදී භාවයනටත් කර්‍මය හේතු වේ.
සිත කළඹන්නේ ආබාධ නම්. ‘ආබාධති චිත්තං විලොළෙතීති = ආබාධො’ පාලි අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යයවරයෝ ‘අප්පාබාධං අප්පාතඞ්කං’ යනු විවරණය කරමින් විසභාගවේදනාව ආබාධ, යි. ඒ වනාහි සිරුරෙහි එක් දෙසෙක හටගෙණ මුළුසිරුර යපටකින් බැන්දා සේ පැතිර ගණියි.
යාප්‍යරෝගය ආතඞ්ක නම්. අනෙක ආබාධ නම්. කුඩා රෝග ආතඞ්ක නම්. බලවත් රෝගය ආබාධ නම්. සිරුර තුළ හට ගන්නේ ආබාධ යි ද, සිරුර පිට හට ගන්නේ ආතඞ්ක යි ද කෙනෙක් කියත්, අපේ බෝධිසත්ත්‍වයෝ ඉතා ඈත කාලයෙහි ගැහැවි කුලයක උපන්හ, ඔහු එදා ශක්තිමත් මිටි පුරුෂයෙක් විය, එකල්හි ම එහි, මල්ලව පොර ඇල්ලීමෙහි දක්‍ෂයක් ද විසී ය. ඔහු දිනක් බෝසතුන් වසනා නුවරට පැමිණ මිනිසුන් හා පොර අල්ලා ජය ගෙණ පෙරළා යන්නට මගට බැස්සේ ය, මේ දත් බෝධිසත්ත්‍ව තෙමේ ඔහු ගෙන්වා “අපිත් පොරයක් අල්ලා බලමු” යි කීයේ ය. ඔහු ද සීනාසී පොරයට වන්නේ ය. මහාසත් තෙමේ ඔහු අතින් ගෙණ ඔසවා බිම හෙලන්නේ කොඳු ඇටය බිඳ බිම හෙලී ය. ඒ වේලෙහි නුවරවැස්සෝ මහාසතුන් වස්ත්‍රාභරණාදියෙන් පිදුහ. නැවත මහසත් මල්ලවපොරකරු නැගිටුවා කොඳු ඇටය සෘජු කොට බැඳ “මෙතැන් පටන් මෙබඳු දේ නො කරව” යි කියා පිටත් කර යැවී ය. මේ පාපකර්‍මයෙන් මහසත් තෙමේ උපනුපන් තැන දුක් වින්දේය. අවසන් අත්බවේ දී බුදු වූයේ ද පිටෙහි නිති පවත්නා රිදුමකින් පෙළුනේ ය. ඒ රිදුම උපන් විට බුදුරජානන් වහන්සේ සැරියුත් - මුගලන් තෙරුන් කැඳවා “මට බණ කියවු” යි වදාරා තමන් වහන්සේ සුගත් සිවුර පණවා ගෙණ සයනය කරණ සේක. මෙය මෙසේ වදාළ සේක.
“නිබ්බුද්ධෙ වත්තමානම්හි මල්ලපුත්තං නිසෙධයිං,
තෙන කම්මවිපාකෙන පිට්ඨිදුක්ඛං අහූ මමාති”
චිත්තක්ඛෙපං ව පාපුණෙ = ඔල්මාදයට හෝ පැමිණෙන්නේ ය.
මිනිස් තෙමේ යකුන් වැහීමෙන් හෝ පිත කිපීමෙන් හෝ ඔල්මාදයට පැමිණෙන්නේ ය. මේ දේශනාවෙන් ඔල්මාදය අකුශල කර්‍ම විපාක විසිනුත් වන බව පැහැදිලි ය. කර්‍ම විපාක විසින් වන ඔල්මාදය බෙහෙත් පිළියමින් නො සන්සිඳෙන්නේ ය. ඒ කළ අකුශලකර්‍මය ගෙවී යෑම ම මෙය සන්සිඳීමෙහි හේතු ය. එහෙයින් මෙබන්ඳෙහි පිළියමින් කම් නැත්තේ ය.
රාජතො වා උපස්සග්ගං = රජුන් කෙරෙන් වන උවදුරට හෝ.
සෙනාපති, භාණ්ඩාගාරික, විනිශ්චයකාර, ලේඛකාධිකාර, ධන ශ්‍රේෂ්ඨී ආදි ස්ථානාන්තර පහ කිරීමෙන් හා වතුපිටි ගේදොර ඉඩ කඩම් මිල මුදල් පැහැර ගැණීමෙන් මිනිසුනට රජුන්ගෙන් වන උවදුරු ඇත්තේ ය. මෙකී උවදුරුවලට අකුශලකර්‍ම ද හේතු වන්නේ ය.
ඉතා තෙද ඇති බැවින් විශේෂයෙන් බබලන්නේ සමාජයෙහි කැපී පෙණෙනුයේ රාජ නම්. ‘අතිතෙජවන්තතාය විසෙසෙන රාජතෙ දිප්පතෙති = රාජා’ යනු ඒ කී සේ ය. දාන - ප්‍රියවවන - අර්‍ත්‍ථචර්‍ය්‍යා - සමානාත්මතා යන සිවුසඟරාවතින් ජනයන් තමන් කෙරෙහි රඳවන්නේ ද රාජ නම් වේ. මේ ඒ කියූ සැටි. ‘දානං ච පියවචන ච අත්‍ථචරියා ව සමානත්තතා චාතී චතුහි සඞ්ගහ වත්ථුහි අත්තනි ජනං රඤ්ජෙතීති පි = රාජා’ යනු.
සතුටු උපදවන අරුතින් චන්‍ද්‍ර, යි තවන අරුතින් සූර්‍ය්‍යය, යි කියන්නා සේ රැඳවීම් අරුතින් රාජ යනු අන්වර්‍ත්‍ථ නාමයෙකැ යි කීහ. මෙන්න එය;
“යථා ප්‍රහ්ලාදනාච්චන්‍ද්‍රඃ ප්‍රතාපාත්තපනො යථා,
තථෛව සොභූදන්වර්ථො රාජා ප්‍රකෘතිරඤ්ජනාත්”
වොටුනු පලන් රජ තෙමේ ම රාජ යි කියනු ලැබේ. අන්‍ය වූයේ ක්‍ෂත්‍රිය ජාති ඇත්තේ රාජන්‍ය - ක්‍ෂත්‍රිය යන නම්වලින් හැඳින් වේ. මේ ඒ කීම;
“මුද්ධාභිසිත්තො රාජාති කථිතො ඉතරො පන,
රාජඤ්ඤො ඛත්තියො චාති වුත්තො ඛත්තියජාතිකො”
උපස්සග්ග නම් උවදුරු ය. ‘උපස්සග්ගොති උපසට්ඨාකාරො තත්‍ථ තත්‍ථ ලග්ගනාකාරො’ යනු අටුවා ය. යමකු විසින් ගෘහ වාස්තු ආදි යමක් ගිනි තැබීම් ආදියකින් විනාශ කළ කල්හි එහි යමක් නො නැසී ඉතිරි වී නම් ඒ ඉතිරි දෙයෙහි එල්බ ගෙණ ලැග ගෙණැ නැසුනු දේ ගැණ ශෝක කිරීම උපසට්ඨාකාරැ යි කීහ. උපස්සග්ග යන්නට කළ අටුවාව මෙසේ වුවත් ලෝකයා විසින් උවදුරු යි ගණු ලබන්නෝ ද උපස්සග්ග නම් වෙති.
අබ්භක්ඛානං ව දාරුණං = දරුණු වූ අබිබවා කීමට හෝ. දෝෂාරෝපණයට හෝ.
“තෝ මෙතැන උමං බින්දෙහි, මේ රාජාපරාධය කෙළෙහි” යනාදීන් තමා නො කළ නො දුටු නො ඇසූ නො සිතු විරූ දේ තමන් පිට එන්නේ ය. බලවත් වූ දෝෂාරෝපණයට පැමිණෙන්නේ ය. ඇතැම් විට ඇතැම් මනුෂ්‍යයෝ තමන් නො කළ නො දුටු නො ඇසූ නො සිතු දේ ගැන ගැරහුම් ලබන්නෝ වධබන්‍ධන ලබන්නෝ වෙති. එයට පෙර කළ අකුශලකර්‍ම ද හේතු විය හැකි බවට පහත දැක්වෙන්නී නිදසුන් කතා ය;
අප මහසත් තෙමේ පෙර එක් අත්බවෙක පහත් කුලයක උපන්නේ ය, නමින් මුතාලී නම් ය. ධූර්‍තයෙක් ව දුදනන් හා එක්ව දිනෙක සුරභි නම් පසේ බුදුරදුන්ට “දුශ්ශීලයා, නින්දිතයා, පවිටු ගති ඇත්තා” යි බැණ වැදුණේ ය. ඔහු ඒ පවින් අවුරුදු බොහෝ ගණනක් නිරයෙහි ඉපිද පැසී මේ අන්තිම අත්බවෙහි බුදු වූයේ ලාභයෙන් අගතැන් පත් වී ය. එය නො ඉවසූ තීර්‍ත්‍ථකයෝ “ශ්‍රමණ ගෞතමයාට අපකීර්තියක් උපද වන්නෙමු” යි සිතා ඒ පිණිස සුන්දරි නම් පරිබ්‍රාජිකාව යෙදූහ. ඕ තොමෝ එතැන් පටන් සැම දවස හිමිදිරියෙහි බුදුරජුන් වසන වෙහෙර අසලින් යන්නී, යම් කෙනකු “කොහි සිට එන්නේ දැ?” යි ඇසූ කල්හි “ශ්‍රමණ ගෞතමයන් හා එක ගෙයි නිදා හිඳ එන්නීමි” යි කියා ඉක්මන් ගමනින් යන්නී ය. මේ කතාව රට පුරා පැතිර ගියා ය. තීර්‍ත්‍ථකයෝ “බලන්න, පින්වත්නි! ශ්‍රමණ ගෞතමයාගේ ජඩකම්, අනුන් දෙන දේ කමින් බොමින් වැඳුම පිදුම් ලබමින් ශ්‍රමණ ගෞතමයා කරණ වැඩ, ගෑණුන් හා එකට නිදයි. ඈලාට කෑම්පීම් දෙයි. ඇඳුම් කැඩුම් සපයයි” යි කියමින් බුදුරජුන්ට නින්දා කරන්නට වූහ. මාගේ ස්වාමිදරු වූ බුදුරජානන් වහන්සේ තිලෝගුරු වූ සේක් ද පෙර කළ අකුශලවාක්කර්‍ම ශක්තියෙන් බිහිසුණු වූ මේ දෝෂාරෝපණයට ලක් වූ සේක. සෙස්සන් ගැණ කියනු කිම. කියන ලද්දේම ය.
“මුනාලීනාමහං ධුත්තො පුබ්බෙ අඤ්ඤාය ජාතියා,
පච්චෙකබුද්ධං සුරභි අබ්භාචික්ඛිං අදූසකං.
.
තෙන කම්මවිපාකෙන නිරයෙ සංසරිං අහං,
බහූනි වස්ස සහස්සානි දුක්ඛං වෙදෙසි වෙදනං.
.
තෙන කම්මාවසෙසෙන ඉධ පච්ඡිමකෙ භවෙ,
අබ්භක්ඛානං මයා ලද්ධං සුන්දරීකාය කාරණාති.”
පරික්ඛයං ව ඤාතීනං = නෑයන් ගේ ක්‍ෂයට විනාශයට හෝ. නෑයන් ගේ විනාශයට හෝ.
‘අත්තනො අවස්සයො භවිතුං සමත්‍ථානං ඤාතීනං පරික්ඛයං වා’ යනු අටුවා ය. "තමන්ට පිහිට වන්නට නිසි පොහොසත් නෑයන්ගේ විනාශයට" යනු අරුත් ය. මිනිසකුගේ එලොව මෙලොව දියුණුවෙහි මහත් කොටසක් නෑයන් සතු ය. එබඳු දුක සැප දෙකෙහි ම එක සේ සැලෙන තුටු වන නෑයන්ගේ විනාශය මිනිසුන්ගේ දියුණුවට මහත් බාධාවෙකි. එහෙයින් නෑයන්ගේ විනාශය මිනිසුන්ගේ පිරිහීමෙකි. මේ විනාශයටත් පෙරකළකම් හේතුවන බව මෙයින් වදාරණ ලද්දේ ය.
භොගානං ව පභංගුරං = භොගයන්ගේ විනාශයට හෝ.
රන් අඟුරුවීම, මුතු කපු ඇට වීම, කහවණු කැට කැබලිති වීම, සහල් උඳු මුං මෑ ආදී ධාන්‍ය කුණු වීම, දෙපා සිවුපා ඇති සතුන් කන්නු කොරු වීම, යනාදී උපභෝග පරිභෝග වස්තූන්ගේ විනාශයට හෝ.
භොශ නම් ධනධාන්‍යවස්ත්‍රාභරණාදී වූ උපභෝගසමුහය හා දාසි දාස ගව මහිෂාදී පරිභෝග වස්තු සමූහය යි.
පභංගුර නම් විනාශය යි. කුණුවීමයි. මිනිසුන් පිළිබඳ මෙ කී වස්තූහු කෙතෙක් රක්‍ෂිත ගොපිත වුව ද පෙර කළ අකුසකම් බෙලෙන් නැසී යන්නෝ ය. ලෝකයෙහි විසූ ඇතැම් මහාධනේශ්වරයෝ තමන් නො දන්නා ලදු ව ම අහේතුක ව මෙන් නිර්‍ධන වූහ. එහෙත් ඔවුන්ගේ නිර්‍ධනත්වය අහේතුක නො වේ. සහේතුක ම ය. හේතු ව නම් එක් ලෙසකින් පෙර කළ කම් ය. දැනුදු ඇතැම් ධනවත්හු බලා සිටිය දී නිර්‍ධන වන්නෝ ද මේ හේතුවෙන් ය. මනුෂ්‍යයන්ගේ නිර්‍ධනත්වයට තවත් හේතු නැත්තේ නො වේ. මේ හැර අන් හැම හේතුවක් ම නුවණින් වළකා ගත හැකි ය. කර්‍ම හේතුවත් එක් ලෙසකින් වළකා ගැනීමට ඉඩ ඇත්තේ ය. පව්කම් යට පත් කිරීමට සෑහෙන පමණින් කුසල්කම් කිරීම පව්කම් හේතුන් මැඩ පැවැත්වීමේ ක්‍රමය වේ.
අථවස්ස අගාරානි = නොහොත් ඔහුගේ ගෙවල්.
ගෙට අගාර යි නමෙකි. ගෙවල් ගොඩ නැගීම සඳහා ගණු ලබන කණු - යටලී - බාල්ක - පරාල ආදී දැවදඬු අර යි කියනු ලැබේ. ඔවුන් ගන්නේ හෙවත් එයින් කැරෙන්නේ ‘අගාර’ නමි. ‘න ගච්ඡතීති = අග් ථම්භාදයො, තෙ රාති ගණ්හාතීති = අගාරං’ යනු එහි අරුත් පැවසීම ය." මෙහි විශේෂ බොහෝ ය. පෙර කියන ලද්දේ ය.
අග්ගි ඩහති පාවකො = පාවක නම් ගින්න දවයි.
පාපී පුද්ගලයාගේ ගෙවල් ගින්නෙන් දැවෙති යි කියූ සේ ය. අනෙකකින් නො දැවුනෝද අවුරුද්දට දෙතුන් වර හෙණ වැදීමෙන් දැවෙන්නෝය. එසේත් නො දැවුනෝ ද ස්වභාවධර්‍ම විසින් නැගුණු ගින්නෙන් දැවෙති.
අග්ගි නම් වක් ව පැතිරී යන්නේ ය. ඒ මේ ගින්න හුනු තැන ඇති හැම දෙයක් දවා පවිත්‍ර කරණ බැවින් පාවක යි කියනු ලැබේ. ‘පුණාතීති = පාවකො’ යනු අරුත් ය.
‘එකසංවච්ඡරෙ ද්වත්තිඛත්තුං, අඤ්ඤස්මිං අවිජ්ජමානෙපි අසනි අග්ගි වා පතිත්වා ඩහති. අත්තනොව ධම්මතාය උට්ඨිතො පාවකො වා ඩහතියෙව’ යනු අටුවා ය.
කායස්ස භෙදා = සිරුර බිඳීමෙන් මරණයෙන් පසු.
දුප්පඤ්ඤො = අඥපුද්ගල තෙමේ. කිසි හසරක් නො දත්තේ.
නිරයං සොපපජ්ජතී = හෙතෙමේ නිරයයෙහි උපදී.
ඒ අඥපුද්ගල තෙමේ, නපුරක් අවැඩක් නො කළ තැනැත්තහුට නපුරක් අවැඩක් කරන්නේ මරණින් මතු නරකයෙහි උපදින්නේ ය. මේ කියූ විපත් දසයෙන් එකකටවත් මෙලොව දී අසු වන්නේ ය. මරණින් මතු නිරයෙහි උපදින්නේ ය. නිරයෙහි ඉපැත් ම නො ද වරදින්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියෝ ය.
මහාමෞද්ගල්‍යායනස්ථවිර වස්තුව නිමි.