අථ පාපානි කම්මානි කරං බාලො න බුජ්ඣති
සෙහි කම්මෙහි දුම්මෙධො අග්ගිදඩ්ඪො’ව තප්පති.
ඒ මතු නො වෙයි. ප්‍රාණවධාදී පව් කම් කරණ අඥාන තෙම(මා විසින් කරණ ලද මේ පාපකර්‍මයාගේ මෙසේ වූ අනිෂ්ට විපාකයෙක් ඇතැ යි) නො දන්නේ ය (නො සලකන්නේ ය). ඒ නුවණ නැත්තේ ස්වකීය පාප කර්‍මයෙන් (නරකයෙහි උපන්නේ) ගින්නෙන් දැවුනක්හු මෙන් (කායික චෛතසික සන්තාපයෙන්) තැවෙන්නේ ය.
එක් දවසක් මහාමුගලන් තෙරණුවෝ, ලක්‍ෂණ මහාතරණුවන් හා එක් ව ගිජුකුළු පව්වෙන් බිමට බස්නා සේක්, අජගර නම් ප්‍රේතයකු දුටු සේක. ඌ උස මහතින් යොදුන් පස් විස්සක් පමණ වූ සිරුර ඇත්තේ ය. උගේ හිස් මුදුනෙන් නැග යන ගිනි දැල් සිරුර හාත්පස විහිද සිටියේ ය. සිරුර වටින් නැගෙනා ගිනි දැල් හිස් මුදුන කරා යන්නේ ය. දෙපසින් නැගෙන ගිනිදැල් සිරුර මැද දී එක් වන්නේ ය. මෙසේ මේ බිහිසුණු දැකුම් දුටු මහාතෙරණුන්ට එතැන දී ම සිනා පහළ විය. ලක්‍ෂණ තෙරණුවන් ඒ දැක “සිනාසීමෙහි හේතු කවරේ දැ?” යි මුගලන් තෙරණුන් අතින් විචාළ විට “ඇවැත! මගේ සිනාසීමෙහි හේතු කීමට මේ කාලය නො වේ, බුදුරජුන් ඉදිරියෙහි දී එය විචාරන්නැ” යි කියා රජගහ නුවර පිඬු සිඟා ගියභ. පිඬු සිඟා ගෙණ බුදුරජුන් වෙත පැමිණි මුගලන් තෙරුන් අතින් ලක්‍ෂණ තෙරණුවෝ සිනාසීමෙහි හේතුව විචාළහ. එවිට උන්වහන්සේ “ආයුෂ්මතුනි! මම එහිදී ප්‍රේතයකු දිටිමි, ඔහුගේ අත්බව පස් විසියොදුන් පමණ ය, මෙතරම් බිහිසුණු අත්බවක් මා මීට කලින් දැක නැත, එහෙයින් මට සිනා පහළවී ය” යි කීහ. බුදුරජානන් වහන්සේ ඒ අසා “මහණෙනි! මගේ ශ්‍රාවකයන් චක්‍ෂූර්‍මත් ව වෙසෙති” යි යනාදීන් වදාරා, “මහණෙනි! මමත් ඔය කියන ප්‍රේතයා බෝ මැඩ දී දිටිමි, මෙයට කලින් ඒබව මම කිසිවෙකුටත් නො කීමි, නො කීයේ යම් කෙනකු මාගේ කතාව නො පිළි ගත හොත් එය ඔවුනට අවැඩ පිණිස වන බැවිනි, මමත් දැන් මුගලන් තැන සාක්‍ෂ්‍ය කොට එය කියමි” යි වදාළ සේක. එහි රැස් ව හුන් භික්‍ෂූන් වහන්සේලා “ඔහු කළ පූර්‍ව කර්‍මය වදාරණු මැනවැ” යි දන්වා සිටි කල්හි බුදුරජානන් වහන්සේ එය මෙසේ ගෙණහැර පෑ සේක.
මහණෙනි! කසුප් බුදුරජුන් දවස සිටුවරයෙක් විය, ඔහුගේ නම සුමඞ්ගල ය, බුදුරජුන් උදෙසා ඔහු විහාරයක් කර වී ය, එම බිම් පෙදෙස දිග පළලින් රියන් දෙදහස් අටසියයක් පමණ ය, ගෙපල් ඇද එ බිම රන් ගඩොල් අතුරවා විහාරය කරවීමට මහත් ධනයක් ඔහු වියදම් කෙළේ ය, විහාරපූජාමහෝත්සවය ද මහත් ධන වියදමින් මැනවින් සිදු කළේ ය, දිනක මේ සිටු තෙමේ උදෑසනම බුදුරජුන් දක්නට විහාරයට ගියේ ය, යන ගමන් නුවර දොර අම්බලමක හිස සිට පොරවා ගත් කසාවතක් ඇති ව මඩ තැවරුණු පා ඇති ව නිදා හුන්නකු දැක, “මූ රෑ, තැන තැන ඇවිද මඩත් ඇඟ තවරා ගෙණ නිදන්නකු විය යුතු ය” යි හඬ නගා කී ය, එය ඇසූ ඔහු ඔලුව උස්සා බලා සිටු දැක “වේවා, කරන එක මම දනිමි” යි සිටුහු කෙරෙහි වෛර බැඳ ගත්තේ ය, නැවත, ඔහු කෝපයෙන් දිලිහි දිලිහී සිටුගේ පැසුනු කරල් බර ව තිබූ කුඹුර සත් වරක් ගිනි දී විනාශ කෙළේ ය, සත් වරක් ගාලෙහි සිටි ගොනුන්ගේ කකුල් කපා හැරියේ ය, ගෙය සත් වරක් දවා හලු කෙළේ ය.
මෙයිනුත් කෝපය සන් සිඳවා ගත නුහුනු ඔහු සිටු ගෙදර මෙහෙකරුවකු හා යහළු ව “තගේ සිට වඩා ප්‍රිය කරන්නේ කුමකට දැ” යි ඇසී ය, බුදුරජුන් වසනා ගඳකිළියට වඩා ප්‍රිය එකක් සිටුට නැතැ යි කී කල්හි බුදුරජුන් පිඬු සිඟා වඩිනු බලා හිඳ වෙහෙරට ගොස් එහි පැන් බඳුන් බිඳ දමා බුදුරජුන් වසන ගඳකිළියට ගිනි තබා පැන ගියේ ය, ගඳකිළිය දැවෙන්නේ ය, යි දත් සිටු තෙමේ වහා එහි දුව ගියේ ද හලු වූ ගඳකිළිය දැක දොම්නස් නො කොට තදින් අත්පුඩි ගැසී ය, එහි රැස් ව සිටි මිනිස්සු “සිට! මෙතෙක් මහත් ධනයක් වියදම් කොට තැනූ ගඳකිළිය දැවී යන කල්හිත් ඔබ අත්පුඩි ගසන්නහු කුමක් නිසා දැ?” යි ඇසූහ, සිටු තෙමේ “පින්වත්නි! මා මේ ධනය නිදන් කරණ ලද්දේ යම්තම් තැනක නො වේ, සොර සතුරන් විසින් අනතුරු නො කළැකි ගින්නෙන් වතුරෙන් උවදුරු නොවන තැනක ය, මම මගේ ධනය තැන්පත් කෙළෙම්. මා තැන්පත් කළ ඒ ධනය කිසිවකුට පැහැර ගත නො හැකි ය, ගින් නෙන් නො දැවිය හැකි ය, වතුරෙන් උල් පවාලිය නො හැකි ය, පළමු වියදම් කළ පමණ ම වියදම් කොට වෙහෙරක් කරන්නට නැවතත් මට ඉඩ ලැබුනේ ය, යි මහත් සතුටින් අත්පුඩි ගැසීමි” යි කීයේ ය. ඔහු එසේ කියා පළමු වියදම් කළ ගණන ම වියදම් කොට එහි වෙහෙරක් කරවා විසි දහසක් මහණුන් පිරිවර කොට සිටි බුදුරජානන් වහන්සේට දන් දී එය පූජා කෙළේ ය.
ගඳකිළිය දැ වූ පුරුෂ තෙමේ “මූ නො මරා පසු බට කරන්නට නො හැකි ය. අන් මොකක් කළත් මූ පසු බස්සන්නට නො පිළිවන. වේවා, මූ මරා ලන්නෙමි” යි බඩතුරෙහි සිරියක් රුවා ගෙණ සත් දවසක් ම ඉඩ කඩ බලමින් සෝදිසියෙන් වෙහෙර තුළ ම හැසුරුණේ ය. එහෙත් ඔහුට ඒ පිණිස ඉඩක් නො ලැබින. සිටු තෙමේ සත් දවසක් දන් දුන්නේ ය. සත් වනදා බුදු රජුන් වැඳ “ස්වාමීනි! මගේ කුඹුරු එක් මිනිසකු විසින් සත් වරක් ම දවා හලු කරණ ලද්දේය, ගාලෙහි සිටි ගොනුන්ගේ කකුල් කපා හරින ලද්දේ ය, ගොඩ නැගු ගෙවල් ගිනිබත් කරණ ලද්දේ ය, ගඳකිළියත් දවා හැරියේ ඔහු ය, ඒ නිසා ස්වාමීනි! මම මේ පින්කමෙහි පළමු වන පින් කොටස ඔහුට පමුණු වන්නෙමි, ඔහු එයින් සුවපත් වේවා” යි මහ හඬින් කියා පින් පැමිණ වූයේ ය.
මේ ඇසූ ඒ පුරුෂ තෙමේ “මා කළේ ලොකු අපරාධයෙක්, මෙතරම් විපත් කළ මා කෙරෙහි මොහුගේ සිත් තුළ කිපු මෙක් නො සතුටෙක් නැත, මෙහිදීත් පළමුවෙන් මට පින් පැමිණ වී ය, මම මූට නපුරක් ම කෙළෙමි, එහෙයින් මේ මිනිහා කමා කරවා නොගත්තෙම් නම්, මා පිට හෙණ වැටෙනු ඇතැ” යි සිතා සිටු වෙතට ගොස් පාමුල වැටී, “පින්වත! මට කමන්න” යි කියා සිටියේ ය. සිටු “කාරණය කිමැ” යි ඇසූ විට “පින්වත! මම තමුන්නාන්සේට ලොකු නපුරක් කෙළෙමි, එයට කමන්නැ” යි කී ය. “හා තෝ ද මාගේ කුඹුරු ගිනි තැබූ වෙහි? ගොනුන් පා කැපූ වෙහි? ගේ ගිනි බත් කෙළෙහි? ගඳකිළිය හලු කෙළෙහි?” යි සිටු ඇසූ කල්හි “එසේය” යි ඔහු කී ය. “මෙයට කලින් කවදාවත් මා විසින් තෝ නො දක්නා ලද්දෙහි ය. එසේ කල්හි මා හා ඔතරම් නො සතුටෙක් අමනාප යෙක් වුයේ, වන්නේ මොක ද? දැක නැති කල, නො හඳුනනා කල මට ඔතරම් ලෙසින් නපුරක් කරන්නට, විරුද්ධ ව නැග එන්නට කරුණු කිමැ?” යි සිටු තෙමේ ඇසී ය. “තමුන්නාන්සේ දිනෙක මා නිදන තැනට අවුත් කළ කතාව ඔබට මතක ද? අන්න, ඒ, එදා කළ කතාව නිසා මා සිත් තුළ කෝපයෙක් හට ගැණුනේ ය, මේ සියල්ලට හේතුව එය” යි කී විට සිටානන්ට එය මතක් විය. “ඔව්, මට මතකය, මා එබඳු කතාවක් කීවා, ඒ ගැණ මට කමන්නැ” යි සිටු තෙමේ ඔහු කමා කර ගෙණ “මිතුර නැගී සිටින්න, මම තට කමන්නෙමි, නැගිට යන්නැ” යි කීයේ ය.
එකල්හි ඒ පුරුෂ තෙමේ “පින්වත! තමුන්නාන්සේ මට කමන්නහු නම්, මාත් මගේ අඹුදරුවනුත් ඔබ ගෙයි මෙහෙකරුවන් ලෙසට නවතා ගන්නැ” යි ඉල්ලා සිටියේ ය. සිටු තෙමේ “මිතුර, මා සිතෙහි නො සතුටෙක් අමුත්තෙක් නැත, මේ සැබෑය, මා එදා කියූ ඒ වචන දෙක තුණට කිපි නො සතුටු ව මෙ තරම් මහත් නපුරක් කෙළෙහි ය, ගෙයි නවතා ගෙණ මා යමක් කියන ලද්දේ නම්, එය මෙයට වඩා බිහිසුණු විය හැකි ය, ගෙයි වසන්නන් සමග මොකුත් කතා කළ හැකි නො වේ. මාගේ ගෙයි මට කර ගත නො හැකි ලොකු වැඩෙක් ද නැත, මම තට කමා කරමි, ගෙයි නවතා ගැනීම නම් කළ හැකි නො වේ. ඒ නිසා සතුටු හැටියක් කර ගන්නැ” යි කීයේ ය.
ඔහු එතැනින් බැහැර ගියේ, ඉතා දුකසේ කල් ගෙවි ය. කල් යෑමෙන් මැරී ගිය ඔහු ඒ කළ කර්‍මයෙන් අවීචියෙහි උපන. එහි ඉතා දිගු කලක් නිම්හිම් නැති දුක් වින්දේ ය. විපාකාවශේෂ විසින් දැන් මේ ගිජුකුළුපව්වෙහි ප්‍රේතයෙක් ව සිටීය, යි මෙසේ ඔහුගේ ඉකුත් පුවත වදාළ බුදුරජානන් වහන්සේ “මහණෙනි! අඥානයෝ පව්කම් කරනෝ විපාක දැන නො කරති. පසුව තමන් කළ පව්කම්වලින් දැවෙන්නෝ, තුමූ ම ලැව්ගිනි වැනි වෙති” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍ම දේශනාව කළ සේක.
අථ පාපානි කම්මානි කරං බාලො න බුජ්ඣති,
සෙහි කම්මෙහි දුම්මෙධො අග්ගි දඩ්ඪොව තප්පතීති.
අඥ තෙමේ ක්‍රෝධ වසයෙන් පමණක් පව්කම් කරන්නේ නො වේ. පව්කම් කරණ අඥ තෙමේ මේ පව්කමට මෙබඳු විපාකයෙක් ඇතැ යි ද නො දනි යි. අඥ තෙමේ තමන් කළ පව්කමින් ගින්නෙන් දවන ලද්දක් සේ තැවෙන්නේ ය.
අථ = එපමණක් නො වේ.
අඥ තෙමේ පව්කම් කරන්නේ ක්‍රෝධ වශයෙන් පමණක් නො වේ යි කීසේ ය මේ.
පාපානි කම්මානි = පව්කම්.
කරං බලා න බුජ්ඣති = කරන්නා වූ අඥ තෙමේ නො දනියි.
පරපණ නැසුම් ඈ පවකම් කරණ ගුණ නුවණින් තොර මිනිස් තෙමේ “මා විසින් කළ මේ පව්කමට මෙසේ වූ අනිෂ්ට විපාකයෙක් ඇතැ” යි නො දන්නේ ය. පව්කම් කරන්නේ “පව්කම් කරමි” යි නො දන්නේ නො වේ. ‘න බුජ්ඣති’ යනු වදාළෝ කළා වූ ද කරන්නා වූ ද කර්‍මයට ලැබෙන විපාකය නො දන්නේ ය යනු දක්වනු සඳහා ය. ‘පාපං කරොන්තො ච පාපං කරොමීති අබුජ්ඣනකො නාම නත්‍ථි, ඉමස්ස කම්මස්ස එවරූපො නාම විපාකොති අජානන්තො න බුජ්ඣතීති වුත්තං’ යනු අටුවා ය.
සෙහි කම්මෙහි දුම්මෙධො = නුවණ නැත්තේ සිය කමින්. තමන් කළ පව්කමින්.
සෙහි යනු තමන් අයත්, තමන් පිළිබඳ යන අරුත් ඇත්තේය. ‘ස’ ශබ්දයෙන් කරණාර්‍ත්‍ථයෙහි තෘතීයා වූ තැනි. ස ශබ්දය, සහ - සමාන - පසත්‍ථ - සන්ත යන අරුත්හි ත, ම, ශබ්ද කාර්‍ය්‍යයයෙහි, නාමවිභක්තියෙහි ධාතුප්‍රත්‍යයෙහි ව්‍යඤ්ජනයෙහි, ස්වකීය වස්තුවෙහි, තමන් කෙරෙහි, නෑයන් කෙරෙහි, ක්‍ෂත්‍ර, රාක්‍ෂසයන් කෙරෙහි හෙන්නේය. ‘සවිතක්කා, සවිචාරා, සනිදස්සනා’ යනාදී තැන්හි සහාර්‍ත්‍ථයෙහි, ‘ හරිස්සවණ්ණො පඨවිප්පභාසො’ යනාදී තැන්හි සමානාර්‍ත්‍ථයෙහි, ‘සෙය්‍යො සෙට්ඨො’ යනාදි තැන්හි ප්‍රශස්තාර්‍ත්‍ථයෙහි, ‘ සබ්භි සද්ධම්මො, සප්පුරිසො’ යනාදී තැන්හි සන්තාර්‍ත්‍ථයෙහි, ‘ සො පුරිසො, සා ඉත්ථි’ යනාදී තැන්හි ත ශබ්ද කාරර්‍ය්‍යයෙහි, ‘අසු රාජා අසු ඉත්ථි’ යනාදී තැන්හි ම ශබ්දකාර්‍ය්‍යයෙහි, ‘ සි, යො, අං, යො, නා, හි, ස, නං’ යනාදී තැන්හි නාමවිභක්තියෙහි, ‘ තිජගුප කිතමානෙහි ඛඡසා වා’ යන තැන්හි ධාතු ප්‍රත්‍යයයෙහි, ‘ය, ර, ල, ව, ස, හ, ළ, අං’ යනතැන්හි ව්‍යඤ්ජනයෙහි, ‘සානි කම්මානි සපුත්තො’ යනාදී තැන්හි තමන් සතු වස්තුවෙහි, ‘සධනං සපරිසං’ යනාදී තැන්හි තමන් කෙරෙහි, ‘ සන්දිට්ඨො සම්භත්තො’ යනාදීතැන්හි නෑයන් කෙරෙහි, ‘සස්සං සාලි’ යනාදී තැන්හි ක්ෂේත්‍රයෙහි, ‘සපත්තො’ යනාදී තැන්හි රාක්‍ෂසයන් කෙරෙහි වැටුනේ ය. මෙහි ආයේ තමන් අයත් වස්තු ක්‍රියාදියෙහි ය.
අග්ගි දඩ්ඪොව තප්පති = ගිනෙන් දවන ලද්දකු සේ තැවේ..
අඥ තෙමේ තමන් කළ පාපකර්‍මයන්ගෙන් නිරයෙහි ඉපිද ගින්නෙන් දන ලද්දකු සේ කායික - චෛතසික සන්තාපයෙන් තැවෙනේ ය.
අඥ තමේ ක්‍රෝධයෙන් පව්කම් කරන්නේ මතු නො වේ. පව් කරන්නා වූ හෙතෙමේ මේ කර්‍මයට මෙබඳු දුඃඛවිපාකයක් ඇතැයි ද නො දනියි. තමන් කළ පව්කමින් අපායෙහි ඉපිද ගිනි ගෙණ දැවෙන්නෙකු සේ සිත කය දෙක්හි වූ බලවත් සන්තාපයෙන් නිති තැවෙන්නේ ය, යනු මෙහි අදහස ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.
අජගරප්‍රේත වස්තුව නිමි.