හිරීනිසෙධො පුරිසො කොචි ලොකස්මි විජ්ජති
යො නින්දං අපබොධති අස්සො භද්‍රො කසාමිව.
සැමිටිය වළහන්නාවූ (හෙවත් ‘මේ සැමිටියෙන් පහරිණු ලබම් දැ’යි තමා ඇගැ සැමිටිය ගසා නො දෙන්නාවූ), සුශික්‍ෂිත උතුම් අශ්වයක්හු මෙන් යම් මහණෙක් තෙම නින්‍දාව (තමා සතන්හි උපන් අකුශල විතර්‍කය) තම සන්තානයෙන් පහ කෙරේ ද, එබඳු වූ (මා වැනි ජාතිග්‍රෝත්‍ර සම්පන්න ඥානවෘද්ධ වයෝවෘද්ධ බහුශ්‍රැත ශ්‍රද්ධාසම්පන්න කුලපුතක්හට අකුශලවිතර්‍ක වශග වීම තරම් දැ යි මෙසේ) පාපයෙහි ලජ්ජායෙන් අකුශලවිතර්‍ක දුරු කරන පුරුෂයෙක් සත්ත්‍වලෝකයෙහි කිසිවෙක් ම ඇත්තේ ය (සුලභ නො වන්නේ ය).
අස්සො යථා භද්‍රො කසානිවිට්ඨො
ආතාපිනො සංවෙගිනො භවාථ
සද්ධාය සීලෙන ච විරියෙන ච
සමාධිනා ධම්මවිනිච්ඡයෙන ච
සම්පන්නවිජ්ජාචරණා පතිස්සතා
පහස්සථ දුක්ඛමිදං අනප්පකං.
(කිසි ප්‍රමාද හේතුවෙකින්) සැමිටියෙන් පහරිණ ලද, (මමත් සැමිටියෙන් පහර ලදිම් දැ යි එතැන් පටන් අප්‍රමාද වැ වීර්‍ය්‍ය කරන්නාවූ සුශික්‍ෂිත) උත්තම අශ්වයක්හු මෙන් විර්‍ය්‍යවත් වවු. සංසාරයෙහි උදේවගබහුල වවු. (මෙසේ වසන) තෙපි (ලොවීලොවුතුරා විසින් දෙවැදෑරුම්) සැදැහැයෙන් ද, සිවු පිරිසිදු ශීලයෙන් ද, (වත් පිළිවෙත් පුරණ හදාරණ පිරිවහන) කායිකවිර්‍ය්‍යයෙන් ද, කෙලෙසුන් තවන චෛතසික වීර්‍ය්‍යයෙන් ද, (රූපාරූප අෂ්ටසමාපත්ති සංඛ්‍යාත) සමාධියෙන් ද, (කාරණාකාරණ දැන්ම ලකුණු කොටැති) ධර්‍මවිනිශ්චයයෙන් ද (හෙවත් විදර්‍ශනාප්‍රඥායෙන් ද) සමන්‍විත වැ, සම්පූර්‍ණ වූ විද්‍යාචරණ ඇති වැ, (සියලු කුදුමහත් කටයුත්තෙහි එළැඹ සිටි සිහි ඇති බැවින්) ස්මෘතිසම්පන්න වැ, අනල්ප වූ (ඉතා බොහෝ වූ) මේ සසර දුක දුරු කරවු.
ආනන්‍ද මහාස්ථවිරයන් වහන්සේ, දවසෙක දිරා ගිය කිලිටි රෙදි කඩක් හැඳ, කබල් තැටියක් අතට ගෙණ, හිඟා කා ඇවිදින කුඩා කොලුවකු දුටහ. දැක “තට මේ හිඟමනට වඩා මහණවීම නරක දැ?” යි ඇසූහ. “ස්වාමීනි! මා මහණ කරන්නෝ කවුරු දැ?” යි ඌ ඇසූ විට, අනඳ තෙරණුවෝ “තෝ කැමැත්තෙහි නම්, මම තා පැවිදි කරන්නෙමි” යි කීහ. “ස්වාමීනි! පැවිදි වන්නට මම කැමැත්තෙමි” යි කොලු කී ය. ස්ථවිරයන් වහන්සේ කොලුත් රැගෙණ බුදුරදුන් වෙත ගොස් සියතින් ම ඇඟ උළා ඌ නාවා කමටහන් කියවා පැවිදි කළහ. ඌ ඇඳ තුබූ දිරු රෙදිකඩ ගෙණ දිග හැර බලා පෙරහනකටවත් ගන්නට සෑහෙන තැනක් එහි නැති බව දැක, කබල් තැටියත් සමග එය ගහක් උඩ තැබූහ. කොලු පැවිදි ව ලැබූ උපසපන්බව් ඇත්තේ, බුදුරජුන් නිසා ලැබෙන ලාභ සත්කාර වළඳන්නට විය. වටිනා සිවුරු හැඳ පෙරවී ය. ටික දවසක් යත්ම මස් ලේ වැඩීමෙන් තරබාරු සිරුරු ඇත්තේ විය. ඒ හාම සසුනෙහි කළකිරුණේ ය. සසුනෙහි ඇල්ම නැති ව ගියේ ය. “සැදැහැවතුන් විසින් සැදැහැයෙන් දෙන සිවුරු හැඳ පොරවා ඇවිදීමෙන් ඇති කාරිය කිම, සිවුරු හැර මම මට අයිති වැරහැලිකඩ අඳිමි” යි වැරහැල්ල තිබූ ගස ලඟට ගියේ ය. ගොස් ඒ බලා “අලජ්ජිය! මෙබඳු වටිනා සිවුරු හැර දමා මේ දිරූ කිලිටි රෙදිකඩ ඇඟ ඔතා ගෙණ කබල් තැටිය අතට ගෙණ සිඟන්නට යන්නෙහි දැ” යි තෙමේ තමාට අවවාද කෙළේ ය.
මෙසේ තමන් තමන්ට අවවාද කරත් ම සසුනෙහි කළකිරීම පහව ගියේ ය. සිත සන්සිදුනේ ය. ඔහු රෙදිකඩත් තැටියත් එහි ම තබා නැවතත් විහාරයට ගියේ ය. ටික දවසක් ගිය තැන නැවතත් කළකිරුණේ ය. ගස ලඟට ගියේ ය. රෙදිකඩ ගත්තේ ය. පෙර සේ ම එවරත් තෙමේ තමාට අවවාද කෙළේ ය. කළකිරුම් නැති විය. පෙරළා විහාරයට ආයේ ය. නැවතත් කළ කිරුණේ ය. ගස ලඟට ගියේ ය. රෙදිකඩ ගත්තේ ය. තෙමේ තමන්ට අවවාද කෙළේ ය. කළකිරීම පහව ගියේ ය. විහාරයට ආයේ ය. මෙසේ කිහිප වරක් එහා මෙහා යන ඒ මහණ දුටු අනික් භික්‍ෂූන් වහන්සේලා “කොහි යෙහි දැ?” යි ඔහුගෙන් ඇසූහ. “ගුරුන් වෙත යමි” යි ඔහු කී ය. මෙලෙසින් ඔහු තමන්ගේ ඒ රෙදිකඩ ම අරමුණු කොට සිත වැඩී ය. එයින් නො ඇල්ම දුරු ව ගොස් ටික දිනකින් ම ඔහු රහත් බවට පත් විය.
දවසක් භික්‍ෂූන් වහන්සේලා “ඇවැත! ඔබ දැන් ටික දිනක සිට ගුරුන් වෙත යන බවක් නො පෙණේ, ඇයි නො යහු” යි ඇසූහ. “ඇවැත්නි! ගියෙම් වැඩ ඇති දවස්හි, දැන් එහි යෑමෙන් වැඩෙක් නැත, ගුරුවරයාගෙන් වැඩ ඇති දවස්හි එහි ගියෙමි, දැන් සියල්ල සම්පුර්‍ණ ය, වැඩ නැති බැවින් දැන් නො යමි” යි ඒ මහණහු කී කල්හි භික්‍ෂූන් වහන්සේලා බුදුරජුන් වෙත ගොස් “ස්වාමීනි! පිලෝතික ස්ථවිරතෙමේ, තෙමේ රහත් යි කියා” යි බුදුරජුන්ට දන්වා සිටියහ. එවිට උන්වහන්සේ “මහණෙනි! පිලොතිකයන් කීයේ කිමැ?” යි ඇසූහ. ඔවුහු පිලෝතිකයන් කී සියල්ල දැන් වූහ. බුදුරජානන් වහන්සේ “ඔව්, මහණෙනි! ඒ තැන කීවා සැබෑ ය, ඒ තැන, තම ගුරුන් හා එකතු ව සිටියේ, ගුරුන් වෙත ගියේ, ඒ තැනට වැඩ ඇති දවසේ ය, දැන් ඒ තැනගේ ඒ වැඩ සම්පුර්‍ණ ය, ඒ නිසා ගුරුන් හා පැවැති එක්වීම දැන් අත් හැර සිටියි, තෙමේ ම සසුනෙහි නො ඇලීම දුරු කොට සසුනෙහි ඇලුම් උපදවා රහත් බවට පැමිණියේ ය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
හිරිනිසෙධො පුරිසො කො චි ලොකස්මිං විජ්ජති,
යො නින්දං අපබොධති අස්සො භද්‍රො කසාමිව.
.
අස්සො යථා භද්‍රො කසානිවිට්ඨො
ආතාපිනො සංවෙගිනො භවාථ,
සද්ධාය සීලෙන ච විරියෙන ච,
සමාධිනා ධමවිනිච්ඡයෙන ච,
සම්පන්නවිජ්ජාචරණා පතිස්සතා,
පභස්සථ දුක්ඛමිදං අනප්පකන්ති.
කසපහරින් වැළකෙන උතුම් අසකු සේ යමෙක් නින්දාව හෙවත් අකුශල විතර්‍කය සිය සිතින් පහ කෙරේ ද, නොහොත් අකුශල විතර්‍කයෙහි දොස් දනී ද, ලජ්ජායෙන් අකුශල විතර්‍කයන් දුරු කරණ පුරුෂයෙක් තෙමේ ලෙව්හි කිසිවෙක් ම ඇත්තේ ය.
සමිටියෙන් පහළ උතුම් අසකු සේ කෙලෙස් තවන වෙර ඇත්තහු වවු. සසර කළකිරුම් ඇත්තහු වවු. ශ්‍රද්ධාවෙන් ද ශීලයෙන් ද වීර්‍ය්‍යයෙන් ද සමාධියෙන් ද ධර්‍ම විනිශ්චයයෙන් ද යුක්ත ව සම්පූර්‍ණ වූ විද්‍යාචරණ ඇත්තහු, සිහි ඇත්තහු, ඉතා බොහෝ වූමේ සසර දුක දුරු කරවු.
හිරිනිසෙධො = ලජ්ජායෙන් අකුශල විතර්‍කයන් දුරු කරණ.
“මා වැනි පිළිවෙල නො සිඳ ආ, පවිත්‍ර වූ ජාතිගෝත්‍ර ඇති, නුවණින් හා වයසින් වැඩී සිටි, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, සැදැහැවත් තලතුනා එකකුට කාමාදි අකුශල විතර්‍කයන්ට යටත් වීම තරම් දැ යි සිතා පාපයෙහි ලජ්ජා ඇති ව කාමාදී අකුශල විතර්‍කයන් දුරු කරන්නා වූ”
පුරිසො = පුරුෂයෙක්.
‘පූරෙති නිස්සයස්සාභිලාසන්ති = පුරිසො, පුරිඋච්චේ ඨානෙ සෙති පවත්තතීති = පුරිසො’ යන අරුත් පැවසීම ය. තම අදහස් පුරන්නේ, අදහස් කළ දෙය නො නසා කරන්නේ, උසස් තැන පවත්නේ, සිටියේ පුරුෂ නම්.
කො චි ලොකස්මිං විජ්ජති = කිසිවෙක් ම ලොව ඇත්තේ ය.
සත්ත්‍වලෝකයෙහි ය. ලෝකය, සත්ත්‍වලෝකය - අවකාශලෝකය - සංස්කාරලෝකය යි තෙ පරිදි ය. එහි, ඉන්‍ද්‍රියබද්ධ ස්කන්‍ධයන්ගේ සමූහ සන්තානය සත්ත්‍වලෝක නම්. ‘ ඉන්‍ද්‍රියබද්ධානං ඛන්‍ධානං සමූහො සන්තානො ච සත්තලොකො’ යනු ටීකා වචන ය. මේ වනාහි බ්‍රහ්ම - දිව්‍ය - මනුෂ්‍ය - තිරශ්චීන - ප්‍රේත - අසුර - නෙරයිකාදි ආත්මභාව විසින් විවිධ භේද ඇත්තේ කෙළවරක් නැත්තේ ය. එහෙයින් “සත්ත්‍වවිෂය අචින්ත්‍ය” යි වදාළෝ. සිතන්නෝ විඝාතයට පැමිණෙන්නෝ ය. නො සිතිය හැකි ඒ මේ සත්ත්‍වගණයෙහි පින්පව්පල පැණේ නු යි ලෝක නම් වී. ‘ලොකීයන්ති එත්‍ථ පුඤ්ඤපාපඵලානීති = ලොකො’ යනු ඒ පැහැදිලි කිරීම ය. ‘ ලොකීයති එත්‍ථ පුඤ්ඤපාපං තබ්බිපාකො චාති = ලොකො, ලොකීයති එත්‍ථ කුසලාකුසලං තබ්බිපාකො චාති ලොකො’ යනු එහිලා කළ තවත් විවෘතීහු ය. ‘ සස්සතො ලොකො අසස්සතො ලොකො’ යනාදී තැන්හි මේ යෙදී සිටියේ ය. ගාථායෙහි ආයේ ද මේ ලෝකය යි.
‘ අනින්‍ද්‍රියබද්ධානං රූපාදීනං සමූහො සන්තානො ච ඔකාස ලොකො’ ඉන්‍ද්‍රිය බද්ධ නො වූ ඉන්‍ද්‍රියයන් හා නොබැඳුනු රූපාදීන්ගේ සමුහසන්තානය අවකාශලෝක නම්. මේ ද, පෘථවී - පර්‍වත - ගංගා - සමුද්‍රය - වෘක්‍ෂ - ලතා - වහ්නි - වායු - චක්‍රවාටාදීන්ගේ වශයෙන් විවිධ භේදයට ගියේ කෙළවරක් නැත්තේ ය. ‘ ලොකීයති විචිත්තාකාරතො දිස්සතීති = ලොකො ලොකීයන්ති එත්‍ථ තසා වා ථාවරා වාතී = ලොකො’ යනු එහි අරුත් උදුරා දැක්වීම ය. විසිතුරු ලෙසින් දක්නා ලැබේ. මෙහි නො පැහූ භය තෘණා ඇත්තෝ, පැහූ භයතෘෂ්ණා ඇත්තෝ දකිනු ලැබෙත් නු යි ලෝක නම්. ‘යාවතා චන්‍දිමසුරියා පරිහරන්ති දිසා භන්ති විරොචනා තාව සහස්සධා ලොකො එක්ව තෙ වත්තතී වසො’ යනාදී තැන්හි මේ යෙදී සිටියේ ය.
‘උභයෙ පි ඛන්‍ධා සඞ්ඛාරලොකො’ ඉන්‍ද්‍රියයන්ගෙන් බැඳී සිටියා වූත්, ඉන්‍ද්‍රියයන් හා නොබැඳුනා වූත් ස්කන්‍ධසමූහය සංස්කාර ලෝක නමැ යි කීහ. මෙයින් අර්‍ත්‍ථ විසින් දුක්ඛ සමුදය යන ආර්‍ය්‍ය සත්‍ය දෙක ගැණේ. ‘ලුජ්ජති පලුජ්ජතීති = ලොකො, ලුජ්ජනට්ඨෙන = ලොකො’ යනු එහිලා ගත යුතු ය. නැසෙන වැනසෙන අරුතින් ලෝක නම්. ‘එකො ලොකො සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා’ යනාදී තැන ඒ දක්නා ලැබේ.
මෙසේ ලෝකය, සත්ත්‍ව - අවකාශ - සංස්කාර ලෝක යි විභාග විසින්, ස්වරූප විසින් කියන ලද්දේ ද, ස්කන්‍ධලෝකාදීන්ගේ වශයෙන් ස්කන්‍ධලෝක - ආයතනලෝක - විපත්තිභවලෝක - විපත්තිසම්භවලෝක - සම්පත්තිභවලෝක - සම්පත්ති සම්භවලෝක - එකවිධලෝක - ද්විවිධලෝක - ත්‍රිවිධලෝක - චතුර්විධලෝක - පංචවිධලෝක - ෂඩ්විධලෝක - සප්තවිධලෝක - අෂ්ටවිධලෝක යනාදීන් නොයෙක් භේදයට ගියේ ය. ඒ හැම පංචොපාදානස්කන්‍ධයන් කෙරෙහිම ඇතුල් ව ගත්තේ ය. යමෙක් එකකින් ම නැසේ නම් වැනසේ නම් ඒ මය ලෝක. ලෝක ශබ්දය උපාදානස්කන්‍ධයන් කෙරෙහි ම රූඪය. විස්තාරකථා අනික් පොතින් දත හැකි ය.
යො නින්දං අපබොධති = යමෙක් නින්දාව පහ කෙරේ ද.
සිතෙහි හටගන්නා කාම - ව්‍යාපාද - විහිංසා යන විතර්‍ක මෙහි නින්දා යි ගන්නා ලද ය. නො පමාව සිට මහණදම් කරන්නේ තම සිත්හි උපන් නින්දාව හෙවත් කාමාදි අකුශල විතර්‍ක සිය සිතින් පහ කෙරේ ද, නොහොත් අකුසලවිතර්‍කයන්හි දොස් දනී ද. ‘පුරිසො’ යන්න හා සම්බන්‍ධව සිටියේ ය. ‘ අපබොධති’ යන ක්‍රියාපදය සමහර පොතක ‘ අප්පබොධති’ යි [1] ලියා ඇත්තේ ය. එහෙත් එය විය යුත්තේ ‘අපබොධති’ යනු සේ ය මට පෙනෙන්නේ. “අප්පමත්තො සමණධම්මං කරොන්තො අත්තනො උප්පන්නං නින්දං අපහරන්තො බුජ්ඣතීති අපබොධති, යථ හද්‍රො අස්සො අත්තනි පතමානං කසං අපහරති අත්තනි පතිතුං න දෙති යො එවං නින්දං අපබොධති” යන අර්‍ත්‍ථකථා පාඨය නිසා.
අප යන වර්‍ජනාර්‍ත්‍ථවාචී වූ අව්‍යය හා බුධ+ඤාණ යන ධාතුවෙන් නිපන්නේ ය මෙම ක්‍රියා රූප ය. එහෙයින් අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යයෝ ‘ අපහරන්තො බුජ්ඣති’ යි මෙහි අරුත් කීහ.
අස්සො භද්‍රො කසාමිච = කසපහරින් වැළකෙන උතුම් අසකු සේ.
“මමත් කසපහර ලැබිය යුත්තෙම් දැ” යි තමන් ඇඟ කසපහර ගසා ලිය නො දෙන්නා වූ, මොනවට හික්මුනු උතුම් අසකු සේය.
හික්මුනු උතුම් අසු, තමන් කෙරෙහි එන කසපහර යම් සේ වළකා ද, තමන් වෙර කසපහර වැටෙන්නට යම්සේ ඉඩ නො දේ ද, එසේ යමෙක් පවෙහි ලජ්ජාවෙන් කාමාදි අකුශල විතර්‍කයන් සිය සිතින් පහ කෙරේ ද එබඳු පුරුෂයෙක් මේ සත්ත්‍වලෝකයෙහි කිසිවෙක් ම ඇත්තේ ය. එබඳු පුරුෂයෙක් ලැබීම ලෝකයෙහි කලාතුරකින් ම වන්නේ ය. ඇත්තේ කිසිවෙක් ම ය.
අස්සො යථා භද්‍රො කසානිවිට්ඨො = සැමටියෙන් පහළ උතුම් අසකු සේ.
හික්මුණු උතුම් අසු, යම් කිසි පමාවකින් කසපහරකට යටත් වී නම්, “මමත් කසපහරට යටත් වීමි” යි එතැන් පටන් සිට හැම විටෙක ම කස පහර වළකන්නට වෑයම් කරන්නේ ය. එසේ වෑයම් කරණ උතුම් අසකු සේ ය යන අරුත් ය.
ආතාපිනො භවාථ = කෙලෙස් තවන වෙර ඇත්තහු වවු.
“තත්‍ථ කතමං ආතප්පං? යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මා වායාමො, ඉදං වුච්චති ආතප්පං” යනු වදාළ බැවින් සිතේ යම් වෙරක් වෑයමක් වේ නම් එය ආතප්ප නමැ යි කිය යුතු ය.
“ආතාපෙති කිලසෙතීති = ආතාපො, ආ සමන්තතො තාපෙතීති = ආතාපො, තීසු භවෙසු කිලෙසෙ ආතපතීති = ආතාපො, කිලෙසසන්තා පත්‍ථෙන ආතාපො, කිලෙසානං ආතාපනට්ඨෙන ආතාපො” සිතෙහි වූ වීර්‍ය්‍ය ය. සම්‍යක් ව්‍යායාමය, කෙලෙස් තවා නු යි භවත්‍රය පිළිබඳ හැම කෙලෙසුන් හැම ලෙසකින් තවන්නේ නු යි ආතාප නම්. ආතාප යි සම්‍යක් ප්‍රදහනවීර්‍ය්‍යයට නමෙකි. දැඩි ව දැවිය යුතු බැවින් ‘ප්‍රදහන’ නම්, මේ ම නැවත නැවත යෙදිය යුතු බැවින් අනුයෝගය යි ද කියනු ලැබේ. ඇතැම් තැනෙක කායික - චෛතසික වීර්‍ය්‍ය දෙක්හි ම ‘ආතප්ප - ආතාප’ ශබ්ද දෙක අවිශේෂ ව යෙදී ඇත්තේ ය. ඒ මේ කෙලෙස් දවන තවන සම්‍යක් ප්‍රදහනවීර්‍ය්‍යය ඇත්තේ ආතාපී නම් වේ. එහි බහුත්වය ‘ ආතාපිනො’ යනු යි. සම්‍යක් ප්‍රදහනවීර්‍ය්‍යවත්හු ආතාපීහු වෙති. “ ඉමිනා ආතාපෙන උපෙතො හොති සමුපතො උපාගතො සමුපාගතො උපපන්නො සම්පන්නො සමන්නාගතො තෙන වුච්චති ආතාපීති” යනු දේශනාය. ‘ කායික චෙතසිකසඞ්බාතෙන විරියාතාපෙන ආතා පවන්තො’ යනු අටුවා ය.
සංවෙගිනො = සසර කළකිරුම් ඇත්තහු වවු.
භවාථ යන ක්‍රියාරූපය මෙහි ඇද දැක් විය යුතු ය. ‘සහොත්තප්පං ඤාණං සංවෙගො නාම’ භය සහිත වූ ඤාණය සංවෙග නම්. ඉපදීම - මහලුවීම - රෝගාතුරවිම - මැරීම - අතීතවෘත්ත - අනාගතවෘත්ත - වත්මන් අහර සෙවුම යන මුන් පිළිබඳ දුක යන අෂ්ටවිධ සංවේගවස්තූන් නිසා උපදවන බිය සහිත නුවණ සංවේග යි දත යුතු ය. ලෝකය ඉපැදුම් මහලු වීම් ඈ දුක් වලින් නිතර ඇවිළ ගත්තේ ය. කෙලෙසුන්ගෙන් ඇවිසුනේ ය. නො මග පිළිපන්නේ ය. ලෝකය ස්ථිර නො වේ. රැකුම් රහිත ය. නැසෙන සුලුය ය. හැම කල් පවතින්නේ නො වේ. හැර යා යුතු ය. සෑහීමට පත් නො වන්නේ ය. තෘෂ්ණාවට දාස ය. යන මේ ඈද සංවේග යට කරුණු ය.
මෙසේ උපදනා සංවේගයෙන් හව ආදියෙහි කිසි රැකුමක් කිසි සැඟවුමක් කිසි පිළිසරණක් නො දක්නේ, එහි නො ලැගුනු සිතැත්තේ, නිවණට නැමී සිටියේ, නිවණට බර වූයේ සමථ විදර්‍ශනාවන්හි යෙදුනේ, සංස්කාර ගත වූ සියල්ලෙහි කළකිරුණේ, නො ද ඇලුනේ සංවෙගී නම් වේ. බහුත්වය ‘සංවෙගිනො’ යනු ය. ‘ සංවෙගො අස්ස අත්‍ථීති = සංවෙගී’ යනු දන්නේ ය.
සද්ධාය = ශ්‍රද්ධාවෙන් ද ඇදහීමෙන් ද විස්වස් තැබීමෙන් ද.
ලෞකික - ලෝකෝත්තර විසින් ශ්‍රද්ධා දෙ පරිදි ය. එහි මග පල සිත්වල යෙදී සිටියා ලෝකෝත්තර ශ්‍රද්ධා ය. ඕ නිවන් අරමුණෙහි සිත පහදන්නී ය. ලෝකය පිළිබඳ කුසල්සිත්හි යෙදුනා ලෞකික ශ්‍රද්ධා ය. ඕ තුණුරුවන් ගුණ ඈහි සිත පහදන්නී ය. මෙහි මේ දෙක ම ගැණේ.
සීලෙන ච = සීලයෙන් ද,
පාතිමොක්ඛ - ඉන්‍ද්‍රිය - ආජීව - පච්චයසන්නිස්සිත යි සීලය සිවු වැදෑරැම් ය. එහි සික්ඛාපදසීලය පාතිමොක්ඛ නම්. මේ වනාහි සීල - සති - ඤාණ - ඛන්ති - විරිය යි සංවර විනය පසින් සංගෘහීත ය. ආපතිස්කන්‍ධ විසින් පාරාජිකා - සංසාදිසේස - ථුල්ලච්චය - පාචිත්තිය - පාටිදේසනීය - දුක්කට - දුබ්බාසිත යි ආපත්ති ස්කන්‍ධ සතින් පරිමිත ය. ශික්‍ෂාපද විසින් දෙසිය සත් විස්සකින් නියමිත ය. මෙසේ මේ සීලය දෙසිය සත් විස්සක් සිකපදයෙන් නියමිත වුව ද ශිෂ්‍ය විසින් කෙළවරෙක් නැත්තේය.
මේ සීලය, නැවත ආභිසමාචාරික - ආදිබ්‍රහ්මචරියක යි ද වැදෑරුම් ය. “ අභිසමාචාරොති උත්තමසමාචාරො, අභිසමාචාරො එව ආභිසමාචාරිකං, අභිසමාචාරං වා ආරබ්භපඤ්ඤත්තං ආභිසමාචාරිකං, ආජීවට්ඨමකතො අවසෙසසීලස්සෙතං අධිවචනං, යානි වා සික්ඛාපදානි ඛුද්දානුඛුද්දකානී ති වුත්තානි ඉදං ආභිසමාචාරිකං සීලං, ඛන්‍ධකවත්තපරියාපන්නං වා ආභිසමාචාරිකං” යනු ආභිසමාචාරිකසීලය තේරූ සැටිය. කය වචන දෙක්හි උතුම් හැසිරීම, කය වචන දෙක්හි ජනප්‍රිය භාවය අභිසමාචාර නම්. ඒ ම ආභිසමාචාරික නමුදු වේ. නොහොත් අභිසමාචාරැ යි කියන සෝවාන් ඈ මගපල සඳහා පනවා වදාළ ශික්‍ෂාපදසමූහය ආභිසමාචාරික නම් වේ. ආජීවට්ඨමක සීලයෙන් අන්‍ය වූ ශීලය මෙයින් කිය වේ. නොහොත් කුඩා, ඉතා කුඩාපවිති, දුක්කට, දුබ්භාහාසිත යන ශික්‍ෂාපද, ව්‍යතික්‍රමණ නො කොට රැකීම ආභිසමාචාරිකසීලය යි ගණු ලැබේ. නොහොත් සුලුවග - මහවග දෙක්හි ආ කඳුවත් පිරීම ආභිසමාචාරිකසීලය යි දන්නේ ය.
“මග්ගබ්‍රහ්මචරියස්ස ආදිහාවභූතන්ති ආදිබ්‍රහ්මචරියකං, ආජීවට්ඨමකසීලස්ස එතං අධිවචනං, තං හි ආදිභාවභූතං පුබ්බභාගෙයෙච පරිසොධෙතබ්බතො. තෙනෙවාහ, පුබ්බෙ ව ඛො පනස්ස කායකම්මං වචීකම්මං ආජීවො පරිසුද්ධො හොතීති” මගබඹසරැ යි කියන ආර්‍ය්‍යමාර්‍ගයට පැමිණෙනු සඳහා ආදියෙහි පිරිය යුතු බැවින් ආදිභාවභූත වූ සීලය ආදිබ්‍රහ්මචරියක නම් වේ. ඒ නම් සතුන් මැරීම - හොරකම් කිරීම - කාමයෙහි වරදවා හැසිරීම - බොරුකීම - කේලාම් කීම - පරුසබස්බිණීම - නන්දෙඩීම - වැරදි දිවි පෙවෙත යන මෙයින් වැළකීම සඳහා සමාදන් ව ගන්නා ආජීවට්ඨමකසීලය යි. මේ සීලය මාර්‍ගයට පෙරටුව ම පිරිය යුතු බැවින්, පාරාජිකා - සඞ්ඝාදිසේස යන මහාශික්‍ෂා පද ව්‍යතික්‍රමණය නො කොට රැකීම, හෙවත් භික්‍ෂු - භික්‍ෂුණී උභයවිභඞ්ගයෙහි ඇතුළත් ශික්‍ෂාපද රැකීම ආදිබ්‍රහ්මචරියක නම් වේ, පාරාජිකාවිරති හා සඞ්ඝාදෙසවිරති මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවට ආදි වූ බැවින් ආදි බ්‍රහ්මචරියකසීලැ යි දන්නේ ය.
මෙසේ ව්‍යවස්ථා කරණ ලද ශික්‍ෂාපදශීලය, ‘පාතිමොක්ඛ සංවරැ’ යි නම් කරනු ලැබේ. එසේ නම් කැරෙන්නේ කරුණු ඇති බැවිනි. මේ ඒ කරුණු ඉතාම කොටින්.
“යො නං පාති රක්ඛති තං මොක්ඛති ආපායිකාදීහි දුක්ඛෙහීති පාතිමොක්ඛං” යම් සීලයෙක් තෙමේ තමන් රක්නහු අපායයන් පිළිබඳ දුක්වලට වැටෙන්නට නො දී ඒ දුක් වලින් රැක ගණී ද, එයින් මුදා ද එහෙයින් පාතිමොක්ඛ නම් ඒ.
“කිලෙසානං බලවභාවතො පාපකිරියාය සුකරභාවතො පුඤ්ඤකිරියාය ච දුක්කරභාවතො ච බහුක්ඛත්තුං අපායෙසු පතනසීලොති = පාතී, පුථුජ්ජනො; තං පාතිනං සංසාර දුක්ඛතො මොක්ඛෙතීති = පාතිමොක්ඛං” කෙලෙසුන්ගේ බලවත් බව හේතු කොට, පව්කිරීමේ පහසුකමින් හා පින් කිරීමෙහි නො පහසුකමින් නොයෙක් වර අපායයෙහි හෙන සුලු වූයේ පාතී ය. ඒ නම් පුහුදුන් සත්ත්‍ව තෙමේ ය. මෙසේ අපායයෙහි හෙන ඒ පෘථග්ජන සත්ත්‍වයා සසරදුකින් මුදා නු යි පාතිමොක්ඛ නම් ඒ.
“අනිච්චතාය භවාදීසු කම්මවෙගක්ඛිත්තො ඝටීයන්තං විය අනවට්ඨානෙන පරිබ්භමණතො ගමනසීලොති = පාතී, මරණවසෙන වා තම්හි තම්හි සත්තනිකායෙ අත්තභාවස්ස පතන සීලොති වා = පාති, සත්ත සන්තානො, චිත්තමෙව වා, තං පාතිනං සංසාරදුක්ඛතො මොක්ඛෙතීති = පාතිමොක්ඛං” අනිත්‍යභාවය හේතු කොට හෝ කාමභවාදියෙහි කර්‍ම වේගයෙන් බහාලන ලදු ව ලිඳෙන් පැන් නගනා ආඬියකු සේ සැලෙමින් කරකැවෙමින් හෙන සුලු වූයේ පාතී ය. මරණ වශයෙන් හෝ, ඒ ඒ සත්ත්‍ව නිකායයෙහි අත්බව හෙලන සුලු වුයේ පාතී ය. ඒ නම් සත්ත්‍ව සන්තානය ය. සිත ය. මෙසේ හෙන සුලු වූ සත්ත්‍වසන්තානය, සිත සසර දුකින් මුදා නු යි පාතිමොක්ඛ නම්.
“අථ වා අවිජ්ජාදිනා හෙතුනා සංසාරෙ පතති ගච්ඡති පවත්තතීති = පාතී, තස්ස පාතිනො සන්තස්ස තණ්හාදී සංකිලෙසත්තයතො මොක්ඛො එතෙනාති = පාතිමොක්ඛං” අවිද්‍යාදී වූ හේතුවෙන් සසරෙහි හෙන්නේ පාතී ය. අවිද්‍යා දි හේතුවෙන් සසරෙහි හෙන ඒ සත්ත්‍වයා තෘෂ්ණාදි සංක්ලේශත්‍රයයෙන් මුදාලීම පාතිමොක්ඛ නම්.
“අථ වා පාතෙති විනිපාතෙති දුක්ඛෙහිත = පාතී, චිත්තං තස්ස පාතිනො මොක්ඛො එතෙනාති = පාතිමොක්ඛං” දුක් හේතු කොට වැටෙන්නේ පාතී ය. සිතයි. මෙයින් දුකෙහි වැටෙන්නහුගේ මිදීම වේ නු යි පාතිමොක්ඛ නම්.
“පතිති වා එතෙන අපායදුක්ඛෙ සංසාරදුක්ඛෙ වාති = පාතී, තණ්හා දිසංකිලෙසා; තතො පාතිතො මොක්ඛොති = පාතිමොක්ඛං” මේ කරණකොට අපාදුකෙහි හෝ සසරදුකෙහි වැටෙන්නේ පාතී ය. ක්ලේශ ධර්‍මයි. ඒ තෘෂ්ණාදි සංක්ලේශයන්ගෙන් මිදීම පාතිමොක්ඛ නම්.
“අථ වා පතති එත්‍ථාති පාතීනි = ඡ අජ්ඣත්තිකබාහිරායතනානි. තතො ඡ අජ්ඣත්තිකබාහිරායතනසඞ්ඛාතතො පාතිතො මොක්ඛොති = පාතිමොක්ඛං” මෙහි හේ නු යි පාතීනිය. ෂඩ්විධ ආධ්‍යාත්මිකබාහිරායතන යි. ඒ ෂඩ්විධආධ්‍යත්මික බාහිරායතන සඞ්ඛ්‍යාත වූ පාතීහු කෙරෙන් මිදීම පාතිමොක්ඛ නම්.
“අථ වා පාතො විනිපාතො අස්ස අත්‍ථීති = පාතී, සංසාරො, තතො මොක්ඛොති = පාතිමොක්ඛං” මෝ හට හීම ඇත්තේ නු යි පාතී නම්. සංසාරය යි. ඒ සසරින් මිදීම පාතිමොක්ඛ නම්.
“අථ වා සබ්බලොකාධිපතිභාවතො ධම්මිස්සරො භගවා පාතීති වුව්චති, මුච්චති එතෙනාති = මොක්ඛො, පාතිනො මොක්ඛො තෙන පඤ්ඤත්තොති = පතිමොක්ඛො, පතිමොක්ඛං එව = පාතිමොක්ඛං” සර්‍ව ලෝකාධිපතිභාවයෙන් භාග්‍යවතුන් වහන්සේ පති යි කියනු ලැබෙත්. එයින් මිදේනු යි මොක්ඛ නමි. පති වූ බුදුරදුන්ගේ මෝක්‍ෂය උන්වහන්සේ විසින් ම පණවන ලදැ යි පතිමොක්ඛ වේ. ඒ පතිමොක්ඛය ම පාතිමොක්ඛ නම්.
“සබ්බගුණභූතානං වා මූලභාවතො උත්තමට්ඨෙන පති ච සො යථා වුත්තත්‍ථෙන මොක්ඛො චාති = පතිමොක්ඛො, පතිමොක්ඛ එව = පාතිමොක්ඛං” සියලු ගුණයට මුල් බැවින් උතුම් අරුතින් පති වූ යේ ද හේ ම ය කියූ අරුත් විසින් ම මොක්ඛ වූයේ ද හේම නු යි පතිමොක්ඛ වේ. ඒ පතිමොක්ඛයම පාතිමොක්ඛ නම්.
මේ ශික්‍ෂාපදශීලය, තදඞ්ග විසින් සමාධි ප්‍රඥා සහිත වූයේ විෂ්කම්භන විසින් හා සමුච්ඡේද විසින් අතිශයින් මුදානු යි පාතිමොක්ඛ නම්.
ඒ ඒ ව්‍යතික්‍රමණදෝෂයන්ගෙන් වෙන් වෙන් ව මිදීම පතිමොක්ඛ ය යි. ඒ ම පාතිමොක්ඛ නම්.
නිවණට ‘මොක්ඛ’ යි නමෙකි. ඒ මොක්ඛයට පිළිබිඹු වුයේ පතිමොක්ඛ ය යි. සුදුසු පරිදි කෙලෙස් නිවන බැවින් සීලසංවරය නිවණෙහි උදය දක්වන්නේ ය. නිවණෙහි පිළිබිඹු ය. හිරුගේ උදාවීම දක්වනු අරුණා ලෝකය සේ ය. ඒ මේ නිවණට පිළිබිඹු වූ පතිමොක්ඛය ම, සීලසංවර ය ම පාතිමොක්ඛ නම් වේ.
මෝක්‍ෂය පිණිස පවතින්නේ හෝ මෝක්‍ෂයට අභිමුඛ වූයේ පතිමොක්ඛ ය යි. ඒ ම පාතිමොක්ඛ නම්.
මෙතෙක් කොටින් දැක්වුනේ ශික්‍ෂාපදශීලය පාතිමොක්ඛ යි දැක්වීමට පොතපතෙහි ආ යුතුකම් ය.
සංවර නම් ශික්‍ෂාපදව්‍යතික්‍රමණය නො වන සේ කායවාග්ද්වාරයන් රැක ගැණුම ය. කොටින් කිය හැක්කේ ශික්‍ෂාපද නොබිඳ රැක ගැණුම සංවර නම් බව ය. ඒ ද පාතිමොක්ඛ ම ය.
‘සංවරති පදහති එතෙනාතී = සංවරො’ යනු අරුත් හෙලි පෙහෙලි ය යි. මෙය සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන්ගේ අව්‍යතික්‍රමණය ලක්‍ෂණ කොට ඇත්තේ ය. ‘ සත්තන්නං ආපත්තික්ඛන්‍ධානං අවිතික්කම ලක්ඛණො සංවරො’ යනු අටුවා ය.
ආලෝක අතුරෙහි සූර්‍ය්‍යාලෝකය ම මහත් ආලෝකය වේ. පර්‍වත අතුරෙහි මහාමේරු පර්‍වතය ම මහත් පර්‍වතය වේ. ලෞකික ශීලසංවර අතුරෙහි ප්‍රාතිමෝක්ෂ්‍යසංවරය ම මහත් සංවරය වේ. අධික සංවරය වේ. උත්තමසංවරය වේ. බුද්ධෝත්පාදයක ම ලැබිය යුත්තේ ය. බුදුරජුන් විසින් ම පැණවිය යුත්තේ ය. ශික්‍ෂාපද පැණවීම බුදුරජුන්ට විනා ශ්‍රාවකයන්ට විෂය නො වේ.
ඒ මේ ප්‍රාතිමෝක්‍ෂ සංවරශීලයට උපකාරකධර්‍ම වූයේ ආචාර ගෝචර දෙක ය.
එහි ආචාර නම්, කයින් ශික්‍ෂාපද මැඩ ඉක්මවා නො යෑම ය. හෙවත් ත්‍රිවිධ කායසුචරිතය ය. වචනයෙන් ශික්‍ෂාපද මැඩ ඉක්මවා නො යෑම ය. හෙවත් චතුර්විධ වාක් සුචරිතය ය. කයින් හා වචනයෙන් ශික්‍ෂාපද නො මැඩීම, නො ඉක්මවීම. සප්තවිධකාය වාක්සුචරිතය ය. කොටින් කිය හැක්කේ සියලු සීල සංවරය ම ආචාර නම් බව ය. එකල මානසිකාචාරය ද ගැණේ.
යම්කිසි පැවිද්දෙක් සිවුපසය ලබන්නට සිතා, හුණදඩු, කොළ, මල්, ගෙඩි, නහනසුණු (සබන්) දැහැටි නො දේ ද, තමන් පහත් තැන තබා, දායකයාගේ සන්තෝෂය බලාපොරොත්තු වෙමින් චාටු බස් බිණීම, (චාටු කම්‍යතා) මුං ඇට ව්‍යඤ්ජනය සේ බොරු හැබෑ දෙකින් මුසු වූ ඇත්ත ටිකක් ඇති බොරුවෙන් ම ගහන වූ බස් බිණීම, ( මුග්ගසුප්‍යතා) ගිහියන් ගේ සිත් ගැණීම පිණිස ඔවුන්ගේ කුඩා දරුවන් වඩා ලඟට ගෙණ කිරිමවුන් දරුවන් නල වන්නා සේ නැලවීම, (පාරිභට්ටකතා) ගිහියන්ගේ ලියුම් පණිවිඩ ගෙණ යෑම ඊම, (ජඞ්ඝ පෙසනිකා) යන මෙයින් හෝ වෙදකම් කිරීම, නැකැත් කීම, වස්කවි සෙත්කවි කීම, බලිතොවිල් කිරීම, තෙල් නූල් මැතිරීම යනාදී වූ බුදුරජුන් විසින් ගැරහුනු වෙනත් අනික් වැරදි දිවි පෙවෙතින් හෝ දිවි නො යවා ද, එසේ ජීවත් නො වීම ද ආචාර යි කියනු ලැබේ.
යම්කිසි පැවිද්දෙක් වැඩිමහලු තෙරුන් කෙරෙහි ගෞරවය හා යටත් පැවතුම් ඇති ව, වැඩිමහලු මහණුන් සිවුරෙන් හෝ සිරුරෙන් නො ගටා විලිබිය ඇති ව වෙසේ ද, වැඩිමහලු මහණුන් ඉදිරියෙහි නො සිටි ද, හිස වසා පොරවා නො ඉඳීද, විහාර සීමාව තුළ දෙවුර වසා නො ඉදී ද, අසුන්හි හිඳ වැඩිමහලු තෙරුන් හා කථා නො කෙරේ ද, වැඩිමහල්ලන් ඉදිරියෙහි පා වහන් නො දරා ද, ගම් වදනා කල මහල්ලන් පසුබා තෙමේ ඉදිරියෙහි නො යේ ද, ගැහැණුන් වසනා කාමර තුළට නො වදී ද, කුඩා ලමුන්ගේ ඇඟපත අත නො ගා ද, මනා කොට හැඳ පොරවා ද, දුටුවන් පහදනා යෑම ඊමෙන් හා වට පිට බැලීමෙන් සැදුනේ ද, යට හෙලා ලූ ඇස් ඇති ව සන්සුන් ඉඳුරන් ඇති ව යෑම් ඊම් කෙරේ ද, පමණ දැන වළඳා ද, නින්දෙහි නො ඇලුනේ ද, භාවනාවෙහි යෙදුනේ ද, සිහි නුවණින් යුක්ත වේ ද, ලද දෙයින් සතුටු වේ ද, වෙර වඩා ද, ආභිසමාචාරික වත් පිළිවෙත් පිරීමෙහි යෙදි වෙසේ ද ඔහුගේ මේ සදාචාර ප්‍රවෘත්තිය යහපත් පැවැත්ම ආචාර යි කියනු ලැබේ.
යම්කිසි පැවිද්දෙක්, වැඩිමහලු මහණුන් විචාරා ම බණකීම්, පැණ විසඳුම්, පාමොක් උදෙසුම් කෙරේද, ගෞරවයෙන් නැඟී සිට කතා කෙරේද, ගෙවලට ගොස් ගැහැණියකට, කෙල්ලකට “තිබෙන්නේ මොනවා ද, කැඳ තිබේ ද, බත් තිබේ ද, කැවුම් තිබේ ද, කන්නට බොන්නට මොකුත් තිබේ දැ” යි යන ඈ ලෙසින් නො සරුප් බස් නො බෙණේ ද, ඔහුගේ මේ සදාචාර ගුණය ආචාර යි කියනු ලැබේ.
ගෝචර නම්, මහණදමට අනතුරු කරන්න තැන් නො සෙවුම නො බැජුම ය. සසුන් වන් යම්කිසි පැවිද්දෙක් වෙසඟනන් වසනා තැනට, වැන්දඹු ගැහැණුන් වසනා තැනට, සැමියන් බැහැර ගිය ගැහැණුන් වසනා තැනට, වැඩිවිය පැමිණ දීග නො ගොස් ගෙයි වැඩෙනා තරුණ ගැහැණුන් වසනා තැනට, නො සන්සුන් කෙලෙස් ඇති රාගය ඇසුරු කළ බස් බණන නපුංසකයන් වසනා තැනට, මෙහෙණන් වසනා තැනට, නො යේ ද, බේබද්දන් හැසිරෙන මත්පැන් හලට නො යේ ද, රජුන් හා රජ ඇමතියන් හා තීර්‍ත්‍ථකයන් හා තීර්‍ත්‍ථශ්‍රාවකයන් හා එක් ව නො වෙසේ ද, තුණුරුවන්හි ඇදහිලි නැති, කර්‍මපල නො අදහන, බික්සඟ ඈ සිවු පිරිසට ගරහන, ඒ පිරිස් බිය ගන්වන, අවැඩ කරණා, සැදෑ නැති කුල සේවනය නො කෙරේ ද, මේ, මහණුන් පිළිබඳ නුසුදුසු තැන් නො සෙවු ම, ඇසුරු නො කිරීම ගෝචර යි කියනු ලැබේ.
ගෝචරය, උපනිස්සයගෝචර - ආරක්ඛගෝචර - උපනිබන්‍ධගෝචර යි තුන් වැදෑරුම් ය.
එහි උපනිස්සයගෝචර නම්, අප්පිච්ඡකථා ආදී දසවිධ කථාවනට පිහිට වූ සීලාදිගුණ යුත් කල්‍යාණමිත්‍රයා ය. යම් කලණ මිතුරකු ඇසුරු කිරීමෙන් පෙර නො ඇසූ විරූ දහම් අසා ද, පෙර ඇසූ විරූ දහම් නැවත වත පිළිවිසීමෙන් පිරිසිදු කෙරේ ද, සැක තැන නිසැක කර ගනී ද, සිය දිටු ඇද හැර ගණී ද, කම්පල අදහා ද, තුණුරුවන්හි පහන් වේ ද, රූ අරූ දහම් තතු දැන සම්දිටු ඇද හරී ද, නම් රූ දහම් හට ගැනීමෙහි හේතු හා එයින් හට ගත් දහම් මැනැවින් දැන ඉකුත් කල්හි හා මතු එන කල්හි හා දැන් පවත්නා කල්හි හා යන තුන් කල්හි සැක දුරු කර ගණී ද, උදය - ව්‍යය ඥානාදීන්ගේ වශයෙන් විදසුන් වඩා ආර්‍ය්‍යභූමියට පැමිණ ස්ථිරශ්‍රද්ධාවෙන් තුණුරුවන්හි සිත පහදවා ගණී ද, ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන පංචවිධ ධර්‍මයන්ගෙන් තෙමේ වැඩේ ද, යන මේ හැමට කරුණු වූ ඇදුරු, මෙහි කලණ මිතුරු නම් වේ. උපනිස්සයගෝචර ද මේ ය.
ආරක්ඛගෝචර නම්, ඉඳුරන් සංවර කර ගැණුම ය. ශාසනික භික්‍ෂු තෙමේ ගමට හෝ වීථියට වන් කල්හි යට හෙලාලු ඇස් ඇති ව වියදඬු පමණ බලමින් ඇස්, කන්, නාස් ඈ සයිඳුරන් මොනවට රැක ගනිමින් යේ ද, ඇත්, අස්, රිය, පාබල සෙනඟ, ගැහැණු, පිරිමි යන මොවුන් දෙස නො බලා, වට පිට නො බලා යේ ද, මහණහු පිළිබඳ මෙ බඳු වූ ඔබිනොබ බැලීම් ආදී වූ අසංවරයට ඉඩ නො තබන ස්මෘතිය ම ආරක්ඛගෝචර නම් වේ යි දත යුතු ය.
උපනිබන්‍ධගෝචර නම්, යෝග කරණ මහණහුගේ භාවනා චිත්තය අතන මෙතන යා නො දී බැඳ තැබීමට කරුණු වන අරමුණ ය. එනම් සිවු සීවටන් ය. “ කො ච භික්ඛවෙ! භික්ඛුනො සතො පෙත්තිකො විසයො, යදිදං චත්තාරෝ සතිපට්ඨානා” යනු දේශනා ය. “මහණෙනි! මහණහුට සිය පිය සතු ගොදුර කුමක් ද?, මේ සිවු සීවටන් ය” යනු එහි සිංහලය යි.
පරමාණු පමණ වූ වරදෙහි බිය දැකීම, ප්‍රාතිමෝක්‍ෂසංවරශීලයෙන් නො ගිලිහී සිටීමට කරුණු වේ. පරමාණු පමණ වූ වරද නම්, නො දැන සිහි නැති ව සෙඛියාසික්ඛාපද මැඩ ඉක්මවා සිටීම හා අකුසල් සිත් ඉපදවීම් ඈ ය. බිය දැකීම නම්, පරමාණු පමණ වූ වරද එක් ලක්‍ෂ අටසැට දහසක් යොදුන් උසැති මහමෙරපව්ව වැනි කොට දැකීම ය. ගැණීම ය. නැත, දුර්‍භාෂිතමාත්‍ර වූ වරද පාරාජිකාපත්තියක් වැනි කොට ගැණීම ය. මෙසේ ස්වල්පමාත්‍ර වූ වරද මහත්කොට සිතා එයින් බියට පත්වන බව, පරමාණු පමණ වූ වරදෙහි බිය දැකීම ය. දුර්‍භාෂිත මාත්‍රය පාරාජිකාපත්තියක් වැනි කොට සිතන්නේ ම ප්‍රාතිමෝක්‍ෂ සංවරශීලයෙන් නො ගිලිහී සිටියි.
යම් හෙයකින් ප්‍රාතිමෝක්‍ෂසංවරශීලයෙන් මහණ තෙමේ මේ සසුන්හි පිහිටා ගනී ද, එහෙයින් එය පතිට්ඨා නම්. “ සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤා, පතිට්ඨා මහාරාජ! සබ්බේසං කුසලානං ධම්මානං, සීලෙ පතිට්ඨිතස්ස ඛො මහාරාජ! සබ්බෙ කුසලා ධම්මා න පරිහායන්තී” යනාදී දේශනා ප්‍රදේශයන්ගෙන් මැනවින් ඔප්පු වේ.
ඒ මේ ශීලය, පූර්‍වෝපත්තිඅර්‍ත්‍ථයෙන් ආදි නම් වේ. කියන ලද ම ය, ඒ. “තස්මාතීහත්‍වං ඛත්තීය! ආදිමෙව විසොධෙහි කුසලෙසු ධම්මෙසු, කො චා දී කුසලානං ධම්මානං? සීලං ච සුවිසුද්ධං දිට්ඨි ච උජුකා” යි.
නුවරක් ඉදි කරණ වඩුවා පළමු කොට නුවර පිණිස සුදුසු තැනක් සොයයි. සොයා එතැන. පිරිසිදු කෙරෙයි, පසුව එහි දෙමං හන්දි, තුන් මංහන්දි, සිවු මංහන්දි පිහිටුවයි. එමෙන් යෝගාවචර තෙමේ මුලින් ම සිල් පිරිසිදු කරයි. ඉන් පසු පිළිවෙළින් සමාධි, විදර්‍ශනා මාර්‍ග, ඵල, නිර්‍වාණයන් ප්‍රත්‍යක්‍ෂ කරයි.
රදවා රෙදි සායම් කිරීමේ දී පළමු කොට කාරම් දියක් යොදා රෙදි සෝදා පිරිසිදු කරයි. නැවත රෙදිවල තමන් කැමැති සායමක් ගන්වයි. සිතියම් ඇඳීමෙහි සමත් සිත්තරා රූපයක් බිත්තියෙහි ඇඳීමට පළමු, එහි කළ යුතු පිරියම් කරයි. එමෙන් ශාසනාවචර කුලපුත්‍ර තෙමේ පළමු ව සිල් පිරිසිදු කරයි. පසුව සමථවිදර්‍ශනාදි ධර්‍ම අත්පත් කරයි. එහෙයින් ප්‍රාතිමෝක්‍ෂසංවරශීලය, ආදී යි කියනු ලැබේ.
දෙපා කැඩුනු කෙනෙකුට ගමන් බිමන් කිරීමෙහි කැමැත්තෙක් නො වන්නේ ය. ගමන් බිමන් කිරීමෙහි කැමැත්තක් උපදිනු දෙපා ඇත්තකුට ම ය. එමෙන් යමකුගේ ශීලය කැඩී බිඳී ගියේ ද, සම්පූර්‍ණ නො වූ යේද, ඔහුට නිවන් යනු පිණිස ඤාණගමනෙක් නො වන්නේ ය. එහෙයින් මේ ම චරණයි කියනු ලැබේ.
සංයම විසින් සඤ්ඤම නම්. සංවර විසින් සංවර නම්. සික පද මැඩ ඉක්මවීම් වශයෙන් සිල්වත්හට සැලෙන්නට, කැපෙන්නට නො දේ නු යි සඤ්ඤම නම්. සිකපද මැඩ ඉක්මවා සිටි මේ ප්‍රවේශද්වාරය වසා නු යි සංවර නම්.
සත්ත්‍වයන් විසින් ගනු ලබන ආහාරය කටින් ඇතුල් ව කුදුමහත් සිරුරු අවයව පැතිර ගන්නා සේ යෝගාවචරයාගේ චාතුර්භූමකකුශලය සිල් නැමැති මුවින් ඇතුල් ව උභයාර්‍ත්‍ථසංසිද්ධිය සම්පාදනය කරන බැවින් මුඛ යි කියනු ලැබේ.
චාතුර්භූමකකුශලයන්ගේ පිළිලැබීම පිණිස පෙරටුව ගමන් කරණ බැවින් පමුඛ යි කියනු ලැබේ. ශ්‍රේෂ්ඨ ය, ප්‍රධාන ය යන අරුත් ය.
මේ ශීලය, විනයයෙහි දැක්වෙන පරිදි ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මවාක්‍ය සඞ්ඛ්‍යාතප්‍රඥප්තිබලයෙන් ම ඉතිරි නො කොට පිහිටන්නේය. එසේ පිහිටි සිල් ඇත්තේ ම පාතිමොක්ඛසංවරසංවුත යි ගැණේ.
ප්‍රාතිමෝක්‍ෂසංවරශීලය ශ්‍රද්ධාවෙන් සම්පාදනය කළ යුතු ය. ශ්‍රද්ධාව ම එයට සාධනය වේ. එහෙයින් බුදුරජුන් පැණ වූ සිකපද අඩු වැඩි නො කොට ශ්‍රද්ධාවෙන් තම ජීවිතයෙහි ද ආශාව දුරැර මැනවින් රැක්ක යුතු ය.
බලනු මැනවි. මහාවත්තනි නම් වනපෙදෙසෙහි සොරුන් විසින් තලවැලින් බැඳ දමා ගිය එක් ස්ථවිර නමක් වැල නො කඩා සත් දිනක් එහි ම වැටී හෙව විදසුන් වඩා අනාගාමී ව කලුරිය කොට බඹලොව උපන්නේ ය.
මෙම සිරිලක්දිව එක්තරා මහවනපෙදෙසක එක් භික්‍ෂූන් වහන්සේ නමක් භාවනාවෙහි යෙදී හුන්හ. ඒ අතර එහි යනෙන සොරු උන්වහන්සේ දැක අල්ලා රසකිඳ වැලින් බැඳ දමා ගියහ. ඒ වේලෙහි එහි ම හට ගත් ලැව්ගින්නෙන් වනය දැවෙන්නට වන. එහෙත් උන්වහන්සේ කිඳි වැල බිඳේය යන බියෙන් නො නැගිට එහි ම වැතිර භාවනා කරන්නෝ ගින්නට අසුවී දැවී මිය ගිය හ. ඒ දා ම රහත් පලයට පැමිණියහ. මෙසේ රහත් වූ කෙණෙහි ම පිරිනිවන් පාන්නෝ ජීවිතසමසීසි යි කියනු ලැබෙත්. එහෙයින් උන්වහන්සේ ද ජීවිතසමසීසි නම් වූහ. එදා ඒ වන මගින් වඩනා දීඝභාණක අභය මහා තෙරණුවෝ එය දැක සිරුර ආදාහනය කොට ධාතු ගෙණ සෑයක් කර වූහ. ඒ හෙයින් අනික් සැදැහවත් කුලපුත් තෙමේ ද එසේ කරන්නේ ය.
“පාතිමොක්ඛං විසොධෙන්තො අප්පෙව ජීවිතං ජහෙ,
පඤ්ඤත්තං ලොකනාථෙන න භින්දෙ සීලසංවරං”
පාමොක් රකිනුයේ දිවි ගැලවී ගිය ද මනා යි සිතා බුදුරජුන් විසින් පණවා වදාළ සිකපද නො බිඳින්නේ ය.
“පහාරාද! යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං, තං මම සාවකා ජීවිතහෙතූපි නාතික්කමන්ති” යි තම ශ්‍රාවකයන් ගැණ තමන් වහන්සේගේ පිළිගැණීම මෙසේ දක්වා වදාළ බුදුරජානන් වහන්සේගේ සසුන්හි මහලු පැවිදි ලත් ශ්‍රාවකයන් විසින් ජීවිතපරිහරණයෙහි කාලික වූ සුලු පහසුකම් සලකා දුර්‍භාෂිතමාත්‍ර වූ ශික්‍ෂාවක් ද නො ඉක්ම විය යුතු ය. සිල්වත් මහණහුට ඉතා කුඩා ශික්‍ෂාවකුත් ඉක්මවා සිටින්නට අවසර නැත්තේ ය. “පහාරාදය! මහාසමුද්‍රය වෙරළ ඉක්මවා නො යන්නා සේ මාගේ ශ්‍රාවකයෝ මා විසින් පැණ වූ සිකපදයක් ජීවිතය නිසාවත් ඉක්මවා නො යන්නාහ” යනු ඒ පාලි පෙදෙයෙහි කෙටි තේරුම ය.
එහෙත් ඇතැම් මහණෝ සසුන් දහම් ලිහිල් කොට ගෙණ සිවුපසය තර කොට ගෙණ “කම්සැප විඳුනා ගිහින් සේ ශාසනික භික්‍ෂූන් වහන්සේ ද කාලයට ගැළපෙන සේ, දේශයට ගැළපෙන සේ, සමාජයට ගැළපෙන සේ හැඩ ගැසිය යුතු ය, පෙළ ගැසිය යුතු ය, ගමන් කළ යුතු ය” යි කියති. “ක්‍ෂුද්‍රානුක්‍ෂුද්‍රශික්‍ෂාපද මකා දැමිය යුතු ය” යි කියති. “අනුන්ගෙන් කෙරෙණ දිවි පැවැත්ම උසස් අදහස් නැති කරන්නේ ය” යි කියති. “පිඬු සිඟා වැළඳීම ආත්මගෞරවය නසන්නකැ” යි කියති, ‘ ආකඞ්ඛමානො සඞ්ඝො මමච්චයෙන ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි සමූහන්තු’ යන දේශනාවට පටහැනි අරුත් පළ කොට දහම් නො දහම් කරති. නො දහම් දහම් කරති. විනය අවිනය කරති. අවිනය විනය කරති. “මාගේ ඇවෑමෙන් සඞ්ඝ තෙමේ කැමැත්තේ නම් ක්‍ෂුද්‍රානුක්‍ෂුද්‍රශික්‍ෂාපද සමූහනය කෙරේවා” යි බුදුරජානන් වහන්සේ වදාළෝ, සඞ්ඝයා පිළිබඳ ප්‍රඥප්තිය තර කරණු සඳහා මුත්, ශික්‍ෂාපද මකා දැමීමට ඉඩ තබනු පිණිස නො වේ. මේ අනුශාසනය ශික්‍ෂාපද මකා දැමීමට කළ අනුශාසනාවක් වේ නම් ‘සඤ්චිච්ච ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි පරිමද්දතී, ආපත්ති නිගූභති, අගතිගමනං ච ගච්ඡති, ඊදිසො වුච්චති අලජීජිති’ යනු නො එන්නේ ය. “දැන දැන කුදු මහත් සුලු සුලු ඇවැත් මැඩීම, පැමිණි ඇවතින් නො නැගී ඇවැත් වසා ගෙණ සිටීම, ඡන්දාදියෙන් අගතියට යෑම යන මෙයින් යුක්ත වූයේ, අලජ්ජි යි කියනු ලැබේ” යනු එහි සිංහලය. පූර්‍වෝක්ත දේශනාවෙහි අරුත්, මෙලොව සාමාන්‍යජීවිතයෙහි ලා වරදවා ගන්වන අලජ්ජීහු කුදු මහත් සිකපද මඩිමින් සසුන නසන්නෝ ය.
ලෝකය, මිථ්‍යාග්‍රහණය අනුව ගියේ නම්, ආභිසමාචාරිකසීලය සසුනෙන් ගිලිහෙන්නේ ය. ආභිසමාචාරිකසීලය ගිලි හී ගිය කල්හි, ආදි බ්‍රහ්මචරියකසීලය අතුරුදහන් වූ කල්හි එයින් සසුන ද නැසෙන්නේ ය. “ සො වත භික්ඛවෙ! භික්ඛු ආභිසමාචාරිකංධම්මං අපරිපූරෙත්වා ආදී බ්‍රමචරියකං ධම්මං පරිපූරෙස්සතීති නෙතං ඨානං විජ්ජති” යනු දේශනා ය. ආභිසමාචාරිකසීලය නො පුරන්නේ, ආදි බ්‍රහ්මචරියකසීලය පුරන්නේ ය යනු කිසිලෙසකින් නො විය හැක්කේ ය යනු මෙයින් පැහැදිලි ය. ආභිසමාචාරිකසීලය පුරන්නේ ම ආදිබ්‍රහ්මචරියකසිලය පුරන්නේ ය යනු ආගමිකනිෂ්ඨා ය. එහෙයින් බුදුරජුන් වදාළ කිසිත් සිකපදයක් කාලානුකූල ව වේව යි දේශානුකූල ව වේව යි සමාජානුකූල ව වේව යි අන් කිසිවක් පිණිස වේව යි කිසිවකුටත් වෙනස් කිරීමට වත් අන් අතකට පෙරළීමට වත් මකා දැමීමට වත් අවසරයක් නැත්තේ ය.
“ලජ්ජි රක්ඛිස්සන්ති, ලජ්ජී රක්ඛිස්සන්ති” යි වදාළ වචනයන්ගෙනුදු ක්‍ෂුද්‍රානුක්‍ෂුද්‍ර ශික්‍ෂාපදයන්ගේ අසමූහනය ම නො මකා හැරීම ම අභිමත වේ. ආභිසමාචාරිකසීලයට අයත් ශික්‍ෂාපදයන්ගේ රැකීමෙන් ම භික්‍ෂූන් වහන්සේ ලජ්ජී වන බැවින් එකී ශික්‍ෂාපදයන්ගේ පැවැත්ම ශාසනාන්තර්‍ධානය තෙක් එසේ විය යුතු ම ය. ආභිසමාචාරිකසිලය පිරීමෙන් ලජ්ජී භාවයට පැමිණි භික්‍ෂූන් වහන්සේ ම සසුන් රකින්නෝ ය යි වදාළ බැවින් සසුන්හි නො නැස් ම, කල් පැවැත්ම ලජ්ජී භික්‍ෂූන් වහන්සේ නිසා ම මුත් කාලයට දේශයට සමාජයට අනුකූල වන්නන් වෙනස් වන්නන් නිසා නො වන්නේ ය. එහෙයින් සදසත් ලෝකය කාලයට දේශයට සමාජයට යටත් ව ආත්මපෝෂණය පිණිස සිකපද මැඩීමෙන් අප්‍රතිපත්ති දුෂ්ප්‍රතිපත්තිවල යෙදුනවුන්ගේ මිථ්‍යග්‍රහණයට අසු නො විය යුතු ය. මිලින්ද ප්‍රශ්නයෙහි ශික්‍ෂාසමුහනප්‍රශ්නය බලනු.
ප්‍රාතිමෝක්‍ෂසංවරශීලය දේශනාශුද්ධි යි කියනු ලැබේ. ඇවැත් දෙසීමෙන් පිරිසිදු වන බැවිනි. පාචිත්තියාදී ඇවැත් දෙසීම් පමණින් ද, සඞ්ඝාදිසෙස ඇවැත් සඟමැද දෙසා පරිවාස - මානත්ත -අබ්හාන කර්‍මයන් කර ගැණීමෙන් ද වරදට පත් වූ වහුට පිරිසිදු විය හැකි ය. පාරාජිකාපත්තීන්ට පැමිණියහුට කිසි ලෙසකිනුත් පිරිසිදු නො විය හැකි ය.
ඉන්‍ද්‍රියසංවරසීල නම්, ලෝභාදී වූ කෙලෙස් නූපදනා ලෙසට සවැදෑරුම් ඉඳුරන් රැක ගැණුම ය. ඇස්, කන්, නාස් ඈ දොරටු සයින් එකෙක හමු වන රූප, ශබ්ද, ගන්‍ධාදී අරමුණක එල්බ පිළිවෙළින් ජවන් සිත් පහළ වන අවස්ථාවෙහි ඇස්, කන්, නාස් ඈ දොරටුවල ඉපදිය හැකි ජවන් සහිත වූ කෙලෙසුන් කෙරෙන් සිත මුදා ගැනීමට කරුණු වූ සිහියෙන් සිදු කරණ සීලය, ඉන්‍ද්‍රිය සංවරසීලය යි දත යුතු ය.
සතිසාධක වූ ඒ මේ සංවරය චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියයන්ගේ මාර්‍ගයෙන් රූපාදිඅරමුණු නිමිතිකොට සිතෙහි කෙලෙස් ඉපදීම වළකන්නේ ඉන්‍ද්‍රිය සංවරසීල නම් වි ය. මෙ කී සංවරය ජවනාවස්ථාවෙහි උපදින්නේ ද චක්ඛුන්‍ද්‍රියසංවරය, සෝතින්‍ද්‍රියසංවරය යන ඈ ලෙසින් ඉන්‍ද්‍රියයන්ගේ වශයෙන් ව්‍යවහාර කරනු ලැබේ.
චක්‍ෂුරාදිඉන්‍ද්‍රියයන්ගේ අසංවරය හේතු කොට ඒ ඒ පුද්ගලයන් කරා රාග ද්වේෂ මෝහාදී ලාමක අකුශල ධර්‍මයෝ ලුහු බැඳ එන්නාහ. ඔවුන්ගේ ඒ ලුහු බැඳීම වළකන්නේ ඉන්‍ද්‍රියසංවර සීලය යි.
නිමිත්තග්ගාහය හා අනුඛ්‍යඤ්ජනග්ගාහය ඉන්‍ද්‍රියසංවරයට අහිත ය. පටහැනි ය. එයින් ඉන්‍ද්‍රියසංවරයෙක් නොවන්නේ ය. ඉන්‍ද්‍රියසංවරයෙක් ඇත්තේ නම් එ ද නැසෙන්නේ ය.
නිමිත්තගාහ නම්, පියවුරු ඈ ගැණු නිමිති, දැළි රැවුලු ඈ පිරිමි නිමිති කෙලෙස් ඉපදීමට හේතුවන අන් නිමිති හෝ ඇසින්, කණින් නැහැයෙන්, දිවෙන්, සිරුරෙන් සිතින් ඇද ගැණීම ය.
අනුබ්‍යඤ්ජනග්ගාහ නම්, ක්ලේශධර්‍මයන් ප්‍රකටභාවයට පමුණුවන අත්, පා, සිනා, කියුම්, බැලුම් ඈ පිළිගැන්ම ය.
නිමිත්තග්ගාහය හා අනුබ්‍යඤ්ජනග්ගාහය ඉන්‍ද්‍රියසංවරයට කරුණු නො වන බැවින්, සසර බිය දක්නා නුවණැත්තෝ ඒ දෙක ම නො ගන්නෝ ය. හුදෙක් දුටු දෙය දුටු පමණින්, ඇසූ දෙය ඇසූ සැටියෙන් ගන්නෝ ය. සලකන්නෝ ය. ශුභ විසින් නො ගන්නෝ ය. අශුභ විසින් ම ගන්නෝ ය.
එදා මිහින්තලා මහවෙහෙර විසූ මහාතිස්ස මහා ස්ථවිරයන් වහන්සේ දවසෙක අනුරාධපුරයට පිඬු සිඟා ගියහ. අනුරාධපුරයෙහි සිට එක් ගැහැනියක් තම හිමියා සමග කොලහල කොට “මළ ඉලව් දීග කෑමට වඩා එකලා ව හිඳීම යහපතැ” යි සලකා ඇඳ පැලඳ ගෙණ මගට බැස මිහින්තලය බලා යන්නී ය, ඈ මග දී මහාතිස්ස තෙරුන්ට මුණ ගැසුණා ය. සසුන් ඉඳුරන් ඇති ව පාරේ වඩිනා උන්වහන්සේ දුටු මෑගේ සිත්හි කාමාශාවක් උපන. ඕ එයින් තෙරුන් පොළඹවන්නට සිතා දත් පෙන්වා මහ හඬින් සිනාසුනා ය. මුල් කමටහන මෙනෙහි කරමින් මග වඩිනා තෙරුන් වහන්සේ, ඒ කිමැ යි බලනුවෝ, ඇගේ දත් ඇට දැක ස්වකීය අස්ථික කර්‍මස්ථානය සිතට නැගී ඊමෙන් විදසුන් වඩා රහත් වූහ. මේ බව මෙසේ කීහ.
“තස්සා දන්තට්ඨිකං දිස්වා පුබ්බසඤ්ඤං අනුස්සරි,
තත්ථෙව සො ඨිතො ථෙරො අරහත්තමපාපුණි” යි
ඇගේ හිමියා ඇය සොයා යන්නේ මග දී තෙරුන් දැක “ස්වාමීනි! මෙහි ගැහැණියක් ගියා දැ” යි ඇසී ය. එවිට තෙරුන් වහන්සේ
“නාභිජානාමි ඉත්‍ථි වා පුරිසො වා ඉතො ගතො,
අපි ච අට්ඨිසංඝාටො ගච්ඡතෙ ස මහාපථෙ” යි
එයට පිළිතුරු දුන්හ. “මේ තැනින් ගැහැණියක් ගියා ද, පිරිමියෙක් ගියේ දැ යි මම නො දනිමි, එහෙත් මේ මහමගැ ඇට ගොඩක් නම් ගියේ ය, යනු එහි සිංහල ය.
ඉන්‍ද්‍රියසංවරසීලය සිහියෙන් සම්පාදනය කළ යුතු ය. එහි සාධනය සිහිය යි. ඉන්‍ද්‍රියයන් සිහියෙන් රැක ගත් විට අභිද්ධ්‍යාදී පාපධර්‍මයෝ උන් කරා නො එන්නෝ ය.
“වරං, භික්ඛවෙ, තත්තාය අයොසලාකාය ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය චක්ඛුන්‍ද්‍රියං සම්පලිමට්ඨං, නත්වෙව චක්ඛුවිඤ්ඤෙය්‍යෙසු රූපෙසු අනුව්‍යඤ්ජනසො නිමිත්තග්ගාහො.” “මහණෙනි! ගින්නෙන් දිලෙන ගිනි දැල් සහිත යකඩ හුලකින් ඇස මදින ලද්දේ උතුම් ය, ඇස මැදීම හොඳ ය, ඇසින් දැක්ක යුතු වූ රූපයන්හි කුඩා ලකුණු ගැණීම් විසින් වත් නිමිති ගැන්ම උතුම් නො වේ, හිතකර නො වේ” යි වදාළ ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව සිහියට ගෙණ රූපාදී අරමුණුවල ඇස් කන් නාස් ඈ දොරටුවල පැවැති සිත් අභිධ්‍යාවාදීන් විසින් ලුහු බැඳ යා හැකි නිමිති ගැණුම නො මුළා වූ සිහියෙන් වළකාලමින් මේ ඉන්‍ද්‍රිය සංවර සීලය මොනවට රැක ගත යුතු ය. ඉන්‍ද්‍රිය සංවර සීලය යම් ලෙසකින් නොරැකිනි නම්, ප්‍රාතිමෝක්‍ෂසංවරසීලයත් වැට නැති ගොයමක් සේ නො රැකෙන්නේ ය. කල් නො පවතින්නේ ය. දොර හළ ගම, සොරුන් විසින් පැහැර ගණු ලබන්නා සේ, කෙලෙස් සොරුන් විසින් පැහැර ගණු ලබන්නේ ය. මනා කොට සෙවෙණි නො කළ ගෙය වැසි දියෙන් තෙමී යන්නා සේ රාගයෙන් තමෙන්නේ ය. මේ බලන්න මේ වදාළ සැටි.
“රූපෙසු සද්දෙසු අථො රසෙසු
ගන්‍ධෙසු ඵස්සෙසු ච රක්ඛ ඉන්‍ද්‍රියං,
එතෙහි ද්වාරා විවටා අරක්ඛිතා
හනන්ති ගාමං ච පරසහාරිනො.
.
යථාගාරං දුච්ඡන්නං වුට්ඨි සමති විජ්ඣති,
එව අභාවිතං චිත්තං රාගො සමති විජ්ඣති”
ඉන්‍ද්‍රියසංවරසීලය රැක ගත් විට වැට කටු බැඳ රැක ගත් ගොයම සේ ප්‍රාතිමෝක්‍ෂසංවරසීලය රැකුණේ වේ. කල් පවත්නේ වේ. මනා ව දොරගුල් ලූ ගම, සොරුන් විසින් නො පහරණු ලබන්නා සේ ම ප්‍රාතිමෝක්‍ෂසංවරසීලය කෙලෙස් සොරුන් විසින් පැහැර ගණු නො ලැබේ. හොඳට සෙවෙණි කළ ගෙය වැස්සට නො තෙමෙන්නා සේ සිත රාගයෙන් නො තෙමෙන්නේ ය යනුත් දත යුතු ය.
සිත වහා පෙරළෙන සුලු ය. ඒ පෙරළිම ද රාගාදීන්ගේ වශයෙන් නොයෙක් අවස්ථාවනට පෙරළෙන්නේ ය. කලෙක රාගයෙන් මැඩෙන්නේ ය. කලෙක මෝහයෙන් වැඩෙන්නේ ය, කලෙක මානයෙන් වැඩෙන්නේ ය. මෙසේ, සිත නොයෙක් කෙලෙසුන්ගේ වශයෙන් වහා පෙළෙන්නේ ය. යම් විටෙක සිත රාගයෙන් පෙරළුනේ ද, හෙවත් සිතෙහි රාගය උපන්නේ ද, එවිට අශුභය මෙනෙහි කිරීමෙන් ඒ රාගය දුරු කොට ඉන්‍ද්‍රිය සංවරය රැක ගත යුතු ය. මෙසේ ම සිතෙහි පහළ වන අන් කෙලෙස් ද ඔවුන් මැඩීමට දුරුකිරීමට පොහොසත් වූ ධර්‍ම මෙනෙහි කිරීමෙන් දුරු කොට ඉන්‍ද්‍රියසංවරය රැක ගත යුතු ය. ඒ වග ආගමය කියන්නේ මෙසේ ය.
වඞ්ගීස ස්ථවිරයන් වහන්සේ මහණ වූ අළුත ම ආනන්‍ද මහාස්ථවිරයන් වහන්සේ හා පිඬු සිඟා යන්නෝ අතරමග දී ගැහැණියක දැක උපන් රාගය ඇත්තෝ.
“කාම රාගෙන ඩය්හාමි චිත්තං මෙ පරිඩය්හති.
සාධු නිබ්බාපානං බ්‍රෑහි අනුකම්පාය ගොතම”
යි කීහ. “මම කාමරාගයෙන් දැවෙමි, මාගේ සිත කාමරාගයෙන් දැවේ. ගෞතමය! එය නිවන සැටියක් කරුණා කොට කියනු මැනවි” යනු අරුත් ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ,
“සඤ්ඤාය ය විපරියෙසා චිත්තං තෙ පරිඩය්හති,
නිමිත්තං පරිවජ්ජෙහි සුභං රාගූපසංහිතං,
අසුභාය චිත්තං භාවෙතොහි එකග්ගං සුසමාහිතං,
සඞ්ඛාරෙ පරතො පස්ස දුක්ඛතා නො ච අත්තතො,
නිබ්බාපෙහි මහාරාගං මා ඩය්හන්ථො පුනප්පුනං”
යනු කීහ. “විපරීත කල්පනාව නිසා මාගේ සිත රාගයෙන් දැවේ, රාගය ඉපදීමට හේතු වූ ශුභාලම්බනයන් සිතට නො ගණුව, සියලු සංස්කාරයන් පර වශයෙන් දුක් වශයෙන් බලව, ආත්ම වශයෙන් නො බලව, එසේ කොට තා සිත නැගී ඇති මහා රාගය නිවාලව, එයින් නැවත නැවත නො දැවෙව” යනු අරුත්ය. මේ බණට නැමී ගත් වඞ්ගීස ස්ථවිරයෝ රාගය සිතින් දුරු කොට ම පිඩු සිඟා ගියහ.
මේ ලක්දිව එදා කරඩුලෙන නම් විහාරයෙක් විය. එහි විපස්සි ආදි බුදුරජුන් සත් නමකගේ ගිහිගෙය හැර යෑමේ කතා පුවත විසිතුරු ලෙසට සිතියම් කොට තුබුනේ ය. දවසෙක එම වෙහෙර බලන්නට බොහෝ භික්‍ෂුහු එහි පැමිණියහ. ඔවුහු එහි ඇඳ තුබූ සිතියම් දැක “ස්වාමීනි! වෙහෙර ඇඳ ඇති සිතුයම් සිත් ගන්නේ ය” යි එහි වැඩහුන් චිත්තගුත්ත ස්ථවිරයන් වහන්සේට දැන් වූහ. “ඇවැත්නි! එසේ ද, මම හැට අවුරුද්දක් පෙර සිට මෙම ලෙනෙහි වෙසෙමි. එහෙත් මෙහි සිතියම් ඇති බවක් මම දැන නො සිටියෙමි, අද ඇස් ඇති ඔබ වහන්සේලා නිසා ඒ දැන ගතිමි” යි උන් වහන්සේ කීහ. චිත්තගුත්ත ස්ථවිරයන් වහන්සේ කිසි විටෙකත් ඇස ඇර උඩ නො බැලූහ. එහි ලෙන් දොරකඩ තුබූ නාගස, බිම වැටී තිබෙනා මල් රේණු දැක පිපියේ වනැ යි සිතනු විනා කිසි දවසෙකත් නාගස උඩ නො බැලූහ.
මාගම විසූ රජ තෙමේ උන්වහන්සේගේ ගුණ අසා පැහැද වැඳගණු කැමැත්තේ තෙ වරක් පණිවිඩ යැවීය. එහෙත් උන්වහන්සේ නො ද වැඩි සේක. එවිට රජ තෙමේ “තෙරුන් වඩිනා තුරු රට වැසි දරුවන්ට කිරි බොන්නට ඉඩ නො තබමි” යි කිරිමවුවරුන්ගේ පියයුරු රෙදි පටින් බඳවා මුද්‍රා තැබ්බ වී ය. එ අසා තෙරුන් වහන්සේ මාගමට වැඩියහ. රජ තෙමේ තෙරුන් ඇතොවුරට වැඩම කරවා දොහොත් මුදුන් දී වැඳ “අද ඉඩ පහසුකම් මද ය, හෙට සිල් සමාදන් වන්නෙමි” යි තෙරුන්ගේ පාත්‍රය ගෙණ ටික තැනක් ගොස් බිසවුන් හා එක් ව වැඳ නැවතුනේ ය. රජු වඳිනා කලත් බිසවුන් වඳිනා කලත් තෙරුන් වහන්සේ “සුඛී හොතු මහරාජා” යි කියත්. ඒ දුටු භික්‍ෂූන් වහන්සේලා “ස්වාමීනි! ඔබ වහන්සේ රජු වඳිනා කලත් බිසවුන් වඳිනා කලත් කුමක් නිසා “සුඛී හොතු මහා රාජා, යි කියන්නහු ද?” යි ඇසූහ. ඒ බසට උන්වහන්සේ “ඇවැත්නි රජ වඳිනා බවකුත් බිසවුන් වඳිනා බවකුත් මම නො දනිමි, එහෙයින් එසේ කියමි” යි කීහ. .
රජ තෙමේ “තෙරුන්ට එහි විසීම නොපහසු ය” යි කරඬුලෙනට ආපසු වැඩම කර වී ය. එහි වැඩි දා ම උන්වහන්සේ රෑ සක්මන් කරණුවෝ නාරුක අරක් ගත් දෙවියා විසින් දැල් වූ විලක්කු එලියෙන් කමටහන් පිරිසිදු ව වැටහී ගියෙන්, ඉතා සතුටු ව භාවනා කරන්නෝ මැදියම ගෙවී යෑම හා ම මුළු වනය මහහඬ නංවමින් රහත් වූහ.
එක් කලෙක මහාමිත්ත තෙරුන්ගේ මවු තොමෝ විසගඩු රෝගයෙන් ආතුර වූ ය. ඇයගේ දූ ද මෙහෙණ සස්නෙහි මහණක් ව වුසූ ය. මවු තොමෝ දුව ගෙන්වා “ආර්‍ය්‍යාව! යන්න මා රෝගාතුර ව වසනා බව, ඔබගේ සොහොයුරු හිමියන්ට දන්වා එයට පිළියමක් අසා දැන එව” යි කියා සිටියා ය. ඕ ගොස් ඒ පුවත තෙරුන්ට කිවූ ය, උන්වහන්සේ “නැගනිය, මා දන්නා පිළියමක් නැත, එහෙත් මම කළ යුතු පිළියමක් කියමි, මා මහණ වූ දා සිට කිසි දිනෙක නරක සිතින් ඉඳුරන් බිඳ විසභාග රූපයක් දෙස බලා නැත, මේ මා කීයේ ඇත්ත ය, එය අදහා ගෙණ ගොස්, තී මේ සත්‍ය වචනයෙන් මාගේ මෑණියන්ට වහා සුවයක් ලැබේවා, යි මෑණියන්ගේ සිරුර අත ගාන්නැ” යි කීහ. ඕ ගොස් එසේ කළා. එකෙණෙහි ම සිරුර හට ගෙණ තුබූ විසගඩු පෙණ පිඬු සේ වියලී ගියේ ය. මවු නැගී සිට “බුදුරජානන් වහන්සේ අද වැඩ සිටි සේක් නම් ඒකාන්තයෙන් මා පුත් හිස පිරිමදින සේකැ” යි ප්‍රීතියෙන් කියන්නට වූ ය. ඉන්‍ද්‍රිය සංවරසීලයෙන් සිල්වත් වූයේ ඉන්‍ද්‍රියසංවරසංවුත යි ගැණේ.
ආජීවපාරිසුද්ධිසීල නම්, මිථ්‍යාජීවයෙන් වැළකීම ය. පිරිසිදු වූ දැහැමි ව කෙරෙණ ජීවිකාව නිසා ඇති වන සීලය යි. බුදුරජුන් විසින් පණවා වදාළ පාරාජිකා - සඞ්ඝාදිසෙස - ථුල්ලච්චය - පාචිත්තිය - පාටිදෙසනීය - දුක්කට යනාදී වූ සිකපද ඉක්මවීම් වශයෙන් ද ප්‍රාණඝාතාදී වූ සප්තවිධ අකුශලකර්‍මපථයෙහි හා කුහනා - ලපනා - නෙමිත්තිකතා - නිප්පෙසිකතා - ලාභෙනලාභං නිජිගිංසනතා යන පාප ධර්‍මයන්හි යෙදීම් වශයෙන් ද පවත්නා මිථ්‍යා ජීවයෙන් වැළක්ම මෙයින් අදහස් කරනු ලැබේ.
එහි එන පාරාජිකාව මෙසේ දැක් වූ සේක, බුදුරජානන් වහන්සේ. “ ආජීවහෙතු ආජීව කාරණා පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති ආපත්ති පාරාජිකස්ස” පාපිච්ඡ වූ පාපිච්ඡාවෙන් මැඩුනු යම්කිසි උපසපන් මහණෙක්, මෙසේ ඇති කල්හි “සිවුපසයෙන් වෙහෙසට නො පත් ව ජීවත් වෙමි” යි තමන් කෙරෙහි ඇති ධ්‍යාන මාර්‍ගඵලාදි උසස් ගුණධර්‍ම ඇතැයි කියා නම්, ඒ මහණ පරිජි ඇවැතට පැමිණෙන්නේ ය.
එහි එන සඞ්ඝාදිසේසය මෙසේ ය. "ආජීවහෙතු ආජීවකාරණා සංචරිත්තං සමාපජ්ජති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස” උපසපන් මහණෙක් ආජීව හේතුවෙන් ආවාහ හෝ විවාහ වනු කැමැති ගෑණු පිරිමි දෙදෙනෙකු පිළිබඳ එකෙණෙහි වන සඞ්ගමය පිණිස ඔවුනොවුන්ගේ පණිවිඩ කියා නම්, ඒ මහණ සඞ්ඝාදිසේසාපත්තියට පැමිණෙන්නේ ය.
එහි එන ථුල්ලච්චය මෙසේ ය. “ ආජීවහෙතු ආජීවකාරණා යො තෙ විහාරෙ වසති සො භික්ඛු අරහාති භණති පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස” උපසපන් මහණෙක් ආජීවය නිසා, අදහස් දන්නකුහට “නුඹගේ විහාරයෙහි වසන මහණ රහත්” යි තමා උදෙසා අනියමයෙන් කියා නම්, ඒ මහණ ථුල්ලච්චයාපත්තියට පැමිණෙන්නේ ය.
එහි එන පාචිත්තිය මෙසේ ය. “ අජීවහෙතු ආජීවකාරණා භික්ඛු පණීතභොජනානි අගිලානො අත්තනො අත්‍ථාය විඤ්ඤාපෙත්‍වා භුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස” උපසපන් මහණෙක් දිවි පැවැත්මෙහි අදහසින් නො ගිලන් වූයේ ම පිණි කිරි ගිතෙල් මත්ස්‍යමාංසාදී භෝජන නො නෑ නො පැවරූවන්ගෙන් තමන් පිණිස ඉල්ලා ගෙණ වළඳා නම්, ඒ මහණ පාචිත්තියාපත්තියට පැමිණෙන්නේ ය.
එහි එන පාටිදේසනීයය මෙසේ ය. “ ආජීවහෙතු ආජීවකාරණා භික්ඛුණී පණීතභොජනානි අගිලානා අන්තනො අත්‍ථාය විඤ්ඤාපෙත්‍වා භුඤ්ජති ආපත්ති පාටිදෙසනීයස්ස” යම් උපසපන් මෙහෙණක් නො ගිලන් වූවා ජීවිකාව හේතු කොට පිණි බොජුන් තමන් පිණිස ඉල්ලා ගෙණ වළඳා නම්, ඒ මෙහෙණ පාටිදේසනීයාපත්තියට පැමිණෙන්නී ය.
එහි එන දුක්කටය මෙසේ ය. “ ආජීවහෙතු ආජීවකාරණා භික්ඛුණී සූපං වා ඔදනං වා අගිලානා අත්තනො අත්‍ථාය විඤ්ඤාපෙත්‍වා භුඤ්ජති ආපත්ති දුක්කටස්ස” උපසපන් මෙහෙණක් නො ගිලන් වූවා ජීවිකාව හේතු කොට තමන් උදෙසා මසක් හෝ බතක් ඉල්ලා ගෙණ වළඳා නම්, ඒ මෙහෙණ දුක්කටාපත්තියට පැමිණෙන්නී ය.
මේ ආජීවය නිසා පැණ වූ සිකපද සය ය. මේ සිකපද නො ඉක්මවා නො මැඩ මෙකී ආපත්තීන්ට නො පැමිණ කරණ දිවි පැවැත්වීමෙන් ඇති වන්නේ ආජීව පාරිසුද්ධිසීලය යි. මේ සිකපද මැඩීමෙන් මහණුන්ගේ හා මෙහෙණන්ගේ ආජීවය අපිරිසිදු වේ. කිලිටි වේ.
කුහනා නම්, ලාභසත්කාර කීර්ති ප්‍රශංසාවෙහි ගිජු ව කෑදර ව පච්චය පටියෙධන, සාමන්තජප්පන, ඉරියාපථසන්නිස්සිත යන මෙයින් හෝ මේ එකකින් අන්‍යයා පුදුමයට පත් කරවීම ය.
එහි දායකයකු මහණකු වෙත පැමිණ සිවුරු ඈ සිවුපසයට අයත් යමකින් පැවරු කල්හි, ඒ මහණ සිවුපසයෙහි ගිජු ව සිටිය ද ඒවග නො හඟවා, “මට වටිනා සිවුරු කෑම් බීම් යාන වාහන ගෙවල් දොරවල් බෙහෙත් පිරිකරවලින් වැඩෙක් නැතැ” යි ඒ හැම පිළිකෙව් කෙරෙයි. ඒ ප්‍රතික්‍ෂේපයෙන් සතුටු වූ දායකයා විසින් “අපේ ස්වාමීන් වහන්සේ පිරිකර ලබා ගැනීමෙහි ආශා නැත්තාහ, සිල්වත් ය, ගුණවත් ය, මෙවැනි සිල්වත් ගුණවත් නමක් කවදා ලැබිය හැකි ද, කෙසේ නමුත් බත් හැන්දක් පමණකුත් වළඳවා ගත යුතු ය” යි වටිනා සිවුරු ඈ පිළියෙළ කොට ගෙණ වුත් “ස්වාමීනි! මෙය පිළිගත මැනවැ” යි පැරැත්ත කරණු ලබන්නේ බණ දෙසා දායකයාට ම හිත පිණිස පිළිගන්නා සැටි හඟවා එළවනු ලබන හැම පසයක් ම හැම දෙයක් ම පිළිගණියි. එතැන් සිට කරත්ත බරට පිදුව ද සෑහීමට පත් නො වෙයි. කරත්ත බරට පිදුව ද පිළිගණියි. මෙසේ සිවුරු ඈ පිරිකර කරත්ත බරට තමන් වෙත ඇදී එන සේ, ගෙණවුත් පුදන සේ, දායකයන් මහාජනයා විස්මය පත් කිරීම පච්චයපටිසේධන නම්.
ලාභසත්කාරයෙහි ගිජු වු මහණ, තමන් කෙරෙහි නො වූ උසස් ගුණ ඇති සේ දක්වන කතාවෙන් මහජනයා පුදුමයට පත් කරයි. ඒ මහණ ලාභසත්කාරයෙහි කැතකමින් මැඩුනේ, ගරු බුහුමන් ලබනු කැමැත්තේ “මෙසේ ඇති කල්හි මහාජනයා මට ගරු බුහුමන් කරන්නේ ය” යි සිතා “මෙබඳු සිවුරු ඈ දරන්නේ, කුඩ වහන් ඈ දරන්නේ උසස් මහණෙක, යමකුට මෙබඳු උසස් ගුරුවරු වෙත් නම්, ඒ මහණ උසස් ය, යමකුට මෙබඳු මැති ඇමැතියෝ වෙත් නම්, ඒ මහණ උසස් ය, යමකුට මෙබඳු ධනවත් දායකයෝ රාජකීයයෝ රාජ්‍යනිලධරයෝ මිත්‍රයෝ වෙත් නම්, ඒ මහණ සැලකිය යුත්තෙක, පිදිය යුත්තෙක, ඇසුරු කළ යුත්තෙක, යමෙක් මෙබඳු මහ වෙහෙරක වෙසේ නම්, ඒ මහණ ය පිදිය යුතු මහණ, මේ මහණ තෙමේ මෙබඳු ශාන්ත විහාරසම්පත්තීන් ලැබ සිටින්නේ ය” යි යනාදීන් හැඟෙන පරිදී ඊට සරිලන ගැඹුරු වූ ශුන්‍යතාප්‍රතිසංයුක්ත ලෝකෝත්තර කථා කියා ද, මෙසේ ධ්‍යානාදියට සමීප කොට කියන කතාවෙන් අසන්නන් පුදුමයට පත් කිරීම සාමන්තජප්පන නම්.
ලාභසත්කාරයෙහි ගිජු ව මිනිසුන්ගෙන් ගරුබුහුමන් ලබන රිසියෙන් මහණ යෑම් ඊම් ඈ ඉරියව්වෙන් මහජනයා පුදුමයට පත් කරයි. මේ මහණ පාපිච්ඡා ඇත්තේ කැතකමින් මැඩුනේ “මෙසේ කළ කල්හි මහා ජනයා මට බුහුමන් කෙරේ” යි සලකා යයි. නිදයි. හිඳියි. සිටියි. තමන් මහාගුණවතෙකැ යි දුටුවන්ට වැටහෙන ලෙසින් හැම ඉරියවු පවත්වයි. සමාපත්තියට සම වැදුනකු සේ හිඳියි. මෙසේ ඉරියවු පැවැත්වීමෙන් පුදුමයට පත් කිරීමය, ඉරියාපථසන්නිස්සිත.
ලාභසත්කාරයෙභි ගිජු වූ මහණහුගේ දන්හු පිළිබඳ ආලපනාදිය ලපනා නම්. එහි ආලපනා - ලපනා - සල්ලපනා - උල්ලපනා - සමුල්ලපනා - උන්නහනා - සමුන්නහනා - උක්කාචනා - සමුක්කාචනා - අනුප්පියභාණීතා - චාටුකම්‍යතා - මුග්ගසුප්‍යතා - පාරිභට්ටතා යන මේ ක්‍රියා සමූහය ඇතුලත් ය.
එහි, විහාරයට පැමිණි මිනිසුන් අමතා, “ආ, කුමට ආවහු, කිම ආරාධනාවක් සඳහා ආවහු? හා, වේවා, එසේ නම් යන්න, මම මහණුන් ගෙණ පසු ව එන්නෙමි” යි මෙසේ දායකයාට පළමු ව කතාව පටන් ගැණිම ආලපනා නම්. තවද “මම මෙරට ඉන්නා පණ්ඩිතෝපාධිධරයා වෙමි, සැලකිය යුත්තා මම වෙමි, මට වඩා උසස් තැනක් ගත් අනෙකෙක් මේ පළාතේ නැත, අදත් මුලසුනක් ගැණීමට යන්නට සිදු වී තිබේ. රජ මා කෙරෙහි පහන් ය. අසවල් මන්ත්‍රීතුමා මට හිතවත් ය, මේ ලියුම් අසවල් මුදලිතුමා මාගේ දායකයෙක්, ඇමතිතුමාත් දායකයෙක්” යි මෙසේ නොයෙක් කරුණු කියා තමන් උසස් කෙනකු සේ දැක්වීම ය ආලපනා.
“රජුන්ගෙන්, ඇමැතිගෙන් පිදිවිලි ලබන ස්වාමින් වහන්සේ කවු ද? ස්වාමීන් වහන්සේ යි කියනු ලබන්නේ කවුරුදැ?” යි යන ඈ ලෙසින් යමකු ඇසූ විට “ඒ වෙන කෙනෙක් නො වෙති මා මිසක්” යි යන ඈ ලෙසින් පිළිතුරු දීමය ලපනා.
දායකයා සමග නිතර කතාබස් කිරීමෙන් දායකයා කළකිරේ ය යන බිය ඇති ව ඔහුට ද ඉඩ තබ තබා කතා කිරීම සල්ලපනා නම්,
“මේ තමා මහාධනවතා, මහානායකයා, මහාදානපතියා, ගමේ ප්‍රධානයා, රට කර වන්නා” යන ඈලෙසින් දායකයා උසස් කොට කතා කිරීම උල්ලපනා නම්.
“මහත්මයාගේ, රාළහාමිගේ, මුදලිතුමාගේ සත්වන පරපුර දක්වා හැම කෙනෙක් ම ගමේ, රටේ, සමාජයේ උසස් අය වූහ. මහතුන්ට වඩා, රාළහාමිලාට වඩා, මුදලිතුමාලාට වඩා බලවත් ධනවත් ගුණවත්, උදවිය මේ පළාතේ නො සිටියහ, අදත් නැත” යන ඈ ලෙසින් දායකයා හැම අතකින් ම උසස් තැන තබා කතා කිරීමය සමුල්ලපනා.
“උපාසකය! ඉස්සර නම් මේ දවස්වල තමුසේලා අලුත් බත් දන් දුන්නහු ය, දැන් කලකින් එබන්දෙක් නොවී ය, ඒ මන් දැ?” යි විචාරා “ස්වාමීනි! දැනුම් දෙන්නෙමි, ප්‍රමාදවීම ඉඩ පහසුකම් මද නිසා ය, ඉඩ පහසුකම් ලැබුනු සැටියේ දෙන්නෙමි” යි දායකයා කියන තුරු වචනයෙන් වෙළාලෑමය උන්නහනා. තවද උක්ගස් ගෙණෙන්නකු, දැක, “උපාසකය! මේ උක්ගස් කොයි වත්තේ ද?” “ස්වාමීනි! මේවා අපගේ ම කොරටුවේ” “රස ද උක්ගස්?” “ස්වාමීනි! මේවා වෙන දා සේ රසවත් දැ යි නො කා කියනු බැරි ය, පසුගිය වාරවල දී නම් රසවත් ව තුබුනේ ය” “උපාසකය! ඔබගේ කීම ඇත්ත ය, එමහත් මහණුන්ට උක්ගස් දෙන්නැ යි අපට කියන්නට නො වටනේ ය” යන ඈ ලෙසින් දායකයාට ගැලවී යන්නට ඉඩ නො දී දායකයා වෙළා බැඳ කරණ කතාවය උන්නහනා ය.
හැම පසින් ම හැම ලෙසින් ම දායකයා අවුලේ ලා කතා කිරීම, නැවත නැවත කතාවෙන් වෙළා බැදුම සමුන්නහනා නම්.
“මේ ගෙයි වැස්සෝ මා ගැණ දනිත්, මෙහි යම් දිය යුතු දෙයක් වේ නම්, එය මට ම දෙති” යන ඈ ලෙසින් ඔවුන් උසස් කොට දැක්වීම උක්කාවනා නම්. මහණහු දෙදෙනෙක් ගම් වැද එහි වූ අම්බලමක ටිකකට හිඳ ගත්හ, ඒ වේලෙහි එක් ගෑණු ලමයෙක් එහි ආයේ ය. ඈ ලඟට ආ විට එක් මහණෙක් අනික් මහණහුගෙන් “වහන්ස! මෝ කාගේ දුවක් දැ” යි ඇසී ය. “නො දන්නහු ද? මෝ අපගේ තෙලන්දරිකා උපාසිකා මෑණියන්ගේ දු, මෑගේ මවු තොමෝ මා එහි ගිය විට ගිතෙල් දෙන්නී ය, දෙන විට කළයෙන් ම දෙයි, මේ දූත් එසේ ය” යන තෙලන්දරිකකථාව මෙහි ලා නිදසුන් කළ හැකි ය.
හැම ලෙසකින් හැම අතකින් තමන්ගේ දායක ගෙවල් උසස් තැන තබා දැක්වීම සමුක්කාචනා නම්.
සත්‍යයට ගැළපෙන බව ධර්‍මයට ගැළපෙන බව නො සලකා නො බලා නැවත නැවත පියතෙපුල් බිණුම අනුප්පියභාණිතා නම්.
තමන් පහත් කොට දායකයා උසස් කොට තබන පැවතුම් ඇති බව, තමා දායකයාට වඩා පහත් කොට ගැණිම චාටුකම්‍යතා නම්.
මුං ඇට තැම්බූ කල්හි එහි කොටසක් පැසී ද, කොටසක් නො පැසී ද තිබෙන්නා සේ යමකුගේ කතාව සත්‍ය අසත්‍ය දෙකින් මිශ්‍ර ව තිබේ නම්, එබඳු බොරු සැබෑ දෙකින් මුසු වූ බස් ඇත්තේ මුග්ගසුප්ප නම් වේ. ඔහුගේ ස්වභාවය, නැත, බොරු බොහෝ කොටත් සැබෑ ස්වල්ප කාටත් කතා කිරීම මුග්ගසුපය්‍යතා නම්.
කිරිදරුවන් වඩනා කිරීමවක සේ දායකයන්ගේ දරුපැටවුන් ඇකයෙන්, කරින් වඩා ගැණුම, උන් නැලවීම පාරිහට්ටතා නම්.
ලාභසත්කාරයහි කෑදර වූ පාපිච්ඡා ඇති මහණහුගේ අන්හු පිළිබඳ නිමිත්ත - නිමිත්තකම්ම - ඔහාස - ඔහාසකම්ම - සාමන්තජප්පා - පරිකථා යන මෙය නෙමිත්තිකතා නම්.
එහි කෑම් බීම් ඈ දෙනු සඳහා මෙරමාහට සිත් උපදවන කායවාක්කර්‍ම නිමිත්ත නම්. අන්හු ඉදිරියෙහි බඩ සයින් ඉන්නා බව හඟවා බත් ලබන්නට අතින් බඩ අතගෑය කායකර්‍ම. “වළඳන්නට නැති කමින් සිරුර කෙට්ටු වී ය” යන ඈ කීම ය වාක්කර්‍ම.
කෑමක් ගෙණ යන්නන් දැක, “කිම, කෑමක් ලැබූවහු දැ?” යි ඈ ලෙසින් නිමිතිකිරීම නිමිත්තකම්ම නම්.
“මේ දවස්හි මහණුන්ට කෑම්බීම් නැත්තේ ය, කෑම්බීම් හිග ය” යන ඈ ලෙසින් සිවු පසය පිළිබඳ කතාවෙන් තමන්ගේ අදහස හැඟවීම ඔභාස නම්.
වස්සන් රකින්නන් දැක, “කිම මොවුහු කිරිදෙනුන්ගේ වස්සෝ ද? මෝරුදෙනුන්ගේ වස්සෝ දැ?” යි විචාරා “ස්වාමීනි! කිරි දෙනුන්ගේ වස්සෝ ය” යි කී කල්හි “හා, මොවුහු කිරිදෙනුන්ගේ වස්සෝ නො වෙති, කිරිදෙනුන්ගේ වස්සෝ නම්, භික්‍ෂූන් වහන්සේලාද කිරි ලබන්නහු ය, භික්ෂූන් වහන්සේලාත් කිරි ලැබිය යුතුය” යි ඈ ලෙසින් කුඩාදරුවන් ලවා ඔවුන්ගේ මවු පියන් හඟවා කිරි ලබා ගැනීම් ඈ පිණිස කරණ කතා ඔභාසකම්ම නම්.
තමන් කැමැති වූ වස්තුවට ලං කොට කතා කිරීම සාමන්තජප්පා නම්, මේ මෙයට නිදසුන් කතාවක්, එක් මහණෙක් වළඳනු රිස්සෙන් වේලාව බලා නිතර සිවු පසය දෙන උවැසියකගේ ගෙට ගොස් පුටුවක් ඇද එහි හුන්නේ ය, උවැසිය ඒ මහණහු දැක කිසිවක් නො දෙන අටියෙන් “අද ගෙයි සහල් නැතැ” යි සහල් ගෙණෙන්නට යන්නියක සේ හඟවා අසල ගෙයකට ගියා ය. ඒ අතර මහණ තෙමේ ගෙයතුළට වැදී වට පිට බලනුයේ, දොරමුලේ තුබූ උක්ගස, හැළියෙක තුබූ හකුරු, පැහැ තුබූ ලුනු මාලු, හැළියෙක තුබූ හාල්, කුඩා බඳුනෙක තුබූ ගිතෙල් දැක අවුත් කිසිවක් නො දන්නකු සේ හුන් තැන ම හුන්නේ ය. උවැසිය ටික වේලාවක් ගෙවා අවුත් “අනේ, අද අපගේ ස්වාමීන් වහන්සේට දානය නො ලැබෙන සැටිය අද මට පෙණෙන්නේ, ඒ ගිය තැනත් සහල් ඇටයකුත් තැත, ඒ ගෙයි උදවියත් අද බඩ ගින්නෙන් සිටිති” යි කියමින් ගෙට ඇතුල් වූ ය. එවිට මහණ ද “උවැසිය! හරි මමත් අද දන් නො ලැබෙන බව මගදී ම ඉදිරියට හමු වූ නිමිතිවලින් දැන සිටියෙමි” යි කී ය. “ස්වාමීනි! ඔබ වහන්සේ මග දී දුටු ඒ නිමිති මොනවා දැ?” යි ඇසූ කල්හි “අම්මේ මා පන්සලෙන් දොරට බැස එද්දී මට නයෙක් මුණ ගැසුනේ ය. ඌ අර දොර මුල්ලේ තිබෙන උක් ගස වැන්නේ ය, ඌ එතැනින් පන්නා හැරීමට මා ගැසූ ගල්කැට සැළියේ තිබෙන හකුරුකැට වාගේ ය, උගේ පෙණ ගොබය පසේ තිබෙන ලුනුමාලු පෙති වාගේ ය, දත් සැළියේ තිබෙන සහල් ඇට වාගේ ය, මා ගැසු ගල් පහර නිසා උගේ කටින් වැගුණු කෙළ කුඩා බඳුනෙහි පුරවා ඇති ගිතෙල් වාගේ ය” යි කීයේ ය. එවිට උවැසිය “මේ මහණ රවටනු නො හැකි ය” යි උක්ගස් කපා වළඳන්නට දී පසුව බත් උයා ගිතෙල් හකුරු මාලු සමග වළඳන්නට දුන්නී ය.
කැමැති දෙය ලැබෙන තෙක් පෙරළ පෙරළා කී දෙය නැවත කීම පරිකථා නම්.
ලාභසත්කාර කීර්ති ප්‍රශංසායෙහි ගිජු වූ පාපිච්ඡා ඇති මහණහුගේ මෙරමා පිළිබඳ අක්කොසනා - වම්භනා - ගරහනා - උක්ඛෙපනා - සමුක්ඛෙපනා - ඛිපනා - සංඛිපනා - පාපනා - සම්පාපනා අවණ්ණහාරිතා - පරපිට්ඨිමංසිකතා යන මෙයින් අන්හු පිළිබඳ ගුණය පිසදමා සුණු කොට ලාභ උපදවා ගැණීම නිප්පෙසිකතා නම්.
එහි දශවිධ ආක්‍රෝශවස්තූන්ගෙන් ආක්‍රෝශ කිරීමය අක්කොසනා.
අන්හු තළා පෙළා පරිහව කිරීමය වම්භනා.
“සැදැහැ නැත්තේ ය, නො පහන් තැනැත්තේ ය” යන ඈ ලෙසින් නැගීම ය ගරහනා.
“මෙබඳු බස් මෙහි නො කියව, මුව පියා ගණුව” යන ඈ ලෙසින් ඔසවා දැමීම ය උක්ඛෙපනා. හාත්පසින් කරුණු සහිත කොට, හේතු සහිත කොට ඔසවා දැමීම නොහොත් නො දෙන්නහුට “අහෝ, පින්වත් තෙමේ දානපති ය” යන ඈ ලෙසින් කථා කිරීම ද උක්ඛෙපනා.
“මහාදානපති ය, මහාදායක ය” යන ඈ ලෙසින් උසස් තැන තබා කතා කිරීම ය සමුක්ඛෙපනා.
“බිජුවට කන මොහුගේ ජීවිතයෙන් ප්‍රයෝජන කවරේ දැ” යි යන ඈ ලෙසින් කවටකම් කිරීම, පිරිහෙලා කතා කිරීමය ඛිපනා.
“කුමක් හෙයින් මොහුට නො දෙන්නා යි කියත් ද, මොහු නිතර හිඟන්නන්ට නැත යන වචනය දෙන්නේ ය” යන ඈ ලෙසින් කතා. කිරීමය සංඛපනා
නො දෙන බව නො හොත් අන්හු පිළිබඳ නුගුණ සැම තැන පැමිණවීමය පාපනා.
කොතකුත් ඉතිරි නො කොට හාත්පසින් නුගුණ පැමීණ වීමය සම්පාපනා.
“මෙසේ මේ තෙමේ දොස් කීමට බියෙන් වත් දෙන්නේ ය” යි සිතා ගෙන් ගෙට, ගමින් ගමට, දනව්වෙන් දනව්වට නුගුණ ගෙණ යාමය අවණ්ණහාරිතා
ඉදිරියෙහි ගුණ කියා නො ඉදිරියෙහි නුගුණ කීම පරපිට්ඨිමංසිකතා. ඉදිරියෙහි බැලීම් පමණකුත් නො කොට පිටි පෑවිට පිටමස් කෑමක් වැනි නු යි මෙය පරපිට්ඨිමංසිකතා නම් වි ය.
අක්කෝසනාදී මේ හැම එකක් ම හුණ පතුරෙන් ඇඟ සූරා පිස දමන්නා සේ අනුන්ගේ ගුණ සූරා දමන්නේ ය. සුගන්‍ධ ද්‍රව්‍ය අඹරා සුණු කොට සුවඳ විඳ ගන්නා සේ අනුන් පිළිබඳ ගුණ සුණු කොට ලාභ ප්‍රයෝජන උපදවන්නේ ය.
ලාභසත්කාර කීර්ති ප්‍රශංසායෙහි ගිජු වූ පාපිච්ඡා ඇති මහණහුගේ ගෙයින් ලත් ආමිසය ඒ ගෙට ගෙණ යෑම ඒ ගෙයින් ලත් ආමිසය මේ ගෙට ගෙණ ඊම, මෙයින් ලත් දෙය අන් තැනකට ගෙන යෑම යන ඈ ලෙසින් ආමිසය සෙවීම ලාභෙන ලාභං නිජිගිංසනතා ය.
“යථා වා පන භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්‍වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්‍යථීදං, අඞ්ග නිමිත්තං” යන ඈ ලෙසින් වදාළ ජීවිකාවෘත්තිය පිණිස මහණ බමුණන් විසින් සෙවුනා ලබන අඞ්ගවිද්‍යාදි පාපධර්‍ම ද මෙහි ලා ගැණේ.
මෙසේ ආජීවය හේතු කොට පණවා වදාළ ස වැදෑරුම් සික පද ඉක්මවා යෑමෙන්, කුහනාලපනාදි පාපධර්‍මයන්ගේ වශයෙන් කෙරෙණ මිථ්‍යාජීවයෙන් වෙන් වීම ආජීවපාරිසුද්ධි ශීලය යි දත යුතු ය.
ආජීව නම්, සිවුපසය සෙවීමෙහි ධාර්මික උත්සාහය යි. ඒ මේ ධාර්මික උත්සාහය ඇසුරුකොට ජීවිතයාත්‍රාව වන බැවින් ආජීව යි කියනු ලැබේ. පිරිසිදු බව ය, පාරිසුද්ධි. ආජීවයාගේ පිරිසිදු බව ආජීව පාරිසුද්ධි නම්. “ එතං ආගම්ම ආජීවන්තීති = ආජීවො, කො සො? පච්චයපරියෙසනවා යාමො, පාරිසුද්ධීති = පරිසුද්ධතා, ආජීවස්ස = පාරිසුද්ධී = ආජීවපාරිසුද්ධි” යනු දන්නේ ය .
ආජීවපාරිසුද්ධිසීලය වීර්‍ය්‍යයෙන් සම්පාදනය කළ යුතු ය. වීර්‍ය්‍යය එයට සාධනය වේ. යමක්හුගේ වීර්‍ය්‍යය විධිමත් ලෙසින් පවත්නේ නම්, ඔහුට මිථ්‍යාජීවය දුරුකළ හැකි ය. එහෙයින් අයුතු ලෙසින්, නොදැහැමි ලෙසින් සිවුපසය සෙවුම දුරු කළ යුතු ය. දැහැමින් සිවුපසය සෙවුමෙන් ආජීවපාරිසුද්ධිසීලය රැක ගත යුතු ය. දැහැමින්, යුතු ලෙසින් උපදවා ගත් සිවුපසය වැළඳිය යුතු ය. නො දැහැමින්, අයුතු ලෙසින් උපදවා ගත් පසය විෂ මිශ්‍ර භෝජනයක් සේ දුරු කළ යුතු ය.
ධුතඞ්ගධර නො වූ මහණහුට සුදුසු වන්නේ සඞ්ඝයාගෙන්, ගණයාගෙන් දම්දෙසුම්හි පහන් ගිහින්ගෙන් ලැබුනු සිවුපසය ය. එහෙත් ඉතා ම සුදුසු වන්නේ පිඬු සිඟීමෙහි උපන් පසය ය. ධුතඞ්ගධරයාහට, පිඬු සිඟා යෑමෙන් උපන් පසය හා ධූතගුණයෙහි පහන් ගිහින්ගෙන් ධුතගුණයට අනුලොම් ව උපන් පසය සුදුසු ය.
ධුතඞ්ගධර වුව ද, නො වුවද ආජීව පාරිසුද්ධිය කැමැති මහණහුට චීවර පිණ්ඩපාත දෙක්හි නිමිත්ත - ඔභාස - පරිකථා - විඤ්ඤත්ති යන මේ සතර නො සුදුසු ය. සෙනසුන් විසයෙහි නිමිත්ත -ඔභාස - පරිකථා යන තිදෙන ධුතඞ්ගධර නො වූ මහණහුට වරද නො වෙති. එහෙත් විඤ්ඤත්තිය නො වටී.
එහි සෙනසුනක් කරණු සඳහා ගෙපල් පිරිසිදු කරන මහණකු දැක, ගිහින් විසින් “ස්වාමීනි! කුමක් කරහු, මෙය කරණු ලබන්නේ කා විසින් දැ?” යි විචාළ කල්හි “එබඳු කිසිවෙක් නැතැ” යි පිළිතුරු දීමත්, මෙබඳු අන් වචනත් නිමිත්ත නම් වේ.
මහණෙක් ගිහින් දැක “තමුසෙලා කොහි වසන්නහු දැ?” යි අසා “අපි ප්‍රාසාදයන්හි වසමු” යි ඔවුන් කී කල්හි “ඇයි, පින්වත්නි! මහණුන්ට ප්‍රාසාද නො සුදුසු දැ?” යි විචාරා නම් ඒ හා මෙබඳු අන් වචන ද ඔභාස නම් වේ.
මහණුන්ට සෙනසුන සම්බාධ යි කීම් හා එබඳු අන් කීම් ද පරිකථා නම් වේ.
නිමිත්ත - ඔභාස - පරිකථා යන මෙයින් උපන් සෙනසුන මහණුනට නො කැප නො වේ. චීවර - පිණ්ඩපාත කැප නො වේ - චීවර - පිණ්ඩපාත - සේනාසන යන ප්‍රත්‍යය විඤ්ඤත්තියෙන් උපන්නේ නො කැප වේ. නො නෑ නො පැවරූවන්ගෙන් ඉල්ලීම විඤ්ඤත්ති නම්. බෙහෙතෙහි නිමිත්ත - ඔභාස - පරිකථා - විඤ්ඤත්ති යන සතර ම වටනේ ය. එහෙත් එසේ උපන් බෙහෙත රෝගය සන්සිඳුනු කල්හි වැළඳීම නො සුදුසු ය.
මෙහිලා විනයධරයෝ, ඒ වැළඳීමට අවසර දුන් බැවින් සුදුසු යි ද, සූත්‍රාන්තිකයෝ, ඒ වැළඳීමෙන් ඇවැත් නො වූවත් ආජීවය කෝප්‍යවන බැවින් නො සුදුසු ය යි ද කියත්.
යමෙක්, බුදුරජානන් වහන්සේ විසින් යමක් අනුදන්නා ලද්දේ නමුත් සැරියුත් මහ තෙරණුවන් සේ ජීවිත විනාශයක් එළඹ සිටිය ද, ඔභාසාදියෙන් උපන් ඒ පසය නො ද වළඳන්නේ ද, ලද දෙයක් ම වළඳන්නේ ද හෙතෙමේ “පරමසල්ලෙඛවුත්ති” යි කියන ලද්දේ ය.
ආජීව පාරිසුද්ධිසීලය පරියෙට්ඨිසුද්ධි යි ගණිත්. එක් විසි අනෙසනයෙන් දුරු ව දැහැමින් සිවුපසය උපදවන්නාහුගේ ආජීවය, සෙවීමෙන් පිරිසිදු වන්නේ ය. එහෙයිනි එසේ ගන්නේ. සෙවීමෙන් පිරිසිදුබව පරියෙට්ඨිසුද්ධි නම්.
පච්චයසන්නිස්සිතසීල නම්, ප්‍රත්‍යවේක්‍ෂ කොට සිවුපසය ගැණීම් ය. ප්‍රත්‍යවේක්‍ෂාවෙන් පිරිසිදු කොට සිවුපසය ප්‍රයෝජන ගැනීම් විසින් පැවැති නිරවද්‍ය චේතනා මාත්‍රය මෙහි පච්චයසන්නිස්සිතසීල නම්. මේ වනාහි නුවණින් හොඳට සලකා බලා ප්‍රත්‍යය පරිභෝග කිරීම ලකුණු කොට සිටියේ ය.
පච්චය නම්, සිවුරු - ආහාර - සෙනසුන් - බෙහෙත් - පිරිකර යන මේ ය. එය ඇසුරු කළේ පච්චයසන්නිස්සිත ය. “ යෙ පටිච්ච නිස්සාය පරිභුඤ්ජමානා පාණිනො යන්ති ගච්ඡන්ති පවත්තන්ති තෙ පච්චයා” යනු අරුත් පැහැදිලි කිරීම ය.
එහි පච්චයසන්නිස්සිතසීලයෙන් සිල්වත් වන්නහුගේ චීවර පරිභෝගය, ශීතොෂ්ණපීඩා හා කණමැසි හා මදුරු සුලං අවු සප් යන මොවුන්ගෙන් වන පීඩා නසනු පිණිස, විළිබිය නසන තැන් මුවා කිරීම පිණිස විය යුතු ය. ඔහු චීවරපරිභෝගයෙහි දී "පටිසඞ්ඛා යොනිසො චීවරං පටිසෙවාමි යාව දෙව සීතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය ඩංසමකසවාතාතපසිරිංසප සමඵස්සානං පටිඝාතාය යාවදෙව හිරිකොපීනපටිච්ඡාදනත්‍ථං” යි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය. නුවණින් සලකන්නේ ය.
පිණ්ඩපාතපරිභෝගය කෙළිසෙල්ලම් පිණිස, මද වැඩුම පිණිස, සැරසීම පිණිස, අලඞ්කාරය පිණිස නො විය යුතු ය. විය යුත්තේ මේ සිරුර යම්තමකට පවත්‍වා ගැණුමට ය. යම් යැපීමට ය. බඩගිනි නිවා ගැණුමට ය. සසුන් බඹසරට හා මග බඹසරට රුකුල් දෙනු පිණිස ය. තව ද “මේ පිණ්ඩපාතය වැළඳීමෙන් පැරණි බඩගිනි වේදනාත් නසමි, අලුත් වේදනාත් නො උපදවමි” යි සලකා ගෙණ ද විය යුතු ය. එසේ ම “මෙයින් මාගේ ජීවිතයාත්‍රාව ද, නිරවද්‍යභාවය ද, ඵාසුවිහරණය ද වන්නේය” යි සලකා ගෙණ ද විය යුතු ය. ඔහු පිණ්ඩපාතපරිභෝග යෙහිදී “පටිසඞ්ඛා යොනිසො පිණ්ඩපාතං පටිසෙවාමී නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ්මචරියානුග්ගහාය ඉති පුරානං ච වෙදනං පටිභංඛාමි නවං ච වෙදනා න උප්පාදෙස්සාමි යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ව ඵාසුවිහාරො ච” යි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය. නුවණින් සලකන්නේ ය.
සේනාසනපරිභෝගය, ශීතෝෂ්ණපීඩා නසනු පිණිස, මැසි මදුරු අවු සුළං නයි පොළොං ඈ උවදුරු නසනු පිණිස, ඍතු පීඩා නසනු පිණිස, සිත එකඟ කර ගැණීමෙන් වන සුවය පිණිස විය යුතු ය. ඔහු සේනාසන පරිභෝගයෙහි දී “ පටිසංඛා යොනිසො සෙනාසනං පටිසේවාමි යාවදෙව සීතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය ඩංසමකසවාතාතපසිරිංසප සම්ඵස්සානං පටිඝාතාය යාවදෙව උතුපරිස්සයවිනොදනං පටිසල්ලානාරාමත්‍ථං " යි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය. නුවණින් සලකන්නේ ය.
ග්ලානප්‍රත්‍යයපරිභෝගය, හුදෙක් ව්‍යාබාධයන්ගෙන් උපන් වේදනා නසනු පිණිස, යම් පමණකින් ඒ සියලු දුක් නැසී යේ ද එ පමණක් පිණිස විය යුතු ය. ඔහු ග්ලානප්‍රත්‍යයපරිභෝගයෙහි දී “ පටිසංඛා යොනිසො ගිලානපච්චයභෙසජ්ජ පරික්ඛාරං පටිවෙසාමි යාවදෙව උප්පන්නානං වෙය්‍යාබාධිකානං වෙදනානං පටිඝාතාය අබ්‍යාපජ්ඣපරමතාය” යි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය. නුවණින් සලකන්නේ ය.
පච්චයසන්නිස්සිතසීලය නුවණින් සම්පාදනය කළ යුතු වේ. නුවණ එයට සාධනය යි. සිවුපසයෙහි ආදීනවය හා ආනිසංසය සැලකීමේ සමත්බව ඇත්තේ නුවණට ය. එහෙයින් සිවුපසයෙහි ආශාව හැරපියා දැහැමින් සෙමින් උපන් සිවුපසය කියූ ලෙසින් නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට වළඳමින් පච්චයසන්නිස්සිතසීලය සම්පාදනය කළ යුතු ය.
ප්‍රත්‍යවේක්‍ෂා දෙ පරිදි ය. ප්‍රත්‍යය ප්‍රතිලාභකාලය විසින් හා පරිභෝග කාලය විසින් හා සිවුපසය ලත් කල්හි ධාතු විසින් හෝ පිළිකුල් විසින් ප්‍රත්‍යවේක්‍ෂා කොට තැබූ සිවුරු ආදිය, එයින් මතු ඒ ඒ ප්‍රත්‍යයානුකූල ව ප්‍රත්‍යවේක්‍ෂා කොට වළඳන්නහුගේ පරිභෝගය නිවරද වේ. ලත් වේලෙහි ප්‍රත්‍යවේක්‍ෂා නො කළ ද, පරිභෝගකාලයෙහි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහුගේ පරිභෝගය ද නිවරද ය.
පරිභෝගය, ථෙය්‍යපරිභෝග - ඉණපරිභෝග - දායජ්ජපරිභෝග - සාමිපරිභෝග යි සිවු වැදෑරුම් ය.
එහි සොරා කෑම ථෙය්‍යපරිභෝග නම්. දුශ්ශීලයා සඟ මැද හිඳ වළඳන්නේ ද, ඔවුන්ගේ ඒ වැළඳීම ථෙය්‍යපරිභෝග යයි. ණය කෑම ඉණපරිභෝග නම්. සිල්වත් වූවකු ප්‍රත්‍යවේක්‍ෂා නො කොට වැළඳීම ඉණපරිභෝගය යි. එහෙයින් සිවුරු අඳනා පොරෝණා හැම වේලේහි ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු ය. දන් වළඳන වේලේ බත් පිඩක් පාසා ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු ය. එසේ නො හැක්කහු විසින් පෙරවරු, පස්වරු, පෙරයම, මැදියම, පසුයම ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු ය. එසේ ප්‍රත්‍යවේක්‍ෂා නො කොට සිටියදී ම අරුණ නැගී ගියේ නම්, පරිභෝගය ඉණපරිභෝගය වේ. සෙනසුන් පරිභෝග කරන හැම විට ම ප්‍රත්‍යවේක්‍ෂාව කළ යුත්තේ ය.
බෙහෙත් පිළිගැණීමේ දී හා පරිභෝග කිරීමේ දී ද ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු ය. පිළිගන්නා වේලේ ප්‍රත්‍යවේක්‍ෂා කළ ද පරිභෝග කරණ වේලේ ප්‍රත්‍යවේක්‍ෂා නො කෙළේ නම්, ඔහුට එය ඇවැත් කරන්නේ වේ. පිළිගැණීමේ දී ප්‍රත්‍යවේක්‍ෂා නො කළ ද, වැළඳීමේ දී ප්‍රත්‍යවේක්‍ෂා කිරීම ඇවැත් නො කරන්නේ ය.
මවු පියන් සතු දෙය කෑම දායජ්ජපරිභෝග නම්. මවු පිය පරපුරෙන් එන ජඞ්ගම - ස්ථාවරවස්තු සමුහය දායජ්ජ නම්. මෙහි ඒ නො වේ. මෙහි ලා ගැණෙනුයේ බුදුරජුන් සතු බුදුරජුන් උදෙසා ලැබෙන සිවුපසය යි. බුදුරජුන් සතු ඒ මේ දායජ්ජ ප්‍රධාන - අප්‍රධාන විසින් දෙ පරිදි ය. ඒ දෙවැදෑරුම් දායජ්ජය ම ‘ අනුජානාමි භික්ඛවෙ! ගහපතිචීවරං’ යනාදී ලෙසින් අනුදත් බැවින් බුදුරජුන් සතුම ය. සප්තවිධ ශෛක්ෂ්‍යයන්ගේ සිවුපසය වැළඳීම දායජ්ජපරිභෝග යි ගැණේ. සප්ත ශෛක්ෂ්‍යයෝ ම ය බුදුරජුන්ගේ පුත්‍රයෝ. ඔවුහු බුදුපියානන් අයත් සිවුපසයට දායාදයෝ (උරුමක්කාරයෝ) ව ඒ වළඳන්නෝ ය. සප්තශෛක්ෂ්‍යයන් වළඳනු ලබන්නේ බුදුරජුන් අයත් සිවු පසයෙක් ද, ගිහින් අයත් සිවු පසයෙක් දැ යි මෙහි ප්‍රශ්නයක් නැගිය හැකි ය. සිවුපසය ගිහින් විසින් පිළියෙල කරණ ලද ද භික්‍ෂූන් වහන්සේට ඒ ලැබෙනුයේ බුදුරජුන් අනුදත් බැවින් ම ය. ගිහින් විසින් පුදන සිවුපසය බුදුරජුන් සතුම ය. භික්‍ෂූහු වළඳන්නේ බුදුරජුන් සතු වු ම සිවුපසය, යි ඒ ප්‍රශ්නයෙහි ලා දිය යුතු පිළිතුර ය. මෙයට ධම්මදායාදසුත්‍රය සාධක විසින් දැක්විය හැකි ය.
මෙසේ සිවු පසය බුදුරජුන් අයත් වුව ද බුදුරජුන් නිසා ම ලැබුන ද ඇතැම් නිර්‍ලජ්ජී භික්‍ෂූහු තමන්ගේ කුලය, ධනය, යසස, පාණ්ඩිත්‍යය, ශීලය, වාසනාව නිසා ලැබෙන්නේ ය යි කියමින් උගුර තෙක් කා බී අපායයට මග පිළියෙල කරති.
රහතුන් වහන්සේගේ සිවුපසය වැළඳීම සාමිපරිභෝග නම්. තෘෂ්ණාවට දාසවන ස්වභාවය ඉක්මවා සිටියෝ රහතුන් වහන්සේ ය. එ බැවින් උන්වහන්සේ සිවුපසයෙහි හිමියෝ වෙති.
මෙහි දැක් වූ සිවු වැදෑරුම් වූ පරිභෝගයන් අතුරෙන් සාමිපරිභෝගය හා දායජ්ජපරිභෝගය කාටත් වටනේ ය. ඉණපරිභෝගය කිසිවකුටත් නො වටනේ ය. ථෙය්‍යපරිහෝගයෙහි කවර කතා ද.
සිල්වතුන් ප්‍රත්‍යවේක්‍ෂා කොට නුවණින් සලකා කරණ යම් මේ පරිභෝගයෙක් වේ ද, එය ඉණපරිභෝගයට ප්‍රතිපක්‍ෂ බැවින් ආණන්‍යපරිභෝග නම් වේ. මෙබඳු සිල්වතුන් ශෛක්ෂ්‍යසඞ්ඛ්‍යායෙහි ඇතුළත් වන බැවින් දායජ්ජපරිභෝගය හෝ වේ. සිල්වත් තෙමේ ශික්‍ෂායෙන් යුක්ත බැවින් ශෛක්ෂ්‍ය යි කියනු ලැබේ. මේ පරිභෝගයන් අතුරෙහි සාමිපරිභෝගය ම ප්‍රධාන ය. එ බැවින් සාමිපරිභෝගය පතන්නා වූ මහණහු විසින් යට කියූ ප්‍රත්‍යවේක්‍ෂා විධියෙන් පස් විකා වළඳමින් පච්චයසන්නිස්සිත සීලය සැපයිය යුතු ය. එසේ කරණුයේ කෘත්‍යකාරී වන්නේ ය, වදාළෝ ම ය.
“පිණ්ඩං විහාරං සයනාසනං ච
ආපං ච සංඝාටිරජූපවාහනං,
සුත්‍වාන ධම්මං සුගතෙන දෙසිතං
සඞ්ඛාය සෙවෙ වරපඤ්ඤසාවකො.
.
තස්මා හි පිණ්ඩසයනාසනෙ ච
ආපෙ ව සඞ්ඝාටිරජූපවාහනෙ,
එතෙසු ධම්මෙසු අනූපලිත්තො
භික්ඛු යථා පොක්ඛරෙ වාරිබින්දු.
.
කාලෙන ලද්ධා පරතො අනුග්ගහා
ඛජ්ජෙසු භොජ්ජෙසු ච සායනෙසු,
මත්තං ස ජඤ්ඤා සතතං උපට්ඨිතො
වනස්ස ආලෙපනරූහණෙ යථා”
උතුම් නුවණැති බුදු සවු මහණ තෙමේ “පටිසංඛා යොනිසො චීවරං පටිසෙවති” යන ඈ දහම් අසා දැන පිඩු - වෙහෙර - සෙනසුන් - සිවුරු හා රජස් සෝදා හරින දිය පස්විකා වළඳන්නේ ය.
එහෙයින් ඒ මහණ තෙමේ පිඩු - සෙනසුන් - සිවුරු - රජස් සෝදා හරින දිය යන මේ සිවු පසයෙහි පියුම් පතෙහි වැටුනු දිය බිඳු සේ නොඇලෙන්නේ ය.
සුදුසු කාලයෙහි අනුන්ගෙන් අනුග්‍රහ වශයෙන් ලත් කෑ යුතු, බිදිය ද යුතු, රස විඳිය යුතු වස්තූන්හි නිති එළැඹ සිටි සිහි ඇති ඒ මහණ තෙමේ වණයට බෙහෙත් හෙලීමෙහි පමණ දන්නා සේ පමණ දන්නේ ය. පමණ දැන වළඳන්නේ ය.
“කන්තාරෙ පුත්තමංසං ව අක්ඛස්සබ්ඤ්ජනං යථා,
එවං ආහරි ආහාරං යාපනත්තාය මුච්ඡිතො”
කාන්තාරයෙහි දී පුත් මස් සේ, අකුරෙහි තෙල් ගෑම සේ, තෘෂ්ණාවෙන් මුසපත් නො වූයේ, යැපෙන පමණින් අහර ගන්නේ ය. භාගිනෙය්‍යසඞ්ඝරක්ඛිත හෙරණ තෙමේ;
“උපජ්ඣායො මං භුඤ්ඤමානං සාලිකූරං සුනිබ්බුතං,
මා හෙවං ත්වං සාමණෙර! ජිව්හං ඣාපෙසි’සඤ්ඤතො,
.
උපජ්ඣායස්ස වචො සුත්‍වා සංවෙගමලභිං තදා,
එකාසනෙ නිසීදත්‍වා අරහන්තං අපාපුණිං,
.
සොහං පරිපුණ්ණසඞ්කප්පො චන්දො පණ්ණරසී යථා,
සබ්බාසව පරික්ඛීණො නත්‍ථිදානි පුනබ්භවො”
දවසෙක මාගේ උපාද්ධ්‍යායන් වහන්සේ, ඉතා නිවුනු ඇල්සාලේ බත් වළඳන මට කතා කොට, “උන්නැහේ! අසංයත ව, නො හික්මුනෙක් ව බත් වළඳා දිව පුළුස්සා නො ගණුව” යි කී ය.
එදා මම උන්වහන්සේගේ වචනය අසා සංවේගයට පැමිණියෙමි. සංවේගය කො තරම් දැ යි කියතොත් මම ඒ ආසනයෙහි ම හිඳ රහත් වීමි.
මම පසළොස් වක් පොහොය දා සඳ සේ පිරිපුන් මනදොළ ඇත්තේ විමි. මාගේ සියලු ආස්‍රවයෝ ගෙවී ගියහ. දැන් මට නැවත භවයෙහි ඉපැත්මෙක් නැත්තේ ය.
භාගිනෙය්‍යසඞ්ඝරක්ඛිත හෙරණ තෙමේ මැනවින් පස්විකා වළඳා මේ ප්‍රත්‍යයසන්නිඃශ්‍රිතශීලය සම්පූර්‍ණ කෙළේ ය.
ප්‍රත්‍යසන්නිශ්‍රිතශීලය ‘පච්චවෙක්ඛණසුද්ධි’ කියනු ලැබේ. ‘ පටිසංඛා යොනිසො’ යනාදින් දැක්වුනු ප්‍රත්‍යවේක්‍ෂාවිධියෙන් පිරිසිදු වන බැවිනි. ගාථාවෙහි ආ ‘සීලෙන’ යන පදයෙන් කියවුනේ මේ සිවුවැදෑරුම් සීලය යි.
විරියෙන ච = වීර්‍ය්‍යයෙන් ද. [2]
සමාධිනා = සමාධියෙන් ද.
සමාධි නම්, කුසල් සිතේ එකඟ බවය. නිදොස් අරමුණෙක මනා සේ පිහිටි කුසල් සිතය. “ තත්‍ථ කතමො සමාධි? යා චිත්තස්ස ඨීති සණ්ඨිති -පෙ- සම්මාසමාධි, අයං වුච්චති සමාධි” යන විභඞ්ගපාලිය ඒ පැහැදිලි කරයි.
‘සහජාතානි සම්මා ආධීයති පතිට්ඨපෙතීති = සමාධි’ යම් චිත්තශක්තියක් තොමෝ තමන් හා එක් ව උපන් අනික් චෛතසික ධර්‍ම, නන් අරමුණෙහි විසිර යා නො දී ඒ ගත් අරමුණෙහි ම මනා කොට තබා ද, ඒ ය සමාධි.
‘එකාලම්බනෙ සුට්ඨු ආධානං = සමාධි’ සිත හා චෛතසිකධර්‍ම විසිර යා නො දී එක් අරමුණෙක තැබීම ය සමාධි.
‘එකාරම්මණෙ චිත්තං සමං ආධීයති තෙන චිත්තන්ති = සමාධි’ යම් ධර්‍ම ශක්තියකින් සිත එක් අරමුණක සම ව තබා ද, ඒය සමාධි.
‘ආරම්මණෙ චිත්තං සම්මා ආධීයති ඨපෙතීති = සමාධි’ අරමුණෙහි සිත - මනා කොට තබා ද, ඒ ය සමාධි.
ඒ මේ අත යා නො දී අරමුණු විසින් සෙලවිය නො දී සිත එක ම නිදොස් අරමුණෙක පැවැත් වීම නැවැත්වීම, සමාධි නම්. හුලං නැති තැන පහන් සිළ නිසල ව සිටින්නා සේ සිත අරමුණෙහි නිසල ව සිටීම ය ඒ.
නහන සුණු, පමණට ලැබු දිය නිසා ඒ මේ අත නො ගොස් එකට බැඳී සිටින්නා සේ, මේ චිත්තශක්තිය නිසා, චිත්ත චෛතසිකධර්‍ම එක ම අරමුණෙක නිසල ව සිටින්නේ ය. එහි ම ලැගී සිටින්නේ ය. විසිර පවත්නා චිත්ත චෛතසිකධර්‍ම, මේ නිසා එකට කැටි වන්නේ ය. චිත්ත චෛතසිකධර්‍ම එක අරමුණක එකතු කොට කැටි කොට තබන්නේ සමාධිය ය. ඒකග්ගතා චෙතසිකය යි.
‘පරිග්ගහට්ඨෙන සමාධි’ එකග්ගතාචෛතසිකය ශ්‍රද්ධාදිඉන්‍ද්‍රියයන් විසින් වට කොට ගන්නා ලද බැවින් සමාධි නම්.
‘පරිවාරට්ඨෙන = සමාධි’ ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයෝ උනුන්ට පිරිවර විසින් සිටියෝ ද එබැවින් සමාධි නම්.
‘පරිපූරට්ඨෙන = සමාධි’ ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයෝ වැඩීමෙන් පිරිපුන් බවට ගියෝ ද, එබැවින් සමාධි නම්.
‘එකග්ගට්ඨෙන = සමාධි’ එක් අරමුණක් බලාපොරොත්තුවෙන් පවත්නා බැවින් සමාධි නම්.
‘අවික්ඛෙපට්ඨෙන = සමාධි’ නන් අරමුණුවල නො විසිරීම බලාපොරොත්තුවෙන් සිටුනා බැවින් සමාධි නම්.
‘අවිසාරට්ඨෙන = සමාධි’ දිය ලු නහනසුණු සේ නො විසිර පවත්නා බැවින් සමාධි නම්.
‘අනාවිලට්ඨෙන = සමාධි’ කෙලෙස් කිලිටි නැති බැවින්, නො කැළඹුනු බැවින් සමාධි නම්.
‘අනිඤ්ජනට්ඨෙන = සමාධි’ නො සැලෙන බැවින් සමාධි නම්.
‘විමුත්තට්ඨෙන = සමාධි’ විෂ්කම්භන විසින් හෝ සමුච්ඡේද විසින් කෙලෙසුන්ගෙන් මිදුනු බැවින් හා අරමුණෙහි නො මිදුනු බැවින් හා සමාධි නම්.
‘එකත්තුපට්ඨානවසෙන චිත්තස්ස ඨිතත්තා = සමාධි’ එක් අරමුණෙක දැඩි ව පිහිටීමෙන් අරමුණෙහි සිත නො සැලී පවත්නා බැවින් සමාධි නම්.
‘සමං එසතීති සමාධි’ සමං යි කීවා අර්‍පණාව ය. විරුද්ධ ධර්‍මයන් නසන බැවින් අර්‍පණාවට සමා යි නමෙකි. විරුද්ධධර්‍මයන් නැති බැවිනුත් අර්‍පණාව සමා යි හඳුන්වනු ලැබේ. ඒ මේ අර්‍පණාව අදහස් පරිදි සොයා ද, එබැවින් සමාධි නම්.
‘ විසමං නෙසතීති = සමාධි’ ධ්‍යානයනට, විරුද්ධ ව සිටි ඒ ඒ විසම ධර්‍මයන් නො සොයා ද, එබැවින් සමාධි නම්.
‘සමං එසිතත්තා = සමාධි’ අර්‍පණාව සෙවූ බැවින් සමාධි නම්. අර්‍පණාව සිද්ධ බැවිනි.
‘විසමං නෙසිතත්තා = සමාධි’ ධ්‍යානයනට විරුද්ධ ව සිටි ධර්‍මයන් නො සෙවූ බැවින්, සමාධි නම්.
‘සමං ආදියතීති = සමාධි’ අර්‍පණාව ගණී නු යි සමාධි නම්.
‘විසමං නාදීයතීති = සමාධි’ ධ්‍යානයනට විරුද්ධ ව සිටී ධර්‍මයන් නො ගණී නු යි සමාධි නම්.
‘සමං අදිතත්තා = සමාධි’ අර්‍පණාව ගත් බැවින් සමාධි නම්.
‘විසමං අනාදිත්තතා = සමාධි’ ධ්‍යානයනට විරුද්ධ ව සිට ධර්‍මයන් නො ගත් බැවින් සමාධි නම්.
‘සමං පටිපජ්ජතීති=සමාධි’ අර්‍පණාව ලබන්නට පිළිපදිනුයි සමාධි නම්.
‘ විසමං න පටිපජ්ජතීති = සමාධි’ විරුද්ධ ධර්‍මයන් ලබන්නට නො පිළිපදිනු යි සමාධි නම්.
‘සමං පටිපන්නතා = සමාධි’ අර්‍පණාව පිළිපන් බැවින් සමාධි නම්.
‘විසමං න පටිපන්නත්තා = සමාධි’ විරුද්ධ ධර්‍මයන්ට නො පිළිපන් බැවින් සමාධි නම්,
‘සමං ඣායතීති = සමාධි’ සම ව දවා නු යි හෝ, සම වූ ආකාරයෙන් දවා නු යි සමාධි නම්, ශාන්ත වූ අර්‍පණාවට අනුකූලභාවයෙන් සිටි බැවින් සම වූ ආකාරයෙන් පවති යන අරුත් ය.
‘විසමං ඣාපෙතීති = සමාධි’ සමාධියට විරුද්ධ වූ ධර්‍මයන් දුරු කිරී මෙන් දවා හරිණු යි සමාධි නම්.
‘ සමං ඣාපිතත්තා = සමාධි’ සම වූ ආකාරයෙන් දැ වූ බැවින් සමාධි නම්.
‘විසමං ඣාපිත්තා = සමාධි’ සමාධියට විරුද්ධ වූ ධර්‍මයන් දැවු බැවින් සමාධි නම්.
මෙසේ පස්විසි අයුරකින් කියූ සමාධ්‍යාර්‍ත්‍ථ එක් තැන් කොට දක්වනුවෝ ‘ සමාධානට්ඨෙන = සමාධි’ යි කීහ. සමාධානාර්‍ත්‍ථයෙන් සමාධි යනු එහි අරුත් ය. ‘සම්මා අවික්ඛෙපනවසෙන ආධානං - සමාධානං’ නො විසිර මනා කොට පැවැත්මය සමාධාන. යම් ධර්‍මයක්හුගේ අනුභාවයෙන් චිත්ත චෛතසික ධර්‍මයෝ එක් අරමුණක සන්සිඳී නො විසිර අතැන මෙතැන නො ගොස් සිටිත් ද, ඒ සමාධානැ යි දත යුතු ය.
සමාධිය ප්‍රමුඛලක්‍ෂණ ද අවික්‍ෂේපලක්‍ෂණ ද අවිසාරලක්‍ෂණ ද ඇත්තේ වේ. “ පාමොක්ඛලක්ඛණො අවික්ඛෙපලක්ඛණො වා අවිසාර ලක්ඛණො වා සමාධි” යනු දන්නේ ය.
සියලු කුශලධර්‍මයෝ සමාධිය ප්‍රමුඛ කොට සිටියෝ ය. සමාධියට මිටි ව සිටියෝ ය. සමාධියට අනුව ගියෝ ය. සමාධියට නැමී සිටි යෝ ය. උඩුමාලයෙහි කූටාගාරයාගේ සියලු ගොනැස් කූටයට මිටි ව කූටයට නැමී එහි ම ගැලී සිටි බැවින් සියලු ගොනැස්වලට කූටය ම ප්‍රමුඛ වන්නා සේ ය. යුදට වන් බළ සෙනග රජු ම ප්‍රධාන කොට සිටියේ ය. මේ සමාධිහුගේ ප්‍රමුඛ ලක්‍ෂණය යි.
චිත්තචෛතසිකධර්‍ම ගෙණ ගොස් ඒ ඒ අරමුණුවල නො බහා ලීම සමාධිහුගේ අවික්ෂේපලක්‍ෂණය යි. සිතෙහි මේ ඇති කල්හි සිතත් සිතිවිලිත් අන් අරමුණු කරා නො යත්.
නහනසුණට දිය ලූ කල්හි නො විසිර පවත්නා සේ චිත්ත චෛතසික ධර්‍ම ඒ ඒ අරමුණුවල නො විසිර පැවැත් ම විසිර යා නො දීම සමාධිහුගේ අවිසාරලක්‍ෂණය යි.
සමාධිය, සහජාතධර්‍මයන් අරමුණෙහි ලා කැටි කිරීම කෘත්‍යය කොට ඇත්තේ ය. චිත්ත චෛතසික ධර්‍මයන්ගේ වැටුම බැහුම නැසීම හෝ කෘත්‍යය කොට ඇත්තේ ය. “සහජාතානං ආරම්මණෙ සම්පිණ්ඩනරසො වික්ඛෙපවිද්ධංසනරසො වා” යනු එහි ලා දන්නේ ය. සමාධිය චිත්ත චෛතසිකධර්‍ම සන්සිඳවීම පල කොට ඇත්තේ හෝ නුවණ පල කොට ඇත්තේ හෝ උඩඟුකමින් චිත්ත චෛතසික ධර්‍මයන්ගේ නො සැලෙන බව පල කොට ඇත්තේ හෝ ය. මේ ඒ කියූ සැටි. “ උපසමපට්ච්චුපට්ඨානො ඤාණපච්චු පට්ඨානො වා අවිකම්පනපච්චුපට්ඨානො වා” යි. “ සමාහිතො යථාභූතං පජානාති පස්සතීති” යි වදාළ බැවින් ඒ ඉතා පැහැදිලි ය. එකඟ වූ සිතැත්තේ නියම තතු දනී යනු එහි සිංහල ය.
සමාධිය සැපය ආසන්න කාරණය කොට සිටියේ ය. ‘ සමාධි සුඛ පදට්ඨානො’ යි කීයේ එහෙයිනි. මෙහි ලා නිරාමිෂසුඛය ම ගන්නේ ය. ‘සුඛිනො චිතං සමාධියතිතී’ වදාළ බැවින් විශේෂ විසින් සමාධියට ආසන්න කාරණය වනුයේ සැපය ම ය. සිත එකඟ කළ හැක්කේ සුඛිත පුද්ගලයාහට බැවිනි.
සමාධිය අවික්ඛේප ලක්‍ෂණයෙන් එක් වැදෑරුම්, උපචාර අප්පණා විසින්, ලෞකික - ලෝකුත්තර විසින්, සප්පීතික - නිප්පීතික විසින්, සුඛසහගත - උපේක්ඛාසහගත විසින් දෙවැදෑරුම්. හීන - මජ්ඣිම - පණීත විසින්, සවිතක්කසවිචාර - අවිතක්කවිචාරමත්ත - අවිතක්කඅවිචාර විසින්, පීතිසහගත - සුඛසහගත - උපේක්ඛාසහගත විසින්, පරිත්ත - මහග්ගත - අප්පමාණ විසින් තෙවැදෑරුම්. දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤ - දුක්ඛාපටිපදා ඛිප්පාහිඤ්ඤ - සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤ - සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤ විසින් පරිත්ත පරිත්තාරම්මණ - පරිත්ත අප්පමාණාරම්මණ - අප්පමාණ පරිත්තාරම්මණ අප්පමාණ අප්පමාණාරම්මණ විසින්, පඨමජ්ඣාන - දූතියජ්ඣාන - තතියජ්ඣාන - චතුත්‍ථජ්ඣාන විසින්, භානභාගීය - ඨිතිභාගීය - විසේසභාගීය - නිබ්බේධභාගීය විසින්, කාමාවචර - රූපාවචර - අරූපාවචර - අපරියාපන්න විසින්, ඡන්‍ද - විරිය - චිත්ත - විමංසා විසින් සිවුවැදෑරුම්. ධ්‍යාන පිළිබඳ පංචකනයයෙහි ලැබෙන ධ්‍යානපංචකයාගේ වශයෙන් පස්වැදෑරුම්.
ඒකග්ගතාචෛතසිකය, උඩඟු බවෙන් තොර වූයේ අවික්ඛෙප ලක්ඛණ සමාධි නම්. ‘චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමාධි.’
බුද්ධානුස්සති ආදී වූ කමටහන් සදෙන හා මරණානුස්සති - උපසමානුස්සති ආහාරෙ පටික්කූලසඤ්ඤා - චතුධාතුවවත්‍ථාන යන සිවුකමටහන් වැඩීම නිසා කාමරාග - ව්‍යාපාද - ථිනමිද්ධ - උද්ධච්ච කුක්කුච්ච - අවිජ්ජා යන පංචනීවරණයන්ගේ යටපත් වීමෙන් කාමාවචර චිත්තයෙහි හට ගන්නා එකඟකම අර්‍පණා සමාධියට පෙරටුව අර්‍පණා සමාධිය ලඟ හැසිරෙන බැවින් උපචාර සමාධි නම්.
ප්‍රථමධ්‍යානචිත්තවීථියෙහි ලැබෙන පරිකර්‍මචිත්තය, ප්‍රථමධ්‍යාන චිත්තයට අනන්තරප්‍රත්‍යය විසින් ප්‍රත්‍යය වන්නේ ය යි වදාළ බැවින් එහි පරිකර්‍මචිත්තයට අනතුරුව උපදනා ප්‍රථමධ්‍යානචිත්තය හා එක්ව පවත්නා එකඟකම අප්පණාසමාධි නම්. විතර්‍කාදි ධ්‍යානාඞ්ග පහළ වීමෙන් රූපාවචරභාවයට හෝ අරූපාවචරභාවයට ගිය සිතෙහි බලවත් එකඟ කම ය ඒ. සිත හා සිතිවිලිත් අරමුණට නගන්නී අප්පණාය. ඒ නම් විතර්‍කය යි. රූපාවචරසිත්වල හා අරූපාවචර සිත්වල හට ගැණෙන විතර්‍කය ඉතා බලවත් ව චිත්තචෛතසික, අරමුණට නගන බැවින් චිත්තචෛතසිකයන් අරමුණෙහි දැඩිව ඔප්පු කරණ බැවින් අප්පණා යි කියනු ලැබේ.
ප්‍රථමධ්‍යානය උපදවනු කැමැති යෝගාවචරයා චරිතානුකූල වූ කමටහනක් ගෙණ ඒ වඩනා කාලයෙහි ධ්‍යානය ලැබීමේ දි ඕහට, මනෝද්වාරයාගේ ඉදිරියට පැමිණි අරමුණක් එල්බ ගෙණ ජවන් පසකින් යුත් චිත්ත වීථීයක් පහළ වේ. අරමුණ මනෝද්වාරයට හමු වූ කල්හි භවඞ්ගචලනයත් භවඞ්ගුපච්ඡේදයත් වන්නේ ය. ඉන් පසු මනෝද්වාරාවජ්ජනය උපදින්නේ ය. ඒ මනෝද්වාරාවජ්ජනයට අනතුරුව ජවන් සිත් පහළ වේ. එහි පළමුවන ජවනය පරිකර්‍ම නම්. දෙවන ජවනය උපවාර නම්. තෙවන ජවනය අනුලෝම නම්. සතරවන ජවනය ගෝත්‍රභූ නම්. පස්වන ජවනය ධ්‍යාන නම්. මේ ජවන් පසෙහි උපචාර නමින් ගත් දෙවන ජවනයෙහි යෙදී සිටි එකඟකම (ඒකග්ගතාචෛතසිකය) උපචාර සමාධි නම් වේ. ඉතා ලඟත් ඉතා දුරත් නො වැ සමීපයෙහි හැසිරෙමින් කල් නො යවා අර්‍පණාව ගෙන දෙන බැවින් උපචාර යි කියනු ලැබේ. සතරවන ගෝත්‍රභූජවනය නිරුද්ධවත් ම පස්වැනි ව උපදනා ධ්‍යානචිත්තය හා එක් ව සිටි එකඟකම (ඒකග්ගතාචෛතසිකය) අප්පණා සමාධි නම්. ධ්‍යානය ලඟ හැසිරෙන බැවින් උපචාර කෙලෙස් යටපත් වන බැවින් අප්පණා.
කාම - රූප - අරූප භූමීන්හි සත්ත්‍වයන් විසින් උපදවනු ලබන කුශල චිත්තවීථින්හි යෙදී සිටි එකඟබව ලොකිය සමාධි නම්.
කාම - රූප - අරූප භූමීන්හි සත්ත්‍වයන් විසින් ධ්‍යානලාභී ව එම පාදක කොට හෝ සම්මර්‍ශනය කොට උපදවන ආර්‍ය්‍යයමාර්‍ගයන්හි වූ එකඟ බව ලොකුත්තර සමාධි නම්.
චතුෂ්කනය විසින් ධ්‍යානය සතරකට බෙදුනු කල්හි එහි පළමුවන දෙවන ධ්‍යානචිත්තවීථින්හි ද, පංචකනය විසින් ධ්‍යානය පසකට බෙදුනු කල්හි එහි පළමුවන දෙවන තෙවන ධ්‍යානචිත්තවීථින්හි ද යෙදෙන එකඟ බව ප්‍රීති චෛතසිකය හා යෙදුනු බැවින් සප්පීතිකසමාධි නම්.
චතුෂ්කනය විසින් ධ්‍යානය සතරකට බෙදුනු කල්හි එහි තෙවන සතර වන ධ්‍යානචිත්තවිථින්හි ද, පංචකනය විසින් බෙදුනු කල්හි එහි සතරවන පස්වන ධ්‍යානචිත්තවීථින්හි ද යෙදෙන එකඟඛව ප්‍රීතිචෛතසිකය හා නො යෙදෙන බැවින් නිප්පීතිකසමාධි නම්.
මේ මෙසේ වුව ද සප්පීතික - නිප්පීතික සමාධීන්ගේ උපචාරය නානාවජ්ජනවීථියෙහි දි සප්පීතික ද නිප්පීතික ද වන්නේ ය. එකාවජ්ජන වීථි යෙහි ජවන් සිත පිළිබඳ වේදනාචෛතසිකය නො පෙරළෙන බැවින් ප්‍රථම - ද්විතීයද්ධ්‍යානයන්ගේ උපචාර සමාධිය සප්පීතික ම වේ. තෘතිය - චතුර්‍ත්‍ථ - පංචමද්ධ්‍යානයන්ගේ උපචාර සමාධිය නිප්පීතික ම වේ. “සබ්බේ සම්පි ඣානානං නානාවජ්ජන වීථියං උපචාරසමාධි සියා සප්පීතිකො, සියා නිප්පීතිකො, එකාවජ්ජනවීථියම්පන ආදිතො දුකතිකජ්ඣානානං උපචාර සමාධි සප්පීතිකොව, ඉතරෙසං නිප්පීතිකොව, විසභාගවෙදනස්ස චිත්තස්ස ආසෙවනප්පච්චයතාභාවතො, එකවීථියං වෙදනාපරිවත්තානා භාවතො” යනු ටීකා ය.
ධ්‍යානය සතරට බෙදන කල්හි එහි ප්‍රථම - ද්විතිය - තෘතීය ධ්‍යානවීථින් හි ද, පසට බෙදන කල්හි එහි ප්‍රථම - ද්වීතීය - තෘතීය - චතුර්‍ත්‍ථධ්‍යාන වීථින්හි ද යෙදෙන එකඟබව සුබවේදනාසහගත බැවින් සුඛසහගතසමාධි නම්.
ධ්‍යානය සතරට බෙදන කල්හි චතුර්‍ත්‍ථද්ධ්‍යානචිත්තවීථියෙහි ද, පසට බෙදන කල්හි පංචමද්ධ්‍යානචිත්තවීථියෙහි ද යෙදෙන එකඟ බව උපේක්‍ෂා වේදනාසහගත බැවින් උපෙක්ඛාසහගතසමාධි නම්. එහි ම උපචාර සමාධිය යට කී ලෙසින් සුඛවේදනාසහගත ද උපේක්‍ෂා වේදනාසහගත ද වේ. ‘එත්‍ථාපි වුත්තනයෙනෙව අත්ථො වෙදිතබබො’ යි කීයේ එහෙයිනි.
පිළිලැබූ පමණින් සිටියේ හීනසමාධි නම්. පළමු කොට ලැබූ හාපුරා කියා ලැබු සමාධිය අනාසෙවිත අබහුලීකෘත බැවින් හැම අතින් දූර්‍වල ය. එබැවින් හීන යි කියනු ලැබේ. තව ද සමාධිය උපදවන්නට, වඩන්නට, මහන්සි ගන්නා තැනේ දී ඡන්‍ද - චිත්ත - විරිය - වීමංසා යන මොවුහු ලාමක ව පැවැත්තෝ ද, එයින් ද සමාධි හීන වේ. එසේ ම මහත් පින් පල කැමැති ව පැවැත්තෝ ද හීන වේ. භව සම්පත්තිය පිණිස පැවැත්මෙන් හා ව්‍රතාද්ධ්‍යාසයාගේ වශයෙන් හෝ පැවැත්මෙන් ද හීන වේ.
වැඩියක් නො වැඩුනු වැඩි කලක් නො වැඩු, නො සෙවුනු සමාධිය, වැඩියක් ප්‍රගුණභාවයට නො පැමිණි බැවින් මජ්ඣිමසමාධි නම්. හීනප්පණීතසමාධීන්ගේ මැද සිටි බැවින් මජ්ඣිම යි කියනු ලැබේ. සමාධිය පිණිස වෑයම් කරණ වේලෙහි ඡන්‍ද - චිත්ත - විරිය - වීමංසා යන මොවුහු මධ්‍යම වූවාහු නම් සමාධිය ද, මජ්ඣිම වේ. ලෞකික අභිඥාවන් සපයනු පිණිස පැවැත්මෙන්, හුදෙක් අලෝභාද්ධ්‍යාසයාගේ වශයෙන් පැවැත්මෙන්, විවේකාද්ධ්‍යාසයාගේ වශයෙන් පැවැත්මෙන් මජ්ඣිම වේ.
මනා කොට පුහුණු කළ වසඟබවට පැමුණුනු සමාධිය පණීත සමාධි නම්. සමාධිය පිණිස වෑයම් කරණ වේලෙහි ඡන්‍ද - චිත්ත - විරිය වීමංසා යන මොවුහු ප්‍රණීත වූවාහු නම්, සමාධිය ප්‍රණීත වේ. විවේකය කැමැත්තෙන් ආර්‍ය්‍යභාවයෙහි සිටියහු විසින් වඩන ලද්දේ ද, පරහිතය පිණිස වඩන ලද්දේ ද, නිර්‍වාණාද්ධ්‍යාසයාගේ වශයෙන් පැවැත්තේ ද ප්‍රණීත වේ.
උපචාරසමාධිය හා ප්‍රථමද්ධ්‍යානසමාධිය විතර්‍ක - විචාරයන් හා යෙදී සිටුනා බැවින් සවිතක්කසවිචාරසමාධි නම්. ධ්‍යානය පසට බෙදීමෙහි දී ලැබෙන ද්විතීයද්ධ්‍යානසමාධිය විතර්‍කය නැත්තේ විචාරය ඇත්තේ අවිතක්කවිචාරමත්තසමාධි නම්. යම් යෝගාවචරයක් විතර්‍කයෙහි. පමණක් ම දොස් දැක විචාරයෙහි දොස් නො දන්නේ, හුදෙක් විතර්‍කප්‍රහාණය පමණක් කැමැත්තේ ප්‍රථමද්ධ්‍යානය ඉක්මවා යේ ද, ඔහු ලත් ඒ සමාධිය අවිතක්කවිචාරමත්තසමාධි නම් වේ.
ධ්‍යානය සතරට බෙදා ගත් කල්හි එය ද්විතීය - තෘතීය - චතුර්‍ත්‍ථධ්‍යානයන් හි ද පසට බෙදා ගත් කල්හි එහි තෘතීය - චතුර්‍ත්‍ථ - පංචමද්ධ්‍යානයන්හි ද යෙදුනු එකඟබව විතක්කවිචාරරහිත බැවින් අවිතක්කඅවිචාරසමාධි නම්.
චතුෂ්කනයෙහිලා - ප්‍රථම - ද්විතීයද්ධ්‍යාන දෙක්හි ද පංචකනයෙහි ලා ප්‍රථම - ද්වීතීය තෘතීයද්ධ්‍යාන තුණෙහි ද යෙදුනු එකඟ බව පීතිසහගතසමාධි නම්.
චතුෂ්ක - පංචකනයෙහි ලා තෘතීය - චතුර්‍ත්‍ථධ්‍යාන දෙක්හි යෙදුනු එකඟ බව සුඛවේදනාව හා යෙදුනු බැවින් සුඛසහගතසමාධි නම්.
චතුෂ්ක - පංචකනය දෙක්හි කෙළවර ලැබෙන සතරවන පස්වන ධ්‍යානයන් හා යෙදුනු එකඟබව උපේක්‍ෂවේදනාවෙන් යෙදුනු බැවින් උපේක්ෂාසහගතසමාධි නම්. මේ දෙතැන්හි ම උපචාර සමාධිය ප්‍රීති - සුඛ දෙකින් ම හෝ යුක්ත වේ. උපේක්‍ෂාසහගත හෝ වේ.
උපචාරද්ධ්‍යානයෙන් යුත් සිතෙහි ලැබෙන එකඟබව කාමාවචර බැවින් පරිත්තසමාධි නම්. ප්‍රතිපක්‍ෂධර්‍මයන්ගෙන් කැඩුනු බැවින් ද අනුභාවය මද බැවින් ද පරික්ත යි කියනු ලැබේ.
රූපාවචර - අරූපාවචර කුශලචිත්තයන් හා එක් වූ එකග්ගතාව කෙලෙස් යට පත් කරණ බැවින්, මහත් ඵල බැවින් දීර්‍ඝසන්තාන බැවින් මහත් වූ හෝ උදාර වූ ඡන්දාදීන් කරණ කොට පිළිපන් බැවින් මහග්ගතසමාධි නම්.
ආර්‍ය්‍යමාර්‍ගචිත්තවීථින්හි යෙදෙන එකග්ගතාව අරමුණු කිරීම් වශයෙනුදු ප්‍රමාණකරධර්‍මයක් මෙයට නැති බැවිනුදු අප්පමාණසමාධි නම්.
ධ්‍යාන වඩන්නහු විසින් පඨකවීසිණාදී වූ අරමුණක් ගෙණ කරන්නා වූ පළමුවන ධ්‍යානභාවනාවෙහි පටන් ඒ ඒ ධ්‍යානය පිළිබඳ උපචාරචිත්තය දක්වා පැවැති සමාධි භාවනාව පටිපදා නම් වේ. උපචාරය පටන් අර්‍පණාව දක්වා පැවැති ප්‍රඥාව අභිඤ්ඤා නම් වේ. නීවරණාදි විරෝධධර්‍මයන්ගේ පැවැත්ම බහුල බැවින් ඒ මේ ප්‍රතිපදාව ඇතැම් යෝගාවරයන්ට දුක්වන්නී ය. සේවනය පහසු නො වේ. අභිඥාව ද එකකුට ලැසි ය. මද ය. වහා නො පවතී. යමෙක් නො සැප වූ ආවාසාදිය සේවනය කෙරේ ද, ඔහුට ප්‍රතිපදාව දුක් වන්නී ය. අභිඥාව ලැසිව පවති. වහා නො පවති. තව ද කුදු මහත් පළිබෝධයන් සිඳ හැරීම් ආදී වූ පූර්‍වකෘත්‍යයන් නො සපයා භාවනාවෙහි යෙදුනහුට ප්‍රතිපදාව දුක් වන්නී ය. දශවිධ අර්‍පණ කෞශල්‍යයන් හා සපයන්නාහට අභිඥාව වහා නො වන්නී ය. තවද තෘෂ්ණාවෙන් මැඩුනහුට ප්‍රතිපදාව දුක් වන්නී ය. අවිද්‍යාවෙන් මැඩුනහුට අභිඥාව වහා සිදු නො වන්නී ය. යමෙක් පෙර බවයෙක සමථ භාවනා නො කෙළේ ද, ඔහුට ප්‍රතිපදාව දුක් වන්නී ය. යමෙක් විදර්‍ශනා භාවනා නො කෙළේ ද ඔහුට අභිඥාව වහා සිදු නො වන්නේ ය. දැඩි වූ කාමච්ඡන්දාදී වූ කෙලෙස් ඇති මෘදු වූ ශ්‍රද්ධාදිඉන්‍ද්‍රියයන් ඇත්තහුට ප්‍රතිපදාව දුක ය. අභිඥාව වහා නො වන්නී ය. ඒ හෙයින් යමෙක් දූඃඛප්‍රතිපත්තියෙන් ද, ලස් වූ අභිඥාවෙන් ද සමාධියට පැමිණෙන්නේ ද, ඔහුගේ ඒ සමාධිය දුක්ඛාපටිපදාදන්‍ධාභිඤ්ඤා නම්.
ප්‍රතිපදාව දුක් වන සැටි පෙර කීයේ ය. සැප වූ ආවාසාදිය සේවනය කිරීමෙන් ද අභිඥාව තියුණු වන්නී ය. දශවිධඅර්‍පණා කෞශල්‍යයන් සම්පාදනය කරන්නහුට ද අභිඥාව විශද වන්නී ය. අවිද්‍යාවත් නො මැඩුනහුගේ ද අභිඥාව ප්‍රකට වන්නී ය. යමෙක් පෙර බවයෙක විදර්‍ශනා භාවනා කෙළේ නම්, ඔහුට අභිඥාව තියුණු වන්නීය. තියුණු වූ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් ඇත්තහුගේ ද අභිඥාව ආලෝකවත් ය. එහෙයින් යමෙක් දුඃඛප්‍රතිපත්තියෙන් ද වහා සැපයෙන අභිඥාවෙන් ද සමාධියට පැමිණෙන්නේ ද, ඒ සමාධිය දුක්ඛාපටිපදාඛිප්පාහිඤ්ඤ නම්.
නීවරණාදි විරුද්ධධර්‍මයන්ගේ නො වීමෙන් ප්‍රතිපදාව සැපවන්නී ය. සේවනය පහසු වේ. සැප වූ ආවාසාදිය සේවනයෙන් ද ප්‍රතිපදාව පහසු වන්නී ය. සැප වන්නී ය. කුඩා පළිබෝධ සිඳ දැමීම ආදී වු පූර්‍වකෘත්‍යය සපයන්නාහට ද ප්‍රතිපදාව සැප වන්නී ය. තෘෂ්ණාවෙන් නො මැඩුනහුටත් ප්‍රතිපදාව සැප වන්නීය. යමෙක් පෙර බවයෙක සමථභාවනා කෙළේ නම්, ඔහුට ද ප්‍රතිපදාව සැප වේ. මද වූ කෙලෙස් ඇති මොළොක් වූ ශ්‍රද්ධා ඉන්‍ද්‍රියයන් ඇත්තහුට ද ප්‍රතිපදාව සැප වන්නී ය. මෙසේ සුබ ප්‍රතිපත්තියෙන් ද ලස් වූ අභිඥාවෙන් ද යමෙක් සමාධියට පැමිණෙන්නේ ද, ඔහුගේ ඒ සමාධිය සුඛාපටිපදාදන්‍ධාභිඤ්ඤා නම්.
සුඛප්‍රතිපත්තියෙන් ද වහා ලැබෙන අභිඥාවන්ගෙන් ද යුත් සමාධිය සුඛාපටිපදාඛිප්පාභිඤ්ඤා නම්.
යම් සමාධියක් වශීභාවයට නො පමුණු වන ලද්දේ, මතු ධ්‍යානයන්ට උපකාර වන්නට නො පොහොසත් වේ ද, අල්පානුභාව ඇති බැවින් ඒ සමාධිය පරිත්තපරිත්තාරම්මණ නම්.
යම් සමාධියක් එකඟුලක් දෙයඟුලක් පමණ ද නො වැඩුනු කිසුණු අරමුණෙහි පැවැත්තේ ද, ඒ සමාධිය පරිත්තඅප්පමාණාරම්මණ නම්.
යම් සමාධියක් ප්‍රගුණ ද, මනා කොට වඩනා ලද්දේ ද, මතු ධ්‍යානයනට උපකාර වීමෙහි සමර්‍ත්‍ථ වේ ද, ඒ සමාධිය අප්පමාණපරිත්තාරම්මණ නම්.
යම් සමාධියක් එකඟුලක් දෙයඟුලක් පමණක් වැඩුනු කිසුණු අරමුණෙහි පැවැත්තේ ද, ඒ සමාධිය අප්පාමාණප්පණාරම්ණ නම්.
මෙහි පළමුවන සිවුවන සමාධීන්ට කියන ලද ලක්‍ෂණ මිශ්‍ර වීමෙන් දෙවන තෙවන සමාධීන්ගේ ව්‍යමිශ්‍රකනය දන්නේ ය.
යටපත් කළ කාමච්ඡන්දාදීන් ඇති විතක්ක - විචාර - පීතී - සුඛ - සමාධි යන මොවුන්ගේ වශයෙන් අඞ්ග පසකින් යුත් ප්‍රථම ධ්‍යානය පඨමජ්ඣානසමාධි නම්.
සන්සිඳී ගිය විතක්ක - විචාර ඇති අඞ්ග තුණකින් යුත් ද්විතීය ධ්‍යානය දුතියජ්ඣානසමාධි නම්.
ප්‍රීතිය ඉක්මවා සිටි හෙවත් ප්‍රීතියෙන් ද තොර වූ පිළිකුල් කළ ප්‍රීතිය ඇති අඞ්ග දෙකකින් යුත් තෘතීයධ්‍යානය තතියජ්ඣානසමාධි නම්.
ප්‍රහීණ වූ සුඛවේදනා ඇති උපේක්‍ෂාවේදනාසමාධිහුගේ වශයෙන් දෙයඟක් ඇති චතුර්‍ත්‍ථධ්‍යානය චතුර්‍ත්‍ථජ්ඣානසමාධි නම්.
ප්‍රථමද්ධ්‍යානලාභීයෝගාවචරයා හට කාමාස්වාද හේතුවෙන් වස්තුකාම ක්ලේශකාමාලම්බන ඇති සංඥාමනස්කාරයෝ, ජවනාවර්‍ජනයෝ වෙත් නම් ඔහුගේ ධ්‍යානප්‍රඥාව හානභාගිනී නම් වූවා. ඒ මේ හානභාගිනී ප්‍රඥාව හා යෙදුනු සමාධිය හානභාගිය නම්. ඒ ඒ ධ්‍යානයට විරුද්ධ වූ නීවරණ විතක්ක-විචාරාදීන්ගේ පැවැත්මේ හේතුවෙන් මොහුගේ හානභාගීය භාවය වන්නේ ය. පිරිහීම සෙවුනේ හෝ පිරිහීම මොහුට ඇත්තේ හෝ හානභාගීය නම්. කිලෙස සමුදාචාර - අසප්පායකිරියා අනනුයෝග යන කරුණු තුණ නිසා පිරිහෙන්නේ ය. එහිදු කම්මාරාමතා - භස්සාරාමතා නිද්දාරාමතා - සඞ්ගණිකාරාමතා යන මෙහි එක්වන් යෙදීමෙන් ක්ලේශසමුදාචාරය හේතුකොට වහා පිරිහෙයි. අසත්ප්‍රායක්‍රියාවෙන් පිරිහෙන්නේ ලැසි ව පිරිහෙයි. ගිලන්බව - සිවුපසයෙහි විකලබව යනාදී වූ පළිබෝධයන් හේතු කොට නිතර ධ්‍යානයට නො පැමිණෙන්නේ ය. නිතර නො යෙදී මෙන් පිරිහෙන්නේ ද, ලැසි ව පිරිහෙයි. මෙහිලා කියන ලද්දේ පිරිහීමේ බලවත් කාරණ ය යි. ක්ලේශසමුදාචාරයය ඒ. ක්ලේශසමුදාචාරය ප්‍රථම ධ්‍යානයාගේ පිරිහීමේ බලවත් කාරණය වේ. අනික් ද්විතීය ධ්‍යානාදියෙන් පිරිමහන්නේ යට යට ධ්‍යානයන් පැතීමෙනි.
ප්‍රථමද්ධ්‍යානලාභියෝගාවචර තෙමේ ඒ ධ්‍යානයට සුදුසු වූ සිහිය පිහිටුවාලයි නම්, ඒ ධ්‍යානප්‍රඥාව ස්ථිතිහාගිනීප්‍රඥා නම් වා. ඒ මේ ස්ථිතිහාහිනීප්‍රඥාව හා යෙදුනු සමාධිය ඨිතිභාගීය නම්. මොහුගේ ස්ථිතිභාගිය භාවය එයට සුදුසු වූ සිහිය පිහිටීමෙන් වන්නේ ය. බලපොරොත්තුව නො හැරීමෙන් පැවැත්ම සෙවුනේ නු යි ඨිතිහාගීය නම්.
විතර්‍කරහිත වූ ද්විතීයද්ධ්‍යානය කෙසේ උපදවන්නෙම් දෝ යි අවිතක්කාරම්මණ වූ සංඥාමනස්කාරයෝ, ජවනාවර්‍ජනයෝ වෙත් නම්, ඒ ධ්‍යානප්‍රඥාව මතු ධ්‍යාන ලැබීමට ආසන්නකාරණ වන බැවින් විශේෂ භාගිනීප්‍රඥා නම් වා. ඒ මේ විශේෂභාගිනීප්‍රඥාව හා යෙදුනු සමාධිය විසේසභාගීය නම්. මෙහි විශේෂභාගීයභාවය වන්නේ ධ්‍යානයන් මත්තෙහි මගපල ලැබීම් වශයෙනි.
ප්‍රථමධ්‍යානලාභියෝගාවචරයාගේ සත්‍ය ප්‍රතිවේධය සහගියා වූ සංඥාමනස්කාරයෝ බලවත් විදර්‍ශනාව හා යුක්ත වූවාහු නම්, ඒ ධ්‍යානප්‍රඥාව. නිර්‍වෙධභාගිනිප්‍රඥා නම් වා. ඒ මේ නිර්‍වෙධභාගිනීප්‍රඥාව හා යෙදුනු සමාධිය නිබ්බෙධභාගීය නම්. මෙහි නිබ්බේධභාගිය භාවය වන්නේ විදර්‍ශනාලම්බන වූ සංඥාමනස්කාරයන්ගේ සමුදාචාර වශයෙනි.
ධ්‍යානචිත්තවීථියෙහි උපචාර නමින් ලකුණු වන ධ්‍යානචිත්තය හා යෙදී සිටි එකඟබව කාමාවචරසමාධි නම්.
රූපාවචරධ්‍යානචිත්තය හා යෙදී සිටි එකඟබව රූපාවාචරසමාධි නම්. අරූපාවචරධ්‍යානයෙහි වූ එකඟබව අරූපාවචරසමාධි නම්.
ලෝකෝත්තරධ්‍යානචිත්තයෙහි යෙදුන එකඟබව අපරියාපන්නසමාධි නම්. මේ සමාධිය ලෝකයට ඇතුළත් නො වන බැවින් මෙ නමින් හඳුන්වනු ලැබේ. කාමාවචර - රූපාවචර - අරූපාවචර සමාධි, ත්‍රෛභූමකව්‍රත්තයෙහි ඇතුළත් වන බැවින් පරියාපන්න නමින් හඳුන්වත්.
කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය අධිපති කොට ලැබූ එකඟබව ඡන්‍දසමාධි නම්.
වීර්‍ය්‍යය අධිපති කොට ලැබූ එකඟබව විරියසමාධි නම්. යම් මහණෙක් වීර්‍ය්‍යය අධිපති කොට, ධුර කොට, දෙටු කොට යම් සමාධියක් සිතෙහි එකගබවක් ලබා ද ඒ ය විරියසමාධි.
සිත අධිපති කොට ලැබූ එකඟබව චිත්තසමාධි නම්. මහණ තෙමේ සිත අධිපති කොට, පෙරටු කොට, දෙටු කොට යම් සමාධියක්, සිතෙහි එකඟබවක් ලබා ද ඒ ය චිත්ත සමාධි.
ප්‍රඥාව අධිපති කොට ලැබූ එකඟ බව වීමංසාසමාධි නම්. යම් සමාධියක්, සිතෙහි එකඟබවක් ප්‍රඥාව අධිපති කොට, පෙරටු කොට, දෙටු කොට ලබා ද ඒ ය වීමංසාසමාධි.
ධ්‍යානය පසක් කොට බෙදීමෙහි දි චතුක්කනය විසින් දැක් වූ ප්‍රභේදයහි යම් ද්වීතියධ්‍යානයක් වී ද, ඒ ධ්‍යානය විතර්‍කමාත්‍රයක් ඉක්මවීමෙන් තෘතීයධ්‍යාන නම් වේ. විතක්කවිචාර දෙදෙනා ගේ ඉක්මීමෙන් තෘතීයධ්‍යාන නම් වේ. මෙසේ එය දෙකක් කොට වෙන් කිරීමෙන් ධ්‍යානය පහට බෙදා ගත යුතු ය. මෙසේ බෙදුනු ඒ ධ්‍යාන පසට අඞ්ග වූ විතර්‍කාදී වූ පස සමාධි පසෙක් වේ. පංචජ්ඣානඞ්ග වශයෙන් සමාධියගේ පංචවිධ භාවය දන්නේ ය. මෙහි ලා විතර කැමැත්තහුට පටිසම්භිදාමග්ගපාළිය බැලිය හැකි ය.
සමාධිසංකිලෙසය = කුසල් සිතෙහි එකඟබව කෙලෙසීම සමාධිසංකිලේස නම්. වැඩියක් පුරුදු නො කළා වූත් නො වැඩුත් ප්‍රථම ධ්‍යානාදියෙන් නැගි සිටී කම්සැප විෂය කොට ඇති සංඥාමනස්කාරයගේ, ජවනාවර්‍ජනයන්ගේ පැවැත්මය ඒ. ඒ හේතුවෙන් ධ්‍යානය පිරිහේ. ධ්‍යානය කිලිටි වේ.
සමාධිවොදානය = කුසල් සිතෙහි වූ එකඟබවෙහි පිරිසිදුවීම සමාධිවෝදාන නම්. ප්‍රථමධ්‍යානාදියෙන් නැගී සිට ද්විතීයද්ධ්‍යානාදීන් කෙසේ උපදවන්නෙම් දැ යි යන යෝගාවචරයා පිළිබඳ සංඥාදෝමනස්කාරයන්ගේ, ජවනාවර්‍ජනයන්ගේ පැවැත්ම ය ඒ. ඉදිරියෙහි විශේෂාධිගමයට හේතු වූ ධර්‍ම යි. කෙලෙසීම නම් හානභාගීයධර්‍ම යි. පිරිසිදුවීම නම් විශේෂ හානභාගියධම්ම යි.
සමාධිභාවනාව = ලොකිය - ලොකුත්තර විසින් බෙදුනු සමාධියෙහි වැඩීම, සමාධිභාවනා නම්. එහි සුපරිශුද්ධශීලයෙහි පිහිටියහු විසින් පළිබෝධයන් සිඳ කමටහන් දෙන කළණමිතුරු ඇදුරකු වෙත ගොස් සම සතළිස් කමටහන් අතුරෙහි තම සිරිතට සුදුසු වූ එක්තරා කමටහනක් ගෙණ සමාධිය වැඩීමට නො සුදුසු වූ තැන් හැර පසඟින් යුත් වෙහෙරෙක වසමින් දික් වූ හිසක් ඈ කුඩා පළිබෝධයන් ද සිඳ දමා භාවනාක්‍රමය නො පිරිහෙලා වැඩිය යුතු ය. මේ මෙහි ඉතා කෙටි කතා ය. විතරකතා විශුද්ධිමාර්‍ගයන් උගත හැකි ය.
ආර්‍ය්‍යමාර්‍ගසම්ප්‍රයුක්ත වූ සමාධිය ලෝකුත්තර නම්. ඒ වඩනා සැටි ප්‍රඥාවනාවෙහි ඇතුළත් කරණ ලද්දේ ප්‍රඥාව වැඩු කල්හි වඩනා ලද්දේ ම වේ. එහෙයින් ඒ ආර්‍ය්‍යමාර්‍ගසමාධිය මෙසේ වැඩිය යුතු ය යි වෙන් කොට දැක්මෙක් මෙහි නො වන්නේ ය.
සමාධිආනිසංසය = ක්‍රමානුකූල ව වැඩුනු සමාධියෙහි අනුසස් පසෙක් වේ. රහත් කෙනෙක් යම් සමාපත්තියට සමවැද එකඟ වූ සිතින් “සැපසේ දවස් යවම්හ” යි යම් සමාධියක් වඩත් ද, රහතුන් වහන්සේගේ ඒ අර්‍පණා සමාධිය මෙලොව සැප විහරණය අනුසස් කොට සිටියේ ය. බුදුරජානන් වහන්සේ ද එය මෙසේ වදාළ සේක. “ න ඛො පනෙතෙ, චුන්ද, අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති දිට්ඨධම්මසුඛවිහාරා පනෙතෙ අරියස්ස විනයෙ වුච්චන්ති” යි. චුන්ද! මේ බාහිර භාවනාවෙන් උපදවන ලද ධ්‍යානධර්‍මයෝ සිත එකඟකිරීම් මාත්‍රයක් කරන්නාහු මුත් ආර්‍ය්‍යයධර්‍මය ලෙස, ආර්‍ය්‍යය ශාසනයෙහි කෙලෙස් නසන්නන් ලෙස නො පිළිගැණෙති, යනු එහි කෙටි අදහස ය. මේ ශාසනයෙහි අවිහිංසාදීහු ද ලෝකෝත්තර ධර්‍මයන්ට වන බැවින් කෙලෙස් නසන ප්‍රතිපදා යි කියනු ලැබෙත්. එහෙත් මෙහි සිතෙහි එකඟබව පමණක් කරණ ධ්‍යානධර්‍ම, සල්ලේඛප්‍රතිපදා යි නො කියැ වේ.
සමාපත්තියෙන් නැගී සිට “සන්හුන් සිතින් විදර්‍ශනා කරම්හ” යි සිත මෙහෙයන්නවුන්ගේ ධ්‍යානය විදර්‍ශනාවට ආසන්නකාරණ බැවින් අර්‍පණා සමාධියත්, තෘෂ්ණාසංක්ලේශාදීයෙන් කිලිටි වූ බැවින් ඉතා ගැහැට ඇති සසරෙහි අර්‍ත්‍ථප්‍රතිලාභයට යෝග්‍ය වූ එයට රුකුල් දෙන්නා වූ උපචාර සමාධියත් විදසුන් වැඩීම අනුසස් කොට සිටියේ ය. එහෙයින් වදාළ සේක. මෙය “සමාධිං භික්ඛවෙ! භාවෙථ, සමාහිතො භික්ඛවෙ! භික්ඛු යථාභූතං පජානාති” යි.
යම් කෙනෙක් අට සමවත් උපදවා අභිඥාපාදකද්ධ්‍යානයට සම වැද, සමවතින් නැගිට “එකොපි හුත්‍වා බහුධා හොති” යන ඈ ලෙසින් කියූ ක්‍රම ඇති අභිඥාවන් පතමින් අට සමවත් උපදවද්ද, ඔවුන්ට අභිඥාලාභයට සුදුසු වූ පූර්‍වහේතුව ඇති කල්හි ඒ සමවත්, අභිඥාවට ආසන්න කාරණ බැවින් අර්‍පණාසමාධිය පංචභිඥා අනුසස් කොට සිටියේ ය. “සො යස්ස යස්ස අහිඤ්ඤා සච්ඡිකරණි යස්සධම්මස්ස චිත්තං අහිනින්නාමෙති අභිඤ්ඤං සච්ඡිකිරියාය. තත්‍ර තත්‍රෙව සක්ඛිභබ්බතං පාපුණාති සතිසති ආයතනෙ” එහි ලා වදාළ සේක.
යම් කෙනෙක් නො පිරිහුනු ධ්‍යාන ඇත්තෝ බ්‍රහ්මලෝකයෙකි උපදිම්හ යි බ්‍රහ්මලෝකයෙහි ඉපැත්ම පතමින් හෝ නො පතමින් ධ්‍යාන භාවනා කෙරෙත් ද, ඔවුන්ට බ්‍රමලෝකයෙහි ඉපැදීම එළවන බැවින් ඒ මේ අර්‍පණාසමාධිය භවවිශේෂය එළවීම අනුසස් කොට සිටියේ ය. “පඨමං ඣානං පරිත්තං භාවෙත්‍වා කත්‍ථ උප්පජ්ජති? බ්‍රහ්මපාරිසජ්ජා නං දෙවානං සහව්‍යතං උප්පජ්ජන්ති” යනු වදාළෝ එහෙයිනි. උපචාර සමාධිය ද කාමාවචර සුගතිභවවිශේෂය එළවන්නේ ය.
යම් කිසි ආර්‍ය්‍යය කෙනෙක් අෂ්ටසමාපත්ති උපදවා නිරෝධසමාපත්තියට සමවැද සත් දවසක් සිතින් තොර ව හිද මෙලොවෙහි දී ම චිත්ත නිරෝධසඞ්ඛ්‍යාතනිර්‍වාණයට පැමිණ සැපසේ වාසය කරම්හ යි සමාධි භාවනා කරත් ද, ඔවුන්ගේ අර්‍පණා සමාධිය නිරෝධසමාපත්තිය අනුසස් කොට සිටියේ ය. “ සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසී භාවතො පඤ්ඤානිරොධසමාපත්තියා ඤාණං” යනු දේශනා ය.
එදවස ආලාරකාලාම තවුස්හට පුක්කුස නම් මල්‍යරාජපුත්‍ර තෙමේ ශ්‍රාවක වීය. ඔහු දිනක් කුසිනාරා නුවරින් පාවා නුවරට යනු පිණිස මගට බැස්සේ ය. ඒ වේලෙහි බුදුරජානන් වහන්සේ ඒ මඟ අසල ගසක්මුල වැඩහුන් සේක. පුක්කුස තෙමේ උන්වහන්සේ දැක වෙත ගොස් වැඳ “ස්වාමීනි! පැවිද්දන්ගේ ශාන්තවිහරණය මහත් පුදුම එකෙක, අරුම එකෙක, ස්වාමීනි! දවසක් දාවල ආලාරකාලාම තෙමේ මග බැස යන්නේ මගින් ටිකක් ඈත් ව ගසක් මුල හිද ගත්තේ ය, ඒ වේලෙහි ගැල් බොහෝ ගණනක් ඒ ලඟින් ඔහු පසු කොට ගියේ ය, ගැල් පස්සෙහි ආ එක් මිනිසෙක් ආලාරකාලාමයා දැක ලඟට ගොස් “ස්වාමීනි! දැන් මෙතැනින් ගිය ගැල් ඔබවහන්සේ දුටු වහු දැ?” යි ඇසී ය, ආලාර, නො දිටිමි, යි කී ය, “ගැල් හඬ ඇසුනේ දැ?” යි ඇසූවිට එයට ද ඔහු “නැතැ” යි කී ය, ඔහු එවිට “නිදි ගත්තහු දැ?” යි ඇසි ය, එයට ද “නැතැ” යි කී ය, “ස්වාමිනි! සිහි කල්පනා ඇති ව සිටියහු දැ?” යි ඇසී ය. “ඔව්, සිහිකල්පනා ඇති ව සිටියෙමි” යි ආලාර කී ය. එවිට ඒ මගියා “ස්වාමිනි! මහපුදුමයක මහ අරුමයෙක, නො නිදාත් සිහි කල්පනා ඇති වත් විසූ ඔබවහන්සේ මෙ තැනින් ගිය ගැල් නො දැක්කහු ය, ගැල් යන හඬත් නො ඇසූ වහු ය. එහෙත් ඔබවහන්සේ ගේ සිවුර දුවිල්ලෙන් ගැවසී ගෙණ තිබේ ය” යි කීයේ ය, “ඔව්, උපාසක! ඒ එසේ ය, සිවුරෙහි සැමතැන දුවිලි” යි ආලාර කී විට මගියාහට “මහපුදුමයෙක, මහඅරුමයෙක, පැවිද්දන්ගේ මේ ශාන්ත විහරණය, නො නිදා සිහි කල්පනා ඇති ව සිටිය ද ම තැනින් ගිය ඒ ගැල් නො දක්නා ලද්දේ ය, ගැල් යන හඬ වත් නො අසනා ලද්දේ ය” යි අදහසෙක් උපන. ආලාරයා කෙරෙහි පහන් වූ ඔහු, ඔහුට පවසා එතැනින් නික්ම ගියේ ය” යි කීයේ ය.
එකල්හි බුදුරජානන් වහන්සේ “පුක්කුස! පිළිතුරු කියව, එකෙක් නො නිදා සිහි ඇති ව ම සිට ලඟ යන ගැල් නො දන්නේ ය, ගැල් යන හඬ නො අසන්නේ ය, එකක් නො නිදා සිහි ඇති ව ම සිට මහත් සේ විදුලි ගසමින් ගොරව ගොරවා වස්නා කල්හි පවත්නා හෙණහඩ, මෙඝගර්‍ජනා නො දකින්නේ ය, නො අසන්නේ ය, පුක්කුස! ඒ කිමැ යි සිතන්නෙහි ද? ඒ දෙකින් කවර එකෙක් දුෂ්කර වන්නේ ද? වනු අපහසු දැ?” යි වදාළ සේක. “ස්වාමීනි! යමෙක් නො නිදා සිහිකල්පනා ඇති ව ම සිට විදුලි කොටන ගොරවන හඬ නො අසා නම් එය ම අපහසු ය” යි පුක්කුස කී විට බුදුරජානන් වහන්සේ “පුක්කුස! පසු ගියදා මා ආතුමා නුවර කමතක ඉදි කළ පැල්පතෙක වසද්දී, දවසක් විදුලි කොටමින් ගොරව ගොරවා මහත් සේ වසින්නට වන, එදා ඒ අසල කුඹුරෙක සී සාමින් සිටි සොහොයුරු ගොවියෝ දෙදෙනෙක් හා ගොන්නු සතරදෙනෙක් හෙණ වැදී මිය ගියහ, ඒ වේලෙහි ආතුමාවෙහි සිටි තාක් මිනිස්සු එතැනට රැස් වුහ, මම ද පැල්පතෙන් දොරට බැස මිදුලෙහි එහා මෙහා ඇවිදිමින් සිටියෙමි,
එකල්හි මිනිහෙක් මා වෙත පැමිණ වැඳ පසෙක සිටියේ ය, මම ඔහුගෙන් “මෙතෙක් දෙනා පැමිණියෝ කුමකට දැ?” යි ඇසීමි, “ස්වාමීනි! දැන් පිපිරූ හෙණය වැදී ගොවියෝ දෙදෙනෙක්, ගොන්නු සතර දෙනෙක් අතැන මැරී වැටී සිටිත්, මහාජනයා රැස්ව සිටිනු ඒ බලනු සඳහා ය” යි කියා නැවතත් ඒ මිනිසා “ස්වාමීනි! ඔබවහන්සේ ඒ වේලෙහි කො තැනක වැඩ සිටියහු දැ?” යි ඇසී ය. මා ඔහුට “මම මෙහි හුන්නෙමි. කො තැනකත් නො ගියෙමි” යි කී විට “ඇයි, ස්වාමීනි! හෙණ හඩ නො ඇසූ වහු ද? ගොරව ගොරවා වසිනු නො දුටු වහු දැ?” යි ඔහු පුදුමයෙන් ඇසූහ. එවිට “මට වැස්සක් ගැන හෙණ අඬක් ගැන දැනුමක් නො වී ය” යි මම කීමි. “ස්වාමීනි! එසේ නම් බුදුරජානන් වහන්සේ නිදිගත් සේක් දැ?” යි ඇසී ය. මම “නැතැ” යි කීමි. “එසේ නම් සිහිකල්පනා නැති ව සිටියෝ දැ?” යි ඇසී ය. මම එයට ද “නැතැ” යි කීමි. “ස්වාමීනි! බුදුරජානන් වහන්සේට නො නිදා සිහි කල්පනා ඇති ව සිටත් මේ මහවැස්ස නො පෙණුනේ ය. හෙණ පිපුරුම් නො ඇසුනේ ය. ඒ පුදුමැ” යි ඔහු කී විට “ඔව්, උපාසක!’ ඒ එසේ ය. මා වසිනු නො දැක්කේ ය. හෙණ ගසනු මට නො ඇසුනේ ය” යි මම කීමි. එකල්හි ඒ මිනිසාට “පැවිද්දෝ මෙසේ මහත් ශාන්ත විහරණයෙන් කල් යවති. එය මහත් පුදුමැ” යි සිත් විය. ඔහු මා කෙරෙහි පැහැද වැඳ පැදකුණු කොට පිටත් ව ගියේ ය” යි වදාළ සේක. මෙසේ සමාධිය දිට්ඨධම්මසුඛවිහාරාදී වූ අනුසස් පසක් ඇත්තේ වේ.
කරුණු මෙසේ බැවින් නුවණැති යෝගාවචර තෙමේ නොයෙක් අනුසස් ඇති රාගාදී වූ කෙලෙස්මල සෝදා හරින්නා වූ සමාධිභාවනා වෙහි නො පමා වන්නේ ය. ඒ මෙසේ කීහ.
“තස්මා නෙකානිසංසම්හි කිලෙසමලධොවනෙ,
සමාධිභාවනායොගෙ නප්පමජ්ජ්‍යෙ පණ්ඩිතො”
ගාථාවෙහි ආ ‘සමාධිනා’ යන්නෙන් අෂ්ටසමාපත්තිය ගැණේ.
ධම්මවිනිච්ඡයෙන ච = ධර්‍මවිනිශ්චයෙන් ද විදර්‍ශනා ප්‍රඥාවෙන් ද.
විදර්‍ශනා ප්‍රඥාව ධර්‍මවිනිශ්චය නම්. “මේ කටයුතු ය. මේ නොකට යුතු ය, මේ සදොස් ය. යුතුකම් මේ ය, මේ යුතුකම නො වේ” යන ඈ ලෙසින් කරුණු නො කරුණු දැනීම ලකුණු කොට ඇති බැවින් විදර්‍ශනා ප්‍රඥාව ධම්මවිනිච්ඡය නාමයෙන් හැඳින් වේ.
සම්පන්නවිජ්ජාචරණා = සම්පූර්‍ණ වූ විද්‍යාචරණ ඇති ව.
විජ්ජා නම් නුවණ ය. “ වින්‍දති ජානාතීති = විජ්ජා, විදිතං කරෝතීති = විජ්ජා, වින්‍දියං වින්‍දතීති = විජ්ජා, (යථාවතො උපලබ්භතීති අත්‍ථො) අත්තනො වා පටිපක්ඛස්ස විජ්ඣනට්ඨෙන = විජ්ජා, (තමොක්ඛන්‍ධාදිකස්ස විදාලනට්ඨෙනාති අත්‍ථො) තතො එව අත්තනො විසයස්ස විදිතකරණට්ඨෙනාපි = විජ්ජා” යනු නිරුක්ති යි.
මෙසේ පොදුවේ විජ්ජා නම් නුවණැ යි කීයේ ද මෙහි මෙයින් ත්‍රිවිද්‍යා දී හා අෂ්ටවිද්‍යා ගැණෙති. මෙ කී විද්‍යාවෝ තම තමන් විසින් නැසිය යුතු වූ, කෙලෙස් නසමින් තම තමන් විසින් දත යුතු වූ, ප්‍රකට කළයුතු වූ අනිත්‍ය දුක්ඛ - අනාත්මධර්‍මයන් දැන ගන්නෝ ය. ප්‍රකට කරන්නෝ ය. නිවන් රස තතු පරිදි විඳ ගන්නෝ ය. තමන්ට පටහැනි ව සිටි අවිද්‍යාන්‍ධකාරය පළා ලන්නෝ ය.
‘පුබ්බේ නිවාසානුස්සති ඤාණං = විජ්ජා’ පෙර විසූ ස්කන්‍ධපරම්පරාව සිහිපත් කිරීමෙහි පැවැති නුවණ විද්‍යා නම්. අනතුරු ව ඉක්ම ගිය භවය පටන් ඒ ඒ භවයෙහි විසූ අනුභව කළ ස්කන්‍ධපරම්පරාව යම්, සිහියකින් සිහි පත් කෙරේ ද, ඒ සිහිය පුබ්බේ නිවාසානුස්සති නම්. ඒ සිහිය හා හැනී සිටි එක් ව යෙදුනා වූ නුවණ පුබ්බේනිවාසානුස්සති ඤාණ නම්, එය උපදනේ පෙර විසූ කඳපිළිවළ වසා සිටි අවිද්‍යාන්‍ධකාරය නසා පූර්‍වෙනිවාසය සිහිපත් කරවමිනි. එහෙයින් ඒ විද්‍යා යි කියනු ලැබේ.
පෙර විසූ කඳ පිළිවෙළ සිහි පත් කිරීම ස්කන්‍ධපටිපාටියෙන් හෝ චුතිපටිසන්‍ධි වශයෙන් හෝ වන්නේ ය. මෙසේ වනු ශ්‍රාවකයන් ගේ වශයෙනි. බුදුරජුන්ගේ වශයෙන් නො වේ. බුදුරජුනට ස්කන්‍ධ පටිපාටී කෘත්‍යයෙක් නැත්තේ ය. චුතිප්‍රතිසන්‍ධිවශයෙන් එක් අත් බවකින් අන් අත් බවකට යෑමෙක් ද නැත. උන්වහන්සේලා නොයෙක් කප් කෙළගණන් අතුරෙහි යට හෝ උඩ යම් යම් තැනක් සිහි පත් කරණු කැමැත්තෝ ද ඒ ඒ තැන් උන්වහන්සේලාට හස්තාමලකයක් සේ ප්‍රකට වන්නේ ය. පැහැදිලි වන්නේ ය, අතරතුර කිසිත් ජාතියක, භවයෙක උන්වහන්සේලාගේ නුවණ නො ගැටෙන්නේ ය. නො පැකිළෙන්නේ ය. තමන් කැමැති තැන ම නුවණින් අල්ලා ගන්නෝය උන්වහන්සේලා.
තිර්‍ත්‍ථක - ප්‍රකෘතිශ්‍රාවක - මහාශ්‍රාවක - අග්‍රශ්‍රාවක - ප්‍රත්‍යෙක බුද්ධ - සර්‍වඥබුද්ධ යි පූර්‍වෙනිවාසය සිහි පත් කරන්නෝ සදෙනෙකි.
මෙහි තීර්‍ත්‍ථක නම්, කර්‍මවාදී ක්‍රියාවාදීහු ය. ඔවුනට සතළිස් කපෙක් ම වැටහෙන්නේ ය. නුවණ දුර්‍වල බැවිනි. ප්‍රකෘතිශ්‍රාවකයනට කප් එක් දහස් එක් සියයක් වැටහේ. අසූ මහා ශ්‍රාවකයනට කල්පලක්‍ෂයක් වැටහේ. අග්‍රශ්‍රාවකයනට එකාසඞ්ඛ්‍යකල්පලක්‍ෂයක් වැටහේ. ප්‍රත්‍යෙක බුද්ධයනට දෙයාසඞ්ඛ්‍යකල්පලක්‍ෂයක් වේ. සර්‍වඥ බුද්ධයනට පරිච්ඡෙදයෙක් නැත්තේ ය. (විතර කැමැත්නන්ට විශුද්ධි මාර්‍ගය විතර කියන්නේය.)
මෙහි ලා තීර්‍ත්‍ථකයන්ගේ දර්‍ශනය කණමැදිරි එලියක් සේ ය. ප්‍රකෘතිශ්‍රාවකයන්ගේ දර්‍ශනය තෙල් පාන් එලියක් සේ ය. මහාශ්‍රාවකයන්ගේ දර්‍ශනය පන්දම් එලියක් සේ ය. අග්‍රශ්‍රාවකයන්ගේ දර්‍ශනය පාන්තරු එලියක් සේ ය. ප්‍රත්‍යෙකබුද්ධයන්ගේ දර්‍ශනය හඳපාන් එලියක් සේ ය. සර්‍වඥබුද්ධයන්ගේ දර්‍ශනය දහස් රසින් හෙබි මැදී දවල් පායා සිටි සරත් හිරු මඩලක් සේ ය.
තීර්‍ත්‍ථකයන් පිළිබඳ පුබ්බේනිවාසානුස්සතිය අන්‍ධයන්ගේ සැර යටි කොණ අල්ලා ගෙණ යෑමක් සේ ය. එසේ කීයේ අන්‍ධයනට සැරයටි කොණ අත හැරී යනු බැරි සේ තීර්‍ත්‍ථකයන් ස්කන්‍ධ පටිපාටිය හැරදමා අභිමත තැනක් සිහිපත් කිරීමෙහි අපොහොසත් බැවිනි. ප්‍රකෘතිශ්‍රාවකයන් පිළිබඳ වූවා, කුඩා ගඟක් එතෙර කරන්නට ඒ මත්තෙහි ලූ හෙයක යෑමක් සේ ය. මහා ශ්‍රාවකයන් පිළිබඳ වූවා සතර පස් දෙනෙකුට යාහැකි සේ කළ පුවරුහෙයක යන ගමනක් සේ ය. අග්‍රශ්‍රාවකයන් පිළිබඳ වුවා ගැල්රිය යෑ හැකි සේ කළ හෙයකින් යෑමක් සේ ය. ප්‍රත්‍යෙකබුද්ධයන් පිළිබද වූවා බොහෝ මිනිසුන්ගේ පාගමනට සුදුසු සේ කළ මහමගෙක යෑමක් සේ ය. සර්‍වඥබුද්ධයන් පිළිබද වූවා බොහෝ ගැල්රිය ඈතට යෑ හැකි සේ කළ මහාසකටමාර්‍ගයෙක යෑමක් සේ ය.
පුබ්බෙනිවාසය සිහියට නගන්නා වූ බුදුරජානන් වහන්සේ ප්‍රතිසන්‍ධිය මුල් කොට චුතිය කෙළවර කොට ඇති එක් ස්කන්‍ධ පරම්පරාවක, ස්කන්‍ධපරම්පරා දෙකක, තුණක යන ඈ ලෙසින් අත් බව් ලක්‍ෂගණන්ද, නස්නා හටගන්නා නොයෙක් කල්පයන් ද නස්නා අසවල් කල්පයෙහි අසවල් අත්බවෙහි මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගෝත්‍ර ඇතම් වීමි යි යන ඈ ලෙසින් නන් වැදෑරුම් වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි පත් කරණ සේකැ යි දත යුතු ය.
‘සත්තානං චුතූපපාතෙ ඤාණං = විජ්ජා’ සත්ත්‍වයන්ගේ චුතිය හා උත්පත්තිය දැන ගන්නා නුවණ විද්‍යා නම්. සත්ත්‍වයන් ඒ ඒ භවයෙන් ගිලිහී යෑම හා ඒ ඒ භවයෙහි ඉපැදීම චුතූපපාත නම්. ඒ මේ චුති - උත්පත්ති දෙක පිළිබඳ පැවැති දහම් දැන ගන්නා නුවණ චුතූපපාතඤාණ නම්. ඒ උපදනේ චුතිපටිසන්‍ධි දෙක වසා සිටි මොහඳුර නසා එදෙක ප්‍රකට කරමිනි. එහෙයින් ඒ විද්‍යා යි කියනු ලැබේ. ඇතැම් තැන මේ දිබ්බචක්ඛුඤාණ යි ආයේ ය.
බුදුරජානන් වහන්සේ සත්ත්‍වයන්ගේ චුති - උත්පත්ති දන්නා සේක් දෙවියන්ගේ ප්‍රසාදචක්ෂූස හා සම වූ මිනිස් ඇස ඉක්මවා සිටි පිරිසිදු ඇසින් මැරෙන - උපදින - උස් - පහත් - පැහැති - නො පැහැති - දුප්පත් - පොහොසත් - කළ කම් අනුවගිය සතුන් - “මේ සත්ත්‍වයෝ කයින් - කටින් - සිතින් දුසිරිත් කළෝ, ආර්‍ය්‍යයයනට ගැරහූවෝ, මිසදිටු ගත්තෝ මරණින් මතු නිරයෙහි උපන්නෝ ය. මේ සත්ත්‍වයෝ කයින් - කටින් - සිතින් සුසිරිත් කළෝ, ආර්‍ය්‍යයනට නො ගැරහූවෝ, සම්දිටු ගත්තෝ මරණින් මතු ස්වර්‍ගයෙහි උපන්නෝ ය” යන ඈ ලෙසින් දන්නා සේක.
‘ආසවානං ඛයෙ ඤාණං = විජ්ජා’ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙහි සහමුලින් ගෙවාලීමෙහි නුවණ විද්‍යා නම්. කාම - භව - දිට්ඨි - අවිජ්ජා ය ආස්‍රව. මොවුන් නැසීම වැනසීම (අර්‍හන්මාර්‍ගය) ආසවක්ඛය නම්. ඇතැම් තැන ආස්‍රවයන්ගේ ප්‍රහාණය, අත්ත්‍යන්තක්‍ෂය, ක්‍ෂය වූ ආකාරය, නැති බව, ඛය යන්නෙන් ගැණේ. ආස්‍රවයන් ක්‍ෂය වූ කල්හි සියලු කෙලෙස් - ක්‍ෂයයවූවාහු ම වෙති. එහෙයින් අර්‍හන්මාර්‍ගය ආශ්‍රවක්‍ෂය යි කියනු ලැබේ. ඒ මේ අර්‍හන්මාර්‍ගචිත්තයෙහි යෙදෙන ප්‍රඥාචෙතසිකය ආසවක්ඛයඤාණ නම්. ඒ උපදනේ සිවු සස්දහම් වසා සිටි මොහඳුර නසා එ දහම් පැහැදිලි කරමිනි. එහෙයින් ඒ විද්‍යා යි කියනු ලැබේ.
බුදුරජානන් වහන්සේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රවරහිත වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය මේ අත්බවේදී තමන්වහන්සේ ම ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වසන සේක. (මෙහි විස්තර විභඞ්ග - පටිසම්භිදා - විසුද්ධිමග්ග ආදියෙහි ආයේ ය.
විපස්සනාඤාණ - මනෝමයිද්ධිඤාණ - ඉද්ධිවිධඤාණ - දිබ්බසෝතඤාණ - පරචිත්තවිජානනඤාණ - පුබ්බෙනිවාසානුස්සති ඤාණ - දිබ්බචක්ඛුඤාණ - ආසවක්ඛයකරඤාණ යන මේ අට ය. අෂ්ට විද්‍යා,
“විපස්සනාඤාණමනොමයිද්ධි
ඉද්ධිප්පභෙදාපි ව දිබ්බසොතං
පරස්ස චෙතො පරියායඤාණං
පුබ්බෙනිවාසානුගතං ව ඤාණං
දිබ්බං ච චක්ඛාසවසඞ්ඛයො ච
එතානි ඤාණානි ඉධට්ඨවිජ්ජා”
මේ ඔවුන්ගේ එකත්‍ර සඞ්ග්‍රහගාථා ය.
එහි විදස්සනාඤාණය, නැවත උදයබ්බයඤාණ - භඞ්ගඤාණ - භයඤාණ - ආදීනවඤාණ - නිබ්බිදාඤාණ - මුඤ්චිතුකම්‍යතාඤාණ - පටිසඞ්ඛානඤාණ - සඞ්ඛාරුපෙක්ඛාඤාණ - අනුලොමඤාණ යි නව වැදෑරුම් වේ.
“ පච්චුප්පන්නානං ධම්මානං විපරිනාමානුපස්සනෙ පඤ්ඤා උදයබ්බයානුපස්සනෙ ඤාණං” සන්තති විසින් හෝ බණ විසින් පහළ වූ නාමරූප ධර්‍මයන්ගේ පෙරළීම, වෙනස්වීම අනුව බැලීමේ දී උපදින්නා වූ තරුණ විදර්‍ශනා ප්‍රඥාව උදයබ්බයානුපස්සනාඤාණ නම්. පංචස්කන්‍ධය පිළිබඳ ඉපදීම හා නැසීම දන්නා නුවණය ඒ.
පරම්පරා විසින් හෙවත් සමානවස්තුක ඍතු - ආහාර ගුණයන් ගෙන් පහළ වූ රූපපරම්පරා විසින් හෝ, උත්පාද - ස්ථිති - භඞ්ග යන ඛණ විසින් රූපාදිධර්‍මයන්ගේ ඉපැත්ම උදය නම්. එසේ පහළ වූ රූපාදීධධර්‍මයාගේ නැසී යෑම වය නම්, ඒ මේ උදය - වය අනුව බැලිම උදයබ්බයානුපස්සනා ය.
උදයබ්බයානුපස්සනාඤාණය පිණිස කමටහන් වඩන් සැකෙවින් හා විස්තර විසින් වඩන්නේ ය.
පිරිසිදු වූ විදර්‍ශනාඥානය ඇති යෝගාවචර තෙමේ සම්මසන ඤාණයන්ගේ කෙළවරට ගොස්, නැවත නාමරූපධර්‍ම පිළිබඳ උපති ලක්‍ෂණය උදය යි ද, විපරිනාමලක්‍ෂණය වය යි ද බලන්නේ ය. “මේ නාමරූපධර්‍මයන්ගේ උත්පත්තියෙන් පෙර කිසි තැනක රැස්ව සිටීමෙක් නැත්තේ ය. උපදින්නා වූ නාමරූපධර්‍මයන්ගේ එක් ව තුබූ තැනෙකින් ඊමෙක් ද නැත්තේ ය. නිරුද්ධ වන්නන්ගේ දිශානුදිශාවකට යෑමෙක් ද ද නැත්තේ ය. එසේම නිරුද්ධ වන්නන් රාශි වශයෙන් සිටීමක් ද නැත්තේය. වීණාව වයන කල්හි එයින් උපන් ශබ්දය ඉපදීමට පෙර කිසි තැනෙක රැස් ව සිට නො උපන්නේ ය. නිරුද්ධ වන කල්හි දිශානුදිශාවකට ගොස් කිසි තැනක රැස් නො වන්නේ ය. එමෙන් සියලු රූපාරූප ධර්‍මයෝ පෙර කිසි තැනක නො වූවෝ ම පහළ වෙති. නිරුද්ධවන්නෝ කිසි තැනෙක නො යෙති” යි මෙසේ නාමරූපධර්‍මයන්ගේ ඉපදීම හා බිඳීම සැකෙවින් බලන්නේ ය.
විස්තර විසින් වඩන්නේ “පෙර භවයෙහි වූ අවිද්‍යා හේතුවෙන්, පෙර භවයෙහි වූ තෘෂ්ණාහේතුවෙන්. අවිද්‍යා තෘෂ්ණාඋපනිශ්‍රය සහිත කර්‍ම හේතුවෙන්, කැඳබත් ඈ ආහාර හේතුවෙන් රූපස්කන්‍ධය පහළ වන්නේ ය” යි වදාළ අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ආහාර යන සිවු වැදෑරුම් ප්‍රත්‍යය ධර්‍ම හා රූපස්කන්‍ධයාගේ උප්පත්තිලක්‍ෂණය වූ අභිනවාකාරය යන පස නුවණින් බලන්නේ ය.
රූපස්කන්‍ධයෙහි ඉපදීම දැක, නැවත ඒ ඉපදීමෙහි හේතු වූ අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ආහාර යන ප්‍රත්‍ය ධර්‍මයන් රහත් මග නුවණින් නැවත නො උපදනා ලෙසට නිරුද්ධ කිරිම නිසා, රූපකන්‍ධයාගේ නැවත පහළ වීමෙක් නො වන්නේ ය. රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය’ යි මෙසේ අනාගතරූපස්කන්‍ධයාගේ පහළ වීමෙහි හේතු වූ අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ආහාර යන සිවු වැදෑරුම් වූ ප්‍රත්‍යයයන්ගේ නිරෝධය අනුව බැලීම හා රූපස්කන්‍ධයාගේ විපරිණාමය අනුව බැලීම යන පසනුවණින් බලන්නේ ය.
මෙසේ මෙහි ඉතා කොටින් දැක් වූ රූපස්කන්‍ධයෙහි උදය හේතු සතර හා උත්පත්තිලක්‍ෂණය ද එසේ ම රූපස්කන්‍ධයෙහි ව්‍යය හේතු සතර හා ව්‍යයලක්‍ෂණය ද නුවණින් බැලීම උදයබ්බයානුපස්සනා ඤාණ යි දන්න.
එසේ ම අවිද්‍යා - තාෂ්ණා - කර්‍ම - ස්පර්‍ශ යන හේතූන් නිසා වේදනා ස්කන්‍ධයාගේ හට ගැණීම වන්නේ ය, යි බැලීම හා උදය ලක්‍ෂණ බැලීම, අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ස්පර්‍ශ යන හේතුන්ගේ නිරුද්ධියෙන් වේදනා ස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය’ යි බැලීම හා විපරිණාමලක්‍ෂණය බැලීම උදයබ්බයානුපස්සනාඤාණැ යි දන්න.
‘ඵුට්ඨො වෙදෙති. ඵුට්ඨො සඤ්ජානාති ඵුට්ඨො චෙතෙති’ යි වේදනා - සංඥා - සංස්කාර ස්කන්‍ධ තුණ, ස්පර්‍ශය පැවැත්මෙහි ලා හේතු බැවින් රූපයාගේ හට ගැන්මට සිවුවන හේතුව වූ කබලිඞ්කාරාහාරයාගේ ස්ථානයෙහි ඵස්සාහාරය ලා සංඥා - සංස්කාර ස්කන්‍ධයන්ගේ පහළ වීමෙහි අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ස්පර්‍ශප්‍රත්‍යයයන් හා ඔවුන්ගේ උදයලක්‍ෂණය බැලිම, අවිද්‍යා - තාෂ්ණා - කර්‍මස්පර්‍ශයන්ගේ නිරුද්ධියෙන් සංඥා සංස්කාර ස්කන්‍ධයන්ගේ නිරෝධය වන්නේය, යි යි බැලීම හා විපරිණාමලක්‍ෂණය බැලීම උදයබ්බයානුපස්සනාඤාණැ යි දන්න.
විඥානස්කන්‍ධයෙහි අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - නාමරූප යන මොවුන් ගේ සමුදය හා නිරෝධය උදයලක්‍ෂණය හා විපරිණාමලක්‍ෂණය දැකීම් උදයබ්බයානුපස්සනාඤාණැ යි දන්න.
මෙසේ පංචස්කන්‍ධයෙහි විස්තර විසින් සම පණසක් ආකාර වූ ලක්‍ෂණදර්‍ශනයෙන් උදයබ්බයානුපස්සනාඤාණය සිද්ධ වන්නේ ය යි දත යුතු ය.
මෙයින් ඥානවත් වූවාහට චතුරාර්‍ය්‍යසත්‍යය - ප්‍රතිත්‍යසමුත්පාදය - එකත්‍වාදීවතුර්විධනය - අනාත්මාදීලක්‍ෂණ යන ධර්‍ම ප්‍රකට වන්නේ ය. මේ තෙමේ ම ආරබ්ධවිදර්‍ශක යි ද කියනු ලැබේ.
“ආරම්මණපටිසඞ්ඛා භඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං” ඉපදීම නැසීම යන දෙ තැන්හි මොනවට වැඩී ගිය නුවණ ඇත්තහුට, රූපාදී අරමුණු ඛයවය විසින් දැන, ඒ දැනීමෙන් උපන් නුවණින් රූපාදීන් ගේ භඞ්ගය, විනාශය පැහැදිලි ව පෙණන්නේ ය. ඒය භඞ්ගානුපස්සනාඤාණ නම්. ඉපදීම - නැසීම යන දෙකෙන් නැසීම ම දක්නා නුවණ ය.
ඉපදීම හා නැසීම දැඩි ව ගෙණ විදසුන් වඩන්නාහට ඉපදීම ඉක්මවා ගොස් නැසුම වැටහෙන්නේ ය. මෙසේ රූපාදීන්ගේ නැසිම වැටහී ගිය කල්හි වර්‍තමානභවය පිළිබඳ රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥාන යනු මෙහි එකෙකෙහි නැසී යෑම සිතින් බලා, රුපවේදනාදිය පිළිබඳ නැසී යෑම බැලු ඒ සිත්වල ද නැසී යෑම බලමින් “අතීතභවයන්හි වූ සංස්කාරයෝ ද බිඳෙති, අනාගත සංස්කාරයෝ ද බිඳෙති” යි මෙසේ දුටු නො දුටු සියලු සංස්කාරයන් එක් කොට නැසී යෑම ම අරමුණු කරමින් උපදනා නුවණය භඞ්ගානුපස්සනාඤාණ.
වැසි වස්නා කල්හි ගංඉවුරෙහි සිටි මිනිසා වැසි දිය වැටීමෙන් ගඟදිය මතු පිට නැගී බිඳී යන දිය බුබුලු දක්නා සේ, මේ යෝගී තෙමේ ද සියලු සංස්කාරයන්ගේ බිඳී යෑම දක්නේ ය. බිඳී යෑම අනිත්‍යතාවයෙහි අවසාන කෙළවර ය. එහෙයින් හඞ්ගානුදර්‍ශක යෝගි තෙමේ සියලු සංස්කාරයන් අනිත්‍ය විසින් බලයි. නිත්‍ය විසින් නො බලයි. අනිත්‍යවස්තූන් දුක් බැවින්, දුඃඛවස්තූන් අනාත්ම බැවින්, සංස්කාර ධර්‍ම දුක් විසින් බලයි. සැප විසින් නො බලයි. අනාත්ම විසින් බලයි. ආත්ම විසින් නො බලයි. යම් වස්තුවක් අනිත්‍ය - දුඃඛ - අනාත්ම ලක්‍ෂණයන්ගෙන් යුක්ත වූයේ ද, ඒ පිළිගත යුතු, සතුටු විය යුතු වස්තුවෙක් නො වේ. යමක් පිළිගත යුතුත් සතුටු විය යුතුත් නො වේ ද එහි නො ඇලිය යුතු ය යි සලකයි. මෙසේ භඞ්ගානුපස්සනානුසාරයෙන් අනිත්‍ය - දුඃඛ - අනාත්ම විසින් දක්නා ලද සංස්කාරයන්හි කලකිරෙන්නේ ය. සතුටු නො වන්නේ ය. නො ඇලෙන්නේ ය. සතුටු නො වන්නේ නො ඇලෙන්නේ පළමු කොට නුවණින් සංස්කාරයන්හි ඇලීම නැති කරන්නේ ය. සියලු සංස්කාරයන්ගේ නිරෝධය දකින්නේ ය. හට ගැනීම නො දක්නේ ය. මෙසේ සංස්කාරයන් බිඳෙතියි දක්නා භව දෘෂ්ටිප්‍රහාණදී වූ අනුසස් අටක් පිරිවර කොට ගත් නුවණ, භඞ්ගානුපස්සනාඤාණැ යි කොටින් දන්නේ ය.
භයතුපට්ඨානඤාණ නම්, සංස්කාරධර්‍මයන් භය විසින් වටහා ගන්නා නුවණ ය. සංස්කාරයන්ගේ ඛයවය අරමුණු කොට ඇති භඞ්ගානුදර්‍ශනඥානය නිතර සේවනය කරන්නා වූ යෝගාවචරයා හට භව - ගති - යෝනි ස්ථිති - සත්ත්‍වාවාසයන්ගේ වශයෙන් ගෙදරට ගිය සංස්කාරයෝ, සුව සේ ජීවත් වනු කැමැති බියසුලු පුරුෂයෙකුට සිංහව්‍යාඝ්‍රාදි චණ්ඩසත්ත්‍වයන් හා සොහොන් බිම් - රණබිම් - ගිනි අඟුරුවල් බිය විසින් වැටහෙන්නා සේ බිය ඇති ව වැටහෙති. “අතීත සංස්කාරයෝ නිරුද්ධ වූහ. වර්‍ත්‍ථමානසංස්කාරයෝ නිරුද්ධ වෙති. අනාගතසංස්කාරයෝ ද මෙ ලෙසින් ම නිරුද්ධ වන්නාහ” යි දන්නා යෝගාවචරයාහට මෙ කරුණෙහි ලා ඉපැදෙනුයේ භයතුපට්ඨානඤාණය යි.
උපාසිකාවකට පුත්තු තිදෙනෙක් වූහ. තිදෙන ම රාජාපරාධකාරයෝ ය. එහෙයින් රජු ඔවුන්ගේ හිස් ගසා දමන්නට නියම කෙළේ ය. උපාසිකාව ද පුතුන් සමග හිස සිඳින තැනට ගියා ය. අලුගෝසුවෝ වැඩි මහල්ලාගේ හිස සිඳ දෙවැන්නාගේ හිස සිඳින්නට වන්හ. ඕ, වැඩිමහල්ලාගේ හිස සිඳ දැමූ බවත් දෙවැන්නාගේ හිස සිඳින බවත් දැක බාල පුතු කෙරෙහි වූ බලාපොරොත්තුව අත් හැර දැමූ ය. මෙ ද එසේ ය, යෝගාවචරයාගේ අතීතසංස්කාර පිළිබඳ නිරෝධය දැක්ම, උපාසිකාවන්ගේ වැඩි මහල් පුතුගේ කපා හළ හිස දැක්ම වැනි ය. වර්‍තමාන සංස්කාරයන් ද පිළිබඳ නිරෝධය දැක්ම, දෙවැන්නාගේ සිඳිනු ලබන හිස දැක්ම වැනි ය. අනාගත සංස්කාරත් නිරුද්ධ වන්නාහ යි අනාගතසංස්කාරයන් පිළිබඳ නිරෝධය දැක්ම, බාල පුතු කෙරෙහි වූ බලාපොරොත්තුව අත්හැර දැමීම වැනි ය. මෙ ලෙසින් භවත්‍රයයෙහි සියලු සංස්කාරයන්ගේ ම නිරෝධය දක්නා යෝගාවචරයාහට එය තීරණය කිරීමෙහි පොහොසත් ව උපදනා ඤාණය භයතුපට්ඨානඤාණැ යි දන්නේ ය.
භයතුපට්ඨාඤාණය, බිය වේ ය යි නො දතයුතුය. ඒ වනාහි “අතීසංස්කාරයෝ නිරුද්ධයහ. වර්‍තමානසංස්කාරයෝ නිරුද්ධ වෙති. අනාගතසංස්කාරයෝ නිරුද්ධ වන්නාහ” යි තීරණ මාත්‍රයක් ම කරයි.” අඟුරුවල් දුටු තැනැත්තේ එයට නොබියව “යම් කෙනෙක් මෙහි වැටුනෝ නම් ඒ සියල්ලෝ මහත් දුක් අනුභව කරන්නෝය” යි තීරණය කරයි. තෙමේ එයින් බිය ඇත්තේ නො වේ. එමෙන් මේ නුවණ ද පළමු කී සේ තීරණ මාත්‍රයක් ම කරයි. බිය ඇත්තේ නො වන්නේ ය. හුදෙක් මෙයට සියලු භව යෝනි ගති ස්ථිති සත්ත්‍වාසයන්හි වූ සංස්කාරයෝ බිය විසින් වැටහෙන්නෝ ය. භයතුපට්ඨානැයි කීයේ එහෙයිනි.
ආදීනවානුපස්සනාඤාණ නම්, සංස්කාරයන්ගේ දොස් දක්නා නුවණ ය. භයතුපට්ඨානඤාණය සේවනය කළ යෝගාවචරයාහට කිසිම භවයෙක යෝනියක ගතියක ස්ථිතියක සත්තාවාසයක රැකෙන්නට තැනක්, සැඟවෙන්නට තැනක් පිහිටක් නො පෙණෙන්නේ ය. එ හෙයින් ම කිසිත් සංස්කාරයක පැතීමක් නො වන්නේ ය. පරාමර්‍ශයෙක් හෝ නැත්තේ ය. භවත්‍රය ගිනිගත් අඟුරුවල් සේ, සතරමහාභූත, දරුණු විෂ ඇති සර්‍පයන් සේ, පංචස්කන්‍ධය එස වූ කඩු ඇති අලුගෝසුවන් සේ, ආධ්‍යාත්මිකායතන ද හිස් ගම් සේ, බාහිරායතන ගම් පහරණ සොරුන් සේ, සප්තවිඥානස්ථිතීන් හා නවසත්ත්‍වවාස ගිනි ගණ දැවෙන්නන් සේ, සියලු සංස්කාර ගඩු, ලෙඩ, හුල්, දුක් විපත්, පීඩා සේ, ආස්වාද රහිත වූවාහු නීරස වූවාහු මහත් ආදී නව රාසියක් සේ, වැටහෙන්නෝ ය. සුව සේ ජීවත් වනු කැමැත්තකුට සිත් ගන්නා සේ පිහිටා සිටි, එහෙත් සැඩ සතුන්ගෙන් ගැවසී ගත් මහා වනයක් සේ දිවියන් ලැගුම් ගත් ගුහා සේ. දියරකුසන් අරක් ගත් දිය සේ, එස වූ කඩු ඇති සතුරන් සේ, විස සහිත බොජුන් සේ වැටහෙති. එබඳු වනගහනයකට පැමිණීමෙන් හට ගත් බිය ඇති හට ගත් ලොමු දැහැ ගැණීම් ඇති ඒ පුරුෂ තෙමේ එහි හැම අතකින් ම දොස් දක්නේ ය. එපරිද්දෙන් මේ යෝගී තෙමේ ද භඩ්ගානුපස්සනා වශයෙන් සංස්කාරයන් භව වශයෙන් වැටහුනු කල්හි හැම අතකින් ම පංචස්කන්‍ධයෙහි දොස් ම දක්නේ ය.
මෙසේ පෙර කම් බෙලෙන් මෙහි ඉපැත්ම, උපන්නහුගේ පැවැත්ම, සංස්කාරනිමිත්ත, මත්තෙහි ඉපැත්මට හේතු වූ කර්‍ම, මත්තෙහි ඉපැත්ම යන (උප්පත්ති - පවත්ති - නිමිත්ත - ආයුහනා - පටිසන්‍ධි) මේ පස වාස්තු කොට ඇති නුවණ ආදීනවානුපස්සනාඤාණැ යි දන්නේ ය.
නිබ්බිදානුපස්සනාඤාණ නම්, දක්නා ලද දොස් ඇති සංස්කාරයන් කෙරෙහි කලකිරීම් වශයෙන් උපදනා නුවණ ය. ආදීනවානුපස්සනාඤාණයෙන් ඥානවත් යෝගී තෙමේ භව යොනි ගති ආදියෙහි වූ සංස්කාරයන් පිළිබඳ දොස් දක්නේ, විවිධ භේද ඇති සංස්කාරයන් කෙරෙහි කලකිරෙයි, ද නො ද ඇලෙයි. චිත්‍රකූට පර්‍වත ප්‍රාන්තයෙහි ඇලි වසන ස්වර්‍ණහංසයෙක් අපිරිසිදු වූ සැඩොල් ගම් දොර ගවර වළෙක යම් සේ නො ඇලේ ද, එසේ මේ යෝගි තෙමේ ද මැනවින් දන්නා ලද දොස් ඇති භේද සහිත වූ කිසිත් සංස්කාරයෙක නො ඇලෙන්නේ ය. භාවනාරතියෙන් යුක්ත බැවින් සත් වැදෑරුම් අනුපස්සනාවන්හි ම ඇලෙයි. නිර්‍වාණපදයෙහි ම ඇලෙයි. එයට නැමුනු සිව් ඇත්තේ වේ.
භයතුපට්ඨාන - ආදීනවානුපස්සනා - නිබ්බිදානුපස්සනා ය, අකුරු විසින් මේ වෙනස් වුව ද, අර්‍ත්‍ථ විසින් එකෙක් ය. නො වෙනස් ය. සියලු සංස්කාරයන් බිය විසින් දන්නේ භයතුපට්ඨාන නම්. ඒ සංස්කාරයන් කෙරහි ම දොස් දක්නේ ආදීනවානුපස්සනා නම්. උන්කෙරෙහි ම කලකිරෙන්නේ. නිබ්බිදානුපස්සනා නම් “ යා ච භයතුපට්ඨානෙ පඤ්ඤා, යා ච ආදීනවෙ ඤාණ, යා ච නිබ්බිදා ඉමෙ ධම්මා එකත්‍ථා ව්‍යඤ්ජනමෙව නානං” යනු ආප්තයි.
මුඤ්චිතුකම්‍යතාඤාණ නම්, සංස්කාරයන් කෙරෙන් මිදීම් වශයෙන් උපදනා නුවණ ය. මෙයින් ඥානවත් වූ සංස්කාරයන් කෙරෙහි කලකිරෙණ, සංස්කාරයන් කෙරෙහි නො ඇලෙන යෝගීහුගේ සිත, එක ද සංස්කාරයක් කෙරෙහි නො ඇලෙන්නේ ය. නො ද බැඳෙන්නේ ය. සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැත්තේ බැහැර යනු කැමැත්තේ ම වේ. දැලෙහි බැඳුනු මත්ස්‍යයෙක්, සර්‍පමුඛයට අසු වූ මැඩියෙක්, කූඩුවක බැහූ වනකුකුළෙක්, මළ පුඩුවෙක අසු වූ මුවෙක්, අහිකුණ්ඩිකයකු අතපත් නයෙක්, මහ මඩෙහි එරුණු ඇතෙක්, ගුරුළුමුවපත් නයෙක්, රාහු මුවපත් සඳ, සතුරන් විසින් වට කොට ගත් පුරුෂයෙක්, ඒ ඒ තැනින් මිදෙනු කැමැත්තේ යම් සේ ද, එ පරිද්දෙන් මේ යෝගියාගේ සිතත් සියලු භව යෝනි ගති ආදියෙන් මිදෙනු කැමැත්තේ වේ. සියලු සංස්කාරයන්ගෙන් මෙසේ මිදෙනු කැමැති යෝගියාහට උපදනේ මුඤ්චිතුකම්‍යතාඤාණැ යි දන්නේ ය.
පටිසඞ්ඛානුපස්සනාඤාණ නම්, සංස්කාරයන්ගෙන් මිදීම පිණිස ඔවුන් පුන පුනා අනිත්‍ය - දුඃඛ - අනාත්ම විසින් සලකන නුවණ ය. මෙහි ලා යෝගි තෙමේ ඒ සංස්කාරයන් පටිසඞ්ඛානුපස්සනාඤාණයෙන් තිලකුණට නගා පරිග්‍රහ කරන්නේ ය. “සංස්කාරයෝ කල් නොපවත්නාහ. ඉපැදුම - නැසුම දෙකින් පිරිසිදිනා ලද්දහ. ව්‍යාධි - ජරාමරණාදියෙන් පලුදු වන්නාහ” යන ඈ කරුණුවලින් අනිත්‍යයහ යි දකියි. “නිතර පෙළෙන්නෝ ය. දුක් ඇත්තාහ, දුකට වත්‍ථුහු ය” යන ඈ කරුණුවලින් දුඃඛයහ යි දකියි. “අමනාපයහ, දුගඳ වන්නාහ, පිළිකුල්යහ” යන ඈ කරුණුවලින් අශුභයහ යි දකියි. “අනුන් අයත් ය. සිස් ය. වශයෙන් නො පවත්නාහ” යන ඈ කරුණුවලින් අනාත්මයහ යි දකියි. මෙසේ බලන්නහු විසින් සංස්කාරයෝ තිලකුණට නගා පරීක්‍ෂා කරණ ලද්දාහු වෙති. මිදීමට උපායය සපයනු පිණිස මෙසේ කරන්නේ ය.
මිනිසෙක් මසුන් අල්ලන්නට කුමින දියෙහි අටවා තැබී ය. කල් ගෙවා කුමිනට අත බහා දිය යට දී සර්‍පයකු ගෙලින් අල්ලා ගෙණ “මත්ස්‍යයෙක් ගන්නා ලදැ” යි සතුටු ව දියෙන් ඔසවා බලන්නේ සෝවැති තුණ දැක “සර්‍පයෙකැ” යි දැන බියට පැමිණ දොස් දැක කලකිරි උගෙන් මිදෙනු කැමැත්තේ නගුටෙන් අල්ලා අත වෙළුම් හැර දෙතුන් විටක් හිස වටා කරකවා දුර්‍වල කොට ඉවත දමා ඉවුරට නැග “සර්‍පයෙකුගෙන් බේරුණමි” යි ආ මග බලමින් සිටියේ ය. යෝගාවචරයා ද ආත්මභාවය ලබා සතුටු වූ කාලය එහි මිනිසා මත්ස්‍යයෙකැ යි සර්‍පයකු අල්ලා ගෙණ සතුටු වූ කාලය වැනි ය. එකට හැනී සිටි නාමරූපධර්‍ම වෙන් කොට එහි තිලකුණු දැක්ම කුමින් කටින් එලියට ඇද ගත් සර්‍පයාගේ සෝවැති තුණ දැක්ම වැනි ය. මිනිසා සර්‍පයා දැක බියට පත් වූ කාලය වැනි වූයේ යෝගීහුගේ භයතුපට්ඨානඤාණ ය යි. ආදීනවානුපස්සනාඤාණය දොස් දැක්ම වැනි ය. නිබ්බිදානුපස්සනාඤාණය සර්‍පයා අල්ලා ගැණිමෙහි කලකිරීම වැනි ය. මුඤ්චිතුකම්‍යතාව සර්‍පයාගෙන් මිදෙනු කැමැත්ත වැනි ය. පටිසඞ්ඛානුපස්සනාඤාණයෙන් සංස්කාරයන් කෙරෙහි තිලකුණු නැගීම සර්‍පයාගෙන් මිදීමට උපායක් යෙදීමක් වැනි ය. ඒ මිනිසා සර්‍පයා හිස වටා කරකවා දුර්‍වල කොට මැඩීමෙහි අපොහොසත් බවට පමුණුවා මුළු මනින් මිදෙන්නේ යම් සේ ද, එ මෙන් මේ යෝගි තෙමේ ද තිලකුණු නැගීමෙන් සංස්කාරයන් නිත්‍ය ශුභ සුඛාදීවශයෙන් වැටහෙන්නට සිහියට නගින්නට අපොහොසත් බවට පමුණුවා මැනවින් මිදී සිටින්නේ ය. මෙ පමණකින් ම යෝගීහට පටිසඞ්ඛානුපස්සනාඤාණය උපන්නේ ය යි ද නේ ය.
සඞ්ඛාරුපෙක්ඛාඤාණ නම්, දොස් දැක කලකිරී අත් හළ සංස්කාරයන් කෙරෙහි නැවත සිත් නො අලවා මැදහත් ලෙසින් උපදනා නුවණ ය. “සංස්කාරයෝ ශුන්‍යයහ” යි පරිග්‍රහණය කොට නැවත මෙය මම ය, මාගේ ය, යි ගත යුත්තක් නැති බැවින් ශුන්‍යයයි ගත් යෝගි තෙමේ නැවතත් සිවු අයුරකින් ස අයුරකින් අට අයුරකින් දස අයුරකින් සොළොස් අයුරකින් දෙසාළිස් අයුරකින් සංස්කාරයන්ගේ හිස් බව දැක තිලකුණු නගා සංස්කාරයන් පරික්‍ෂා කරන්නේ බියත්, ඇලීමත් හැර සංස්කාරයන් කෙරෙහි මැදහත් වන්නේ ය. මම ය, මාගේ ය, යි නො ගන්නේ ය.
එක් පුරුෂයකුට මන වඩන ගැහැණියක් වූ ය. ඔහු ඇය හැර මොහොතකුත් තනි ව වසන්නට අපොහොසත් වි ය. ඔහු තදින් ඇයට ආලය කෙළේ ය. දවසක ඇය අන් පුරුෂයෙකු හා සිනා සෙමින් කතා කරණු දැක කෝපයට පැමිණ බලවත් සිත් තැවුලක් වින්දේ ය. ඈ නැවත නැවතත් එසේ කළා. පසු ව ඒ පුරුෂ තෙමේ ඇය ගෙයින් පන්නා හැරියේ ඇයට ආලය නො කළේ ය. ‘මාගේ අඹු’ යි නො ගත්තේ ය. ඉන් පසු ඇය අන් පුරුෂයන් හා කතා කරණු, එකතු ව හිඳිනු සිටිනු සිනා සෙනු දුට ද ඒ පුරුෂයාහට කෝපයක් සිත් තැවුලෙක් නො වී ය. මේ යෝගාවචර තෙමේ ද එසේ සංස්කාරයන් කෙරෙහි දක්නා ලද දොස් ඇති බැවින් මැදහත් වන්නේ ය. සංස්කාරධර්‍මතත්ත්වය දන්නා ඔහු කිසිත් භවයෙක යෝනියක ගතියක විඥානස්ථිතියක සත්ත්‍ථාවාසයෙක නො ඇලෙයි. හැකිළෙයි. පෙරළෙයි. නො පිහිටයි. මැදහත් බවෙහි හෝ පිළිකුල් බවෙහි පමණක් ම පිහිටන්නේ ය සියුම් පතෙහි වැටුනු දියබිඳු එහි නො ඇලෙන්නා සේ ගින්නට ඇල්ලූ කුකුළුපියාපත හැකිළෙන්නා සේ මේ යෝගීහුගේ සිත භවත්‍රයයෙහි කො තැනකත් නො ද ඇලෙයි. නො පිහිටයි. එසේ කල්හි සඞ්ඛාරුපෙක්ඛාඤාණය උපන්නේ වේ. මෙසේ උපන් සඞ්ඛාරුපෙක්ඛාඤාණය යම් ලෙසකින් ශාන්තිපදය වූ නිර්‍වාණය ශාන්ත වශයෙන් දකී ද, එකල සංස්කාරයන්ගේ පැවැත්ම හැර, නිවණට ම පැන සිටියි. නිවණ ශාන්ත වශයෙන් නො දකී නම්, පුනපුනා සංස්කාරයන් අරමුණු කොට ම පවතින්නේ ය. .
මුඤ්චිතුකම්‍යතා - පටිසඞ්ඛානුපස්සනා - සඞ්ඛාරුපෙක්ඛා යි අකුරු විසින් මේ වෙනස වුව ද, අර්‍ත්‍ථ විසින් එකෙක් ම ය. නො වෙනස් ය. “යා ච මුඤ්චිතුකම්‍යතා යා ච පටිසඞ්ඛානුපස්සනා යා ච සඞ්ඛාරුපෙක්ඛා, ඉමෙ ධම්මා එකත්‍ථා ව්‍යඤ්ජනමෙව නානං” යනු ආප්තයි. නිබ්බිදානුපස්සනා ඤාණයෙන් කලකිරී සිටී යෝගීහු ගේ උත්පාදාදීන් හරිණු කැමති බව මුඤ්චිතුකම්‍යතා ය. මිදීමට උපායය සපයනු පිණිස අනතුරුව කරණ සංස්කාරපරීක්‍ෂණය පටිසඞ්ඛානුපස්සනා ය. මිදී අවසන්හි මැදහත් බව සඞ්ඛාරුපෙක්ඛා ය.
අනුලොමඤාණ නම්, උදයබ්බයාදී වූ අට වැදෑරුම් විදසුන් නුවණට හා සත්තිස් බෝ පැකි දහමුන්ට අනුලොම් ව ලෝකෝත්තර මාර්‍ගක්‍ෂණයෙහි පහළ වන චිත්තවීථියෙහි වූ මනෝද්වාරාවර්ජනයට අනතුරු ව උපදනා කාමාවචර ඥානසම්ප්‍රයුක්ත විදර්‍ශනාචිත්තයන් හා යෙදී සිටි නුවණ ය.
දැහැමි රජෙක් විනිශ්චයාසනාරූඪවූයේ විනිශ්චය කාරක මහාමාත්‍යයන් අට දෙනකු විසින් කරන ලද විනිශ්චය අසා අගතියට නො ගොස් මැදහත් ව ‘එසේ වේවා’ යි අනුමෝදන් ව ඔවුන් කළ විනිශ්වයටත් පෞරාණික රාජධර්‍මයටත් අනුකූල වන්නේ යම්සේ ද, එසේ මේ නුවණ ද මුලින් උපන් උදයබ්බයාදි ඥාණයන්ට ද, මතු උපදනා සත්තිස් බෝ පැකි දහමුන්ට ද, අනුකූල වන්නේ ය. එහි අනුලෝමඤාණය දැහැමි රජු සේ ය. අට වැදෑරුම් විදසුන් නුවණ අට මහ ඇමතියන් සේ ය. බෝ පැකි දම් පැරණි රජදහම සේ ය. රජ තෙමේ ‘එසේ වේවා’ යි යම් සේ ඔවුන්ගේ විනිශ්චයට හා රාජ ධර්‍මයට අනුකූල වේ ද, එමෙන් අනිත්‍යාදිවශයෙන් සංස්කාරයන් අරභයා උපදනේ, අෂ්ටවිධ විදර්‍ශනාඥානයන්ට හා බෝධිපාෂිකධර්‍මයන්ට අනුලොම් වන්නේ ය. එ හෙයින් මෙය සච්චානුලෝමිකඤාණැ යි කියනු ලැබේ.
අනුලෝමඥානය ලෝකෝත්තරචිත්තවීථියෙහි ආවර්‍ජනචිත්තයට පසු ගෝත්‍රභූචිත්තයට පසු ව උපදනා සිත්හි, මාර්‍ගය හා ගැටෙමින් උපදනේ ව්‍යුත්‍ථානගාමිනීවිදර්‍ශනා නම් වේ. “අතම්මයතං භික්ඛවෙ! අතම්මයතං ආගම්ම, යායං උපෙක්ඛා එකත්තා එකත්තසිතා තං පජහථ තං සමතික්කමථ” යනුවෙන් සළායතන විභඞ්ගයෙහි මෙය අතම්මයතා යි ද, “නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්චති” යනුවෙන් නිබ්බිදා යි ද, “ පුබ්බෝ ඛො සුසීම! ධම්මට්ඨිතිඤාණං පච්ඡා නිබ්බාණෙ ඤාණං” යනුවෙන් සුසීම සූත්‍රයෙහි ධම්මට්ඨිති ඤාණ යි ද, “සඤ්ඤා ඛො පොට්ඨපාද! පඨමං උප්පජ්ජති පච්ජා ඤාණං” යනුවෙන් සඤ්ඤග්ග යි ද, දසුත්තර සූත්‍රයෙහි පාරිසුද්ධිපධානියඞ්ග ය යි ද, ප්‍රතිසංවින්මාර්‍ගයෙහි මුඤ්චිතුකම්‍යතා - පටිසඞ්ඛානුපස්සනා - සඞ්ඛාරුපෙක්ඛා යි ද, ප්‍රස්ථානප්‍රකරණයෙහි අනුලොම - ගොත්‍රභූ - වොදාන යි ද, රථවිනීත සූත්‍රයෙහි පටිපදා ඤාණදස්සනවිසුද්ධි යි ද, විදර්‍ශනාවගේ කුළුගැන්ම මෙහි ම කෙරෙණ බැවින් සික්ඛාප්පත්තවිදස්සනා යි ද ආයේ ය. මෙසේ අෂ්ටවිද්‍යායෙහි ආදිම විසින් ගැණෙන විදර්‍ශනාඥානය, උදයබ්බය ඤාණාදීන්ගේ වශයෙන් නව වැදෑරුම් යි දත යුතු ය.
මනොමයඉධිඤාණ නම්, කොපුවෙකින් කඩුවක් ඇද ගන්නා සේ, කරඬුවෙකින් නයකු ඇද ගන්නා සේ, මේ සිරුරෙන් සියලු අඟපසඟ ඇති හැඩහුරුකම් ආදියෙන් නො වෙනස් වූ මනෝමයකයක් මවා ගැණීමෙහි පොහොසත් වූ නුවණ ය. “ඉධ භික්ඛු ඉම්මහා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපං මනොමයං” යි ආයේ මේ නුවණ ය.
ඉද්ධිවිධඤාණ නම්, ප්‍රකටබව, අප්‍රකට බව, පොළොව කිමිද යෑම, දිය මතුපිට සක්මන් කිරීම, අහස පලක් බැඳ හිදීම, සඳහිරු අත ගෑම යන ඈ නන් වැදෑරුම් ක්‍රියා දැක්වීමෙහි පොහොසත් නුවණ ය. දිබ්බසොතඤාණ නම්, දෙවියන්ගේ හා මිනිසුන්ගේ දුර වූත් ලඟ වූත් ශබ්ද ඇසීමෙහි පොහොසත් නුවණ ය.
පරචිත්තවිජාණනඤාණ නම්, රාග සහිත සිත රාග සහිත යිද රාග රහිත සිත රාග රහිත යි දැ යි සොළොස් අයුරකින් අනුන්ගේ සිත පිරිසිඳ දැන ගන්නා නුවණ ය. මෙය සමෘද්ධවනුයේ දිබ්බචක්ඛු වසයෙනි.
පුබ්බේනිවාසානුස්සතිඤාණ - දිබ්බචක්ඛුඤාණ – ආසවක්ඛයකරඤාණ යන මෙ තුන ත්‍රිවිද්‍යාකථාවෙහි ලා කීයන ලද්දේ ය. විද්‍යාඥානය තුණට බෙදීමෙහි ලා ගැනෙන්නේ මේ තුණ ය. අටක් කොට බෙදීමෙහි දී මේ තුණ හා මනෝමයඉද්ධිඤාණාදි පසත් ගැණෙති.
චරණ නම්, පාතිමොක්ඛසංවර - ඉන්‍ද්‍රියසංවර - මත්තඤ්ඤුතා - ජාගරියානුයෝග - සද්ධා - හිරි - ඔත්තප්ප - බහුස්සුතතා- පරක්කම - සති - මති - ආකාසානඤ්චායතන - විඤ්ඤාණඤ්චායතන - ආකිඤ්චඤ්ඤායතන - නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන මේ පසළොස් දහම් ය. මේ එහි සංග්‍රහ ය.
“සිලං වරං ඉන්‍ද්‍රියසංවරො ච
මත්තාසිතා ජාගරියානුයොගො
සද්ධාහිරොතප්පබහුස්සුතත්තං
පරක්කමො චෙව සතීමතී ච
චත්තාරි ඣානානි ච තානිමානි
තිපඤ්චධම්මා චරණානි ජඤ්ඤා”
මේ දහම් පසළොස ආර්‍ය්‍යශ්‍රාවකයනට නිවන් යෑමට උපකාර බැවින් චරණ යි කියනු ලැබේ. “චරන්ති තෙන අගතං දිසං නිබ්බාණං ගච්ඡන්තීති සරණං” යනු අත්‍ථසමර්‍ත්‍ථනය යි.
පතිස්සතා = සිහි ඇති ව, නිති එළඹ සිටි සිහි ඇති ව.
කමටහන් වඩන්නට සම්පුර්‍ණ කරන්නට පොහොසත් සිහිය පතිස්සති නම්. “ කම්මට්ඨානං ඵාතිං ගමෙතුං සමත්‍ථා සති පතිස්සති” යනු අටුවා ය එයින් යුක්තයෝ පතිස්සතා ය.
පහස්සථ = දුරු කරවු, හැරපියවු.
ඉදං දුක්ඛං = මේ සසර දුක
අනප්පකං = අනල්ප වූ, ඉතා බොහෝ වූ, ටික නො වූ.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවාන් පලාදීයට පැමිණියාහු ය.
පිලෝතිකතිෂ්‍යස්ථවිර වස්තුව නිමි.