සබ්බෙ තසන්ති දණ්ඩස්ස සබ්බෙසං ජීවිතං පියං.
අත්තානං උපමං කත්‍වා න හනෙය්‍ය න ඝාතයෙ.
(සාමාන්‍යයෙන්) සියලු සත්ත්‍වයෝ ම කායදණ්ඩනයට ත්‍රස්ත වෙති. රහතුන් තබා සෙසු සියල් සත්නට ම ජීවිතය ප්‍රිය ය. (රහත්හු ජීවිත මරණ දෙක්හි උපේක්‍ෂක වෙති.) එබැවින් තමා උපමා කොට නුවණැත්තේ කිසි සතක්හු නො මරන්නේ ය. අනුන් ලවා ද නො මරවන්නේ ය.
සවග මහණෝ ප්‍රහාරදන ශික්‍ෂාපදයට කරුණු වූ යම් කිසි කරුණක් ඉදිරිපත් කොට සතළොස් වග මහණුන්ට පහර දුන්නාහු ද, ඒ කරුණ ම ඉදිරිපත් කොට, සතළොස් වග මහණුන්ට ම පහර දෙනු පිණිස දඬු මුගුරු ගෙණ ඉදිරියට ආහ. මෙහි ලා බුදුරජානන් වහන්සේ උන්ගේ කෑ කෝ ගැසීම් අසා “මහණෙනි! අද සිට මහණුන් විසින් යමක් කළ විට තුමූ වරදෙහි බැඳෙත් නම් එබඳු ක්‍රියා නො කටයුතු ය” යි වදාළ සේක. නැවත;
“යො පන භික්ඛු භික්ඛුස්ස කුපිතො අනත්තමනො තලසත්තිකං උග්ගිරෙය්‍ය පාචිත්තියං”
යන, මේ තලසත්තික ශික්‍ෂාපදය ද මෙහි ලා පැණවූ සේක. “යම් මහණෙක් අන් මහණකුහට කිපියේ නො සතුටු සිත් ඇත්තේ (පහර දෙන්නට) අත් පා දඬු මුගුරු ඔසවා නම් පචිති ඇවැත් වේ” යනු එහි අදහසය.
මෙසේ මේ ශික්‍ෂාපදය පණවා “මහණෙනි! මහණුන් විසින් මා මෙන් අන්හු ද දණ්ඩනයට තැති ගණිත්, මාගේ ජීවිතය මට යම් සේ ප්‍රිය වේ නම් උන්ගේ ජීවිතය උන්ටත් එසේ ම ප්‍රිය යි දැන අන්හු නො නැසිය යුත්තාහ. නො නැස්විය යුත්තාහ” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක.
සබ්බෙ තසන්ති දණ්ඩස්ස සබ්බෙසං ජීවිතං පියං,
අත්තානං උපමං කත්‍වා න හනෙය්‍ය න ඝාතයෙති.
සියලුදෙන දණ්ඩනයෙන් තැති ගණිත්. හැමදෙනට ජීවිතය ප්‍රියය. තමා උපමා කොට (කිසිවකුට නො මරන්නේ ය, නො ද මරවන්නේ ය.
සබ්බෙ තසන්ති දණ්ඩස්ස = සියලු දෙන දණ්ඩනයෙන් තැති ගණිත්. [1]
සබ්බෙසං ජීවිතං පියං = හැමදෙනහට ජීවිතය ප්‍රිය ය.
මෙහි ද සබ්බ ශබ්දය සාවශේෂ බැවින් රහතුන් වහන්සේ හැර අන් හැමට ජීවිතය ප්‍රිය වේ. ජීවිතය, නාමජීවිතය - රූපජීවිතය යි දෙ පරිදි ය. එය යට කියූ සේ දන්නේ ය. රහතුන් වහන්සේ,
“නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං,
කාලඤ්ච පතිකඞ්ඛාමි නිබ්බිසං භතකො යථා” යි
උදන් අනමින් ජීවිතයෙහි හා මරණයෙහි මැදහත් වෙති.
“මම යම්සේ දණ්ඩනයට බිය ඇත්තේ වෙම් ද, එසේ ම සියලු දෙන දණ්ඩනයට බිය ඇත්තෝ වෙති, මාගේ ජීවිතය මට යම්සේ ප්‍රිය වේ ද, එසේ ම සියලු දෙනාගේ ජීවිත ඔවුනට ප්‍රිය වේ, යි තමන් හා අන්හු සමත්වයෙහි ලා සලකා අනුනට පහර නො දිය යුතු ය. අනුන් ලවා අනුනට පහර නො දෙවිය යුතු ය” යි මෙයින් වදාළ සේක.
ෂඩ්වර්ගීයභික්‍ෂු වස්තුව නිමි.
10-1 ‘සබ්බෙ තසන්ති දණ්ඩස්ස’ බලනු. ↑