උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තෙජනං
දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති සුබ්බතා.
දියාළුවෝ (කෙත්වත් ආදියට දිය ගෙණ යන්නාහු) (සිත් පිත් නැති) දිය (ඇල බිඳ ගෙණ, පිහිලි පටවා ගෙණ, වෙහෙලි නගා ගෙණ තමන් කැමැති තැනකට) ගෙණ යන්නාහ. හීවඩුවෝ (සිත් පිත් නැති) හීදඬු (තවා ඇද මැඩ තමන් කැමැති ලෙසට) නමන්නාහ. ලීවඩුවෝ (සිත් පිත් නැති) දඬු (නිම්වළලු ආදිය පිණිස වක් කොට ද ඉදි කොට ද සැස තමන් කැමැති ලෙස) නමන්නාහ. සුව සේ අවවාද අනුශාසන කට හැකි සුවචයෝ තමන් සිත දමනය කරන්නාහ (තමන් සිත දමනය කොට රහත් පලයට පැමිණෙන්නාහ).
බරණැස් සිටුහට ගන්‍ධකුමාර නම් පුත්‍රයෙක් විය. සිටු මළ පසු බරණැස් රජ, ගන්‍ධකුමාර ගෙන්වා ඔහුට ඒ සිටු තනතුරු දුන්නේ ය. එතැන් සිට ඔහු ගන්‍ධසෙට්ඨි යි ප්‍රසිද්ධ විය. දිනෙක අයකැමි තෙමේ ඔහු මුදල්භාණ්ඩාගාරය වෙත කැඳවා ගෙණ ගොස් “සිට! මේ මුදල් ඔබතුමන්ගේ පියා සතු ය. මෙතෙක් මුදල් එහි තිබේ. මෙතෙක් මුදල් මුතුන් මීමුතුන් අයත් ය. එයට කැමැත්තක් කරණු මැනවැ” යි කියා සිටියේ ය. සිටු තෙමේ සියලු මිල මුදල් බලා “ඇයි, මොකද, ඒ අය මේ මුදල් රන් රිදී මුතු මැණික් නො ගෙණ ගියෝ?” යි ඇසී ය. “පින්වත! පරලොව යන්නෝ, පරලොව යන විට මිල මුදල් අඹුදරු ඈ කිසිවක් ගෙන නො යෙති, කොතරම් වෙහෙස විඳ හරිහම්බ කළෝ ද, සියල්ල හැර දමා ම මැරී යති, මෙ ලොව හැම කෙනෙකු ම පරලොව යන විට, ගෙණ යන්නේ තමන් කළ පින් පව් දෙක පමණෙකි, අන් කිසිවක් ගෙණ යන්නෝ නො වෙති” යි අයකැමි කී කල්හි “ඔවුහු මෝඩකමට මේ මහත් ධනය මෙහි හැරදමා ගියෝ ද මම මේ සියල්ල ගෙණ යන්නෙමි, කා බී සැප විඳින්නෙමි. කා බී අවසන් කොට ගිය කල්හි ගෙන ගියේ වන්නෙමි” යි සිතා සිටු තෙමේ ලක්‍ෂයක් වියදම් කොට පළිඟු ගලින් නාන කොටුවක්, ලක්‍ෂයක් වියදම් කොට පළිඟුයෙන් නාන ගල්ලෑල්ලක්, මෙසේ ලක්‍ෂය බැගින් වියදම් කොට පුටුවක්. බත් කෑමට පිඟානක්, කෑම ගන්නා තැන මණ්ඩපයක් බත් කන පිඟාන තැබීමට දරණුවක්, බත් කන සැටි පෙණන ලෙසින් සීමැදුරු කවුළුවක් කරවූයේ ය. දාවල බතට දහසක් රෑ බතට දහසක් වියදම් කෙළේ ය.
පුර පසළොස්වක අවපසළොස්වක දෙකට කෑම පිළියෙල කරන්නට මේ වඩන්නට ලක්‍ෂයක් දෙවයි. පසළොස්වක දෙක්හි, බත් කන විට දහසක් වියදම් කොට නුවර ද සරසවා. “ගන්‍ධක සිටානන් බත් කන සැටි බලත්වා” යි නුවර අණබෙර යවයි. මහාජන තෙමේ එය බලන්නට එතැනට රැස් වෙයි. සිටු තෙමේ එ දින වෙසෙසින් නාන කොටුවට බැස පුටුවේ හිඳ සුවඳ දියකල සොළොසකින් නා අවුත් සී මැදුරු කවුළුව හැර දමා මණ්ඩපය තුළ පණවා ඇති පුටුවෙහි හිඳියි. එකල මේ වඩන්නෝ දරණුව මේසය මත තබා ඒ මත්තෙහි පිඟාන තබා එයට බත් බෙදති. ගන්‍ධකසිටු, මහත් උත්සවයෙන් එය කා බී සතුටු වෙයි.
එ දවස එක් පිටිසර වැසි මිනිසෙක් කෑමට වුවමනා දුරු මිරිස් අබ කහ ලුනු ලූණු ඈ තුනපහ ගෙන යන්නට දර කරත්ත කිහිපයක් ගෙණ නුවරට ඇතුල් ව යහළුවකුගේ ගෙයි නවාතැන් ගත්තේ ය. එදා පසළොස්වක ය. “ගන්‍ධකසිටු කන හැටි බලත්වා” යි එදත් නුවර අණබෙර යැවී ය. ඒ ඇසූ ගේ අයිති මිනිස් තෙමේ තම යහළුවාට කතා කොට “ඔය්!, තමුසේ මෙයට කලින් කිසි දිනෙක ගන්‍ධක සිටානන් කන බොන සැටි දැක තිබේදැ?” යි ඇසී ය. ඔහු “නැතැ” ය කී ය. “එසේ නම් එනව යන්නට, මේ දැන් අණ බෙර ගැසූයේ, එය බලන්නට මහාජනයාට රැස්වනු සඳහා ය. එය බැලිය යුත්තෙකැ” යි යහළුවාත් කැඳවා ගෙණ ගෙයි වැසි පුරිස් තෙමේ සිටු මැදුර බලා ගියේ ය. මහාජන තෙමේ ද රැස්ව සිටියේ ය. පිටිසරයා බත් සුවඳ ඉව අල්ලා එහි ආශා ඇත්තේ යහළුවාට කතා කොට “මිතුර! මට අරින් බත් ටිකක් කට ගාන්නට ඇති නම් හොඳැ” යි කී ය. “ඒ ගැන බලාපොරොත්තු නො වන්න. එය කොයි ලෙසිනුත් කළ හැක්කක් නො වේ” යි කී විට, පිටිසරයා “කට ගාන්නට ම ඕනෑ” යි නැවත නැවතත් කියා සිටියේ ය.
එ කල්හි අනෙකා පිරිස් කෙළවර සිට “සිටු! මම ඔබට වඳිමි” යි තෙවරක් මහත් හඬින් කියා සිටියේ ය. සිටු “තෝ කවරෙක් වෙහි?” යි ඇසී ය. “මම නාගරිකයෙක්මි” යි හේ කී ය. “කෝ කියන්නෙහි කිමැ?” යි ඇසී ය. “මේ සිටින්නේ පිටිසරයෙක්, හේ? නුඹ වහන්සේ බත් වළඳනු දැක ඔබ වහන්සේ වළඳනා බතට ලෝබකම් කරයි. බත් ටිකක් කට ගාන්නට නො ලැබුනොත් දිවි යන්නේය යි කියයි. එහෙයින් මූ කෙරෙහි කරුණා උපදවා මූට බත් කටක් දෙනු මැනවැ” යි දන්වා සිටියේ ය. “එසේ නො කට හැකි ය” යි සිටු කී ය. එවිට නාගරික පුරුෂ තෙමේ “යහළුව! සිටානන් කී වචනය, ඇසුනේ දැ?” යි ඇසී ය. “ඔව්, ඇසුනේ ය. එහෙත් බත් කටක් නො ලැබුනොත් ජීවත් නො වෙමි” යි කීය. එවර ද ඔහු සිටානන් අමතා “සිටුතුමනි!” බත් කටක් නො ලැබුනොත් මූ මැරෙන බව ම කියයි. එහෙයින් වටිනාකම් නො සලකා දිවි දෙන බව සිතා මූට බත් කටක් දුන මැනැව” ඉල්ලී ය. “ඕය්! බත් පිඬක වටිනාකම් සියයක් හෝ දෙසියයක් පමණ විය හැකි ය. එය මහ කජ්ජෙක් නො වේ. මූට දෙනු බලා සිට අන්හුත් ඉල්ලා සිටියොත් ඔවුනටත් දිය යුතු ය. එසේ වී නම් මම කන්නෙම් කුමක් ද? හොඳින් කල්පනා කොට බලන්න. ඒ එසේ නො වේ දැ” යි සිටු කී විට “සිද්දිය නම් එසේ විය හැකි ය. කෙසේ නමුත් මූට බත් කටක් දුන්නොත් දිවි දුන්නා සේ ය” යි කී ය. “දෙන්නට නම් මොන ලෙසකිනුත් නො පිළිවන, නො ලැබුනොත් දිවි හරිමී යි කියා නම්, මාගේ ගෙයි, තුන් අවුරුද්දක් කුලී වැඩ කරන්නට ඌට කියව, නොමිලයේ බත් දෙන්නට නො හැකිය. එ විට මට මූට බත්තලියක් දෙන්නට පිළිවනැ” සිටු තෙමේ කීයේ ය.
පිටිසරයා එය අසා “යහපත, මම එසේ කරමි” යි අඹු දරුවන් හැර දමා බත්තලියක් පිණිස කුලී වැඩ කරන්නට සිටු ගෙට ගියේ ය. ඔහු එතැන් සිට වැඩ කරන්නේ සියලු වැඩ සකස්ව ම කළේ ය. එයින් ඔහු බත් බැලයා යි ප්‍රසිද්ධ විය. කුලී වැඩට බැස තුන් අවුරුද්දක් පිරූ දිනයෙහි ගෙයි බත් බෙදන්නා, සිටු වෙත ගොස් “ස්වාමීනි! බත්බැලයා තුන් අවුරුද්දේ කෙළවරට පැමිණ සිටියි. තුන් අවුරුද්දක් ඉතා හොඳින් ඔහු වැඩ කර තිබේ. ඒ ඉතා අමාරු කාරියෙකි. මේ තුන් අවුරුද්ද තුළ ඔහු විසින් එක වැඩකුත් නො වරදවා අත පසු නො කොට ඉතා සැලකිල්ලෙන් කරණ ලදදේ ය” යි දැන් වී ය. සිටු තෙමේ ඔහු කෙරෙහි පහන් විය. එයින් තමන් රෑ දාවල බතට දෙදහසක් ද, බත්බැලයාගේ බතට දහසක් ද දෙවා “අද බත්බැලයාට හැම සැලකිල්ලක් කළ යුතු ය. චිත්තාමණිය හැර අන් හැම දෙන ඌ හා එක් ව කටයුතු කළ යුතු ය” යි අණ කොට තවත් නොයෙක් සම්පත් ඔහුට පවරා දුන්නේ ය. එතැන් සිට බත් බැලයා ද සිටානන්ගේ ගඳ දියෙන් නාන්නේ ය. නානපුටුවෙහි හිඳින්නේ ය. ඒ රෙදි ම අඳින්නේ ය. සිටානන් හිඳිනා පුටුවෙහි හිඳින්නේ ය. ඉක්බිති සිටු තෙමේ එක් දිනෙක “බත්බැලයා කන බොන හැටි දකින්නට කැමැත්තෝ සිටු ගෙට එත්වා” යි නුවර බෙර හැසිර වී ය. “මිනිස්සු රැස් ව මැසි පිට මැසි බැඳ එහි නැගී බත්බැලයා කන සැටි බලාහුන්හ. නළුවෝ ද පැමිණ ඔහු පිරිවරා ගත්හ.
මේ වඩන්නෝ බත්බැලයා ඉදිරියෙහි බත් පිඟානක් ගෙණැවිත් තැබූහ. ඔහු බත් කන්නට අත කට සෝදත් ම පසේබුදුවරයෙක් සමාපත්තියෙන් නැඟී සිට “අද කො තැනක පිඩු සිඟා යන්නෙම් දැ” යි විමසා බලා, බත්බැලයා දැක “මොහු අවුරුදු තුණක් තිස්සේ කළ කුලී වැඩට අද බත්පිඟානක් ලැබී තිබේ. බත්පිඟානට මූ ගත් වෙහෙස, විඳි දුක් සුලු නො වේ. එහි ඉමක් නැත. එහෙත් මොහුට ශ්‍රද්ධාව තිබේ ද යනු විමසිය යුතු ය” යි විමසන්නේ ශ්‍රද්ධාව ඇති බව දුටුයේ ය. දැක නැවත “ශ්‍රද්ධාව තිබුනා ද, සමහර කෙනෙක් අනුනට යමක් දීමෙහි අපොහොසත් වෙති. දීමෙහිදී මැලි වෙති. එහෙයින් මොහු ඒ අතින් කෙබන්දෙක් වේ ද යනුත් විමසිය යුතු ය” යි දෙවනු ද විමසූයේ, දීමෙහි පොහොසතකු බව හා තමන් වහන්සේට සඞ්ග්‍රහ කිරිමෙන් මහත් සම්පත් ලබන බව දැක පා සිවුරු ගෙණ අහස නැගී ගොස් ඔහු ඉදිරියෙහි පෙණී සිටියේ ය.
බත්බැල තෙමේ පසේ බුදුරජුන් දැක “මම් පෙර දන් නුදුන් බැවින් එක් බත්පිඟානක් උදෙසා අවුරුදු තුනක් තිස්සේ පරවැඩ කළෙමි, මේ ලැබූ බත්පතින් වැඩිම ගණනේ මට එක රෑ දාවලක් රැකෙන්නට හැකි ය. එහෙයින් මම මේ බත්පත මේ ස්වාමීන් වහන්සේට පූජා කෙළෙම් නම්, මට එයින් කප් කෙළගණනක් රැකෙන්නට පිළිවනැ” යි සිතා අවුරුදු තුණක් පුරා බැලමෙහෙ කොට ලත් බත්පතින් බත් උළකුදු කටේ නො තබා එහි ආශාව දුරු කොට බත්පතත් ඔසවා ගෙණ පසේ බුදු රජුන් වෙත ගොස් බත්පත අනෙකකු අතට දී පසඟ පිහිටුවා වැඳ පිහාන වම් අතින් ගෙණ දකුණතින් එහි තිබූ බත් පසේ බුදුරජුන්ගේ පාත්‍රයට පූජා කළේ ය. උන්වහන්සේ බතින් කොටසක් පාත්‍රයට බෙදු කල්හි, අතින් පාත්‍රය වැසූහ. එකල්හි ඔහු “ස්වාමීනි! මේ එක ම බත් කොටස දෙකට බෙදන්නට නො හැකි ය. මිට මෙලොවින් සංග්‍රහ වුවමනා නැත. පරලොවින් ම සඞ්ග්‍රහ කරුණු මැනවැ” යි බත් ටිකකුත් ඉතිරි නො කොට සියල්ල ම පිළිගැන් වී ය. තමන් පිණිස ටිකකුත් ඉතිරි කොට දෙන දානය මහත් ඵල ඇත්තේ ය. බත්බැල, එසේ කරන්නේ. සියල්ල පිළිගන්වා වැඳ. “ස්වාමීනි! එක් බත් පිඟානක් උදෙසා තුන් අවුරුද්දක් පුරා අනුන් යටතේ බැලමෙහෙ කළ මා විසින් විඳින ලද්දේ ටික දුකක් නො වේ. මහත් දුකක් ම විඳින ලද්දේ ය. දැන් ඉතින් ස්වාමිනි, උපනූපන් තැන මට සැපයක් ම වේවා, ස්වාමින් වහන්සේ දත් ධර්‍මයට මමත් හිමියෙක් වන්නෙම් වා” යි කියා සිටියේ ය. පසේ බුදුරජානන් වහන්සේ;
“ඉස්නා ලද පැතූ - හැම දේ සමිජි වේවා,
පණුරැසි සදෙව් සියලු - සකප්හූ සපිරෙත්‍වා
ඉස්නා ලද පැතූ - හැම වහා ඉජි වේවා,
මිණිදෝරසෙව් සියලු - සකප් හූ සපිරෙත්වා”
යි අනුමෙවෙනි කොට “මේ මහජන තෙමේ මා ගන්‍ධමාදනයට යනතුරු ම බලා සිටීවා” යි ඉටා ගන්‍ධමාදනයට වැඩි සේක. මහාජන තෙමේ වඩනා උන්වහන්සේ බලමින් එහි සිටියේ ය. බුදුරජානන් වහන්සේ ඒ පිණ්ඩපාතය පන් සියයක් පසේ බුදුනට බෙදා දුන්හ. සියලු දෙනා වහන්සේ තමන්ට යැපෙන පමණ ම ගත්හ. ස්වල්ප වූ පිණ්ඩපාතය, මෙසේ සෑහීමට ගියේ කුමක් නිසාදැ යි සිතිය යුතු නො වේ. ඒ එසේ වුයේ පසේ බුදුරජුන්ගේ බලයෙනි. ගෙණ ගිය ඒ පිණ්ඩපාතය පසේ බුදු රජුනට බෙදනු දුටු මහාජන තෙමේ දහස් ගණනින් සාධුනාද පැවැත් වී ය. ඒ නද හෙණ සිය ගණන් කඩා වැටෙන සේ වී ය.
ගන්‍ධක සිටු තෙමේ “බත්බැල මා විසින් දුන් සම්පත් ඉසිලීමට නො සුදුසු ය, එහි අපෝසත් ය, ඒ නිසා මිනිස්සු ඔහුට කවටකම් කරමින් කෑකොස්සන් ගසති” යි සිතා ඒ දැන ගන්නට මෙහෙකරු මිනිසුන් එහි යැවී ය. ඔවුහු එහි ගොස් අවුත් “සිට! කවටකමෙක් නො වේ, සම්පත් ලබන්නෝ මෙසේ වෙති” යි ඒ සියලු තොරතුරු ඔහුට දැන්වූහ. සිටු තෙමේ ඒ අසා සතුටින් ඉතිර පැතිර ගිය සිරුරු ඇති ව “මහා පුදුමයෙක්, ඔහු විසින් කරන ලද්ද. එය ලෙහෙසි වැඩක් නො වේ, මම මෙතෙක් කල් මෙතරම් සම්පත් ඇති ව සිටියෙම් ද, අන්හට කිසිවෙක් දෙන්නට අපොහොසත් වීමි” යි සංවේගයට පැමිණ බත්බැල ගෙන්වා “තා විසින් මෙබන්දක් කරණ ලද්දේ සැබෑ දැ?” යි ඇසී ය. හේ “එසේය” යි කී ය. “එසේ නම් මේ දහස ගෙණ මටත් තා කළ පිනෙහි පින් දෙව” යි ඉල්ලී ය. බත්බැල එසේ කෙළේ ය. සිටු තෙමේ තමන් සතු සියලු සම්පත් දෙකට බෙදා කොටසක් ඔහුට දුන්නේ ය.
වත්‍ථුසම්පදා, පච්චයසම්පදා, චේතනාසම්පදා, ගුණාතිරේකසම්පදා යන මොවුනතුරෙහි, වත්‍ථුසම්පදා නම්, නිරෝධසමාපත්තියෙන් නැගී සිටි රහතුන් වහන්සේ හෝ අනාගාමි ආර්‍ය්‍යයන් වහන්සේ ය. පච්චයසම්පදා නම්, දැහැමින් උපන් සිවුරු, පිඬු, සෙනසුන්, බෙහෙත් පිරිකර ය. චේතනාසම්පදා නම්, දානයෙහි ලා මුල, මැද, කෙළවර යන තුන් කල්හි පැවැති චේතනාව සොමනස්සසහගත ඤාණසම්පයුත්ත අසඞ්ඛාරිකභාවයෙන් යෙදී පැවැත්ම ය. ගුණාතිරේකසම්පදා නම්, දානය පිළිගන්නහු නිරෝධසමාපත්තියෙන් නැගි සිටීම ය. බත්බැලගේ දානයෙහි මේ කියූ සිවු වැදෑරුම් වූ සම්පදාවෝ සම්පුර්‍ණ ව සිටියහ. දානය පිළිගත්තෝ පසේ බුදුරජානන් වහන්සේ ය. සිවු පසය බැලමෙහෙ කොට දැහැමින් උපන්නේ ය. බත් බැලට දානය පිළිබඳ පැවැත්තී සොමනස්සසහගත ඤාණසම්පයුත්ත අසඞ්ඛාරික චේතනා ය, ප්‍රතිග්‍රාහක වු පසේ බුදුරජානන් වහන්සේ එකණෙහි සමාපත්තියෙන් නැගී සිටි සේක. මෙ කී සම්පත්තීන්ගේ ආනුභාවයෙන් දායකයෝ මේ ලොවදී ම මහත් සැපතට පැමිණෙති. එහෙයින් මෙතෙමේ සිටු වෙතින් මහත් සම්පත් ලැබූයේ.
ඉන් ටික දවසකට පසු බරණැස් රජ, මෙය දැන බත් බැල ගෙන්වා දහසක් දී පින් ලබා තුටු සිත් ඇත්තේ මහත් භෝගයනුත් දී සිටු තනතුරුත් දුන්නේ ය. එතැන් සිට ඔහු බත්බැල සිටු යි ප්‍රසිද්ධ විය.
බත්බැල සිටු ගන්‍ධක සිටු සමග යහළුව එක් තැන් ව කමින් බොමින් නිදමින් දිවිතෙක් සිට මැරී ගොස් දෙව්ලොව උපන්නේ ය. එහි එක් බුද්ධාන්තරයක් දිව සැපත් වළඳා අප බුදුරජුන් දවස සැවැත් නුවර සැරියුත් මහතෙරුන්ගේ උපස්ථායක කුලයෙක පිළිසිඳ ගත්තේ ය. ඔහුගේ මව් තොමෝ ලැබූ ගැබ්පෙරහර ඇත්තී කිහිප දිනකට පසු පන්සියයක් භික්‍ෂූන් සමග සැරියුත් තෙරුන්ට නන් රසින් යුත් අහරක් පිළිගන්වා කහවත් දරා රන් තැටියක් ගෙණ අසුන් කෙළවර හිද භික්‍ෂූන් වළඳා ඉතිරි කළ ඉඳුල් බත් ටිකක් කන්නට ලැබෙන්නෙම් නම් මහත් ලාභයෙකැ” යි හට ගත් දොළදුක් ඇත්තී වූ ය. පසු දිනෙක ඕ එසේ කොට ඒ දොළදුක් සන් සිඳුවා ගත්තා ය. පසු පසුත් ඕ එසේ කළා ය. කල් යත් ම ඇයට පුතෙක් උපන. පුතුට නම් තබන දිනයෙහි සැරියුත් මහතෙරුන් වැඩමවා “හිමියෙනි! මා පුතුට ශික්‍ෂාපද දෙනු මැනවැ” යි ඉල්ලූ ය. එවිට සැරියුත් මහතෙරණුවෝ “මොහුගේ නම කිමැ” යි ඇසූහ. “හිමියෙනි! මේ දරු පිළිසිඳ ගත් දා සිට මේ ගෙයි කිසිවකුටත් කිසි දුකෙක්, අසනීපයෙක් නො වී ය. එහෙයින් අපි මොහුට “සුඛ” යි නම් කෙළෙමු “ යි කීවා ය. උන්වහන්සේ ද ඒ නම ගෙණ ලදරුට ශික්‍ෂාපද දුන්හ. මවු තොමෝ එතැන් සිට “මම මාගේ පුතුගේ අදහස් නො බිඳිමි” යි කන් විදිනා මගුල් ඈ හැම මගුලෙක ම දන් දුන්නී ය.
ලදරු සත් අවුරුද්දට පැමිණෙත් ම “මෑනියනි! මම හාමුදුරුවන් ලඟ මහණ වන්නට කැමැත්තෙමි” යි කියා සිටියේ ය. ඕ තොමෝ ද “පුත! යහපත, මම ඔබගේ කිසි ම අදහසකට විරුද්ධ නො වෙමි, කිසි ම අදහසකට අවහිර නො කරමි, කැමැති නම් එසේ වන්න” යි තෙරුන් ගෙට වැඩම කරවා “හිමියෙනි! මේ දරු ඔබවහන්සේ වෙත මහණ වෙන්නට කැමැති යි කිය යි, එහෙයින් මොහු අද සවස විහාරයට ගෙණ එන්නෙමි” යි කියා තෙරුන් විහාරයට යවා නෑයන් කැඳවා “මාගේ පුතුට ගිහියකු වශයෙන් කළ යුතු හැම සැලකිල්ලක් අද ම කරමි” යි නොයෙක් ඇඳුම් කැඩුම් ආයිත්තම් ඇඟ කර පළඳිවා මහත් වූ ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්ත කොට විහාරයට කැඳවා ගෙණ ගොස් තෙරුන්ට භාර කළා ය.
තෙරණුවෝ “දරුව! මහණකම් කෙරුම් පහසු නැත, එය තදින් දුක් විඳිය යුතු වැඩෙකි, දුක් නැති කිරිමට කළ යුත්තේ මහණකම වුව ද, එය රැකීම, එයට අනුව වැඩ කිරීම ඉතා අසීරුය, එහෙයින් ඔය ලමයාට ඒ මහණකම කළ හැකි දැ?” යි ඇසූ හ. “මහණ වන්නට කැමැත්තෙමි, හාමුදුරුවන් වහන්සේ කියන්නේ යම් හැටියක් නම් ඒ හැටියට මට කළ හැකි ය” යි ඒ දරු කීයේ ය. තෙරුන් වහන්සේ කමටහන් කියවා ඔහු පැවිදි කළහ. මවු පියෝ එහි ම නවාතැන් ගෙණ, එක් දවසක් බුදුරජුන් ප්‍රධාන සංඝයා වහන්සේට, නන් රසමසින් යුත් බොජුන් පිළිගන්වා සත් දවස ගෙවා, ගෙවලට ගියහ. අටවන දා මහ තරණුවෝ වෙහෙර වැසි භික්‍ෂූන්, ගම් බලා වැඩි කල්හි කුඩා නම ලවා, පා සිවුරු ගන්වා. පිඩු පිණිස ගමට වැඩියහ. හෙරණ තෙමේ අතරමග තුබූ ඇල දොළ ආදිය දැක, පණ්ඩිත තෙරණුන් සේ මහ තෙරුගෙන් ද ප්‍රශ්න ඇසී ය. උන්වහන්සේ ඒ හැම ප්‍රශ්නයකට ම පිළිතුරු දුන්හ. එවිට හෙරණ තෙමේ “හාමුදුරුවන් වහන්සේ තමන් වහන්සේගේ පා සිවුරු ගන්නා සේක් නම්, මම මෙහි නවතිමි” යි කී ය.
එකල්හි කිසිත් නො බැණ පා සිවුරු ගෙන්වා ගත්හ. ඉක්බිති හෙරණ තෙමේ “හිමියනි! මට කෑම ගෙනෙන්නේ නම්, නන් රසින් යුත් බොජුනක් ම ගෙන ආ යුතු ය” යි ඉල්ලීය. “තමුසේ කියන ඔය රසවත් බොජුන් මම කො තැනින් ලබම් දැ?” යි ඇසූ විට “හිමියෙනි! හාමුදුරුවන් වහන්සේගේ පිනෙන් නො ලැබෙන්නේ නම්, මාගේ පිනෙන් ඒ ලැබෙන්නේය” යි කී ය. ස්ථවිරයන් වහන්සේ දොර යතුරු ලා, යතුර හෙරණුන් අතට දී, ගමට පිඬු සිඟා වැඩි සේක. හෙරණ, ඒ අතර විහාරයට අවුත්, තෙරුන් වසනා කාමරයෙහි දොර හැර, ගෙට ඇතුල් ව, දොරගුලු ලා, සිය සිරුර ගැණ නුවණින් කරුණු සිතමින් හුන්නේ ය. ඔහුගේ ගුණ තෙදින් සක්දෙව් රජුගේ පඬු ඇඹුල් අසුන තදින් රත් වී ගියේ ය. සක්දෙව් “ඒ කිමැ” යි බලනුයේ හෙරණහු දැක “මහණදම් කරණ ඒ හෙරණන් වෙතට මා දැන් යා යුතු ය” යි සිවුවරම් මහරජහු ගෙවා “තෙපි ගොස් වෙහෙර අවට සිටි ගස් වැල්හි හිඳ, හඬන අරගල කරණ පක්‍ෂීන් පලවා රැකවල් කරවු” යි නියෝග කෙළේ ය. ඔවුහු එසේ කොට රැකවල් ගත්හ. සඳ හිරු දෙදෙන “තම විමන් ගෙණ සිටිවු” යි කළ නියෝගය මැනවින් ඉටු කළහ. තෙමේත් අගුල්කණුව අරක් ගෙණ සිටියේ ය. වෙහෙර හැම තැන නිහඩ විය. හෙරණ තෙමේ එකඟ සිතින් විදසුන් වඩා අනගැමිබවට පැමිණියේ ය.
මහාස්ථවිරයන් වහන්සේ. “හෙරණුන් නන්රසින් යුත් බොජුනක් ගෙනෙන්නැ යි කියන ලද්දේ ය, එය කවරකුගේ ගෙයින් ලැබිය හැකි දැ” යි සොයනුවෝ සැදැහැති ගෙයක් දැක ඒ බලා වැඩි සේක. ඒ ගෙයි උදවිය ඉතා සතුටු ව “හිමියෙනි! ඔබ වහන්සේ මෙසේ කළහු අපගේ පිණ කැ” යි උන්වහන්සේ වඩා හිඳුවා, කැඳ අවුලුපත් පිළිගන්වා, දන් වළඳන තුරු බණ වදාරණු මැනවැ” යි ආරාධනා කළහ. උන්වහන්සේ ඔවුනට සිහි කටයුතු වූත් සිත් ඇලවිය යුතු වූත් බණක් දෙසූහ. අනතුරු ව ඔවුහු උන්වහන්සේට නත්රසැති බොජුන් පිළිගැන් වූහ. උන්වහන්සේ එය හෙරණුන් පිණිස ගෙන යන්නට සූදානම් වනු දැක “ස්වාමීනි! ඔය ටික හාමුදුරුවන් වහන්සේ වළඳනු මැනවි, මෙහි තවත් බොජුන් තිබේ, ගෙණ යන්නට එයින් පිළියෙල කරන්නෙමු” යි කීහ. උන්වහන්සේ එය වැළදූහ. ඉන් පසු ගෙයි උදවිය නැවත පාත්‍රය ගෙණ ඒ පුරා බොජුන් පිළිගැන්නූහ. උන්වහන්සේ එය රැගෙන “හෙරණ බඩ ගින්නේ ය” යි කඩිනම් අර කොට වෙහෙරට වැඩි සේක.
එදවස උදෑසන බුදුරජානන් වහන්සේ වළඳා අවසන් කොට වෙහෙර ගඳකිළියෙහි වැඩ හිඳ “අද සුඛ හරණ ගුරුන් අතට පාත්‍රය දී මහණදම් කරමි යි වෙහෙර රැඳුනේ ය, එහෙයින් ඒ නමගේ අදහස මුදුන් පැමිණියේ දැ යි බැලිය යුතු ය” යි විමසූහ. ඒ වේලෙහි උන්වහන්සේට සුඛ හෙරණුන් අනගැමි වූ බව පෙණී ගියෙන්, වඩාත් විමසන සේක් “අද ම මෙතෙමේ රහත් වන්නටත් පොහොසත් ය, ශාරිපුත්‍රත් හෙරණ බඩගින්නේ ය යි කඩිනම් කොට අහර ගෙණ එන්නේ ය, යම් ලෙසකින් හෙරණ රහත් වන්නට කලින් අහර ගෙණ ආයේ නම්, එය මොහුට අනතුරෙක් වන්නේ ය, එ හෙයින් මා එහි ගොස් දොරකඩ රැකවල් ගත යුතු ය” යි ගඳකිළියෙන් නික්ම අවුත් දොරකඩ අරක් ගෙණ සිටි සේක. ඒ වේලහි ම ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අහර ගෙණ එතැනට ආහ. යට කියා ඇති පිළිවිසුම් විසඳු හෙරණ තෙමේ එකෙණෙහි ම රහත් වි ය.
බුදුරජානන් වහන්සේ සැරියුත් තෙරුන්ට කතා කොට. “කුඩා නමට අහර දෙව” යි වදාළ සේක. “උන්වහන්සේ කාමරය වෙතට ගොස් දොරට තට්ටු කළහ. හෙරණ දොර හැර එලියට බැස තෙරුන්ට වත් දැක්වී ය. “දන් වළඳව” යි තෙරුන් වදාළ කල්හි, තෙරුන්ට බතින් වැඩක් නැති බව දත් හෙරණ නිවන් ගැන සිත සිතා ප්‍රත්‍යවේක්‍ෂා කරමින් දන් වළඳා පාත්‍රය සෝදා තැබී ය. එ වේලෙහි සිවු වරම් රජහු, රැකවල් හැර ගිය හ. සඳ - හිරු, සිය විමන් හළහ. සක්දෙව් තෙමේත්, රැකවල් හැර සිටියේ ය. ඉරත් අහස මැද ඉක්මවා ගිය පෙණින. භික්‍ෂූන් වහන්සේලා ඒ අතර දැන් සවස් කාලය වේ, හෙරණ වළඳා අවසන් කළේ දැන් ය, කිම අද උදය කාලය අධික වේ ද? සවස් කාලය මද වේ දැ” යි කතා කරන්නට වූහ. එකල්හි එහි වැඩි බුදුරජානන් වහන්සේ ඒ කතාව අසා “ඔව්! මහණෙනි! පින්වතුන් මහණදම් පුරණ විට එසේ වන්නේ ය, අද සිවුවරම් රජහු, සක්දෙව් රජ, සැමතැන අරක් ගෙණ සිටියහ, සඳහිරු, සිය විමන්හි ම හුන්හ, මමත් දොරකඩ අරක් ගෙණ සිටියෙමි, සුඛ හෙරණ ඇල දොළින් දිය ගන්නා දියාලුවන්, දැව දඬු සසින්නා වූ දඬුවඩුවන්, හී ඇද හරින්නා වූ හී වඩුවන්, රියසක් කරණ රියවඩුවන් දැක, ආත්මදමනය කොට රහත් වී ය” යි මේ ධර්‍මදේශනාව කළ සේක,
උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තෙජනං,
දාරුං නමයන්තී තච්ඡකා අත්තානං දමයන්ති සුබ්බතාතී.
දියාලුවෝ දිය ගෙණ යති. හී වඩුවෝ හී දඬු නමති. වඩුවෝ දැව නමති. සුවචයෝ තමන් දමති.
උදකං හි නයන්ති නෙත්තිකා = දියාලුවෝ තමන් කැමැති තැනට දිය ගෙන යති.
උසුකාරා නමයන්ති තෙජනං = හීවඩුවෝ හීදඬු නමති.
දාරුං නමයන්ති තච්ඡකා = වඩුවෝ දැව නමති.
අත්තානං දමයන්ති සුබ්බතා = සුවචයෝ තමන් දමනය කරති. [1]
සුවසේ අවවාද කට හැකි, අනුශාසනා කට හැකි සුවසේ කිය හැකි, කියන්නට පහසු වූ කියන හැම හිතයක් මුදුනෙන් පිළිගන්නා වූ මවුපිය ගුරුවර ඈ වැඩිහිටි අයගේ බස් පිළිගන්නා වූ අය වෙති සුබ්බතයෝ. ‘සුඛෙන ඔවදිතබ්බා අනුසාසිතබ්බාති සුබ්බතා’ යනු දන්නේ ය. ‘සුවද’ යන්නෙහි ‘ද’ කාරයට ‘ත’ කාර ව වකාරය දෙකක් කොට එයට ‘බ’ කාර ව ‘සුබ්බත’ යනු නිපන්නේ ය.
තවද යම් කෙනෙක්, දැඩි වූ පරුෂ වූ කර්‍කශ වූ වචනයෙන් කියන කල ද, එය ඉවසත් ද, නො කිපෙත් ද, මනා කොට නුවණින් කල්පනා කොට අවවාදානුශාසනා දැඩි ව ගණිත් ද, “ඔවදථ භන්තෙ! අනුසාසථ, තුම්හෙසු අනොවදන්තෙසු කො අඤ්ඤො ඔවදිස්සති” යනාදීලෙසින් වැඩියක් වැඩියක් ම අවවාදානුශාසනා ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත් ද ඔවුහු ය සුබ්බතයෝ.
“යො පන ඔවදියමානො සාධු භන්තෙ! සුඨු වුත්තං අත්තනො වජ්ජං අත්තනො දුද්දස්සං හොති, පුනපි මං එවරූපං දිස්වා වදෙය්‍යාථ අනුකම්පං උපාදාය, චිරස්සං මෙ තුම්හාකං සන්තිකා ඔවාදො ලඩොති වදති, යථානු සිට්ඨං ච පටිපජ්ජති, සො විසෙධිගමස්ස අවිදුරො හොති, තස්මා එව පරස්ස වචනං සම්පටිච්චිත්‍වා කරොන්තා සුවචොති” යන මෙයිනු දු සුවචයා කවරෙක්ද යනු පැහැදිලි වන්නේ ය. වැඩිහිටියන් විසින් අවවාද කරණු ලබන යමෙක් “වහන්ස! කියන ලද්දේ යහපතෙක, තමාගේ වරද තමාට නො දත හැකි ය, නැවතත් මා පිළිබඳ වරදක් දුටුකල මට අනුකම්පා පිණිස කියනු මැනව, ඔබ වෙතින් අනුශාසනාවක් ලදී බොහෝ කලකින් ය” යි අවවාදානුශාසනා ලෙසින් පිළිපදී ද, ඔහු විශේෂාධිගමයෙන් ඈත් වූවෙක් නො වේ. එහෙයින් මෙසේ අනුන් බස් පිළිගෙණ කරන්නේ සුවචයා ය, යනු එහි අදහස ය.
අප්පිච්ඡතා, අනත්තුක්කංසනතා, අක්කොධනතාදිය සුවචබව කරණ දහම් ය. ඔවුහු සොළොසෙකි. මජ්ඣිමනිකායයෙහි අනුමාන සූත්‍රයෙහි එන්නේ ය. එහෙයින් මේ දහම්වලින් යුක්තයෝ ම සුවචයෝ ය. කීකරු හු ය. කියන්න ඉවසන්නෝ ය. අවවාදයෙහි නො ද කිපෙන්නෝ ය. අවවාදය බලාපොරොත්තු වන්නෝ ය.
“සුවචො පන දුවිධො හොති එකච්චො සිතබ්බො එකච්චො න”
පැසසිය යුත්තේ ය, නො පැසසිය යුත්තේ ය යි සුවච තෙමේ දෙවැදැරැම් ය. එහි යමෙක් බතට බුලතට සිවුරට රෙදි කඩට ඇඳට පුටුවට ගිලන්පසට සැලකිල්ලට යන ඈ සිවුපසයට, කීකරු වන්නේ නම්, ඔහු නො ද පැසසිය යුත්තේ ය. ගණන් නො ගත යුත්තේ ය. ඔහු සුවච වුව ද සුවචැ යි නො ගැණේ. යමෙක් දහමට ගරු කරමින් දහමට පුදමින් සුවච බවට පැමිණේ ද, ඔහු ම පැසසිය යුත්තේ ය. සුවච වූයේ ය. “නාහං තං භික්ඛවෙ! භික්ඛු සුවචොති, වදාමි චීවර -පෙ- භෙසජ්ජපරික්ඛාරහේතු සුවචො හොති, සොවවස්සතං ආපජ්ජති. තං කිස්ස හෙතුං තං හි සො භික්ඛවෙ! භික්ඛු -පෙ- පරික්ඛාරං” යනු දේශනා ය.
රාධ බමුණු තෙමේ සැරියුත් මහ තෙරුන්ගේ ශිෂ්‍යයකු ලෙස මේ සසුනෙහි පැවිදි විය. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඔහු කැටුව වනයට වැඩියෝ එහිදී “මේ හළ යුතු ය, මේ කළ යුතු ය, මෙසේ පිළිපැදිය යුතු ය” යන ඈ ලෙසින් නිතර අවවාද කරණ සේක. රාධ තෙමේ ද ගුරුන්ගේ අවවාදයට නැමී අවවාද පරිදි පිළිපැදීමෙන් වැඩි දවස් නොයා දී ම රහත් විය. ඉන් පසු සැරියුත් මහ තෙරණුවෝ ශිෂ්‍යයා ද කැටු ව බුදුරජුන් වෙන පැමිණියෝ “සැරියුත! ශිෂ්‍යනම කීකරු ද, සුවච දැ?” යි අසා වදාළ කල්හි “ස්වාමීනි! එසේ ය, ඒ නම කීකරු ය දොසක්, වරදක් පෙන්වා අවවාද කළාට නො කිපෙයි, අමනාප නො වෙයි, කවදාත් නො කිපුනේ ය, අමනාප නො වූයේ ය” යි කීහ. බුදුරජානන් වහන්සේ ඔහු ඉදිරියට තබා, භික්‍ෂූන්ට අවවාද කරණ සේක් “මහණෙනි! රාධයා මෙන් කීකරු විය යුතු ය” යි වදාරණ සේක.
යමෙක් තමන්ගේ සුවචබව හේතු කොට අවවාදකයාගේ වචන කෙරේ නම්, අවවාදය අනුව පිළිපදී නම්, ඔහු සැප විඳියි. තිපල්ලත්‍ථ ජාතක, භිසපුප්ඵ ජාතක බැලිය යුතු ය.
මෙම සිරිලක එදා සිරීසවත්‍ථු නම් යක්‍ෂ නගරයෙක් විය. මුහුදු ගමනෙක යෙදී හුන් වෙළඳුන් සමූහයක් තමන් නැගී ගත් නැව් කැඩී ගියෙන් එනුවර යාබද ව තුබූ මූදු වෙරලට ගොඩ බටහ. යකින්නෝ ඔවුන් දැක පොළොඹවා නුවර තුළට ගෙණ ගොස් අත් පා බැඳ සිර ගෙයක ලා ඇවරූහ. පසු දවස්හි ඔවුන් තම හිමියන් කොට ගෙණ කලක් සිරගෙයි අවුරා ගෙණ සිටි මිනිසුන් මරා කෑහ. එකල්හි දෙටු වෙළඳ තෙමේ මෑලා යකින්නන් බව දැන ඒ බව තම පිරිසට කියා එතැනින් සැඟවී යන්නට කථා කෙළේ ය. සමහර කෙනෙක් එයට සතුටු නො වූහ. එවිට ඔහු තම බස් පිළිගත් වෙළඳුන් හා එක්ව සැඟවී ගියේ ය.
එදවස මහසත් තෙමේ හිමවත වස්සවලාහක අස්රජෙක් ව ඉපද සිටියේ ය. අහසින් යන්නේ ය. සෘද්ධිමත් ය. හිමවතින් මෙහි අවුත් සයංජාත හැල් අනුභව කොට යන්නේ ය. යන්නේ ද “ජනපදයට යන්නෝ වෙත් නම්, මා හා එත්වා” යි මිනිස් බසින් කියා, එ බස් පිළිගත්තන්, තම පිට නංවා ගෙණ යන්නේ ය. ඇතැම් කෙනෙක් වාලධිය ගෙණ යති. එදා ද මහසත් තෙමේ අහස යන්නේ මේ දැන සිරීසවත්‍ථු නුවරින් සැඟවී යැමට බලාපොරොත්තු ඇති ව සිටි වෙළඳුන් ගෙණ ඔවුන්ගේ ගම් රටට පමුණුවා ලී ය. කෙනෙක් සැඟවී නො ගොස් එහි ම රැඳී ගත්හ. එයට කිහිප දිනකට පසුත් එසේ ම කැඩී බිඳී ගිය නැව් කිහිපයක මිනිස්සු එහි ගොඩ බටහ. යකින්නෝ පෙර සේ ඒ මිනිසුන් තම හිමියන් කොට ගෙණ එහි සිටි වෙළඳුන් මරා මස් කෑහ. දෙටු වෙළඳාගේ වදන් පිළිගෙණ සැඟවී ගත් වෙළඳුන්ගේ දිවි රැකුනේ ය.
මෙසේ ආචාර්‍ය්‍යොපාධ්‍යායයන්ගේ මවුපියන්ගේ වැඩිමහල්ලන්ගේ අවවාදයට වචනයට නො නැමෙන්නෝ වදන් නො පිළි ගන්නෝ එලෝ මෙලෝ දෙකින් ම විනාශයට යන්නෝ ය. අවවාදය කරන්නෝ සැපයට යන්නෝ ය
එහෙයින් වදාළ සේක බුදුරජහු;
“බුදුන් දෙසූ ඔවදන් - යම් කෙනෙක් නොකරත් නම්,
රකුසියන් ගත් වෙණඳුන් - වැනි ව ඔවුහු නැසෙති.
බුදුන් දෙසූ ඔවදන් - යම් කෙනෙක් කරතී නම්,
වලාදෙවි ගත් වෙණඳුන් - වැනි ව තෙර යෙත් ඔවුහු”
යි. ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියාහු ය.
සුඛසාමණේර වස්තුව නිමි.
6-5 ‘උදකංහි නයන්ති නෙත්තිකා’ යනු බලනු. ↑