අලඞ්කතො චෙ’පි සමං චරෙය්‍ය
සන්තො දන්තො නියතො බ්‍රහ්මචාරී
සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං
සො බ්‍රාහ්මණො සො සමණො ස භික්ඛු.
වස්ත්‍රාභරණයෙන් සැරැසුණු පුද්ගල ද ඉදින් (කායවිෂමතාදියෙන් තොර වැ) කායසමාධි සංයමයෙහි යෙදී පවතී ද, (රාගාදී කෙලෙසුන් සංහුන් බැවින්) ශාන්ත ද, ඉන්‍ද්‍රිය දමනයෙන් දැමුනේ වී ද, (චතුර්විධ මාර්‍ග නියමයෙන්) නියම කරණ ලද සත්තක්ඛත්තුපරමතා ආදි බව් ඇත්තේ වේ ද, ශාසනබ්‍රහ්මචර්‍ය්‍ය මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය ඇත්තේ වේ ද, සියලු සතුන් කෙරෙහි (කායදණ්ඩාදි) දණ්ඩ බහා තබා දුරු කොට වෙසේ ද, මෙ බඳු ගුණයුක්ත වූ ඒ රහත් තෙම (බාහිත පාප ඇති බැවින්) බ්‍රාහ්මණ නමුදු වේ. (සංසිඳුණු පව් ඇති හෙයින්) සමණ නමුදු වේ. (බුන් කෙලෙස් ඇති බැවින්) භික්‍ෂු නමුදු වේ.
කොසොල් රජුට සන්තති යි මහ ඇමැතියෙක් විය. රජුට අයත් රටෙහි එක් පළාතක් රජුට විරුද්ධව නැගී සිටි කල්හි මේ ඇමැති තෙමේ ඒ පළාත සෙමෙහි තබන්නට එහි ගියේ ය. ගොස් එහි නැගී සිටි කැරැල්ල සන්සිඳවා අවුත් රජුට ඒ බව සැළ කෙළේ ය. සතුටු වූ රජ තෙමේ ඇමැතියාට සත් දවසක් රජකම කරන්නට කියා පවරා දී නැටීම්, ගී කීම්හි දක්‍ෂ වූ නළඟනක ද දුන්නේ ය. ඒ සත් දවස ම සුරා බී මත් වූ ඇමැති තෙමේ සත්වන දා මැනවින් හැඳ පැළඳ සැරසී ඇතකු පිට නැගී දිය නාන්නට යනුයේ, වාහල්කඩ අසල දී පිඬු සිඟා වඩනා බුදුරජුන් දැක, ඇතු පිට හිඳ හිස නමා වැඳ නික්ම ගියේ ය.
එහි දී බුදුරජුන් සිනා පහළ කරණු දැක ආනන්‍ද ස්ථවිර තෙමේ “ස්වාමීනි! කුමක් නිසා සිනා පහළ කළ සේක් දැ?” යි ඇසී ය. “ආනන්‍ද! අර යන්නහු දුටු වහු ද, ඒ සන්තති ඇමැතියා ය. ඔහු අද මා ඉදිරියට එන්නේ ය. එන්නේ ද ඇති තරම් අබරණ ඇඳ පැළඳ ගෙණ ය. මා ඉදිරියෙහි දී සිවුපද ගයක් අසා ඒ අවසන්හි රහත් වන්නේ ය. රහත් ව සත් තලක් අහසට නැගි පිරිනිවෙන්නේ ය” යි උන්වහන්සේ වදාළ සේක. එහි හුන් හැම දෙනාට බුදුරජුන්ගේ මේ කතාව ඇසින. මිසදිටු ගත්තෝ “පින්වත්නි! ශ්‍රමණ ගෞතමයාගේ කතාවක හැටි බලන්න. කටට ආවක් ම ඔහු කියයි. උගුර තෙක් සුරා බී මත් ව සීසන් නැතු ව සිටුනා සන්තති ඇමැති හොඳට ඇඳ පැළඳ සැරසී ඔහු වෙත අවුත් බණ අසා පිරිනිවන් පාන්නේය, යි කියයි. ශ්‍රමණ ගෞතමයා ඔය අන්දමේ කතා කීමට ගජ සමතෙක් ය. ඔහු මේ වර නම් බොරු දෙසා බාන්නෙකු කළ ද යුතු ය” යි කතා කළහ. සම්දිටු ගත්තෝ “පුදුමය බුද්ධානුභාවය, අද බුදුරජුන්ගේ හැටිත් සන්තති ඇමැතියාගේ සැටිත් දැක්ක හැකිය” යි හඬ නැගුහ.
ඇමැති මුළු දවල් දවස නාන තොටෙහි දිය කෙළ දියෙන් ගොඩ නැගී උයන් ගොස් සුරාපානය කරන්නට සිතා එහි වූ සුරා ශාලාවහි හිඳ ගත්තේ ය. ඒ වේලෙහි නළඟන ද ඔහු ඉදිරියෙහි බැස නැටීමට හා සින්දු කීමට පටන් ගතු. ඕ සතියක්ම බඩ පුරා කෑම නො ගත්තා ය. කැවා යන්තමක් ය. බඩ පුරා කා නටනු නො හැකි බැවින් ඕ එසේ ටිකක් ම කෑවා ය. සතියක් ම සෑහෙන පමණට නො කා නො බී නටන කල්හි මහන්සිය බලවත් ව ගියෙන් ඇයගේ කුසතුළ බඩවැල් කපා හරින්නා සේ රුදා ඇති කරමින් නැගුනු ශස්ත්‍රවාතය පපුමස සිඳ හෙළී ය. එකෙණහි ම ඕ මළා ය. ඇමැති ඒ දැක බලවත් ශෝකයෙන් මැඩී ගියේ ය. සතියක් පැවැති වෙරිමත උණු කබලෙහි ඉසි දිය බිඳක් සේ ඒ වේලෙහි ම සිඳී ගියේ ය. ශෝකය තව තවත් නැගුනේ ය. ඇමැති “මාගේ මේ ශෝකය සන්සිඳවන්නට බුදුරජුන් හැර අනෙකකුට නො හැකි ය. බුදුරජුන් හැර අනෙකෙක් මාගේ ශෝකය සන්සිඳවන්නට සමත් නො වේ” යි සිය පිරිසත් ගෙණ සවස් වේලෙහි බුදුරජුන් වෙත ගියේ ය. ගොස් “ස්වාමීනි! මාගේ නළඟන මළා. එයින් මා තුළ හට ගෙණ ඇති ශෝකය බලගතු ය. ඒ ශෝකය සන්සිඳවන්නට ඔබවහන්සේට හැර අනෙකෙකුට නො හැකි ය. එහෙයින් මම මෙහි ආමි, මට පිහිට වනු මැනවැ” යි සැළ කළේය. බුදුරජානන් වහන්සේ “බොහො ම කදිම ය ඔබ ගේ මෙහි ඊම, ශෝක සසිඳුවා ලීමෙහි පොහොසතුන් ලඟට ම ඔබ ආවහු ය, එහෙයින් මේ ඊම වැඩ දායක ය, මේ නළඟන මෙසේ ඔබ ඉදිරියෙහි මළ වාර ගණන ගිණිය නො හැකි ය, ඇය මැරුණු හැම වර ම ඔබ හැඬුවහු ය, එසේ ඔබ හඬන වේලෙහි ඔබ දෙ ඇසින් වැඟුරුණු කඳුලු සිවු සයුරෙහි දියටත් වැඩි ය” යි වදාරා;
“තට පෙර බවෙහි කළ - යම් කමක් වේ නම් එය
වියලව අනාබව්හි - රා ඈ කිසිත් දහමෙක්
නො ම වන්නේ ද මතු - බවෙහි රූ ඈ දහමුත්
නො ගණිහි නම් - (එකල) සන්සුන් ව හැසිරෙන්නෙහි”
යනුත් වදාළ සේක. මේ දෙසුම් අවසන්හි සන්තති මහ ඇමති තෙමේ රහත් වූයේ තම ආයුසංස්කාරය බැලී ය. බලා එය කල් නො පවත්නා බව දැන “ස්වාමීනි! මට පිරිනිවන් පාන්නට අවසර දුන මැනවැ” යි අයැද සිටියේය. බුදුරජානන් වහන්සේ ඔහු කළ කම් දන්නා සේක් ද “ඔබ පෙර කළ කම් මට කියවු, කියන්නහු ද සත්තලක් අහසට නැග අහස සිට කියවු” යි වදාළ සේක. උන්වහන්සේ මොහු කළ කම් දන්නා සේක් ද මෙසේ වදාළේ, එහි තමන් වහන්සේ අසත්‍යවාදියෙකැ යි කියා නිගන්නට රැස් ව හුන් මිස දිටු ගත්තවුන් පසු බස්සන්නට, බුද්ධානුභාවය හා සන්තති මහාමාත්‍යානුභාවය දකින්නට පැමිණ සිටි සම්දිටු ගත්තවුන් පින් කිරීමෙහි උත්සාහවත් කරන්නට ය.
සන්තති මහාමාත්‍යතෙමේ “යහපතැ” යි බුදුරජුන් වැඳ එක් තලක් අහස නැග බැස නැවතත් බුදුරජුන් වැඳ පිළිවෙළින් සත් තලක් අහස නැග එහි පළක් බැඳ හිඳ; ස්වාමීනි! මම මේ කපට එකානූවන කපෙහි විපස්සි බුදුරජුන් දවස බන්ධුමතී නුවර කුලගෙයක උපන්නෙමි, එහි දී වැඩිවිය පැමිණි මම අනුනට ගැහැටක් පෙළීමක් නො වන, තමන්ටත් පින් වැඩෙන, කටයුතු මොනවා දැ යි සොයා බැලිමි. බණ ඇසීම සඳහා එන්නන්ට කල් දැන්වීම එබඳු වැඩකැ යි මට සිත් විය, එතැන් සිට මම එය කෙළෙමි, මහජනයා එහි සමාදන් කරවීමි, පින් කෙළෙමි, පොහෝදා පෙහෙවස් විසීමි, දන් දීමි, බණ ඇසීමි, බුදුරුවන් ඈ තුන් රුවනට වැඩි තරම් රුවනෙක් ලොව නැතැ යි මිනිසුන් ලවා තුණුරුවනට සත්කාර කරවීමි, එය හඬ නගා කියමින් තැන තැන ගියෙමි, මා මෙසේ කියා ඇවිදින විට මාගේ කතාව ඇසූ බුදුරජුන්ගේ පිය වූ බන්ධුමන්තු රජ තෙමේ මා ගෙන්වා “තෝ කුමක් කෙරෙහි දැ?” යි ඇසී ය. ඒ වේලෙහී මම “දේවයන් වහන්ස! තුණුරුවනෙහි ඇති ගුණ මා දන්නා තරමින් කියමින් මහජනයා පින්කම්හි යොදවමින් දවසරින්නෙමි” යි කීමි. එවිට රජ තෙමේ “ඇවිදිනෙහි කෙසේ දැ?” යි ඇසී ය. “පයින් ඇවිදිමි” යි මම කීමි. ඒ වේලෙහි රජ තෙමේ “පයින් ඇවිදීම අපහසු ය. එය ඔබ කරණ වැඩේට තරම් ද නො වේ. එහෙයින් මේ මල්වඩම කර ලා අර පෙනෙන අසු පිට නැගී ඇවිදින්නැ” යි කියා මුතු මාලයක් වැනි මලාවඩමක් හා අසකු නියම කොට දුන්නේ ය. එතැන් සිට මම රජු කී ලෙසට ඇවිද්දෙමි, රජ තෙමේ එසේ ඇවිදිනා මා, ටික කලක් බලා සිට නැවත ගෙන්වා සුදු අසුන් සිවු දෙනකු යෙදූ රියක් මට දුන්නේ ය. තෙවන වරකුත් මා ගෙන්වා පළඳින්නට අබරණත් තවත් නොයෙක් භෝයනුත් දෙවාලා ඇතකුත් දෙවී ය.
මෙසේ නොයෙක් වර රජුගෙන් සම්පත් ලැබූ මම ඒ කාලයේ ආයු පමණින් අසුසාර දහසක් අවුරුදු බණ අසන්නට එන්නැ යි කාලඝෝෂා කරමින් ඇතු පිට නැගී ඇවිද්දෙමි. ඒ කාලයේ මා මෙසේ කරණ අතර මා සිරුරෙන් සඳුන් සුවඳ හැමී ය මුවෙන් උපුල් මල් සුවඳ හැමී ය, ස්වාමිනි! මා මේ පෙර කළ කර්‍මය, යි කියා අහස හිඳම තේජෝධාතු කසිණයට සම වැද පිරිනිවන් පෑයේ ය. සිරුරෙන් ගිනි දැල් නිකුත් ව මස් ලේ නහර දැවී ගියේ ය. දෑ සමන් මල් මොට්ටු රැසක් සේ ඒ පමණින් ධාතු ඉතිරි විය. බුදුරජානන් වහන්සේ එහි යට බිම සුදු රෙද්දක් අතුරවා ලූහ. ධාතුහු එහි වැටී සිට ගත්හ. එහි රැස් ව සිටි මහ දෙනේ ධාතු වැඳ පිදී ය. බුදුරජානන් වහන්සේ ධාතු, පාත්‍රයෙක ලා ගෙන ගොස් සිවුමං හන්දියක දාගැබක් කරවූ සේක.
මෙදවස දම්සබාවෙහි භික්‍ෂුහු “සන්තති මහාමාත්‍ය තෙමේ දම් දෙසුම් අවසන්හි රහත් ව හැඳ සිටි ඇඳුම් කැඩුම් සහිතව ම අහසෙහි දී පිරිනිවි යේ ය. එහෙයින් මොහු ශ්‍රමණ යි හැඳින් විය හැකි ද, හැඳින් විය යුතු ද, බ්‍රාහ්මණ යි හැඳින් විය හැකි ද, හැඳින් විය යුතු ද, කිම මොහු ශ්‍රමණයෙක්, බ්‍රාහ්මණයෙක් වේ දැ” යි කතා කරන්නට වූහ. බුදුරජානන් වහන්සේ එහි වැඩි සේක් ඒ කතාව අසා “මහණෙනි මා පුත් ශ්‍රමණැ යි කිය යුතු ම ය” යි වදාරා ධර්‍මදේශනාව කළ සේක.
අලඞ්කතො චෙපි සමං චරෙය්‍ය
සන්තො දන්තො නියතො බ්‍රහ්මචාරී,
සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං
සො බ්‍රාහ්මණො සො සමණො ස භික්ඛූති.
සැරසුනේ නමුත් සම ව හැසිරෙන්නේ ද ශාන්ත ද දැමුනේ ද නියම කරණ ලද්දේ ද බඹසර ඇත්තේ ද සියලු සතුන් කෙරෙහි දණ්ඩනය බහා තබා සිටියේ ද බ්‍රාහ්මණ නම් හෙතෙමේ ය. ශ්‍රමණ නම් හෙතෙමේ ය. භික්‍ෂු නම් හෙතෙමේ ය.
අලඞ්කතො අපි = සැරසුනේ ද.
ශරීරාලඞ්කරණය යමකින් කරණු ලැබුවේ ද ඒ අලඞ්කාර නම්. මුක්තාහාරාදිය ය. අන් වස්ත්‍රාභරණාදිය ද මෙහි ඇතුළත් ය. මුක්තාහාරාදි අලඞ්කාරයෙන් සැරසුනේ, සරසන ලද්දේ අලඞ්කත නම් වේ.
චෙ = ඉදින් යම්ලෙසකින්.
සමං චරෙය්‍ය = සම ව හැසිරෙන්නේ ද.
කය - වචන - සිත යන ද්වාරත්‍රයයෙන් කෙරෙන පව්කම් හැර කාය සුචරිතාදියෙහි යෙදී ඉරියවු පැවැත්වීම සමචරණ යි ගැණේ. කායසුචරිතාදිය, කායාදීදොරටු සම කරණ බැවින් සම යි ද, කායදුශ්චරිතාදිය, කායාදි දොරටු විසම කරණ බැවින් විසම යි ද කියනු ලැබේ. මෙයින් ගැණෙනුයේ පව්කමින් දුරු ව කායසමාධි සංයමයෙහි යෙදී වසන්නේ ය.
සන්තො = ශාන්ත ද, ඇලන කිපෙන මුළාවන ගති නැත්තේ ද.
යමෙක් අරමුණෙහි ඇලේ නම්, අරමුණෙහි හැපේ නම්, අරමුණෙහි මුළා වේ නම් ඔහු ශාන්ත නො වේ. නො සන්සිඳුනේ ය. එසේ නො ද බැඳෙන්නේ, නො ද කිපෙන්නේ, නො ද මුළා වන්නේ ශාන්ත නම් වේ. ‘රාගාදිවූපසමෙන සන්තො, නිබ්බුතලෙ සොති සන්තො’ යනු අටුවා ය.
දන්තෝ = දැමුනේ ද.
දන්තභූමියට පැමිණියේ දන්ත නම්. දන්තභූමි නම් රහත් පලය යි. ඇස් - කන් - නාස් ඈ ඉඳුරන්ගේ ඒකාන්ත දමනය රහත්ඵලයට පැමිණීමෙන්ම වන බැවින් එසේ කියන ලද්දේ ය. ඇස් - කන් - නාස් ඈ රූප ශබ්දාදීන් හා ගැටීමෙන් පහළ වන ජවනචිත්තාවස්ථාවෙහි යෝනිසොමනසිකාරය ඇත්තේ ද ‘දන්ත’ නමි. ෂඩඞ්ගෝපේක්‍ෂා වශයෙන් ඉඳුරන් කෙරෙහි වූ උත්තමදමනයෙන් යුක්ත වූයේ ‘දන්ත’ නමි. ‘ ඡළඞ්ගුපෙක්ඛා වසෙන ඉන්‍ද්‍රියෙසු උත්තමදමනෙන දන්තො’ යනු ඒ කී සැටියි. මෙ ද ඒය. ‘ඉධ ඛීණාසවො භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති න දුම්මනො උපෙක්ඛබො විහරති සතො ච සම්පජානො’ යනු මේ ඈ ලෙසින් කිය වෙන රහතුන්ගේ ඇස් - කන් - නාස් ඈ සදොර ම ඉෂ්ට වූ හෝ අනිෂ්ට වූ රූ ඈ අරමුණක් හමු වූ කල්හි සිතෙහි පිරිසිදු වූ මුල් පැවැත්ම අත් නොහරිණ ලෙසින් පැවැති මැදහත්බව විඳීම ලකුණු කොට සිටි උපේක්‍ෂාව ‘ෂඩඞ්ගෝපේක්‍ෂා’ නම්. රහතුන් වහන්සේ ඉටු අරමුණෙන් සතුටු වන්නේ ද අනිටු අරමුණෙන් නො සතුටු වන්නේ නො වෙති. හැම අරමුණෙහි ම සිහි ඇතිව යහපත් නුවණ ඇති ව මැදහත් ව වෙසෙති.
‘දන්තො’ යනු කොටින් පහදන්නෝ ‘ දන්තොති නිබ්බි සෙවනො නිප්පරිඵන්දො’ යනු කීහ. නිබ්බිසෙවන වූයේ හෙවත් ඉඳුරන් දැමීමෙන් යුක්ත වූයේ, කිසි ලෙසකින් නො ද සැලෙන්නේ ය. දන්ත නම් හේ ය. කිසි ලෙසකින් නො ද සැලෙන්නේ යි කීයේ ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද රූ ඈ කිසි අරමුණක් විසය කොට සතුටු නො සතුටු බවට නො පැමිණන්නේ රූ ඈ අරමුණකින් කම්පිත නො වන්නේ ය. නො සැලෙන්නේ ය යනුයි. මේ ම අන් ලෙසකින් විස්තර පහදන්නෝ ‘ කිලෙසවිප්ඵන්දරහිතචිත්තතාය දන්තො’ යනු කීහ. යමෙකුගේ සිත . රාගාදී කෙලෙසුන්ගෙන් නො සැලේ ද කෙලෙස් සැලුම්වලින් තොර වූයේ ද ස්ථිර ව පිහිටියේ ද හේ දන්තය යනු එහි තේරුම ය.
“දන්තොති නිබ්බිසෙව නො, දන්තහත්‍ථිඅස්සාදිසදිසො. චක්ඛුතොපි දන්තො -පෙ- මනතොපි දන්තොති දන්තො. සබ්බද්වාරවිසෙවනං හිත්‍වා අරියෙන දමථෙන දන්තභූමිං පත්තොති දන්තො. උත්තමෙන දමෙන අග්ගමග්ගදමථෙන දන්තොති දන්තො. චතුමග්ගසඞ්ඛාතාය දන්තාය දන්තොති දන්තො. සිඛ්ඛීතසික්ඛොති දන්තො. සුපරිසුද්ධකායසමාහාරතාය චෙව හත්‍ථපාදකුක්කුච්චාහාවතො දවාදිඅභාවතො කායෙන දන්තොති දන්තො” යනු දන්ත යන්නහුගේ අර්‍ත්‍ථකථාවෝ ය. මෙකී අර්‍ත්‍ථකථාවන්ගෙන් පූර්‍ව භාගයෙහි ඉඳුරන් දැමීමෙන් වන දැමීමත්, අපරභාගයෙහි ආර්‍ය්‍යමාර්‍ගභාවනා වෙන් වන දැමීමත් කියවේ.
නියතො = නියම කරණ ලදේ.
චතුර්විධමාර්‍ග නියමයෙන් නියම කරණ ලද්දේය යි කියූ සේ යි. සෝතාපන්න - සකදාගාමී - අනාගාමී ආර්‍ය්‍යපුද්ගලයන් ගැන එක බීජි - කොලංකොල - සත්තක්ඛත්තුපරමතාදි නියමය, මාර්‍ග නියමය යි කියන ලද ය. මාර්‍ග නියමයෙන් නියත වූවහුගේ භවෝත්පත්තිය ද නියත ය.
බුදුරජානන් වහන්සේ දෙව්රම් මහවෙහෙර වැඩ වසන දිනෙක අනේපිඬු සිටු තෙමේ එහි ගොස් බුදුරජුන් වැඳ පසෙක හුන්නේ ය. බුදුරජානන් වහන්සේ සිටු අමතා “ගැහැවිය! යම් දවසෙක ආර්‍ය්‍ය ශ්‍රාවකයා පිළිබඳ භය වෛර චේතනාවෝ සන්සුන් වූවාහු ද සිවු වැදෑරුම් වූ සෝතාපත්ති අඞ්ගයන්ගෙන් යුක්ත වූයේ ද ප්‍රතීත්‍ය සමුත්පාදඥානය හෝ ප්‍රතිත්‍යසමුත්පාදය ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය යමකු විසින් විදසුන් නුවණින් මොනවට අවබෝධ කරණ ලද්දේ වේ ද ‘ඔහු කැමැත්තේ නම් ඔහුට, මම ක්‍ෂය කළ නිරය තිරච්ඡාන යෝනිය පෙත්තිවිසය ඇත්තේ වෙමි, පහ කළ අපායෝත්පත්ති ඇත්තේ වෙමි, සෝතාපන්න වෙමි, අනුනට යටත් වූ පැවැතුම් නැත්තේ වෙමි, ප්‍රථම මාර්‍ග සඞ්ඛ්‍යාත සම්මත්ත නියමයෙන් නියම කරණ ලද්දේ වෙමි, මත්තෙහි වූ මාර්‍ගත්‍රයසඞ්ඛ්‍යාතසම්බෝධිය උතුම් වූ මාර්‍ගය කොට සිටියේ ඒකාන්තයෙන් සම්බෝධිය අවබෝධ කරන්නේ වෙමි, යි කිය හැකි ය.
ගැහැවිය! සතුන්මැරීම, සොරකම්කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම, රහමෙරබීම යන අකුසල් කිරීමෙන් මෙලොව පරලොව දෙක්හි ඒ කරන්නහුට සිදුවන පස් වැදෑරුම් භය වෛර චේතනාවෝ, දුක් දොම්නස්, සතුන් මැරීම් ආදියෙන් වැළකී සිටින්නහුට නො වන්නාහ. ඔහු පිළිබඳ මේ පස් වැදෑරුම් භය වෛරයන් සන්සිදෙන සැටි ය.
ගැහවිය! ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ බුදුන් කෙරෙහි නො නැසුනු නො සැලුනු පැහැදීම, දහම් කෙරෙහි නො නැසුනු නො සැලුනු පැහැදීම, සඟුන් කෙරෙහි නො නැසුනු නො සැලුනු පැහැදීම, ආර්‍ය්‍යයන් කෙරෙහි වූ ප්‍රියශීලීභාවය යන චතුර්විධ සෝතාපත්ති අඞ්ගයන්ගෙන් යුක්ත වේ. මේ ආර්‍ය්‍යශ්‍රාවකයා පිළිබඳ සෝතාපත්ති අඞ්ග සතර ය. ප්‍රතිත්‍යසමුත්පාදය හා ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්‍ගය දැනීම ආර්‍ය්‍යය වූ න්‍යාය දර්‍ශනය වේ.
ගැහැවිය! මෙසේ ඇති කල්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මාර්‍ග නියමයෙන් නියමිත වේ” යි වදාළ සේක.
මාර්‍ගනියමයෙන් නියමිත වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දිවි ගැලවීගිය ද කිසිත් සංස්කාරයක් නිත්‍ය විසින් සුඛ විසින් ආත්ම විසින් නො පිළිගනියි. කුරුකුහුඹියකුගේ පවා දිවි නො ගලවයි. “සක්විති රජය දෙන්නෙමු” යි කීව ද සතකු නො මරයි. තථාගත ශරීරයෙහි ලේ නො සොලවයි.
“සහාවස්සදස්සනසම්පදාය
තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කායදිට්ඨි විචිකිච්ඡිතං ච
සීලබ්බතං වාපි යදත්‍ථි කිඤ්චි
චතුහපායෙහි ච විප්පමුත්තො
ඡ චාභිඨානානි අභබ්බො කාතුං
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං”
යන මෙයිනුදු පළ වන්නේ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ නියතභාවය යි. සෝතාපන්න පුද්ගල තෙමේ සෝවාන්වීම සමග ම සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන ක්ලේශවෘත්තය දුරු කිරීමෙන් නිරය - තිරච්ඡානයෝනිය - පෙත්තිවිසය - අසුරකාය යන විපාකවෘත්තයෙන් මිදුනේ විපාකවෘත්තයට මුල් වු කර්‍මවෘත්තයෙහි ඇතුළත් ඖදාරික කර්‍ම වන මාතෘඝාතනාදී ආනන්තර්‍යකර්‍මයන් අන්‍ය භවයකදීවත් නො කරන්නේ ය යනුයි.
බ්‍රහ්මචාරි = බඹසර ඇත්තේ ශ්‍රේෂ්ඨචර්‍ය්‍යා ඇත්තේ.
ශාසනබ්‍රහ්මචර්‍ය්‍ය මාගබ්‍රහ්මචර්‍ය්‍ය යි බ්‍රහ්මචර්‍ය්‍ය දෙ පරිදි ය. විස්තර මතු එන්නේ ය.
සබ්බේසු භූතෙසු = සියලු සතුන් කෙරෙහි
සබ්බ ශබ්දය අනවසෙස පරියාදාන බැවින් එක ද සතකුත් නො හැරය. ‘සබ්බෙ තසන්ති දණ්ඩස්ස’ යන්නට කළ පරිකථාව බලනු.
නිධාය දණ්ඩං = දණ්ඩනය බහා තබා. දඩුවම හැර.
සො බ්‍රාහ්මණො = හෙතෙමේ බ්‍රාහ්මණ වේ. බ්‍රාහ්මණ වූයේ හෙතෙමේ ය. විස්තර ඉදිරියෙහි එන්නේ ය. මෙහි බ්‍රාහ්මණ නාමයන් ගැණෙන්නෝ රහතුන් වහන්සේ ය.
සො සමණො = හෙතෙමේ ශ්‍රමණ වේ. ශ්‍රමණත් හෙතෙමේ ය.
යමෙකුගේ කායකර්‍මාදිය සන්සිඳී ගියේ නම් හෙතෙමේ ය. විස්තර මතු එන්නේ ය.
සො භික්ඛු = හෙතෙමේ භික්‍ෂු ය. භික්‍ෂු නමුත් හෙතෙමේ ය.
සසර බිය විසින් දක්නේ භික්‍ෂු නම් වේ. විස්තර මතු එන්නේ ය.
යමෙක් ඇඳුම් ආයිත්තමින් සැරසුනේ ද කායවිසමාදියෙන් තොර ව හැසිරෙන්නේ නම්, ශාන්ත නම්, දැමුනේ නම්, මාර්‍ග නියමයෙන් නියමිත නම් බඹසරින් යුක්ත නම්, කිසි සතකුටත් දඩුවම් නො කෙරේ නම්, ඔහු සිතින් බැහැර කළ පව් ඇති බැවින් බ්‍රාහ්මණ නම් වේ. සන්සිඳුවාලූ පව් ඇති බැවින් ශ්‍රමණ නම් වේ. කෙලෙසුන් බිඳ හැරපූ බැවින් භික්‍ෂු නම් වේ. “ සො එවරූපො බාහිතපාපත්තා බ්‍රාහ්මණොති පි සමිතපාපත්තා සමණොති පි භින්න කිලෙසත්තා භික්ඛුතීපි වත්තබ්බොයෙව” යනු අටුවා ය. මෙයින් ගැණෙන්නෝ රහතුන් වහන්සේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.
සන්තතිමහාමාත්‍ය වස්තුව නිමි.