න නග්ගචරියා න ජටා න පඞ්කා
නානාසකා ථණ්ඩිලසායිකා වා
රාජො ච ජල්ලං උක්කුටිකප්පධානං
සොධෙන්ති මච්චං අවිතිණ්ණකඞ්ඛං.
(පුබ්බන්තාපරන්තාදි අට තන්හි උපදනා අෂ්ටවස්තුක ශාඞ්කව නොඉක්මුණු හෙයින්) එ තෙර නො වූ ශාංකා මහවතුර ඇති පෘථග්ජන සත්ත්‍වයා (අචේලව්‍රත සමාදානයෙන්) නග්න වැ ඇවිද කරණ තපස්හු ද ශුද්ධ නො කරන්නාහ (ලොකනිඃසරණයට හෙවත් නිවනට නො පමුණු වන්නාහ). ජටාවෝ ද ශුද්ධ නො කරන්නාහ. දන්තමලධාරණය, ඇහැ මද ගැල්වීම යන මොහු ද ශුද්ධ නො කරන්නාහ. ආහාර නොවළදා කරණ තපස්හු ද ශුද්ධ නො කරන්නාහ. (අජව්‍රත ගෝව්‍රත සමාදානයෙන්) බිමැ හෙවැ කරණ තපස්හු ද ශුඬ නො කරන්නාහ. ආගන්තුක රජස් දැරීමය, නොනහා වෙරැ දැලි ඉසිලීම ය, උත්කුටිකායෙන් ම හිඳ ඇවිද කරණ තපස් ය යන මොහු ද (ඒ සත්ත්‍වයා) ශුද්ධ නො කරන්නාහ. (නිවනට නො පමුණුවන්නාහ).
සැවැත් නුවර වැසි කෙළෙඹියෙක්, සිය බිරිඳ මළ පසු පැවිදි වූයේ ය. පැවිදි වන්නේ තමන්ට විසීමට පිරිවෙණක්, වැඩ ගන්නට ගිනිහල් ගෙයක්, බඩු තබන්නට ගබඩාවක් කරවාලා ගිතෙල් මී හකුරු තෙල් ආදියෙන් ගබඩාව පුරවා තබා ම පැවිදි වූයේ ය. මෙහෙකරුවන් කැඳවා තමා කැමැති ලෙසින් බත් මාලු ඉදි කරවා ගෙණ අනුභව කරන්නේ ය. ඒ අතර සපයා ගත් සිවුරු පිරිකර මහත් රාශියක් ඔහු අයත් ව තුබුනේ ය. රෑ පොරෝණා තුන් සිවුර දාවල නො පොරවයි. දාවල පොරෝණා. තුන් සිවුර රෑ නො පොරවයි. රෑ දාවල වෙන වෙන සිවුරු දරයි. පන්සල් වත්ත කෙළවර තැනූ ගෙයක වෙසෙයි. ඔහු එක් දිනක් සිවුරු ඇඳ ඇතිරිලි ආදිය අව්වේ ලා වේලන වේලේ සේනාසන චාරිකාවෙහි යන භික්‍ෂූන් වහන්සේලා දැක “ආයුෂ්මතුනි! මේ හුඟක් සිවුරු ඇඳ ඇතිරිලි තා අයත් දැ?” යි ඇසූහ. “මාගේ ය” යි කී විට “ඇවැත! බුදුරජුන් විසින් මහණහුට අනුදන්නා ලද්දේ තුන් සිවුරක් ම ය, එයට වැඩි යමක් උන්වහන්සේ විසින් නො අනුදන්නා ලද්දේ ය. බුදු සසුන්හි පැවිදි ව මෙසේ බොහෝ පිරිකර ඇත්තේ වෙහි” යි කියා ඔවුහු මේ මහණ බුදුරජුන් ඉදිරියට ගෙණ ගියහ. ගෙණ ගොස් “ස්වාමීනි! මේ මහණහුට පිරිකර ගොඩක් තිබේ” යි දැන් වූහ.
එවිට බුදුරජානන් වහන්සේ “මහණ! මේ නම ලා කියන කාරණය සැබෑ දැ?” යි ඇසූහ. “ස්වාමීනි! සැබෑ” යි කී විට “මහණ! තමුසේ මා අප්පිච්ඡතා ගුණය ගැණ බණ කියද්දීත් කුමක් හෙයින් මෙසේ සිවුරු පිරිකර ගොඩක් රැස් කොට ගෙණ වසහු දැ?” යි අසා වදාළ සේක. මෙයින් කිපුනු ඒ මහණ, පොරෝණා සිවුර ගලවා විසි කොට, පිරිස මැද අඳනය පමණකින් සිටියේ ය. බුදුරජානන් වහන්සේ “මහණ! විළිබිය සොයන්නහු පෙර දියරකුසු කල්හිත් විළිබිය සොයමින් දොළොස් අවුරුද්දක් විසුවෝ නො වහු ද? කුමක් හෙයින් දැන් මෙසේ උතුම් බුදු සසුන්හි පැවිදි ව සිට පොරෝණය ගලවා දමා භය ලජ්ජා නැති ව සිටිහු දැ?” යි ඇසූහ. ඔහු බුදුරජුන්ගේ බස් අසා භයලජ්ජා උපදවා බැහැර ලූ සිවුර ගණ පොරොවා බුදුරජුන් වැඳ පසෙකට වී හුන්නේ ය. ඒ අතර එහි රැස් ව හුන් භික්‍ෂූන් වහන්සේලා “ඒ කතා පුවත දැන ගණු කැමැත්තතෙමු” යි බුදුරජුන්ට සැළකළහ. උන්වහන්සේ එය මෙසේ වදාළ සේක;
මහණෙනි! යටගිය දවස මහසත් තෙමේ බරණැස් රජුගේ අග මෙහෙසිය කුස උපන්නේ ය. නමින් මහිංසාසක නම් වූයේ ය. බාල සහෝදර තෙමේ චන්‍ද්‍ර නම් වි ය. උන්ගේ මවු, මිය ගිය කල්හි රජ තෙමේ අන් බිසොවක අග මෙහෙසි බවෙහි තැබී ය. ඕ ද පුතකු වැදූ, සූර්‍ය්‍ය යි ඔහුට නම් කළහ. රජ තෙමේ ඒ කුමරු දැක පිණා ගොස් “සොඳුර ඔබගේ පුතුට වරයක් දෙනු කැමැත්තෙමි”යි මෙහෙසියට දන්වා සිටියේ ය. “ප්‍රිය ස්වාමිය! එසේ වේවා, වුවමනා විට මම එය ගන්නෙමි” යි කියා පුතු වැඩිවිය පැමිණි කල්හි දවසක් රජු වෙත ගොස් “දේවයන් වහන්ස! ඔබ වහන්සේ මා පුතු උපන් දා මට වරයක් ගන්නැ, යි කීවහු ය. එය මට දැන් වුවමනා ය. එහෙයින් මා පුතුට රජය දුන මැනවැ” යි ඕ තොමෝ කිවූ ය. රජ තෙමේ “මාගේ පුත්‍රයෝ දෙදෙන ගිනි කඳන් සේ බබලති. සූර්‍ය්‍යය කුමරුට රජය දෙනු නො හැකි ය” යි කීය.
එයින් නොපසු බට වූ මෙහෙසිය නැවත නැවතත් රජය ම ඉල්ලූ ය. රජ සැලුනේ ය. තදින් වෙවුලුනේ ය, මාගේ දෙ පුතුන්ට මෑ විපත් කරන්නී ය, යි සිතා රජ තෙමේ දෙ පුතුන් ගෙන්වා. “මා පිය පුතුනි! ඉවසන්න, මා අතින් වැඩ වැරදී ගියේ ය. මට වූයේ මහා නපුරෙකි, නුඹලාට කියනුත් නො හැකි ය, නො කියාත් බැරි ය. මම සූර්‍ය්‍ය කුමරු උපන් දා ඔහුට වරයක් දුනිමි. ඒ ය මා අතින් වූ වරද, ඉවසන්න, මා පෙම්බර පුතුනේ! මට එයට කමන්න, දැන් සූර්‍ය්‍ය කුමරුගේ මවු, ඔබගේ කුඩම්මා, සූර්‍ය්‍ය කුමරුට රජය දෙන්නැ, යි මට කියයි. ඔහුට රජය දෙන්නට මාගේ කැමැත්තෙක් නැත. මා රජය නුදුන් විට ඒ මවු නුඹලාට මොන විදියේ විපතක් කරන්නීදැ, යි කියන්නට බැරි ය. සමහර විට නුඹලාට වස විස දෙන්නට ද බැරි කමෙක් නැත. ඒ නිසා මෙතැනින් බැහැරක යන්න. වනයට ගොස් එහි පැල්පතක් තනා ගෙණ වසන්න. මා මළ පසු අවුත් රජය ගෙණ දැහැමි ව රජය කරන්න” යි කීයේ ය.
ඔවුහු පහයෙන් බැස, පියා වැඳ වනයට, යන්නට රජමැදුරෙන් නික්මුනාහ. මිදුලෙහි සෙල්ලම් කරමින් හුන් සූර්‍ය්‍යය කුමරු ද ඔවුන් දැක ඔවුන් හා යන්නට නික්මුනේ ය. මහසත් තෙමේ සිය සොහොයුරන් හා වනයට ඇතුල් ව මාර්‍ගයෙන් මඳක් ඈත් ව පිහිටි ගසක් මුල වාඩි වී “මල්ලි! බොහෝ වෙහෙස ඇත්තේ ය. ඒ නිසා දිය කඩිත්තක් සොයා ගොස් හොඳට නාලා පැන් බී අපටත් කොළයකට පැන් ටිකක් ගෙන එන්නැ” යි සූර්‍ය්‍ය කුමරුට කීයේ ය. සූර්‍ය්‍ය කුමරු පැන් සොයා විලක් වෙත ගියේ ය. ඒ විල වෙසවුණු වරම් රජුගේ අණින් දිය රකුසකු විසින් අරක් ගන්නා ලද්දේ ය. වෙසවුණු රජ, ඒ විල පාවා දෙන දිනයෙහි “දේවධර්‍ම නො දන්නවුන් මේ විලට බටුවොත් ඒ හැම දෙනා කා දමව, දේවධර්‍මය දන්නන් හැර අන් හැම දෙනෙක් ම තා අයත් ය. ඔවුනට තම කැමැත්තක් කළ හැකි ය” යි කීයේ ය. එතැන් පටන් ඒ දියරකුසා විලට බටුවන් අතින් දේවධර්‍මය විචාරා “නො දනිමි” යි කියන්නන් කා දමන්නේ ය.
සූර්‍ය්‍ය කුමරු ද කිසිත් නො දැන විලට බැස්සේ ය. දිය රකුසා ඔහු අල්වා “දේවධර්‍මය දන්නෙහිදැ?” යි විචාළේ ය. එවිට ඔහු “දේවධර්‍මය නම් සඳහිරු” යි කී ය. දියරකුස් “තෝ දේවධර්‍මය නො දනිහි” යි අල්ලා දියෙහි ගිල්වා සිය විමන තුළ බැහී ය. මහසත් තෙමේ ඔහු පමාවනු දැක චන්‍ද්‍රකුමරු එහි යැවී ය. “දේවධර්‍මය කිමැ” යි විචාළ කල්හි “දේවධර්‍මය නම් සිවු දිගැ” යි ඔහු කීය. දියරකුස් ඔහුත් ගෙණ විමන තුළ බැහී ය. ඔහු එනුත් පමාවනු දුටු මහසත් “අනතුරක් විය යුතු ය” යි තෙමේ එහි ගොස් දෙදෙන ම විලට බට පා සටහන් දැක “මේ විල දියරකුසකු විසින් අරක්ගන්නා ලද්දේ වනැ” යි දැන කඩුව සරසා දුන්න ගෙණ නිසල ව සිටියේ ය.
දිය රකුස්, දියට නො බැස සිටි මහසතුන් දැක, වෙනෙහි වැඩ කරණ මිනිසකුගේ වෙසින් අවුත් “පින්වත තමුසේ මග විඩාපත් වූවහු, කුමක් හෙයින් විලට බැස නාලා පැන් බී නෙළුඹුදැලි කා මල් පැලඳ නො ගන්නහු දැ?” යි ඇසී ය. මහසත් “මූ රකුස්” යි දැන “තා විසින් මාගේ සොහොයුරු දෙදෙන ගන්නා ලද්දෝ දැ?” යි විචාළේ ය. “ඔව්, ගන්නා ලද්දෝ මා විසිනැ” යි ඌ කී විට “එයට කරුණු කියව” යි කී ය. “මා විසින් මේ විල වෙසවුණු රජුගෙන් ලද්දේ ය. එහෙයින් මේ විලට බස්නා හැම කෙනෙක් ම මා අයත් ය, එය මට වරම් රජු විසින් දෙන ලද වරෙකැ” යි රකුස් තෙමේ කී ය. “කිම, සියල්ලෝ ම තා අයත් දැ?” යි මහසත් ඇසී ය, “ඔව්, සියලු දෙන ම මා අයත් ය, දේවධර්‍මය දන්නන් හැර අන් හැම දෙනෙක් ම මා අයත් ය, ඔවුන් මට යටත් විය යුතු ය, දේවධර්‍මය දන්නෝ ම මා අතින් නිදහස් ව යෙති” යි කී ය. මහසතුන් “දේවධර්‍මයෙන් තට වැඩක් ඇත්තේ දැ?” යි ඇසූ කල්හි “ඇතැ” යි කී ය “වේවා, මම දේවධර්‍මය දනිමි, වුවමනා නම් කිය හැකි” යි කී කල් හි “කියන්නැ” යි ඔහු කී ය. “මේ වේසයෙන් සිට කියනු නො හැකිය. මාගේ ඇඟපත කිලිටි ය, කිලිටි ගතින් සිට බණ දහම් කීම නො හොබනේ ය” යි කී විට රකුස්, බෝසතුන් පැන් පොවා මලින් සරසා පිළියෙල කළ මණ්ඩපයක පලක් නංවා වඩා හිඳුවා තෙමේ බෝසතුන්ගේ පා මුල්හි වැටී හුන්නේ ය. එකල්හි බෝසත් තෙමේ “සිහි එළවා අසව” කියා
“විළිබිය දෙකින් යුත් - කුසල් දහමින් සුපිහිටි
සපුරිස් දෙව් දහම්ය යි - කිය වේ ලොවේ ගුණවත්”
යන මේ ගය කියා පෑ ය.
රකුස් මේ දහම් අසා පැහැද “පණ්ඩිතය! මම තා කෙරෙහි පැහැදුනෙමි, එහෙයින් වඩා දැහැමි වූ සොහොයුරු තට දෙන්නෙමි” යි කී කල්හි මහසත් “මාගේ බාලමලනුවන් ගෙණ එව” යි කී ය. රකුස් එවිට “පණ්ඩිතය! තමුසේ දේවධර්‍මය දන්නහු පමනක් ය, එහි පවත්නා සැටියක් නො පෙණේ ය” යි කී ය. මහසතුන් “කරුණු කිමැ” යි විචාළ විට “යම් හෙයකින් තමුසේ වැඩිමහල්ලා තබා බාලයා ගෙන්වන්නහු වැඩිමහල්ලන් පිදීම නො කරහු” යි කියා සිටියේ ය. “රකුස්! එසේ නො කියව, මම දේවධර්‍මයත් දනිමි, එහි පවත්නා සැටිත් දනිමි, පවත්නේ ද වෙමි, අපි සියල්ලෝ මේ බාලයා නිසා ම වනගත වූම්හ. අපගේ පියා අතින් මේ දරුගේ මවු තොමෝ මොහු පිණිස රජය ඉල්ලූ ය. පියා ඒ නො දී අප රකින්නට වනයට යන්න, යි අපට නියම කෙළේ ය, එතැන දී ඒ ලදරු එහි නො රැඳී අප හා එක් ව ආයේ ය. වනයේ දී ඔහු රකුසෙක් ගත්තේය යි කීම කිසිවෙක් නො අදහන්නේ ය. ඒ නිසා මම නින්දාවට බියෙන් බාලයා ම ගෙණ එව යි කීමි” යි කී කල්හි රකුස් මහසතුන් කෙරෙහි වඩාත් පැහැද “තමුන්නාන්සේ දේවධර්‍මය දන්නහුය” යි ස්තුති කොට දෙ බෑයන් ගෙණවුත් දුන්නේය. මහාසත්ත්‍ව තෙමේ රකුස් බවෙහි දොස් පහදා දී ඌ පන්සිල්හි පිහිටුවා රකුස් විසින් කළ රැකවල් ඇතිව ඒ වනෙහි වැස පිය රජු මළ කල්හි රකුස් ද ගෙණ බරණැසට ගොස් රජය ගෙණ චන්‍ද්‍රකුමරුට යුව රජකම හා සූර්‍ය්‍ය කුමරුට සෙනෙවි තැන් ද දී රකුස් හට සිත්කලු තැනෙක දෙවොළක් කරවා පුදසත්කාර ලැබෙන සැටි ද සලසාලූයේ ය.
බුදුරජානන් වහන්සේ මෙසේ ඒ බහුභණ්ඩුක භික්‍ෂුව පිළිබඳ ඉකුත් කතාව ගෙණහැර දක්වා “මහණෙනි! එදා දිය රකුසා මේ බහුභණ්ඩික භික්‍ෂු තෙමේ ය, සූර්‍ය්‍යකුමරු ආනන්‍ද තෙමේ ය, චන්‍ද්‍රකුමරු ශාරිපුත්‍ර තැන ය, මහිංසාසක මම” යි ජාතකය ගැලපූ සේක. නැවත “මහණෙනි! මේ තෙමේ පෙර දේවධර්‍මය සොයමින් හිරිඔතප් වලින් යුතු ව දවසැර දැන් මේ සිවු පිරිස මැද මෙලෙසින් සිට මා ඉදිරියෙහ් ආශා නැත්තේ වෙමි යි කියමින් අයුත්තක් කෙළේ ය, සිවුර ගලවා බැහැර කළ පමණින් ශ්‍රමණයෙක් වන්නේ නො වේ” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක.
න නග්ගචරියා න ජටා න පඞ්කා
නානාසකා ථණ්ඩිලසායිකා වා,
රජො ච ජල්ලං උක්කුටිකප්පධානං
සොධෙන්ති මච්චං අවිතිණ්ණකඞ්ඛන්ති.
නිර්‍වස්ත්‍ර ව හිඳ කරණ තපස්සු, එතෙර නො වූ සැක ඇති සත්ත්‍වයා පිරිසිදු නො කෙරෙත්. දළමඬුලු දැරීම් ද පිරිසිදු නො කෙරෙත්. ඇඟ මඩ ගා කරණ තපස්හු ද පිරිසිදු නො කෙරෙත්. අහර නො වළඳා කරණ තපස්හු ද පිරිසිදු නො කෙරෙත්. බිම හෙව කරණ තපස්හු ද පිරිසිදු නො කෙරෙත්. ඇඟ රජස් දැලි පතුරු නගිනා තාක් නො නා හිඳකරණ තපස්හුද පිරිසිදු නො කෙරෙත්. උක්කුටිකයෙන් හිඳ කරණ තපස්හු ද පිරිසිදු නො කෙරෙත්.
න නග්ගචරියා = නග්න ව හිඳ කරණ තපස් කම් පිරිසිදු නො කෙරෙත්.
මිනිස් ලොව නිවන් සොයන්නන්ගෙන් කවදාත් නො සිස් වුයේ ය. ලෝකයා තුළ නිවණ පිළිබඳ හැඟීම උදා වූ දා පටන් එය ලබනු පිණිස උනුන් විසින් නා නා ප්‍රතිපදාවෝ ඇසුරු කරණ ලද්දාහු ය. එහෙත් ඒ පිණිස සෙවුනු ඇසුරු කෙරෙණු හැම ප්‍රතිපදා කෙනෙක් ම ඒ පිණිස හිත නො වූහ. එයට මාර්‍ගය නො වූහ. ලෝකය විසින් නිවන් පිණිස ඇසුරු කෙරුණු ඒ ප්‍රතිපදා අතුරෙහි නග්නත්‍වය ද එකෙක් විය. නග්නත්‍වය යි කීයේ රෙදි නො හැඳ රෙදි ඇඟ නො ලා හෙලුවෙන් විසීම ය. ඒ මේ නග්නත්‍වය වනාහි, වස්ත්‍රාභරණාදිය දැරීම තෘෂ්ණාවර්‍ධනයට, රාගෝත්පත්තියට කරුණු ය, තෘෂ්ණාව, රාගය නිවණට බාධක ය, යනාදීන් ගෙණ වස්ත්‍රාභරණාදිය ඇඟ දැරීම, විලිවසා ගැණිම නිවන් පිණිස නො වන්නේ ය යි ගත් ලෝකය විසින් ඇති කරණ ලද්දේ ය. එය මේ සසුන්හි නග්ගචරියා, නග්ගපටිපදා, නිජ්ඣාම පටිපදා යනාදී නම් වලින් පළට ව ඇත.
නග්නත්‍වය උසස් පිළිවෙතකැ යි ගත්තෝ නග්නශ්‍රමණයා නිර්‍වාණාරාධක යි ගණිත්. එහෙයින් ඔහු එබඳු දැකුම් ඇති මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර ව සිටියි.
මොහු ද්විකච්ඡ - කච්ඡශේව - මුක්තකච්ඡ - ඒකවාසස් - අවාසස් යි පස් වැදෑරුම් කොට පරයන් විසින් දක්වනු ලැබේ. මේ ඒ දැක් වූ සැටි.
“ද්විකච්ඡඃ කච්ඡශෙචශ්ව මුක්තකච්ඡස්තථෛව ච,
එකවාසා අවාසාශ්ච නග්නඃ පංචවිධඃ ස්මෘතඃ” යනු.
‘න ජතෙ ලජ්ජතෙ ඉති = නග්නඃ, නග්න එව = නග්නකඃ’ යනු නෛරුක්තික වචනයි. ලජ්ජා විය යුතු තැන් නො වැසීමෙන් ලජ්ජිත නො වන්නේ නග්න නම්. ලජ්ජා නැත්තේ යි කියූ සේ ය. යම් කෙනකුගේ කුලයෙහි වේදය නැත්තේ ද ශාස්ත්‍රය නැත්තේ ද මනා පැවතුම් නැත්තේ ද ඔවුහු නග්නැයි පොදුවේ කියන ලදහ. උන්ගේ ආහාරය ද වෙසෙසින් ගර්හිත ය. මේ ඒ දැක්වූ සැටි.
“යෙෂා කුලෙ න වෙදොස්ති න ශාස්ත්‍ර නෛව ච ව්‍රතම්,
තෙ නග්නාඃ කීර්තිතාඃ සද්භිස්තෙෂාමන්නං විගර්හිතම්”
මේ කීම පුරාණග්‍රන්‍ථයන්හි ආයේ ය.
න නග්ගචරියා, යන තැන්හි ඇති න කාරය නිපාතයෙකි. එය මේ ගාථාවෙහි එන ‘ සොධෙන්ති’ යන ක්‍රියා පදය හා එක් ව සිටියේ ය. අරුත් ගන්නා තැන න කාරය හා සොධෙන්ති යන ක්‍රියා පදය එක් කොට අරුත් ගත යුතු ය. මේ ගාථාවෙහි එන හැම න කාරයෙක් සිටියේ ඒ ආඛ්‍යාතය බලා ය.
න ජටා = දළමඬුලු දැරීම් ද පිරිසිදු නො කෙරෙත්.
දළමඬුලු දැරීමෙන් සංසාරශුද්ධියක් නො ලැබේ යි කියූ සේ ය. ජටා, යි තෘෂ්ණාවට ද නමෙකි. ඒ මෙහි නො යෙදේ. ‘ අන්තො ජටා’ යනාදි තැන්හි ඒ ආයේ ය. හුණ බට ආදීන්ගේ ආකූලත්වය ද, අවුල් බව ද, ජටා යි කියත්. ‘වෙණුජටා නළජටා’ යනාදි තැන ඒ දක්නා ලැබේ. ඒ ජටාවත් මෙහි නො ගැණේ. බාහිරක තවුසන් විසින් හැඩපලු ගොතා බඳින කෙස්වැටිය, කොණ්ඩය මෙහි ජටා යි ගැණේ. ‘ජටත් කෙශඃ පරස්පරං ලග්නඃ ජටති පරස්පරං සංලග්නා භවතීති = ජටා’ යනු කෝෂයි.
දුම්මල මී ඉටී රුක්මැලියම් ආදී ලහටු ගල්වා කෙස් එකට කැටි කොට බැඳුම නිවන් පිණිස පවත්නේය යි සැලකූ බැහැරි තවුසෝ ප්‍රතිපත්තියක් සේ මේ කෙරෙති. ඒ මේ ජටා දැමීම, කෙස් එකට ගැට ගැසීම නිවන් පිණිස නො වන්නේ ය යි බුදුරජානන් වහන්සේ මෙයින් වදාළ සේක.
නපංකා = ඇඟ මඩ ගා කරණ තපස්හු ද පිරිසිදු නො කෙරෙති.
මූණ නො සෝදා දත්මල - ඇස්මල - කන්මල - සෙම්සොටු දැරීම, මීමුන් හූරන් සේ ඇඟ මඩ ගා ගැණුම යනාදී ක්‍රියා නිවන් පිණිස වේ ය යි සලකා එසේ පිළිපැදුම් මෙහි පඞ්කා යන්නෙන් ගැනේ. පඞ්කා යනු මඩට නමෙකි. මෙහි අතත්ස්වභාවයෙහි තත්ස්වභාවාරෝපණයෙන් මඩ ගා ගැණුම් ගණිත්. මඩ ගා ගැණුම් නිවන් පිණිස මග නො වන්නේ ය.
නානාසකා = අහර නො වළඳා කරණ තපස්හු ද පිරිසිදු නො කෙරෙත්.
ඇතැම් බැහැරි මහණෝ සංසාරශුද්ධිය පිණිස දවසක් හැර දවසක්, දෙ දවසක් හැර දවසක්, අඩමසකට වරක්, දවසකට වරක්, දෙ දවසකට වරක්, එක් බත් පිඩක්, දෙ පිඩක්, යන ඈලෙසින් බත් අනුභව කෙරෙති.
තවද ඇතැම් බැහැරි මහණෝ ආහාර ප්‍රතික්ෂේපයෙන් සංසාර ශුද්ධිය වේය යි ගෙණ ඩෙබරින්, ඩෙබරසුණෙන්, ඩෙබර පැනින්, ඩෙබර අහරින් දිවි පැවැත්ම කළහ. එසේ ම මුං ඇට කීපයකින්, තල ඇට කීපයකින්, සහල් ඇට කීපයකින්, ඒ පිටි ටිකකින්, සහල් තැම්බූ දියෙන් සහල් ආදියෙන් කළ නන් අහරින් දිවි ගෙණ ගියහ. මෙසේ කරණ තපස් නිවණට හිත නො වේ.
බත් කන්නේ ‘ අසක’ නම්. බත් නො කන්නේ ‘ අනසක’ නම්. වැළකීම් අරුත් කියන න කාරය හා එක්ව දීර්‍ඝ ව ‘ නානාසක’ වි ය. මෙහි ලා ගැණෙන්නේ බත් නො කන්නන් නො ව බත් නො කෑම ය. බත් නො කා කරණ තපස් ය.
ථණ්ඩිලසායිකා වා = බිම වැද හෙව කරණ තපස් ද පිරිසිදු නො කෙරෙත්.
නිවන් සොයා යන බැහැරි මහණා එළුවන් සේ, ගොනුන් සේ, ඇතුන් සේ, අසුන් සේ, බල්ලන් සේ බිම වැතිර හිඳ කති. බොති. නිදති. යති. හිඳිති. මෙකී තිරිසන් ගිය සතුන්ගේ යම් කිසි භාවයෙක්, යම් කිසි ආකල්පයෙක් වේ නම් ඒ සියල්ලෙහි මොවුහු පිළිපදිති. ගැටෙති. බැඳෙති. නිවන් පතාය එසේ කරණු. එහෙත් ඒ නිවන් පිණිස උපායය නො වන්නේය.
ථණ්ඩිල, යි පොළොවට නමෙකි. පොළොව මතු පිට නිදන්නෝ ථණ්ඩිලසායික නම් වෙත්. එහෙත් මෙහි ගැණෙන්නේ පොළොව මතු පිට හෙව කරණ තපස් ය.
රජො ච ජල්ලං = සිරුරැ රැස් වූ රජස් දැලි ඇති තපස් ද.
උක්කුටිකප්පධානං = උක්කුටික ව හිඳ ඇවිද කරණ තපස්.
ඇතැම් බැහැරි තවුස් කෙනෙක් ඇඟ සෝදා රජස්දැලි පහ කොට හැරීම, නිවණට කරුණු නො වන්නේය යි තපස් කිරීමට පටන් ගත් දින සිට ස්නානය නො කෙරෙති. ඇඟපත මූණකට නො සෝදති. සිරුරෙහි කුණු පතුරු නඟා ගනිති.
උක්කුටිකයෙන් හෙවත් බිම ඇණ තබා ඉඳිති. එලෙසින් ම ඔබිනොබ හැසිරෙති. එහෙත් මේ රජස්දැලි දැරීම හා උක්කුටිකයෙන් හිඳ කරණ තපසත්, නිවන් පිණිස නො වන්නේ ය. ‘න සොධෙන්ති’ යනු හා සම්බන්‍ධ ය.
තවද නිවන් සොයන ඇතැම් බැහැරි තවුසෝ “සැරිසැරීමෙන් ශුද්ධිය වේ, බොහෝ කොට ඉපැදීමෙන් ශුද්ධිය වේ, බොහෝ කොට විසීමෙන් ශුද්ධිය වේ, යාගයෙන් ශුද්ධිය වේ, ගිනි දෙවියන් පිදීමෙන් ශුද්ධිය වේ” යි යන ඈ ලෙසින් කියමින් ගණිමින් මිථ්‍යා තපස් කළභ. ඒ එක තපසකුත් නිවන් පිණිස නො පවතී. හුදෙක් ඒ හැම තපසක් ම ආත්මක්ලමථුවෙක් වන්නේ ය.
නිවණ සෙවීමෙහි උත්සාහවත් වූ අප මහසත්හු හැම යස ඉසුරු හැර අනෝමා ගංතෙරැ පැවිදි ව ගම් නියම්ගම්හි හැසිර ආලාරකාලාම - උද්දකරාමපුත්‍ර තවුස් කරා ගොස් උන් වෙත රැදී උන්ගේ ධර්‍මමාර්‍ගය මුළුමනින් උගත්හ. උන්වහන්සේට එයින් අත් වූ ඵලය නම් ධ්‍යනමාත්‍රයක් ලබා ගැණීම ය. ඒ ලැබූ ධ්‍යාන මාත්‍රය නිවණ නොවේ, යි උන් හැර මගට බැස ගියහ. ඒ අතර උරුවේලාවට පැමිණි මහසත්හු එහි නේරඤ්ජරා ගඟබඩ වන ලැහැබකට වැදී මෙත්බැවුම්හි නිරත වූහ. එහි දී සිතෙහි බිය උපද වන සුලු නන් අරමුණු උන්වහන්සේ ඉදිරියෙහි පහළ වි ය. එහෙත් ඒ කිසිත් මහසතුන්ට බියට හේතු නො වී ය.
මෙ දවස උන්වහන්සේ තුළ තපස, රළුපිළිවෙත, පාපයට පිළිකුල, පරමවිවේකය යන මේ සතරෙහි දැඩි උනන්දුවක් පැවැත්තේ ය. එහෙයින් උන්වහන්සේ තවුසන් අතර මහ තවුස් වූහ. රළු පිළිවෙත් ඇත්තන් අතර ප්‍රධානයා වූහ. පාපයට පිළිකුල් කරන්නන් අතර පරමජෙගුච්ඡි වූහ. විවේකීන් අතර පරමවිවේකී වූහ.
ලෝකයෙහි එවක නිවන් පිණිස උග්‍ර තපස් කළ තවුසන් අතර ප්‍රධාන වූ මහසත්හු පරමතපස්වී ව නිවන් පතා නග්නත්‍වය ඇසුරු කළහ. මල මූ කිරීමෙහි ලෝකාචාරයෙන් තොර වූහ. බත් වළඳා අවසානයෙහි අත ලෙවූහ. මල පහරා අතින් පිස දැමූහ. “එනු මැන වහන්ස! සිටිනු මැන වහන්ස!” යි කියා දුන් දෙය නො ද පිළිගත්හ. එළ වූ දෙය, උදෙසා කළ දෙය, නිමැතූ දෙය, වලඳින් නගා දුන් දෙය, සැළියෙන් නගා දුන් දෙය, පැසෙන් නගා දුන් දෙය, එලිපත අතර කොට දුන් දෙය, දඬුකඩ අතර කොට දුන් දෙය, මෝල්ගස අතර කොට දුන් දෙය, බත් කන දෙදෙනෙකුන් අතරෙහි එකකු නැගිට දුන් දෙය, ගැබිනියක දුන් දය, කිරි පොවන්නියක දුන් දෙය, සමාදන් කරවා දුන් දෙය, බල්ලන් සිටි තැන දුන් දෙය, මැස්සන් කැටි කැටිව හැසිරෙණ තැන දුන් දෙය නො ද පිළිගත්හ. දියමස්, ගොඩමස්, නො ද කෑහ. සුරා, මේරය, කාඩි නො ද පූහ. එක් ගෙයක සිඟා එක් බත් පිඩකින් දෙකක සිඟා දෙපිඬෙකින් සතක සිඟා සත් පිඩකින් දිවි යැවුහ. දවසට වරක්, දෙ දවසට වරක්, සත් දවසට වරක්, අඩමසට වරක් බත් අනුභව කළහ. අමුපලා, බොඩහමු, හුරුහැල්, සම්කැබලි, මැලියම්, සෙවෙල්, රුක්ලාටු, කුඩු, දම්කොඩ, තලඈමුරුවට, ලා තණ, වනමුල්, ගෙඩි, වැටුනු ගෙඩි වළඳමින් දිවි රැක ගන්න. හණවැහැරි, මුසුවැහරි, මිනීරෙදි, පොළොව දැමූ රෙදි, රුක්පොතු, අඳුන්දිවිසම්, කුසතණ වැහරි, නියඳවැහැරි, පෝරුවැහැරි ඉස කේ කම්බිලි, අස්ලාම් කම්බිලි, බකමූණු පියාපතින් කළ වැහැරි දැරූහ. හිසකේ දැළිරැවුළු උගුලා දැමූහ. යහන් බැහැර කොට උඩුකුරු ව සිටියහ. යකඩ කූරු ඈ මතුයෙහි සමන් කළහ. ඒ මත්තෙහි නිදි ගත්හ. “පව් සෝදාහරිමි” යි දවසට තෙ වරක් දියට බටහ.
සිරුරෙහි අවුරුදු ගණන් නැගි රජස් දැලි විය. බොහෝ කලක් පොතු එක් වූ තිඹිරිකණුවක් සේ සිරුර, හටගත් පොතු ඇත්තක් වී ය.
මහසත්හු සිහි ඇති ව ම ඉදිරියට ගියහ. සිහි ඇති ව ම පෙරළා ආහ. විසම තැන්හි සිටි කුඩා සතුන් පවා නො නසමි, යි දියබිඳු කෙරෙහි ද දයාව දැක් වූහ.
වනයෙහි වසන මහසත්හු ගොපල්ලකු, තණ ගෙණ යන්නකු, දර ගෙණ යන්නකු, වෙනෙහි වැඩ කරන්නකු දුටුවෝ නම්, ඔවුනට නො පෙණෙනු පිණිස වනයෙන් වනයට, ලැහැබින් ලැහැබට, වළ තැනින් වළ තැනට, ගොඩින් ගොඩට විටින් විට ගමන් ගත්හ. ගොනුන් ගොපලුන් නැති ගාල්වලට වැද දෙ දණ දෙ වැලමිට බිම ඇන ගමන් කොට කිරි වස්සන්ගේ ගොම කුස පුරා අනුභව කළහ. බිහිසුණු සොහොන්වලට වැද මිනී ඇට කොට්ට විසින් හිස පය තබා නිදා ගත්හ.
නිවන් සොයා ගොස් මෙසේ උග්‍රතපස් කළ මහසතුන්ගේ සිරුර තදින් වෑරී ගියේ ය. මස්ලේ වියලී ගියේය. මලමග ගිලී ගියේ ය. නිසීඳනමාංසය මැදින් ගැඹුරු ව ගියේ ය. කොඳු ඇටය උඩ යටට නැමී ගියේ ය. ඉලඇට දිරා ගිය සාලාවක ගොනැස් සේ උඩු යටි ව නැමී වැටුනේ ය. දෙ ඇස් ගැඹුරු ලිඳක දියයට පෙණෙන තරු සේ යටට ගිලී ගියේ ය. හිසේ සම අමු වෙන් කැපූ අවු සුලං වැදීමෙන් වේලී ගිය තිත්තලබු ගෙඩියක සිවිය සේ අවු සුලං වැදීමෙන් වියලී ගියේ ය. උදරසම පිට කටුවෙහි ඇලී සිටියේ ය. සිරුරෙහි මුල් කුණු වූ ලොම් අතගා කල්හි ගැලවී අතට ආයේ ය. උන්වහන්සේ මලමූ පහ කරන්නට හුන් කල්හි එතැන ම ඇද වැටුනා හ.
මහසත්හු සංසාර විමුක්තිය පිණිස මෙසේ ඝෝර වූ තපස් කළහ. එයින් එහෙත් කිසිත් පිරිමැසිල්ලක් නො වූ බව “තායපි බො අහං සාරිපුත්ත! ඉරියාය තාය දුක්කරකාරිකාය න අජ්ඣුගමං උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං” යි මෙයින් ද වා, ලෝකයෙහි කිසිවකුට ආහාරයෙන්, යාගයෙන්, ගිනි පිදීමෙන්, අවෙලකාදීවුතසමාදානයෙන්, දළ මඩුලු බැඳීමෙන්, බිම නිදීමෙන්, රජස් දැලි ඇඟ නැගීමෙන් යන ඈලෙසකින් සිත කය තැවීමෙන්, සිත කයට දුක් දීමෙන්, සසරින් නිදහසෙක් නො ලැබේ” යි වදාළ සේක.
මච්චං අවිතිණ්ණකඞ්ඛං = එතෙර නො වූ සැක ඇති මිනිසා. නො නැසූ සැක ඇති සත්ත්‍වයා.
සත්ත්‍වපර්‍ය්‍යාය නාම අතුරෙහි ‘ මච්ච’ යනු මූලපද යි අර්‍ත්‍ථ කථාවන් හි දක්වන ලද්දේ ය. මැරීම, ස්වභාව කොට ඇත්තේ ය යනු එහි තේරුම ය. ‘මරිතබ්බසභාවතාය = මච්චා’ යනු විවෘති යි. සත්ත - නර - මානව - පොස - පුග්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - හින්දගු - මනුජ යනාදිය,එහි පර්‍ය්‍යාය නාම වෙති.
පූර්‍වාන්තාදිඅෂ්ටවස්තුකසංශයෙන් එතෙර නො වූ, හෙවත් මග නැණින් නො නැසූ සැක ඇති සත්ත්‍වයන්ට නග්නචර්‍ය්‍යාදියෙහි පිළිපැදීමෙන් වැඩෙක් නැත්තේ ය. පාරිශුද්ධියක් නො ද ලැබෙන්නේ ය. නග්නචර්‍ය්‍යාදීහු ඔහු පිරිසිදු නො කෙරෙති.
“යා කාචි කඞ්ඛා ඉධ වා හුරං වා
සකවෙදියා වා පරවෙදියා වා,
ඣායිනො තා පජහන්ති සබ්බා
ආතාපිනො බ්‍රහ්මචරියං චරන්තා”
ධ්‍යානකරණ විදසුන් වඩා ප්‍රදහනවීර්‍ය්‍යයයෙහි යෙදීමෙන් කෙලෙස් තවන මගබඹසර හැසිරීමෙන් ශ්‍රද්ධානුසාරී ඈ විසින් භේද වූ සෝතාපන්න පුද්ගල තමේ ස්වපරසන්තානයන්හි වූ සියලු සැක මාර්‍ගක්‍ෂණයෙහි දී සිඳ හරියි. සෝවාන් මග නැණින් සියලු සැකයන් ගෙන් එතෙර වේ. මෙ සේ එතෙර නො වූයේ ‘අවිතිණ්ණකඞ්ඛ’ නම්.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝදෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.
බහුභණ්ඩිකස්ථවිර වස්තුව නිමි.