මා’වොච ඵරුසං කඤ්චි වුත්තා පටිවදෙය්‍යු තං
දුක්ඛා හි සාරම්භකථා පටිදණ්ඩා ඵුසෙය්‍යු තං.
කිසි එක ද පුද්ගලයක්හට පරුෂ වචනයක් නහමක් කියව. තා විසින් පරොස් තෙපුල් කියන ලද්දාවූ අන්හු තට නැවැත පෙරළා පරොස් තෙපුල් බණන්නාහු ය. යම් හෙයකින් (කරණොත්තරකරණ යැ යි කියන ලද) යුගග්‍රාහ කථාව දුක් ද (හෙවත් දුකට කාරණ ද) එ හෙයින් කායදණ්ඩාදි ප්‍රතිදණ්ඩයෝ තා ස්පර්‍ශ කරන්නාහු ය (තා කරා පැමිණෙන්නාහු ය)
ස චෙ නෙරෙසි අත්තානං කංසො උපහතො යථා
එස පත්තො’සි නිබ්බාණං සාරම්භො තෙ න විජ්ජති.
ඉදින් වටින් කඩා හරණ ලද ලොහොතලියක් මෙන් (තාගේ) සිත නිශ්චල කරන්නට පොහොසත් වීහි නම්, එසේ (මේ පිළිවෙත පුරන) ඒ තෝ (දැන් නිවනට නො පැමිණිය ද) නිවනට පැමිණියේ නම් වෙහි. එසේ කලැ තට (‘දුශ්ශීලයෙම් මම ද? තොයි දු දුශ්ශීලයෙහි යන ආදීන් කියන) යුගග්‍රාහට නො වන්නේ ය.
කුණ්ඩධාන තෙරුන් පැවිදි වූ දා සිට උන්වහන්සේ හා එක් ව උන්වහන්සේ යන යන තැන ගැහැණියක් ද යයි. එහෙත් කුණ්ඩධාන ස්ථවිරයන් වහන්සේ තමන් හා එක් ව හැසිරෙණ තමන් යන යන තැන යන ඒ ගැහැණිය කවදාවත් නො දකිති. එහෙත් සෙසු හැම දෙනට ඒ පෙණේ. ගමෙහි පිඬු සිඟා යන තෙරුන්ට ගම් වැස්සෝ බත් හැන්දක් පුදා “ස්වාමීනි! මේ පිදු බත් හැන්ද ඔබ වහන්සේට ය, මේ බත් හැන්ද ඔබවහන්සේ ගේ යෙහෙළියට” යි තවත් බත් හැන්දක් පාත්‍රයට බෙදත්.
කසුප් බුදුරජුන් දවස උන්වහන්සේගේ ශාසනයෙහි පැවිදිව සිටි භික්‍ෂූන් වහන්සේලා දෙනමක් ඉතා යහළු ව එක මවුකුස උපන්නවුන් සේ එක් ව විසූහ. දිගා වළඳන බුදුවරුන්ගේ ශාසනයෙහි පැවිදිවරු අවුරුද්දකට වරක් හෝ සමසකට වරක් පොහොය කරන්නට එක් තැන් වෙති. මේ දෙදෙනා වහන්සේ ද පොහොය කරන්නට හුන් තැනින් නික්ම ගියහ. මේ වේලෙහි තව්තිසා වැසි දෙවියෙක් එසේ නික්ම යන ඒ තෙරුන් දැක “මේ තෙරහු ඉතා එකමුතු ය, දෙදෙනකු වුව ද එකකු සේ ය පෙණෙන්නෝ, එහෙයින් මුන් දෙන්නා බිඳු වන්නට පිළිවන් දැ” යි සිතී ය. තමන් නුවණ නැති බැවින් ඒ සිතුවිල්ල නො හැර ඒ පිණිස කල් බලමින් සිටියේ ය.
ඒ වේලෙහි එයින් එක් නමක්, අනික් නමට කියා සිරුරුකිස කරන්නට ගස් අතරකට වැදුනේ ය. ඒ අතර ඒ දෙවි තෙමේ ගෑණු වෙසක් ගෙණ, තෙරුන් සිරුරුකිස කොට පෙරළා එන කල්හි එක් අතකින් හිස කේ අවුල් හැර හැර, එක් අතකින් ඉණ ඇඳ තිබූ රෙදිකඩ දුවිලි ගසා හරිමින් පිළියෙල කොට කොට තෙරුන් පසු පස ම ආවා ය. එහෙත් උන්වහන්සේ මෙය නො දුටහ. සිරුරුකිස සඳහා කැලයට ගිය තෙරුන් එනු බලා සිටි අනික් ස්ථවිරයන් වහන්සේට හිසකෙහෙ බඳිමින් රෙදිකඩ ඉණ දවටමින් වෙහෙස දක්වමින් තෙරුන් පස්සෙහි එන ඇය පෙණින. දෙව් දූ තෙරුන් තමන් දුටුබව දැන අතුරුදන් ව ගියා ය. සිරුරුකිස සඳහා ගිය ඒ තෙරුන් තමන් වෙත ආ කල්හි “ඇවැත! තට සිල් නැත්තේ ය, තාගේ සිල් බිඳුනේ ය” යි ඒ ස්ථවිරයන් වහන්සේ කීහ. “මට එබඳු විපතක්, මගේ, සිල් බිඳුමක් නො වී ය” යි උන්වහන්සේ කී කල්හි, “ඇයි එසේ කියහු, මේ දැන් තරුණ ගැහැණියක, හිසකෙහෙ බඳිමින් ඉණ රෙදිකඩ දවටමින් ඇඟපත පිස දමමින් තට ලංව තා පස්සෙහි එනු මම දුටුවෙමි, මා මේ කියන්නේ අනෙකකු විසින් කියන ලද්දක් නො වේ. ඒත්, ඔබවහන්සේ මට එබන්දක් නො වීය, යි කියන්නහු ය, ඔය කියන කතාව මම කෙසේ අදහම් දැ” යි ඇසූහ. එවිට ඒ ස්ථවිරයන් වහන්සේ හිසට හෙණ වැටුනකු සේ “ඇවැත! මා නො නසව, මට කරන්නට ඔයට වඩා අන් විපතක් නැත, මට එබඳු විපතක් සිදු වී නැතැ” යි කීහ. ඒ වේලෙහි අනික් තෙරුන් වහන්සේ “මාගේ ඇසින් ම දක්නා ලද්දක් ඔබ නැතැයි කියන්නහු ය, මම ඔය කියන කතාව කෙසේ අදහම් ද, ඔබ ඒ ගැහැණිය හා මෙවුන්දම් සේවනය නො කළහු යි මට කොයි ලෙසකිනුත්, නො පිළිගත හැකි ය, අනාචාරයෙහි හැසිර එන ගැහැණියක ලෙසින් මය ඈ ඔබ පස්සෙහි ආවා, තා, ඇය හා ජඩකම්හි හැසිරීම ගැන කිසිත් සැකයක් නැතැ” යි කියා දර කෝටුවක් බීඳ හැරියා සේ යහළුකම බිඳ දමා නික්ම ගොස් පොහොය ගෙයි දීත් “මම මොහු හා පොහොය නො කරමි” යි හිඳ ගත්හ.
වලට ගොස් ආ ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි! මාගේ සිලයෙහි අබැටක් පමණ වූත් කැලලෙක් නැතැ” යි කී කල්හි මිතුරුකම් හැර ගිය ස්ථවිරයන් වහන්සේ “ඔය ස්ථවිරයන් කියන කතාව පිළිගත යුතු නො වේ, කාරණය මම මගේ ඇසින් ම දුටුවෙමි, මා කියන්නේ අනුන් කියූවක් නො වේ. ඇසින් ම දුටුවකැ” යි කීහ. මේ අතර දෙවි තෙමේ ඒ තෙරුන් හා පොහොය කරන්නට නො කැමැති ව හුන් තෙරුන් දැක “මා විසින් කරණ ලද්දේ ඉතා බලගතු වරදකැ” යි සිතා අහස සිට “ස්වාමීනි! මේ තෙරුන්ගේ සීලයෙහි දොසක් නැත, මුන්වහන්සේගේ සිල් බිඳීමෙක් නැත, ස්වල්පමාත්‍ර වූත් වරදෙක් මුන්වහන්සේට එහිලා නො නැගිය හැකි ය, සිල් පිවිතුරුය, මුන්වහන්සේ විමසනු සඳහා එසේ කෙළෙම් මම ය, එහෙයින් මුන්වහන්සේ හා පොහොය කරනු මැනවැ” යි කීයේ ය. කියත් ම ඒ අදහා ගත් ස්ථවිරයන් වහන්සේ පොහොය කළහ. එහෙත් පෙර සේ අනික් තෙරුන් කෙරෙහි මෙත් සිත් ඇත්තෝ නො වූහ. ඒ දෙවියා විසින් කළ පූර්‍වකර්‍මය මෙ පමණි.
ආයු කෙළවර කලුරිය කළ ස්ථවිරයන් වහන්සේලා දෙව්ලොව උපන්හ. දෙවි තෙමේ ආයු කෙළවර චුත ව ගොස් අවීචි මහා නරකයෙහි ඉපිද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි එහි පැසී අප බුදු රජුන් දවස සැවැත් නුවර ඉපිද තරුණ වයසට පැමිණියේ බුදු සසුන්හි මහලු පැවිදිකම් ලැබුයේ ය. පාපය කුඩා යි නො සිතිය යුතු ය කවටකම් පිණිස ද පව් නො කළ යුතු ය. පව කුඩා වුව ත් දරුණු විපාක දෙන්නේ ය. කවටකම් පිණිස කළ ද විපාක දෙන්නේය.
මෙසේ ඔහු පැවිදි වූ දා සිට ම මේ ගෑණුරුව ඔහු පස්සේ යන එන බව මහජනයාට පෙණුනේ ය. කුණ්ඩධාන යි නම් කළේ ද එසෙයිනි ගෑණියක පසෙහි ඇතිව යන එන කුණ්ඩධානයන් දුටු අනික් දෙනා වහන්සේ අනාථපිණ්ඩික සිටු අමතා “මහසිට! මේ දුසිල්හු ඔබ තුමන්ගේ වෙහෙරින් බැහැර කරන්න, මේ දුසිල්හු නිසා අනික් දෙනා වහන්සේටත් මග බැස යනු බැරි ය, විඳින්නට සිදු වී ඇත්තේ බලවත් අවනම්බුවෙක, ඒ නිසා අද හෙට ම ඔය දුසිල්හු වෙහෙරින් ඇද දමන්නැ” යි දන්වා සිටියහ. එවිට සිටු තෙමේ “ස්වාමීනි! බුදුරජානන් වහන්සේ වෙහෙර නැත්තාහු දැ” යි ඇසී ය. “සිට! ඇතැ” යි ඔවුහු කීහ. “එසේ නම් ස්වාමීනි! බුදුරජානන් වහන්සේ ඒ දැන ගන්නා සේකැ” යි කී කල්හි භික්‍ෂූහු විශාඛා උපාසිකාවට දැන්වූහ. ඕත් ඔවුනට එසේ ම කිවූ ය. එවර ඒ භික්‍ෂූහු කොසොල් රජු වෙත ගොස් “මහරජ! කුණ්ඩධානයා ගැහැණියක ගෙණ හැසිරෙමින් සියලු මහණුන්ට නින්දා ඇති කරමින් කල් ගෙවයි, දැන් අපට පාරේ බැස යන්නට බැරි තැනට වැඩ සැලසී තිබේ, එහෙයින් ඒ දුසිල් මහණහු තමුන්නාන්සේගේ රටින් පන්නා හරිණු මැනවැ” යි වැරින් කියා සිටියහ. රජතෙමේ “ස්වාමීනි! බුදුරජානන් වහන්සේ මේ දවස්වල කොහි වැඩ වසත් දැ” යි ඇසී ය. “මහරජ! වෙහෙර වැඩ වසති” යි කී විට “වැඩ වසනා සෙනසුන කුමක් දැ” යි ඇසී ය. ඔවුහු සෙනසුන කීහ. “එසේ නම් තමුන්නාන්සේලා වඩින්න, මම ඒ ගැන බලා ගනිමි” යි කියා රජ තෙමේ සවස් වේලේ වෙහෙරට ගොස් කුණ්ඩධාන තෙරුන් වසනා කාමරය මිනිසුන් ලවා වට කරවා තෙරුන් වෙත ගියේ ය. රජු ද කුණ්ඩධාන තෙරුන් පිටිපස සිටි ඒ ගෑණුරුව දුටුයේ ය. උන්වහන්සේ රජුගේ පැමිණීම දැන වෙහෙර උඩුමාලට නැග වැඩ හුන්හ.
රජ තෙමේ තෙරුන් නො වැන්ද්දේ ය. ගෑණුරුවත් නො ද දැක්කේ ය. දොරමුල්ල, ඇඳයට බැලූයේ ය. එහෙත් නො ද දැක්කේ ය. නො`දැක “ස්වාමීනි! මා මෙහි එද්දී මෙහි ගෑණියක ඉඳිනු දුටුවෙමි, ඈ දැන් පෙණෙන්නට නැත, කොහි ද ඈ දැන්, කියන්න, පිටත් කළහු කොතැනට ද. කො තැනින් දැ” යි කියන්නට අසන්නට වූයේ ය. “මහරජ! ගැහැණියක් මෙහි නැත, ගැහැණියක ඉඳිනු මම නො දිටිමි” යි තෙරුන් කී කල්හි “කියන්නහු බොරු, දැන් ඔබවහන්සේගේ පිටිපස ගැහැණියක ඉඳිනු මම දුරදී ම දුටුවෙමි, එය වළහාලන්නට ඔබට බැරි ය, ඇත්ත කියවු” යි රජ තෙමේ කී ය. ස්ථවිරයන් වහන්සේ “මහරජ! ගැහැණියක් මෙහි නැතැ” යි කී විට රජ තෙමේ “මේ කිමැ” යි සිතා “ස්වාමීනි! ඔබ වහන්සේ පොඩ්ඩක් වේලා මෙහි ම සිටිනු මැනවැ” යි කීයේ ය. ස්ථවිරයන් වහන්සේ රජු කී ලෙසට උඩමාලෙන් පාත මාලට බැස ආලින්දයෙහි සිට ගත්හ. ඒ වේලෙහි ද ඒ ගැහැණිය තෙරුන් පිටිපස සිට ගත. රජ ඇය දැක උඩ මාලට නැංගේ ය. ඔහු පැමිණි බව දත්ත ස්ථවිරයන් වහන්සේ එහි ම වැඩ හුන් හ. ඒ වේලෙහි රජ, සියලු තැන බලන්නේ ද ඇය නො දැක “ස්වාමීනි! දැන් ගැහැණියක් මෙහි සිටියා, කොහි ද, නො සඟවා කියන්නැ” යි කී විට ද තෙරුන් වහන්සේ “මම නො දිටිමි” යි කීහ. “ස්වාමීනි! කුමක් කියහු ද, මම දැන් ඇය ඔබවහන්සේගේ පිටිපස සිටිනු දුටුවෙමි” යි රජ තෙමේ කීය. “ඔවු, මහරජ! හැම දෙන ම මාගේ පිටිපස ගැහැණියක් ගමන් කෙරේය යි කියත්, එහෙත් මම කිසිදාකත් මා පිටිපස ගැහැණියක ගමන් ගෙණ ඇති බවක් නො දිවීමි” යි කීහ. එවිට “මෙහි යම් කිසිවක් විය යුතු ය” යි සැලකූ රජ තෙමේ “ස්වාමීනි! මෙතැනින් නැගී සිටින්නැ” යි තෙරුන්ට කියා තෙරුන් බැස ආලින්දයෙහි සිට ගත් කල්හි ගැහැණිය තෙරුන් පිටි පස සිටිනු දැක උඩුමාලට නැග බලනුයේ, නො දැක එවරත් තෙරුන් විචාළේ ය. උන්වහන්සේ “නො දකිමි” යි කී කල්හි “මේ ගැහැණු වෙසක් ගත්තෙකැ” යි තීරණයට බැස ගත් රජ තෙමේ තෙරුන්ට ලංව “ස්වාමීනි! මේ අන්දමේ කිලිටක් නුඹ වහන්සේගේ පස්සෙහි නිතර ගමන් කරණු දකින්නෝ නුඹ වහන්සේට බත් සැන්දක් පමණකුත් දෙන්නට කැමැති නො වෙති, එබඳු දේ දැක දැක කවර කෙනෙක් කන්නට බොන්නට දෙත් ද, එහෙයින් දානය පිණිස මගේ මාලිගාවට වඩින්න, මම දන් දෙන්නම්, මම ඔබවහන්සේට සිවු පසය සපයනම්” යි පවරා මාලිගා වට ගියේ ය.
එකල්හි මේ දත් අනික් බොහෝ භික්‍ෂූන් වහන්සේලා “ඇවැත්නි! බලවු, රජු කළ පවු වැඩේ, මේ දුසිල් මහණහු වෙහෙරින් ඇද දමන්නට ගොස් ඔහු කළේ මේ මහණහු සිවු පසින් පවරා යෑම ය, වෙහෙරින් නෙරපූ සැටි කදිමය” යි ඒ ඒ තැන කැටි කැටිව අවඥාමුඛයෙන් කතා කරන්නට වූහ. තෙරුන් කරා ගොස් “දුශ්ශීලය! දැන් තෝ රාජකුලුපග වූයෙහිය” යි කියමින් ඇණුම් බැණුම් කළහ. එවිට ඒ ස්ථවිරයන් වහන්සේ “දුශ්ශීලයෝ නම් තෙපි ය, තලගොයි වහු තෙපි ය, ගැහැණියක ගෙණ හැසිරෙන්නහු තෙපි ය” යි කියන්නට වන්හ.
ඒ භික්‍ෂූන් වහන්සේලා එවෙලෙහි බුදුරජුන් කරා ගොස් “ස්වාමීනි! කුණ්ඩධානයා, දුශ්ශීලයෝ තෙපි ය, කියා අපට ගරහයි, අප, තලගොයින් වැනි ය යි කියයි, ගැහැණු ගෙණ හැසිරෙන්නහු තෙපි ය යි කියා” යි දැන් වූහ. එවිට බුදුරජාණන් වහන්සේ කුණ්ඩධානයන් කැඳවා “මහණ! තමුසේ මෙසේ කී වහු සැබෑදැ” යි ඇසූහ. “ස්වාමීනි! සැබෑ ය, මම එසේ කීමි” යි කුණ්ඩධාන තෙමේ නො පැකිළ කී ය. “ඇයි තමුසේ එසේ කීවහු?” යි අසා වදාළ විට “මා සමග කතා කළ බැවිනැ” යි කීය. “මහණෙනි! සැබෑ ද, තමුසෙලා මේ නම සමග කතා කළහු?” යි බුදුරජානන් වහන්සේ ඇසූහ. “ස්වාමීනි! ඔය උන්නාන්සේ ගැහැණියක සඟවාගෙණ හැසිරෙති, ගැහැණියක් නිතර ඔය උන්නාන්සේගේ පසුපස යයි, ඔය උන්නාන්සේගේ ඒ නෙයියාඩම දුටු අප මහාජනයා අපට නින්දා කරණ නිසා එසේ කතා කළෙමු” යි ඔවුහු කීහ. අනතුරුව බුදුරජානන් වහන්සේ කුණ්ඩධාන තෙරුන් අමතා “මේ නම ලා තමුසේ සමග කතා කළෝ තමුසේගේ පස්සෙහි ගැහැණියක හැසිරෙණු දැක ය, ඒ සැබෑ ය, තමුසේ ගැහැණියක නො දැක ම මේ නම ලා සමග කුමක් නිසා කතා කළහු ද? තා විසින් පෙර දැයෙක ඉපද වූ පව් අදහසක් නිසා තමුසේට මේ සිදු විය, දැනුත් කුමක් නිසා පව් අදහස් උපදවහුද” යි අසා වදාළ විට රැස් ව හුන් භික්‍ෂූන් වහන්සේලා “ස්වාමීනි! මොහු පෙර කළ කම් කිමැ” යි ඇසූහ. බුදුරජානන් වහන්සේ ඔවුනට මොහුගේ ඒ පූර්‍වකර්‍මය වදාරා, “මහණ! තමුසේ මේ විප්‍රකාරයට පැමිණියහු ඒ කළ පාපකර්‍මය නිසා ය, දැනුත් එබඳු වූ පව් අදහස් ඉපදවීම නොසුදුසුය, එහෙයින් මින් පසු මේ නමලා සමග ඔය අන්දමේ රුදුරු කතා සිත් නො ගන්නා කතා කිසිවක් නො කළ යුතු ය, කට කැඩී ගිය කස්ලෝ තලියක් සේ නිහඩ විය යුතු ය, රළු පරළු බස් නො බිණිය යුතු ය, යමකුට එබඳු බසක් කීයේ නම් ඔහුද පෙරළා එසේ කියන්නේ ය, එවිට තමුසේත් එසේ කියන්නහු ය, දෙපක්‍ෂයෙහි වූවෝ මෙසේ බහින් බස් වී මහත් විපතට වැටෙන්නෝ ය, එහෙයින් කාටත් රිදෙන ඇණෙන බස් නො කිය යුතු ය, කවුරුන් මොනවා කීවත් යමෙක් එයට නො ගැටේ නම්, නො කිපේ නම්, නො බණී නම් ඔහු නිවන් නො පැමිණියේ ද පැමිණියකු වැනි ය” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක.
මා වොච ඵරුසං කඤ්චි වුත්තා පටිවදෙය්‍යු තං,
දුක්ඛා හි සාරම්භකථා පටිදණ්ඩා ඵුසෙය්‍යු තං.
.
සචෙ නෙරෙසි අත්තානං කංසො උපහතො යථා,
එස පත්තොසි නිබ්බාණං සාරම්භො තෙ න විජ්ජතීති.
කිසිවකුට රළු බස් නො කියව. (තා විසින් රළුබස්) කියන ලද්දෝ තට පෙරළා රළු බස් කියන්නෝ ය. යම් හෙයකින් එකටෙක කියා ගැන්ම දුක් වේද (එහෙයින්) ප්‍රතිදණ්ඩයෝ තා පහසන්නාහ.
මුවවිට සිඳ දැමූ ලෝ තලියක් සේ තමා නිශ්චල කෙරෙහි නම් ඒ තෝ නිවණට පැමිණියේ වෙහි ය. තට එකටෙක කියුම් කෙරුම් නැත්තේ ය.
මා වො ච ඵරුසං කඤ්චි = කිසිවකුට රළුබස් නො කියව.
‘මා+අවොච’ යනු පද සිඳීමය. අසන්නහුගේ මර්‍ම සිඳ හරින්නා වූ කර්‍කශ වවන ඵරුස නම්. “මම්මච්ඡෙදකං කක්කල වචනං ඵරුසං නාම” යනු අටුවා ය. “මම්මඝට්ටන වසෙන පවත්තිතං වචනං ඵරුසං” යනු ද දන්නේ ය.
යමෙක් යමකුගේ යම් වචනයක් අසා ගැටේ ද, කිපේ ද, සැඩ වේ ද, යුතු අයුතුකම් සිහිපත් කිරීමෙහි අපොහොසත් වේ ද, හොඳ නො හොඳ නො පෙණේ ද, තැන් නො තැන් නො දැනේ ද, මේ ආදීනට කරුණු වූ බස ඵරුස නමැ යි දත යුතු ය. එබඳු රළු බස් කිසිවිටෙක කිසිවකුටත් තමන් වෙත ඉන්නා ඉතා පහත් මෙහෙකරුවකුට වත් නො කිය යුතුය.
වුත්තා පටිවදෙය්‍යු තං = තා විසින් ඵරුෂ වචන කියන ලද අන්‍යයෝ තටත් පෙරළා ඵරුෂ වචන කියන්නෝ ය.
යම් ලෙසකින් යමෙක් යමකුට “තෝ දුශ්ශීල ය, තෝ පවිටෙක, තෝ තලගොයකු වැනි ය, තෝ ඔටුවෙක, බල්ලෙක, රොඩියෙක” යන ඈ ලෙසකින් සිත ගැටෙන කිපෙන රළු බසක් කීයේ නම් ඒ කියන ලද අන්‍යයාත්, ඒ කියුම් භාර ගත් තැනැත්තේත් දම් නො දම් නො දක්නේ නම් ඒකාන්තයෙන් ඔහු ද මුලින් රළුබස් කීවහුට වඩාලාත් රළු බස් කියන්නේය. වඩාලාත් බණින්නේ ය. එහෙයින් මේ වදාළෝ, නන්‍දිවිශාලසුජාත ජාතකාදිය බැලිය යුතු ය.
දුක්ඛා හි සාරම්භකථා = යම් හෙයකින් එකටෙක කියා ගැන්ම දුක් වේ ද.
‘තදුත්තරි කරණො සාරම්භො’ කරණ ලද්දට වැඩියක් කිරීම, කියන ලද්දට වැඩියක් කීම සාරම්භ නම්. මෙය කුසල් අකුසල් විසින් ලැබෙන්නේ ය. එහෙයින් දෙ පරිදි ය. එහි වනාහි ගිහියකුහට, එක් සලාක බතක් දෙන්නා වූ යම් කිසිවකු දැක, තමා විසින් සලාකබත් දෙකක් හෝ තුණක් දිය යුතු ය යි අදහස් වේ ද, සිත්තෙහි එබඳු අදහසක් පහළ වේ ද, පැවිද්දකුහට, එකකු එක් සඟියක් උගත් කල්හි තමන් සඟි දෙකක් උගත යුතු ය යි අදහස් වේ ද සිතෙහි එබඳු අදහසක් පහළ වේ ද එය කුසල් විසින් ගත යුතු ය.
ගිහියකුහට, අනුන් කරණ ඇඟ සැරසුම් ඈ බලා ඊට දෙ ගුණයක් දෙ ගුණයක් කරමි යි සිතෙහි අදහස් පහළ වේ ද පැවිද්දකුහට, අනෙකක් යම් පමණ යම් පමණ ප්‍රගුණ කෙරේද කියා ද එයට දෙ ගුණයක් දෙ ගුණයක් ප්‍රගුණ කරමි, කියමි යි මානවශයෙන් සිතෙහි අදහස් පහළ වේ ද, එය අකුසල් විසින් ගතයුතුය.
‘සචෙ පන කො චි කිං වදති න ඉදං එවං කත්තබ්බන්ති තෙන සාරද්ධචිත්තො භාකුටිකමුඛො කො මෙ ක්වන්ති පසය්හති අයමස්ස සාරම්භො’ “තා විසින් මෙය නො කළ යුතු ය” යනාදීන් යමකු යමක් කීවිට එයින් අසහනසිත් ඇති ව මූණ හකුළා ගෙණ “මට කීයෙහි තෝ කවරෙක් වෙහි දැ” යි කීවහුට බලාත්කාරකම් කෙරේ ද, කීවහු ප්‍රතිකථා වෙන් මැඩලා ද මේ ප්‍රතිකථාවට එලෙසින් උපන්නේ සාරම්භ නමැ යි කීහ. මේ වනාහි චිත්තෝපක්ලේශයකි. මෙයින් සිත කිලිටි වේ.
සාරම්භකථා නම් එකටෙක කීම ය. මෙහි එකටෙක කිරීම යම් සේ නම්, එකටෙක කීමත් එසේ ම පව් ය. ‘ එසා කරණුත්තරා යුගග්ගාහ කථා නාම දුක්ඛා’ යනු අටුවා ය.
පටිදණ්ඩා ඵුසෙය්‍යු තං = ප්‍රතිදයෝ තා ස්පර්‍ශ කරන්නාහ.
ගැසූවහුට ගසන පහර ප්‍රතිදණ්ඩ නම්. එය පළමු ගැසූ පහරට සම වුව ද නො සම වුව ද ප්‍රතිදණ්ඩ යි කියනු ලැබේ.
“තා අනුනට පොලු මුගුරු කිරිච්චි ඈ යමකින් පහර දෙනු ලබා නම් තාගේ ඒ පහර කෑ තැනැත්තේ තටත් එසේ ම පහර දෙන්නේය” යනු මෙයින් පැහැදිලි කෙරේ. මුලින් කළ දණ්ඩනය දණ්ඩ නමි. එයට පිළිතුරු විසින් කළ දණ්ඩනය ප්‍රතිදණ්ඩ නමි. කායදණ්ඩාදීහු ම ය මෙයින් ගැණෙන්නෝ.
සචෙ නරෙසි අත්තානං කංසො උපහතො යථා = කට කඩා දැමූ කස්ලෝ තලියක් සේ තමා නිශ්චල කෙරෙහි නම්.
කට කඩා හැර තලය පමණක් ඉතිරි කළ කලෝතලය අතින් පයින් දණ්ඩෙන් යන යමකින් ගසන ලද්දේ නමුත් හඬ නො නගා ද, එමෙන්. යමෙක් අනුන්ගේ කායදඩාදි යමකින් කිසිවිටෙකත් නො සැලේ නම් නො ගැටේ නම් (මතු සම්බන්‍ධය) කට නැති තලිය කෙස් ගසාලුව ද හඬ නො නගන්නා සේ, යමෙක් කවුරුන් විසින් කුමක් කියන ලද්දේ නමුත් නො බෙණේ නම් නො ගැටේ නම් ඒ යහපත් ය යනු කී සේ ය.
‘අත්තානං’ යන්නට සිතැ යි අරුත් කිව ද වර ද නැත. රන් - රිදි - තඹ - යකඩ - ඊයම් යනු පස් ලෝ ය. මේ පස ම කංස ශබ්දයෙන් ගැණේ. කංස නම් වූ රන් - රිදී ආදී යමකින් පාන පාත්‍රාදි යමක් කැරුණේ ද ඒ ද කංස යි හඳුන්වත්. මේ එබඳු තැනෙකි.
එස පත්තොසි නිබබාණං = ඒ තෝ නිවනට පැමිණියේ වෙහි.
මේ පිළිවෙත පුරන්නා වූ ඒ තෝ, දැන් නිවනට නො පැමිණි යෙහි ද, මතු නිවන් ලබන හෙයින් නිවනට පැමිණියෙක් නම් වන්නෙහි ය.
සාරමහො ත න විජ්ජති ස තට එකටෙක කිරීමක් නැත්තේ ය. .
මෙසේ ඇති කල්හි තට “මම දුශ්ශීල නම් තෝත් දුශ්ශීල වෙහි ය” යනාදීන් එකටෙක කියා කර ගැණීම ලක්‍ෂණ කොට ඇති යුගග්‍රාහයක් නො වන්නේ ය.
‘කරණුත්තරියකරණො සාරම්භො’ සාරම්භය එකටෙක කිරීම ලකුණු කොට ඇත්තේ ය යනු දන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ. කුණ්ඩධාන ස්ථවිරයන් වහන්සේ ද බුදුරජුන් දුන් අවවාදයෙහි පිහිටා රහත්බවට පැමිණියාහු ය. වැඩි කල් නො යවා අහසට නැග පළමු ලහය ද ගත්හ.
කුණ්ඩධානස්ථවිර වස්තුව නිමි.