මෙහි “අභිධ්‍යාව” යනු ස්වකීය වස්තුව සම්බන්ධයෙන් හටගන්නා වූ ලෝභයයි. “විසමලෝභය” යනු අනුන් අයත් වස්තූන් ගැන හටගන්නා වූ ලෝභයයි. තවත් ක්‍රමයකින් කියත හොත් ලෝක සම්මුතියේ සැටියට ලෝක නීතියේ සැටියට ලෝභ නොකළ යුතු වස්තූන් හා පුද්ගලයන් ගැන හටගන්නා වූ ලෝභය “විෂමලෝභ” නමි. අන්සතු වස්තූන් ගැන ලෝභ කිරීම ද, තමාට නුසුදුසු වස්තූන් ගැන ලෝභ කිරීම ද, පරභාර්‍ය්‍යා පරපුරුෂ සහෝදරාදි නුසුදුසු පුද්ගලයන් ගැන රාගය හෙවත් ලෝභය ඉපදවීම ද ලෝක නීතියට විරුද්ධ ය. ලෝභ කළ යුතු වස්තූන්ගේ වශයෙන් “අභිජ්ඣා විසම ලෝභ” යන නම් දෙකකින් වදාරා තිබෙතත් ධර්ම වශයෙන් ලෝභය එකක් ම ය. දෙක ම එක ම චිත්තෝපක්ලේශයක් වශයෙන් වදාරන ලදුයේ ද ධර්ම වශයෙන් එකක් ම වූ හෙයිනි.
ස්වකීය ස්කන්ධ පඤ්චකය කෙරෙහි හා බාහිර අවිඤ්ඤාණක සවිඤ්ඤාණක වස්තූන් කෙරෙහි ඇලීම ලෝභයාගේ ලක්ෂණයයි. තණ්හාවය ආශාවය ආදරයය ආලයය රාගයය කැතකමය ගිජුකමය සතුටය යන වචනවලින් කියැවෙන්නේ ද මේ ලෝභයයි. සතුටුවීම යන වචනයෙන් ලෝභය කියවෙන්නේ සමහර කරුණු වලදී පමණෙකි. මෙය සිත ඇසුරු කර ගෙන උපන් කල්හි සිතට බබලන්නට නො දෙන බැවින් සිත අඳුරු කරන බැවින් චිත්තෝපක්ලේශයකි. මේ ලෝභය ගැන තථාගතයන් වහන්සේ විසින් ඉතිවුත්තක පාළියෙහි -
“අනත්ථජනනෝ ලොභෝ
ලෝභෝ චිත්තපකෝපනෝ
භයමන්තරතෝ ජාතං
තං ජනෝ නාවබුජ්ඣති.
-
ලුද්ධෝ අත්ථං න ජානාති
ලුද්ධෝ ධම්මං න පස්සති
අන්ධන්තමං තදා හෝති
යං ලෝභෝ සහතේ නරං”
යනු වදාරන ලදි.
“ලෝභය තෙම අනර්ථ ඇතිකරන්නක් ය. ලෝභය තෙම සිත කළඹවන්නක් ය, අභ්‍යන්තරයෙන් ම පැන නැංගාවූ භයක්ය. ඒ බව ජනතෙම නොදනී.
හටගත් ලෝභය ඇති තැනැත්තේ ආත්මාර්ථ පරාර්ථාදි අර්ථය නොදන්නේ ය. හටගත් ලෝභය ඇති තැනැත්තේ දශකුශල කර්මපථාදි ධර්මය නොදක්නේය. යම් කලෙක ලෝභය සත්ත්වයා පෙළා ද, එකල්හි ඔහුට අන්ධකාරයක් වන්නේ ය යනු එහි තේරුමයි.
ලෝභය සත්ත්වයන්ගේ සන්තානයන්හි වස්තු රැස්කිරීම සම්බන්ධයෙන් ය, ඉන්ද්‍රිය පිනවීම සම්බන්ධයෙන්ය යන දෙයාකාරයෙන් උපදී. එයින් වස්තු රැස් කිරීම සම්බන්ධයෙන් උපදනා ලෝභය අධික වූ පුද්ගලයා බොහෝ වස්තු රැස් කර ආරක්ෂා කරයි. අදින්නපුබ්බක, ඉල්ලීස, මච්ඡරිය කෝසියාදි ධනවතුන් මෙන් තමා ද ධනය පරිභෝග නො කරයි. පරහට ද නොදෙයි. ඉන්ද්‍රිය පිනවීම සම්බන්ධයෙන් ඇති වන්නා වූ ලෝභය බහුල පුද්ගලයා දුටු දුටු දෙයට ලොල්ව පමණ ඉක්මවා ධනය වියදම් කොට අසූ කෝටියක් ධනයට හිමි ව සිට හිඟමනට පත්වූ මහාධන සිටු පුත්‍රයා මෙන් ධනහානියට පැමිණේ. ඉඳුරන් පිනවීම සඳහා හෙවත් නොයෙක් සැප විඳිනු සඳහා ධන වියදම් කිරීමත් ධන රැස් කිරීම සේ ම ලෝභයෙන් කරන්නක් බව නොදත්තෝ එසේ කරන්නවුන්ට නිර්ලෝභීහුයයි පසසති. රැස් කරන්නවුන්ට නින්දා කරති. එහෙත් ඔවුන්ට වස්තු රැස් කරන්නවුන්ට පමණ පැසසිය යුතු නොවේ. ඒ වියදම් කරන්නා වූ ලෝභය වඩාත් අනර්ථකර හෙයිනි.
මේ දෙයාකාරයෙන් ඇති වන්නා වූ ලෝභය ගින්නක් මෙන් සත්ත්ව සන්තානය දැවීමත් තැවීමත් කරන්නේ ය. වස්තු සොයවා සත්ත්වයන් වෙහෙසට පත්කර වන්නේය. ලෝභනීය වස්තූන් කරා පමුණුවා සත්ත්වයන් විනාශ කරවන්නේ ය.එ ක් තැනකින් පටන් ගෙන ගංගාවක් සේ ඉතා දිගට වැඩෙන්නේ ය. මහා සමුද්‍රය සේ නො පිරවිය හැක්කේය. තෙලින් දිය කර ගැල් වූ දැලි සේ ගැලවීමට දුෂ්කරය. නොයෙක් පව්වලට හේතු වන්නේය. ස්වර්ග මාර්ගය හා මෝක්ෂ මාර්ගය වසන්නේ ය. සත්ත්වයන් අපායට පමුණු වන්නේ ය. භවාග්‍රයට ගියාවූ ද සත්ත්වයා නැවත අපායට ගෙන යන්නේ ය.