තමහට නැත්තා වූ යම්කිසි වස්තුවක් ගැන ලෝභය හටගත්තා වූ පුද්ගලයා ඒ වස්තුව ලබනු පිණිස ලැබෙන තෙක් දිවා රාත්‍රි දෙක්හි නොයෙක් දේ කරමින් වෙහෙසෙන්නේ ය. සමහරවිට යම් කිසි එක දෙයක් නිසා ම මනුෂ්‍යයා මාස ගණන් අවුරුදු ගණන් මුළුල්ලෙහි ද වෙහෙසෙන්නේ ය.
පෙර බරණැස් නුවර විසූ ගන්ධ සිටාණන් අනුභව කරන ලක්ෂයක් වටිනා බතෙහි සුවඳ අසා, ඒ බත ගැන ලෝභ කොට එබඳු බත් තලියක් ලබනු සඳහා එක් දුගී පුරුෂයෙක් ගන්ධ සිටාණන්ට තුන් අවුරුද්දක් වැඩ කෙළේ ය.
බරණැස් නුවර ම තවත් දිළිඳු පවුලක ස්ත්‍රියක් අලංකාර වූ වස්ත්‍රයක් දැක එයට ලෝභ කොට ඒ වර්ගයේ වස්ත්‍රයක් ලබනු සඳහා එක් පොහොසත් ගෙයකට ගොස් තුන් අවුරුද්දක් වැඩ කළාය.
සෙස්සන් තබා මහබෝසත් කුසරජතුමා ද ප්‍රභාවතිය කෙරෙහි ලෝභයෙන් ශක්‍රසම්පත්තිය වැනි වූ කුසාවතී රාජධානියෙහි රාජ්‍ය ශ්‍රීය හැර මදුරට සාගල පුරයට ගොස් කුඹල්කම් - කුළුපොතු කම් - මල් කම් කිරීමෙන් ද, අනුන්ට අහර පිසීමේන් ද, වළං සේදීමෙන් ද, දිය දර ඇදීමෙන් ද, වසුන්කත් ඇදීමෙන් ද, සත් වසක් මුළුල්ලෙහි වෙහෙසුණේ ය.
මොවුන් මෙසේ මහත් වූ වෙහෙසට පැමිණියේ අනිකක් නිසා නොව ඔවුන් තුළ හටගත්තා වූ ලෝභය නිසා ම ය. එබැවින් ලෝභය ලෝභනීය වස්තු සොයා සත්ත්වයා වෙහෙසවන්නා වූ ධර්මයක් බව දත යුතු.