ප්‍රභේද දක්වන තැන්වලදී ලෝභය තණ්හා නාමයෙන් ම දක්වන ලද බැවින් මෙහි ද එසේ ම දක්වනු ලැබේ. රූප තෘෂ්ණාවය, ශබ්ද තෘෂ්ණාවය, ගන්ධ තෘෂ්ණාවය, රස තෘෂ්ණාවය, ස්ප්‍රස්ටව්‍යතෘෂ්ණාවය, ධර්ම තෘෂ්ණාවය යි තෘෂ්ණාව සවැදෑරුම් වේ. රූපයන්හි ලෝභය රූප තෘෂ්ණා නමි. ශබ්දයන්හි ලෝභය ශබ්ද තෘෂ්ණා නමි. ගන්ධයන්හි ලෝභය ගන්ධ තෘෂ්ණා නමි. රසයන්හි ලෝභය රස තෘෂ්ණා නමි. ස්ප්‍රස්ටව්‍යයන්හි ලෝභය ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණා නමි. ජීවිතාදි අවශේෂ ධර්මයන්හි ලෝභය ධර්ම තෘෂ්ණා නමි. මෙයින් එක් එක් තෘෂ්ණාවක් පවත්නා ආකාරයන්ගේ වශයෙන් කාම තෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය යි තෙවැදෑරුම් වේ. එයින් රූපාදීන්ගේ ප්‍රිය ස්වභාවය මාත්‍රය ඇසුරු කොට උපදනා තෘෂ්ණාව කාම තෘෂ්ණා නමි. ෂඩාරම්මණය සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් ගැනීමත් සමග උපදනා තෘෂ්ණාව භව තෘෂ්ණා නමි. ෂඩාරම්මණයෙහි අනාගත භවාපේක්ෂාවෙන් තොරව උපදනා ලෝභය විභව තෘෂ්ණා නමි. තවත් ක්‍රමයකින් කියතහොත් දෘෂ්ටිවිප්‍රයුක්ත ලෝභය කාම තෘෂ්ණා නමි. ශාස්වත දෘෂ්ටි සම්ප්‍රයුක්ත ලෝභය භව තෘෂ්ණා නමි. උච්ඡේද දෘෂ්ටි සම්ප්‍රයුක්ත තෘෂ්ණාව විභව තෘෂ්ණා නමි. යටකී සයක් වූ තෘෂ්ණාව මේ කාම තෘෂ්නාදි ගුණෙන් ගුණ කළ කල්හි අටළොසක් වේ. ඒ අටළොසක් වූ තෘෂ්ණාවන්ගෙන් එක එකක් ම අතීත වූ ද අනාගත වූ ද වර්තමාන වූ ද රූපාදීන් විෂයෙහි පවත්නා බැවින් තුන් වැදෑරුම් වේ. අටළොස තුනෙන් ගුණ කළ කල්හි සිවු පනසක් වේ. එයින් එක එකක් ම ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද රූපාදීන් විෂයෙහි පවත්නා බැවින් ඒ සිව්පනස ආධ්‍යාත්මික බහිද්ධා භේදයෙන් එකසිය අටක් වේ.