ලෝමස කාශ්‍යප තාපසයෝ වනාහි අප මහා බෝසතාණෝ ය. උන්වහන්සේ වනයෙහි තපස්කම් කරන කල්හි ශක්‍රයෝ තමාගේ ශක්‍ර සම්පත ගැනීම පිණිස කරන තපසක් දෝ යි බිය වී බරණැස් රජුට එක්ව බෝසතාණන් තපසින් පිරිහෙවන්නට සිතා දිනක් මධ්‍යම රාත්‍රියෙහි බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් නිදන කාමරයට වැද ගබඩාව ඒකාලෝක කොට රජු පුබුදුවා “මහරජ, ශක්‍රයෝ නම් මම ය. ඉදින් තෙපි මා සේ අජරාමර වන්නට කැමැත්තහු නම් සකල ජම්බුද්වීපයෙහි රාජ්‍යය කැමැත්තහු නම් තොපගේ මිත්‍රවූ ලෝමස කාශ්‍යපයන් ගෙන්වා සතුන් මරා කරවන්නා වූ “වාජපෙය්‍ය” නම් මහායාගය එතුමා ලවා කරවව” යි කියා අතුරුදහන් වූහ.
රජ තෙමේ පසු දින සය්හ නම් වූ ඇමතියා කැඳවා ලෝමස කාශ්‍යප තාපසයන් කැඳවාගෙන එන්නට යැවී ය. ඇමතියා වනචරයකු මාර්ගදේශකයා කොට ගෙන තාපසයන් වසනා තැනට ගොස් “තාපසයන් වහන්ස, නුඹ වහන්සේ පැමිණ වාජපෙය්‍ය මහා යාගය කළහොත් අප රජ්ජුරුවන්ට මුළු දඹදිව රාජ්‍ය ලැබෙන්නේ ය. ලැබූ කල්හි ඉන් කැමති පමණක් නුඹ වහන්සේටත් දෙන්නේ ය. යාගය කරන්නට එනු මැනව”යි කීය. එකල්හි බෝසතාණන් වහන්සේ කියන්නාහු “සය්හය, ප්‍රාණඝාතය කෙළේය යන නින්දාව සමග ලැබෙන්නා වූ සමුද්‍රය සීමා කොට ඇති මුළු පොළොව ද ගැනීමට නො කැමැත්තෙමි. අධර්මයෙන් ලැබෙන ධන ලාභයට ද යස ලාභයට ද මම නින්දා කරමි. පැවිදි තැනැත්තාගේ මැටි පාත්‍රයක් ගෙන ගෙදොරක් පාසා ආහාර සිඟා කරන ජීවිකාව, ඒ අධර්ම ජීවිකාවට වඩා ශ්‍රේෂ්ඨ ය. පැවිදිව පාත්‍රය ගෙන කිසිවකු නො පෙළා හැසිරීම මුළු දඹදිව රජයට වඩා උතුම් වන්නේ ය”යි කීහ. ඇමතියා රජතුමාට එපවත් දැන්වී ය. රජතුමා ද “තාපසයන් නො එත හොත් කුමක් කරමෝ දැ”යි තූෂ්ණිම්භූත විය.
ශක්‍රයා පසු දිනක ද මධ්‍යම රාත්‍රියෙහි රජු කරා අවුත් රජුට කියනුයේ “මහරජ, චන්ද්‍රවතී කුමාරිය සරසා ඉදින් යාගය කරතහොත් “මේ කුමාරිය දෙමි”යි කියා “තාපසයන් වෙත යව ව, තාපසයෝ කුමරිය කෙරෙහි ලෝබ කොට ඒකාන්තයෙන් එන්නාහ”යි කීය. රජතුමා එසේ කෙළේය. කුමරිය දුටු කල්හි තාපසයන්ට ලෝභය උපන. එයින් ම ධ්‍යානයෙන් ද පිරිහුණේ ය. තාපසයන් කෙරෙහි ලෝභය උපන් බව තේරුම් ගත් ඇමතියා “යාගය කරත හොත් මේ කුමාරිකාව රජතුමා ඔබට දෙන්නේ ය”යි කීය. තාපසයෝ “එසේ නම් යාගය කරමි”යි රථයට නැගී බරණැස් නුවරට ගියෝ ය.
රජතුමා ද තාපසයන් එන බව අසා යාගය සූදානම් කරවූයේ ය. තාපසයන් පැමිණි කල්හි “යාගාවසානයේ දී කුමරිය දෙමි”යි කියා යාගය කරන්නට කීය. රජතුමා දෙවන දවස්හි තාපසයන් හා චන්ද්‍රවතිය ද යාගය කරන තැනට ගියේ ය. යාගයට මරන්නට උවමනා කරන ඇත් අස් ගව මහිසාදි සත්තු එහි පිළිවෙලින් කනුවලට බැඳ තබන ලදහ. තාපසයෝ සතුන් බලා ගැණ යාගය කරන්නට සැරසුණෝ ය. එකල්හි මහජනයා රාගයෙන් මත් වී සිටින තාපසයන් විසින් කරන්නට යන ඒ පාප ක්‍රියාව බලා “කාශ්‍යපයෙනි, කාශ්‍යපයෙනි, ඔබට මෙය නුසුදුසු ය. ඔබ කුමට මෙබඳු නීච ධර්මයක් කරන්නට යන්නහුදැ”යි කීය.
“බලං චන්දො බලං සුරියෝ - බලං සමණ බ්‍රාහ්මණා
බලං වෙලා සමුද්දස්ස - බාලාති බල මිත්ථියෝ
යතා උග්ගතපං සන්තං - ඉසිං ලෝමසකස්සපං
පිතු අත්ථා චන්දවතී - වාජපෙයං අයාජයී.”
යනුවෙන් ඝෝෂා කරන්නට වූහ.
“අන්ධකාර විධමනයෙහි චන්ද්‍රයා බලවත්ය, සූර්‍ය්‍යයා ද බලවත් ය. ක්ෂාන්ති බල ඥාන බලාදියෙන් යුක්ත බැවින් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද බල ඇත්තෝ ය. සාගර ජලය නවතා ගෙන සිටින බැවින් සාගරයාගේ වෙරළ ද බලවත් ය. බලවත් වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් පවා වසඟයට ගෙන විනාශ කරන බැවින් ස්ත්‍රීහු මේ සැමට ම බලවත්ය හ. යම් හෙයකින් උග්‍ර තපස් ඇත්තා වූ ශාන්ත වූ ලෝමසකාශ්‍යපයන් ලබා චන්ද්‍රතිය පියාට වැඩ පිණිස “වාජපෙය්‍ය” යාගය කරවී ද, එහෙයිනි” යනු එහි තේරුම යි.
මෙසේ ජනයා ඝෝෂා කරද්දී තාපසයන් පළමු කොට මගුලැතු මරනු පිණිස කඩුව එසවීය. ඇතු බිය පත්ව මහ හඬින් හැඬීය. ඒ ශබ්දය අසා බැඳ සිටි සියලු සත්ත්වයෝ ද බියපත්ව හැඬූහ. මහ ජනයා ද හඬ නැඟූහ. ඒ හඬින් තාපසයෝ ද තැතිගෙන තමා දෙස බැලූහ. තමාගේ තවුස් වේසය එතුමාට පෙණුනේ එවිටය. තාපසයෝ ලෝභයට වසඟ ව තමා කරන්නට ගිය අනුවණ කම ගැන සංවේගයටත් ලජ්ජාවටත් පැමිණ රජහට “චන්ද්‍රවතියත් රටත් ඔබට ම වේවා! මට මේවායින් කම් නැතැ”යි කියා නැති වූ ධ්‍යානය එවේලේ ම උපදවා ගෙන අහසින් ම හිමතට ගොස් දිවි හිමියෙන් තපස්කම් කොට මරණින් මතු බ්‍රහ්මලෝක පරායණ වූහ.
මේ ලෝභය පව් පිළිකුල් කරන්නා වූ පවට බිය වූ පවින් වැළකීමට ම වීර්‍ය්‍ය කරන්නා වූ පස්කම් සැප හැර වනයට වැද තපස්කම් කරමින් සිටියා වූ මහබෝසත් ලෝමසකාශ්‍යපයන්ගේ සිත පවා පවට යොමු කිරීමට එතුමන් පවට යැවීමට සමර්ථ වූ කල්හි පස්කම් සැපතෙහි ඇලී ගැලී සිටින, සාමාන්‍ය පුද්ගලයන්ගේ සිත් නොයෙක් පව්කම්වලට යොමු කිරීමට ඔවුන් ලවා පව් කරවීමට සමර්ථ වන බව කියනුම කිම?