පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුට පුත්‍රයෝ දෙදෙනෙක් වූහ. ඒ දෙදෙනාගෙන් වැඩිමහල්ලාට යුව රජ තනතුර ද, බාලයාට සෙනෙවිරත් තනතුර ද, රජතුමා විසින් දෙන ලද්දේ ය. පසු කාලයේ දී බ්‍රහ්මදත්ත රජතුමා කලුරිය කළේය. එකල්හි ඇමතියෝ වැඩිමහලු පුත්‍රයා රාජ්‍යයෙහි අභිෂේක කරන්නට සූදානම් වූහ. කුමාරයා මට රජයෙන් කම් නැතැයි එය ප්‍රතික්ෂේප කෙළේය. එකල ඇමතියෝ බාල කුමාරයාව අභිෂේක කළහ. මලණුවන් අභිෂේක කළ කල්හි ඒ කුමාරයා යුවරජ තනතුර ද ප්‍රතික්ෂේප කෙළේය. රජකම් නොකර වුවද එහි සැපසේ වසන්නට කී නමුත් එද ඔහු ප්‍රතික්ෂේප කොට බරණැස් නුවරින් නික්ම ප්‍රත්‍යන්තයට ගොස් එක් සිටුවරයකුට වැඩ කරමින් ජීවිකාව කරන්නට විය. පසු ව ඔහු රාජ කුමාරයකු බව දැන ගත් සිටුතුමා ඔහුට වැඩ කරන්නට නොදී කුමාර ලීලාවෙන් ම පෝෂ්‍ය කෙළේය. එසේ සිටින අතර දිනක් රාජපුරුෂයෝ ඉඩම් පරීක්ෂාව පිණිස ඒ ගමට පැමිණියෝ ය. එකල්හි සිටුතුමා කුමාරයා කරා ගොස් “කුමාරයාණෙනි, අපි ඔබ පෝෂ්‍ය කරන්නෙමු. ඔබ මලණුවන්ට හස්නක් යවා අප බදු ගෙවීමෙන් නිදහස් කරනු මැනව” යි කීය. කුමාරයා එසේ කරනු පිණිස මලණුවන්ට හස්නක් යැවීය. මලණුවෝ ද එසේ කළහ. ඉක්බිති එගම් වැසි සියල්ලෝම ද ජනපද වැස්සෝ ද කුමාරයන් කරා ගොස් “අපිත් ඔබ තුමාට බදු ගෙවන්නට කැමැත්තෙමු. රජතුමාට හසුන් යවා අප ද බදුවලින් නිදහස් කරනු මැනව”යි කීහ. එකල්හි ඔහු ඔවුන් ගැන ද රජුට හසුන් යැවීය. රජු ඔවුන් ද බද්දෙන් නිදහස් කෙළේය. ඔවුහු එතැන් පටන් ඒ කුමාරයන්ට ම බදු ගෙවන්නට වූහ. එයින් කුමාරයාට බොහෝ ලාභ සත්කාර ඇති විය. ලාභ සත්කාර ලැබෙන්නට වන් කල්හි ඔහුගේ ලෝභය ද වැඩෙන්නට විය. ඔහු එපමණින් නොනැවතී මුළු ජනපදය ම ඉල්වීය. රජතුමා එද ඔහුට දුන්නේය. ඔහුගේ ලෝභය තවත් වැඩෙන්නට විය. එපමණකින් නො නැවතී යුවරජකම ද ඉල්වීය. රජතුමා එද ඔහුට දුන්නේය. ඔහුගේ තණ්හාව එපමණකින් ද නො පිරුනේය. රජකම ම ගන්නෙමැයි ඔහු සේනා රැස් කර ගෙන නුවරින් පිටත සිට “මට රජකම ම දෙනු මැනව, නො එටස් නම් යුද්ධ කරමි” යි මලණුවන්ට හස්නක් යැවීය. එකල්හි රජතුමා “මේ අඥයා මේ රජය හැර ගොස් දැන් යුද්ධ කොට රජය ගන්නට කතා කරයි. ඉදින් මා විසින් යුද කොට මොහු නසු ලබන්නේ නම් මට නින්දාවක් වන්නේ යයි” සිතා “යුද්ධයෙන් කම් නැත. රාජ්‍යය ම ගනුව” යි කියා හස්නක් යැවීය. ඔහු පැමිණ රාජ්‍යය ගෙන මලණුවන්ට යුවරජ තනතුර දී රාජ්‍ය කරනුයේ එයින් ද තෘප්තියට නො පැමිණ තවත් රාජ්‍යයන් සොයන්නට විය. ලෝභයේ කෙළවරක් නුදුටුවේය.
එකල්හි ශක්‍රදේවේන්ද්‍රයාණෝ “මිනිස් ලොව දානාදි පින්කම් කරන්නෝ කවරහු ද? තණ්හාවට වාල් ව සිටින්නෝ කවරහුදැ” යි බලන්නාහු මේ රජු දැක “මොහු බරණැස් රජයත් මදිව තවත් රාජ්‍යයන් ගැන බලාපොරොත්තු වන්නේ ය. මොහුට හොඳ පාඩමක් උගන්වමි” යි තරුණ මිනිසකුගේ වේශයෙන් රාජද්වාරයෙහි සිට “උපායයෙහි දක්ෂ වූ එක් මානවකයෙක් රජු දැකීමට අවුත් සිටින්නේය” යි රජුට දැන්වූහ. රජ තෙමේ ඔහුට තමාගේ ඉදිරියට පැමිණෙන්නට අවසර දුන්නේය. මානවකයා ද රජු ඉදිරියට පැමිණ සිටි කල්හි රජතුමා “කුමක් පිණිස ආවෙහිදැ”යි ඇසීය. එකල්හි මානවකයා “දේවයන් වහන්ස, නුඹ වහන්සේට කරුණක් කියන්නට පැමිණියෙමිය, ඊට රහස් තැනක් වුවමනාය” යි කීය. එකෙණෙහි ශක්‍රානුභාවයෙන් ම එහි සිටියෝ ඈත්වූහ.
එකල්හි මානවකයා “දේවයන් වහන්ස, මම ජනාකීර්ණ වූ ඉතා සමෘද්ධ වූ බලවාහන සම්පූර්ණ වූ නගර තුනක් දනිමි. මාගේ ආනුභාවයෙන් ඒ නුවරවල් තුන ම නුඹ වහන්සේට අල්වා දෙන්නෙමි, වහා එහි යාමට සැරසෙනු මැනව” යි කීය. ලෝභයට වාල් වී සිටියා වූ රජුට නුවරවල් තුන ගැන කී කල්හි මානවකයාගෙන් “නුඹ කවරෙක්ද? කොහි සිට ආවෙහිද? ඒ සඳහා නුඹට කුමක් උවමනාද?” යනාදිය විචාරන්නට අමතක විය. ශක්‍රයෝ ද එපමණක් ම කියා තව්තිසා දෙව්ලොවට ගියහ. රජතෙමේ ඇමතියන් රැස් කරවා කියනුයේ “ඇමතියෙනි, එක් මානවකයෙක් නගර තුනක් අල්වා දෙමි” යි කීය. නුවර බෙර ලවා සෙනඟ රැස් කරව්. ඒ මානවකයා කැඳවව්” යයි කීහ. ඇමතියෝ මානවකයා නොදැක රජුට කියන්නාහු “දේවයන් වහන්ස, නුඹ වහන්සේ මානවකයාට සත්කාර කළහුද? වාසය කරන තැන විචාළහුදැ”යි ඇසූහ. එකල්හි රජතුමා එසේ නොකළ බව කියා “වහා ගොස් මානවකයා සොයව”යි කීය. ඇමතියෝ මානවකයා සොයා මුළු නුවර ම කොතැනකවත් එබඳු මානවකයකු නැති බව රජුට දැන්වූහ.
ඒ බව අසා රජතෙමේ “මානවකයා සත්කාර නො කළ බැවින් කෝප ව යන්නට ඇතැ”යි සිතා තමා අතින් සිදුවූ වරද ගැන දොම්නසට පැමිණ ඒ නුවරවල් තුන ගැන නැවත නැවතත් සිතන්නට විය. නුවරවල් තුන ගැන හටගත්තා වූ ලෝභාග්නියෙන් ද, නොලැබීම නිසා හටගත්තා වූ ශෝකාග්නියෙන් ද, රජුගේ සිත කය දෙක ම තැවෙන්නට විය. අධික තැවීම නිසා රජුගේ ශරීරයේ ලේ උණු වී ලේ අතීසාර රෝගය හටගත්තේ ය. නොයෙක් ප්‍රතිකාර කළමුත් රෝගය දිනෙන් දින උත්සන්න විය. වෙදුන්ට පිළියම් කරන්නට නො හැකි විය. රජ අතිශයින් වෙහෙසට පත් විය. වැඩි කලක් ජීවත්විය නොහෙන පමණට රජ දුර්වල විය. බලවත් ලෝභය තෙම ගින්නක් මෙන් සිත කය දෙක දවා සත්ත්වයන් පෙළන සැටි විනාශයට පමුණුවන සැටි මෙයින් දත යුතුය.
රජුගේ රෝගාතුර බව මුළු බරණැස පතළ විය. එකල්හි අප බෝසතාණෝ තක්සලා නුවරට ගොස් ශිල්ප උගෙන මව්පියන් සමීපයට පැමිණියාහු ඒ ප්‍රවෘත්තිය අසා රජුට වෙදකම් කරම්හ යි ගොස් රාජද්වාරයෙහි සිට එක් තරුණ මානවකයෙක් වෙදකම් කරනු පිණිස පැමිණ සිටින බව රජතුමාට කියා යැවූහ. රජතෙමේ “මෙපමණ මහා වෛද්‍යවරයන්ටත් සුව කිරීමට නුපුළුවන් වූ රෝගය තරුණයෙක් කෙසේ සුව කෙරේ දැ” යි කියා “ඔහුට වැටුප් දී පිටත් කරව්” යයි කීය. එබස් අසා බෝසතාණෝ “මාගේ වෙදකමට වැටුප් ගැනුමක් නැත. බෙහෙත් මිළ පමණක් දෙනු මැනව” යි කියා යැවූහ. එකල්හි බෝසතාණන් කැඳවීය. බෝසතාණෝ ද රජු වැඳ කියන්නාහු “මහරජාණන් වහන්ස, නුඹ වහන්සේ බිය නොවනු මැනවි, මම නුඹ වහන්සේගේ රෝගය සුව කරන්නට සමර්ථ වෙමි. මා හට රෝග නිදානය පමණක් කියනු මැනවැ”යි කීහ. රජතුමා රෝග නිදානය කියන්නට ලජ්ජාවෙන් “එයින් නුඹට කම් නැත. හැකි නම් රෝගයට බෙහෙත් පමණක් කරව”යි කීය.
බෝසතාණෝ කියන්නාහු “මහරජ, වෛද්‍යයෝ නිදානය නො දත් රෝගයන්ට පිළියම් නො දන්නාහ. නිදානය දැන ඊට අනුරූප බෙහෙත් යොදා රෝග සුව කරන්නාහ. නුඹ වහන්සේගේ රෝගය සුව කරවා ගනු කැමැත්තහු නම් රෝග නිදානය නො සඟවා කියනු මැනව” යි කීහ. එකල්හි රජතුමා මානවකයාගේ පැමිණීමේ පටන් සියලු පුවත බෝසතාණන් වහන්සේට නොසඟවා කීය. “මාගේ රෝගය අනිකක් නිසා නොව තෘෂ්ණාව නිසා ම හටගත්තා වූ රෝගයෙක. ඉදින් හැකි නම් පිළියම් කරව” යි කීය. සිතින් හටගන්නා රෝගයන්ට බෙහෙත්වලින් ප්‍රයෝජන නොවේ. එබැවින් බෝසතාණන් වහන්සේ ධර්මානුශාසනයෙන් ඔහුගේ රෝගය සුව කරනු පිණිස අනුශාසනා කරන සේක් “මහරජ, කිමෙක්ද, ශෝක කිරීමෙන් රාජ්‍ය තුන ලැබේදැ”යි ඇසූහ. “දරුව නො ලැබේය” යි රජතුමා කීය. එකල්හි බෝසතාණෝ “මහරජාණෙනි, එසේ නම් කුමට ශෝක කරන්නහු ද? මේ ලෝකයෙහි සියල්ලන් විසින් ම අවිඤ්ඤාණක සවිඤ්ඤාණක සියලුම වස්තූන් තමාගේ ශරීරයත් සමග ම හැර පරලොව යා යුතුය. මහරජ, නුවරවල් සතරක ම රාජ්‍යය ගෙන ඔබ එකවර බත් තලි සතරක් වළඳන්නහු ද? යහන් සතරක නිදන්නහු ද? සතර දෙනකුගේ ඇඳුම් පැළඳුම් ඇඳ-පැළඳ ගන්නහුද? ලෝභයට වසඟ නො විය යුතුය. මේ ලෝභය වැඩෙන කල්හි සත්ත්වයාට සතර අපායෙන් මිදෙන්නට නො දෙන්නේ ය.” යනාදීන් අවවාද කොට ගාථා නවයකින් රජුට ධර්මදේශනා ද කළහ.
ඒ මෙසේ ය.
කාමං කාමයමානස්ස - තස්ස චේතං සමිජ්ඣති
අද්ධා පීතිමනෝ හොති - ලද්ධා මච්චෝ යදිච්චති.
අදහස :ධන ධාන්‍යාදි ලෝභනීය වස්තූන් කැමති වන්නා වූ ඒ පුද්ගලයා හට ඉදින් ඒ කැමති වූ දෙය සිද්ධ වූයේ නම් ලැබුනේ නම් මනුෂ්‍ය තෙමේ කැමැත්ත පරිදි ලැබ ඒකාන්තයෙන් සතුටු සිත් ඇත්තේ වන්නේ ය.
කාමං කාමයමානස්ස - තස්ස චේතං සමිජ්ඣති
තතෝ නං අපරං කාමෙ - ඝම්මෙ තණ්හංව වින්දති
අදහස: ධන ධාන්‍යාදි ලෝභනීය වස්තූන් කැමති වන්නා වූ ඒ සත්ත්වයා හට කැමති වූ දෙය සිද්ධ වූයේ නම් - ලැබුණේ නම් ඉන්පසු ග්‍රීෂ්ම කාලයෙහි පිපාසය මෙන් ඔහුට තව තවත් ලෝභය ඇති වන්නේ ම ය.
ගවං සිඞ්ගිනෝ සිඞ්ගං - වඩ්ඪමානස්ස වඩ්ඪති
එවං මන්දස්ස පොසස්ස - බාලස්ස අවිජානතො
භීය්‍යො තණ්හා පිපාසා ච - වඩ්ඪමානස්ස වඩ්ඪති.
අදහස: හටගත් අං ඇත්තා වූ ගවයා වැඩෙත් ම අං දෙක ද වැඩෙන්නාක් මෙන් නුවණ නැත්තා වූ සත්ත්වයා හට කාමතණ්හා කාම පිපාසයෝ වැඩෙන්නාහු ය.
පථව්‍යා සාලි යවකං - ගවාස්සං දාසපොරිසං
දත්වාපි නාලමේකස්ස - ඉති විද්වා සමං චරෙ.
අදහස: තුන් රජයක් තබා ඒ මානවකයා යමකුට පොළොවෙහි ඇති තාක් හැල්කෙත් යවකෙත් ආදි සියලු අවිඤ්ඤාණක ධනයත්, ගවාශ්වදාශාදි සියලු සවිඤ්ඤාණක ධනයත් දී ගියේ ද, තෘෂ්ණා වශික වූ පුරුෂයාට ඇති නො වන්නේ ය. එබැවින් නුවණැත්තේ තණ්හාවට වසඟ නොවී මනා කොට හැසිරෙන්නේ ය.
රාජා පසය්හ පඨවිං විජිත්වා
සසාගරන්තං මහිමා වසන්තෝ
ඔරං සමුද්දස්ස අතිත්තරූපෝ
පාරං සමුද්දස්සපි පත්ථයෙථ.
අදහස: අන්‍ය රාජ්‍යයන් අභිභවනය කොට පොළොව දිනා ගෙන සාගරය අවසන් කොට ඇති මුළු පොළොව ම අධිපති ව සිටින රජ ද සමුද්‍රයෙන් මෙතෙරින් තෘප්තියට නොපැමිණ සමුද්‍රයෙන් එතෙර ප්‍රදේශයන් ද ප්‍රාර්ථනා කරන්නේ ය. තෘප්තියට නො පැමිණෙන්නේ ය.
යාව අනුස්සරං කාමෙ - මනසා තිත්ති නාජ්ඣගා.
තතෝ නිවත්තා පටික්කම්ම දිස්වා
තේ වේ තිත්තා යේ පඤ්ඤාය තිත්තා.
අදහස: පුරුෂතෙමෙ ප්‍රමාණාතික්‍රාන්ත වූද කාම වස්තූන් සිතින් සිහි කරන්නේ ද එයින් තෘප්තියකට නො පැමිණෙන්නේ ය. යමෙක් සිතින්, වස්තුකාම ක්ලේශකාමයන් කෙරෙන් හැරී අවුත් ශරීරයෙන් ද ඒ කාම වස්තූන්ගෙන් දුරුව ප්‍රඥාවෙන් කාමයන්ගේ ආදීනව දැක තෘප්තියට පැමිණියාහු නම් ඔවුහු ම තෘප්තිය ලැබුවෝ වන්නාහු ය.
පඤ්ඤාය තිත්තිනං සෙට්ඪං - නසෝ කාමේහි තප්පති
පඤ්ඤාය තිත්තං පුරිසං - තණ්හා න කුරුතේ වසං
අදහස: ප්‍රඥාවෙන් පරිපූර්ණවීම ශ්‍රේෂ්ඨ වන්නේ ය. හෙතෙමේ කාමයන් නිසා නො තැවෙන්නේ ය. තෘෂ්ණා තොමෝ ප්‍රඥාවෙන් තෘප්තියට පැමිණි පුරුෂයා ස්වකීය වශයෙහි නො පවත්වන්නී ය.
අපචිනේථෙව කාමානි - අප්පිච්ඡස්ස අලෝලුපෝ
සමුද්දමත්තෝ පුරිසෝ - න සෝ කාමෙහි තප්පති.
අදහස: වස්තුකාම ක්ලේශකාමයන් විධ්වංසනය කරව්, ලෝභය නැත්තේ ද, ලොල් නො වූයේ ද වන්නේය. මහාප්‍රඥාවෙන් යුක්ත වීමෙන් සමුද්‍රය වැනි පුරුෂයා සමුද්‍රය ගින්නකින් හුණු නො වන්නාක් මෙන් ක්ලේශ කාමය කරණකොට නො තැවෙන්නේ ය.
රථකාරොව චම්මස්ස - පරිකන්තං උපාහනං
යං යං ජහති කාමානං - තං තං සම්පජ්ජතේ සුඛං
සබ්බඤ්ච සුඛ මිච්ඡෙය්‍ය - සබ්බකාමේ පරිච්චජේ
අදහස: සම්කරුවා පාවහන් කපනුයේ සමෙහි නුසුදුසු වූ කොටස් කපා හැර පාවහන් කොට මිළ ලබා සැපවත් වන්නාක් මෙන් නුවණැත්තේ සම් කපන ආයුධය වැනි වූ තියුණු වූ ප්‍රඥාවෙන් කාමයන්ගෙන් යම් යම් කොටස් හරීද? ඔහුට ඒ ඒ කාම කොට්ඨාසයෙන් වෙන් වූ ඒ කාය වාග් මනඃකර්මය සැප පිණිස වන්නේ ය. සර්වකාරයෙන් සුඛය කැමති වන්නේ නම් ධ්‍යානය උපදවා සියලු කාමය හරනේ ය.
මෙසේ රජ්ජුරුවන්ට ධර්මදේශනා කරත් ම බෝසතාණන් වහන්සේට ද ශ්වේතඡත්‍රය අරමුනු කොට ඔදාත කසිණධ්‍යානය උපන්නේ ය. රජතුමා ද නිරෝගි වූයේ ය. රජතුමා නිරෝගීව යහනින් නැගී සිට කියනුයේ “මෙතෙක් මහා වෛද්‍යයෝ මා සුවපත් කරවීමට අසමර්ථ වූහ. මේ පණ්ඩිත මානවකයා තමාගේ ප්‍රඥාව නමැති ඖෂධයෙන් මා සුවපත් කෙළේ ය” යි ස්තුති කොට, මානවකය, ඔබගේ ගාථාවෝ දහස බැගින් අගනේය. එක් එක් ගාථාවකට කහවණු දහස බැගින් පිළිගනු මැනව” යි කීය. බෝසතාණන් වහන්සේ තමන් ධ්‍යාන උපදවාගත් බව රජතුමාට දන්වා කහවණු ප්‍රතික්ෂේප කර තව දුරටත් රජතුමාට අවවාද කොට අහසට පැන නැගී හිමාල වනයට ගොස් පැවිදි ව බ්‍රහ්ම විහාරයන් භාවනා කොට බ්‍රහ්මලෝකයට ගිය සේක.
මෙම ලක්දිව රජ කළ මහාදාඨික රජතුමා අන්තඃපුර ස්ත්‍රීන් හා දන් දෙනු පිණිස සෑගිරි විහාරයට ගිය අවස්ථාවක දී අතිශයින් රූපසම්පන්න වූ ප්‍රථම වයසෙහි සිටියා වූ දමිළදේවී නම් වූ මෙහෙසිය දැක හටගත් ලෝභයෙන් දවනු ලැබ චිත්ත නම් එක්තරා ස්ථවිර කෙනෙක් උමතු වූයේ ය.
දිනක් මෙම ලක්දිව රජය කළ සද්ධාතිස්ස මහරජතුමා අන්තඃපුර ස්ත්‍රියක දෙස බැලුවේ ය. ඕතොමෝ ද ගමන නවතා ඒ තරුණයා දෙස බලා සිටියා ය. මඳ වේලාවකදී ම ඒ දෙදෙනා තුළ ඔවුනොවුන් ගැන හටගත්තා වූ රාගාග්නිය වැඩී එයින් දවනු ලැබ දෙදෙනාම එතන ම මළහ.
දඹදිව උත්තරමධුරා නම් නගරයෙහි චණ්ඩාල බ්‍රාහ්මණයකුගේ දුවක් වූ ස්වර්ණතිලකා නම් වූ තරුණිය දැක උපන්නා වූ ලෝභයෙන් මුළාව, “මෙබඳු ස්ත්‍රී රත්නයක් නො ලබා ජීවත් වීමෙන් කවර ප්‍රයෝජනයක් දැ” යි සිතා කඩු ගෙන සියතින් ම තම තමාගේ ගෙල සිඳ රජවරු පස් දෙනෙක් ම මළහ. ඔවුන් දිවි නසා ගත්තේ සවර්ණතිලකාව චණ්ඩාලියක නිසා ඇය භාර්‍ය්‍යාව කර ගත නො හැකි බැවිනි. පසුව ස්වර්ණතිලකාවගේ සැමියා වූ උද්දාල බ්‍රාහ්මණයා ද ස්වර්ණතිලකාවගේ මරණයෙන් හටගත් ශෝකයෙන් ගින්නට පැන දිවි නසා ගත්තේ ය. බලවත්ව හටගන්නා ලෝභය ගින්නක් මෙන් සත්ත්වයන් තවා විනාශ කරන බව හා ශෝක කරවා මහානුභාව සම්පන්නයන් පවා මහත් සේ හඬවන බව ද කියන ලද උදාහරණ කථාවලින් වටහා ගත යුතු. බුදුන් වහන්සේ විසින් ද මෙසේ වදාරන ලදි.
තණ්හාය ජායතී සෝකෝ - තණ්හාය ජායතී භයං
තණ්හාය විප්ප මුත්තස්ස - නත්ථි සොකො කුතො භයං
තෘෂ්ණාව හේතු කොට ශෝකය හටගන්නේ ය. තෘෂ්ණාව හේතු කොට භය හට ගන්නේ ය. තෘෂ්ණාවෙන් වෙන් වූවහුට ශෝකයක් නැත. භයක් කොයින් ද? යනු මෙහි අදහසයි.