එක් කලෙක අප මහ බෝසතාණෝ බරණරස බඹදත් රජුගේ සියයක් පමණ පුත්‍රයන්ගෙන් සියල්ලන්ට මළණුව ඉපද ක්‍රමයෙන් වැඩිවිය පැමිණියෝ ය. එකල්හි ඒ රජගෙදර පසේ බුදුවරයන්ට දන් දෙන්නේ ය. දිනක් බෝසතාණෝ පැමිණියා වූ පසේ බුදුවරයන්ට වත් කොට “තමන් වහන්සේට ඒ නුවර රාජ්‍යය ලැබේ දැ” යි උන්වහන්සේලාගෙන් විචාළෝ ය.
එකල්හි පසේ බුදුවරයෝ කියන්නාහු “කුමාරයෙනි, මේ නුවර රාජ්‍යය තොප නො ලබන්නාහු ය. ඉදින් ගන්ධාර රට තක්සලා නගරයට යන්නහු නම් මෙයින් සත්වන දිනයෙහි එහි රාජ්‍යය ලබන්නහු ය. එහි යන මාර්ගයෙහි මන වනයක් ද ඇත්තේ ය. එයින් නො යන කල්හි මාර්ගයෙහි සියක් යොදුනක් වන්නේ ය. වන මැදින් යතහොත් මාර්ගය පනස් යොදුනක් වන්නේ ය. ඒ වනය නම් අමනුෂ්‍ය කාන්තාරයකි. එහි වෙසෙන යක්ෂණියෝ මගීන් දුටු කල්හි ගම් මවා උඩුවියන් වට තිර ආදියෙන් අලංකාර කරන ලද මනහර යහන් ඇති සිත්කළු ශාලා මවා තමා ද දිව්‍යාංගනාවන් සේ මනහර වස්ත්‍රාභරණයෙන් සැරසී ශාලාවන්හි හිඳ පුරුෂයන්ගේ සිත් ගන්නා වූ රූප විලාසයන් දක්වමින් සිත් ගන්නා සුලු වූ මිහිරි වදනින් සංග්‍රහ කොට මගීන් අමතා, “මෙහි අවුත් පැන් බී මඳක් හිඳ විඩා සංසිඳුවාගෙන යන්නය” යි කියා කැඳවා ආවවුන් රාගයෙන් මත් කරවා අල්ලා කන්නාහ. මගීන්ගෙන් රූපයට ලෝභ කරන්නවුන් මනහර ස්ත්‍රී රූප විලාස දක්වා ඔවුන්ගේ වසඟයට ගෙන කන්නාහ. ශබ්දයට ලෝභ කරන්නවුන් ගීතවාදිතාදි ශබ්දයෙන් ද, ගන්ධයට ලෝභ කරන්නවුන් මනහර සුගන්ධයෙන් ද, රසයට ලෝභ කරන්නවුන් සුමිහිරි බොජුනෙන් ද, ස්පර්ශයට ලෝභ කරන්නවුන් දිව්‍ය යහන්වලින් ද, පොළඹවා ස්වවශයට ගෙන කන්නාහ. ඉදින් ඔවුන්ගේ මායම්වලට අසු නො වී ඔවුන් නො බලා සිත රැක ගියහු නම් සත්වන දිනයෙහි රජය ලබන්නහු ය” යි කීහ. මහබෝසතාණෝ “ස්වාමීනි, නුඹ වහන්සේලාගේ අවවාද ලත් මම කුමට ඔවුන් බලන්නෙම් දැ” යි කියා පිරිත් පැන්, පිරිත් වැලි, පිරිත් නූල් ද ගෙන පසේ බුදුවරුන්ට හා මව්පියන්ට ද වැඳ සමුගෙන රජය ගැනුමට තක්සලා නුවරට යන බව තමන් වහන්සේගේ සේවක පුරුෂයන්ට ද කීහ. එකල්හි පුරුෂයෝ පස් දෙනෙක් “අපි ද ඔබ තුමා හා එන්නෙමු” යි කීහ. එකල්හි බෝසතාණෝ මාර්ගය පිළිබඳ පසේ බුදුවරයන් කී තතු කියා “නුඹලා එහි යාමට නුසුදුස්සෝ ය. මා පමණක් සිත හික්මවාගෙන එහි යමියි” කීහ. එකල්හි පුරුෂයෝ පස්දෙන කියන්නාහු “දේවයන් වහන්ස, නුඹ වහන්සේ සමඟ යන්නා වූ අපි ඒ ප්‍රිය රූප දෙස කුමට බලන්නෙමුද? අපි ද නුඹ වහන්සේ යන පරිද්දෙන් ම යන්නමෝ නො වෙමුදැ” යි කීහ. බෝසතාණෝ “එසේ නම් පරෙස්සම් වව්” යි කියා ඔවුන් සමඟ මඟට බැස්සේ ය.
වනයට පැමිණි කල්හි යක්ෂණියෝ ගම් මවා ශාලා මවා සිටියාහු ය. පුරුෂයන් පස්දෙනා ගෙන් රූපයට ඇලුම් කරන්නා වූ තැනැත්තා දිව්‍යාංගනාවන් සේ පෙනී සිටි යකිනියන්ගේ රූපයෙහි බැඳී මඳක් පසු විය. බෝසතාණෝ “පින්වත, පසුවන්නේ කුමටදැ” යි ඇසූහ. “දේවයන් වහන්ස, පා බොහෝ රිදෙන්නාහ. මඳක් ශාලාවෙහි නැවතී එමි” යි පුරුෂයා කීය. බෝසතාණෝ කියන්නාහු “පින්වත, මොහු යක්ෂණියෝ ය, මොවුන් ගැන ආශා නො කරව” යි කීහ. “දේවයන් වහන්ස, වන දෙයක් වේවා! මෙහි ම මඳක් නවතිමි” යි පුරුෂයා කීය. බෝසතාණෝ ඉතිරි පුරුෂයන් සතර දෙනා හා ඉදිරියට ගමන් කළහ. යකිනියෝ ඒ පුරුෂයා මරා කා ඉදිරියට ගොස් ගමක් මවා නොයෙක් තූර්‍ය්‍යයන් වාදනය කරමින් උන්හ. ශබ්දයට ලෝභ කරන්නා වූ පුරුෂයා එහි නැවතිණ. යකිනියෝ ඔහු ද කා ඉදිරියට ගොස් ගමක් මවා එහි නොයෙක් සුවඳ දෑ තැබූ වෙළෙඳ සැල් මවා සිටියෝ ය. ගන්ධයට ලෝභ කරන්නා වූ පුරුෂයා එහි නැවතිණ. යකිනියෝ ඔහු ද කා ඉදිරියට ගොස් ගමක් මවා කෑම වෙළෙඳ සැල් මවා හුන්හ. රස ලෝභී පුරුෂයා එහි නැවතිණ. යකිනියෝ ඔහු ද කා ඉදිරියට ගොස් ගමක් මවා ශාලාවන්හි දිවයහන් මවා සිටගත්හ. ස්පර්ශයට ලෝභී වූ පුරුෂයා එහි නැවතිණ. එහි දී පුරුෂයා ද යකිනියන් විසින් කන ලදුව බෝසතාණන් වහන්සේ තනි වූහ.
එක් යකින්නක් “මේ පුරුෂයා ඉතා තද මන්ත්‍ර කාරයෙක. කොයි ලෙසකින් වුවත් මොහු ද කන්නෙමි” යි බෝසතාණන් ලුහුබැඳ ගියා ය. වනය ඉක්මවා බෝසතාණන් ගිය කල්හි වනයෙන් ඔබ්බෙහි වන කාර්මික මනුෂ්‍යයෝ යකින්න දැක “ඉදිරියෙහි යන පුරුෂයා තිගේ කවුරුදැ” යි ඇසූහ. යකින්න, “ඒ මාගේ සැමියා” ය යි කීය. එකල්හි ඒ මනුෂ්‍යයෝ බෝසතාණන් වහන්සේට කියන්නාහු “පින්වත, රන්වන් වූ මල්දමක් වැනි වූ මොළොක් වූ මේ කුමරිය සිය නිවෙස හැර ඔබතුමා පතා පස්සෙන් එන්නීය. මැයට දුක් නො දී නො ගෙන යන්නේ කුමක් නිසාදැ” යි කීහ. බෝසතාණෝ “පින්වත්නි, මෝ මගේ භාර්‍ය්‍යාව නො වන්නීය, මෝ යක්ෂණියක. මැය විසින් මාගේ පුරුෂයෝ පස් දෙනා ද කන ලද්දාහ”යි කීය. යකින්න ද “පින්වත්නි, පුරුෂයෝ වනාහි කිපි කල්හි, භාර්‍ය්‍යාවන් යකින්නන් ප්‍රේතයන් කර කථා කරන්නාහ” යි කියමින් බෝසතුන් පසුපස්සේ ම ගියාය. යකින්න ඉන් ඔබ්බෙහි ගැබිනි වේසයෙන් ද, කුඩා දරුවකු ගත් මවක වේසයෙන් ද බෝසතාණන් ලුහුබැන්ඳාය. බෝසතාණෝ ද මඟ අසන්නවුන්ට පෙර සේ කියන්නාහු තක්සලා නුවරට පැමිණියෝ ය. පසුව යකින්න දරුවා අතුරුදහන් කොට එකලාව බෝසතාණන් ලුහු බැන්ඳා ය. බෝසතාණෝ ද නගරද්වාරයෙහි එක් සාලාවක නැවතුණෝ ය. බෝසතාණන් ගේ තේජසින් යකින්නට සාලාවට ඇතුළුවන්නට නො හැකිව දිව්‍ය කන්‍යාරූපයක් මවා ගෙන සාලාව දොරකඩ සිටියා ය.
ඒ දවස තක්සලා නුවර රජතුමා උයනට යනුයේ යකින්න දැක ඇය කෙරෙහි ලෝභ කොට “ඇයට සැමියකු නැති බව දැන එව” යි මිනිසකු යැවීය. ඒ පුරුෂයා යකින්න වෙත ගොස් සැමියකු ඇති නැති බව විචාළේ ය. යකින්න “සාලාවෙහි සිටින පුරුෂයා මගේ සැමියාය”යි කීවාය. බෝසතාණෝ ඇය තමාගේ භාර්‍ය්‍යාව නොව යකින්නක් බව කීහ. ඒ පුරුෂයා දෙදෙනා ම කී බස් රජුට දැන්වීය. රජ තෙමේ “අස්වාමික වස්තු රජුට අයත් යැ” යි යකින්න කැඳවා ඇතුපිට නංවා ගෙන නුවර ප්‍රදක්ෂිණා කර රජගෙට ගොස් යකින්න අග මෙහෙසිය කර ගත්තේ ය.
රජ තෙමේ ස්නානය කොට සුවඳ ගල්වා රාත්‍රී භෝජනය වළඳා සිරියහනයට ගියේ ය. යකින්න ද අහර වළඳා අලංකාරයෙන් සැරසී රජුගේ යහන්හි ම රජු හා නිදා රාත්‍රියෙහි දී හඬන්නට වූවා ය. රජු විසින් හඬන්නට කරුණ විචාළ කල්හි යකින්න කියන්නී “දේවයන් වහන්ස, මම වනාහි නුඹ වහන්සේ විසින් මඟදී දැක ගෙනෙන ලද්දෙමි. මේ රජගෙයි බොහෝ ස්ත්‍රීහු වසන්නාහ. ඔවුන් විසින් තිගේ මව හෝ පියා කවුරු දනිද් ද? ජාතිය හෝ ගෝත්‍රය කවුරු දනිත් ද? තී මඟදී දැක ගෙනෙන ලද්දියක් යයි, කථා ඉපද වූ කල්හි මම හිසට ගසනු ලබන තැනැත්තියක සේ දුර්මුඛ වන්නෙමි. නුඹ වහන්සේ විසින් මේ රාජ්‍යයෙහි අධිපතිකම මට දෙතහොත් කිසිවෙක් එසේ මට පීඩා කරන්නට සමර්ථ නොවන්නාහ”යි කීවාය. රජ තෙමේ ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එකල්හි යකින්න “දේවයන් වහන්ස, රාජ්‍යයට ඊශ්වරත්වය නොදෙන්නාහු නම් මේ රජ ගෙදරට පමණවත් මට අධිපතිකම දුන මැනව”යි කීවාය. රජ තෙමේ දිව්‍යමය ස්පර්ශයෙන් ඇය කෙරෙහි බැඳුනේ ඇගේ ඉල්ලීම ඉක්මවන්නට අසමර්ථව රජ ගෙදරට අධිපතිකම යකින්නට දුන්නේ ය. යකින්න “යහපතැ”යි පිළිගෙන රජු නින්දට වන් කල්හි යක්ෂ නගරයට ගොස් බොහෝ යකුන් කැඳවා අවුත් රජ ගෙදර ඌරන් කුකුළන් පවා නො තබා සියල්ලන් ම මරා කා ඇට පමණක් ඉතිරි කළා ය. දෙවන දවස්හි රජ ගෙදරට කිසි ශබ්දයකුදු නොමැතිව දොරවල් ද වැසූ පරිද්දෙන් තිබෙනු දැක නුවර වැසියෝ දොරවල් කඩා රජගෙට පිවිස බැලූ කල්හි එහි සිටියවුන්ගේ ඇට පමණක් දැක කියන්නාහු “ඊයේ ශාලාවෙහි සිටි පුරුෂයා ඒ ස්ත්‍රිය යකින්නයකැයි කීයේ සැබෑවක් ම ය. රජ කිසිත් නොදැන රාගයෙන් මත් ව යකින්න භාර්‍ය්‍යාව කොට ගෙයි තබා ගත්තේ ය. ඒ යකින්න තවත් යකුන් කැඳවා ගෙනවුත් රජගෙදර සියල්ලන්ම කා යන්නට ඇත” ය යි කියන්නට වූහ. බෝසතාණෝ ද ඒ රාත්‍රියෙහි හිසෙහි පිරිත් වැලි ඉසගෙන, පිරිත් හුය වට කොට ඇදගෙන කඩුව ද අතින් ගෙන නො නිදා ම සිට රාත්‍රිය පහන් කළහ.
නුවර වැසියෝ රජමාළිගය ශුද්ධ කොට ගොම ගා ඒ මතුයෙහි සුවඳ ගල්වා මල් ඉස දම් එල්වා සුවඳ දුම් දී සරසා එහි රැස්ව යෝජනා කරන්නාහු “පින්වත්නි, යම් පුරුෂයෙක් දිව්‍ය රූපයෙන් පසු පස්සේ ආ යකින්නට නොරැවටුණේ ද, අනුරාගයෙන් ඇය දෙස බැලීම පමණකුත් නො කෙළේ ද, ඔහු ඉතා උදාර පුද්ගලයෙක, ධෛර්‍ය්‍යය ඇත්තෙක, නුවණැත්තෙක, එබඳු පුරුෂයකු රටට අනුශාසනා කරන කල්හි මුළු රට ම සැපවත් වන්නේ ය. එබැවින් ඔහුට රාජ්‍යය පවරමු”ය යි යෝජනා කළහ. ඒ යෝජනාව ඒකච්ඡන්දයෙන් පිළිගෙන බෝසතාණන් රාජ්‍යයෙහි අභිෂේක කළෝය. බෝසතාණන් හා ගිය පුරුෂයන් පස් දෙනාට මරණයට පැමිණෙන්නට සිදුවූයේ ඔවුන් තුළ හටගත්තා වූ ලෝභය නිසා යක්ෂණියන් කරා යාම ය. තක්සලා රජුට අඹුදරුවන් සමග නැසෙන්නට වූයේ ද හටගත්තා වූ ලෝභයෙන් යක්ෂණිය භාර්‍ය්‍යා කර ගැනීමෙනි. මහා පුරුෂයාණෝ වනාහි ලෝභය වූ චිත්තෝපක්ලේශ ධර්මයට අවකාශ නො කොට සිත රැක ගත් බැවින් කිසිදු විපතකට භාජනය නොවී රාජ්‍ය ශ්‍රීයට ද පැමිණියෝ ය. උන් වහන්සේ සම්බුද්ධත්වයට පැමිණි පසු ද මේ අතීත කථාව ගෙනහැර දක්වා -
“සමතිත්තිකං අනවසේසකං
තේලපත්තං යථා පරිහරෙය්‍ය,
එවං සචිත්ත මනුරක්ඛෙ
පත්ථයානො දිසං අගතපුබ්බං”
යනු වදාරන ලදි.
මුවවිට හා සම ව තෙලින් පිරී තිබෙන පාත්‍ර සෙලවී තෙල් නො ඉසිරෙන සේ ගෙන යන්නාක් මෙන් කිසි කලෙක නො ගිය විරූ දිශාව යයි කියන ලද නිවන ප්‍රාර්ථනා කරන්නා වූ තැනැත්තේ ස්වකීය චිත්තය රක්නේ ය.