මේ විදර්‍ශනාවට භූමි වූ (ස්කන්ධායතනාදී) ධර්‍මයන්හි වාවොද්ගත කිරීම් වශයෙන් උද්ග්‍රහණයෙන් ද, අර්‍ථාවබොධය පිණිස නැවැතැ-නැවැතැ විචාරීමෙන් පරිපූච්ඡා වශයෙන් ද ශ්‍රැතමය ඥානය උපදවා ශීල විශුද්ධිය, චිත්ත විශුද්ධියදැ යි මූලික විශුද්ධි දෙක සම්පාදනය කළ යුතුය යි (මා විසින්) පෙර කියන ලදී.
එහි සුපරිශුද්ධ වූ ප්‍රාතිමොක්‍ෂ සංවරාදි චතුර්විධ පාරිශුද්ධි ශීලය ශීල විශුද්ධිය යැ. එ ද ශීල නිර්‍දෙශයෙහි විස්තර කරන ලද්දේ මැයි
උපචාර සමාධි සහිත අෂ්ට සමාපත්ති චිත්ත විශුද්ධිය යැ. හෙද චිත්ත ශීර්‍ෂයෙන් සමාධි නිර්‍දෙශයෙහි සර්‍වප්‍රකාරයෙන් විස්තර කරන ලද්දේම ය.
එහෙයින් සීල විසුද්ධි-චිත්ත විසුද්ධි දෙක එහි විස්තර කළ නයින් ම දතු යුතු ය.
දිට්ඨි විසුද්ධිය,
කඞ්ඛාවිතරණවිසුද්ධිය,
මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය,
පටිපදා ඤාණදස්සන විසුද්ධිය,
ඤාණදස්සන විසුද්ධිය යන මේ පඤ්ච විසුද්ධිය ශරීරය යි, යමක් ගැන කියන ලද ද, පඤ්ඤභූමි (පටිච්චසමුප්පාද) නිර්‍දෙශයට අනතුරු යැ දැන් එය මෙහි දක්වනු ලැබේ.
ඒ විශුඬීන් අතුරින් නාම-රූපයන් ගේ ඇති සැටි දැකීම දිට්ඨිවිසුද්ධිය යි. (නාම-රූපයන් බෙදා තතු සේ දැකීමෙන් දෙ සැට (62) මිථ්‍යා දෘෂ්ටියෙන් මිදෙන හෙයින් ඒ දිට්ඨිවිසුද්ධිය යි කියනු ලැබේ.) ඒ සම්පාදනය කරනු කැමැති සමයථානික (සඋපචාර අෂ්ට සමාපත්තියෙහි පිහිටා විදර්ශන වඩනු කැමැති) යොගාවචරයා විසින් පළමු කොට නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානයහැර සෙසු රූපාවචර-අරූපාවචර ධ්‍යානයන් අතුරින් එක්තරා ධ්‍යානයකින් නැඟී විතර්‍කාදි ඒ ඒ ධ්‍යානාඞ්ග හා ඒ හා යෙදුණු ඵස්සාදි ධර්‍මයන් ද ලක්ඛණ - රස - පච්චුපට්ඨාන - පදට්ඨාන වශයෙන් පිරිසිඳ ගත යුතුයි.
එසේ පිරිසිඳ ගෙන මේ සියලු ධ්‍යානාඞ්ග හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් ද අරමුණට අභිමුඛවැ නැමෙන හෙයින් නාමය යි ව්‍යවස්ථා (විනිශ්චය) කටයුතු යි. (රූපය හා මිශ්‍රනො කොට සිතෙහි තැබිය යුතුයි) අනතුරු යැ, පුරුෂයෙක් ඇතුලු ගෙයි සර්‍පයකු දැක ලුහුබැඳ යන්නේ සර්‍පයා ගේ වාසස්ථානය යම්සේ දක්නේ ද, එමෙන් ම මේ යෝගාවචර තෙමේත් ඒ නාමය නුවණින් පරීක්‍ෂා කරනුයේ මේ නාමය කුමක් ඇසුරු කොට පවත්නේ දැයි නැවැතැ-නැවැත සොයනුයේ එයට නිඃශ්‍රය වූ හෘදය රූපය දකී.
ඉක්බිති හෘදය රූපයට නිඃශ්‍රය වූ සතර මහා භූතයන් ද, සතර මහා භූතයන්ට නිශ්‍රය වූ සෙසු සූවිසි (24) උපාදාය රූපදැ යි මෙසේ අටවිසි (28) රූපයන් නුවණින් දැක මේ සියලු රූප රූප්පනය වන (විකාරයට පැමිණෙන) අර්‍ථයෙන් රූපය යි පරිග්‍රහ කෙරේ.
ඉක්බිති අරමුණට නැමෙන ලක්‍ෂණය ඇත්තේ නාමය යි ද, රූප්පන (විකාරවීම්) ලක්‍ෂණය ඇත්තේ රූපයයි ද, සැකෙවින් නාම-රූප දෙක විනිශ්චය කෙරේ.
(මෙසේ අරූප මඛයෙන් සමථයානිකයා ගේ විදර්‍ශනාවට බැස ගැනීම දක්වා දැන් රූප මුඛයෙන් ශුද්ධ විදර්‍ශනායානිකයා දක්වන්නාහු මේ කියති.)