(4) අනෙක් යෝගියෙක් එයිනුදු සංක්‍ෂෙප කොට ස්කන්ධ වශයෙන් මෙනෙහි කෙරේ.
ඒ මෙසේයි :- මේ ශාසනයෙහි භික්ෂුතෙමේ මේ සිරුරෙහි කර්‍මාදි සතරින් හටගත් පෘථිවි ආදි සතර ධාතු යැ, ඒ ධාතු නිශ්‍රිත වර්‍ණ - ගන්ධ - රස - ඔජා යන සතර යැ චක්ෂුඃප්‍රසාදා දි පඤ්චප්‍රසාද යැ, හෘදයවස්තු රූප යැ, භාව රූප (2) යැ, ජීවිතින්‍ද්‍රිය රූප යැ චිත්ත - සෘතු දෙකින් නිපන් ශබ්දය දැයි මේ සතළොස් (17) රූපයෝ අනිත්‍යාදි වශයෙන් බැලීමට සුදුසු වූවාහූ කර්‍මාදි සතරින් නිපන්නාහු රුප්පන ස්වභාවයෙන් යුක්ත හෙයින් රූප-රූප නම් වෙති. කාය විඥප්තිය, වාග් විඥප්තිය, ආකාස ධාතුය, රූපයාගේ ලහුතා-මුදුතා-කම්මඤ්ඤතා යැ උපචය-සන්තති-ජරතා-අනිච්චතා යැ යන මේ දස රූපයෝ අනිත්‍යාදි වශයෙන් බැලීමට සුදුසු නොවෙති. රූපයන් ගේ ආකාර-විකාර හා අතර පිරසිඳීම් මාත්‍රය වූ හෙයින් නිෂ්පන්න රූපයෝ ද නොවෙති. රූප්පන ලක්ෂණ යුක්ත නො වූයෙන් රූප-රූපයෝ ද නො වෙත්. එතෙකුදු වුවත් රූපයන් ගේ ආකාර විකාර හා රූපාන්තර පරිච්ඡෙද මාත්‍ර හෙයින් රූපයැ යි ගණයට යෙති යි මෙසේ මේ සත්විසි (27) රූපය රූපස්කන්ධ යැ, පෙර කී එක් අසූවක් (81) ලෞකික සිත් හා සම්ප්‍රයුක්ත වෙදනාව වෙදනා ස්කන්ධ යැ, ඒ හා සම්ප්‍රයුක්ත සංඥාව සංඥා ස්කන්ධයැ, සෙසු ඵස්සාදි චෛතසික සංස්කාර ස්කන්ධ යැ, චිත්තය විඥාන ස්කන්ධය යි. මෙසේ රූපස්කන්ධය රූප යැ, සතර අරූපස්කන්ධ නාමයැ යි පඤ්චස්කන්ධ මුඛයෙන් නාම-රූප ව්‍යවස්ථා කෙරේ.
විශේෂ:- මෙහි ආකාර ග්‍රහණයෙන් විඥප්ති ද්‍වය හා උපචයාදි ලක්ෂණ සතර ද, විකාර ග්‍රහණයෙන් ලුහුතාදි ත්‍රය ද, පරිච්ඡෙද ග්‍රහණයෙන් ආකාස ධාතුවදැ යි මේ අනිෂ්පන්න රූප දසය (10) මෙහි අනිත්‍යාදි වශයෙන් විදර්‍ශනාවට නො නැගේ. එහෙත් මෙකී ලක්ෂණ මාත්‍රයෙන් රූපය යි කී, (යනු ටීකා මතයි)