රූපාරූප වසයෙන්

(5) අනෙකක් මෙහි රුප්පන ලක්ෂණයෙන් යුත් සියලු පඨවි ආදි සතරමහාභූතරූප ද, ඒ ඇසුරු කොට පවත්නා සෙසු උපාදා සූවිස්සදැ (24) යි මෙසේ මේ අත්බැව්හි රූපය සැකෙවින් ඉගෙන, එසේම මනායතනය ද, ධර්‍මායතනයෙහි එකදෙශයක් වූ දෙපනස් (52) චෛතසික ද, නිර්‍වාණය ද නාමයැ යි ඉගෙන මේ නාමය ද, මේ රූපය ද නාම-රූපයැ යි කියා සැකෙවින් නාම-රූප ව්‍යවස්ථා කෙරේ.

සුඤ්ඤතාදි ඒ ඒ විමොක්ඛ මුඛයෙන් රූප පරිග්‍ර‍හ කොට අරූප පරිග්‍ර‍හ කරන ඒ යෝගීහට ඉතා සියුම් හෙයින් අරූපය මනාව නොවැටහේ නම් එයින් වීර්‍ය්‍යය බැහැර නො කොට රූපය ම නැවැතැ-නැවැතත් මෙනෙහි කළයුතු. නුවණින් විමසිය යුතු, පිරිසිඳ දතයුතු, විනිශ්චය කළ යුතුයි.

ඒ මෙසේයි :- යම්-යම් පරිද්දෙකින් ඒ යෝගීහට රූපය විශුද්ධවැ නිරවුල්වැ පිරිසිදුවැ වැටහේ නම් ඒ-ඒ පරිද්දෙන් ඒ රූපය අරමුණු කොට පවත්නා අරූප (නාම) ධර්‍මයෝ තුමූ ම ප්‍ර‍කට වෙති.

නිදර්‍ශන:- කැටපතකින් මුහුණ බලන ඇස් ඇතියකු එය අපිරිසිදු හෙයින් මුහුණ නො පෙනේ නම් එය බැහැර නො දමා නැවැතැ නැවැතැ පිරිසිදු කොට මුහුණ බලන කල පිරිසිදු හෙයින් මුඛ නිමිත්ත තෙමේ ම ප්‍ර‍කට වේ.

තවද:- තල තෙල් කැමැතියකු තල පිටි භාජනයක බහා දිය ඉස වරක් දෙකක් මිරිකී මෙන් තෙල් නොලැබුණු පමණින් එය ඉවත නො දමා නැවැත-නැවැත ද, උනු දිය ඉස මඩින කල ඔහුට තෙල් ලැබේ.

ජලය පිරිසිදු කරනු කැමැතියකු ඉඟිනි ඇට ගෙන කළය තුළ අත බහා වරක් දෙකක් ගැටූ පමණින් දිය පහන් නො වූවද, ඉඟිනි ඇට බැහැර නො කොට නැවැතැ-නැවැතැ ගටන කල තුනී මඩ යට ගැසී ජලය මනාව පැහැදීමෙන් ඔහුට පිරිසිදු ජලය ලැබෙයි. එසේම ඒ භික්ෂුව විසින් ධුරනික්‍ෂෙප නො කොට රූපය ම නැවැතැ - නැවැතැ සන්මර්‍ශනය කටයුතු ය. මෙනෙහි කළ යුතු ය. පරිග්‍ර‍හ කළ යුතුය. විනිශ්චය කළ යුතු යි. ඕහට යම් යම් පරිද්දෙකින් මනාව ප්‍ර‍සන්නවැ නිරවුල්ව පිරිසිදුවැ වැටහේ නම් ඒ ඒ පරිද්දෙන් මඩ මතුයෙහි ජලය පිරිසිදු වන්නා සේ ඒ අරූප ධර්‍ම සන්මර්‍ශනය කරන්නා වූ ඥානයට ප්‍ර‍තිපක්‍ෂ වූ ක්ලේශයෝ යටට බසිත්. සිත ප්‍ර‍සන්න වේ. ඒ රූප ධර්‍මයන් අරමුණු කොට ඇති අරූප ධර්‍මයෝ තුමූ ම ප්‍ර‍කට වෙත්.