එයින් වදාළහ.
“ද්‍වීහි භික්ඛවෙ දිඨගතෙහි පරියුඨිතා දෙවමනුස්සා ඔලීයන්ති එකෙ. අතිධාවන්ති එකෙ චක්ඛුමන්තොව පස්සන්තී. කථඤ්ච භික්ඛවේ ඔලීයන්ති එකෙ. භවරාමා භික්ඛවේ දෙවමනුස්සා භවරතා භවසම්මූදීතා. තෙසං භවනිරොධාය ධම්මෙ දෙසියමානෙ චිත්තං න පක්ඛන්‍දති. නප්පසීදති. නසන්තිඪති. නාධිමුච්චති. එවං ඛො භික්ඛවේ ඔලීයන්ති එකෙ. කථඤ්ච භික්ඛවේ අතිධාවන්ති එකෙ. භවෙනෙව ඛො පනෙකෙ අට්ටීයමානා හරායමානා ජිගුච්ඡමානා විභවං අභිනන්දන්ති. යතො කිර හො අයං අත්තා කායස්ස බෙදා උච්ජිජ්ජති. විනස්සති. න හොති පරම්මරණා එතං සන්තං එතං පණීතං එතං යථාවන්තී. එවං ඛො භික්ඛවේ අතිධාවන්ති එකෙ. කථඤ්ච භික්ඛවේ චක්‍ඛු මන්තො පස්සන්තී, ඉධ භික්ඛ වේ භික්ඛු භූතං භූතතො පස්සති භූතං භූතතො දීස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්තො හොති. එවං ඛො භික්ඛවෙ චක්ඛුමන්තො පස්සන්තී”[1]
‘මහණෙනි! ශාශ්වත - උච්ඡෙද යන දෘෂ්ටි දෙකින් මැඩුණු දෙව් මිනිසුන් අතුරින් සමහරෙක් ශාශ්වත වශයෙන් භවයෙහි නිලීන වෙති. සමහරෙක් උච්ඡෙද වශයෙන් අතිධාවනය කෙරෙත්. ඇති තතු පිරිසිඳ දන්නා නුවණැස් ඇත්තේ පරමාර්‍ථ සත්‍යය දකී.
‘මහණෙනි! ඇතැමෙක් කෙසේ නිලීන වෙත් ද ඇතැමෙක් කෙසේ අතිධාවනය කෙරෙත් ද මහණෙනි! ඇතැම් දෙව් මිනිස් කෙනෙක් භවයෙහි ඇලුනාහු භවයෙහි සතුටු වූවාහු වෙති. ඔවුනට භවය නැති කිරීම පිණිස ධර්‍ම දේශනා කරන කල්හි සිත එහි නො පිවිසේ. නො පැහැදේ. නො පිහිට යි. නිශ්චයට නො පැමිණේ! මහණෙනි! මෙසේ ඇතැම් දෙව් මිනිස්සු භවයෙහි ඇලෙති.
‘මහණෙනි! ඇතැම් දෙව් මිනිස් කෙනෙක් උච්ඡෙද වශයෙන් කෙසේ අතිධාවනය කෙරෙත් ද ඇතැම් කෙනෙක් භවයෙන් ම පීඩිත වන්නාහු ගර්‍හාවට පැමිණියාහු පිළිකුළට පැමිණියාහු විභව සඞ්ඛ්‍යාත උච්ඡේදය කැමැති වෙති. යම් හෙයකින් මේ ආත්මය කාබුන් මරණින් පසු උච්ඡේදය වේ ද විනාශ වේ ද මරණින් මතු නො වේ ද මේ විභවය ශාන්ත යැ, ප්‍රණීත යැ, ඇති ස්වභාවයැ යි මෙසේ උච්ඡේදය පිළිගනිති. මහණෙනි! මෙසේ ඇතැම් කෙනෙක් උච්ඡේද වශයෙන් අතිධාවනය කෙරෙති.
මහණෙනි! නුවණැස් ඇත්තෝ ම කෙසේ දකිත් ද මහණෙනි! මේ ශාසනයෙහි භික්‍ෂුතෙමේ පඤ්චස්කන්ධය පඤ්චස්කන්ධය සේ දකී. පඤ්චස්කන්ධය පඤ්චස්කන්ධය සේ දැක භුත සඞ්ඛාක පඤ්චස්කන්ධයේ කලකිරීම පිණිස නො ඇලීම පිණිස නිරොධය පිණිස පිළිපන්නේ වේ මහණෙනි! මෙසේ ඇස් ඇත්තෝ දකිත් යම්සේ දාරුයන්ත්‍රය ශුන්‍ය වූයේ නිර්ජීව වූයේ උත්සාහ නැත්තේ වේ ද එතකුදු වුවත් දැව යැ රැහැන් යැ යන මේවා එකතු වීමෙන් යන්නේ වේ ද සිටින්නේ වේ ද උත්සාහ ඇත්තක්හු සේ ව්‍යාපාර ඇත්තක්හු සේ වැටහේ ද එසේ මේ නාම-රූප දෙක ද සිස් වූයේ ජීවයක් නැත්තේ උත්සාහ නැත්තේ වේ. එතෙකුදු වුවත් ඔවුනොවුන් එකීභාවයෙන් යන්නේ ද සිටින්නේ ද වේ. වෙෂ්ටා සහිත ව්‍යාපාර සහිත වූවක් මෙන් වැටහෙන්නේ ද වේ.
විශෙෂ:- පඤ්චස්කන්ධය තමා පිළිබඳ ප්‍රත්‍යයයෙන් නිපන් බැවින් හා පරමාර්‍ථ වශයෙන් විද්‍යාමාන හෙයින් ද භූත නම් වේ. ඇති ස්වභාවයෙන් හෝ ස්වලක්‍ෂණයෙන් හෝ සාමාන්‍ය ලක්‍ෂණයෙන් හෝ විද්‍යාමානය යන අර්‍ථ යි. ‘අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ’ යනාදි තත් ස්වභාවයෙන් හෝ විද්‍යමාන වේ යනු ද අර්‍ථයෙකි. එයින් කීහ පැරැණියෝ -
“නාමඤ්ච රූපඤ්ච ඉධත්‍ථි සච්චතො
න හෙත්‍ථ සත්තො මනුජො ච විජ්ජති
සුඤ්ඤ ඉදං යන්ත මිවාභිසඞ්ඛටං
දුක්ඛස්ස පූඤ්ජො තිණකඨ සාදිසො”
“නම්-රූ මැයි පරමත් ලෙස ඇත්තේ
දෙව්-මිනිසා’දී සතෙක් මෙහි නැත්තේ,
දුක් පිඩ මැයි මෙය ලී-තණ වැන්නේ
සුන් යැ එයින් සැකැසු*[2] යතුරක් සේ+
හුදෙක් මේ නාම-රූප දෙක දාරු යන්ත්‍ර උපමාවෙන් පමණක් නොවැ අන්‍ය වූ ද නළ කලාපාදි උපමාවන්ගෙනු දු පළ කළ යුතු ය.
එ මෙසේ යි:- බට මිටි දෙකක් එකිනෙක නිසා පවත්නා කල එකක පැවැත්මට එකක් වහල් වේ. එකක් වැටෙන කල දෙක ම වැටේ. එසේ ම පඤ්චවොකාර භවයෙහි නාම-රූප දෙක උනුන් නිසා පවතී. එකක් එකකට උපස්තම්භක වේ. මරණ වශයෙන් එකක් වැටෙන කල අනික ද වැටේ.
එයින් කීහ පැරැණියෝ -
“යමකං නාම-රූපඤ්ච - උභො අඤ්ඤොඤ්ඤ නිස්සීතා
එකස්මං භිජ්ජමානස්මිං - උභො භිජ්ජන්ති පච්චයා”
“දෙ බෑ නම් රූ දෙක - උනුන් ඇසිරි කරනේ
ඉනෙකක් බිඳුණු සඳ - බිඳේ පස වූ එ දෙක ම”
තවද දඬුයෙන් පහළ බෙරය නිසා සද්දය පව්තනා කල බෙරය අනිකෙක, සද්දය අනිකෙක, බෙරය හා ශබ්දය අමිශ්‍ර යැ. බෙරය ශබ්දයෙන් ශූන්‍ය යැ. ශබ්දය ද බෙරයෙන් ශුන්‍ය යි.
එ පරිද්දෙන් ම වස්තු යැ, වාර යැ, ආලම්බන යැ යන රූපයන් නිසා නාම ධර්‍මයන් පවත්නා කළ රූපය අනෙකක. නාමය ද අනෙකෙක් මැයි. නාම-රූප දෙක උනුන් හා අමිශ්‍ර යැ. නාමය රූපයෙන් ශුන්‍ය යැ. රූපය ද නාමයෙන් ශුන්‍ය යි. එහෙත් බෙරය නිසා පවත්නා ශබ්දය මෙන් රූපය නිසා නාමය පවතී.
එයින් කීහ.
න චක්‍ඛුතො ජායරෙ ඵස්සපඤ්චමා
න රූපතො නො ච උභින්නමන්තරා
හෙතුං පටිච්ච පභවන්ති සඞ්ඛතා
යථාපි සද්දො පහටාය භෙරියා
න සොතතො ජායරෙ ඵස්සපඤ්චමා
න සද්දනො නො ච උභින්නමන්තරා
-පෙ-
න ඝාණතො ජායරෙ ඵස්සපඤ්චමා
න ගන්‍ධතො නො ච උභින්තමන්තරා
-පෙ-
න ජිව්හතො ජායරෙ ඵස්සපඤ්චමා
න රසතො නො ච උභින්තමන්තරා
-පෙ-
න කායතො ජායරෙ ඵස්සපඤ්චමා
න ඵස්සතො නො ච උභින්නමන්තරා
-පෙ-
න වත්‍ථු රූපා පභවන්ති සඞ්ඛතා
නචා‘පි ධම්මායතනෙහි නිග්ගතා
හෙතුං පටිච්ච පභවන්ති සඞ්ඛතා
යථාපි සද්දො පහටාය භෙරියා
“ඇසින්* පහස් ඈ පස නූපදින්නේ
රුවින් ද ඒ දෙක් අතුරින් නො වේ මැ යි
නිසා ම හේ සංකත දම් උපද්දී
ගැසූ බෙරින් සද්දය සේ උපත්තා”
“කනින් පහස් ඈ පස*[3] නූපදින්නේ
සදින් ද ඒ දෙක් අතුරින් නො වේ මැ යි,
නිසාම හේ සංකත දම් උපද්දී
ගැසූ බෙරින් සද්දය සේ උපත්නා”
“නහෙන්+ පහස් ඈ පස නූපදින්නේ
ගඳින් ද ඒ දෙක් අතුරින් නො වේ මැ යි”
-පෙ-
‘දිවින් පහස් ඈ පස නූපදින්නේ
රෙසෙන් ද ඒ දෙක් අතුරින් නො වේ යැ යි’
-පෙ-
‘කයින් පහස් අසෘ පස නූපදින්නේ
නො වේ පහස්නෙන් එදෙකින් නො වේ මැ යි’
-පෙ-
‘නො වත්රුවින්** සංකත දම් උපද්දී
නො නික්මෙ දම් ආයතනෙන් ද ඒ දම්++
නිසා ම හේ සංකත දම් උපද්දී
ගැසූ බෙරින් සද්දය සේ උපත්නා’
තවද මේ නාම-රූප දෙකින් නාමය තෙද නැත්තේ යැ, තමා තෙදින් පැවැත්ත නො හේ. නො කයි. නො බොයි. නො බෙණේ. ඉරියව් නොපවත්වයි. රූපය ද තෙද නැත්තේ යැ. තමා තදින් පැවැත්ත නොහේ. ඒ රූපයට කනු කැමැති බවෙක් වැති. බොනු කැමැති බවෙක් නැති. බණනු කැමැති බවෙක් නැති. ඉරියවු පවත්වනු කැමැති බවෙක් නැති. නාමය නිසා රූපය පවතී. රූපය නිසා නාමය පවතී. නාමයට කනු කැමැති බවක් ද, බොනු කැමැති බවක් ද, බණනු කැමති බවක් ද, ඉරියව් පවත්වනු කැමති බවක් ද, ඇති කල රූපය කයි, බොයි, බෙණෙයි, ඉරියව් පවත්ව යි.
මේ අර්‍ථය ප්‍රකට කිරීමට මේ උපමාවක් එළවත්:- ජාත්‍යන්‍ධයෙක් ද, පිළෙක් ද ගමනක් යනු කැමැත්තාහු ජාත්‍යාන්‍ධයා යහළුව! ‘මට පයින් යා හැකි යැ. එහෙත් මාර්‍ගයෙහි සම විෂම බව් බැලීමට ඇස් නැත්තේයැ’ යි පිළාට කීයේ ය. පිළා ද යහළුව! ‘මම ඇසින් බැලිය හැක්කෙමි. එහෙත් යාමට හා ඊමට පා නැත්තෙමි වෙමි’ යි අන්‍ධයාට කීය. ජාත්‍යන්‍ධයා තුටු පහටුවැ පිළා දසරුවෙහි තබා ගත. පිළා ද අන්‍ධයා ගේ උරහිස හිඳ වම හරුව, දකුණට යව, දකුණ හරුව, වමට යව’ යි කියයි. මෙහි ජාත්‍යන්‍ධයාද තෙද නැත්තේ යැ. දුබල යැ. තමා තෙදින් ද බලයෙන් ද නො යේ. පිළි ද තෙද නැත්තේ ද. දුබල ය. තමා තෙදින් ද, බෙලෙන් ද යා නො හැක්ක. ඔහු දෙදෙන උනුන් නිසා ගමන කෙරෙත්මැ යි.
එමෙන් ම නාමය ද තෙද නැත්තේ තමා තෙදින් නූපදී. ඒ ඒ ක්‍රියාවන්හි නො පවතී. රූපය ද තෙද නැත්තේ තමා තෙදින් නූපදී. තමා අයත් ඒ ඒ ක්‍රියාවන්හි නො පවතී.
එතෙකුදු වුවත් ඔවුන් උනුන් කියා උපැත්ම හෝ පැවැත්ම නො වන්නේ නො වේ. උපදනේ ද පවත්නේ ද වේ.
එයින් කී,
“න සකෙන බලෙන ඡායරෙ
නො පි සකෙන බලෙන තිට්ඨරෙ
පරධම්මවසානුවත්තිනො
ජායරෙ සඞ්ඛතා අත්තදුබ්බලා
පරපච්චයතො ජායරෙ
පරආරම්මණතො සමුට්ඨිතා
ආරම්මණපච්චයෙහි ච
පරධම්මෙහිචිමෙ පභාවිතා
යථාපි නාවං නිස්සාය - මනුස්සා යන්තී අණ්ණවෙ
එවමෙව රූපං නිස්සාය - නාමකායො පවත්තති
යථා ච මනුස්සෙ නිස්සාය - නාවා ගච්ඡතිප අණ්ණවෙ
එවමෙව නාමං නිස්සාය - රූපකායො පවත්තති
උභො නිස්සාය ගච්ඡන්ති - මනුස්සා නාවා ච අණ්ණවෙ
එවං නාමඤ්ච රූපඤ්ච උභො අඤ්ඤොඤ්ඤ නිස්සීතා”
තමා බෙලෙන් නම් රූ-නූපදින්නේ
තමා බෙලෙන් ඒ දම් නෑ සිටින්නේ
පරා අයත් දම් වසයෙන් පවත්නා
තෙමේ දුඹුල් සංකත දම් උපද්දී
අනෙක් දහම් හේ පසයෙන් උපද්දී
අනෙක් දහම් එල්බ නැඟී සිටින්නේ
තමා කෙරෙන් අන් දෙපසක්*[4] ලැබීමෙන්
පවත්තී මේ සංකත දම් උපද්නා
නැව නිසා මිනිසා - සමුදුර ගමන් යන සේ
රූ-කය පිහිට ලැබුමෙන් - නමුකය+ යෙහෙන් පවතී
මිනිසා නිසා නැව - සමුදුර එතෙර වන සේ
නමුකය පිහිට ලැබුමෙන් - රූ කය යෙහෙන් පවතී
මිනිසා - නැව උනුන් - ඇසිරින් මුහුද යන සේ
නම් -රූ දෙක උනුන් - ඇසිරින් යෙහෙන් පවතී.
මෙසේ නානා නයින් නාම-රූප විනිශ්චය කරන යොගීහු ගේ සත්ත්‍ව සංඥාව මැඩ නුමුළා බව්හි සිටි නාම-රූපයන් ගේ යථාවදර්‍ශනය (ඇති තතු දැනීම) දිට්ඨි විසුද්ධිය යි දතයුතු. නාම-රූප ව්‍යවස්ථානය යි ද, සංස්කාර පරිච්ඡෙදය යි ද මේ දෘෂ්ටි විශුද්‍ධියට ම නම් වේ.
හුදී ජනයන් ගේ ප්‍රමොද්‍යය පිණිස කළ විශුද්‍ධි මාර්‍ගයෙහි ප්‍රඥා භාවනාධිකාරයෙහි දිට්ඨි විශුද්ධි නිර්‍දෙශ නම් වූ අටළොස් වන පරිච්ඡේදය යි.